Home / කෙටි කතා / මෙහෙකාරියගේ කසාදය

මෙහෙකාරියගේ කසාදය

2018-06-21 12:02:00       696
feature-top
සත් හැවිරිදි තරබාරු බරපතළ හාදයකු වූ ග්‍රිෂා තම නිවසේ කුස්‌සියේ දොරේ යතුරු සිදුරට ඇස තබා ගෙන ඒ වෙලාවෙහි කුස්‌සිය ඇතුළත වූ සිදුවීම් බලාගෙන අසා ගෙන සිටියේය. කුස්‌සිය තුළ ඔහු මින් පෙර නොදුටු අසාමාන්‍ය දෙයක්‌ සිදුවෙමින් තිබෙන බව ග්‍රිෂාගේ අදහස විය. තරබාරු, රතු හිස කෙස්‌, උඩු රැවුලක්‌ හා නාස්‌ තුඩෙහි එල්ලෙන දහඩිය බිංදුවක්‌ සහිත රියෑදුරන් අඳින වර්ගයේ කබායකින් සැරසුණු පිටිසර ගැමියකුගේ පෙනුමෙන් යුතු පුද්ගලයෙක්‌ මස්‌ හා ලුණු පෙති ගසන මේසයට මුහුණ ලා හිඳගෙන සිටියේය. ඔහු තම දකුණතේ ඇඟිලි පහ මත තේ පීරිසියක්‌ සමබරව තබාගෙන අනෙක්‌ අතින් සීනි කැටයක්‌ ශබ්ද නගා සපමින් පීරිසියෙන් තේ උරා බොමින් සිටියේය. නිවසේ ආයා වූ අක්‌සින්යා ස්‌ටෙපනොව්නා අබලන් ස්‌ටූලයක වාඩි වී ඔහුට මුහුණ ලා තේ පානය කරමින් සිටියාය. ඇගේ මුහුණ ගාම්භීර එහෙත් ජයග්‍රාහී හැඟීමක්‌ පළ කරමින් තිබුණි. පෙලගේයා නිවසේ අහර පිසින්නිය උදුන අසල කාර්ය බහුලව සිටියාය. ඇය සිටියේ ඔවුන්ගෙන් මුහුණ සඟවාගෙනය. ග්‍රිෂා දුටු ආකාරයට උදුනේ ගින්නෙන් නැගි පාට සෙවණැළි තද රතු දම් පාටින් පටන් ගෙන සුදුමැලි පැහැය දක්‌වා ඇගේ මුහුණේ සටහන් අඳිමින් තිබුණේය. ඇය වෙව්ලන දෑතින් කෙළවරක්‌ නොමැතිව පිහි, ගෑරුප්පු, දර කැබලි, රෙදි කඩමාළු එහා මෙහා කරමින්ද ගිනි උදුන අවුස්‌සමින්ද තමාටම කොඳුරා ගනිමින් ද සිටියාය. එසේ වුවද ඇය ඇත්තට කිසිවක්‌ම කළේ නැති බව ග්‍රිෂාට තේරුම් ගොස්‌ තිබුණි. ඇය තේ පානය කරන දෙදෙනා දෙස වැරදීමකින්වත් නොබැලූ අතර ආයා අසන ප්‍රශ්නවලට හූ මිටි තැබුවේ මුහුණවත් නොහරවාය.

'ඩැනිලෝ සිමියොනිච්' ආයා ආගන්තුක සත්කාර ස්‌වරයකින් ඔහු ඇමතුවාය. ඇයි තේ නිකම්ම බොන්නේ? වොඩ්කා ටිකක්‌ දා ගන්නෙ නැතුව.'

අනතුරුව ඇය වොඩ්කා බෝතලයක්‌ හා වීදුරුවක්‌ අමුත්තා ඉදිරියේ තැබුවාය. ඒ අවස්‌ථාවේ ඇගේ මුහුණේ තිබුණේ ප්‍රයෝගකාර හැඟීමකි.

'මං කවදාවත් මේවා අල්ලාවත් නැහැ' රියෑදුරා කළබල වෙමින් කීවේය. 'කරුණාකර මට බලකරන්න එපා, අක්‌සින්යා ස්‌ටෙපනෝවා.'

'මොකක්‌ මිනිහෝ.... ඩ්‍රයිවරයෙක්‌ බොන්නෙ නැහැ?.. ඇරත් තනිකඩයකුට නොබී ඉන්න පුළුවන්ද?'

රියෑදුරා ඇස්‌ කොණින් බෝතලය දෙස ද අනතුරුව ආයාගේ ප්‍රයෝගකාර මුහුණ දෙස ද බැළුවේය. ඔහුගේ මුහුණ 'උඹට මාව අල්ලන්න බැහැ, නාකි මායාකාරි' වැනි කපටි බැල්මකින් යුක්‌ත විය.

'සමාවෙන්න, මම බොන්නෙ නැහැ. ඔන්න වෙළෙන්දෙකුට නම් බොන්න පුළුවන්, මොකද ඔහු ඉන්නෙ ගෙදර නිසා. නමුත් රියෑදුරන් වන අපි එහෙමද? අපි හැම වෙලාවෙම ඉන්නෙ මහ ජනයා එක්‌ක, නැද්ද? ඔබට පොඩ්ඩක්‌ වැඩි වුණොත් ඔබ ඉන්නෙ කොහෙද කියලා දැනගන්න කළින් නින්ද ගිහින් තියෙයි. නැත්නම් ඩ්‍රැයිවර් පුටුවෙන් බිමට වැටිලා තියෙයි. ඊට පස්‌සෙ මොකද වෙන්නෙ කියලා හිතා ගන්න පුළුවන්නේ.'

'ඔබ දවසකට කීයක්‌ හම්බ කරනවාද, ඩැනිලෝ සිමියොනිච්?'

'ඒක හරියටම කියන්න බැහැ. එක දවසක රූබල් තුනක්‌ හම්බ කළොත් අනෙක්‌ දවසේ තුට්‌ටුවක්‌වත් නැතිව හිස්‌ අතින් ආපසු එන්ඩ පුළුවන්. හැම දවසක්‌ම වෙනස්‌. මිනිස්‌සු හරි කපටියි. හැම තිස්‌සෙම බලන්නෙ ලාබෙට ට්‍රෑම් එකේ යන්ඩ. දෙවියන්ට ස්‌තුති වෙන්න, මට නම් එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. මට කෑමයි අඳින්ඩ ඇඳුමුයි ඕනැවටත් වඩා තියෙනවා... තව කෙනකුටත් එක්‌ක..' (මෙහිදී රියෑදුරා පෙලගේයා වෙත නෙත් කොණින් බැලුවේය.) ඒ අය කැමති නම්..'

ග්‍රිෂාට ඊට පසු කියූ කිසිවක්‌ අසා ගැනීමට ඉඩ ලැබුණේ නැත. ඔහුගේ මව හදිසියේ ඔහුට පිටුපසින් පෙනී සිටියාය.

'ගිහිල්ලා පන්තියට යන්න ලෑස්‌ති වෙන්න. මේවා අහගෙන ඉන්න ඔයාට ඕනෙ නැහැ.'

ග්‍රිෂා පන්තියට ගිය ද, තම පාඩම් පොත ඔහු ඉදිරියේ දිගහැරී තිබුණ ද පාඩම්වලට නම් ඔහුගේ හිත ගියේ නැත. ඔහුගේ සිත විවිධාකාර වූ ප්‍රශ්න වලින් පිරී තිබිණි. 'පෙලගේයා කසාද බඳින්න යනවා.' ඔහු සිතුවේය. 'පුදුමයි... මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මිනිසුන් කසාද බඳින්නෙ කියලා. මම්මා පපාව කසාද බැඳලා. වෙරෝට්‌ච්කා අක්‌කා පාවෙල් ඇන්ඩි්‍රයිච්ව.. පපා, පාවෙල් ඇන්ඩි්‍රයෙච්ව කසාද බැන්දෙ නැත්තේ ඇයි? ඒ ගොල්ලන්ට රත්රන් ඔරලෝසු, මාල, වටිනා සූට්‌ ඕන තරම්.. සපත්තු හැම තිස්‌සෙම දිලිසෙන්න පොලිෂ් කරලා. ඒත් අර භයානක ඩ්‍රැයිවර්ට තියෙන්නෙ රතු නහයකුයි, ෙෆල්ට්‌ සපත්තුයි විතරයි... ඇයි ආයා, අසරණ පෙලගේයා ඒ මිනිහට කසාද බන්දවන්න හදන්නෙ?'

අමුත්තා පිටව ගිය පසු පෙලගේයා කුස්‌සිය පිරිසිදු කිරීම ඇරඹුවාය. ඇගේ කලබලය තවමත් පැවතුණි. ඇගේ මුහුණ රතු වී තිබූ අතර තැතිගැන්මක්‌ද පිළිබිඹු කළේය. ඇය කොස්‌ස තදින් අල්ලා ගෙන සෑම මුල්ලක්‌ම පස්‌ වරකටත් වඩා අතුගෑවාය. ඇය මම්මා වාඩි වී සිටි කාමරය බොහෝ වේලා ගත කරමින් අතුගෑවාය. ඇය ඇගේ පීඩනය තනිවම දරා ගෙන සිටි අතර එය විවෘතව කා සමඟ හෝ බෙදා ගැනීමට උවමනා වී ඇති බව පෙනුණි.

'ඔහු ගියා' මම්මා තව දුරටත් කතා නොකරම සිටින බැවින් ඇය කෙඳිරිලි හඬින් කතාව ඇරඹුවාය.

'කාට වුණත් පේනවා මිනිහා හොඳ කෙනෙක්‌ කියලා' මම්මා මසමින් සිටි ඇඳුමෙන් දෙනෙත් ඉවතට නොගෙනම පැවසුවාය. 'තැන්පත්, අවංක පාටයි.'

'මම කියන්නේ, මට එයාව බඳින්න ඕනෙ නැහැ, මැඩම්.' එක්‌වරම පෙලගේයා හඬා වැටුණාය. 'මම කියන්නෙ මට බැහැ.'

'මෝඩ වෙන්න එපා, පෙලගේයා. ඔයා පොඩි ළමයෙක්‌ නෙමෙයි. මේක වැදගත් අවස්‌ථාවක්‌. විකාර කතා කරලා වැඩක්‌ නැහැ.. ඔබ ඔහුට කැමතිද?'

'මම දන්නේ නෑ, මැඩම්.' පෙලගේයා හඬමින් කීවාය.

'ඇය ඒ මිනිහාට කැමති නෑ' ග්‍රිෂා සිතුවේය.

'මේ මොන උඩඟුකමක්‌ද? මම අහන්නෙ, උඹ එයාට කැමතිද?'

'ඒ වුණාට ඔහු වයසයි, මැඩම්'

'එකෙණෙහිම ආයා එහා කාමරයේ සිට එතැනට ඉගිලී මෙන් අවුත් කතාව මැදට පැන්නාය. ඔහුට තවම හතළිහ පැනලත් නැහැ. ඇරත් උඹට තරුණයෙක්‌ උවමනා මොකටද? ඒ මිනිහාව කසාද බැඳපන්. එච්චරයි.'

'මම දිවුරනවා, මට ඕනෙ නැහැ.' පෙලගේයා බියෙන් කෙඳිරුවාය.

'විකාර කියවන්නෙ නැතුව හිටපං. මොන වර්ගයේ කපටියෙක්‌ද උඹට ඕනෙ? ඕනෑම ගෑනියෙක්‌ ඔහුව කසාද බඳින්න පොර කනවා. උඹට විතරක්‌ බෑ. උඹට ඕනෙ අර තැපැල්කාරයත් එක්‌ක මුකුළු කරන්න. ලැඡ්ජා නැති මූසලී...'

'ඔබ ඩැනිලෝව මීට කළින් දැකලා තියෙනවාද?' මම්මා පෙලගේයාගෙන් ඇසුවාය.

'මම කොහොම දැකල තියෙන්ඩද? අද තමයි පළවැනි සැරේට ඇස්‌ දෙකට දැක්‌කේ. අක්‌සින්යා එකපාරටම උස්‌සා ගෙන ඇවිල්ලා කුස්‌සියට අතහැරියා...නින්දිත යකා... ඒ මිනිහා ආවෙ මගෙ විනාසෙත් අරගෙන.'

රාත්‍රී කෑම මේසයට පෙලගේයා ආහාර බඳුන්

රැගෙන එන විට රියෑදුරා ගැන කියමින් සියල්ලෝම ඇයට විහිළු කරන්නට වූහ. ඇය බයාදු ලෙස මුහුණ රතු කරගෙන මෝඩ සිනහවක්‌ නඟමින් හැරී ගියාය.

'කසාද බැඳිල්ල ලැඡ්ජා සහගත දෙයක්‌ වෙන්ඩ ඇති. ග්‍රිෂා සිතුවේය. අතිශයින්ම

ලැඡ්ජා සහගත.'

short1සියලුම ව්‍යාංජන වල ලුණු අධික විය. බාගෙට පිසුණු කුකුළු මස්‌වල ලේ ගඳක්‌ දැනිණි. පෙලගේයා අතින් පිඟන් හා පිහි කිහිපයක්‌ම බිම පතිත විය. නමුත් කිසිවකුත් ඇයට දොස්‌ පැරුවේ නැත. සැමටම ඇගේ හැඟීම් තේරුම් ගතහැකි විය. පපා පමණක්‌ කෝපයෙන් අත පිස්‌නාව මේසය මත දමා ගසා මම්මා දෙසට හැරුණේය.

'මොකක්‌ද උඹලාට ඒ ගොල්ලන්ව විවාහ කරවන්න තියෙන උවමනාව? ඒක උඹලාගෙ වැඩක්‌ද? ඒ අයගෙ කසාද ඒ අයට අවශ්‍ය විදියට කරගන්න ඉඩ දීපල්ලා'

රෑ කෑමෙන් පසු ග්‍රිෂා නිදන්නට යන විට අසල්වැසි නිවෙස්‌වල මෙහෙකාරියන් කුස්‌සිය තුළ ඔබ මොබ හැසිරෙනු දක්‌නට හැකි විය. එසේම ඔවුන්ගේ රහස්‌ මන්ත්‍රණ බොහෝ වේලාවක්‌ පැවතියේය. ආයා සහ පෙලගේයා කොරිඩෝරයේ රහසින් කොඳුරන හඬ රාත්‍රියේ හදිසියේ අවදි වූ ග්‍රිෂාට ඇසිණි. ආයාගේ පොළඹවන සුළු වචන ද, පෙලගේයාගේ ඉකි බිඳුම ද, මෝඩ සිනහව ද මාරුවෙන් මාරුවට ඇසිණ. ඉන්පසුව ග්‍රිෂාට නින්ද ගිය අතර අශ්වයකු පිට නැඟුණු මායාකාරියක්‌ පෙලගේයා රැගෙන යනු ඔහු සිහිනෙන් දුටුවේය.

පසුදින ඉතාම සාමකාමී විය. කුස්‌සියේ ජීවිතය හුරුපුරුදු මඟට වැටුණු අතර රියෑදුරා පැමිණියේ නැත. ආයා ඇගේ අලුත් සළුව කර්කශ සුළඟට එරෙහිව වනමින් පැයකට හෝ දෙකකට කොහේදෝ පිටව ගියාය. පෙලගේයා ඉන්පසු රියෑදුරාව නොදුටු අතර, ඔහුගේ නම සඳහන් කළ විට හඬන්නට වූවාය.

සවස මම්මා කුස්‌සියට පැමිණියාය. උෙද්‍යාaගිමත්ව හා අහංකාරව ආයාට හා පෙලගේයාට මෙසේ පැවසුවාය.

'ඇත්ත වශයෙන්ම උඹට ඔහුව කසාද බඳින්න පුළුවන්.. ඒක උඹලාගෙ වැඩක්‌. ඒත් මම උඹට කිව යුතුයි පෙලගේයා, ඔහුට මෙහෙ ඉන්න බැහැ.. තව කවුරුත් කුස්‌සියේ පදිංචි වෙනවට මම කැමති නැහැ. අනෙක මතක තියා ගනින් උඹට පිට නිදා ගන්න ඉඩ දෙන්නත් බැහැ.'

'මොනවා කියනවද මැඩම්' පෙලගේයා යටිගිරියෙන් පැවසුවාය. 'ඇයි මාව ඔහු වෙතට වීසි කරන්නෙ?'

'ටික දිනකට පසු එක්‌ දීප්තිමත් ඉරිදාවක උදයේ කුස්‌සියට ගිය ග්‍රිෂා විශ්මයෙන් ඇළලී ගියේය. කුස්‌සිය සෙනඟින් පිරි අධික තදබදයක්‌ පැවතිණි. මුළු මිදුලේම අරක්‌කැමියන් පිරී සිටියහ.

රැකවලෙක්‌, පොලිස්‌ භටයන් දෙදෙනෙක්‌, බලය ලත් නිලධාරියෙක්‌ හා ෆීල්කා කොළුවා ද එහි විය... ෆීල්කා කොළුවා වෙනදාට අපුල්ලා ගතයුතු වර්ගයේ එකකු වුවද දැන් ඔහු පිළිවෙළකට හිස පීරා පිරිසිදුව සිටිනා බව පෙනුණි. පෙලගේයා හිසට මලක්‌ පැළඳ, අලුත් කපු ගවොමක්‌ හැඳ කුස්‌සිය මැද සිට ගෙන සිටියාය. ඇගේ පැත්තකින් සිට ගෙන සිටියේ අර රියෑදුරාය. ප්‍රීතිමත් යුවල රතු වූ මුහුණින් දහඩිය දමමින් අමාරුවෙන් සිට ගෙන සිටියහ.

'හොඳයි.. මේ මොහොතේ මම සතුටු වෙනවා...' බලය ලත් නිලධාරියා දිගු නිහැඬියාවකට පසු පැවසීය. පෙලගේයා ඉකිබිඳින්නට පටන් ගත්තාය. සොල්දාදුවා විශාල පාන් ගෙඩියක්‌ මේසය මත තබා ආයාගේ පැත්තකින් සිට ගත්තේය. අනතුරුව යුවළ වෙනුවෙන් යාඥා කිරීමට පටන් ගත්තේය. මනමාල රියෑදුරා සොල්දාදුවා වෙත පැමිණ දණින් වැටී ශබ්ද නගා ඔහුගේ අතට තොත්තුවක්‌ දුන්නේය. ආයාට ද එයම කරනු ලැබීය. පෙලගේයා යන්ත්‍රානුසාරයෙන් මෙන් මනාලයා අනුගමනය කළ අතර ඊට අමතරව නැමී පොළොවටද ආචාර කළාය. අන්තිමේදී පිට දොර විවෘත වූ අතර සාදය සුදු මීදුමෙන් පිරුණු මිදුල වෙත සංක්‍රමණය විය.

'අනේ සිද්ධ වුණු දෙයක්‌.' ග්‍රිෂාට සිතුණේ පෙලගේයාගේ ඉකි ගැසීම ඇසීමත් සමඟය. 'ඔවුන් ඇයව කොහේද ගෙන යන්නෙ? මම්මායි පපායි ඇය ගැන බලන්නෙ නැත්තේ ඇයි?'

'විවාහ උත්සවයෙන් පසු කුස්‌සියට යාබද ලොන්ඩරිය තුළ කොන්සර්ටිනා වාදනය හා ගීත ගායනය බොහෝ සවස්‌ වන තුරුම පැවතිණි. මම්මා මුළු සවසම එහා මෙහා ඇවිදිමින් සිටි අතර ආයාගෙන් වොඩ්කා සුවඳ වහනය විය. තේ බඳුන උණු කිරීමටද කිසිවකු සිටියේ නැත. එබැවින් සවස තේ පානය සිදු වූයේ නැත. ග්‍රිෂා නිදා ගැනීමට යන වේලාව වනවිටත් පෙලගේයා ආපසු පැමිණ සිටියේ නැත.

'අනේ අසරණ ගෑණි. කොහෙට හරි වෙලා කළුවරේ හඬ හඬා ඇති.' ග්‍රිෂා සිතුවේය. 'අර යක්‌ෂ ඩ්‍රැයිවරයා කියනවා ඇති 'කට වහගනින්' කියලා.'

'පසුදා උදයේ පෙලගේයා නැවත කුස්‌සියේ පෙනී සිටියාය. මිනිත්තුවකින් පමණ රියෑදුරා පැමිණියේය. ඔහු මම්මාට ස්‌තුති කොට පෙලගේයා දෙස දැඩි ක්‌ෂණික බැල්මක්‌ හෙළුවේය. අනතුරුව මෙසේ පැවසුවේය.

'ඔබලා ඇයව හොඳින් බලා ගන්නවා නේද, මැඩම්? මවක්‌ හා පියෙක්‌ වගේ. අනෙක ඔබ, අක්‌සින්යා ස්‌ටෙපනොව්නා, ඇයව අතරමං කරන්න එපා. මම ඇගේ නීත්‍යානුකූල ස්‌වාමි පුරුෂයා ලෙස ඉල්ලා සිටිනවා. අනෙක්‌ කාරණය මැඩම්, කරුණාකර මට ඇගේ වැටුපෙන් රූබල් පහක අත්තිකාරමක්‌ දෙන්න, මට මගේ අශ්වයට කර පටියක්‌ ගන්න උවමනා වෙලා තියෙනවා.'

'ග්‍රිෂාට නැවත ප්‍රශ්නයක්‌ පැමිණ තිබේ. පෙලගේයා නිදහසේ ජීවත් වෙමින්, තමන්ට කැමති දෙයක්‌ කරමින් කල් ගත කළාය. කවරකු හෝ විසින් ඇගේ අයිතිවාසිකම් හා ඈ සතු දේ අත්පත් කර ගනිමින් තිබුණි. ග්‍රිෂා පීඩාකාරී හැඟීමක්‌ වැනි දෙයකින් පෙළෙමින් සිටියේය. මේ මිනිසා කරන අකටයුත්තට එරෙහිව ඔහුගේ ගොදුර වූ පෙලගේයා අස්‌වැසීමට ග්‍රිෂාට ඇවැසි විය. තමන් හඬන්නට ආසන්න බව ඔහුට දැනුණි. ඔහු වහා ස්‌ටෝරු කාමරයෙන් විශාල ඇපල් ගෙඩියක්‌ ගෙන කුස්‌සියට දිවගොස්‌ එය පෙලගේයාගේ අතෙහි තබා මිට මෙලවූවේය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »