0 Views  
කපුටු වත
හතර අතේ ඉරිතලා ගොස්‌ පැත්තකට ඇල ගසා ඇති අබල දුබල තාප්පය සිය නිජබිම කොට කපුටු බෝරුක විරාජමානව වැජඹෙයි.

මේ බෝරුක වාසස්‌ථානය කොටගත් ජීවිත කාලයේ සැදැ සමය ගෙවන කපුටු මහල්ලෙකි. හෙතෙම කෙලෙසකවත් මෙම බෝ රුක හැර දමා නොයයි. එයට බෙහෙවින් ඇඟෑලුම්කම් පායි. හේතුව මේ බෝ රුකේ හිමිකරුවා තමා වීමය. අතීතයේ යම් දිනෙක තමා විසින්ම හෙලන ලද වර්චස්‌ පිඩකින් මෙම බෝ රුක හටගත් බව කපුටු සීයා තම ළදරු, තරුණ කපුටු රැළ වෙත පවසනුයේ ආඩම්බරයෙනි. තවද කපුටු බෝ රුක්‌ නැතුවාම නොවේ. නමුදු ඒවා රෝපණය කළ වුන් මෙන්ම, හිමිකරුවන් ද නොමැත.

යුධ කාලයේ පටන් තමා සැරිසැරූ නගරබද ප්‍රදේශ ඇසුරු කොට ගත් කුදු මහත් රසබර අතීතයක්‌ කපුටු සීයා සතුය. ඔහු එම මාහැඟි තොරතුරු ළමා කපුටු ප්‍රජාව වෙත පවසනුයේ ඉමහත් ආඩම්බරයෙනි. බඩ කට පිරුණු කළ මේ රස බර කතා ඇසීමට කපුටු දරුවන්ගෙන් ඇතැමෙක්‌ මනාපය. ඔහු අනෙකුත් කපුටන් මෙන් නිකමකු නොවේ. බොහෝ ඇසුපිරූ තැන් ඇත්තෙකි. කපුටු ඥානයෙන් අගතැන්පත් වුවෙකි. දිගු කාල පරාසයක්‌ ගෙවා පැමිණි කපුටු ජීවිතයෙන් ලද රසවත් මතකයන් මෙන්ම ශෝක ජනක සිදුවීම්ද කපුටු මහල්ලාගේ චිත්ත සන්තානයේ ගොඩගැසී ඇත. හෙතෙම දුක සැප දෙක කෙරෙහි එතරම් නොසැලුනත් ඔහුගේ යට ගියාව නම් ශෝකාන්තයකි.

කපුටු සීයා උපතින්ම හැඩකාරයෙකි. අනෙකුත් කාකයන්ට වඩා සිය රූ සපුව කෙරෙහි විමසිලිමත්ය. එබැවින් කපුටියන්ගේ නෙත් හී සැරවලින් ගැලවෙනුයේද කපටි කමිනි. නමුත් හැමදාමත් තනිකඩව විසීමට දෛවය ඉඩ හරින්නේ නැත. ඒ හේතුව නිසාදොa හෙතෙම ගැටවර වියේදී රූමත් කපුටියකට පෙම් බැන්දේය.

ඇය පියඹා ගිය සෑම ඉසව්වක්‌ පුරාම ඇය පසු පස ලුහු බැන්දේය. ඇගේ ගතිගුණ හා කල් කිරියාව ගැන සොයා බැලුවේය.

අනෙක්‌ කපුටියන් මෙන් ඇය දකින දකින කපුටන්ගේ ඇසුරට ගියේ නැත. ලැඡ්ජා බය ඇතුව හැදුණු වැඩුණු ඇය තමාගේ පාඩුවේ කල් ගත කළාය. කුමන හෝ වසුරු ගොඩක්‌ දුටු කළ නිහඬව අභිරුචියකින් යුතුව ගිල දැම්මාය.

ඇගේ මේ සොඳුරු ගතිගුණ කපුටු යෞවනයා නිරීක්‍ෂණය කළේ ඇයට හොරාය. මෙවන් ගතිගුණ ඇති කඩවසම් කපුටියකට අකමැති වීමට ඔබට ඇති හේතුව කුමක්‌ද?

තෙමේ සුදුසු අවස්‌ථාවක්‌ බලා කපුටිය වෙත සිය අදහස ඉදිරිපත් කළේය. මතකයේ හැටියට ඒ කුණු මාළු ගොඩක්‌ අසලදීය. නිල මැසි සේනාවන්ගේ සුමිහිරි ගුමු ගුමු නාදය අතරින් කපුටු යෞවනයා ගෙනා යෝජනාව කපුටිය පිළිගත්තේ කොමළ සිනා පාමිනි.

එතැන් පටන් බොහෝ කලක්‌ ඔවුහු සතුටු සිතින් යුතුව එකට වාසය කළහ. පරපුරට හිතැති විශාල දරු පරපුරක්‌ දායාද කළෝය. කපුටා කේජු කන කතාව ගොතන ලද්දේ ඔවුන්ගේ දරුවන්ගෙන් කෙනෙකුටය.

නමුදු බලාපොරොත්තු විරහිතව මෙලොව හැර යැමට කපුටියට සිදු වූයේ කුණු ට්‍රැක්‌ටරයකට යට වීමෙනි. කුණු ට්‍රැක්‌ටරය බිමට බාන තුරු කපුටියට ඉස්‌පාසුවක්‌ නැති විය. ඉක්‌මන් කොට වීමෙන් ජීවිතය නිමාවිය.

ඇගේ මළගමට දස දහස්‌ ගණනින් කපුටු සේනාවක්‌ පැමිණියහ. කෑකෝ ගසමින් ශෝකය පළ කළහ. එම දසුන ඈතට දිස්‌ වූයේ අහස පුරා කළු වියනක්‌ එලුවාක්‌ මෙනි.

එතැන් පටන් කපුටා ගත කළේ තනිකඩ ජීවිතයකි. ඔහුගේ සැප දුක බැලීමට, තනිනොතනිය මැකීමට රූබර කපුටියන් නොයෙක්‌ වර උත්සාහ කළ ද කපුටු තෙමේ ඒ කතා මායිම් කළේ නැත.

බිරිඳට දැක්‌ වූ සෙනෙහසින් සිත පුරවාගෙන ඉදිරි ජීවිත කාලය ද තනිකඩව ගෙවීමට අදිටන් කළේය. කපුටු දනෝ ඔහු ගේ මේ උදාර ගුණය බෙහෙවින් අගය කළහ. එනිසාම අනුශාසක වරයකු ලෙස දිගටම තබා ගත්තේය. අසනීප වූ කල බඩ වැලක්‌, හෝ මීකුණක්‌ රැගෙන දුක්‌ සැප බැලීමට පැමිණියහ. තවත් එවැනි අනේක ඇප උපස්‌ථාන කටයුතු කළෝය.

රංචුවේ ප්‍රධාන කපුටු තෙමේ කපුටු සීයාගේ ඇසුර බෙහෙවින් ප්‍රිය කළ අයෙකි. එනිසාම කපුටු සීයාට රස මසවුලින් පිරි භෝජන සංග්‍රහයක්‌ පැවැත්වීමේ උත්සවයක්‌ සංවිධානය කළේය.

නගරය පුරා ඇති ආපන ශාලාවලින් ඉවත දමන කෑම වර්ග හා පන්සලේ තාප්පයෙන් පිටතට හලන දානය රැගෙන හෝජන සංග්‍රහය පැවැත්වීමට ලේසියෙන් පුළුවන.

පිළුණු ආහාර පාන වර්ග ඉස්‌සර තරම් දැන් නැතත් වටයක්‌ දෙකක්‌ පියෑඹූ පමණින් සොයාගැනීමට ද අමාරු නැත. ගස්‌ ලබු කෑලි, ඉදුනු කෙසෙල් ගෙඩි කැබලි, කොමඩු මද පන්සල් තාප්පයෙන් එපිට කුණු වෙමින් පවතී. වැඩි ආයාසයකින් තොරව ඒවා ලබාගත හැක. කඩ වීදියෙන් මාළු ඔළු කැබලි, මස්‌ අතුනු බහන් සමහර දාට ලැබෙයි. හොඳ සංග්‍රහයක්‌ සඳහා මීටත් වඩා තවත් වෙන කුමන බොජුන්ද?

ඉදිරියට පැමිණෙනුයේ උත්සව සමයයි. භෝජන සංග්‍රහය සඳහා වුවද, කෑම් බිම්වලින් අඩුවක්‌ නොවනු ඇත. නමුදු හතර වටින් ගිගුම් දෙන රතිඤ්ඤා හඩ නිසා කැළඹෙන කපුටු ප්‍රජාව එක්‌තැන් කිරීම තරමක්‌ අසීරුය. භෝජන සංග්‍රහය කඩිනමින් පැවැත්විය යුත්තේ එබැවිනි. ලාබාල කපුටු දරුවන්ට පිදිය යුත්තන් පිදීමේ මා හැඟි පණිවිඩය කඩිනමින් පෙන්වා දිය යුතුය.

එදින රැයේ කපුටු ප්‍රධානියා කණ්‌ඩායමේ ඉහළ පෙළේ නිල දරුවන් කිහිප පළක්‌ කැඳවා සංවිධාන කටයුතු කළ යුතු ආකාරය දැනුම් දුන්නේය.

එක කාක්‌ නාදයකින් දස දිසාවේම කපුටන් වහා රැස්‌ කළ යුතු හැකියාව ඇති හෙයින් උත්සවය හෙට උදේ වරුවේම පැවැත්විය යුතුය.

යහපත් දේවල් කල් දැමීම තේරුමක්‌ නැති වැඩක්‌. කපුටු නායකයා හුදෙක්‌ම කාක බෝරුක වෙත පියැඹුවේ මෙම අසිරිමත් භෝජන සංග්‍රහය හා උපහාර උළෙල ගැන කපුටු වැඩිහිටියා දැනුවත් කිරීමටය. මෙවන් සංග්‍රහ ගැන කපුටු සීයාගේ නම් එතරම් ප්‍රියතාවක්‌ නැත. නමුදු බාල පරපුරට යම් ආදර්ශයක්‌ ලැබෙනුයේ නම් ඊට අවනත වීමේ ඇති වරද කුමක්‌ද?

කපුටු සීයා සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේදී හමා ගිය මද සුළඟින් කාක බෝ රුකේ අතු පතර සෙමර සලන්නාක්‌ මෙන් ඔබ මොබ සෙළවිණි. ඉටු කර ගත යුතු තවත් කරුණු කාරනා කීපයක්‌ තිබූ බැවින් කපුටු නායකයා හිතවතාගෙන් සමුගෙන කුණු කන්ද දෙසට පියාඹා නොපෙනී ගියේය.

short1කපුටු ප්‍රජාව විසින් තමා පිදිය යුත්තෙකැයි සැලකීම ගැන අප්‍රමාණ සතුටක්‌ කපුටු සීයාගේ චිත්ත සන්තානයේ ඇති කළේය. මෙය මීට පෙර කාක්‌කකු විසින් කිසි දිනෙක ලබා නොමැති අත්දැකීමකි. මෙවන් අසිරිමත් මොහොතක මිය පරලොව සැපත් තම බිරිඳද සිටියා නම් කොපමණ සතුටට පත් වනු ඇතිද?

ඒ විතරක්‌ද, තම දරුවන් පමණක්‌ නොව දරු මුණුපුරන් පවා සතුටට පත්වනු නොඅනුමානය. හදිසියෙන් මෙන් ඉස්‌මතු වු තම දරු පරම්පරාව ගැන කපුටු මහල්ලා දිගටම කල්පනා කළේය.

තමා ගේ දරු මුණු පුරන් කවුරුන් දැයි හඳුනා ගැනීමට තරම් දැනුම් තේරුම් කමක්‌ දැන් කපුටු මහල්ලාට නැත. ඔවුන් සිය කූඩුව හැරපියා හිස හැරුණු අත පියාඹා ගොස්‌ බොහෝ කල්ය. කූඩුව අසල අත්තකට වී තමන් බැලීමට දරුවන් එන පෙරමග බිරිඳ බලාසිටි කාලයක්‌ විය. එහෙත් ගිය එකෙක්‌ නැවත ආවේ නැත.

ඇද හැලෙන වැස්‌ස පෙරට වඩා ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඊටම නොදෙවැනි අයුරින් හමායන සුළඟ ද ප්‍රචණ්‌ඩ ලෙස හැසිරෙයි. කාක බෝ රුකේ අතු රිකිලි කෑ මොර දෙන සැඩ සුළඟ හා පොර බදයි. කපුටු මහල්ලා වේගෙයන් පැද්දෙන කාකා බෝ රුක හැර නොයා එහිම ලැග වර්ෂාව කෙසේ වෙතත් සුළඟ වත් හේමවන වෙලාවක්‌ ගැන කල්පනා කරයි. නමුදු සුළඟ තව තවත් වියරු ලෙස හමායයි. මුඩුක්‌කු නිවෙස්‌වල වහළට දමා ඇති ටකරං තහඩු අඳුරේ පියාඹන හැටි ලයිට්‌ කණුවෙන් ගලන මලානික එළියෙන් පෙනෙයි.

සැඩ සුළඟ දරාගත නොහී කාක බෝ රුක පිහිටි දිරාපත් තාප්පය සැනෙකින් ගැල වී බිම පතිත විණි. වර්ෂාව හා සුළඟ ඉන් කවර වේලාවක සංසිඳී ගියේ දැයි කවුරුන් විසින් දනීද?

භෝජන සංග්‍රහය සඳහා පෙරදා රැයේ ඇද හැලුණ වැස්‌ස එතරම් බාධාවක්‌ නොවේ. කපුටු නායකයා අලුයම පිබිද නගරය පුරා වටයක්‌ පියැඹුවේ අද පවත්නා උපහාර උළෙල සාර්ථක කරගන්නා අයුරු මෙනෙහි කරමිනි.

කුමන විපතක්‌ සිදු වීද? කපුටු බෝ රුක සමගම තාප්පය බිම පතිත වී ඇත. නායක තෙමේ පහතට බැස කපුටු සීයා ගැන විපරංකොට බැලීය. යට වූ තාප්පයේ කෙළවරක මිය පරලොව ගිය කපුටු මහල්ලාගේ තටුවක කොටසක්‌ ගල්ගොඩ යටින් යාන්තමට පෙනුණි.

කපුටු නායකයාට " කාක්‌" ගෑවුණේය.


Wmqgd .ekSu උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි weiqfrks
o