1 Views  
අප්පච්චී
කොන් ගහ අසල බයිසිකලය නතර කළ මම ඇළ හා සමාන්තරව වැටී ඇති අඩි පාර දිගේ කුඹුර දෙසට පිය නැඟුවෙමි. කන්න කිහිපයක් වැඩ නොකොට අත්හැර දමන ලද කුඹුර කිසිදු හව්හරණක් නැති අනාථ දරුවකු සේ බලාගත් වනම බලා සිටී. මේ කුඹුරේ ආදි කාලීන නෑදෑයකු බඳු දඹ ගස අසල නටබුන් පැලට යාබද ගල්තලාවේ මම හිද ගතිමි. මේ කුඹුර අප්පච්චිගේ පා සටහන් කෙතෙක් නම් දරා සිටින්නට ඇත්ද? ගෝලු ගා කෑගහන අප්පච්චිගේ හඬ මේ පරිසරය තුළ තවමත් ජිවමානව ඇතැයි මට සිතේ. කිසිදු අරමුණකින් තොරව මම සිතට ඔහේ සිතන්නට ඉඩ හැරියෙමි. මීට අවුරුදු දෙකකට පමණ පෙර වියෝ වූ අප්පච්චිගේ සිනා මුසු මුහුණ මා ඉදිරියේ මැවී ඇත. කුඩා කලග සිට ම අප්පච්චි කෙරෙහි තිගැස්සුම් සහිත බය පක්ෂපාතීත්වයක් මා තුළ ගොඩ නැඟී තිබිණි. එසේ වූයේ අප්පච්චි තුළ තිබුණ කිසියම් පෞරුෂමය කරුණක් නිසා යැයි දැන් මට සිතේ‍. මම සිතුවිලි එකින් එක අමුණා සිතට සිතුවිලි, අතීතාවර්ජනයන් ගළපන්නට ඉඩ හැරියෙමි.

දිනය නොවැම්බර් දෙවැනි දාවකි‍. එකල මම විශ්වවිද්‍යාල දිවිය අවසන් කොට රැකියාවක් සොයා ගන්නා තුරු හිතවතකුගේ මාර්ගයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගුණරත්න මහතාගේ කඩේ බිල් ලියන්නෙක් ලෙස සේවය කළෙමි. එදින එතරම් කාර්ය බහුල නොවූයෙන් අසල හිතවතුන් කිහිප දෙනකු සමඟ කතා බහ කරමින් සිටියෙමි. අහස මහා වැස්සකට අර අඳිමින් සිටියේ ය. ඉතා වේගයෙන් කළු වළාවෝ අහසේ මුදුන් වෙමින් සිටියහ. කිසිවකු මෝටර් බයිසිකලයෙන් පැමිණ කිසිවකු විමසන බවක් මම දැක්කෙමි. විමසිලිමත් වූ මගේ දෑස් ඒ ඥාති සොයුරකු වන සජිත් මල්ලී යැයි හඳුනා ගතිමි. ඔහු විමසන්නේ මා යැයි මට සිතුණෙන් මම ඔහු දෙසට පියමැන්නෙමි. “මල්ලී ගෙදර යන ගමන් ද? නගරයේ රැකියාවක් කරන ඔහු දිනපතා මේ වේලාවට ගෙදර යන හෙයින් මම ඇසීමි. “නෑ ඔයා එක්කගෙන යන්න ගෙදර” ඔහුගේ ක්ෂණික පිළිතුර විය. “තව ටිකකින් යන්” මම කීවෙමි.

 “මම ආවේ ඔයා එක්කගෙන යන්න” යැයි කී ඔහු ශෝකයෙන් මෙන් බිම බලා ගත්තේ ය. “ඇයි හදිස්සියක්ද? මම පෙරළා ඇසුවෙමි. “මාමා නැති වුණා” ඔහු කීය. “මාමා අසනීපෙන් හිටියෙ නැහැනෙ” අපෙ නිවසේ සිටින අම්මාගේ ලොකු අයියා පිළිබඳ ව මම පැවසුවෙමි. “නැහැ ඔයාලගෙ අප්පච්චි” ඔහු කීය. කිසිවකු විසින් කළු ගලකින් ඔළුවට ගසන ලද කලෙක මෙන් මගේ හිස හිරි වැටී ගියේ ය. ජිවිතේ කිසිදු දිනෙක නොදැනුණු දුක් මුසු හැඟුමකින් මගේ අතපය වාරු නැති කළේ ය. අසල කිසිවකු විසින් මා අල්ලා ගත්තා දැයි මම නොදනිමි. මට වඩා අවුරුදු පහ හයකින් බාල සොයුරා විසින් කාගේදෝ උදව්වකින් මම මෝටර් සයිකලයට නංවා ගතිමි. “අයියා මාව හයියෙන් අල්ලා ගන්න” ඔහු සෙමෙන් කීය. මා ඉකිබිඳිමින් හඬන්නේ ඇයිදැයි විමසමින් සියල්ලෝ ම මා දෙස බලා සිටියහ. ඥාති සොයුරාව වැරෙන් අල්ලාගත් මම ඇති තරම් හැඬුවෙමි. බොඳවූ ඇසට කිසිවක් නොපෙනුණෙන් මගේ මතකය මා අතීත සිදු වීමකට කැඳවාගෙන ගියේ ය. එවකට මා හතරවෙනි පන්තියේ පමණ වයස වීමි. නිතර අතේ පයේ කොහේ හෝ විසර ගෙඩියක් සෑදීම සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදෙන්නාක් මෙන් මට සුලබ ‍රෝගයක් විය. එදින විසර ගෙඩිය සෑදුණේ මගේ පිටිපස්ස පැත්තේ ය. වේදනාව සහ අපහසුතාව විසින් මා නොයෙක් වර අඬවන ලදී. අත්තම්මා පැමිණ කුමක් කළ ද එය මට සුවදායි පිළිසරණක් නොවීය. “මයෙ අපුච්චා ටිකක් ඉවසලා හිටපං උඹලගෙ අප්පා දැන් එයිනේ” ඈ මගේ හිස අතගාමින් කීය. ඉකිබිඳිමින් සිටින මට අප්පච්චිගේ බයිසිකලයේ ශබ්දය ඇසිණි.

“අප්පේ අද නම් ඇති වුණා. මකුලුගස්සාවෙන් එහා ගං දෙකකටම යන්ඩ වුණා” ඔහුගේ හ‍ඬේ දැඩි මහන්සි ගතියක් විය. “ඈ බණ්ඩප්පේ මේ කොල්ලගෙ පස්ස පැත්තේ තක්කාලි ගෙඩියක් විතර විසාදි ගෙඩියක්, ඒකා අඬා ගත්ත හැටියෙමයි. මොවුන්ගෙ මෝත් නෑ අර කරුණලගෙ කුරහන් කපන්න ගොහිං. අලුත්වැවේ හේරත් වෙදා ළඟටවත් ගෙනියන්ඩ වෙයි.” ඈ නොනවත්වාම කියාගෙන ගියා ය. බෑගය පුටුවක් මත තැබූ අප්පචිචි කිසිවකුත් නොකියා මා වෙත ආවේ ය. මගේ හිස අත ගෑ ඔහු මට කමිසයක් ද අන්දවා “උඹට බයිසිකලයේ ඉදගන්ඩ පුළුවන් දැයි” ඇසුවේ ය. “හ්ම්” මට කියවිණි. බයිසිකලයට නැගගත් අප්පච්චි මගේ කිහිලි දෙකින් ඔසවා බයිසිකලය මත ඉන්දවා ගත්තේ ය. හේරත් වෙද මහතාගේ ගෙදර ගිය පසු විස්තර විමසා මා ඇඳක මුණින් අතට හින්දෙව්වේ ය. අප්පච්චි තදින් මගේ අත අල්වා ගත්තේ ය‍. වෙද මහතා මොනවාදෝ හෑල්ලක් කියමින් එකවරම මගේ ගෙඩියට තියුණු කටුවකින් විදිනු මට දැනිණි. මම මහත් හඬින් බෙරිහන් දුන්නෙමි. අප්පච්චි “තව ටිකයි මගේ පුතේ” යැයි බිඳුණු හඬින් කීය. ඒ අතරතුර මගේ පිටට වැටුණ දිය බිඳු කිහිපය ඔහුගේ කඳුළු යැයි පසු කලෙක මම වටහා ගතිමි. ආපසු නිවසට විත් ඇඳක මා මුණින් අතට නිදි කරවා මගේ තුවාලය අවට හෙමින් පිරිමදිමින් අප්පච්චි මා ළඟම සිටියේ ය. වරින් වර මට නින්ද එමින් යමින් තිබිණි.

මා අවදි වූ හැම විටම අප්පච්චි මා අසල මගේ පිටුපස තුවාලය අවට හෙමින් පිරිමදිමින් සිටියේ ය. ඔහු එදින මුළු රාත්‍රියේ ම නොනිදා පහන් කළ බව මට කිව හැකි ය. ඔහුගේ කාරුණික මුහුණ මගේ මනසේ තදින් ම පැළපදියම් වුණේ එදා යැයි අද මට සිතේ. වැහි බිඳු එකින් එක අප දෙදෙනා තෙමන්නට මෙන් සිය වේගය වැඩි කළේ ය. මට වැස්ස පිළිබඳ කිසිදු හැඟීමක් නොවී ය. “හයියෙන් අල්ලගන්න” ඥාති සොයුරා නැවතත් කීය.

එවකට අපේ නිවස කුඩා කාමර තුනකින් ද සාලයකින් ද කුස්සියකින් ද සමන්විත එකක් විය. අප්පච්චිත් මමත් ඇඳක් සහිත එක් කාමරයක නිදා ගතිමු‍. අම්මා මල්ලි සමඟ එහි බිම නිදා ගත්තා ය. ඇද අයිනේ බිත්තියේ බොහෝ කුඩා සිදුරු විය. ඒවා මකුණන්ගේ සදාකාලික නිවෙස් බවට පත්ව තිබිණි. බොහෝ විට මා නිදා ගත්තේ අප්පච්චිගේ දෙසට නොව බිත්ති දෙසට මුහුණ හොවා ගෙන ය. එක් රාත්‍රියක කුප්පි ලාම්පුව බිත්තිය දෙසට ඔසවමින් අප්පච්චි මකුණන් මරමින් සිටිනු මම දැක්කෙමි. කිහිප වතාවක් ම මම ඇහැරුණ විට ඔහු එසේ කරනු මම දැක ඇත්තෙමි. එහි කිසියම් විශේෂත්වයක් මට කිසි දිනක දැනී නොතිබිණි. දිනක් උදයක අප්පච්චි “ඊයේ රෑ නින්දක් නෑ, ලොකු එකාගේ මකුණො කනවා. එවුන් මැරුවා වරුවක්ම යැයි” අම්මාට කීවේ ය. එය එදා මට මහා සිදුවීමක් නොවුණ ද එබඳු සිදුවීම් එකතු වෙමින් ඔහු මට දක්වන ලද ආදරය විශාල එකක් වෙමින් මගේ හදවතේ බර වැඩි කරමින් ඇසට අඬන්නට තව තවත් කඳුළු දුන්නේ ය.

වැස්ස තව තවත් වැඩි වන්නට විය. වළවල් බහුල පාරේ වතුර පිරුණ වළවලට වැටෙමින් බයිසිකලය ඉදිරියට ඇදෙයි. අදුර විසින් සියල්ල වෙලා ගෙන ඇත. අද උදේ බසයට නැඟීමට ජයරත්න අයියාගේ කඩය අසලට එන විට අප්පච්චි ද එතනට එනවා මට මතකය. සෝමදාස මුදලාලිගේ බාර් එක අසල බයිසිකලය නවතා ඔහු මදෙස හොරැහින් බැලු අයුරු මට සිහි විය. විවිධ උපකල්පනයන් මගේ සිතට නැඟුණ ද ඒ කිසිවක් ම‍ගේ සිත තුළ දැඩිව මුල් බැස නොගත්තේ ය. ඇයි අප්පච්චි මැරුණේ මම කෝපයෙන් මගෙන් ම අසා ගතිමි. දුක කෙතරම් කටුක එකක් දැයි ජීවිතේ පළමු වතාවට මට දැනෙන්නට විය. පැය භාගයක් තුළ මේ සිදුවූ සිදුවීම් සිහිනයකැයි ද එසේ නොවුවා නම් කෙතරම් හොඳ දැයි මට සිත් විය. අතොරක් නැති සිතුවිලි කන්දරාවකින් මගේ සිත පිරෙන්නට විය. පොඩි ඉස්කෝලේ යැයි අප විසින් හඳුන්වනු ලබන ප්‍රාථමික පාසල් සීමාව අවසන් වනවාත් සමඟම විශාල සෙනඟක් සහිත රෝහල මගේ වේදනාව දැඩි කළේ ය. සජිත් මල්ලි බයිසිකලයේ වේගය මඳක් අඩු කළේ ය. ‘ගෙදරම යමු නේදැයි’ ඔහු සෙමෙන් ඇසීය. “හ්ම්” මගේ පිළිතුර විය. ගෙදර, අප්පච්චිගෙන් තොර ගෙදරක් පිළිබඳව කිසිදු සිතුවිල්ලක් මා තුළ කිසි දිනක ඇති වී නොතිබිණි. අද ජීවිතේ පළමු වතාවට අප්පච්චිගෙන් තොර නිවසකට යන පළමු දිනයැයි හැඟීමකින් මගේ ඇසට කඳුළු ද මුවඟට මහා සුසුම් හඬක් ද සමඟ හැඬුමක් ද ගෙනාවේ ය. අම්මා හෝ අක්කලාගේ මුහුණු බැලීමට ශක්තියක් මා තුළ ඉතිරි වී නොතිබිණි. මම බයිසිකලයෙන් බැස නිවස තුළට සෙමෙන් ඇතුළු වූයෙමි. අක්කලා අම්මා සහ අත්තම්මා මා වැලඳගෙන මහා හඬින් හැඬුවෝ ය.

මීට වසර දෙකකට පමණ පෙර සිදු වූ ඒ අසුන්දරම ජීවිත අත්දැකීම අප සියල්ලන්ගේ ම ජීවිත බොහෝ දුරක් ආපස්සට ඇද දමා ඇතැයි මට සිතුණි. කුඹුර අසල විශාල කඳු පන්තිය නිසොල්මන්ව බලා සිටී. අප්පච්චි මේ කොහේ හෝ සිට මා දෙස බලා සිටින බවක් මට දැනෙන්නට විය. පුරන් ව ඇති කුඹුරු යාය මෙන් ම අපේ ජීවිත ද පුරන්ව ඇති සෙයක් මට දැනෙන්නට විය. හුන් තැනින් නැගිට බයිසිකලය වෙත පියමනිමින් සිටි මට අප්පච්චිගේ මළගෙදර දා එහි සිටි අයෙක් තවෙකකුට කියූ වදනක් සිහි විය. අප්පුහාමි මාමා නම් අප දන්නා අප්පච්චිගේ හිතවතෙක් අපේ ළඟ ඥාතියකු වන සිරිතුංග අයියාගෙන් මෙසේ ඇසීය. “ඇයි මල්ලි බංඩාරට මෙහෙම දෙයක් වුණේ?” ණය තුරුස් උහුලගන්ඩ බැරුවනේ, ඔය ළමයිට උගන්නන්ඩ බංඩාර අයියා පුදුම මහන්සියක් වුණේ. හතර අතට ණය වුණේ උන්ට උගන්නන්ඩ. අනේ පව් හොඳ මනුස්සයා දරුවන්ට ගෑනිට අගේ නැති වුණාට” ඔහුගේ පිළිතුර විය.


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o