0 Views  
පරමාදර්ශී රාජ්‍යය
සත්‍යානන්ද ඇමැතිතුමාගේ ඉල්ලා අස්‌වීම රටේ දේශපාලන වටපිටාව උඩු යටිකුරු කිරීමට සමත් වූ අතර රට දෙසට අවධානය යොමුකර සිටි ලෝක ප්‍රජාවද වික්‍ෂිප්ත කරවන්නක්‌ විය. රජය සමඟ සන්ධානගතව සිටි එසේම ප්‍රබල ඇමැති ධුරයක්‌ ඉසිලු "සත්‍යවාදි පක්‌ෂයේ" ප්‍රධානියා මෙසේ හදිසියේ ඉල්ලා අස්‌වීම පිළිබඳව පැහැදිලි හේතුවක්‌ ඉදිරිපත් කිරීමට රටේ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයන්ට පවා අපහසු කාර්යයක්‌ විය.

විශේෂයෙන් ඔහුගේ ඉල්ලා අස්‌වීම සාධාරණීකරණයේ ලා ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද හේතුව රට තුළ අනපේක්‌ෂිත ආන්දොaලනයක්‌ කිරීමට සමත් වූ වග පැහැදිලි විය.

"රටේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම වසාගෙන සිටින වංචාව සහ දූෂණය ඉවසමින් තව දුරටත් පාලක පක්‌ෂයේ නිලයක්‌ දැරීමට මගේ හෘදය සාක්‌ෂිය ඉඩ නොදෙන හෙයින්..."

සත්‍යානන්ද ඇමැතිතුමාගේ ඉල්ලා අස්‌වීම හුදකලා කේවල සිද්ධියක්‌ ලෙස ගෙන නොසලකා හැරීමට රජයට නොහැකි වූයේ ඒ හා සමඟම උද්ගත වූ තවත් විශේෂිත සිද්ධියක්‌ හේතුවෙනි. ඔහුගේ එම නිර්භීත පියවර අනුමත කරමින් සහ අනුගමනය කරමින් පාලක පක්‌ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙක්‌ම තම තනතුරුවලින් ඉල්ලා අස්‌වී ඔහු සමඟ සන්ධානගත වීම සමඟ ඇති වූ දේශපාලන විප්ලවය කාගේත් නෙත් විවර කරන්නක්‌ ම වීමය.

තත්ත්වය සැබැවින්ම බැරෑරුම් විය. රජයේ ගණපූර්ණය පවත්වා ගැනීමට සුලු පක්‌ෂය හා සන්ධානගතවීම් වැනි සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී අවසන රජය විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කිරීම හැර වෙනත් විකල්පයක්‌ ආණ්‌ඩුව සතු නොවීය.

මැතිවරණ වේදිකාවේදී තම ජයග්‍රහණය උදෙසා සටනට එළැඹි සියලු දේශපාලන පක්‌ෂ කෙතරම් ක්‍රම සහ විධි අනුගමනය කළද මෙවර සියලු දෙවිවරු, යක්‌ෂයන්, ප්‍රේත කුම්භාණ්‌ඩයන් ඇතුළු සැමගේ ආශිර්වාදය සත්‍යවාදි පක්‌ෂය වටා රාශිභූත වූ අයුරු දක්‌නට ලැබුණි.

සැබැවින්ම ඔවුන්ගේ මැතිවරණ වේදිකාව අභියෝගවලින් තොර වූවක්‌ම විය. සත්‍යවාදී පක්‌ෂයේ මෙම අනපේක්‌ෂිත පිබිදීමට ඒකායන හේතුව වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලදුව රටේ ජනතාවගේ ලේ මස්‌ ඇට මිදුලු හරහා දිවගිය එකම මැතිවරණ පොරොන්දුව නිසාම බවට විවාදයක්‌ නොවීය.

"සියයට සියයක්‌ වංචා දූෂණවලින් තොර පරමාදර්ශි රජයක්‌ සඳහා...."

ස්‌ලොගනය සිත් ආකර්ෂණය කරවන්නක්‌ විය. වර්ණවත් ස්‌ටිකර් තුළ මුද්‍රණය වූ එය රටේ දසතම ප්‍රසිද්ධ ස්‌ථාන, වෙළෙඳසල්, වාහන හා ඇඳුම් පැළඳුම්වල පවා ප්‍රදර්ශනය වන්නට විය.

යන්තම් වචන හැසිරවීමට තනනන දරුවාගේ සිට මහල්ලාගේ පවා දෙතොල සලිත කිරීමට මෙය සමත් වූ අතර තරුණ ප්‍රජාවද එම පරමාදර්ශී දේශයේ නියමුවන් වීමට වලිකෑහ.

"සත්‍යානන්ද මහත්මයා අපි මේ ස්‌ලෝගනය අලුත් ක්‍රමයට ලෝන්ච් කරමු." මැතිවරණ උපදේශක කණ්‌ඩායම් යෝජනාව ප්‍රායෝගික විය. එකම පොරොන්දුව ජන හදවතට කිදා බසින සුලු වැඩ පිළිවෙළක්‌ දියත් විය.

දිවයිනේ ප්‍රසිද්ධ විහාරයක විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ නමක්‌ හා අනෙකුත් ආගමික නායකයන්ගේ ආගමික කටයුතු වලින් අනතුරුව වේදිකාව මත නැගී සිටි සත්‍යානන්ද මහතා විසින් තනි වාක්‍යයකට කැටිකළ තම මැතිවරණ පොරොන්දු සහිත ඩිජිටල් බැනරයක්‌ විවෘත කරන ලදී.

"බලයට පත්ව දින සියයක්‌ තුළදී රටේ වංචාව හා දූෂණය සියයට සියයක්‌ම ධූරීභූත කිරීමට නොහැකි වුවහොත් ඊළඟ පැයේදී රජය විසිරුවා හැර දේශපාලනයෙන් ද සමුගනිමි."

සත්‍යානන්ද මැතිනිය මැතිවරණ වේදිකාව මත පෙනී සිටියා ය. ජාතික හා ජාත්‍යන්තර සියලු මාධ්‍ය කැමරා විදුලි බුබුළු දැල්වෙන්නට විය. ඇය සිහින් කටුවක්‌ ගෙන වේදිකාව මත සිටි තම සැමියාගේ දකුණත දබරැඟිල්ල සිදුරු කළාය. ගලා ආ ලේ බිඳුව තිරය වෙත යොමුකර තිබූ ප්‍රක්‍ෂෙපණ යන්ත්‍රවලින් විශාල ලෙස ප්‍රදර්ශනය විය. සත්‍යානන්ද මහතා තම මැතිවරණ ප්‍රකාශනය ලේ වලින් අත්සන් කරන අයුරු ඩිජිටල් පුවරුවේ සමීප දර්ශනයන් මගින් ලක්‌ෂ සංඛ්‍යාත ජනතාව දැක ගත්හ. නැඟුණු අත්පොළසන් හඬ ඔල්වරසන් හඬ අතර සාධුකාර නාදය ද ඉස්‌මතු ව ඇසුණි.

මැතිවරණ දිනය උදාවිය. ඡන්දය දීමට නොපැමිණියේ මරණයට පත්ව සිටි අය පමණි. වාර්තාගත ඡන්ද ප්‍රමාණයක්‌ ප්‍රකාශ වූ බව අදාළ නිරීක්‍ෂකයන්ගේ වාර්තාවල සඳහන් විය.

අවසන මහ මැතිවරණයෙන් ජයලැබූ සත්‍යවාදී පක්‌ෂය ව්‍යවස්‌ථාදායක සභාවේ අධි බහුතරයක්‌ සහිතව ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලැබීය.

සියල්ල නිවැරදි විය. රටේ සියලු ක්‍ෂේත්‍ර මැතිවරණ පොරොන්දුවට පූර්ණ වශයෙන් අනුකූල ලෙස ක්‍රියාත්මක විය. සියලු ජනතාවගේ කේවල සිත්හි පටන් මහා පරිමාණ ප්‍රජාවගේ සිත්තුළ වංචාව හා දූෂණය පිටුදැකීම මෝදු වී මෝරන්නට විය. වංචාව හා දූෂණය අරබයා විරෝධාත්මක ආකල්ප සියලු ප්‍රාණයන්ගේ හදවත් තුළ ජනිත වූ අතර ඒ තුළ අව්‍යාජත්වය දොaරගලන්නට විය. වංචාව හා දූෂණය යන වදන ශබ්ද කෝෂයෙන් පවා සොයා ගැනීමට නොහැකි විය. සියලු සිත් පහන් විය.

මැතිවරණ සමයේ ප්‍රකාශ කළ අයුරු රජයේ ආයු කාලය දින සියයකට ආසන්න වත්ම අපේක්‌ෂා කළ අයුරින් රට තුළ සියලු වංචා දූෂණ ධූරීභූත වී තිබුණි.

එහෙත් මේ සුබවාදී පෙරළිය රටේ අර්බුදකාරී සමාජ පරිවර්තන රාශියකට අඩිතාලමක්‌ බවට පත්වීම වැළැක්‌විය නොහැක්‌කක්‌ විය. රටේ සියලු ආයතන සමාජ ස්‌ථර වසා ගනිමින් මෙම "සුබවාදී" සුනාමිය පැතිsරෙන්නට විය. රජයේ සහ පෞද්ගලික සියලු ආයතන ක්‍රියාකාරිත්වයට කණකොක්‌ හඬ ඇසෙන්නට විය.

සියලු වංචා දූෂණ තුරන්වීම හේතුවෙන් රටේ පොලිසියට කළයුතු කාර්යයක්‌ ඉතිරි නොවුණි. පොලිසියේ රාජකාරී කරන්නවුන් හැර අන් කිසිම ප්‍රාණියෙකුට පොලිස්‌ භූමියකට ඇතුල් වීමට අවශ්‍යතාවක්‌ නොවුනි. මහමග වාහන හැසිරවීමට තවදුරටත් අවශ්‍යතාවක්‌ නොවුණි. රටේ කිසිම රියෑදුරෙකු අබමල් රේණුවක වැරැද්දක්‌ නොකළේය.

මේ හා සමානව රටේ ග්‍රාමීය අධිකරණයේ සිට මහාධිකරණය දක්‌වා කිසිදු අලුත් නඩුවක්‌ ඉදිරිපත් නොවූ අතර පැමිණිලිකරුවන් ඉදිරිපත් නොවුණ හෙයින් එතෙක්‌ වූ සියලු නඩු ලිපිගොනු වසා දැමීමට සිදුවිය. කිසිදු නඩුවක්‌ ඉදිරිපත් නොවුණ තැන තව දුරටත් වැටුප් ලබනු කුමට ද? සියලු විනිශ්චයකරුවන් පෙරකදොaරුවන් ලිපිකරුවන් ඈ සියලු සේවකයන් හෘද සාක්‌ෂියට එකඟව රැකියාවන් හැර ගියහ.

මිනිසකු තවදුරටත් සිරකරගෙන සිටීම මහා වංචාවකි. දැන් රටේ වංචාවන් නැත. සියලු හිරගෙවල් විවෘත විය. කිසිවකු ඊට හරස්‌ නොවුණි. සියලු සිරකරුවන් බිමට යොමුකරගත්... හිසින් යුතුව සත්‍යවාදී හැඟීම් සිත්හි පුරවාගෙන ආරක්‌ෂක නිලධාරීන් රහිත භූමියෙන් පිටට ගියහ. සියලු නිලධාරීන් ද සේවයෙන් සමුගෙන තිබුණි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මහා විප්ලවයකි. ගුරුවරු හරියටම පෙරවරු අටට වැඩ ඇරඹූහ. පාසල ඇරෙන තුරු අකුරටම රාජකාරි කළහ. කිසිවකු නිවාඩු ගත්තේ පාසලට පැමිණීමට නොහැකි තරම් සැබෑ වූ රෝගයක්‌ වැළඳීම නිසා පමණි. ගුරුවරු පාලනය කළ යුතු නොවීය. විදුහල්පතිවරු මඳ සිනාවෙන් යුතුව ඉල්ලා අස්‌වීම් ලිපි ඉදිරිපත් කළහ. දෙපාර්තමේන්තු පරීක්‍ෂකවරුනට කළයුතු පරීක්‌ෂාවක්‌ නොවීය.

වැඩ පරීක්‌ෂක, නිරීක්‌ෂක, පරිපාලක, කළමනාකරණ ආදි චරිත තවදුරටත් අවශ්‍ය නොවීය. එහෙයින් එවන් තනතුරු දැරුවෝ තමන් විසින් කළයුතු රාජකාරියන් නොමැති බව අවබෝධ කරගති. සුපුරුදු ඉල්ලුම් පත පිරවුණි.

සිසුන් තම විභාග ප්‍රශ්න පත්‍ර නිවසට ගෙනගොස්‌ නියමිත කාලය තුළ පිළිතුරු සපයා ඉදිරිපත් කළ අතර කිසිදු ආත්ම වංචාවක්‌ සිදු නොවුණි. විභාග ශාලා සේවකයන් විභාග පරීක්‌ෂකවරු තවදුරටත් සේවයට වාර්තා නොකළහ.

බස්‌රථවලට කොන්දොස්‌තර තනතුරක්‌ අවශ්‍ය නොවීය. කච්ෙච්රිවල ඔප්පු තිරප්පු මිටි දුහුවිල්ලෙන් වැසී ගියේය. කිසිවකු තවකෙකු සතු ඉඩමකට දේපළවලට සිතින් හෝ ඇලුම් නොකළේය. රෙජිස්‌ට්‍රාර්වරු ඉල්ලා අස්‌වූහ.

short1ලේඛනයක අත්සන් කර පොරොන්දු වීමට අවශ්‍යතාවක්‌ නොවුණ තැන විවාහ වූ ජෝඩු රෙජිස්‌ට්‍රාර්වරයා වෙත නොගියහ.

රෙජිස්‌ට්‍රාර්වරු සේවයෙන් ඉවත් වූයේ ස්‌වේච්ඡාවෙනි. නීති රීති අවශ්‍ය නොවුණ තැන නීති අධ්‍යාපන පීඨ වැසුණි.

සමහර ආගමික පූජකවරුන් ද හාමුදුරුවරු රැසක්‌ ද ආරාම වලින් ඉවත් වූයේ උන් වහන්සේලාගේ හෘදය සාක්‌ෂියට එකඟවය.

වෙළෙඳසල්වල දොර වැසුණේ සතුන්ගෙන් සර්පයන්ගේ ආරක්‌ෂාවීමට පමණි. වෙළඳසල්වල වූයේ හිමිකරු හා සේවකයන් දෙතුන් දෙනෙක්‌ පමණය. මුරකරුවන් ආරක්‌ෂක නිලධාරීන් වෙනත් සාධාරණ රැකියා පෝළිම්වල දක්‌නට ලදහ.

මෙවන් වූ පරමාදර්ශී රටකට යුද හමුදාව කුමටද? සියලු නිලධාරීන් තම ආයුධ භාරදී සේවයෙන් සමුගත්හ. බාහිර රටකින් එල්ලවිය හැකි අනතුරකට මුහුණ දීමට පමණක්‌ කිහිප දෙනෙක්‌ හමුදාවන් තුළ ඉතිරි විය.

රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශි විය.

එහෙත්....

රැකියාවන් අහිමි වු, රැකියාවලින් ඉල්ලා අස්‌වූ එක්‌කෝටි හතලිස්‌ ලක්‍ෂයක්‌ පමණ වූ ජනතාවට කිසිදු ආදායමක්‌ නොවුණ තැන තම දරු පවුල් නඩත්තු කරගත නොහැකි විය. යෑපීම් මාර්ගයක්‌ නොමැති විය. සොරකම් කිරීම් නොහැකි විය. වංචාව සිතෙන් තුරන්ව ගොස්‌ තිබූ හෙයිනි.

සියලු දෙයම සත්‍යගරුක රැකියා අපේක්‌ෂාවෙන් මහමගට බටහ. එහෙත් ආපසු පැමිණියේ හිස්‌ අතිනි.

ගම් නියම්ගම් පසු කරමින් උපනගරවලින් ප්‍රධාන නගරවලට ද ඉනික්‌බිති අග නුවරටද සත්‍යවාදි රැකියාවක්‌ පතා පා ගමනින්ම ආ කෝටියක පමණ ජනරළ දෙස පාලකයන් බලා සිටියේ අන්දමන්ද වූ දෙනෙතින් යුක්‌තවය. පාර්ලිමේන්තුව ඇතුළු සියලු පරිපාලන ආයතන වටා වාඩිලා ගත් ජනතාවගේ එකම හඬ වූයේ හිතට එකඟව ජීවත්වීමට රැකියාවන් ලබාදෙන ලෙසය.

පාලන ආයතන අවට සුවහසක්‌ ජනතාව රැස්‌වුවද කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවක සේයාවක්‌ වත් නොවුයේ සියලු සිත්වලින් ප්‍රචණ්‌ඩත්වය තුරන් වී තිබීම නිසාය. මහමග වාඩි වී සිටි බොහෝ දෙනා නිරාහාරව සිටි නිසා ක්‌ලාත්ත වූහ.

පාලන අධිකාරීන් වහා රැස්‌වූහ. පැය ගණන් වාද විවාද අවශ්‍ය නොවීය. සියලු දෙනාම සත්‍යවාදි වූහ. ජාතික ගැටලුව වහා අවබෝධ කර ගත්හ. රැකියා උත්පාදනයේ ලා වංචාව හා දූෂණය අත්‍යවශ්‍ය සාධකයන් බව අතැඹුලක්‌ සේ පසක්‌ කරගත්හ. වංචාව හා දූෂණය නොමැති රටක පවත්නා රැකියාවල ස්‌ථාවරත්වයක්‌ නොමැති බවද පසක්‌ කර ගත්හ.

සුවහසක්‌ වූ ජනතාවගේ මෙම ගැටලුව සඳහා විකල්ප විසඳුමක්‌ ඉදිරිපත් නොවීය.

සේවකයන්ගේ ඉල්ලා අස්‌වීම නිසා සියලු වැටුප් භාණ්‌ඩාගාරයේ පිරි ඉතිරී තිබුණි. සෑම පවුලකටම නඩත්තු මුදලක්‌ ඉන් ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාව ලත්තැනම ලොප් විය. ඊට හේතු වූයේ සේවාවක්‌ නොකර මුදල් ලබාගැනීමට සියලු දෙනාම අකැමැත්ත පළකිරීමය.

මහා ජාතික ගැටලුව විසඳීමට තම තමන්ගේ නොහැකියාව තේරුම්ගත් සියලු දේශපාලන නායක කාරකාදීන් සිය ඉල්ලා අස්‌වීම් ඉදිරිපත් කර ජනතාවගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වූහ.

රජයේ ආයු කාලය දින සියයක්‌ ගතවත්ම රජය විසුරුවා හැරිණි. එපමණක්‌ නොව ඔවුන් පරම හා අවංක ෙච්තනාවෙන් මෙම මහා ජනතා ගැටලුවට විසඳුමක්‌ ලබාදීමට හැකි කණ්‌ඩායමකට බලය ලබාදීම් වස්‌ මහ මැතිවරණයකට දිනයක්‌ ද නියම කළහ.

මහ මැතිවරණ සටනට එකතු වූ පක්‌ෂ අතර සත්‍යවාදී පක්‌ෂය ද විය. අනෙකුත් පක්‌ෂ අතර සත්‍යානන්ද මහතාගේ සත්‍යවාදී පක්‌ෂයේ මැතිවරණ ප්‍රකාශයට විශේෂ ස්‌ථානයක්‌ හිමිව තිබුණි.

මෙවරද ඔවුන් ඉදිරිපත් කළේ මැතිවරණ පොරොන්දු එකක්‌ පමණි.

"රටේ සියලු දෙනාම සඳහා රැකියා උත්පාදනය කිරීමටත් ඒවා ස්‌ථාවර කිරීමටත් අත්‍යවශ්‍ය ගාමක බලවේගය වන වංචාව හා දූෂණය සියයට සියයක්‌ම නැවත ස්‌ථාපිත කර පරමාදර්ශි රාජ්‍යයක්‌ බිහිකිරීම අපගේ ඒකායන අපේක්‌ෂාව වේ."

ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුව වටා ජනතාව රොද බැඳෙන්න වූයේ ගුලකට එකතුවන මී මැස්‌සන් සමූහයක්‌ මෙනි.


Wmqgd .ekSu උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි weiqfrks
o