0 Views  
අකුරු
ජීවිතය කෙතරම් පුදුමාකාරද? ලේ කිරි කර දී තමා හැදූවැඩූ මවුත්, ඉනික්බිති ජීවිතයට සම්බන්ධ වූ සැමියාත්, ඒ සම්බන්ධය මතින් මෙලොවට බිහිවූ දරුවාගේ රූපකායන් මතින් සඳුනි, නොසිතූ පැතූ අන්ධකාර ලෝකෙක අතරමං වෙලා හිටියා. අම්මා කාමරයට වෙලා ඉකි ගසා ඇඬූ හඬ කෙමෙන් කෙමෙන් තුනී වෙලා ගියත්, සඳුනිගේ හිතේ වේදනාව තවමත් පහව නොගියේ ඇගේ ඇස්වල කඳුළුවලට තව තවත් ගිලිහෙන්නට ඉඩදෙමින්.මේ මොහොතේ සිදුවූ සියලුදෑ ගැන ඇය කනස්සලු වූයේ අතීතය හා වරින් වර බද්ධ වෙමින්. ඒ අතීතයේ රූපකායන් වරින් වර ඇගේ නෙතු අසල සෙලවෙන්නට පටන් ගත්තේ බොඳවූ රූප පෙළක් මෙන්.

“කෝ සඳුනි පුතාට අරන් දීපු අර ඉංග්‍රීසි පොත් ටික.... ගේනව විතරයි දැක්කෙ අතුරුදහන්. පොත් ගිලින බහිරවයෙක්වත් ගෙදර ඉන්නවද.?”

සඳුනි, සංජීවගේ මුහුණ දෙස ආයාචනාත්මක බැල්මකින් බලා උන්නා.

“ඉංග්‍රීසි පොත් විතරක් පෙන්නන්න බැරි යකෙක්ද කොහෙද.?”

සංජීවගේ නෝක්කාඩු මුහුණ ඉදිරිපිට ඇය අසරණ ය. ඇයගේ දෑස්වල මවු ස්නේහය තැවරී තිබුණේ ඔහුගේ බැල්මට ප්‍රතිවිරුද්ධ ව ය.

“අනේ සංජීව කෑගහන්න එපා. අම්මට ඇහෙයි. ආපු ටික දවසට හිත නරක් කරන්න එපා”

“ඉතින් මනුස්සයො මං දැන් මෙතැන අම්ම ගැන මුකුත් කිව්වද? මං ඇහුව්වෙ පොත් ටිකට මොකද වුණේ.. කියලනෙ?”

සඳුනිගේ නිහඬතාව දෙස විමසිලි දෑසින් බලා උන් ඔහු, දිගසුසුමක් පිටකර නාන කාමරයට රිංගා ගත්තෙ හරි මහන්සි යැයි කියමින් සඳුනි අම්මා ඉන්නා කාමරය දෙස නෙත් යොමුකර බැලුවා. අඩවන් කර ඇති දොර හිමිහිට විවර කළා. අම්මා සුව නින්දක සැතපෙනවා. කොහොමත් සංජීව වැඩ නිමවී ගෙදර එනකොට අම්මා නිදි. නිදි නැතත්, කාමරයට වෙලා නින්ද ගියා වගේ ඉන්නවා. සැතපුම් දහස් ගානක් ගෙවලා, අපිව බලන්න දුරු රටකට ආපු අම්මා,මේ කාලය ගත කළේ එතරම් සතුටකින් නොවන වග සඳුනි දන්නවා, විශේෂයෙන් ම සංජීවත් එක්ක. අමනාපයක් නොපෙන්නුවාට මනාපයක් නැති වග ඇයට තේරුම් ගන්න පුළුවන්. අම්මා නිදාගෙන ඉන්න කොට්ටෙ යට ඇති, යාන්තමට පෙනෙන ඉංග්‍රීසි පොත් ටික සඳුනිගේ දෑසට විමතියක් ගෙන දුන්නා. ඇයගේ දෑස් කාමරයේ හතර වටේට කැරකෙන්න පටන් ගත්තා. ඇඳ යටත් තව පොතක්. ඉංග්‍රීසි අකුරු තියෙන හෝඩි පොත් ටික අම්මා හංගලා. අම්මා පොඩි පුතාගේ අතට හැම තිස්සෙම දෙන්නෙ ඇය ලංකාවෙන් අරන් ආපු, සිංහල හෝඩි පොත්, ළමා කතන්දර පොත්. ඔඩොක්කුවෙ තියාගෙන කියාදෙන්න දඟලන්නෙත් ඒ පොත්. අම්මා අයන්න විදියට ඇඟ වකුටු කරලා, මෙන්න මෙහමයි අයන්න කියන්නෙ,පෙරමුණට වම් අත තියාගෙන, කොහෙන්දෝ හොයාගත්තු කම්බි කෑල්ලක් මයන්න විදියට නවල, මෙන්න අල්මයන්න කියල පෙන්නන්නෙ සංජීව වත්තෙ වැඩකරන කොට දාන පරණ තොප්පිය ඊට ඉහළින් තියල. මායන්න හදන්නෙ අමු දිග මෑකරලක් නවල,ඒ මයන්නම පැත්තට තියල.

“ඔන්න ඔහොමයි මගේ චූටි පැටියො අම්මා ලියන්නේ.”

ඔඩොක්කුවට ගත්ත හැටිය කොල්ලා පැනල ගිහින් හැංගෙන්නෙ, වත්ත පිටුපස බොටල් බ්‍රස් පඳුර අස්සෙ. පුතා ආච්චිට අකැමැති ඒ වෙලාවට විතරයි. අනෙක් හැමදේට ම ආච්චි හොයනවා.

එවෙලේ ඇගේ නින්දට බාධාවක් නොවෙන්න සඳුනි පොත් ටික අතට ගත්තෙ, දෑස් මත ගුළිව ඇති විමතියත් එක්ක. ඇය පොත් ටික දෑතේ හිරකරගෙන ඈත අතීතයට පියාඹලා ගිය නිමේෂය මතකෙට එන්නෙ මෙතෙක් රඟදුන් සෙවණැලි අතරින්.

“උඹල ඔය දේශ දීපංකරවල පදිංචියට යනවට මං විතරක් නෙමෙයි අප්පච්චිත් අකැමැතියි. සල්ලි විතරක් හම්බ කරල හරි යනවද? අපි උඹව උස් මහත් කළේ සල්ලි පොදි බැඳගෙන නෙමෙයි. ඔය රටවල ඉපදෙන දරුවොත් කළු සුද්දො වෙයි. හරි හමන් ජාතියක්, ආගමක් තෝර බේරගන්න බැරි දරුවො ඉපදුණා ම එලොවටත් නැහැ, මෙලොවටත් නැහැ.” ඇයට අම්මගේ හඬ ඇහෙනවා.

“අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ අම්මෙ. අනෙක මිනිහකුටයි, ගෑනියකුටයි මේ මහ පොළොවෙ ඕනෑම තැනක ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒකට මොකටද ආගමක්, ජන්මයක්. ලෝකෙ දැන් හුඟක් වෙනස් අම්මෙ.”

කාලයත් සමඟින් තම මවු මෙරටට ගෙන්වා ගැනීමට ඇය දැරූ වෙහෙස මහන්සිය, සඳුනිගේ මතකය වරින් වර අවදි කළා. ඇය සංජීව සමඟ විවාහ වී මෙල්බර්න් නුවර පදිංචියට පැමිණිය ද, දෙමවුපියන් මෙරටට ගෙන්වා ගැනීමේ වෑයම පසුපසට ඇදී ගිය මූලිකම හේතුව වූයේ, කලක් යනතුරු මුහුණ දුන් විරැකියාවයි. දෙවැන්න, උසස් අධ්‍යාපනය හා හරිහමන් නිවෙසක් නොමැති කමයි. රැකියාවක් ලැබෙන තුරු, ඔවුන් ජීවත් වූයේ ද තනි කාමරයේ කුලී නිවාසයක. ඉනික්බිති ඒ සියල්ල සම්පූර්ණ වෙන විට ඇය ගැබ් ගෙන සිටියා. ඒ අතරතුර දෙමාපියන් ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද, ඒ සියල්ල ව්‍යර්ථ වූයේ අප්පච්චි හදිසියේ අසනීප වීමයි. දරු ප්‍රසූතියට ආසන්න වෙද්දී තමයි අප්පච්චි මිය ගියේ. පියාගේ අවසන් කටයුතු වෙනුවෙන්වත් සහභාගි වීමට නොහැකිවීම ගැන, සඳුනි තවමත් ඉන්නෙ සන්තාපයෙන්.

“අප්පච්චිට සනීප නැහැ. අසනීපෙන් කොහොම එන්නද. ඔහෙට ආවත් ඔය නාඩගං දැකල තවත් ඉක්මනට මැරිල යාවි. උඹට ඉස්සෙල්ලා මට ඒ මනුස්සයා හම්බ වුණේ. වතුර පොදක් දෙන්න ඉන්නෙ මං විතරයි. ජීවත්වෙලා හිටියොත් පස්සෙ කාලෙක එන්න බලන්නං.”

“කවද්ද එන්නෙ” කියල අහපු දවසෙ අම්මට කේන්ති ගිහින් කියපුවා සඳුනිට තාම මතකයි.

නෑයෙක් ළග තියාගෙන තනිවම ජීවත් වුණ අම්මා, අන්තිමට මෙහෙට එන්න තීරණය කළේ සඳුනිගේ පෙරත්තයටත් වඩා, එක ම මුනුපුරාගේ හුරතල් මුහුණු පොඩ්ඩ දකින්න තියෙන ආසාව නිසා බව ඇය දන්නවා.

“අපි අම්මව, අපි ළඟට ගන්න වීසා ඇප්ලයි කරන්නං.”

“අනේ මට මේ නහින දෙහින කාලෙ මොන පදිංචියක්ද දුවේ.... මම හරිම ආශාවෙන් ඉන්නෙ කුලුඳුල් මුනුපුරාගෙ හුරුබුහුටි මුහුණු පොඞ්ඩ බලන්න. පින්තූරවල දකින්නෙ එකම හිනාව නේ. ඇත්තට ම දැක්කම, මටත් පොඩි එකත් එක්ක එක එක විදියට හිනාවෙන්න පුළුවන්. පැටියගෙ මුහුණ කටත් මගෙ වගේමයි.”

සඳුනි, අම්මාගේ කාමරයෙන් එළියට විත් පුතුගේ රාමු කරපු පින්තූරය දෙස දෑස් නොසොල්වා බලා උන්නා. ඒ මැදින් අමමගෙ කටහඬ නැවත ඇහෙන්නෙ පුතු ඇගේ තුරුලට වෙලා ඉන්න රූපයක් එක්ක.

“මට ඔහෙ නං ඉන්න ඕන් නෑ. අනික මේ ගෙවල් දොරවල් කවුද බලා කියාගන්නේ.... මං මළොත් මගේ අවසන් කටයුතු ටික දකින්න බලාගෙන ගොඩ දෙනෙක් මෙහෙ ඉන්නවා. ඔහෙදි එහෙම වුණොත් මගේ මිනියත් තනි වෙනවා. පස් ටිකක්වත් විසිකරන්න කවුද ඉන්නෙ. ඒකෙන් කාරි නෑ. මොනවද එනකොට ගේන්න ඕනේ? මං මතක ඇතිව ගණ දෙවි රූපෙයි බුදු රූපෙයි ගත්තා. කැවුම් කොකිස් ටිකකුත් හොඳට සීල් කරල පැක් කර ගත්තා. ඔහෙ ඇඹුල් කෙසෙල් නැතිව ඇති මයෙ හිතේ. අකුරු කියවන කොට ලස්සනට තියෙන්න ඕනේ, පොඩි එකාට ආස හිතෙන විදියට.”

“පලතුරු ගේන්න බැහැ අම්මේ. දඩ කන්න වෙයි.”

“මං පංචායුධයක් හදාගත්තා. ඒක මගේ අතින් ම පැටියාගේ කරට දාන්න ඕනේ.” අම්මාගේ බෑගෑපත් හඬ ඇයට නැවත ඇසේ.

“මෙහෙට මොකටද පංචායුධ සඳුනි, කාගෙන් ආරස්සා කරන්නද? ඔන්න මිසයිලයක් වගේ දෙයක් නම් කමක් නැහැ. ඔයාලගෙ අම්මට පිස්සුද මන්දා....”

“අනේ සංජීව ආවයින් පස්සෙ අම්මගේ හිත රිදෙන්න මොකුත් කියන්න එපා. ඔන්න ඔහෙ දාන්න දීලා හෙමින් සීරුවෙ ගියාට පස්සෙ ගලවල අරන් තියමු.”

අම්මට පුතාව දකින්න වෙනකොට පුතාට, අවුරුදු හතරක් වෙන්න ආසන්නයි. අම්ම කිව්වෙම, ඇගේ අතින් පුතාට අකුරු කියවන්න ඕනේ කියලමයි. එම අතීතය සමඟින් අද දිනේ පුතාට අකුරු කියවන මංගල්ලෙත්, ඒ මංගල්ලෙට මුල ඉඳන් ම ලක ලැහැස්ති වුණු අම්මාගේ කඩිසරකමත් මතක් වී ඇයගේ කඳුළුවැල් තවත් උණුසුම් වෙන්න පටන් ගත්තා.

අම්මා මෙහෙ එනකොට පුතාගේ වේලපත්කඩෙත් බලාගෙන, නැකතකුත් හදල තිබ්බා. අවශ්‍ය අඩුම කුඩුම, කැවුම්, කොකිස් ලංකාවෙන් ම හදාගෙන, කල් තබාගන්න විදියට අසුරගෙන, ලේබල් අතුරල, හරිම පිළිවෙලයි. ඒ එක්ක කිරි පැහැ බුදු රුවකුයි, දඹ රන් පැහැ ගණ දෙවි රූපෙකුයි අරන් ඇවිත් තිබ්බා. ඒ නැකැත් වෙලාව, මේ රටේ වෙලාවට හැරෙව්වාම අකුරු කියවන්න වෙන්නෙ රෑ හතට විතර. සංජීව ඒවටත් සමච්චලේට හිනාවුණේ “විකාර වැඩ,දෙයියො දන්න අකුරු” කියමින්.

“අනේ සංජීව අම්මගෙ හිත රිද්දන්න එපා. මේ ඔක්කොම කරන්නෙ අපේ දරුවා වෙනුවෙන්නේ.”

ඇය සංජීව ළග බැගෑපත් වුණා.

සාලෙ මැද සියල්ල ලක ලැහැස්ති කරලා, අම්මා බලන් ඉන්නෙ නැකැත් වෙලාව එනකන්. පුතාට අන්දවන ඇඳුම තේරුවෙත් අම්මමයි. සාලෙ පුරා කිරිබත්, කැවුම්, කොකිස් සුවඳ පිරිල ඉතිරිලා. ගණ දෙවි රුවටයි, බුදු රුවටයි මැදි වෙලා පොල්තෙල් පහනෙ ආලෝකය ගෙන එන්නෙ අමුතු ම සිරියාවක්. අම්මා බුදුන් වඳින රුව අසල, පහන් සිළ සැ‍ෙලන්නෙ ගාථා කියන තාලයට වගේ. ඒ සියල්ල අහවර වෙලා ඇය සිංහල අකුරු හෝඩියත් අතේ තියන්, නැකැත් වෙලාව එනකම් බලා ඉන්නේ, “මගේ මුනුපුරාට ගණ දෙවි නුවණ පහළ වේවා” කියන හැඟීමෙන් නේ දැ යි සඳුනිට සිතුණා. අම්මගෙ තුරුලට අරන් ඔඩොක්කුවෙ වාඩි කරගත් පුතාගේ හිසට, පොල්තෙල් පහනින් අතැඟිල්ලට ගත්ත තෙල් බින්දුව ඇතිල්ලූ ඇය, ස්නේහය පිරි වියපත් දෑසින්, පුංචි පුතුගෙ මුහුණ දිහා බලාගෙන හිටපු හැටි සඳුනිගේ ශෝකබරිත මුහුණ තව තවත් අඳුරු කළා.

“ඔන්න වෙලාව හරි දැන් කියන්න මගෙ රත්තරන් පැටියො. අයන්න... ආ... යන්න. ඇයන්න... කියන්න මගෙ පුතේ... කියන්න.” අම්ම පුතාට පිණ්සෙන්ඩු වෙන හැටි බලාගෙන හිටපු සඳුනිත් “කියන්න පුතේ කියන්න” කියල කෑ ගැහැව්වා. ඉංග්‍රීසියෙන් “පොඩ්ඩක් ඉන්න ආච්චි අම්මෙ” කිව්ව පුතා ඔඩොක්කුවෙන් පැන්න. කාමරේට දුවල ගිහිල්ල, ගෙනාවෙ අයි පෑඩ් එක. ඒක ආච්චි අම්මගෙ අතට දීල, තිරය මතට ඇඟිල්ල තියල මතුකර ගත්තෙ, නොයෙක් රූපවලින් හැඩවෙලා ඒ බී සී හැඩයට අකුරු හැදෙන, ඒ අකුරුවලින් වචන හැදිලා ඉංග්‍රීසි සින්දු කියන රූප පෙළක්.

“කියන්න ආච්චි අම්මෙ කියන්න... මගෙත් එක්ක ඒ බී සී සිංදු කියන්න... තාත්තා මට මේක ගෙනත් දුන්නෙ, සිංහලවලට ඉස්සෙල්ලා ඉංග්‍රීසි ඉගෙනගන්න කියල තාත්තා මට කිව්වා. සුද්දට සිංහල බෑ කිව්වා.”

පුතා, ආච්චි අම්මාට ඉංග්‍රීසි බසින් දෙන විධානය අසල, ඇය නිරුත්තර වෙලා. සඳුනිත් අසරණ වෙලා. සමච්චලයට කට කොනකින් යන්තම් සිනාසී කාමරයට රිංගා ගත් සංජීව දෙස සඳුනි කේන්තියෙන් බලා හිටියෙ කර කියා ගන්නට කිසිත් නොමැතිව.

“මට ඉංගිරිසි බැහැ මගෙ පුතේ. පුතාගෙ තාත්තා දැන් ඔය ඉංග්‍රීසිය දෙඩෙව්වට ඉගෙන ගත්තෙ සිංහලෙන්. කිව්වෙ සිංහල කවි, බැලුවෙ සිංහල පතපොත, නෑවෙ ගමේ ඇළෙන් දොළෙන්, කිරිබත් කැවුම් කාලා මුලින් ම සිංහල හෝඩිය කියවපු කෙනෙක්. දැන් ඉතින් කමක් නැහැ මගේ පුතේ, පුතා කිරිබත් කාලා ඕක සෙල්ලං කරන්න.”

අම්මාගේ පරාජිත කටහඬ සඳුනිගේ දෙසවන් තුළ, සුළි සුළඟක් වගේ දෝංකාර දුන්නා. පුතා ආච්චිගෙ මුහුණ දිහා බලාගෙන හිටියෙ ඇය කියන දේ තේරුම් ගන්න වගේ. සඳුනි කඳුළු පිරුණු දෑසින් හැඟීම්බර ව අම්ම දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ අම්මගෙ කාමරෙන් ඇහුණෙ, අම්ම ඉකි බිඳින හඬ. ඒ ස්වරය වරින් වර උස් පහත් වෙනකොට ඇගේ හිත, මව් ස්නේහය හා පවුල් ජීවිතයත් එක්ක එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්තා. ඇය කාමරයට යන්තම් එබිකම් කළේ දරාගන්න බැරි දුකකින්. අම්මගෙ කොට්ටයට යටවෙලා සිංහල අකුරු හෝඩි පොත තැලිලා පොඩිවෙලා ගිහිල්ල. ඇය නැවත සාලය දිහා බැලුවා. පුතා කැවුමක් කකා, අයි පෑඩයත් එක්ක ලොකු සටනක. ඒ අසල ඇති පහන් එළිය වේගයෙන් සැෙලන්නෙ නිවී යන්නට ආසන්න බව කියා පාමින්. දෑසින් ගිලිහුණු කඳුළු කැටවලට ගලායන්නට ඉඩදෙමින්, සඳුනි ඒ දෙස අසරණ ව බලාගෙන හිටියා.


Wmqgd .ekSu උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි weiqfrks
o