1 Views  
නෝංජලයා
මිනිස්සු යති. එති.

ගුණවංශ ටීචර් උගන්නපු විදියට නම් ව්‍යාකරණ හරියට ම හරි. ඒ වුණත් මං මේ දකින්නේ ගැහැනු යති. එති....!

“අනිත් වැඩ මොනව වුණත් කමල් සිංහල නම් ‍හොඳට පාස්වෙයි...”

ගුණවංශ ටීචර් එහෙමයි කිව්වෙ.

ගැහැනු වුණත් මිනිස්සු වුණත් බහු වචන... යති... එති. මං බලාගෙන ඉන්නවා. යති! ඉක්මන්. ඒ ඉක්මන නෑ එති සඳහා.

‍වෙලාව එකොළහයි තිස්පහයි. මං මේ කතුන් දෙදෙනා ම තුන් රෝදෙන් බස්සවලා දැන් පැයකුත් විනාඩි දහයක් ගෙවුණා.

“වෙයිටින් දාගෙන ඉන්න මල්ලී...”

විනාඩි ගණනට මිල වැටෙන මීටරේ දිහා බලාගෙන ඉන්න නෝනලා දෙන්නාගේ උස නෝනාගේ කටහඬ ඇහෙනවා වගෙයි...! ඒ වුණාට ඒ එක්ක ම මට ඇහුණෙ මගේ මොබයිල් එකේ හඬ.

මං හලෝ කියන්නත් ඉස්සරහින් එහා පැත්තේ හඬ මගේ කනේ.

“මේ කොහොමද දවල්ට උයන්නෙ... රුපියල් දහයමයි ගෙදර තියෙන්නෙ...”

“මං එන්න ඉස්සෙල්ලා සල්ලි ඉල්ලන්න තිබුණ නේ සචී... දැන් මොකද කරන්නෙ.. මටත් අමතක වුණා..”

“ඔයා පරක්කු වෙනවද?”

“ඔව් මේ දිග හයර් එකක්. දැන් වෙයිටින් එකේ ඉන්නෙ. නෝනලා දෙන්නෙක් ආවා. ඒ දෙන්නා මහා ලොකු සාප්පුවකට ගියා.”

“අපි එක පාරම රෑටම උයල කමු.”

“ඔයා බඩගින්නෙ?”

“ඇයි ඔයා?”

මං හිනහවුණා. අපි හිනහවෙන්නෙ අඬන්න කඳුළු නැති නිසා නෙවෙයි. කඳුළුවලට තේරුමක් නැති නිසා. මොකක් හරි තේරුමක් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරනවා මිසක් මොකටද තේරුමක් නැති දේවල් කරන්නෙ...?”

“කමල් ඔයා කඩේකින් මොනව හරි කන්න. බඩගින්නෙ ඔළුව පාවිච්චි කරල ත්‍රිවීල් එළවන්න බෑ.”

සචී එහෙම කිව්වමත් මං හිනාවුණා.

“මොකද ළමයො බඩගින්නෙ ඔළුව පාවිච්චි කරන්න බැරි නම්, අපි දෙන්න ම ඕ ලෙවල් පාස් වුණේ... සම්මාන හතරයි! සම්මාන තුනයි!”

“මේ මේ... කමල් බොරු කියන්න එපා අපි බඩගින්නෙන් බාගයක් නිවාගෙනයි පාඩම් කෙරුවෙ....!”

“කොච්චර අමාරු වුණත්, ඒ බාගෙත් ලොකු දෙයක් කියල හිතෙනවා...”

‘නැතුව... පේනවනේ බඩගිනි නිවාගන්න කොච්චර දඟලන්න ඕනෙද...? මං හොඳ තේ එකක් හදාගෙන උදේ ඉතුරුවෙච්චි පාන් කෑල්ල පොඟවා ගෙන කන්නම්....”

“හා මට පේන්නෙ අද දවස හොඳයි වගේ. දිග හයර් එකක් වැදුණොත් හැන්දෑවෙත් මේ වගේ, මං බත් පාර්සල් දෙකක් ගේන්නම් කෝ...”

“හුඟාක් රෑ වෙන්ට නම් එපා!”

“ඔයාට බඩගිනියි නේද?”

මං අහනවා.

“ඒකට නම් කහට වතුර තියෙනවා.... ඔයා පරෙස්සමෙන් එන්නකෝ....”

පරිවාසෙදි නම් අපි කහට වතුර ටිකකින් බඩගිනි නිවාගෙන නෑ කිසි ම දවසක. වට්ටක්කා හොදියි ලූනු සම්බලකුයි, එක්කෝ මුරුංගා හොදියි කන්කුන් තෙල් දෑමකුයි එක්ක අපිට අපේ බෙලෙක් පිඟන්වලට බත් හැඳි දෙකක් ලැබුණා. ලොකු පොල් කටු හැන්දෙන් බත් හැඳි තුනක් ලොකු උන්ට. පුංචි ම උන්ට හැන්දෙන් එකයි.... හොඳ ම දවස හාල්මැස්සන් කරවල කූරි තුනක් හරි හතරක් හරි තක්කාලි කෑලියි ලූනු කෑලියි එක්ක, රතුයි කහයි මිශ්‍ර වෙච්ච ලස්සන පාට හොදෙන්දෙන් පොල් කටු හැඳි බාගයක් වත් පිඟානට වැටෙන දවසයි...!

පරිවාසෙ අපි ගෑනු පිරිමි ළමයි කෑම කෑවෙ, නිදා ගත්තෙ, කොටින් ම අපේ පදිංචිය වෙන වෙන ම. හැබැයි ඉස්කෝලෙ ගියේ එකට. ඉගෙන ගත්තෙ එකට එකම පංතිවල. සචී...! එයාගෙ නම සචිනි... ඉස්සරහින් පස්සෙන් වාසගම් නෑ. නිකම් ම සචිනි.... මං කමල් ජයසේන.

පාරෙ එහාටයි මෙහාටයි යන එන සෙනඟ දිහා මං බලන්නෙ තේරුමක් නැතුව. අව්ව සෙනඟ මැද්දෙ හිරවෙවී නළියනව වගෙයි. නගරෙ මිනිස්සුත් සල්ලි හොයන්න, හැම තිස්සෙ ම නළිය, නළිය තමයි ඉන්නෙ. තට්ටු තුනේ සාප්පුව ඇතුළට ගිය නෝනලා තාමත් නෑ. මේක ඇඳුම් සාප්පුවක්. සචිනිට හොඳ ඇඳුමක් අරගෙන දෙන්න මං කල්බලා ඉන්නවා. මං හුඟාක් කල් බලා හිටියා සචිනි වෙනුවෙන්. සචිනි බාලිකා පරිවාසෙට ආවෙ මට පස්සෙයි, කිලයි මං හිතගෙන හිටියෙ. ඒක වැරදියි. සචී ඇවිත් තියෙන්නෙ, මං පරිවාසෙට එන්න හුඟාක් කලින්. ඒ කියන්නෙ එයා කිරිබොන කාලෙදි. එයාගෙ අයිතිකාරයො එයාව දාලා ගිහින් තියෙන්නෙ බස් නැවතුම්පොළක. ලස්සන රෝද පාට ගවුමක් අන්දවලා, ලස්සන කිරි බබෙක් විදියට... අපි හැමෝට ම අයිතිකාරයො ඉන්නවා. ඒ අයිතිකාරයන්ට අපිව එපා වුණා ම ඒගොල්ලෙ අපිව කොහේ හරි අත ඇරලා දාලා යනවා.

“මහත්තයා අද අදින වාසනාව....” ස්විප් ටිකට් ලෑල්ලක් දික්කරගෙන ඉන්න, මනුස්සයාව මට පෙනුනෙ විහිළුකාරයෙක් වගේ.

“ඊයෙ ඇදපුව නැද්ද අන්කල්...”

මං ඇහැව්වා. එයා ගිනි අව්වට එකතු වෙලා යන්න ගියා.

එයාටත් වැඩ ඇති. කන්න ඕනෙ. ඉන්න නිවහනට කාසි ගෙවන්න ඕනෙ. ළමයි ළපටි ඉන්නවද කවුද දන්නෙ ළමයි ළපටි හදා දුන්න ගෑනු මනුස්සයෙකුත් නැතෑ. ටිකට් එකක් අරගෙන උදව්වක් කරනව නම් හොඳයි. ඒත් මට හයියක් නෑ ඒවට වියදම් කරන්න. ඒ නිසා මට හයියෙන් කෑ ගහල අඬන්නවත් හයියක් තිබුණෙ නෑ.

තාත්තා අම්මාට ගැහැව්වා. අම්මා තාත්තාට බැන්නා. බැන්නා.... දිගට ම බැන්නා. එයා මෙයාට ගැහැව්වා. ගැහැව්වා දිගට ම ගැහැව්වා. හැමදාම එක ම විදියයි. ඒත් මට ඒකට පුරුදු වෙන්න බැරිවුණා. මං ඇඬුවා. හෙමින් රහසෙන් වගේ. සද්දෙට ඇඬුවොත් දෙන්න ම එකතුවෙලා මට ගහනවා. එහෙම දවස් තිබුණා.

එදා....! එදා මං බලාගෙන ඉන්න බැරිකමට මිදුලට ගියා. ටික වෙලාවකට පස්සෙ ගේ ඇතුළෙන් එක්කෙනෙක් ඇවිත්, මං වගේ මිදුලෙ නවතින්නෙ නැතුව දිගට ම පාරට ගියා. මං බලාගෙන හිටියා.

අනිත් කෙනාත් ටික වෙලාවකට පස්සෙ පොදියක් ඉනේ ගහගෙන මිදුලට ආවා. මං දිහා බැලුවා... පාරට ගියා... එහා මෙහා බැලුවා. දිගට ම යන්න ගියා.

දැන් මගේ වාරෙ... මං ඇඬුවා. කෑ ගහල ඇඬුවා. ගිය දෙන්නා ආවෙ නෑ, වෙන අය ආවා. වට පිට කට්ටිය ආවා. කතා කළා. ගිය දෙන්නට බැන්නා. මාව පොලීසිය බාර කළා. එතැනින් මං පරිවාසෙට.

එතැන හොඳයි...!

රහකුත් නැති, බඩ පිරෙන්නෙත් නැති කෑම වුණත් ලැබුණා. පුංචි කොස්සක් අතට දීලා නිවාසෙ ඉස්සරහ පඩිපෙළ අතුගාන්න කිව්වා. පුංචි බාල්දියකින් වතුර ගෙනත් මල් පාත්තිවලට දාන්න කිව්වා. වැඩ තිබුණා මට. උදේට ඇඟ සෝදන්න. දිනපතා නාන්න... මහ කරදර වැඩ වුණත් මට අර ගහගෙන බැනගෙන හිටිය දෙන්න එක්ක ඉන්නවට වැඩිය, පරිවාස ජීවිතේ හොඳ වුණා.

සචී හිටියෙ මගේ පන්තියේමයි. ඉස්කෝලෙදි ගෑනු පිරිමි කියල පන්ති වෙන්කරල නෑ. නිවාසෙන් එන ළමයි ගෙදරින් එන ළමයි කියලත් වෙන් කරල තිබුණෙ නෑ.

දවසක් දා නවයෙ පන්තියෙදි ගණිතය වෙලාවෙ මං මහා චණ්ඩිකමක් කෙරුවා. සචිනි පන්ති‍ෙය ගණන්කාරි. හැබැයි ඕන කෙනෙකුට කියලා දෙනවා. සචිනි පොත පෙන්නලා ආපහු ඩෙස්ක් එක ළඟට එන්න ආවා. පාලින්ද සචිනිට කකුල් මාට්ටුවක් දැම්මා. සචිනි වැටෙන්න ගිහින් නූලෙන් බේරුණේ. මට කේන්තියක් ආවා. මං පැනපු ගමන් පාලින්දගෙ පිටට ගහගෙන ගහගෙන ගියා.

“යකෝ මූ මට ගහන්ඩ...”

පාලින්ද පස්සට හැරිල අත උස්සගෙන මං ළඟට පැන්නා. මං උගේ අත අල්ල ගත්තා.

“ඇයි මොකද?”

“යකෝ කැඳ නෝංජලය උඹගෙන් මං ගුටි කන්න... හා වරෙන් වරෙන්...”

“ඒයි මොකද ඔතන සද්දෙ?”

ටීචර් පොත දිහා බලාගෙන කෑ ගැහැව්වා.

“ඉස්කෝලෙ ඇරුණම බලා ගමු... කැඳ නෝංජලයා!”

පාලින්ද කියවනවා.

“උඹ බන් සැන්ඩෝ නේ බලා ගමු.”

මාත් කියවනවා. ඒවා ඉතිහාසයට ගිය මතක. මට හිනා ගියා. මං පැත්තට හැරිල ෂීට් එකේ පිටකොන්ද හේත්තු කර ගන්න කොටසට වැලමිට තියල මූණ අත යටට කරගත්තා.

ඇත්තමයි, පාලින්ද කිව්ව වගේ මං නෝංජලයෙක්. හැබැයි සචිනි මට කැමැති වුණේ, මං නෝංජලයෙක් නිසා. නෝංජල් මිනිස්සු එක්ක ගෑනුන්ට ජීවත් වෙන්න ‍ලේසි ඇති. මගේ තාත්තා නෝංජලයෙක් නෙවෙයි, ඒ වුණාට ඒ දෙන්නා මාව අර මිදුලෙ දාලා ගියාට පස්සෙ මං නෝංජලයෙක් වුණා. කවුරු බැන්නත් ගැහැව්වත් මං කරබා ගත්තා. මගේ මකනෙ, මගේ පැන්සල කවුරු හරි උදුර ගත්තත් මං කරබා ගත්තා. මං බය වුණාද? මං දන්නෙ නෑ!

හයර් එකේ නෝනලා තාමත් නෑ. පරිවාසෙන් අරන් දීපු ත්‍රිවිලර් එකට මාසයක් ගානෙ ගෙවන්න ඕනෙ. කුස්සියකුයි කාමරේකුයි එක්ක ගේ කෑල්ලට මාසයක් ගානෙ කුලී ගෙවන්න ඕනෙ. මං දවස ග‍ානෙ හම්බ කරන සල්ලි සචිනිට දෙනවා. සචිනි ඒවයින් වැඩි හරිය ලොකු මැටි කැටේකට දානවා. හැම මාසෙ ම අන්තිමට කැටේ කඩනවා. අද එයා ළඟ තියෙන්නෙ රුපියල් දහයයිලු! ඔය තියෙන්නෙ මැටි කැටේ ඇතුළෙ මං හම්බකරපු සල්ලි කියල කියන්න මට බෑ! ඒ මගේ නෝංජල්කමද? මං නම් දන්නෙ නෑ. හරිහම්බ කරන කාසි ගෙදර ගෑනිට ගිහින් දෙන්නෙ නෝංජල් පිරිමි ද?

අනේ මං දන්නෙ නෑ පවුල් පන්සල් ඔක්කෝම තියෙන්නෙ සල්ලි නිසා. එච්චරයි මං දන්නෙ. මං හැමදාම හවසට සල්ලි ඔලොගුවම සචිනිට දෙනවා. මං නෝංජලයෙක් වුණත් කමක් නෑ... මගෙයි සචිනිගෙයි පවුල තියෙනවා නම් මට ඒ ඇති...


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o