2 Views  
එක එක ගමන් එක එක ගණං
ලෝකයේ ඇත්තේ ගමන් වර්ග දෙකකි. ඒ, “අම්මා මා එක්ක යන ගමන්” සහ “අම්මා මා එක්ක ‍නොයන ගමන්” ය. ඇය මා ගමනක් එක්ක යන විට කිසිදා මා ඊට හේතු විමසා නැත. එසේ හේතු නොවිමසීමට හේතුව වන්නේ, කොහේ ගියත් එය මට ගමනක්ම වන බැවිනි; අපූර්වයක් වන බැවිනි.

මා එක්ක නොයන ගමනක් යෑමට සූදානම් වන අම්මාගෙන් මම බොහෝ ප්‍රශ්න අසමි. කරදරයක් වන තරමටම ප්‍රශ්න අසමි; කණ්ණාඩිය ඉදිරියේ ඇය සූදානම් වන තෙක්ම මම ඇඳට පස්ස හේත්තු කර ගෙන, කකුල් දෙක ටිකෙන් ටික බිම දිගේ ඉදිරියට රූටා යෑමට සලස්වමින්, නිකට පපුවේ වැදෙන තරමට පහත් කරගෙන සිටිමි. අම්මාගේ ඇස් ඇත්තේ අල්මාරියේ සවිකර ඇති කණ්ණාඩිය වෙතයි. මටත් පාලනය කර ගත නොහැකි තරමේ රූටා යෑමකදී අම්මා ගැස්සී මා දෙස බලන සැණින් ඇගේ එක් පයක්ද මදක් ඉදිරියට රූටා එයි.

නිකට බර කරගෙන බිම බලාගෙන මෙන් උන්නත්, මට අම්මා පෙනෙයි. මම අම්මා දෙස නොබලමි. බලන බවක්ද නොපෙන්වමි. නොබලාම සිටින බවක් පෙන්වමි. එහෙත් මම අම්මා දකිමි. ඒ දකින්නේ කණ්ණාඩිය ඇතුළේ කොනක සිට සාරි රැළි දමන අම්මා ය.

කට වසාගෙන සිටින මම උගුරෙන් හා නාසිකාවෙන් යම් නොරිස්සුම් හඬක් නඟින සේ හුස්ම පිට කරමි. එය හැඬීමක් නොවේ. නමුත් මගේ අකැමැත්තක් ඒ හුස්මෙහි පාවී යනු මට දැනෙයි. එය පාවී ගොස් අම්මාගේ ඇ‍ඟේ වදිතියි මට සිතේ. එසේ වදින තරම මට පෙනෙන්නට පටන් ගන්නා තුරු ක්‍රමයෙන් මම නාහෙන් හැඬීමට යොදන ශක්තිය වැඩි කරමි. හැඬී ඉතුරු කර ගන්නේ මගේ මූණ එල්ලා ගැනීම හෝ කුනුකුනුව ගැන හෝ අම්මා දොස් කිවහොත් ප්‍රයෝජනයට ගැනීමටයි.

ඕනෑම ගමනක් යා හැකි අම්මා තරම් වහවහා ලොකු වීමට විටෙක මට සිතේ. ලොකු වීමේ ලොකුම ලාභය ගමන් යා හැකි වීම නොවේද?

බසයේ වීදුරුවෙන් එළිය බලාගෙන යෑම, අම්මාගේ අතේ ඇති සල්ලි කොන්දොස්තර මාමාට දීම, ඔහු ටිකට් නිකුත් කළොත් හෝ ඉතුරු සල්ලි අනුමත කළොත් ඒවා බාරගෙන අම්මාට දීම, ලණුවක් ඇති සීනුවක් නම් ලණුව පහලට වී ඇති කොනක් සොයා ගෙන අප බහින බව සැම දෙනාටම දැනුම් දීම වැනි භාරධූර කටයුතු රැසක් ම යෙදීමට අවස්ථාව සැලසෙන්නේ ගමන් ය‍ෑමේදී ය.

සුදු සාරි ගමන් යනු අම්මා මා එක්ක නොයන වර්ගයේ ගමනකි. ඈ සුදු සාරිය අඳිමින් සිටින මොහොතේ මා නිකට බරකොට ගෙන නහුකුනු හඬ නගන විට,

“ඔය අඬන මිනිස්සු අස්සෙ යන්නෙ නෑ පොඩි ළමයි” නැත්නම්

“විෂබීජ තියෙන තැන්වල යන්න ඕනෙ නෑ පෙඩි ළමයි” යැයි කියයි.

අඬන මිනිස්සු අස්සේ විෂබීජ ඇතැයි මට සිතෙයි. එසේ නම් දවසට වරක් දෙවරක්වත් මා තුළත් විෂබීජ ඇතිවෙයි නොවෙද?

මඟුල් උත්සව යනු ඇතැම් විට මා එක්ක යන ගමනකි. ඇතැම් විට මා එක්ක නොයන ගමනකි. එසේ නොයන්නේ ඒ මනමාලි මා එහි එක්ක නොඑන්න යැයි කාඩ්පතෙහි ලියා එවූ හෙයිනි. මනාලියන් අතරිනිදු ඇතැම් අය ඉතා හොඳය. විශේෂයෙන් අපේ පුංචි අම්මා, පොඩි නැන්දා හා මා මල් කුමාරිට සිටි මඟුල් දෙකේ මනමාලියෝ ඒ අතර වෙති.

පොළ යනු තවත් එක් විස්වාස නැති ගමනකි. සමහර දාට පොළ, මා එක්ක යන පොළයි. සමහර දාට පොළ මා එක්ක නොයන පොළයි. එක්ක නොයන පොළ කෙරෙහි මා තුළ වැඩි ප්‍රේමයක් තිබේ. ඉස්කෝලෙ ගමනින් පසු අම්මා ගෙදර පැමිණ හදිසියේ මෙන් යන පොළ මා එක්ක යන පොළයි. නිවාඩු දවසේ උදෙන්ම අම්මා යන පොළ මට කැප නැති පොළයි. අම්මා කියන්නේ ගමනේ අවසානය වන විට බඩු මලුත්, මාත් යන දෙවර්ගයම “එල්ලා ගෙන යා” නොහැකි බවයි.

එදා අම්මා මා එක්ක යන තීරණයේම සිටියා මෙනි. මදින ලද මගේ ඇඳුමක්, පොඩි නොවන සේ ඇඳ මත අතුරා තිබුණි. මේ ගමනේදි අම්මාට බඩු තොගයක් ගෙනෙන්නට නැතිවා මෙනි. මගේ උසට සම මට්ටමෙන් පොළේ එහා මෙහා ඇවිදින්නේ එළෝළු මලු ය. මල්ලේ අයිතිකාරයා සිටින්නේ මට වඩා සෑහෙන උසිනි. අම්මා පොෙළ් එහේ මෙහේ ගියේ මගේ අත තරකොට අල්ලා ගෙන ම ය.

එහෙත් කිරන ලද එළවළු දා ගැනීම සඳහා මල්ල දිගු කරන අවස්ථාවේ මගේ අත මඳකට අතහැරීමට සිදුවීම ඇයට බිය ගෙනෙයි. හේතුව ප්‍රසිද්ධයි. දිනක් එවන් මොහොතක අපේ මල්ල යැයි සිතා මා වෙනත් කෙනෙකුගේ එළවළු මල්ලේ එල්ලී ගෙන ඉදිරියට තල්ලු වී යෑම අම්මාගේ මේ භීතියට හේතුවයි; බිය සාධාරණයි.

අම්මා එදා විශේෂයෙන් ගියේ මාළු පැත්තටයි. ඒ පැත්තේ කානු තද දම් පැහැති ය. බොහෝමයක් කානුවල වතුර ඇති ආකාරයෙන් ඒවා භාවිත වන්නේ වතුර බැස යෑමටද නැතිනම් වතුර රඳවා තබා ගැනීමටදැයි සැක සිතේ. ඒ වතුර කුමන දිශාවට හෝ ගලා නොයා නොසෙල්වී පවතියි. කුඩා ගලක් ඊට පෙරළුවේ නම් “ම්ම්ම්ම්” හඬ නංවමින් මැස්සෝ කීප දෙනෙක් අනිවාර්යෙන් ම අපට දොස් නගමින් අපේ කන ළඟින්ම ඉගිළී යති.

මාළු පොළ ගෝසාවකි. කොටින්ම, එහි හෙමිහිට පැවසෙන දෙයක් ඇත්තේම නැති තරම් ය. ඒ නිසාම ඇතැම් මාළුන්ගේ නම් මම දනිමි. අයිස් කුට්ටි තියෙන්නෙ මාළුවල ආරක්ෂාවටයි. නිතරම ගලා යන සිහින් වතුර පහර සෙරෙප්පුවෙන් ඇතුළට ගැනීම සුදුසු නැත. ඒ මාළු ලෑලි සෝදන වතුරයි. මාළු අපට දෙන විට අප සල්ලි දිය යුතුය. හොඳ මාළු සඳහා සල්ලි වැඩියෙන් දිය යුතුය. සාමාන්‍යයෙන් මැරුණ අයගේ ‍ෙහාඳ ස්පීකරයෙන් කියන්නේ ඔවුන්ගේ මිතුරන් ය. මාළුන් ලෑල්ල මත සිටින්නේ උන්ගේ මිතුරන් ද සමඟ ය. ඉතින් උන්ගේ හොඳ දන්නේ... සමහරවිට මුදලාලි ම පමණක් විය හැකිය.

ළමයෙක් එක් කඩයක් ළඟ සිටගෙන සිටියි. ඔහු අම්මා කෙනෙකු සමඟ ආ බවක් නොපෙනෙයි. නමුත් පුරුදුකාරයෙකු සේ සිටියි. අම්මා ගොස් නැවතුණේ ඒ කඩය ඉදිරියේය. අම්මාගේ ඒ තේරීම මට ප්‍රිය විය. ළමයා අත කෝටුවක් ඇත. කෝටුවේ අනිත් කෙළවර මට නොපෙනෙයි. පෙට්ටි සහ ගෝනි කිහිපයක් එක්වී සතුරුකම් කරමින් ඒ දර්ශනය මට සඟවයි. ළමයා කෝටුවෙන් පොළොවේ යමක් අඳිතියි මම සිතමි. නමුත් සිමෙන්ති පොළොව නිසා ඔහු එහි රූප අඳිනවාද විය නොහැකි යි.

“තුනේ”

ඒ ඔහුගේ හඬයි. අපි එහි නැවතුනේ ඒ මොහොතේය.

“ඉරිදා ඉස්කෝලේ?” කෙට්ටු වෙළෙන්දා ඇසීය.

“ගියා.”

“මේ ඊයේ පෙරේදාවක?”

“ම්ම්ම්හු” ළමයා හිස සැලුවේ ය. නෑ කීවේය.

මම ඔහු දෙස බලා සිටියේ ඔහුගේ අවධානය දිනා ගැනීමෙන් කෝටුවේ රහස එළිකර ගැනීමට ය. ඔහු මිතුරු බවක් පෙන්වුවහොත් ඔහුට දෙන්නට තෑග්ගක් මා සතුය. ඒ මගේ කකුල ළඟ ගැවසෙන කඩා පූසා ඔහුටද පෙන්වීමයි. ඔහු තමා කරමින් සිටි වැඩය කෙරෙහි වැඩි අවධානයක් දෙමින් කෙටි පිළිතුරු දෙන්නෙකි. අනෙක් වෙළෙන්දා විශේෂ සැලකිල්ලකින් යුතුව අපට මාළු වර්ග පෙන්වීය. ළමයා තාමත් එතැන ය.

“අනේ මන්ද උඹලත් ඔහේ ඉන්නවා. උඹලෑ ලොකු එවුන්වත් මේවායේ බරපතළ කියා දෙන්න දන්නැද්ද මන්ද, මගෝඩියො වෙන්න ඇරල බලන් ඉන්නවා.”

මුදලාලි අපේ මාළුවා සුද්ද කරයි. ඔහුගේ පිහිය ලතාවකට එහේ මෙහේ පැද්දෙන්නේ මාළුවාගේ කොරපොතු කැමැත්තෙන්ම සියොලඟ උලා ගන්නාක් මෙනි. මගේ ඇස් දෙකට නිවනක් නැති තරමට බලා ගන්නට ඇති දේවල් පෙළ ගැසී ඇත.

“අර කඩුවෙල කාණ්ඩෙ ලොක්කත් හයටද කොහෙදලු ගිහිං තියෙන්නෙ.”

ළමයා මා දෙස බැලුවේය. මෙතෙක් වෙලා තිබුණු ඔහුගේ බරපතළ පෙනුමැති මුහුණ ජයග්‍රාහී ළා සිනාවක් සහිත මුහුණකට පෙරළී ඇත. මුදලාලි මාළු කෑලි කරයි. ළමයා නෙත් යොමු කළ දෙසට මගේ නෙත්ද යොමුවිය. අහ්! පූසා මා ළඟ නැත. සිටියා නම් ළමයාද ඌ දැක සතුටු වනු ඇත.

“මෙන්න නෝනා, මාළුවා”

අම්මා මුදල් දුන්නාය. බසයේදී මෙන් මෙවර මා මුදල් ගනුදෙනුවට සහභාගී නොව‍ුණේ, එකවර කරන්නට බැරි තරම් වැඩ තොගයක් මේ වන විටත් මට පැවරී තිබුණු බැවිණි.

“කිලෝවටනෙ හයසිය පනහ, මේ කූරියගෙ කිලෝවයි තුන්සිය පනහක් ඉතර තියෙනවා.”

“කූරියා නේද හයසිය පනහයි කිව්වේ?”

මුදලාලි අපේ වැරදි වටහා ගැනීම ගැන සානුකම්පාවෙන් මනේ සිනහ වී, “කිලෝව තමයි ඒ ගාන” යැයි තරයේ ම කියා සිටියේය. මේ වැඩ අස්සේ මම අම්මා දෙසත් බැලීමි. අම්මා ඉල්ලුවේ මාළුවෙකි. මට ඒ බ ව හොඳින්ම ඇසුණි. ඇය කිලෝවක් ඉල්ලුවේ නැත.

“තව දෙසිය විස්සක් වගේ දුන්න නම් හරි.”

පූසා යමක් කටින් ගෙන සිටින්නේ වෙලාව එළැඹි වහා ම පැන දුවන්නට ය. ළමයා මා දෙස බැලුවේ ජයග්‍රාහී සිනහවකිනි. මට ඔහුගේ කෝටුවේ රහස අවබෝධ විය. ඔහු වීරයෙකි. මගේ සිනහවෙන් ප්‍රකාශ වූයේ එය වීර ක්‍රියාවක් බවයි. මෙතෙක් වේලා බිමට හැරී තිබුණු ‍ඔහුගේ දෑස ඉහළට එසවී, බැබළෙන්නට විය.

“ඇයි මාමා එක එක සැරේට එක එක ගණං කියන්නේ? එහෙම ‍හොඳ නෑනේ.”

අම්මා නෝට්ටු දෙකක් දිගු කරගෙන සිටියි. කානුවට ගල පෙරළූ විට මැස්සන් අපට බණින හඬට සමාන හඬක් මුදලාලිගේ මුවෙන් නැඟුණද ඒවා වචනයකට පෙරළුණේ යම් වේලාවකට පසුවය.

“ප්ප්ප්ලයන් යන්න මෙතනින්. බොට මම.....”

කලින් සූදානම් ව, වෙලාව එළඹෙන තුරු සිටියා මෙන් ළමයා සැණින් අතුරුදන් විය. අම්මා මාළු මල්ල එක් අතකින් එල්ලා ගෙන, මා අනිත් අතින් ඇදගෙන මාළු පැත්තේ ගේට්ටුව දෙසට වේගයෙන් ගමන් කළේ හදිසියේම උපන් හදිසියක් මෙනි. අම්මා අල්ලාගෙන යන මගේ දකුණු අතේ වැලමිටට උඩින් මගේ දෑස එහා මෙහා දුවන්නට විය.

කෝටුව මුදලාලි අතේය. පූසා අපද පසුකර ගෙන දිව ගියේය. තවමත් උගේ කටේ යමක් ඇත. මෙවර මම එය හඳුනා ගතිමි. එය ලොකු මාව වරලකි.


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o