Home / කෙටි කතා / කතුරුමුරුංගා මල්

කතුරුමුරුංගා මල්

2018-06-26 10:53:00       456
feature-top
ප්‍රේමය ජීවිතය කෙරෙහි මෙතරම් බල පැවැත්විය හැකි එකකැයි මට මීට පෙර සිතී නොතිබුණේය. එහෙත් පසු ගිය අවුරුදු විස්‌ස තුළ සිදුවූ එක්‌තරා සිදුවීම් දෙකක්‌ ගැන සිතත්ම මගේ අදහස සහමුලින්ම වෙනස්‌ විය. මේවා සිදුවී දැනට බොහෝ කලක්‌ ඉකුත් වී ඇතත් මට හමුවන සෑම පෙම් යුවළක්‌ විසින්ම ඒවා මගේ මතකයට යළිත් නංවනු ලැබුවේ අමතකවූ හෝ අතහැරී ගිය සෑම තත්පරයක්‌ම ජීවිතය සඳහා කොයිතරම් වැදගත්ද යන්න ඉවසිය නොහැකි වේදනාවකුත් සමඟ මගේ සිතට පිවිසෙමිනි.

එකල මම රජයේ වින්නඹුවක හැටියට උඩරට එක්‌ රමණීය පෙදෙසක සේවය කරමින් සිටියෙමි. අපේ නිවසට මඳක්‌ ඈතින් වූ කැලෑ බිමෙහි සවි කරන ලද කූඩාරම් කීපයක්‌ අපට පෙනුණේ කුඩා පිරමීඩ සොහොන් කොත් මෙනි. එහි සිටි රජයේ තරුණ මිනින්දොaරුවෝ සෑම හිමිදිරි උදෑසනක පටන් සවස්‌ වනතුරු ඔවුන්ගේ දුඹුරුවන් නිල ඇඳුම් ඇඟලා උස සපත්තු දමාගෙන දුර දර්ශක ද රැගෙන කැලෑ මැන්නෝ ය. එහි මා හඳුනන රවී නම් තරුණ මිනින්දොaරුවෙක්‌ විය.

මගේ කාන්සියත් පාළුවත් මකාලීමෙහි නියතුව සිටි සාධනා මා නැවතී සිටි නිවසේ ගෙහිමියාගේ දුව ය. ඕ බෙහෙවින් රූමත් වූවාය. සිහින් නිකටකින් යුතු රන්වන් මුහුණට ඔබින ඇගේ විශාල දෙනෙත් දියෙහි ඉන්නා මින් යුවළක්‌ මෙන් දඟලයි. මහත් රතු දෙතොල් පියකරු ය.

මා දන්නා තරමට ඇයට කිසිම අඩුපාඩුවක්‌ තිබුණේ නැත. අඩුපාඩුවකට තිබුණේ එකම එක සුළු දුබලකමක්‌ පමණි. ඇය ඕනවටත් එපාවටත් හැම දෙයකටම වාගේ ඉක්‌මනින් කෝප වූවා ය. ඇගේ අහංකාරයෙන් දිස්‌න නඟන දෑසද එයට එකතු වූ විට සාධනා ඊළඟ මොහොතේ කුමක්‌ කරාවිදැයි කිසිවකුට කිව නොහැකි විය. එහෙත් ඊටත් මොහොතකට පසු ඇය කළේ කිසිවක්‌ සිදු නොවූවාක්‌ මෙන් වත්තේද ඉන් එහා ඈත ලන්ද පුරා නැති වූ කිසිවක්‌ සොයන්නාක්‌ මෙන් දුව ඇවිදීම ද අනතුරුව ඉතාම හෙම්බත්වී ගෙට පැමිණ අසුනක ඇලවී සිටීමටද ඉන් ඉක්‌බිති මා පොළොඹවා ගනිමින් කුමක්‌ හෝ කියා සිනාසීම ය.

සාධනා හැමවිටකම මෙන් කිසිවකුට තේරුම් ගත නොහැකි මිහිරි ප්‍රහේළිකාවක්‌ව සිටියා ය. ලන්ද පුරා පියකරු හිරු එළිය වැටුණු සමහර උදෑසනයන්හි මාත් ඇයත් ගත කළේ බොහෝ විට එළිමහනේ ය. එවැනි විටදී දිරුණු අතු ඇති කජු ගස්‌ උඩ ද පෙරළීමට ආසන්න ගල් කුළු මත ද කැඩුණු ගඩොල් බිත්ති මත ද මා කෑගසද්දීම නැග දෙපසට වැනෙමින් අනතුරකට පත්වන්නට යන විට කරන යටිගිරියෙන් කෑගෑම්වලින් ඕ බොහෝ විට මා බිය කළා ය.

අප ඇවිදීමට ගිය මෙවැනි දිනක අර මා හඳුනන තරුණ මිනින්දොaරුවා අප වෙත පැමිණ වචනයක්‌ දෙකක්‌ කතා කිරීමට අමතක නොකළේය. කිසියම් හේතුවක්‌ නිසා සාධනා ඔහුට කැමැති නොවූවාය. පෙනුමෙන් හා කතාවෙන් ඉතා ප්‍රියමනාප එකෙකු වූ ඔහු කතා කරනවාට වඩා කළේ සාධනා දෙස බැලීමට වෙහෙස වීම ය. ඒ හැම විටකම ඇය මගේ පසුපසට මුවා වී ඔහුගේ ඇස්‌වලින් සැඟවීමට තැත් කළා ය. ඔහු නික්‌ම ගිය පසුව ඔහු ඈ ගැන දක්‌වන සැලකිල්ල කියා මම ඇයට විහිළු කළෙමි.

මා ඔහු සම්බන්ධව ඔහුගේ පෙනුම හෝ ඇසුරට ප්‍රිය මනාපගතිය හෝ කියන්නට තැත් කළ හැම මිටකම මා නතර කළ ඇය "කූඩැල්ලා" යි තරහින් කීවාය.

"මොකද සධා!"

"මතක්‌ කරන්න එපා එයා ගැන මට පේන්න බෑ. අවතාරායක්‌ වගේ මගේ පස්‌සේ කැරකෙනවා."

"ඇයි සාධා එහෙම කියන්නේ? එයා වරදකට කළේ ටිකක්‌ වැඩිපුර ඔයා දිහා බලන එක නේ. මම එයා නම් මම කරන්නෙත් ඒ ටිකමයි නේ."

"සිසීට හොඳ ඇති එයා. මට ඕනැ නෑ. කවුරුවත් මොකදට මං දිහා බලන්නේ. අනිකු කූඩැල්ලෙක්‌".

"එහෙම කියන්න එපා රවී හොඳ මහත්මයෙක්‌".

"ඒ සිසී ඇන්ටිට වෙන්න ඇති. මට එයා කූඩැල්ලෙක්‌. නිකම්ම කූඩැල්ලෙක්‌" මහ හඬින් කෑගසමින් මගේ අත ද ගසා දමා සාධනා වේගයෙන් දිව ගොස්‌ ලන්දේ ගස්‌ අතර නොපෙනී ගියා ය.

මින් පසු සාධනා දින කිහිපයක්‌ම මා මගහරිමින් සිටියා ය. මුල් දින කීපයේ වෙනදා මෙන් ඇවිදීමට නොගොස්‌ තම කාමරයට වැදී දොර වසා ගෙන නිශ්ශබ්දව සිටි ඇය අවසානයේදී ශෝකභරිත හා අනුකම්පා උපදවන සුළු මුහුණක්‌ ඇතිව මා වෙත ආවා ය. මගේ ඇඟට හේත්තු වී ටික වේලාව්ක නිහඬව ඇය ඈතපෙනෙන කඳුවැටිය දෙස බලා සිටියා ය. ගිම්හානයේ සුදු වලාකුළු කන්ද මුදුනට පැමිණ නතර වී තිබුණේ ය. වලාකුළට යටින් රංචු ගසමින් ගිරව් පියාසර කළෝ ය. විටින් විටහමන මඳ සුළඟින් බෝවිටියා පඳුරු ඒ මේ අත නැළවුණේය.

"සිසී ඔයා කැමැතිද මා හිරේ වැටෙනවා නම්?" ඈ හදිසිසියේම මගේ දෙඋර අල්ලා ගෙන ඇසුවාය.

"මොන පුදුම ළමයෙක්‌ද මේ? ඇය සාධා ඔයා මොන වරදක්‌ කළාට ද?" මම ඇගේ මැළවී තිබුණ මුහුණ අතගාමින් ඇසුවෙමි.

"එහෙනම් මොකද කසාද ගැන කියන්නේ? මම කැමැති නෑ සිසී කවදාවත් කැමැති නෑ. තව නාඳුනන කෙනෙක්‌ මගේ ජීවිතේට ඇතුළු වෙනවාට. මම කැමැති නෑ එතකොට මගේ මේ නිදහස සේරම නැතිව යනවා. එතකොට මට මේ විදියට ඉන්න පුළුවන්ද? කඳු උඩ දුවන්න හිතෙන වෙලාවට ඇවිදින්න ගී කියන්න නටන්න අනේ මට බෑ සිසී" කියමින් සාධනා හඬන්නට වූවා ය.

"අනේ ඇත්තට මෙහෙමත් ළමයෙක්‌!" කියමින් මම ඇගේ පිට අත ගෑවෙමි. ඇගේ සිත සැනසීම පිණිස මා කියූ ආදරය පිළිබඳ අදහස්‌වලින් ඇය වඩාත් කරදරයට පත්වූ බව මට පෙනේ. ඉන්පසු මම ඒ ගැන කතා නොකරන්නට සිතා ගතිමි.

සාධා කෙමෙන් මගේ ඇසුර අඩු කළා ය. තනිවම එහෙ මෙහෙ යැමට පටන් ගත් ඇය කිසිවිටකත් ඒ ගමන් ගැන කිසිවක්‌ වෙනදා මෙන් මට නො කීවාය. එවැනි ගමනක්‌ ගොස්‌ පැමිණි බොහේ විට ඈ කළේ තනිවම සුසුම් හෙළමින් කල්පනා කිරීමය.

ඇගේ ගමන් බිමන් ගැන සෙවීමටද මට අවශ්‍ය නො වීය. මවුපියෝ ද පමණකටත් වඩා ඇය කෙරෙහි විශ්වාස තැබුවෝය.

මිනින්දොaරුවන් කූඩාරම් ගසා ගෙන සිටි පෙදෙසහි තිබූ කතුරුමුරුංගා ගසෙහි මල් කඩා ගැනීම පිණිස දිනක්‌ මම ඒ දෙසට ගියෙමි. මා යන විටද සාධනා ගෙදර නො සිටියාය. අමාරුවෙන් අතු පාත්කර මල් නෙළමින් සිටි මට කාගෙදොa සිහින් සිනාහඬක්‌ ඇසිණ. මම මුරුංගා ගස ළඟ වූ කුඩා ගල් වැටියට නැඟ අවට බැලීමි.

සාධනා ඇගේ මල් වැටුණු සායෙන් හා රතු හැට්‌ටයෙන් සැරසී බෝවිටියා මලක්‌ පැළඳ සිටියා ය. තනි කරලට ගොතා උරහිසින් ඉදිරියට දමන ලද ඇගේ දිගු කෙස්‌ කැරළි අල්ලාගෙන හිස ඇල කරගෙන තරුණ මිනින්දොaරුවාට නොඉවසිල්ලෙන් ඇහුම්කම් දෙමින් සිටි විලාසය ඉතා දැකුම් කළු විය. අනතුරුව ඇය මඳක්‌ ඉදිරියට ගොස්‌ රවීගේ පසෙකින් හිඳ එහි වූ මිනින්දොaරු දර්ශකයට ඇස තබා බැලුවාය. සාධනා එදින ගෙදර පැමිණියේ තරමක්‌ අඳුරු වැටුණාටත් පසු ය.

රවී විශ්වාස කළ හැකි මා දන්නා හඳුනන වැදගත් තරුණයකු වූ බැවින් මේ ගැන කලබල ඇති කිරීමට මට අවශ්‍ය නොවීය. එහෙත් මා කළේ කතුරුමුරුංගා මල් කැඩීම බොහෝවිට ඇයටම පවරා ඇය යන තැන මා දන්වා බව ඇයට ඇඟවීමට ය. මගේ කාරිය ඈ භාර ගත්තේ දැඩි ඇල්මකින් නොව කැමැත්තත් අකැමැත්තත් එක්‌වූ මිශ්‍ර හැඟීමකින් යුතුව යයි මට සිතිණ. මාසයකට පමණ පසු තම කටයුතු නිමා වූ බැවින් මිනින්දොaරුවෝ ස්‌වකීය කූඩාරම් ගලවා වෙනත් පෙදෙසකට යැමට සූදානම් වූහ.

පිටවී යන්නට ප්‍රථම රවී අප දැකීමට පැමිණියේ ය. ඔහු සිටියේ කිසියම් කනස්‌සලු ස්‌වභාවයකටත් වඩා වියළුණු මුහුණකිනි. එදින සාධනා ඔහු මගහැර සිටිනු දැක මම මවිතයට පත්වීමි.

ඔවුන් නික්‌ම ගොස්‌ සතියක්‌ පමණ යනතුරුම සාධනා කාමරයෙන් වැඩිපුර එළියට නොආවා ය. ඇගේ සිතෙත් ගතෙත් ලොකු වෙනසක්‌ ඇති වෙමින් තිබුණු නමුත් එය පිටතට නොපෙන්වා යථා ලෙස හැසිරීමට ඇය අසාර්ථක උත්සාහයක්‌ ගත්තා ය. එහෙත් ඇය දැඩි සිත් තැවුලකින් පෙළෙන බව කාටත් දැනුණේය.

short1ඇයට මඟුල් යෝජනාවක්‌ ගෙනෙන ලද්දේ මේ අතරතුරේදී ය. මනමාලයා නොදැකම එය තදින්ම ප්‍රතික්‍ෂේප කළ සාධනා කපුවා සොයාගොස්‌ ඔහුට හොඳටම බැණ වැදුණාය. දෙමවුපියන්ගේ සියලු උත්සාහයත් ඇගේ විරෝධය හමුවේ අසරණ විය.

කාලය අලස ලෙස ගෙවී ගියේය. ඉතා උදාසීනව සිටි සාධනා අසනීප බව කියන්නට පටන් ගත්තා ය. මුලින්ම ඇයට උණක්‌ වැළඳිණ. ඉන්පසුව කෑම අරුචිය ඇඟ පතත් හිසත් තදින්ම කකියන බව කියමින් මුළු දවස පුරාම ඇඳට වී සිටි සාධනා සතියක්‌ තුළදී කතා කර ගැනීමට අපහසු අන්දමට බලවත් සේ ගිලන් වූවාය. බලා සිටියදීම වැහිරී ගිය ඇගේ රෝගය හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට පවා අපහසු විය. මවුපියෝ අතිශය වේදනාවට පත්ව ඇයට කැමැති කෙනකු හා විවාහ වෙන්නැයි කියා සිටිය හ. ඇගේ සුරතල් දඟකාර ස්‌වබාවය වෙනුවට ගෙදර ඉතිරිව තිබුණේ ඉපලක්‌ වැන අබලන්වූ ශරීරයකි. මා ඇය වෙතට ගිය හැම විටකම ඇය ඇගේ මැලවුණු ගිලී ගිය දැසින් කිසිවක්‌ පවසන්නට තැත් කරන්නාක්‌ මෙන් බලා සිට ඇගේ දුබල අත් දෙකින් මා වැළඳ ගෙන හඬන්නීය. මම දන්නා තරම් කරුණු කියා ඇය සැනසීමට තැත් කළෙමි.

එහෙත් වැඩි කලක්‌ ඇය මේ දුක නොවින්දා ය. කාටත් කිසිවක්‌ ගැන සිතන්නට ඉඩක්‌ නොතබා සාධනා මාස හයකටත් අඩු කාලයක්‌ තුළදී එක්‌ රාත්‍රියකදී යළි නොනැගිටින සේ නින්දට වැටුණාය.

ඇය සමග ගෙදර ප්‍රීතිය ද ඕ රැගෙන ගියා ය. මට තව දුරටත් ඒ ගෙදර විසීම එපා විය. මම මාරුවක්‌ හදාගෙන වෙනත් පළාතකට ගියෙමි. ඒ යන ගමන් මම සාධනාගේ ඉක්‌මන් අත් අකුරින් ලියන ලද ඇගේ අල්මාරියේ තිබීමා සොයාගත් කුඩා ලිපි කැබැල්ලක්‌ සිහිවීම පිණිස ගෙන ගියෙමි. එම ලිපිය කාට ලියන ලද්දක්‌ දැයි කිව නොහැකි නමුත් එය මෙසේ විය.

"මට ඔබව හැමදාම දකින්නේ නැතුව ඉන්නට බැරිව යන්නේ මොකද? ඔබ යන්නේ මොකද? ඔබ සමඟ කතා කරන්නටත් ඔබ සමඟ නිතරම ගැවසෙන්නටත් මට සිතෙන්නේ ඇයි? ඔබ නැති තැන තනි කමක්‌ දැනෙන්නේ ඇයි? ඔබ යළිත් දකිනතුරු ඉවසිල්ලක්‌ නැත්තේ කුමක්‌ නිසාද? කවදාවත් කිසිවකු නිසාවත් මා මෙතෙක්‌ පත් නොවුණු තත්ත්වයකට මා පත්වී ඇතැයි මා ඔබට කියන්නේ කෙසේද? මගේ හිතවත! මේ සියල්ලටම වගකිව යුත්තේ ඔබයි."

මා ඒ පළාතට ගොස්‌ අවුරුදු පහක්‌ ඉක්‌ම ගියත් සාධනා මගේ සිතෙන් ඉවත් කිරීමට මට අපහසු විය. ඇගේ සුරතල් සිනාවත් ප්‍රීතිමත් දඟකාර භාවයත් පිළිබඳ මතකයන් මා වටා නිතර දෙවේලේ සැරි සැරූහ.

දිනක්‌ වැඩ ඇරී මා නිවසට එනවිට දුටු දෙයින් මගේ වේදනාව අලුත් විය. මිනින්දොaරු කූඩාරම් වගයත් පාරේ අයිනට වෙන්නට සවි කොට තිබිණ. මා ඉන්පසු ඒ පාරෙන් නොයන්නට සිතා ආපසු හැරෙන්නට තැත් කළා පමණි. කිසිවකු මගේ නම කියා කෑ ගැසුවේය.

"සිසී ඇන්ටි! සිසී ඇන්ටි!"

"දෙයියනේ රවී"

ඔහුගේ බලවත් ඇවිටිල්ල නිසා කූඩාරමට නොගොස්‌ යැමට නොහැකි විය.

"අපි දැන් පාරවල් මනිනවා නේ! ඇයි කතුරුමුරුංගා මල් කඩන්න ආවාද?" යි ඔහු විහිළුවට මෙන් ඇසුවේය. මට සාධනා සිහිපත් විය. මම ඔහු දෙස හිනාවෙන් තොරව බැලුවෙමි. මේ අවුරුදු පහට රවි බෙහෙවින් වෙනස්‌වී සිටිsයේය. සිරුර බෙහෙවින් කෘෂ වී තිබුණු අතර මුහුණේ රැලි කීපයක්‌ද විය. හිසෙහි අතරින් පතර පැසුණු කෙස්‌ පෙනිණ. එහෙත් ඔහු තවම අවිවාහකව සිටියේ ය.

ඔහුට තදින් කතා කිරීමට මට ඇතිවුණ අදහස මම මැඩ ගත්තෙමි. ඔහුට විස්‌තර අවශ විය. ඔහු යට ගිය කතා පුවත අසා සිටියේ මහත් දුකින් හා විස්‌මයෙන් පිරී ගිය දැස ඇතිව ය. ඒ මිනිත්තු කීපය ඇතුළත ඔහු දැඩි ලෙස මැලවී ගියාක්‌ මෙන් පෙනිණ.

"මහත්තයාට ඒ අසරණ කෙල්ල ගැන ටිකක්‌වත් සළකා බලන්න තිබුණ. " මම අවසාන වශයෙන් කීවෙමි. බොහෝ වේලා නිහඬව සිටි ඔහු කල්පනාකාරීව මෙසේ ඇසීය.

"මොහොතක්‌ වත් එයා මා ගැන සිතුවාද කියන එක සිසීට විශ්වාසද? " මම ඇයට දහස්‌ වාරයක්‌ ආදරය කළ බව සිසීට ඔප්පු කරන්න මම යන්නේ නැහැ. ඒත් මම එහෙන් ආවෙත් හිස්‌ හදවතකින්. පසුගිය අවුරුදු ගණන තිස්‌සේ මම කළේ ඇය මගේ සිතෙන් මකා දැමීමට නොවිඳිනා දුක්‌ විඳින එකයි".

සාධනා තමා රවිට ආදරය කළා යෑයි කිසිදාක මට නොකී බැවින් ඔහුගේ ප්‍රශ්නය හමුවේ මම අසරණ වීමි. එහෙත් මා අසා ඇත්තේ සැබෑ ආදරවන්තයන් ඒවා උනුනුන්ටවත් නොකියන බව ය. මගේ තර්කය ඔප්පු කිරීමට සාධනාගේ ලිපි කැබැල්ල ඔහුට පෙන්වීම තරම් මෝඩකමක්‌ මේ ජීවිතය තුළදී මෙතෙක්‌ මා කර නැත.

ඇත්තෙන්ම මම මෝඩ ගැහැනියක වී ඉන් මාසයක්‌ යනතුරුම රවීමට හමු නොවීම ගැන ද මා සිතුවේ ඔහුට වැඩ අධික නිසා එසේ වූ බව ය. මුලින්ම ඔහු හමුවූ දින ඔහුට චෝදනා කිරීම ගැන දැඩි සන්තාපයට පත්ව සිටි මම දිනක්‌ ඔහු හමුවීමට ගියෙමි. ඔහු ලිපි කැබැල්ල කියවා හඬා වැළපෙන්නට පටන් ගත් සැටිත් එය මගෙන් ඉල්ලා ගත් හැටිත් මට සිහි විය.

සැකයෙනුත් බියෙනුත් යුතුව මා කාමරයට ඇතුළු වනවිට ඔහු ඇඳෙහි වැතිරී සිටියේ ය. සථ්‍යයෙන්ම මා රවී එහි සිටීදැයි දැනගත්තේ තවත් වරක්‌ එදෙස බැලීමෙනි. විශාල කොට්‌ට අතර තබන ලද කුරුමිට්‌ටෙකු මෙන් පෙනුණු ඔහු වැහැරී දුක්‌ උපදවන තත්ත්වයකට පත්වී සිටියේය.

"පුතාට සනීප නැති වෙලා දැන් මාසයකටත් වැඩියි. කොච්චර බේත් කළත් සනීපයක්‌ නැහැ. ලෙඩ සනීප කරගන්න කිසිම කැමැත්තකුත් නෑ. ඔහේ ඉඳගෙන සුසුම් හෙළනවා. දැන් හරියට සිහිකල්පනාවත් අඩු වගෙයි. "මම රවී දෙස ශෝකයෙන් බලා සිටින විට ඔහුගේ මව මා වෙත පැමිණ කෙඳිරුවා ය.

"තවදුරටත් මා ජීවත් වන්නේ නෑ සිසී" මා හඳුනාගත් ඔහු අමාරුවෙන් කීවේය. ඔහු සැනසීමට කොතෙකුත් දේ කීවෙමි. අතීතය වෙනුවෙන් පසුතැවිලි වී පලක්‌ නොමැති බවත් සාධනා මියගොස්‌ ඇති බවත් ඔහු විශ්වාස නො කළේය.

"ඇයි රවි මැරුණු ගැහැණියක්‌ ගැන හිතන්නේ? අවුරුදු පහකට හයකට කලින් සිදුවුණු දෙයක්‌ ගැන?"

"ඒක මට අලුත් දෙයක්‌ සිසී. අද ඊයේ වුණ දෙයක්‌. එදා එයා මට ප්‍රේම කළ බව අද දැන ගැනීම හරියට එයා මට ඒක ඊයේ කිව්ව වගේ සතුටක්‌. ඒත් එයා මැරිලා අවුරුදු ගානක්‌ ගෙවිලා කියන එක මට දරාගන්න බැහැ. සිසී එයා මැරිලා නෑ සිසී එයාගේ ආත්මය මෙතැන තාම ජිවත් වෙනවා." යි ඔහු තම දුබල අත ඔසවා හදවත පෙන්වමින් කියනු මා බලා සිටියේ කම්පාවට පත්වෙමිනි.

දෛවය ඔවුන් දෙස බලා ඇත්තේ කෲර ඇසකිනි. ඇය තමාට පෙම් කළ බව ඔහු දැන ගත්තේ මේ නොබෝදා ය. එවිට ඇය මොලොව නැත. එහෙත් ඔහු තැවෙන්නේ ඒ නිසාම නොව දවසක දෙකක පමාවක්‌ නිසා සිදුවූ එම අකාරුණික අතපසු වීම වෙනුවෙනි. දෛවයට සිදුවූ වරද කෙසේ නම් නිවැරැදි කළ හැකි ද?

පසුවදා ඔහුගේ බලවත් නොකැමැත්ත පිටම මම ඔහු රෝහලට ගෙන ගියෙමි. මා හඳුනන දොස්‌තර මහතා සති ගණනක්‌ තිස්‌සේ ඔහු පරීක්‍ෂා කළේය. එක්‌ස්‌රේ සේයා බේත් පෙති එන්නත් සියල්ල නිමවීමෙන් පසු දොස්‌තර මහතා මා කාමරයට කැඳෙව්වේය.

"ලෙඩාව එක්‌කරගෙන ගිහින් ඕනෑ දෙයක්‌ කන්න බොන්න දෙන්න."

"ඩොක්‌ටර්!"

මගේ දෙකන් නෑසී දෙඇස්‌ නොපෙනී ගියේය. ඔහු කීවේ රවි මිය යන බ වද? ප්‍රේමයත් ජීවිතයත් දෙකම එකසේ දුක්‌ දෙන්නක්‌ නොවේද? රවීගේ ඉරණම අවුරුදු ගණනකට ඉහත සිදුවී මාසයකට ඉහතදී දැනගත් පුවතක ප්‍රතිඵලයක්‌ යයි සිතත්ම හද වාවාගත නොහැකි තරම් ය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »