0 Views  
සත්‍යාවබෝධය
දඩයක්‌කරු දඩයම් කරනුයේ දේශපාලන පුත්‍රයා ලබාදුන් තුවක්‌කුවෙනි. දේශපාලන පුත්‍රයා යටි අරමුණු පෙරදැරිව සංවිධානය කරන ලද පිංකම් මාලාවේ විශේෂ අංගයක්‌ වූ කාලීන ධර්ම දේශනාව ඇසීමට එන ලෙසට දඩයක්‌කරුටද බලකෙරිණි. මක්‌නිසාද යත් දේශපාලන පුත්‍රයාට ඕනෑ වූයේ හැකි තරම් සෙනගක්‌ එකතුකරගෙන ධර්ම ශාලාවේ පෙරමුණේම සිටින්නටය. ඒ අනුව දඩයක්‌කරු ද විහාරස්‌ථානයට පැමිණියේය. දඩයක්‌කරු හිඳගෙන සිටියේ ධර්ම ශාලාවේ පිටුපසම වූ බිත්ති මුල්ලේය. ඔහු එම ස්‌ථානය කල් වේලා ඇතිව තෝරා ගත්තේ පැයක පමණ කාලයක්‌ නිදාගැනීමේ අපේක්‍ෂාවෙනි. සිතාගත් පරිදිම ධර්ම දේශනය පටන් ගැනීමට පෙරදීම ඔහුට නින්ද ගියේය.

කාලීන ධර්ම දේශනයන්ට උපන් හපන්කම් ඇති නායක හිමියෝ පංචනීවරණ ධර්මයන් සංකලණය කරගත් අපූරු ධර්ම දේශනයක්‌ කරගෙන ගියහ. දඩයක්‌කරුවා හැරෙන්නට අන් සියල්ලෝම දොහොත් මුදුනේ තබාගෙනම දහම් රසය භුක්‌ති වින්දේ මීයට පිම්බා සේ නිසොල්මනේ සිටිමිනි. අවසානයේ හිමිපාණෝ මෙසේ වදාළ සේක.

"පින්වත්නි, මේ සියලු දෙයට මුල සිතයි. මේ සිත හරියටම කුළු හරකකු වගෙයි. එක තැනක එක අරමුණක රඳවා තබාගන්නට ඉතාම අපහසුයි. කුළු හරකා හීලෑකර ගැනීම යම් සේ අපහසු වේද සිත හීලෑ කර ගැනීමත් ඒ තරමටම වූ අපහසු කටයුත්තකි. එබැවින් මේ සිත නම් වූ කුළු හරකා හීලෑ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වීර්යය වඩන්න."

දඩයක්‌කරු නින්දෙන් පිබිදුනේ මේ මොහොතේය. මුළු ධර්ම දේශනාවෙන්ම ඔහුගේ සවනට වැටුණේ "කුළුහරකා හීලෑ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වීර්යය වඩන්න" යන්න පමණකි.

දඩයක්‌කරු ඉද්ද ගැසුවා සේ නැඟී සිටියේ සරම කැසපොට ගසාගනිමිනි. ඔහු හිමියන් දෙස බැලුවේ ආඩම්බරකාරයකු විලසිනි. අනතුරුව ඔච්චම් සිනහවක්‌ මුවගට නඟාගත් ඔහු ධර්ම දේශනයට සවන් දෙමින් සිටි උදවිය දෙස නෙත් කරකවමින් කිහිප විටක්‌ බැලුවේය. "තොපි එකෙකුටවත් කරන්න බැරි දේ මම කරල පෙන්වන්නම් කො. කාලකන්නි යක්‌කු" ඒ බැල්මෙහි එවැන්නක්‌ රැඳී තිබිණි. හමුදා සෙන්පතියකු සේ පපුව කෙලින් කරගත් ඔහු බර අඩි තබමින් ඉදිරියට පැමිණ පිටවීමේ දොරටුව ළඟ නතර වී ආපසු පෙර පරිදිම සියලු දෙනා දෙස උඩඟු බැල්මක්‌ හෙලා නොපෙනී ගියේය.

කෙලින්ම සිය නිවසට ගිය ඔහු දඩයමට අවශ්‍ය කරන ආම්පන්නත්, එයට අමතරව රැහැන් පොටවල් කිහිපයකුත් කර තබාගෙන වන සතුන්ගෙන් පිරී ගිය වන ලැහැබට රිංගා ගත්තේය.

හැම සතකුම යන එන මංසල ඇති ඉසව් හොඳ හැටි දන්නා දඩයක්‌කරු කුළු හරකුන් යන එන මංසලක්‌ සොයා ගත්තේය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මිස බිමට නොබසමියි ස්‌ථිරසාර දැඩි අධිෂ්ඨානයකට එළඹුණ ඔහු අසල තිබූ රූස්‌ස ගසකට නැග ගත්තේ ඉතාම අපහසුවෙනි.

පළමු දිනය නිකම්ම නිකන් ගෙවී ගියේය. දෙවැනි දිනයේ කළු වළාකුලක්‌ සේ ඈතින් ඇදී එන කුළු හරක්‌ රංචුව ඔහුගේ නෙත ගැටුණි. ඔහු බලවත් සේ චිත්ත ප්‍රීතියට පත් විය. "හීලෑ කරගන්න එකේ නායක කුළු හරකමයි හීලෑ කර ගන්න ඕන. එතකොට මේ මස්‌ වැද්දගෙ කෙරුවාව අරුන්ට හොඳට තේරේවි" ඔහු සිතුවේය. කුළු හරක්‌ රංචුව ගස යටින් යන විට රැහැන් පොටවල් තුනකින් සමන්විත වූ මද්ද එක විටම නායක කුළු හරකාගේ හිසට ඇතුල් කර ගෙල සිරකර දැම්මේය. අනපේක්‍ෂිත ලෙස උගුලට අසුවූ කුළු හරකා දඟලන්නට විය. ගස ඒ මේ අතට ඇඹරී ගියේය. කුළු හරකකුට තබා අලියකුටවත් මේ රැහැන් පොටවල් කඩා දැමිය නොහැකි බව දඩයක්‌කරු දැන සිටියේය. දඟලමින් සිටි කුළු හරකාගේ ඉස්‌සරහ ගාතයකට ද පස්‌සා ගාතයකට ද තවත් මන්ද දෙකක්‌ ඇතුල් කිරීමට දඩයක්‌කරු සමත් විය. දැන් කුළු හරකා සිරවී හමාරය. ධර්ම දේශනය කළ හිමියන් ගැන ද, ධර්ම දේශනය ඇසීමට පැමිණ සිටි බියගුළු උපාසකවරු ගැන ද මොහොතක්‌ කල්පනා කළ දඩයක්‌කරු ගසෙන් බැස ගත්තේ ගසට ලංවී තිබුණ වෙනත් ගසක අත්තක්‌ මාර්ගයෙනි.

මෙසේ කුළු හරකා උගුලට අසුකර කොටුකර දැමූ දඩයක්‌කරු ඉන්පසු දිනක්‌ නෑර පන්සල පැත්තේ රවුමක්‌ ගසා ඒමට අමතක නොකළේය. එහෙත් ඔහු නායක හිමියන් සමඟ කතාකරන්නේ වත් විහාරයට ඇතුළු වන්නේ වත් නැත. එමෙන්ම ගමේ ගොඩේ සෙනග ගැවසෙන තැන්වල ඇවිදීමට ද රැඳීමට ද පටන් ගත්තේය. ඔහුගේ මුහුණෙහි වෙනදා නැති ශාන්ත සුන්දර බවක්‌ පළවී තිබිණි. ඔහු දැඩි කල්පනාවක පසුවන බවත් පෙනෙන්නට තිබිණි. එහෙත් කිසිවකු සමඟ කයිවාරු ගසන්නට ගියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ තමා කිරීමට බලාපොරොත්තු වන සද් ක්‍රියාව ප්‍රාතිහාර්යයක්‌ සේ එකවිටම හැම දෙනාම විශ්මයට පත් වන සේ කර පෙන්වීමටය.

හරියටම දින දහයකට පසු දඩයක්‌කරු කැලෑවට රිංගා ගත්තේ කොටුකර ඇති කුළු හරකාගේ තත්ත්වය නිරීක්‍ෂණය කිරීමටය. කුළු හරකා ගස මුල වැටී සිටින අයුරු ඔහු දුර තියාම දුටුවේය. "ඌ මැරිලවත්ද" දඩයක්‌කරුගේ පපුව හෝස්‌ ගා ගියේය. දින දහයක්‌ම එක දිගට නොකා නොබී සිටි ඌ මහපොළවේ පස්‌ ද කා තිබිණි. බියෙන්ද සැකයෙන්ද කුළු හරකාගේ පිටුපස පැත්තෙන් කිට්‌ටු වූ දඩයක්‌කරු උගේ ඇඟට අත තැබුවේය. ඒ ක්‌ෂණයෙන්ම ඌ දුන් වලිගා පහරින් දඩයක්‌කරු නොවැටී බේරුණේ අනූ නමයෙනි. "වලිග පහර වැදුනත් කමක්‌ නැහැ. මූ මැරිල නැහැනෙ" ඔහු සිතුවේය. අනතුරුව දඩයක්‌කරු උගේ ගාත් බැඳ තිබූ රැහැන් පොටවල් ලිහා දැමුවේය. ඊටපසු දඬු මගුරක්‌ ගෙන ඌට පහර කිහිපයක්‌ ගැසුවේය. එහෙත් කුළු හරකා නැගිට්‌ටේ නැත. අනතුරුව විශාල ගලක්‌ සොයාගත් ඔහු එය කුළු හරකාගේ පිට මැදට අතහැරියේය. සිහින් කෙඳිරියක්‌ පිට කළ කුළු හරකා ඉතා අමාරුවෙන් නැගී සිටියේය.

දඩයක්‌කරුගේ සතුට උතුරා යන්න විය. ඔහුට මතක්‌ වන්නේම චතුරාර්ය සත්‍යයයි. පන්සලට ගියේ එක දවසයි. බණ ඇහුවෙ එක දවසයි. ඒත් වචන කිහිපයක්‌ විතරයි. මෙය නම් පෙර පිනකි. හැමදාම පන්සල් යන එවුන් සිල් ගන්න එවුන්, භාවනා කරන එවුන්, කෝ උන්ට පුළුවන් වුණාද මේ වගේ වැඩක්‌ කරන්න. අඩු ගණනෙ ලොකු හාමුදුරුවන්ටවත් "මේ වැඩේ දැක්‌කම ඔය ඔක්‌කොම දෙනා විලිලඡ්ජාවෙ හැංගේවි" දඩයක්‌කරුවා කුළු හරකා දෙස බලාගෙන සිතුවේය.

කෑමක්‌ බීමක්‌ නොමැතිවීමෙන්ද, දඩයක්‌කරුගේ දඬු මුගුරු පහරවලට ලක්‌වීමෙන්ද කුළු හරකා සිටියේ දැඩි අපහසුවෙනි. දඩයක්‌කරුට කුළු හරකා පන්සලට රැගෙන යැමට දින එකහමාරක්‌ම ගතවිය. මෙසේ

රැගෙන ආ කුළු හරකා පන්සල් භූමියේ තිබූ තැඹිලි ගසක ගැටගැසූ දඩයක්‌කරු සංඝාවාසයට ගියේ තමන් කරන ලද හපන්කම නායක හිමියන්ට සැළ කිරීමටය.

නායක හිමියන් සිය කුටියේ සැතපී සිටින බව ඇබිත්ත කොළුවාගෙන් අසා දැනගත් දඩයක්‌කරු එකී කුටියේ දොරට නොනවත්වා ගසන්නට විය. නින්දෙන් පිබිදුන උන්වහන්සේ දොර ඇරගෙන එළියට වැඩියහ. දඩයක්‌කරුගේ ස්‌වභාවය දුටු හිමියන් මදක්‌ පසුපසට ගියේය. දඩයක්‌කරු එදා පන්සලේ දී ගසන ලද කැසපටය එසේම තිබිණි.

"ඇයි මොකද කලබලයෙන් වගේ" හිමියන් දඩයක්‌කරුගෙන් විමසීය.

"ඔබ වහන්සේ අපිට අරක කරන්න, මේක කරන්න කිය කිය බණ කියනව. ඒ වුණාට ඔබ වහන්සේ කරන්නෙ මොකක්‌ද හොඳට කාල බීල නිදාගන්නව. යමු පොඩ්ඩක්‌ එළියට. මම කරපු වැඩේ පෙන්වන්න." දඩයක්‌කරු ඉස්‌සර විය.

"අර පේනව නේද හොඳට බලන්න" දඩයක්‌කරු තැඹිලි ගසේ බැඳ සිටි කුළු හරකා පෙන්වීය.

"මට හිතා ගන්න බැහැ. මොකද මේ කුළු හරකෙක්‌ අල්ලගෙන ඇවිල්ල තියෙන්නෙ කියල" හිමියන් දඩයක්‌කරු දෙස බලාගෙන කීවේය.

"අනේ අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඒකත් අමතකවෙලා තියන හැටි. ඇයි ඔබ වහන්සෙ එදා කිව්වෙ කුළු හරක හීල කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නයි කියල. දැන් හරිනෙ හාමුදුරුවනේ. මම කුළු හරකත් හීලෑ කළා. චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගත්ත. කියන්න හාමුදුරුවනේ දැන් ඒ ඔක්‌කොම හරිද කියල" දඩයක්‌කරු හිමියන්ගේ මුහුණ දෙසම බලාගෙන සිටියේය.

හිමියන් මොහොතක්‌ කල්පනා කළේය. එදා ධර්ම ශාලාවේ පසුපසම වූ බිත්ති මුල්ලේ වාඩිවී නින්දේ පසුවූ දඩයක්‌කරු ගැන හිමියන්ට මතක්‌ විය. ධර්ම දේශනය නතර කරන්නට පෙරදීම ඔහු ආඩම්බරයෙන් ධර්ම ශාලාවෙන් පිට වී ගිය අයුරු ද හිමියන්ට මතක්‌ විය. සමස්‌ත ධර්ම දේශනයම නොඅසා අවසාන වචන කිහිපය පමණක්‌ එනම් "කුළු හරකා හීලෑ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වීර්යය වඩන්න" යන කොටස පමණක්‌ අසා දඩයක්‌කරු කටයුතු කර ඇති බව හිමියන් අවබෝධ කරගත්තේය. හිමියන්ගේ මුහුණට පැමිණියේ මද සිනහවකි.

හිමියන් කරුණු කාරණා පැහැදිලි කර දීමට සැරසුණා පමණි. කුළු හරකා හොඳටම හීලෑ වී ඇති බව හිමියන්ට පෙන්වා දිය යුතු යෑයි දඩයක්‌කරු සිතා ගත්තේය. දඩයක්‌කරු කුළු හරකාගේ අසලට ගොස්‌ උගේ හිස අතගාන්නට සැරසුණා පමණි. හාමතින් වියරු වැටී සිටි කුළු හරකා ශරීරයේ සියලුම ශක්‌තිය යොදා නැගිට ගත්තේ දඩයක්‌කරුගේ උරකුහරය ද උදර කුහරය ද තම අං දෙක මතට ගනිමිනි.

කුළු හරකාගේ අං දෙක මත රැඳී සිටි දඩයක්‌කරු වේදනාවෙන් ඇඹරෙමින් හිමියන් දෙස බලා මොන මොනවාදොa කීවේය. එය හිමියන්ට නොඇසුණේය. එහෙත් ඔහු කීවේ "හාමුදුරුවනේ මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තු කෙනෙක්‌ නේද" යන්නයි. මොහොතක්‌ කුළු හරකාගේ අං දෙක මත රැඳී සිටි දඩයක්‌කරු හිමියන් දෙස බලාගෙනම දෙනෙත් පියා ගත්තේය.


Wmqgd .ekSu උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි weiqfrks
o