0 Views  
සැරිසර වලප
ගුවන් පථය දිගේ සෙමෙන් ඇදී ගිය ගුවන් යානය එකවිටම එසවී අහසට නැ‍ංගේ රාජාලියෙකු ලෙසිනි. ඉන් අනතුරුව නිදැල්ලේ පාවී ගිය යානයේ වීදුරු කවුළු තුළින් දිස්වුණු වලාකුළු ඇතිරිල්ල උදෑසන හිරු එළිය වැටී දිස්න නඟන්නට විය.

එකම වලා තලාවක් බඳු එම වලා ඇතිරිල්ල දෙස බැලූ ළහිරු තමා අසල සිටි මව දෙස බලා මෙසේ කීවේය.

“අම්මේ අපි අහසේ පියාඹනවා!”

සමදරා ඔහු දෙස බැලුවා මිස කිසිවක් නොකීවාය. ඇය කිසියම් කල්පනාවක යෙදී සිටියාය. ඇය සිටියේ මේ ගමනට තම පියා එක්කර ගැනීමට නොහැකි වීම ගැන තැවුල් සිතකිනි. ගමන ගැන කීවද එයට සහභාගි වන්නැයි ඕ ඔහුට ආරාධනා කළේ නැත. ඒ අමතක වී‍මක්ද වෙනත් හේතුවක් ද යන්න ඇයට දැන් මතක නැත. ළහිරු සිටියේ යානයේ කවුළුවක් අසලය. ඔහු දුටුවේ ගුවන් යානය අහසේ එකම තැන රැඳී සිටින්නාක් මෙනි.

සමදරා දැන් මේ යමින් සිටින්නේ කලක සිට පෙරුම් පුරමින් සිටි ගමනකය. විදේශ සංචාරයක් සඳහා දැඩි කැමැත්තකින් සිටි සමදරා තම සිතෙහි වූ ආශාව විටින් විට එල්ල වූ විවිධ බාධා නිසා යටපත් කර ගෙන සිටියාය. විවාහයෙන් පසු යෑමට සිතා සිටියද රැකියාවෙන් නිවාඩු ගැනීමේ අපහසුතාව නිසා මුල්වරට එය වැළකී ගිය අතර ඉන්පසු ළහිරුගේ උපත නිසා දෙවැනි වර ඇන හිටියේය. අනතුරුව ළහිරු වැඩෙන තුරු ඉවසා සිටීමට ඇයට සිදුවිය.

‍ඔවුන් සිටි අසුන් පේළියේ කෙළවර අසුනේ සිටි අයෙක් හදිසියේම තදින් කැස්සේය. ඔහු මහලු වියේ සිටියෙකි. වහා එතැනට පැමිණි ගුවන් සේවිකාවක් ඔහුට වතුර වීදුරුවක් දෙමින් ඔහු අස්වසන්නට තැත් කළාය.

ළහිරු හිස හරවා ඒ දෙස බැලීය. මහල්ලා ගුවන් සේවිකාව දෙස බලා දුවට බොහොම ස්තුතියි කියනු ළහිරුට ඇසිණ. හරියට අපේ සීයා වගෙයි. සීයාත් මේ ගමනට ආවා නම් හොඳයි යනුවෙන් ළහිරුට සිතිණ. සීයා මේ ගමන එන්න ආශාවෙන් ඉන්න ඇති යි ඔහු සිතුවේය. එහෙත් ඒ බව මවට නොකියා ඔහු නිහඬව සිටියේය.

ගුවන් සේවිකාව ඔහු පසුකර යන ගමන් ඔහු දෙස බැලුවාය.

“බබාට මොනවද ඕනෑ. ටොෆියක් දෙන්නද? නැත්නම් කිරි තේ එකක්?”

“එපා” ළහිරු හිස වැනීය.

ප්‍රථමයෙන් බැංකොක් ගුවන් තොටුපළින් බැස පැයක පමණ කාලයක් ඊළඟ ගුවන් යානය එන තෙක් රැඳී සිටින්නට ඔවුන්ට සිදුවිය. ළහිරු පියා සමඟ එහි තීරුබදු රහිත වෙළෙඳ කුටි නැරඹීමට ගියේය. ඒවා විවිධ අරුමෝසම් බඩුවලින් පිරී තිබුණු නමුත් ඒ කිසිවක් ‍ඔහුගේ සිත් ගත්තේ නැත. ඔහු සිතමින් සිටියේ ඔහුගේ සීයා මේ වෙලාවේ මොනවා කරනවාදැයි යන්නය.

අනතුරුව ඔවුන් වෙනත් ගුවන් යානයක නැගී මියන්මාරයේ රැන්ගුන් ගුවන් තොටුපොළට පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා පිටවීමේ පර්යන්තයේ නවතා තිබූ විශාල දැකුම්කලු බස් රථයේ දොරටුව අසල සිටි තරුණ මාර්ගොපදේශිකාව දෑත් එකතු කොට ආචාර කරමින් පියකරු සිනහවකින් යුතුව ඔවුන්ට රථයට නැගීමට ආධාර කළාය.

ඔවුහු නවාතැන් ගන්නා අවන්හල තරමක් පටු වීදියක් මධ්‍යයේ පිහිටා තිබිණ. ඒ අවට වූයේ කලබල සහිත වාතාවරණයකි. සුදු පැහැති සම සහිත මිනිස්සු නොතේරෙන භාෂාවක් කතා කරමින් එහේ මෙහේ ඇවිද ගියහ. ඔවුන්ට ලැබුණේ අවන්හලේ ඉහළ මාලයේ කාමරයකි. විශාල ඇඳන් දෙකක් ද රූපවාහිනියක් හා ඇඳුම් තැබීමට අල්මාරියක් ද සහිත එම කාමරය ඉතා අලංකාර ලෙස පිළියෙල කොට තිබිණ.

ඔවුන් ස්වේදගෝන් චෛත්‍යය නැරඹීමට ගියේ හිරු බැස යාමට ආසන්නව තිබියදීය. අලංකාර ගොඩනැඟිලි රාශියකට මැදිව තිබූ සීනුවක හැඩයෙන් ඉදි කර තිබූ චෛත්‍යය සැඳෑ හිරු රැස් වැදී රනින් කළාක් මෙන් බැබළෙමින් තිබිණ. සැදැහැති පිරිස් මල් හා සුවඳ දුම් රැගෙන දැඩි භක්තියෙන් යුතුව චෛත්‍යය වටා පැදකුණු කරමින් සිටියහ. ළහිරු ද මව හා පියාට එක්ව ඔවුන් අනුගමනය කළේය.

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ ජාතික කොඩියක් ඉහළට ඔසවා ගත් මාර්ගෝපදේශිකාව ඔවුන් හා යමින් චෛත්‍යය පිළිබඳ ඉතිහාසය ඔවුන්ට විස්තර කළාය. චතුර ලෙස මියන්මාර් බස මුසු ඉංග්‍රීසි බසින් කතා කළ ඇයගේ මුහුණෙහි මඳ සිනාවක් විය. සුදු සමක් සහිත පැහැපත් සිරුරක් ඇති ඇය ඉතා ප්‍රසන්න හා කඩිසර යුවතියක් වූවාය.

සමදරා ළහිරු සමඟ පිරිසෙන් මඳක් ඈත්ව චෛත්‍යය වටා ඇති පවුර අසලට වී සිටියාය. පියා පිරිස හා එක්ව ගියේය. සමදරා සිටි තැනට මඳක් දුරින් තද දුඹුරු පැහැති සිවුරක් වැනි ඇඳුමක් හා උරහිස වටා දමන ලද කහ පැහැති සළුවක් සහිත මහලු මිනිසෙක් වාඩිවී සිටියේය. ඔහු ඉදිරියේ එළන ලද පත්කඩයේ කාසි හා මුදල් නෝට්ටු කීපයක් විය.

සමදරා ඔහු ඉදිරියෙන් ගමන් කරත්ම මහලු මිනිසා කිසිවක් පවසනු ඇයට ඇසිණ. ඇය හිස හරවා බැලුවාය.

“මැඩම් ඔබ මොන රටෙන්ද?”

“අපි ශ්‍රී ලංකාවෙන්. ඔබ අගේට ඉංග්‍රීසි කතා කරනවා.” සමදරා මඳක් නැවතී ඔහු දෙස බලා කීවාය.

“ඔබ මෙතැන භාවනා කරනවාද?”

“ඔබට දෙවි පිහිටයි දුව” මහල්ලා එයට පිළිතුරු වශයෙන් කීවේ එපමණය.

“අම්මේ ඒ සීයාට කාත් කවුරුත් නැද්ද?”

සමදරා කිසිවක් නොකියා සිතුවිල්ලේ ගමන් කළාය. ඇයට එවේලේ තම පියා සිහි වූ බැවිනි. පියා මේ ගමනට එක්කර නොගැනීමෙන් තමා කරන ලද්දේ වරදක් යයි ඇයට සිතිණ.

ඊළඟ දිනයේ ඔවුහු රත්තරන් කන්ද නැරඹීමට ගියහ. මුලින්ම ට්‍රක් රථයකට නැඟී කඳුවැටිය අයිනෙන් වැටී ඇති පාර දිගේ ඉහළට ගිය ගමනින් ළහිරුගේ සිත ත්‍රාසයෙන් ඇලළී ගියේය. උස් තුරු මුදුන් හා පඳුරු අතරින් කඳුවැටියේ පහත නිම්නයේ රැන්ගුන් නගරය අපූරුවට දිස්විය. ට්‍රක්රථයෙන් බැස පා ගමනින් කඳු මුදුන දක්වා ගිය ගමන අතිශයින් සුන්දර විය. මඟ දෙපස වූ විසිතුරු ඇඳුම් ඇඳගත් ගැහැනු හා පිරිමින් වෙළෙඳුන් ගෙන් යුතු එළිමහන් කඩ ලෑලි මල් වර්ග රස කැවිලි බැදපු මාළු හා විසිතුරු භාණ්ඩවලින් පිරී තිබිණ.

එක් තැනක හිස් වැසුම් විකුණන වෙළෙඳසැලක් විය. ළහිරු වහා එතැනට ගොස් විශාල වාටි සහිත පන්කොළ හිස් වැස්මක් තෝරා ගත්තේය.

“බබාට ඕක ලොකු වැඩියි” වෙළෙන්දා සිනාසෙමින් කීවේය.

“මේක මට නෙවි. අපේ සීයාට. එයා වත්තේ වැඩ කරන කොට මේක එයාට ඕන වේවි.” ළහිරු පවසනු ඇසූ සමදරා එම හිස් වැස්ම ළහිරුට රැගෙන දුන්නාය.

කඳු මුදුනේදී ඔවුන් ළඟා වූයේ පුළුල් ලෙස විහිදී ගිය මනස්කාන්ත භූමියකටය. එහි අලංකාර ගොඩනැඟිලි කීපයක් වූ අතර රත්තරන් කන්ද වෙත පඩි පෙළකින් බැස යා යුතු විය. පර්වතය මුදුනේ ප්‍රපාතයට වැටෙන්නට ආසන්නව තිබෙන්නාක් මෙන් කුඩා රන්වන් පැහැති පර්වතයක් විය. එය මුදුනේ ඉතා කුඩා ප්‍රමාණයේ රන් දාගැබක් විය. එය පහළට පෙරළි යා දෝ හෝ යි බියෙන් මෙන් ළහිරු ඒ දෙස බලා සිටියේය. වන්දනාකාරයෝ එය අසලට ගොස් තමා මිලදී ගෙනා රන්පත්, ප්‍රාර්ථනා සිත් ඇතිව එහි අලවමින් සිටියහ. ළහිරු ද පියා සමඟ එහි ගොස් රන්පත් පර්වතයේ ඇලවීය.

ගැහැනුන්ට එහි ඇතුළු වීම තහනම් විය. සමදරා ආරාම භූමියේ කුඩා තාප්පය අසලට වී අවට බලමින් සිටියාය. ඒ අසලින් යන්නට ගිය මාර්ගෝපදේශිකාව ඇය දැක එතනට ආවේ එවිටය.

“මම දැක්කා මැඩම් මෙතන ඉන්නවා” ඇය සුපුරුදු සිනාවක් ඇතිව කීවාය.

“මෙතැන හරිම ලස්සන තැනක් සිතට දැෙනන්නෙ හරිම සැනසිල්ලක්. ඉතින් කොහොමද මට කියන්න ඔයාගේ නම මොකක්ද කියල.”

“මම, යී මොන් තාන්ට්, මට යී මොන් කියන්න”

“ඔයා හරි අගේට අපට විස්තර කියා දෙනවා අහන් ඉන්න ආසයි. යී මොන්”

“ස්තූතියි මැඩම් මට ගණිත උපාධියක් තියෙනවා. මම ඉස්සර ගුරුවරියක් විදියට වැඩ කළා. එයින් ආදායම මදි. මේකට සම්බන්ධ වුෙණ් ඒකයි.”

“මේ රස්සාව හොඳයි වගේ”

“පේන්නෙ නම් එහෙම තමයි මැඩම්. මේකට ලොකු කැපවීමක් තියෙන්න ඕන. මම ඉන්නෙ රැන්ගුන්වල ඉඳල ඈත ගමක. උදේ රැයින් නැගිටලා උයලා පිහලා එන්න ඕන. යන්න එන්න හරි දුෂ්කරයි. අපේ ගෙදර යන්න ගඟකින් එෙතර වෙලා යන්න වෙනව. බස් එකෙන් තොටුපළ ළඟට ගියාම ඒ අයියා මම එනකම් බෝට්ටුව නතර කර ගෙන ඉන්නව.

“මගේ අම්ම මං කුඩා කාලෙම මියැදිල. අපේ තාත්තට දැන් වයසයි. අම්මගෙ මරණයෙන් පස්සෙ එයා තමයි මගේ සේරම කටයුතු කරමින් මාව ලොකු මහත් කළේ. මට ඉහළට ඉගැන්නුවෙ තාත්ත. එයා පොඩි වෙළෙඳාමක් කළේ. ඒකෙන් තමයි ඒ සේරම කළේ. මම දැන ගත්ත එයා ආයි කසාද බැන්දේ නැත්තෙ මට වෙනස් කමක් වේය කියල. දැන් මම තමයි එයාව බලා ගන්නෙ. මම මැරෙන තුරු එයාව බලා ගන්නව. එයා එහෙ මෙහෙ යනව. මට බයයි එයාට අනතුරක් වේය කියල.” ඇය ඉංග්‍රීසි බසින් කියා ගෙන සිටියාය.

ගමනේ සංවිධායක තැන ඇයට කතා කළේය.

“මම යනව මැඩම්. රැන්ගුන් ගියාම අපේ ගෙදර ගිහින් එමු මැඩම්” ඇය දිව යන ගමන් කීවාය.

සමදරාගේ සිත තාන්තුවාවෙන් බර විය. වෙර වෑයමින් ජීවිතය ගොඩ නගා ගන්නා ඇය තම පියා ගැන මහ ඉහළින් සලකයි. පියා අත් නොහැර සිටියි. ඒ අතින් තමා වැටෙන්නේ කොතරම් පහත් තැනකටද.

අනතුරුව ඔවුහු ක්ලව් නගරය බලා ගියහ. ලංකාවේ සීතල කඳුකරය සිහියට නංවන ක්ලව් නගරයට යන මාවත දිගේ ඔවුන් ගමන් කළ රථය ඇදුණේ සීතල පවනින් ඇඟ වෙව්ලවා ලමිනි. ඈතට දිස්වන සුන්දර කඳු මුදුන් සුදු වලා සිප ගනිමින් නිසලව සිටිනු ළහිරු ආශාවෙන් බලා සිටියේය.

ක්ලව් නගරයට කිලෝ මීටර් කීපයක් ඈතින් පිහිටි ඉන් ලේක් විලෙහි බෝට්ටු සවාරියකට ගියේ පසුදා උදෑසනය. ජැටියේ නවත්වා තිබූ එක් බෝට්ටුවකට නැග ගත් ඔවුහු බඳපටි තදකර ගත්හ. අනතුරුව බෝට්ටුව විදුලි වේගයෙන් සුළං කපාගෙන ඉමක් නොපෙනෙන විල ඉහත්තාවට දිව යන්න විය.

ඉහළින් සුදු කොක්කු පියාඹා ගිය අතර විල් ලිහිණි රෑන් වශයෙන් ඉගිළ ගියෝය. බෝට්ටු එකිනෙක නොගැටී සීරුමාරුවෙන් ගිය හැටි ඇඟ කිලිපොළවන සුලු ය. අහසත් විලෙහි ජල තලයත් එක් වූ බවක් පෙනුණි. අහස් තලය මුණින් නැවූ දැවැන්ත නෑඹිලියක් ලෙසින් විල වසා සිටි අයුරු බිය ජනක විය.

“අම්මේ මට බයයි. අපි විලට වැටේවිද?”

“බය නැතුව මාව අල්ලා ගෙන ඉන්න”

බෝට්ටුව නැවැත්වූ එක් නැවතුම් පළකදී බෝට්ටුවෙන් බැසීමට ගිය මහලු අයෙක් පය පැකිළී ජලයට වැටෙන්නට ගියේය. අවට සිටි අය කෑගැසූහ. ළහිරු බිය පත්ව බලා සිටියේය.

බෝට්ටු කරුවෙක් වහා පැන මහල්ලා අල්ලා ගත්තේය. ඉන් විසිවුණු ජලයෙන් මහල්ලා තෙමී ගියේය. යී මොන් වහා දිව ගොස් තුවායකින් ඔහු පිස දැමුවාය.

ළහිරු පිරිස අතරින් රිංගා ගොස් මහල්ලාට ළං වී “සීයේ ඔයාට බය හිතුණාදැයි” ඇසීය. එතැන සිටි අය මඳ සිනා පහළ කළහ.

ආපසු ක්ලව් නගරයේ නවාතැන වෙත ගිය ඔවුහු එදින රාත්‍රිය එහි ගත කළහ. උදෑසන වන විට සීතල පහව ගොස් තිබිණ. නගරයේ සිට බලන විට ඈත කඳු පන්තිය දිස් වූයේ සිතුවමක් ලෙසිනි. ළමයි සීතල නොතකා සුදු හා නිල් පැහැති ඇඳුමින් සැරසී පාසල් යනු පෙනිණ. මුහුණ පුරා වැවුණු රැවුලින් යුතු එක් පියෙක් තම දරුවන් පසුපස හා ඉදිරිපස රඳවා ගෙන බයිසිකලය පැද යන දෙස ළහිරු බලා සිටියේය.

“අම්මේ අර බලන්නකො හරියට අපේ සීයා වගෙයි. එයාත් අපිව පන්ති එක්කර ගෙන යන්නේ ඔහොම නේ. ළමයි කී දෙනෙක්ද”

බයිසිකලයේ ඉදිරිපස පිරිමි දරුවෙකු ද පසු පස අසුනේ පසුපසට මුහුණ ලා ගැහැනු ළමයි දෙදෙනෙකු ද වාඩි ගෙන සිටියහ. ඉන් එක දැරියක් ළහිරු දෙස බලා සිනාසුණාය.

සමදරාට අතීතය සිහිවිය. තමා පියා එකල තමාත් තම නැඟණියත් බයිසිකලයේ තබාගෙන පාසලට රැගෙන ගිය අයුරු ඇයට සිහිපත් විය. බයිසිකලයේ පසුපස වාඩි වී සිටි දැරියගේ මුහුණුවර දුටු සමදරා මවිතයට පත් වූවාය. ඒ තමාගේ මුහුණ නොවේද ඒ බයිසිකලයේ පිටුපස ඉඳගෙන යන්නේ තමාද?

ඔවුන් ආපසු රැන්ගුන් නගරයට ගිය පසු දැන ගැනීමට ලැබුණේ තම ගුවන් ගමන දිනකට කල් දමා ඇති බවය. එදින සන්ධ්‍යාවේ සමදරා නවාතැනේ පියගැට පෙළ මත ඉඳ අවට සිරි නරඹමින් සිටියාය. කලින් දා බයිසිකලයේ නැගී ගිය දැරිය ඇයට සිහිවිය. මවගේ අකල් මරණයෙන් පසු තමා ඇතුළු සියලු දරුවන් බලා කියා ගත්තේ තම පියා බව ඇයට සිහිපත් විය. ඒ සඳහා ඔහු දැරූ වෙහෙස මෙතෙකැයි කියා කිව නොහැකි විය. කවා පොවා පාසල් යවා ලොකු මහත් කළේ තම පියාය. තමා ලොකු ළමයකු වුණ දා තමා ළඟ සිටියේ තම පියාය. සරසවියට ගියදා තනිවට ගියේ තම පියාය. තමා විවාහ කර ගේ දොර සෑදීමට උදවු කළේ ද තම පියාය. තමා මේ ගමනට එන්නැයි ඔහුට කීවේ නැත. තමා මහ ගුණමකු එකියකැයි යන හැඟීමෙන් ඇය දැවී ගියාය. ඔහු නැතිව තමා මේ ගමන අවුදින් කෙබඳු සතුටක් ලබන්නදැයි ඇයට සිතුණි. ඒ සමඟ කිසිවෙකු තමාට කතා කළාක් මෙන් දැනී ඕ හැරී බැලුවාය. ඒ යී මොන්ය. ඇය සමඟ මහලු වියේ අයෙක් ද විය.

“මැඩම් මේ මගෙ තාත්තා. එයා රැන්ගුන් ඇවිත්.” යි මොන් සිනාසෙමින් කීවාය.

සමදරා මවිතයෙන් ඔහු දෙස බැලුවාය. තමා මින් පෙර ඔහු දැක ඇති බවක් ඇයට සිහිවිය. රත්රන් කන්ද භූමියේදී කහකඩක් පොරවා ගෙන සිටියේ ඔහු ය. එහෙත් අද දිගැති සර්වානි ඇඳුමක් ඇඳ රෙදි මල්ලක් කෙරෙහි එල්ලා ගෙන පිළිවෙළකට සිටියේය.

“අපි ආයෙත් හමු වුණා එහෙනම්” සමදරා කී‍වාය.

“ඔව් මැඩම් මම දැන හිටියේ නැහැ දුවගේ කණ්ඩායමේ මැඩම් ඉන්න බව. දවස් ගණනකින් දුව ගෙදර ආවේ නෑ. මම ඉතින් එයා බලන්න ආවා.”

ඔහු බොහෝ වේලාවක් කතා බස් කරමින් සිටියේය. තමා යී මොන් ලොකු මහත් කිරීමට ගත් වෙහෙස ගැනත් අගහිඟකම් තිබුණත් දුවට ඇති ආදරය හමුවේ එය දෙවැනි වූ බවත් ඔහු කියා සිටියේය. මෙහිදී ළහිරු එතනට පැමිණියෙන් යී මොන් ඔහු වෙත ගියාය.

“මට ඔබේ දුව කිව්ව ඔබේ නිවස තියෙන්නෙ ගඟින් එ‍ෙතර කියල. මට දුවකතා කළා ඔබේ නිවසට යන්න. ඒත් වෙලාව මදි වුණා.”

“කමක් නෑ මැඩම්. අපේ ගෙදරට යන පාර ටිකක් අමාරු තමයි. ඒත් මම කඩයට බඩු ගන්න සතියකට සැරයක් වගේ රැන්ගුන් එනවා. ඒක අපට ගානක් නෑ.”

“දුව ටිකක් අමාරු රස්සාවක් කරන්නේ. ඒත් එයා ඒකට කැමති බවක් පේන්නේ.”

“එයාට කියල හම්බ කර ගන්න මම කැමති නෑ. ඒත් එයා ගෙදර නිකං ඉන්නවාට වඩා ඒක හොඳයි.” මහල්ලා කීවේය. අනතුරුව ඔහු මෙසේ කීවේය. “මේ දරුවාගේ අම්මා අකාලයේ මිය ගියාට පස්සේ මම කොහොම හරි දරුවා හදාවඩා ගත්තා. එයා හදා ගන්න හුඟ දෙනෙක් මගෙන් ඉල්ලුවා. මම දුන්නේ නැහැ. අපි හුඟාක් දුක් වින්දා. එයා ගෑනු දරුවෙක්. මැඩම්ට තේරෙනවා නේ පිරිමියෙකුට ඒක අමාරු කාරියක් වුණා සමහර වෙලාවලට. මගේ නෑදෑයො බල කළා මට ආයිත් පෙළවහක් කර ගන්න කියල. දරුවාට වෙනස්කමක් වේය කියල මට ඒකට හිත් දුන්නෙ නැහැ.” කී මහල්ලා මඳ වේලාවක් නිහඬව සිටියේය. සමදරා දෑස පියාගෙන සියල්ල අසා ගෙන සිටියාය. “මට කියලා දැන් ලොකු දුවෙක් ඉන්නවා. දැන් එයා මාව බලා ගනීවි. මට ඒ හොඳටම ඇති”

මහල්ලා අවසානයට කී දෙය සමදරාට ඇස‍ුණේ යන්තමිනි. පියා මෙම ගමනට එක්කර ගෙන ඒමට අපොහොසත් වීමෙන් තමා කළේ බරපතළ සිත් රිදවීමකැයි ඇගෙ සති ශෝකයෙන් බරවිය. දින දෙකකට පසු ඔවුහු මෙරටට පැමිණි තම නිවස බලා ගියෝය. ඒ වන විට ළහිරුගේ සීයා දොරකොඩට වී පෙරමඟ බලමින් සිටියේය. සමදරා තම පියාට ගෙන ආ තෑගි බෝග ඔහුට දුන්නාය. “සීයේ ඔළුව පාත් කරන්න” ළහිරු කීවේය. ඔහු ළහිරුට කීකරු විය. ළහිරු තමා ගෙන ආ හිස්වැස්ම සීයාගේ හිසෙහි දැම්මේය. සමදරා ඒ දෙස නොබලා හිස නමා ගෙන ගෙතුළට ගමන් කළාය.


Wmqgd .ekSu උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි weiqfrks
o