2 Views  
සැත්කම
රෝහල්ගතවී සිටින ඥාති මිත්‍රාදීන්ගේ සුවදුක් බැලීමට පැමිණෙන පිරිස් කෙමෙන් කෙමෙන් රෝහල ඉදිරිපිට අමුත්තන් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ල තුළට පැමිණෙමින් සිටියා. ඔවුන් හුඟදෙනෙක් ගේ අත්වල රෝගීන් සඳහා ගෙනෙන ලද පාර්සල් රැඳී තිබුණා. අනුරාධ ලෑලි බංකුවේ කෙළවරට වී අසුන්ගෙන රෝහල ඉදිරිපිට ඇති නුගගසේ නුග ගෙඩි බුදිමින් දොඩමලු වී ඇති කුරුල්ලන් දෙස නෙත් යොමා සිටියේ ලෙඩුන් බලන වෙලාව එනතුරුයි. ඒ අතරතුර කිසිවෙකු ඔහු සිටි බංකුවේ අසුන්ගත් බැවින් අනුරාධ ඒ දෙස හැරී බැලුවා. බංකුවේ අසුන්ගෙන සිටියේ තරුණියක් බව අනුරාධට පෙනුණා. අනුරාධ වරින්වර කීප විටක් ඇය වෙත නෙත් යොමුකළේ ඇගේ රූමත් බව ඔහුගේ සිත පැහැරගත් නිසයි. දිගැටි අතපය, ආකර්ෂණීය දෑස. අනුරාධ කීපසැරයක් ඇය වෙත නෙත් ‍යොමුකරනු දුටු තරුණිය අනුරාධ දෙස හැරී බැලුවේ මුහුණට අප්‍රසන්න බවක් ආරූඪ කර ගනිමිනුයි. එවිට ඇගේ මුහුණේ අනික් පස නාසය අසල ලොකු ඉන්නෙක් ඇති බවක් අනුරාධගේ දෙනෙතට හසුවුණා. ‘ෂහ් ලස්සන මූණ කැතවෙලා. ඉන්නාව අයින්කරල දාන්නෙ නැත්තෙ මොකද මන්ද, වෛද්‍ය විද්‍යාව දියුණු අද වගේ දවසක ඔපරේෂන් එකක් කරල ඉන්නා අයින් කරන්න පුළුවන් නේ. අනුරාධ ඉවතට නෙත් යොමාගෙන ටික වෙලාවක් කල්පනා කළා. අනුරාධට හිතුණා ඒ ගැන අහන්න. ඒත් ගෑනු ළමයගෙ මූඩ් එක හොඳ නැති බවක් පෙනුණ නිසා ඔහු මඳක් පසුබෑවා. අනුරාධ හිතට ධෛර්ය ගෙන කට හඬ අවදි කළා.

“මිස්ගෙ ලෙඩා කවුද නෑයෙක්ද?”

“ඔව්”

“මොනව වෙලාද?”

“ප්‍රෙෂර් වැඩිවෙලා”

අනුරාධ ටික වෙලාවක් නිහඬව සිටිමින් මාතෘකාවට බහින්නෙ කොහොමද කියල කල්පනා කළා. පසුව හෙමින් කටහඬ අවදි කළා.

“මිස් මම මේ කියන කාරණය ගැන මා එක්ක අමනාප වෙන්න එපා”

‘මොකක්ද කාරණාව?”

“ඔය මිස්ගෙ මූණෙ ති‍ෙයන ඉන්නා ඔපරේෂන් කරල අයින් කරන්න පුළුවන්නේ”

අනුරාධගේ කතාවෙන් තරුණියගේ මුහුණ කළුවෙලා ගියා. ඇය අනුරාධ දෙස රවා බලා ඉවත බලාගත්තා.

“නෑ මිස් මම කිව්වෙ ඔයාගෙ ලස්සන ෆිගර් එක ගැන හිතල. හොස්පිටල් එකේ ඉන්නව නේ දක්ෂ චර්‍ම රෝග විශේෂඥ ඩොක්ටර් කෙනෙක්. එයාට පෙන්නංනකො”

“හා. හරි හරි මං ඒක බලාගන්නං. ඔයා කරදර වෙන්න එපා. ඇත්තට ඔයා ගෑනු ළමයින්ගෙ ලස්සන බල බල ඉන්න එකද රස්සාව”

“අපෝ නෑ. මම ලස්සන දේවල් බලන්න, දකින්න ආසයි. මිස් මොකද කරන්නෙ”

“හ්ම්. ඒ පාර විස්තරත් දැනගන්න ඕන වෙලා වගේ. මෙයා මොකද ඒ පාර මගේ පස්සෙන් පන්නන්න හදන්නෙ. මෙයා කවුද, පෙනුමෙන් නං අහිංසක පාටයි. කො‍හොම උනත් හොඳ රස්සාවක් කරන් කෛනක් වගේ පේන්නෙ. පව් මූඩ් එක වෙනස් කරල කතා කරන්න ඕන.”

“මේ... මම ටීචින් කරන්නෙ. හැබැයි ඔයිට වැඩිය විස්තර අහන්න එපා. කියන්නෙ නෑ.”

“හරි හරි, තරහ ගන්න එපා. ඔයාගෙ ගෙවල්?”

“මං කිව්වනේ ආයි ප්‍රශ්න අහන්න එපා කියල”

“අපේ ගෙවල්නං මාතර”

“මං ඇහුවය”

“ආ. ඒකත් ඇත්ත. ඔයාට හරියට තරහ යනව නේ”

“අපෝ එහෙමමත් නෑ. ටිකක් විතර. ආ ඔන්න ගේට්ටුව ඇරිය.”

රෝගීන් බැලීමට පැමිණ සිටි පිරිස එකවර දොරටුවෙන් ඇතුල්වීමට යාම නිසා දොරටුව අසල ඇති වුණේ තදබදයක්. අනුරාධ සෙනඟ අතර තෙරපීගන ගොස් රෝහල් ප්‍රධාන දොරටුව අසලට පිවිසුණා. ඒ සමඟ ඔහු වට පිට බැලුවේ ඔහු සමඟ බංකුවේ වාඩිවී සිටි තරුණිය දැක ගැනීමටයි. එහෙත් ඇය ඉක්මන් ගමනින් රෝහල තුළට පිවිසෙන අයුරු අනුරාධගේ දෙනෙතට හසු වුණා. ඇය සමඟ තවත් ටික වෙලාවක් වත් කතාකර තොරතුරු දැන ගැනීමට බැරිවීම ගැන ඔහුගේ සිත තුළ පසුතැවීමක් ඇති වෙමින් තිබුණා. අඩු වශයෙන් ඇය යන වාට්ටුව වත් දැන ගැනීමට නොහැකිවීම ගැන ඔහුට ඇති වුණේ කනස්සල්ලක්. ඔහු සෙමෙන් සෙමෙන් වාට්ටු අතරින් ගොස් ‍රෝගීව සිටින සිය මිතුරා සිටි සයනය වෙතට ළඟා වුණා. හදිසි අනතුරකින් පාදයේ අස්ථි බිඳීමකට ලක්ව රෝහල්ගත වී සිටි මිතුරා අසලට ගිය අනුරාධ විඩාබර මුහුණින් යුතුව සිටි මිතුරා දෙසත් සාත්තුවට රැඳී සිටි ඥාති සහෝදරයා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් කතා කළා.

“කොහොමද කකුල තාම රිදෙනවද?”

“දැන් නං ටිකක් අඩුයි. ඉතිං කොහොමද අනුරාධ? අද නිවාඩුනේ”

“ඔව්. ආ ඔන්න හර්ෂණීත් එනව”

අනුරාධගේ මිතුරු සනත්ගේ අනාගත සහකාරිය වීමට සිටින හර්ෂණී සනත් ගේ ඇඳ අසලට පැමිණ ඇය අත වූ පාර්සලය ලොකර් එක මත තබා, සනත්ගේ අත අල්ලා ගත්තා. ඇගේ මුහුණේ පැවතුණේ ශෝකාන්විත බවක්. ඔවුන් දෙදෙනාට කතාකර ගැනීමට ඉඩදී අනුරාධ මඳක් පසෙකට වුණා. නැවතත් සිය මිතුරා අසලට පිය නැඟූ අනුරාධ ඔහුගේ තත්ත්වය ගැන හර්ෂණී සමඟ ද කතා කර ඔවුන්ගෙන් සමුගෙන ආපසු ඒමට පිටත් වුණා. ඒ සමඟ රෝහලට පිවිසීමට පෙර කතාකරමින් සිටි තරුණිය ඔහුගේ සිහියට නැඟුණා. එයත් මේ වගේ එයාගෙ පෙම්වතා අසනීපවෙලා බලන්න ආවද දන්නෙ නෑ. අනුරාධට හිතුණෙ එහෙමයි. ඔහු විමසිල්ලෙන් වට පිට බැලුවෙ ඇය කොයිබ‍ හෝ තැනක සිට නැවත තමාට මුණ ගැසේවි යන කල්පනාව ඇතිවයි.

“දැන් ඔය ලෙඩ්ඩු බලන්න ආපු අය කරුණාකරල පිටත් වුණානං හොඳයි. වෙලාව ඉවරයි.” රෝහලේ සාත්තු සේවක මහතකුගේ හඬ වාට්ටුව කෙළවරන් මතුවෙද්දි චමිලා රෝගියාගෙන් සමුගෙන වාට්ටුවෙන් පිට වුණා. අනතුරුව ඇය බස් නැවතුම් පළට පැමිණ කඹුරුපිටිය බලා යන බසයක අසුන්ගෙන බසයේ කවුළුවෙන් මුහුද දෙසට නෙත් යොමාගෙන කල්පනාවට වැටුණා. මුහුද දෙසින් හමා ආ සුළං රැල්ලෙන් ඇගේ ගතට දැනුණෙ සිසිලසක්. මඳ වේලාවකින් ඇගේ සිත තුළට පිවිසුණේ රෝහල අසලදී ඇය සමඟ කතාවට වැටුණ තරුණයා පිළිබඳ කල්පනාවයි. ඇත්තට එයා කවුරු වුණත් හැම දෙයක් ගැනම හොඳින් විමසිලිමත්ව ඉන්න කෙනෙක් වගේ. මම ආශ්‍රය කරපු කවුරුවත් ඔය වගේ කතාකරල නෑ. කවුරුවුණත් හොඳ හාදයෙක්. මම කතාකරපු විදියනං හරි නෑ වගේ කියල මට හිතෙන්නෙ. ඔය ඉන්නා අයින් කරන්න මට කවුරුවත් මීට කලින් කියල නෑ. එයා කියපු කතාව ඇත්ත. ඇයි ඉතිං මට තරහ ගියෙ.

“චමිලා මං මේ උඹව හම්බවෙන්න ආවෙ පොඩි ගමනක් එක්කරගෙන යන්න. මොකෝ දැන් ඉන්නාගෙ ඔපරේෂන් එක සනීපයි නේ.”

“ඔව්, දැන් හොඳයි. යන්තමට කැළලක් තියනව. ඒක පහුවෙන කොට මැකිලයාවි කියල ඩොක්ටර් කිව්ව. ගාන්න බේතකුත් දුන්නා. හා දැන් ඔය කොහේද යන්න හදන්නෙ”

“මාතර නූපෙ ඕලන්ද ගොඩනැඟිල්ලෙ චිත්‍ර ප්‍රදර්ශනයකුත් තියනව. ඒකත් බලල ෂොපිං පාරක් හෙම දාල එමු. උඹ ඉතින් චිත්‍ර වලට ආසයිනේ.”

“හරි මං එන්නං. අද නිවාඩු දවසෙ මමත් කම්මැළිකමෙන් හිටියෙ. එහෙනං මං ලේස්තිවෙලා එන්නං”

චමිලා මහීෂා සමඟ මාතර බලාගොස් අනතුරුව චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පිටත් වුණා. ඔවුන් එහි ළඟාවන විට සෑහෙන පිරිසක් ප්‍රදර්ශනය නරඹමින් සිටියා. චමිලාත් මහීෂාත් දෙදෙන ප්‍රදර්ශන කුටියට ඇතුළුවී චිත්‍ර නරඹමින් ඉදිරියට පියවර තැබුවා. එසේ ඉදිරියට යන අතරතුර චමිලාගේ මිතුරිය එක් ආලේඛ්‍ය චිත්‍රයක් අබියස නතර වී නොඉවසිලිවත්ව චමිලාට කතා කළා.

“චමිලා මේ බලන්නකො”

“ඇයි මොකද?”

“මේ ඔයාගෙ ෆොටෝ එක නේ මේ ඇඳල තියෙන්නෙ. මේ ම‍ූණෙ ඉන්නෙකුත් එක්ක”

“දෙයියනේ ඇත්ත තමයි” කවුද මේ චිත්‍ර ඇඳපු කෙනා පොඩ්ඩක් හොයල බලමු. එයා ඇත්තෙ කෙළවර හරියෙ යමු බලන්න.”

ඔවුන් කෙමෙන් ඉදිරියට පියවර තැබුවා. චමිලාගේ පපුවේ ගැස්ම වැඩිවෙලා වගේ. ඇය එක්වරම ගල් ගැසී නැවතුණා.

“ඇයි චමිලා?”

“මේ එයානේ”

“ඒ කිව්වෙ”

“අර මං කිව්වෙ හොස්පිටල් එකේදි”

“ආ එයාද? ගිහිං කතාකරමු ඉතිං”

ඔවුන් දෙදෙනා චිත්‍ර ශිල්පියා අසලට කිට්ටු කළා.

“ඔයාද චිත්‍ර ශිල්පියා”

“ආ - ඔව් - ඔයා එහෙනං ආව. මං හිතුව කවද හරි මුණ ගැහේවි කියල. කෝ ඔයාගෙ මූණෙ තිබුණ ඉන්න.”

“මට කෙනෙක් කිව්ව ඒක අයින් කරන්න කියල. මම ඒක කළා”

“හරි එහෙනං මං දිනුම්”

“ඔයා එහෙනං මගේ ෆොටෝ එකත් ඇන්ද නේ?”

“ඔව්. ඒක නෑඳ ඉන්න මට බැරි වුණා. මං කැමතියි ඔයාලව අඳුනගන්න. ගෙවල් කොහේද?”

“හා ඉන්න ඉන්න. මෙයාගෙ විස්තර මම කියන්නං නැත්නං මෙයාගෙන් වචන ගන්න ටිකක් අමාරුයි. මෙයා ටිකක් විතර ආඩම්බරයිනේ. මේ චමිලා, ගම කඹුරුපිටිය, හොඳ ගුරුවරියක්. තාම කවුරුවත් නෑ”

“මහීෂ මොනවද ම් ඔයා කියන්නෙ”

“හරි හරි ඒ ටික පහුවෙලා අහනකං ඉන්නවට වැඩිය හොඳ මේ ගමන්ම කියල දැම්මම. උගුරට හොරා බේත් කන්න ඕන නැහැනෙ. එතකොට මහත්තය මොකද කරන්නෙ චිත්‍ර අඳින එකද?”

“නෑ මම ඒ ජී ඒ ඔෆීස් එකේ වැඩ කරන්නෙ. විනෝදෙට තමයි චිත්‍ර අඳින්නෙ. නම අනුරාධ. මෙන්න විසිටිං කාඩ් එක.”

“හරි ඒක මෙයාගෙ අතට දෙන්න. එයාගෙ නම්බර් එක මම ගිහින් කතා කරල කෝල් කරල කියන්නං හරිනෙ”

“අනුරාධ මහත්තය මේ ෆො‍ටෝ එක මට දෙන්න බැරිද?”

“අපෝ ඒක නං කරන්න බෑ. පස්සෙ බලමු”

“මේ ඔය දෙන්න පස්සෙ ගනුදෙනු බේරගන්න අපි දැන් යමු. මොකෝ හිටිය කියල තේ එකක්වත් දෙනවය”

“අනේ සොරි ඔහොම ඉන්න මම බොන්න මොකුත් ගෙන්නන්නන්”

“නෑ අපි බොරුවට කිව්වෙ. එව පස්සෙ බැරිය. එහෙනං අපි යන්නං අනුරාධ මහත්තය. පස්සෙ මුණගැහෙමු. දැන් ඉතිං හරිනේ.”



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o