1 Views  
මහා නගරය
ලණු දිරාගිය ඇ‍‍ඳේ විට්ටමට හේත්තු වී උන් ගබ්රියෙල් අයියා උගුර පාදා කෙළ පහරක් ගසා නැවතත් උඩ බලියාගෙන කල්පනා කරන්නට පටන් ගත්තේ ය. රාත්‍රි ගනඳුරට බියේ ආලෝකය හැංගිමුත්තන් කෙළිමින් උනි. කළු වලා අතරින් යන්තමට අඩ සඳක් මෝදුවෙමින් තිබිණි. ඒ අතරින් පියෑඹු වවුල් පැටවකු වහලේ දිරාගිය පොල් අතු අතරින් ඔහු දැක්කේය. අනන්ත වූ ආකාසේ කොනක නිවි නිවි දිලෙන මාලී මලක් බඳු පුංචි තරුවක් ඔහු නෙත ගැටුණි. වෙනදා දකින තරුවක එළියට වඩා එහි අපූරු එළියක් ඇතැයි ඔහුට සිතිණි. ගබ්රියෙල් අයියා වහලේ හිල්වුණු වෙනත් තැනකින් තරුව දිහා ඕනෑකමින් බැලුවේ ය. හඬාගෙන වැටෙන ගොම්මන් අඳුර පැල වෙලා ගනිමින් උන්නේ ය.

“මේ ඇහුණද කොලුගෙ අම්මෙ... ඔය සීවලි හාමුදුරුවන්ගේ පාන තිබ්බ නං...” ඔහු තම බිරිය ඇමතුයේ ය.

“අන්තිමට තිබිච්ච තෙල් ඩිංගෙන් තමයි දවල් ඔහේට කරවල කට්ට තෙල් දාල දුන්නේ... මගේ අතේ තඹයක්වත් නැහැ. මේ මඟ බලාගෙන ඉන්නේ කොලුවවත් එනවද කියලා...”

“එහෙනන් ඉතින් මක්කොරන්නෙයි...” ඔහු මිමිණුවේය.

යාබද සොහොන්පිටිය වෙතින් හමා ආ භූමිතෙල් ගඳ සමඟ කැකෑරුන හුළඟ ඉහමොළ රත්කරවමින් පැල හරහා හමා ගියේ ය.

“මෙහෙම දුක් විඳ විඳ ඉන්නවට වඩා මැරිල යන එවුන් වාසනාවන්තයෝ....”

“දුක් විඳ විඳ ඉන්නව කියල හරියන්නේ නැහැ... ඔහෙ හම්බුවෙන සත කීය හරි එකතු කරලා ඉර බැහැගෙන යනකොට රා කට්ට ගහගන්නවා... අර අහිංසක මාල්ලාට තණකොළ ගහක් අරන් දෙනවට වඩා ඔහෙගේ බීමනාව ලොකුයි. කොල්ලට දවල්ට කෑමක් නැහැ. උගෙබඩ සෝපොත්ත ‍වෙලා. කිව්වනේ නගරාධිපති උතුමාණන්ට ගිහිල්ල කතා කළොත් මොකක් හරි කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා. ඒ උත්තමයෝ දුප්පත් අයගේ දුක දන්න මිනිස්සු නොවැ...”

“මට බැහැ බං.... උඹ ඕන්නං පලයං... ඔය නීති හරඹ කරන්න ඉස්සරවෙලා දන්නවනෙ අපි වගේ කොටහකුත් ඉන්නවා කියලා... තුඃ නොදකිං” කැස්සත් සමඟම ගබ්රියෙල් අයියා තම කේන්තිය පිට කළේය.

උදේ පටන් “සමූපේ” අහලට වී කරත්තය නැංගුරම් ලාගෙන උන් ඔහුට අද මුළු දවසටම කුලියක් ලැබුණේ නැත. සමූපකාරයට සිමෙන්ති අද ගෙනෙයි - හෙට ගෙනෙයි යනුවෙන් සිහින මවමින් උන් නිසා සතියක් තිස්සේ ගොනාට පිදුරු කට්ටයක් තබා පුන්නකුක් රාත්තලකටවත් අතමිට සොයා ගැනීමට ඔහුට මහඟක් නොවීය. ඉල ඇට පෑදුණ ගොන්මාල්ලා දකින ගබ්රියෙල් අයියා කීරි ගැහෙන පපුවේ වේදනාව සුසුමකින් පාකර හරියි. ඔහු උන් තැනින් නැගිට විත් ඉස්සරහ උළුවහු කණුවට හේත්තු විය.

පැලට යාබද වූ සුසාන භූමිය කොනේ දැවෙන සොහොන අසල සිටියවුන් කවුරුත් පෙනෙන්නට නැත. උඩ සිට බිමට පෙරළුණ රබර් කොටයක ශබ්දයට ඔහු ඒ දිහා බැලුවේය. තම ඥාතියාගේ වියෝවෙන් විලාප දුන්නවුන්ගේ දෝංකාරය ගබ්රියෙල් අයියාගේ දෙසවන්හි තවමත් රැඳී ඇත.

“මගේ තාත්තා මැරිච්ච දවසෙත් අපි එක පොදියට ඇඬුවේ ඔය විදියට... අ‍නේ මියැදුණ උන්දෑවත් අපේ දිහා බැලුවොත්... හෙට උදේට යන්න ඕනි නගරාධිපතිතුමාව මුණ ගැහෙන්න...” ගබ්රියෙල් අයියා තම ඉණ අතගා බලා යාර කිහිපයක් ඔබ්බෙහි වූ ලෑලි කඩයට පියවර මැන්නේය.

පසුදා උදේ පාන්දරින්ම නගර සභාව තුළට ඇතුළු වූ ගබ්රියෙල් අයියා නගරාධිපති උතුමාණන් එනතුරු ඔහුගේ කාර්යාලය අසලට වී සිටියේ ය. නගරාධිපතිතුමා පෙරවරු දහයට පමණ නෞකාවක් වැනි මෝටර් රථයකින් ළඟාවුණේය. දෙකට තුනට නැමුණු ගබ්රියෙල් අයියා තම කරෙහි වූ ලේන්සුව අතට ගෙන මුහුණ පිසදා ගත්තේය.

විනාඩි දහයකින් පමණ නගරාධිපතිතුමා තම සීනුව නාද කළේ ය. “අමාරිස්... බලාපන් අර දොර ළඟ කැරකෙන හිඟන මිනිහා කවුද කියලා. උඹ දැක්කේ නැද්ද ඌව එළවලා දමන්න මෙතෙක් වෙලා... අද පිංපඩි ගෙවන දවස නෙමෙයිනේ” ඔහුගේ කනිටු සේවක අමාරිස් සිය දෑස් පිසදමමින් එළියට ආවේය.

“මොකද ඕයි... තමුසේ කවුරු මුණ ගැහෙන්නද? මළ පෙරේතයෙක් වගේ...” නගර සභාවෙන් නොමිලේ දෙන ඇඳුම් කට්ටලයෙන් සැරසී උන් අමාරිස් කෑ මොර දුන්නේ ය.

“අනේ ආයිබෝවන්ඩ.... නගරාධිපති උත්තමය මුණ ගැහෙන්න...”

“තමුසෙට ඔය විධියට නගරාධිපතිතුමා මුණ ගැහෙන්න බැහැ...”

“අනේ කොහොම හරි මුණ ගස්සන්න... මට දුක් ගැනවිල්ලක් තියෙනවා...”

“දුක්ගැනවිල්ලක්? එහෙම නන් ලියල ඉදිරිපත් කරනවා...”

“අනේ බුදු මහත්තයෝ... ලිය ලිය ඉන්න මම අකුරට ගිය එකෙක්යැයි... මාව මුණගස්සන්ඩ කටින් කියඤ්ඤං....”

“අනේ මගෙ කට... කටින් කියඤ්ඤං....” නගරාධිපතිතුමාගේ කනිටු සේවකතුමෝ එතැනින් සංක්‍රමණය වූහ.

“සර්... ඒ මිනිහ සර්වම මුණගැහෙන්න ඕනැලු. යන්න කීවට යන්නේ නැහැ.” අමාරිස් දෙකට තුනට නැම‍ුණේ ය.

“මොනව... එන්න කියහං බලන්න...” ගබ්රියෙල් අයියා ගාටමින් නගරාධිපතිතුමාගේ කාර්යාලයට ඇතුළු විය.

“ඔහොම ඉන්නවා... ඔහොම ඉන්නවා... මොනවද උඹට ඕනේ...?”

“අනේ බුදු මහත්තයෝ... අලුතෙන් නීතියක් ඇවිල්ල මහ නගරසභා සීමාවට ගොන්නු බැඳගත්තු කරත්ත ඇතුළු කරන්න එපා කියලා... අපිට කුලියක් මලියක් කරගෙන ජීවත්වෙන්න විදියක් නැහැ. බත් කටක් කියල දෙයක් කෑවෙ නැහැ සුමානෙකින් විතර...”

“ඉතිං... උඹලට බත් උයල දෙන්නද මට කියන්නේ...? නගරාධිපති ගුගුළේය.”

“අනේ හාමු මහත්තයෝ... බුදු මහත්තයෝ පොඩි කාලේ ඒ වලව්වේ මගේ තාත්තා වැඩ කළා... බේබිහාමු පුංචි කාලේ කොලීජියට අරන් ගියේ බක්කි කරත්තෙන් අපේ තාත්තා... උන්දෑ මැරිලා ගියාට පස්සේ එහෙට කාරෙකක් ගත්තට පස්සේ බක්කි කරත්තේ නැවැත්තුවා. ඉස්සර නම් ඕනෑ තැනකට කරත්තේ දක්කන්න අවසර තිබුණා. මහරජ්ජුරුවෝ එනවා කියලා මහ පාරවල් කැඩෙන හින්ද නගරසභා සීමාවට කරත්ත ගන්න දෙන්නෙ නැහැ. ටවුමෙන් එළියේ කුලියක් ලැබෙන එක හාවා හඳ දකින්නා වා‍ෙග්... ටැක්සිවලට මිසක්ක අපිට කොහෙත්ම ජීවත් වෙන්න විදියක් නැහැ...” ගබ්රියෙල් අයියාගේ උගුරේ ය මක් හිරවුණා සේය. ඔහු දෙනෙතට කඳුළු බිඳු නැංගේය.

“පලයන් යන්න... ඔය නීති වෙනස් කරල උඹලට මහපාරවල් කඩන්න දෙන්න බැහැ... උඹ අනිත් එක බොරු කියනවා... අපි කවදාවත් බක්කිකරත්ත වලින් කොලීජිවලට ගිහිල්ල නැහැ... වලව්වේ හතර මායිමට කරත්ත ‍රෝදයක් ඇතුළු කරලා නැහැ... අමාරිස් මෙහෙ වරෙන්... මෙන්න මේ යකාට යන්න කියහං...”

ගබ්රියෙල් අයියා මොනවාදෝ දෙඩීමට උත්සහා කළ ද නිරුත්තර වූයේය.

නගරසභා කාර්යාලයෙන් එළියට ආ ගබ්රියෙල් අයියා වෙහෙස නිවා ගන්නටදෝ මාර ගසක් මුල හිඳ ගත්තේ ය. කොළ හැලී අතු රිකිලි පමණක් ශේෂව තිබූ මාර ගහ යට ඔහු බලාපොරොත්තු වූ සෙවණක් නොවීය. ගබ්රියෙල් අයියා තම කෙඩෙත්තුව නිවා ගනු වස් වෙනත් සෙවණක් සොයා පියමං කළේ ය.



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o