18 Views  
ඉසෙඩ් ෆියුරේ
ඉසෙඩ් ෆියු‍රේ සුව පහසුව හිඳගෙන සිටියේ ය. මීටර් විසිපහක් පමණ දිග පළල වූ වීදුරුවෙන් එපිට දිස්වූයේ රත් පැහැයත්, තැඹිලි පැහැයත්, අළු හා දම් පැහැයත් මිශ්‍ර වූ අවසන් හෝරාවේ සැඳෑ අහස ය.

ඉසෙඩ් ෆියුරේ මේ මිල අධික පැකේජය තෝරා ගත්තේ බොහෝ වෙහෙස මහන්සි වී ය. සැලකිය යුතු පිරික්සා බැලීමකින් පසු ව ය.

ඉසෙඩ් ෆියුරේ ගේ කාර්යාලය පිහිටියේ හිස හැරවූ ගමන් ය. ආහාර පාන ටික ලබා ගැනීමට ද එසේ ය. ඒ නිසා ඔහුට බලාපොරොත්තු වූවාටත් වඩා කාර්යය ඵලදායිතාව සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණි. ඉසෙඩ් ෆියුරේ නැඟිට්ටේ ව්‍යායාම සඳහා පමණි.

ඉතා දියුණුතම මිනිසුන් ‍තෝරා ගැනීමට පෙලඹුණා වූ මේ පැකේජය තුළ පාලනය වන වර්තමානය, සම්බන්ධ වූයේ අනාගතයට පමණ ය. අතීතයට නැවත පිවිසිය නො හැකි මේ ක්‍රමය බොහෝ අංශවලින් සලකා බැලූ කළ ඉතා වාසිදායක පැකේජයක් හැටියට තීරණය වී තිබිණ. එහි පාලන මධ්‍යස්ථානය සෑම මොහොතකම ඉසෙඩ් ෆියු‍රේ හා සම්බන්ධ විය. ඒ ඔහුගේ කටයුතු පහසු කිරීමට හා ඵලදායී කිරීමට ය.

ඉසෙඩ් ෆියුරේ ගේ නිවාඩු දිනයේ ඔහුට ඕනෑම දෙයක් කළ හැකිය. ඒ සඳහා වූ විකල්ප තෝරා ගැනීම් දුසිමක් පමණ වගුගත කර තිබුණි. මේ නිසා ගැටලුවක් ඇත්තේ ම නැත.

අතීතය ලෙස නම් කර තිබූ වෙහෙසකාරී යුගයේ දී මිනිසුන්ට වැඩි වේලාවක් ගත වූයේ කරන්නේ මොකක්දැයි කියා ළත වෙවී සිටින්ට ය. නමුත් සිතීම වේදනාවක් බව හඳුනාගත් පසු තවදුරටත් එය තිබීම අනවශ්‍ය බව තීරණය කරන ලදී. තවද ඒ සියල්ල පාලනය කරන ලද්දේ පාලන මධ්‍යස්ථානයෙනි. එය මිනිසා ව විශාල ආතතියකින් නිදහස් කර දැමීමකි.

වේලාව රාත්‍රී දහය බැව් සටහන් වූ විට ඉසෙඩ් ෆියුරේ කාර්යාලයෙන් නික්මෙන්නට අවශ්‍ය කටයුතු සලසා ගත්තේ ය.

ඉසෙඩ් ෆියුරේට කාමරයට පැමි”මට දැන් කාලය ගත නොවන බැවින් ඉක්මනින් නාන කාමරයට වැදී නා ගැනීමට හැකියාව සැලසී ඇත.

ජීවිතය නැවුම් කිරීම සඳහා වූ එකිනෙකට වෙනස් පැහැති, සුවඳින් වෙනස් සබන් කැට හතක් වොෂ් බේසීනයේ අලවා ඇත. ඒවායින් නික්මෙන සුවඳින් දින හතට වෙනස් හැඟීම් හතක් හදවතට ඇතුළු කරයි.

නෑමෙන් පසු ආහාර ගන්නා වේලාව ය. කෑම බීම ද සියල්ල හදවතට නිදහස ගෙනෙයි. කෑම අලුත් ය. වෙනස් ය. කෙඳිරි ගෑමට කිසිත් ම නැත. අද කෑ දේ නොවේ හෙට. පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් ම පර්යේෂණවල නිරතවන බැවින් කිසිදු ඕලාරික හැඟීමක් මේ කිසිවකින් ඇති වීමට කිසිදු ඉඩක් නොතැබීම විශේෂිත ය.

‍මොනතරම් ඔළුවට නිදහසක් ද?

ඉසෙඩ් ෆියුරේ ඇතුළු බිලියන ගණනක් මෙවන් පැකේජ තෝරා ගත්තේ ඒ නිසා ය. ඉසෙඩ් ෆිය‍ුරේට දැන් නින්ද පිළිබඳ ගැටලුවකුත් නැත. නිදා ගන්නා කාලය තුළ මොළයේ සිතීම හා සම්බන්ධ කොටස් පාලයකට නතු කරන අතර සිහින මැවීම හෝ සිහින දැකීම සියල්ල අවහිර කරන තිඛෙන බැවින් පීඩාකාරී හැඟීමකින් හෝ වෙහෙසකින් තොර ව නින්දට පිවිසිය හැකිය.

නිවාඩු දවසේ ෆියුරේ ගේ පැකේජයට අයත් ප්‍රාන්තයකට ඇවිදීමට යාමට ෆියුරේ, කල්පනා කළේ ය. ෆියු‍රේ තෝරා ගත්තේ, හරිත පැහැ කෙළවරක් දකින්නටවත් නැති, උස් ගස් සහිත, මැදින් අළු පැහැ තාර දැමූ හරි ලස්සන පුංචි පටු පාරක තනිව ම ඇවිද යාමයි.

මේ ක්‍රමයේදී අතීතය අනාගතය හා සම්බන්ධයක් නොමැති වුණත් අත්‍යවශ්‍ය ස්මරණයා සීමිත ප්‍රමාණයක් ගොනුවල බහා තැබීමට හැකි වුණි. සැලකිය යුතු අතිරේක ගාස්තුවක් ගෙවීමෙන් පසු ඒවා වැදගත් කාර්යයන්වලදී පිරික්සා බැලිය හැකිය. මේ ගමනේදී ෆියු‍රේට අවශ්‍ය නම් ඒ පහසුකම භාවිත කළ හැකිය.

හිරු එළිය බාධා නොකරන, පාළු, වේදනාබර තුරු පෙළ මැදින් ගිය තනි ගමනේදී ෆියුරේට හදිසියේ ම ජිමී ෆ්‍රෙඩ් පිළිබඳ ස්මරණය පිරික්සීමට අවශ්‍ය විය.

ජිමී ෆ්‍රෙඩ්.

එය ඔහුට ම තරමක් නුහුරු වූයේ කලෙකින් එවැනි හැඟීමක් අත් විඳ නොතිබූ බැවිනි. එහෙත් මේ පාළු ගමන නැවත ආ පස්සට අදිනවා වැනි බරපතළ හැඟීමකින් ඔහු ව පෙළී ය.

ජිමී ෆ්‍රෙඩ් රත්තරන් පාට බළලෙකි. ඉසෙඩ් ෆියුරේ මේ පැකේජයට ඇතුළත් වීමට පෙර ජීමි ෆ්‍රෙඩ් වාසය කළේ, ඉසෙඩ් ෆියුරේ සමඟ ය. ඒ දිනවල කොච්චරවත් කෑම කා නිදාගන්නා ජිමී ෆ්‍රෙඩ් ෆියුරේ ගේ සිත සැමදා ප්‍රීතිමත් ව තැබුවේ ය.

ජිමී ෆ්‍රෙඩ් මහාචාර්යවරයකු වැනි ය. ඉසෙඩ් ෆියුරේ දමා ගන්නා කරදර සියල්ල පැසුණු මනසින්, ඉවසීමෙන් පාලනය කර ගැනීමට සහාය වූයේ එකල ජිමී ෆ්‍රෙඩ් ය.

ඉසෙඩ් ෆියුරේ ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු හිමිකර ගත් මේ පැකෝජයට ජිමී ෆ්‍රෙඩ් ට ඇතුළු විය නොහැකි වුව ද, දුරදිග කල්පනා කොට ඇතුළු කරගත් ස්මරණ පහසුකම නිසා ජිමී ෆ්‍රෙඩ් ව ඉසෙඩ් ෆියුරේට මතක තබා ගැනීමට හැකි විය. ඒ නිසා මේ ගමනේ මුල පටන් ම ඉසෙඩ් ෆියුරේ සම්පූර්ණයෙන් ම ජිමී ෆ්‍රෙඩ් ගැන කල්පනා කළේ ය. ජිමී ෆ්‍රෙඩ් වැනි කම්මැලි බළලෙක් ඉසෙඩ් ෆියුරේට මතක නැත. කිසි ම ව්‍යායාමයක් නැති වූ ජිමී ෆ්‍රෙඩ් ලොකු පළඟානක් තරම් විශාල බළලෙකි.

ඉසෙඩ් ෆියු‍රේට එය නම් විශාල ම විනෝදයක් වුණි.

මේ හුදෙකලා ගමනේදී ඉසෙඩ් ෆියුරේගේ හදවතේ අතීතය පිළිබඳ පළමු බිඳීම සිදු විය.

ඔහුට තවමත් තමා මිනිසකු බව දැනුණේ ය.

නමුත් ජිමී ෆ්‍රෙඩ්ව දැන් සොයා ගත නොහැකිය.

අතීතය ඉවත් කිරීම පාලන මධ්‍යස්ථානයට අවසර දුන්නේ ඔහු ම ය. එය අවබෝධ කර ගැනීමෙන් ඉසෙඩ් ‍ෆියුරේ අළු පාට පාරේ වාඩි වී ඇස් වසා ගත්තේ ය.

ග‍මනෙන් පසු ඊළඟ උදෑසන මීටර විසිපහේ දිග වීදුරුවෙන් එපිට ෆියුරේ අර දිගු අහස දුටුවේ ය. එසේ වුවත් එදින ෆියුරේ ගේ හදවතට වෙහෙසක් වැනි වූ හැඟුමක් ඇතුළු වෙමින් තිබුණේ ය. මෙතෙක් පැවැති සියලු තාක්ෂණයන්වල වෙනසක් ඔහුට ම දැනුණේ ය. පාලන මධ්‍යස්ථාය වහා මෙය හඳුනා ගත්තේ ය.

ඉසෙඩ් ඔයාට නිවාඩුවක් අවශ්‍ය ද? එහෙම නැත්නම් ඔයාට පහසුකම් අවශ්‍යයි කියලා හැ‍ඟෙනවා නම් අපට සහය වෙන්න පුළුවන්. පාලන මධ්‍යස්ථානය ඉසෙඩ් ෆියුරේට කතා කළේ ය.

ඊළඟ මොහොතේ දී ෆියුරේ කාර්යාලයෙන් නික්මුණු අතර හිස හැරවීමෙන් පමණක් නවාතැනට ඇතුළු විය.

නමුත් ඔහු නාන කාමරයට ද නොගියේ ය. උණුසුම් කෝපි එකක් ඇණවුම් කර ලබාගෙන නැවතත් ඔහුගේ ඇප් එක පිරික්සන්නට පටන් ගත්තේ ය.

ෆියුරේට ජිමී ෆ්‍රෙඩ් සමඟ ජීවත් වූ පැරණි නිවෙස මතක් විය. නමුත් ඒ කාලයේ මතකයන් ගැඹුරට පිරික්සීමට ඔහුට හැකියාවක් නොවීය. දෙවියනේ ඒක කාලය වගේ ම හැඟීම් පිළිබඳ ප්‍රශ්නයක්. ඒත් මං ඒ ගොල්ලන්ට කවදාවත් කිව්වෙ නෑ ජිමී ෆ්‍රෙඩ් ව අමතක කළායි කියලා.

ඒ මොහොතේදී ෆියුරේ ගේ අයි ‍‍ෆෝනයට පණිවුඩයක් ලැබිණි. ඉසෙඩ් මේ වෙලාවේ යම් ගැටලුවක් ඇති බව දැනෙනවා.

ඉසෙඩ්, ඔයාට මේ ඇප් එක භාවිත කරන්න පුළුවන් සීමා සහිතවයි. ඒ වගේම වෘත්තීය කටයුතු සඳහා පමණයි. ඒ නිසා ඔයාට ජිමී ෆ්‍රෙඩ් ගැන මේ තරම් දිගු ස්මරණයක් කරන්න හැකියාවක් නැහැ.

එවේලේ ඉසෙඩ් ෆියුරේ ගේ හිස අවුල් විය. මොනවද තමුසෙලා කියන්නේ? කරුණාකරලා මේක අහගන්නවා. මට තමුසෙලා වගේ වෙන්න බැහැ. මොකද මං තාමත් මනුස්සයෙක්. තමුසෙලා කපටියෝ. තමුසෙලා හොඳට ම දැනන් හිටියා, මට මුළු ලෝකෙම අත්හැරුණු වෙලාවකයි, මේ පැකේජ් එක අරගත්තෙ කියලා.

තමුසෙලා මාව ඇන්දුවා.

දැන් තමුසෙලා අඩුගානෙ මට මගෙ බළල් පැටියා ගැනවත් හිතන්න දෙන්නෑ. තමුසෙලා මොන විදියෙ විශේෂඥයොද? මට කියනවා?

ඉසෙඩ් ෆියුරේ කෑ ගැසුවේ ය.

පාලන මධ්‍යස්ථානය වගකීම් සහගත ය. ඉසෙඩ් ෆියුරේ වැනි ඉහළ සේවා දායකයකුගේ නොසන්සුන් වීම ගැටලුසහගත සේම, එය ඉක්මනින් නිරාකරණය කිරීම වැදගත් ය.

පාලන මධ්‍යස්ථානය ඒ වනවිටත් ෆියුරේගේ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය වූ පියවර ගනිමින් සිටියේ ය.

ඉසෙඩ් ෆිය‍ුරේ පහත් වී හිඳ ගත්තේ ය. අනතුරුව පාලන මධ්‍යස්ථානය ඉසෙඩ් ෆියුරේ ගේ මොළයේ මතකය හා සම්බන්ධ කොටස තාවකාලික ව අවහිර කොට ඔහුව යම් කාල - පරාසයක නින්දකට ඇතුළු කරන ලදී.

curtesy : www.silumina.lk


Wmqgd .ekSu weiqfrks