3 Views  
සම්ප්‍රාප්තිය
සිරිමෙවන් විවාහයෙන් පසුව අලුත් නි‍ෙවසක් තැනීම ආරම්භ කළේ වෙන්දේසියෙන් ගත් ඉඩමකය. ඉතා සුන්දර පරිසරයක් වූ මෙම ඉඩමේ පදිංචි වීමට කුඩා කල සිටම තිබුණු ආශාවක් මේ අයුරින් ඉටු කර ගැනීමට හැකි විය. තම පියා සතු ඉඩම් රාශියක් ඒ අවට තිබුණු නමුත් නිදහ‍සේ ජීවත් වීමට ‍හොඳ පරිසරයක් අවශ්‍ය බව ඔහුගේ වැටහීම විය. නගරයට ආසන්නව තිබුණු නමුත් ප්‍රධාන පාරට තරමක් දුරින් පිහිටීම තවත් වාසියක් විය.

වෙන්දේසිකරුවන් එක් එක් ඉඩමට යෑම සඳහා රවුම් පාරවල් යොදා රමණීය ලෙස ඉඩම සකස් කර තිබුණි.

මහ පාරේ සිට ඉඩමට එන මෝටර් රථයක් නි‍ෙවසට පැමිණීමට විනාඩි කිහිපයක් ගත වේ.

රවුම් පාරේ පැමිණි මොරිස් ඔක්ස්ෆර්ඩ් කුලී රථය, තම මිදුලේ නවත්වනු සිරිමෙවන් බලා සිටියේ විස්මයෙනි. නි‍ෙවස තනා නිමකර නොතිබුණු බැවින් නෑදෑයකුට හෝ වෙනත් අමුත්තකුට තම ගෙදරට පැමිණෙන ලෙස ආරාධනාවක් ‍කළ බවක්ද සිරිමෙවන්ට මතක නැත.

රථයෙන් බිමට බැස්සේ බන්දුපාල ඔහුගේ බිරිය සහ දින කිහිපයක් වයස් වූ බිලිඳකු ද වීම ඔහුගේ විස්මය තවත් වැඩි කළේය.

“සුදු අක්කේ ඔන්න අපි ආවා. කොහෙද ඉතින් අපිම එනවා මිසක් අපි ඉන්නවද මැරිලද කියලා ඔය ගොල්ල හොයන එකක් යැ. ඒත් ඉතින් අම්මගෙයි... අක්කගෙයි දුක සැප බලන්නට එන එක අපේ යුතුකමක්නේ...” කියමින් බන්දුලපාල ගෙට ගොඩවූයේ විශාල සූට්කේස් තුනක්ද දෑතට ගනිමිනි.

සිරිමෙවන් ගොළුවකු මෙන් නිහඬ ය. විස්මය වැඩිකමට ඔහුගේ කටද බාගෙට ඇරී තිබුණි. නැන්දම්මා හා සිරිමෙවන්ගේ බිරිය අනෝමා ද දොරකඩට පහළ වූයේ ප්‍රාතිහාර්යයකින් මෙනි. කුලී රථයේ රියැදුරු සිල්වා සිනාසෙමින් මේ නාඩගම නරඹයි.

“සුදු අක්කේ ඉක්මනට ම අර ඩ්‍රයිවර්ගේ කුලිය දීලා යවන්න. ඒකා කට ඇරගෙන බලා ඉන්නවා.” බන්දුපාල කීවේ අපහාසාත්මක ලෙසිනි. සිරිමෙවන් කාමරයට ගොස් රු. 200 ක් ගෙනැවිත් සිල්වාගේ සාක්කුවට එබූ විගස ම ඔහු රථය පණ ගන්වා ඉගිළී ගියේ ය.

බන්දුපාල දුටු මුල් දිනයේ, එනම් තම විවාහ මංගල දිනයේ දී බන්දුපාල හැසිරුණු ආකාරය සිරිමෙවන් ගේ සිත් ගත්තේ නැත.

එදින මොහු හැසිරුණේ මඟුල් ගෙදර සියලු වගකීම් තමාගේ කරපිට වැටුණු ලෙසට ය. අනෝමාගේ පියා කලක් පිටරට සිටි නිසාත්, මෙවැනි සංවිධාන කටයුතු ගැන නොදත් කෙනෙකු නිසාත්, ඔහු කළේ අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම පමණකි. පසුව සිරිමෙවන් දැනගත් පරිදි, මඟුල් ගෙදර සියලු වැඩ කටයුතු කෙරුණේ කොන්තරාත් ක්‍රමයට ය. ඒ සියලු කොන්තරාත් බන්දුපාල විසින් බාරගෙන තිබුණි.

මඟුල් ගෙදරදී සිරිමෙවන්ගේ ඥාතීන්ට එතරම් පිළිගැනීමක් නොතිබුණි. හේතුව වූයේ පැමිණි වැඩිහිටි අය බොහෝ දෙනෙකු ජාතික ඇඳුමින් සැරසී සිටීම නිසා ය. සිරිමෙවන්ගේ පියාද ඇඳ සිටියේ ජාතික ඇඳුමකි. ඔහු සිංහල නොතාරිස් කෙනකු වූ අතර සිරිමෙවන්ගේ මව සිංහල පුහුණු ගුරුවරියකි. සිරිමෙවන්ගේ පියා මධ්‍යම පාන්තික ඉඩම් හිමියෙක් ද විය. ඔහු සතු මෝටර් රථයක් ද තිබුණි. ඔහු ඉංග්‍රීසි බස හොඳින් දැන සිටි නමුත් කිසි දිනක ඉංග්‍රීසියෙන් කථා කරනු සි‍රිමෙවන් දැක නැත. එහෙත් දිනෙක ඔහුගේ පියා රබර් වගා ණය අනුමත කිරීම සඳහා පැමිණි සුද්දකු සමඟ ඉංග්‍රිසියෙන් කතා කරනු දුටු සිරිමෙවන් පුදුමයට පත් විය. ඔහුට දෙමළ බසද හොඳ හැටි කතා කළ හැකි විය.

“අපි ඉංග්‍රිසීන්ගෙන් ගන්ට ඕනෑ හොඳ දේවල් පමණයි. ඔවුන්ගේ භාෂාව හොඳ එක් දෙයක්. ඒක අන්තර් භාෂාවක්. මේ රටේ හැම දරුවෙක් ම ඉංග්‍රිසි හොඳට ඉගෙන ගන්ඩ ඕනෑ... හැබැයි ඉංග්‍රිසි උජාරුවට පළඳින ආභරණයක් නොවෙයි... තමන්ගේ හැම නැති බැරි කමක් ම ඉංග්‍රීසි වලින් වහගන්ඩ පුළුවන් කියලා හිතන ගොන් රැලක් තවමත් මේ රටේ ඉන්නවා.. අපේ ධර්මපාල තුමා එදා උන්ට හොඳ ම බැට දුන්නා..”

පියාගේ මේ අදහස් සිරිමෙවන්ගේ සිතෙහි තැන්පත් වූයේ කුඩා කල සිට ම ය. කලිසමට ආවඩන ඉංග්‍රිසි ගැත්තකු වූ බන්දුපාල සිරිමෙවන්ට රුචි නොවූයේ මේ නිසා ය.

සිරිමෙවන් සාලයට යන විට බන්දුපාල සහ ඔහුගේ බිරිය එළියට බැස ගෙය අවට නිරීක්ෂණය කරමින් සිටියහ.

පළමුවෙන් ම කථා කළේ බන්දුපාල ය. අනෝමා තේ පැන් පිළියෙල කිරීමට ගෙතුළට ගොස් සිටියාය.

“අපොයි අපි දන්නේ නැහැනේ... මේ ගෙය හදලා ඉවර නැති බව... දන්නවා නම් එනවා තියා හිතන්නේවත් නැහැ... අපට යසට බංඩාරවෙල යන්ට තිබුණා. නේද චන්ද්‍රා... (චන්ද්‍රා යනු ඔහුගේ බිරියගේ කෙටි නමය) සුදු අක්කා දන්නවා... අපේ සැම්සන් අයියා... එයා බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ OA. එයාට තියෙනවා මාර බංගලාවක්... වතාවක් අපි දවස් තුනක් එහි සිටියා.”

සිරිමෙවන් නිකට කසමින් වටපිට බලන්නට විය. සිරිමෙවන්ට හොඳ පිළිතුරක් කටට ආ නමුත් නැති ප්‍රශ්න ඇති කරගන්නේ මොකටදැයි සිතා නිහඬ විය.

“අන්න තේ ලෑස්තියි... බීලා හිටියා නම් පස්සේ කතා බස් කරන්ට බැරුවයැ...” අනෝමා වචනයක් දැම්මේ නියම වේලාවට යැයි සිරිමෙවන්ට සිතුණි.

තේ මේසය, රස කැවිලි තුන හතරකින් හා කෝලි කුට්ටු ඇවරියකින් සමන්විත විය. එහෙත් බන්දුපාල මූණ ඇඹුල් කර ගත්තේ ය.

“අයියෝ... අක්කත් නියම ගොඩයෙක් වෙලානේ... කෝ කට්ලස්.. කෝ පැටිස්... සැන්ඩ්විච්? ඒවානේ මේ වේලාවට හරියන්නේ...”

බිරිය බන්දු දෙස රවා බැලුවාය. “ඒවාට තව වෙලා තියෙනවා... අයියා ලෑස්ති කරලා ඇති... ඊට පස්සේ දෙන්න එක්ක කදේ වැටෙයි...”

බන්දුගේ මුහුණු සුපිපි නෙලුම් මලක් මෙන් පැහැපත් විය.

“‍අනේ ඔව් අයියා... අපි කාලෙකින්නෙ හමුවුණේ... දාමු මරු පාටියක්... ප්‍රින්සිපල් කෙනෙක්නේ බියර්... විස්කි පුරෝලා ඇති...”

හරියට ම මේ වේලාවට අනෝමා මැදිහත් වීම සිරිමෙවන්ට මහත් සහනයක් විය.

“අයියා දැන් බොන්නේ නැහැ. ඇරත් මේ දවස්වල එයා පාඩම් කරනවා... පරිපාලන විභාගෙට... දැන් ඉතින් අපි ගැන විස්තර ඔය මදෑ... ඔයාලා ගැන කියන්නකෝ...”

බන්දුගේ විස්තරය අනුව ඔහු “සොකා‍ටෝ” නම් ජපන් කේබල් සමාගමේ විධායක ඉංජිනේරුවෙකි. ජපන් ඉංජිනේරුෙවා් පස් දෙෙනක් ඔහු යටතේ වැඩ කරති. ඉතා සුළු කාලයකින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු වීමට ඔහුට හැකි වූයේ ඔහුගේ කාර්යශූර බව නිසා යැයි ඔහු කීවේ හිසද ඉහළට ඔසවමිනි. මේ තනතුරට හිමි පහසුකම් ගැන ඔහු විස්තර කළේ ඒවාද ප්‍රමාණවත් නොවන බව කියමිනි. සිරිමෙවන් ගෙය තනා තිබුණේ සමතලා බිමක නොවේ. ඉහළ බිම් තලයේ නිදන කාමර දෙකක් ද කුස්සියක් ද නවීන නාන කාමරයක් ද වූ අතර, විශාල සාලය ද ඒ කොටසේ තිබුණි. පහළ කොටසේ ගබඩා කාමරයක් හා තවත් කාමරයක් ද විය. මේ තත්ත්වය යටතේ අමුත්තන්ට දීමට තිබුණේ පහළ බාගයට ඉදිකළ ගබඩා කාමරය හා වැඩ නිම නොකළ අනිත් කාමරය පමණ ය.

මේ අතරතුර බන්දුගේ බිරිය ඔවුන්ගේ බර සූට් කේස් තුන, සිරිමෙවන්ගේ නිදන කාමරයට ගෙන ගොස් තැබුවේ ගෙදර ඉඩකඩ තිබුණු එක ම කාමරය එය වූ නිසා ය.

“ශහ්... ඈතින් නිල්පාට කඳු... අනිත් පැත්තෙන් කුඹුරු යාය... මේ කාමරය නම් මරු... බන්දුගේ බිරිය කීවේ හැමටම ඇසෙන පරිදි ය...”

“මේක අපේ නිදන කාමරය... සිරිමෙවන් කැමති වෙන එකක් නෑ.. ඊටත් වඩා එයාගේ විභාගෙත් ළඟයි... ඔය ගොල්ලන්ට දෙන්න වෙන්නේ පහළ කාමරය තමයි...” අනෝමා කීවේ මහත් අපහසුවෙනි.

සිරිමෙවන්ගේ කොඳු නාරටිය හිරිවැටී ගෙන ගොස් නැවත යථා තත්ත්වයට පත්විය. සෙනසුරාදා සහ ඉරිදා යන්තම් අමාරුවෙන් ගත කර ගත් අනෝමා සඳුදා සැමියාත් සමඟ රැකියාවට යාමට සූදානම් වූවා ය.

සිරිමෙවන් මෝටර් රථයට ගොඩ වෙන්නට යන විට බන්දුපාල ලහි ලහියේ ඔහු අසලට දිව ආවේ වැදගත් වණිවුඩයක් දැනුම් දීමට ය.

“සුදු අක්කේ... අනේ අපට පොඩි අමතක වීමක් වුණා. දරුවාගේ කිරිපිටි ඉවරයි. අපි දෙන්නේ SMA නේ. ගොඩේ පළාත්වල ඒවා ඕන තරම් තියෙනවා.

“ඇයි දරුවාට මව් කිරි දෙන්නේ නැද්ද...” සිරිමෙවන් ඇසුවේ විමතියෙනි. දින කිහිපයක් වයසැති බිළි‍ඳකුට පිටිකිරි දීම ඔහුගේ විමතියට හේතුවයි.

“අයියෝ අයියලා මොනවාද දන්නේ මව් කිරි දරුවන්ට හොඳ ම ආහාරය කියලා ආණ්ඩුවේ දොස්තරලා කියනවා තමා. ඒ දුප්පත් උන්ට. රට කිරි හදලා තියෙන්නේ අවශ්‍ය ප්‍රෝටීන් ආදිය දාලා. මව්කිරිවල ඒවා තියෙනවාද? ඇරත් උන් කන කොළ ජාති! හාල්මැස්සන් වගේ දහ ජරාව කාලා ප්‍රෝටීන් ලැබෙනවා ද? ඕවා ඔක්කොම ආණ්ඩුවෙ ගැටසූස්තර... අයියලා මෙච්චර ඉගෙන ගෙනත්.. අනේ මන්දා..” එදින රාත්‍රියේ තාත්තා පැමිණීම සිරිමෙවන්ගේ සිතට සහනයක් විය.

“ලොකු පුතා විභාගයත් ළඟයිනේ... මෙහේ ටිකක් කරදර පාටයි... අද ඉඳන් මහගෙදරට ඇවිල්ලා වැඩ ටික කරගන පාස්වෙන්ට බලන්න”

ඒ ඉල්ලීම අනුව ඔවුහු මහ ගෙදර ගියහ. අම්මාටත්, බන්දුලාටත් සතියකට දෙකකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙදර ඇති බවට අ‍නෝමා සහතික වූවා ය. විභාගය අවසන් වීමෙන් පසු සතියකට පසුව ඔවූහු නැවත තම ගෙදර පැමිණියහ.

අම්මා හොඳට ම අසනීප වී ඇති බව අනෝමාට පෙනුණි. කකුල් දෙක ඉදිමී උණ රෝගයක් වැලඳී තිබුණි.

“ඔයගොල්ලෝ සනීප ගන්ට මහගෙදර ගියා. අම්මා මෙතන වැඩට දාලා... පුදුම දරුවෝ තමා..” බන්දු වගපල කියන්නට විය.

“අම්මා ලෙඩ උණේ ඔයාලා හින්දා... අම්මා ලව්වා... වැඩ ගන්න ඇති. මම දන්නවා ඔයාලගේ හැටි... මේක ඉතින් මගේම කරුමෙ තමා...” අනෝමාද කඩා පැන්නා ය.

එදිනම සවස බන්දු සහ බිරිය ආපසු යෑමට සූදානම් වූහ. සිරිමෙවන් තමාගේ මෝටර් රථයෙන් ඔවුන් බස් රථ නැවතුම්පළ දක්වා ගෙන ගියේ ය.

“ආයි නම් ඕකි මළත් ආයෙත් මුං බලන්ට එන්නේ නැහැ. අපිට මේවා හොඳ පාඩම්” බන්දුගේ අවසාන ප්‍රකාශය විය.

ඔවුන් ගිය පසු අම්මා සියලු තොරතුරු ‍අනෝමාට පැවසුවේ සැහැල්ලු සිතිනි. ඔවුන් ගිය පසු ඇයගේ රෝගය ද තරමක් සුව වූ බව පෙනුණි.

“පුතාලා... ගිය දවසේ ඉඳන් බන්දුලා... කනවා බොනවා විනෝද වෙනවා.. පහළ කඩෙන් ණයට.. සොසේජස් හා චිකන් ගෙන්වා ගෙන මට උයන්ට කියනවා... අල්ලපු ගෙදරින් කිරිබෝතල් 10 ක් ගෙන්වා ගෙන බිව්වා ණයට. පුතාලා ආවම සල්ලි දෙයි කියලා කියනවා මට ඇහුණා... රෑ එළිවෙනකන් ළමයා අඬනවා.. මහ ගෑනි බලන්නේවත් නැහැ. මං නැගිටලා කිරි හදනවා.”

අම්මාගේ අ‍ඳෝනාව අසා සිටි සිරිමෙවන් කීවේ “හා... කමක් නෑ, දැන් ඉතින් එයාලා ගියානේ” කියා ය.

 

සිරිමෙවන් පළමුවෙන් ක‍ෙළ් අසල්වැසියන්ගේ ණය බිල් ගෙවා දැමීම ය. ළඟ ම කඩයේ මුදලාලි බිල් ගෙවන අතරේ කී කතාව නිසා ඔහුගේ ඇඟ හිරි වැටී ගියේ ය.

“මහත්තයාලා අපි වගේ නොවෙයි නේ. ඒ ගොල්ල හොඳට කාලා ඇඳලා ඉන්න වැදගත් අය... ලොකු රස්සාවල් කරන අයනේ... ජපන් සමාගමක කිවුවා ම කොච්චර පඩියක්ද... හැබෑවට ම මහත්තයා වගේ කෙනෙකුට ඒ වගේ නෑදෑයෙක් ඉන්න එක කොච්චර ආඩම්බරයක් ද?”

“මුදලාලි මට වැඩ තියෙනවා... එයාගේ ණය බේරුවා නේ, මම යනවා...” සිරිමෙවන් කඩයෙන් එළියට බැස්සේ කෝපයෙන් පුපුරමිනි.

හාන්සි පුටුවේ ඇලවී කල්පනා කරන්නට පටන් ගත්, සිරිමෙවන්ගේ අවධානය කැඩුණේ පත්තර කොලුවාගේ පැමිණීම නිසා ය.

“ඇයි මෙච්චර බිලක් මම ගන්නේ එක පත්තරයයි නේ...” සිරිමෙවන් කෑ ගසන්නට විය.

“නෑ මහත්තයා මේ බිල් ඔක්කෝම මහත්තයලගේ තමා. ඉංජිනේරු මහත්තයා ඉංග්‍රීසි පත්තර ඔක්කොම ගත්තානේ. සිංහල පත්තර ගේන්ටත් එපා කිව්වා. ඒත් ඉතින් මහත්තයා ඕඩර් කරලා තිවුණ නිසා මම ගෙනාවා.”

“අනෝමා මොකක්ද මේ මළ කරදරේ” සිරිමෙවන් කෑ ගසන්නට විය.

“ඔන්න ඕක ගෙවලා දාන්න.. ලැජ්ජා නැද්ද?” අනෝමා දුන් පිළිතුර ය.

පත්තර බිල ගෙවා දැමූ සිරිමෙවන් ගෙට ගොඩ වන්නට සූදානම් වන විට තාත්තාගේ මෝටර් රථය වංගුවෙන් හැරී නිවස දෙසට එනු දැක්කේ ය.

“මහගෙදර ඉඩමේ කොස්ගස් කිහිපයක් හා නැදුන් ගස් පහක් විකිණීම සඳහා ඇඩ්වාන්ස් ගත්තේ කාගෙන් අහලා දැයි” තාත්තා කෝපයෙන් ප්‍රශ්න කළේ ය.

“පවුලේ වැඩිමලා හැටියට ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කරනවා නම් තමා හොඳ... මං යනවා යන්න... සල්ලි ආපසු දෙනවා නම් හොඳයි... ලී මුදලාලිට මං බැනලා එළවා ගත්තා...” තාත්තා කීවේ කෝපයෙනි.

“තාත්තා ආපු ගමන් ම ගියා නේද?” අනෝමා ඇසුව් කණගාටුවෙනි.

“ඒකත් අර ඔයාගේ මල්ලි කියන යකාගේ වැඩක් තමා...” කී සිරිමෙවන් වීදුරුව පිරෙන්නට ම මත්පැන් වඩියක් ගෙන බී නිදා ගත්තේ ය.

තාත්තා අමනාප වීම නිසා සිරිමෙවන්ගේ සිතට දැනුණේ තද වේදනාවකි. ඒ වේදනාව බොහෝවිට අනෝමා සමඟ අමනාපයකින් කෙළවර විය.

එවැනි විටක අනෝමාද සිරිමෙවන්ට පෙරළා දොස් කියන්නට පසුබට නොවූවා ය.

“ඔයා හැමදාම ඔහොම තමා... මගේ කෙනෙක් අතින් වරදක් වුණොත් ඒක මහමෙර වගේ... ඔය ගස් කාට දෙන්නද තාත්තලා... යනකොට ඕවා ගෙනියනවා ද?” බන්දු කල්පනා කරන්නට ඇත්තේ අපට උදව්වක් කරන්ට... නැතිව එයාට ගස් මොකට ද....”

මේ ගැන තවදුරටත් වාද කිරීම අනවශ්‍ය යැයි සිරිමෙවන්ට සිතුණි.

ටික දිනක් කලබලයෙන් තොරව ගෙවී ගියේ ය. කාර් මාටින් හදිසියේ නගරයේදී හමුවෙන තෙක් කුණාටුව යළිත් හැමුවේ නැත.

“මහත්තයා රට යනවා කිවු නිසයි කාර් එක විකුණා දෙන්ට පොරොන්දු වු‍ෙණ්. දැන් ඔන්න බයර් කෙනෙක් ඉන්නවා... ටිකක් ගාන අඩු කරලා දීලා දාමු... දැන් රු. 14500 ට අලුත් ම පෝක්ස් වැගන් රථ තියෙනවා නේ...” කාර් බ්‍රෝකර් රථයට තට්ටු කරමින් කියයි.

“මං කාරෙක විකුණන වගක් තමුසෙට කීවේ කව්ද? මං කීයටවත් මේක විකුණන්නේ නැහැ..”

කාර් බ්‍රෝකර්ගේ ඇස්වලින් ගිනි පිට වෙන්නා සේ සිරිමෙන්ට දැනුණි.

“මහත්තයා විහිළු කරනවාද... මහත්තයාගේ අර ඉංජිනේරු මහත්තයා මගෙන් ඇඩ්වාන්ස් එකකුත් ගත්තා රුපියල් පන්සියයක්...” මාටින් කියාගෙන ගියේ ය.

කාර් මාටින්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහා තමාගේ මිතුරකු වූ සාජන් පෙරේරාගේ උදව් ලබා ගැනීමට සිරිමෙවන්ට අවසානයේ සිදු විය.

මේ අතර වාරයේ තමාගේ පැරණි පාසල් මිතුරකු වූ ආනන්දගේ මංගල උත්සවයට ආරාධනයක් ලැබීම සිරිමෙවන්ගේ සතුටට හේතුවක් විය. මංගල උත්සවයට තනිව ම සහභාගී වන්නට සිරිමෙවන්ට සිදු වූයේ අනෝමාට පාසැලේ ක්‍රීඩා උත්සවය යෙදී තිබුණු නිසා ය.

මංගල උත්සවය නුවර හෝටලයක පැවැත්වුණු නිසා අනෝමාගේත් අම්මාගේත් ලොකු ම ඉල්ලීම වූයේ බන්දුට කුමක් වී දැයි දැනගෙන එන ලෙස ය.

උත්සවය අවසන් වූ පසු නුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියට වේලාව තිබුණු බැවින් සිරිමෙවන්, බන්දු ගැන සොයා බැලිය යුතු යැයි තීරණය කළේ ය.

බන්දු කියා තිබුණු පරිදි නගරයේ රාජ්‍ය සේවකයන්ගේ “ක්ලබ්” එකෙන් තොරතුරු දැන ගත හැකිවේ යැයි ඔහුට සිතුණි. සොකා‍ටෝ නම් ජපන් කේබල් සමාගමේ කාර්යාලයට ගිය නමුත් ඔහුගේ අදහස ඉටු නොවූ බැවින් ඔහු දළදා වීදිය දිගේ හෙමින් හෙමින් ඇවිද ගෙන ගියේ සමාගමේ ලොරියක හෝ දක්නට ලැබේ යැයි සිතමිනි.

ඔහුගේ උත්සාහය හරි ගියේ ය. සොකාටෝ කේබල් මැනුපැක්චර්ස් සර්විසස් යන්න ඉංග්‍රිසි අකුරෙන් ලියැවුණු ට්‍රක් රථයක්, අසල ගසක් යට නවතා තිබෙනු ඔහු දුටුවේ ය. ‍‍‍‍

කිලිටි කාකි කමිසයකින් හා කලිසමකින් සැරසුණු තරබාරු ජපනෙක් කාටදෝ අමු සිංහලෙන් බනිමින් රථය වටා කැරකෙමින් සිටිනු පෙනුණි.

“කෝ මේ ඩ්‍රයිවර්... මූ හැමදාම අරක්කු බීලා... මෙතන හැංගෙනවා.. මූ මොන ජාතියේ එකෙක් ද.. මේ ජරා හෝටලයට රිංගනවා... පාහර බල්ලා.. මාව කී දවසක් මෙතන රස්තියාදු කළා ද, මේකා මං අද අස්කරනවා...”

ජපනාගේ ගෝරනාඩුව ඇසුණු සිරිමෙවන් ළඟ තිබුණු ගසකට මුවා විය. ළඟ තිබුණු සයිවර් කඩයකින් මතුවූ බන්දුපාල ජපනාගේ ගෝරනාඩුව මැදින් පැමිණ රියදුරු ආසනයේ වාඩි විය. ඔහුගේ බියගුලු විලාසයත් අසරණ කමත් හොඳ හැටි නිරූපණය විය.

රථය වේගයෙන් ඉගිළී යන තෙක් පාර අයිනට වී සිටි සිරිමෙවන් ගෙදර ගොස් අනෝමාට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි ව කල්පනා කරමින් ම ඉදිරියට ඇදෙන්නට විය.



Wmqgd .ekSu උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි weiqfrks
o