"/>
Home / කෙටි කතා / ගං දැලේ දියණිය

ගං දැලේ දියණිය

2018-06-17 03:08:00       977
feature-top
මලික්‌ තුසිත ගුණරත්නගේ
'චන්දරේ මචං!!' කෙටි කතා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී

 "යකෝ මේකිට මොන යක්‍ෂයෙක්‌ වැහිලද... බොන්ඩියෙ උඹ කොහෙද බොල ගියේ..?"

"තොට මොකද කතා කරන්න බැරි... කටේ පිට්‌ටුද...?"

"ඊයේ රෑ හිටං අපි මෙහෙ ගිනි පත්තුවෙලා .... තොට මොන මදනය ගැහුවද...?"

"බොල පරට්‌ටියෙ උඹ මනමාල ගං ගියාද..?"

"ඊයේ මුළු ගමම රෑ නිදි වරාගෙන උඹව හෙව්ව... අපි උන්නෙ අද උදේ උඹේ මළ මිනිය මෙහෙට ගේන්න...කියහං ගෑනියේ උඹට මහසෝන වැහිලද...?"

සීලියා හාමිනේත්, හේරස්‌ හාමිත් විඩෙන් විඩේ සන්ධ්‍යාගේ මුහුණට එබෙති. ඇය නිරුත්තරය. ඒත් ඇස්‌ ගෙඩි දෙකේ ලොකු කඳුළු බිංදු දෙකක්‌ හිර වෙලාය. ඒවා එළියට එන්නේ නැත. ඇතුළට යන්නේද නැත. ඇයගේ මුහුණේ බියක, තිගැස්‌මක සේයාවකුදු නැත. සන්ධ්‍යා තෙත ගවුම දැතින් උණ්‌ඩි කරගෙන සිටියාය. ඉන් වතුර බිංදු වෑස්‌සෙමින් තිබිණි.ඒවා කඳුළු යයි අම්මා වරදවා වටහාගෙන තිබීම සන්ධ්‍යාට සතුටකි.

"ඇයි උඹ අඬන්නෙ..?"

"උඹට මොකක්‌ හරි කරදරයක්‌ උනාද... කවුරු හරි කරදරයක්‌ කළාද...?"

ඇය උණ්‌ඩි කරගෙන සිටි ගවුම ගසා දැමුවාය.

"උඹ තෙමිල මොකද...... උඹ හිටියෙ නිල් ගඟේද... උඹව කවුරු හරි ගඟට තල්ලු කළාද....?"

මුළු ප්‍රශ්න පත්තරයම අම්මාගේය. ඇයගේ හඬ උස්‌ය. උත්තර බඳින්න බැරිය. එක්‌කෝ කම්මැළිය. රැයක්‌ පුරා විඳි මිහිර හරිම සුන්දරය. එම සුන්දරත්වයේ එබී, මිදී, කිමිදී සිsටින්නට සන්ධ්‍යා කැමැතිය.

"කියපං මයේ පුතේ..."

අන්තිමේදී අම්මා පහළම පඩියට බැස්‌සාය. හඬ තුනී විය. දෙනෙතින් කඳුළු බිඳු කඩාගෙන වැටිණි. අසල වූ සියඹලා ගහ උගුලුවාලන්න තරමේ සුසුම් පිටවිණි. හේරස්‌ හාමි කිසිවක්‌ නොකිව්වේය. අහල පහල ගමේ උදවිය තුෂ්නිම්භූතව බලා සිටියහ. සන්ධ්‍යා කිසිවක්‌ නොකීවාය.

මහතුන් මාමා දිව ගියේ කට්‌ටඩි මාමා රැගෙන එන්නටය. ඊට උපදෙස්‌ දුන්නේ තාත්තාය. වර්ග පහක මල්, දෙහි, කට්‌ටකුමන්ජල්, දුං කබල, පුටුවක්‌, සුදු රෙද්දක්‌, පැදුරක්‌, හඳුන්කූරු , පහනක්‌ කඩිමුඩියේ එක්‌රැස්‌ කෙරිණි.

ඇප නූලක්‌... සන්ධ්‍යා සිනාසුණාය. ක්‍ෂණයකින් ඇය එය ලොවෙන් වහන් කළාය. ශිරෝමි නංගි එය දුටුවාය.

"අන්න හිනා උනා..... ආයිත් ඔරෝ ගත්ත..." ඇය අම්මා සමග මුණු මුණු ගෑවාය.

"මේ ඇඳුම මාරු කරපල්ලා.... ගෙට ගෙනියන්න එපා..... වැහිල ඉන්න මහසෝන ඒ පාර ගෙටත් රිංග ගනියි."තවත් කවුද කෑ ගැසුවේය.

සන්ධ්‍යා දෙවැනි පාරටත් සිනාසුණාය. ඒ සිනාවද ශිරෝමි දුටුවාය.

"අන්න ආයිත් හිනා උනා.... " ශිරෝමි අම්මාට කෙඳුරුවාය. "කෑ නොගහ ඉඳිං යෝදියේ" අම්මාද ඇයට කෙඳිරුවාය.

"තනිකං දොaසයක්‌....."

"ඔව්.. ඔව්. මට තනිකං දොaසයක්‌ තමයි... " සන්ධ්‍යා තොල් මතුරා ගත්තාය.

"අන්න..... අන්න.. සන්ධ්‍යාක්‌කා තොල් මතුරනවා" ශිරෝමි නංගා නැවත කෑ ගසන හඬ සන්ධ්‍යාට ඇසිණි.

"දොඩවනව.. කෝ බලන්න මයෙ දුවේ.. කතා කරපං මයෙ දුවේ.. "සීලියා හාමිනේ දියණියගේ හිස මෘදුවට අත ගෑවාය.

"උඹට මොකද වුණේa දුවේ... උඹට කාව හරි වැහුන ද ... කියපං දුවේ......"

අම්මාගේ වචනවල ආදරය උතුරා යමින් තිබිණ, එහෙත් ඇත්ත කියන්නේ කෙසේද.... මේ නීරස ඇත්ත කියූ සැණින් නොඅනුමානව තමා පිස්‌සියකගේ තත්ත්වයට පත්වෙන බව සන්ධ්‍යා දැන සිටියාය.

"කියපං දුවේ.... මම අම්මා..... උඹට මට කියන්න බැරි දෙයක්‌ නෑ....... උඹට කරදරයක්‌ වුණාද. උඹට කාවද වැහුනෙ..?"

කිඹුලා!

* * * * *

කිඹුලාගේ විමානය ලස්‌සනය. එය තනිකරම ගොඩනඟා තිබුණේ කිරිමැටිවලිනි. කිඹුලාගේ නිදන කාමරය සිත් ගන්නා සුලුය. එහි බිත්තියක්‌ මත මනරම් කිරිමැටි කැටයමක්‌ කපා මතු කොට තිබිණි. ඇඳ, ලියන මේසය, පුටුව පිළිවෙළට තබා තිබිණි. ඇයගේ වඩාත් සිත් ගත් ගෘහ භාණ්‌ඩය වූයේ මනාව අසුරා තිබූ පොත් රාක්‌කයයි. කිඹුලා කෙරෙයි ඇයගේ සිතේ පරම විශ්වාසයක්‌ ගොඩ නැඟුණේ හරියටම පැය දෙකකුත් විනාඩි විසිපහකට පසුවය. එම හෝරා දෙකකට වැඩි කාල පරිච්ඡේදය තුළ සන්ධ්‍යා දුටුවේ තමා කොයි මොහොතක හෝ කීතු කීතුවලට කැඩී කිඹුලාගේ උදර මාර්ගයේ තැන්පත් වන බියකරු සිහිනය පමණි. කිඹුලා විසින් තමාට මරණය නොව ජීවිතය ගෙන එන බව ප්‍රත්‍යක්‍ෂ වුණ පළමු විනාඩියේම සන්ධ්‍යා තම පල්ලියේ සීනු හඬ අවදි කළාය.

"ඇයි මාව ගිලින්නෙ නැත්තේ. කිඹුල්ලු ගැන මම අහල තියෙන්නෙ බොහොම භයානක කතා. අත පය කඩා ගන්නව. පස්‌ස පැත්තෙ මස්‌ කුට්‌ටිය ඩැහැ ගන්නව. මිනිස්‌සු මරනව. මිනිස්‌සු රැකගෙන ඉඳල ඔයගොල්ලො අල්ලනව. පරිසර සංවිධාන ඔයගොල්ලො වෙනුවෙන් කතා කරනවා. වන ජීවියෙන් උපදෙස්‌ දෙනවා. නේවි එකේ බෝට්‌ටු නිල් ගඟේ එහාට මෙහාට යනව. මේ ඔක්‌කොම ඔයගොල්ලො මිනිස්‌සු මරන නිසා..."

"ඒ මගේ සනුහරේ වෙන අය.."

"ඇයි ඔයා එහෙම නැද්ද?"

"ඔයා කැමැති පොතක්‌ මේ පොත් රාක්‌කෙන් තෝරා ගන්න. හැබැයි නව කතා නෑ. කවි පොත් නෑ. මහා ජල විශ්වවිද්‍යාලයට අවශ්‍ය වුණ මගේ නිබන්දන ඇති ඊට අදාළ පර්යේෂණ පොත් ඇති. කොටින්ම විෂයට අදාළ පොත්..."

"අනේ මට එපා ඒවා...... හොඳ නවල් එකක්‌.. ආදරේ හිතෙන.. ආදරේ කරන... පෙම්වතා දිනන..... අන්තිමට එක්‌ වෙන පොත්.."

ඒවා නෑ.. "

"ඉතිං ඇයි කියන්න මාව මෙහෙ ගෙනාවෙ?"

"දන්නෑ"

"ඇයි මාව මැරුවෙ නැත්තේ?"

"දන් නෑ"

"තව කොච්චර කල් මාව මෙහෙ තියන් ඉන්නවද?"

"දන් නෑ"

"අනේ මේ මොකද අනේ මේ... ඔක්‌කොටම දන් නෑ. දන් නෑ.. මොනවද දන්නේ."

short1කිඹුලා මෘදුව සන්ධ්‍යාගේ දකුණතේa ඇඟිල්ලක්‌ මිරිකුවේය. එහි කිසිම සුවදායක බවක්‌ නොවිණි. මෘදු බවක්‌ද නොවිණි සන්ධ්‍යාට පසන් මධුශංකව සිහිවිණි. දලුක්‌ කැලයේ රූස්‌ස දිවුල් ගහක්‌ යටදී දිනක්‌ ඔහු විසින් සන්ධ්‍යාගේ සියලු ඉඳුරන් අවදි කර දමා තිබිණි. පසන් මධුශංක ජපුරේය. මේ දුප්පත් ගමෙන් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාලයකට ගියේ ඔහුය. පසනුත් සන්ධ්‍යාත් ගියේ එකම පාසලකටය. සන්ධ්‍යාගේ සුරූපි බව විසින් ඒ වනවිටදී පාසලේ කොල්ලන් කිහිප දෙනෙක්‌ම කරකවා අතහැර දමා තිබිණි. පසන් මධුශංක ද කැරකුණාට සන්ධ්‍යාගෙන් ඉවත ගියේ නැත.

ඔහු ඇය වෙත ළං විය. ආදරයක්‌ ප්‍රකාශ නොවුණද. ජ'පුරේ කරදර පවතින්නේ යෑයි ආරංචි වන හැම මොහොතකම ගුවන් විදුලිය, රූපවාහිනිය වෙත හෝ පහුවදා පත්තරය වෙත ඇයගේ දැස්‌ දිවයන්නේ මන්දැයි ඇය දන්නේ නැත.

පසන් මධුශංක ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු දැයි සන්ධ්‍යා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. එහෙත් ඔහු, නිදි වැද තිබෙන ගැහැනියකගේ පසිඳුරන් අවදි කොට ගිනි තැබීමට තරම් උපන් සමතෙකැයි සන්ධ්‍යාට සිතිණි.

කිඹුලාගේ කර්කශ සන්තර්පනය සත පහක්‌වත් නොවටිනා එකකැයි සන්ධ්‍යා සිතුවාය.

අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට තව ඇත්තේ සුමාන තුනකි. කවදත් ගොම්මනේ නිල් ගඟ වෙත යැම සන්ධ්‍යා පුරුද්දක්‌ කරගෙන සිටියාය.

දිනපතා පාසල් ගොස්‌ පැමිණ පැය තුනක්‌ පාඩම් කිරීම ඇයගේ දවසේ අනිවාර්ය අංගයක්‌ බවට පත්වෙමින් තිබිණ. එම පුරුද්ද ඇති කළේ පසන් මධුශංකය. ඒ ඔහුගේ විදිහය. ඒ විදිහ පුරුදු වන්නට සන්ධ්‍යාටද තිබුණේ ආසාවකි.

මේ කියනා දවසේ සන්ධ්‍යා නිල් ගඟට බැස්‌සේ හැන්දැවේ ඇඟ සෝදා ගැනුමටය. කිඹුල් කොටුව නිසා බිය වීමට හේතුවක්‌ නැත. කිඹුල් කොටුව හැදුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. එහෙත් සැබැවින්ම කිඹුල් කොටුව හදා දුන්නේ දෙදරු මවක්‌ වූ ඇලිස්‌ අක්‌කාය. ඒ ඇය කිඹුලකුගේ ගොදුරක්‌ බවට පත් වූ පසුවය.

"ඇලිස්‌ අක්‌කගෙ පපුව කෑවේ කවුද?"

හදිසියෙ මතක්‌ වුණු පැනයක්‌ සන්ධ්‍යා ඇසුවාය.

කිඹුලා එයටද සුපුරුදු උත්තරයම බැන්දේය.

"දන් නෑ..."

සබන් ගා කරවටක්‌ දියේ ගිලී ගොඩඑන්නට තැත් කරන විටදීම කිඹුල් කොටුවේ ඝනකම කම්බිය සෙලවෙනවා සන්ධ්‍යා දුටුවාය. ඒ සැණින් කිඹුලෙකු තමාගේ පාදයෙන් අල්ල ගන්නවාද ඇයට දැනිණි. කෑ ගැසුවාට හඬ පිටවුණා දැයි ඇයට සැකයකි. නාන තොටේ වෙන කිසිවකු නොසිටීම අවාසනාවකි. කම්බි කූරු අතරින් තමාව නිල් ගඟේ ගැඹුරට ඇදී යනවා සන්ධ්‍යාට දැනිණි. කිඹුලා තම පය කටින් තද කරගෙන සිටියාට ඇයට රිදුමක්‌ දැනුණේ නැත. සැබැවින්ම එතැන තුවාලයක්‌ හෝ කකුල වෙන්වී යන තරමට තෙරපීමක්‌ හෝ සිදු නොවිණි. ඇය වලාකුළු අතරේ¨ පාවී යන්නාක්‌ මෙන් නිල් ගඟේ දඟකාර දිය රැළි අතරේ පා වුණාය. පසන් මධුශංක විසින් එතෙක්‌ නොවිඳි මිහිරක්‌ අත් කර දුන් දවසේද තමා මෙවැනිම පාවීමකට ලක්‌වුණු අයුරු ඇය සිහි කළාය. ඒ මහ පොළොවේ දිවුල් ගහ යටදීය. අද මේ නිල් ගඟේ දරුණු, ගැඹුරු දිය රළ අතරේය.

"ඔයාට හුස්‌ම ගන්න අමාරුද..." වරක්‌ දෙවරක්‌ කිඹුලා තමාගෙන් විමසුවා සන්ධ්‍යාට මතකය. ඇය ඒවාට පිළිතුරු දුන්නේ නැත. කෙටි ගමනකින් පසුව සන්ධ්‍යා කිඹුල් විමානයට පැමිණියාය. මේ ඒ ආ ගමනය.

"අම්මා බයවෙලා ඇති.... ගමම ඇහැරිලා ඇති"

සන්ධ්‍යා තම අත්ඔරලෝසුව වෙතට නෙත් හෙළුවාය. එය කිව් ඇන්ඩ් කිව් වර්ගයේ එකකි. වතුරටද ඔරොත්තු දෙන්නකි. එය තමාගේ දාහත්වැනි උපන්දියදා පසන් මධුශංක විසින් දුන් ත්‍යාගයකි. එදා පටන් ඇය එය ගැලවූයේ රාත්‍රියේ නිදා ගන්නට යන විටදී පමණි. අන් හැම මොහොතකම ඔරලෝසුව ඇයගේ වම් අතේ වෙළී සිටියේ තවමත් තියාගන්න බැරිවුණ ආදරයක පූජනීය බරක්‌ ද දරා ගනිමිනි.

"මාව මරන් නැතිව මෙහෙට එක්‌කන් ආ එකේ තේරුම මොකක්‌ද?"

ඊට පිළිතුරු දෙනු වෙනුවට කිඹුලා ඇයගේ එක අතක්‌ ගෙන තමාගේ හිස මතින් තබා ගත්තේය.

සන්ධ්‍යා කිඹුලාගේ හිස පිරිමදින්නට පටන් ගත්තාය. ට්‍රැක්‌ටරයකින් කූඹුරක්‌ හෑව පසු වගේ ඒ හම ගොරහැඩිය. ගොඩැලිය. උඩට නෙරා ඇති ඇස්‌ ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක්‌ වැනිය. ඇය බලු, බළල්, ගව සුරතල් අත්විඳ තිබුණාට කිඹුල් සුරතලයක්‌ මේ අත්වින්දාමය. සතුටක්‌ නොලැබුණද මේ නුහුරු අත්විඳුමට ඇය තම සිත කැමැති කර ගත්තාය. පසන් මධුශංක තමාව හුරතල් කළ ආකාරයට සන්ධ්‍යා කිඹුලාව හුරතල් කරන්නට පටන් ගත්තාය. කිඹුල් ජාගර අපුල ඇය කෙමෙන් කෙමෙන් මැඬ ගත්තාය.

"මීට මාසෙකට විතර ඉස්‌සෙල්ල මං මගෙ අම්මව හීනෙන් දැක්‌ක."

"ඉතිං?"

"කවදාවත් මිනීමස්‌ කන්න එපා කිව්වෙ මගේ අම්මා. උඹ උගතෙක්‌. මිනිස්‌සු එක්‌ක සහජීවනයෙන් වැඩ කරන්නය කිව්වා. මිනිසුන්ට උදව් කරන්න කිව්වා. මට හුඟක්‌ අපලයි කිව්වා. ඒ අපලෙ දුරුවෙන්න නම් මිනිස්‌සු එක්‌ක වැඩ කරන්න කිව්වා. මිනිසුන්ගෙන් ජීවත්වීමේ කලාව ඉගෙන ගන්න කිව්ව. මං ඉතිං කාගෙන්ද ඕවා ඉගෙන ගන්නෙ. ඒත් මං දැක්‌ක ඔයා හැමදාම හැන්දැවට කොටුවට එනව. මං සුමානයක්‌ තිස්‌සේ ඔය කම්බිකූර කටින් හපල කැඩුවා. මගේ උඩු ඇන්දෙ දතකුත් ගැලවුණා. මේ බලන්න බොරුද කියල".

කිඹුලා දත් විළිස්‌සුවේය. පිළී ගඳ මුහුවුණ ගන්ධස්‌කාරය සන්ධ්‍යාගේ නාස්‌ පුඬු අකුලා දැමුවේය.

ඔයා දත් මැදලත් නෑ කාලෙකින්.."

"මං පශ්චාත් උපාධිය කළේ මිනිස්‌ ශරීරයට යෝග්‍ය වන ජලයේ වැවෙන පෙඳ, පාසි, පැළෑටි ගැන. මං ඒවා ගැන පර්යේෂණ කළා. අර අල්මාරියෙ උඩම තියෙන්නෙ මං හදාපු ශාක සාර. මං ළඟදීම ඒවා ඕගොල්ලන්ගෙ ලෝකෙ සුපර් මාර්කට්‌වලට දානව. මේක මහා පරිමාණයේ ව්‍යාපෘතියක්‌. එතකොට මිනිස්‌සුත් අපිත් අතරේ සහසම්බන්ධතාවක්‌. සහජීවනයක්‌ ඇතිවෙනව. මේ වෛරී ලෝක දෙක එක්‌කරන පාලම ඔයා. මං ඔයාව තෝරා ගත්තේ ඒ භූමිකාවට. ඔයා මිනිස්‌ කිඹුල් ඒජන්ට්‌"

කිඹුලා දත් වහල්ල එළියට දමාගෙන සිනාසුණේය. සන්ධ්‍යාටද සිනා ගියේය. ඒ කිඹුලාගේ සිනාවටය.

* * * * *

කිඹුල් කොටුවේ ගැලවුණු යකඩ කූරු සවි කොට අලුත්වැඩියා කිරීමට ටෙන්ඩර් කැඳවන්නට ප්‍රාදේශීය සභාවට සිදු විය. එතෙක්‌ නිල් ගඟ පරිස්‌සමින් පාවිච්චි කරන ලෙස සභාවේ නිල්පාට කැබ්රියේ උඩ බදින ලද යකඩ කටින් කාටකාටත් උපදෙස්‌ ලැබිණි.

ප්‍රාදේශීය සභාව විසින් නියංගොඩ ගම්වාසීන්ගේ ජීවිත ටෙන්ඩරයක්‌ මත දොaලනය වන්නට අතහැර දමා තිබුණේ එලෙසය.

කුඹුරේ වැඩ අහවර කොට ඇඟපත සෝදා ගන්නට නිල් ගඟට බැස්‌ස සිරිසේනගේ කලවෙන් පදාසයක්‌ කිඹුලෙකු විසින් කඩාගෙන තිබුණේ පෙරේදා සවස්‌ කාලයේදීය.

කිඹුල්කොටුව ළඟ ගොම්මන යස අපූරු කිඹුල් - මිනිස්‌ සම්බන්ධතාවක්‌ ගොඩනැඟුණේ මේ අතරතුරේදීය. එය මනුෂ්‍යත්වයේත්, තිරිසන් බවේත් උච්ඡතම හැඟීම්, යහ චර්යාවන් වර්ධනය කරන, ප්‍රාණයකට ප්‍රේම කරන, ගෞරව කරන මහා සමුළුවක්‌ බවට පත් වී තිබුණේය. මේ ධරණී තලයේ ඉපදෙන ඕනෑම ප්‍රාණියකුට ජීවත්වීමේ පරම අයිතිය තිබිය යුතු බවට සන්ධ්‍යා තර්ක කළාය.

ආචාර්ය කිඹුලා ද ඔළුව සොලවා එය සනාථ කළේය.

"ඇයි එහෙනං සිරිසේන මාමගෙ කකුල කෑවේ.. අහන්න ආචාර්ය තුමෝ ඔයාගෙ සනුහරෙං.."

"මං උංගෙ ආධ්‍යාත්මය හදන්න දැනටමත් රැස්‌වීම් මාලාවක්‌ සූදානම් කරල තියෙනව."

"ආචාර්ය තුමෝ, ඔයා රැස්‌වීම් තියල කිඹුල්ලු හදනකොට අපේ ගමේ භාගයක්‌ නැතිවෙලා තියේවි"

මිනී මස්‌වල අගුණ ගැන ලියූ පෝස්‌ටර් කිහිපයක්‌ නිල් ගංගා පතුලේත්, කිරිමැටි ගුහා තුළත්, වල් බෙලි ගස්‌වල මුල් අගිසිවලත් දැනටමත් අලවා ඇති බව කිඹුලා කීවේය.

"අපි ඕව දන් නෑ... ගං ඉවුරු දෙකේ දිගටම වන ජීවී එකෙනුයි පරිසර සංවිධානවලිනුයි අපිට නං පෝස්‌ටර් ගහල තියෙනව. කිඹුලන්ගෙන් ප්‍රවේසං වෙන්න කියල".

සන්ධ්‍යා එසේ කීවේ පොඩි ගල්කැටයක්‌ කිඹුලාගේ ඔළුවට විසි කරමින්ය. ආචාර්ය කිඹුලා "දඩස්‌ගා ඔළුව දිය යට ඔබා ගත්තේය.

හැමදාම ගොම්මනේ කිඹුල් කොටුව ළඟදී සිදුවෙන මේ සංවාද සන්ධ්‍යාට නම් අපූරුය.

අසල පඳුර සෙලවෙනු සන්ධ්‍යා දුටුවේ කිඹුලා සමග මේ කතා බහ කරන අතරතුරේදීය.

ඔළුවේ බැඳ තිබූ රතු ලේන්සුව ලිහා කර මදට දා ගනිමින් සැම්සන් අයියා පඳුර තුළින් මතු වෙනු සන්ධ්‍යා දුටුවාය. කටේ බෝම්බු කෝට්‌ටකි. ඔහු කාරා කෙළ ගැසුවේය. සැම්සන් සන්ධ්‍යා සමීපයට ම ආවේය. ඇයගේ අතක්‌ අල්ලා ගත්තේය.

"උඹ ළඟ පුසුඹයි". පාසලේදී කරකවා අතහැර දැමූ සැම්සන් කතා කළේය.

"මේ මොන මනමාලකමක්‌ද"

"ඇයි බං... යමං කො අර පඳුර ළඟට ටිකක්‌"

"ඒ මොකටද.... අනේ සැම්සන් අයියේ.... මං කෑ ගහනව හොඳද..."

"ආ..... ඒකත් එහෙමද..."

* * * * *

සැම්සන් කියූ කතාව නිසා හේරස්‌ හාමි තක්‌බීරි වී ගියේය. "බල බිඳිල.. බල බිඳිල"

හේරස්‌ හාමි සීලියා හාමිට කතා කළේය.

"සන්දියාගේ ඇප නූල තාම තියෙනවද"

"ඔව් මම ඊයෙත් දැක්‌ක ඇඳුම් මාරු කරන කොට ඉනේ තියෙනව. බෙල්ලෙයි අතෙයි තියෙනව ඔහෙටත් පේනවනේ... ඇයි.."

"මේං බලහල්ලකෝ සැම්සනා කියන කතාව අපේ එකී ගොම්මනේ කිඹුල් කොටුව ළඟ කිඹුලෙක්‌ එක්‌ක හැමදාම කතා කරනව කියල. මූ ඇස්‌ දෙකටම දැකල තියෙනව කියන්නේ".

"කිඹුලෙක්‌ එක්‌ක." සීලියා හාමිනේ දෙනෙත් විසල්විනි.

"ඔව්.... ඔව්.... ඒක නේන්නං. බල බිඳිල, උඹල මොකුත් පුළුටු එහෙම ගෙනාවද ගෙදරට".

"මං ගෙනාපු පුළුට්‌ටලක්‌ නෑ. තාම හත්දවස ගෙවුන් නෑ නොවැ."

"දොaසයක්‌ දොaසයක්‌"

* * * * *

"දැන් හරිද" සන්ධ්‍යා කෙළින්ම සැම්සන්ගේ දෙනෙත් දෙස බැලුවාය. ඇයගේ දැස්‌ ගිනි පුපුරු දෙකක්‌ මෙනි සැම්සන් දුටුවේ. "දැන් හරිනෙ. ගිනි තිබ්බනේ. ඕං අද රෑ තව මැතිරිල්ලක්‌. මොනවද අයියෙ මේ කරන වැඩ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න අයියෙ වඳින්නම්. දැන් මගේ ඉනේ කහ නූල් තුනක්‌ තියෙනව. අද රෑ වෙනකොට හතරයි."

සැම්සන් සන්ධ්‍යාව කොටු කර ගන්ටන බැලුවෙ නිල් ගඟට යන්නට පෙර හමුවෙන තේ කොටුව දෙවැටේදීය.

එහෙම කොටු කර ගත්තද ඇයගේ ගිනි පුළිඟු දැස්‌ දුටු සැම්සන් මඳක්‌ පසු බා ගියේය. සැබැවින්ම ඇයට යකෙක්‌ වැහිලාවත්දැයි සැම්සන් සිතුවේය. එහෙත් ඇඟ උණුසුම් කරවන රාගාශ්‍රිත සිතුවිලි වඩා බලවත් බව සැම්සන්ට සිතිණි. තමාගේ සියලුම අවයව අවදි වී ඊට අයෝමය ශක්‌තියක්‌ කාන්දු වෙමින් තිබෙන බව සැම්සන්ට දැනිණි. දහවල් වරුවේදී ෆdමසියෙන් ගත් වාජීකරණ පෙත්තද ඔහුගේ අසංවර සන්නද්ධ බව වැඩි කර දමා තිබිණි.

"මගෙ සුද්දී" සැම්සන් දයාබරව සන්ධ්‍යාව ඇමතුවේය.

සන්ධ්‍යා දුවන්නට දෙපා ඔසවන්නට තැත් කළා පමණි.

මේ අර දලුක්‌ කැලයේ දැවැන්ත දිවුල් ගහ යටමය. පසන් මධුශංක විසින් පුළුන් තොටිල්ලක්‌ තනා, ඒ මත හොවා අනුරාගයෙන් නැළවූ ඒ දිවුල් ගහ යටමය. පසන් මධුශංක සංවරය. සිඹිමින්, බදා ගනිමින්, ඇල්ලීමෙන් පමණක්‌ එම හමුවීම් අහවර වන්නේය. තොත්තුවක්‌ දී වෙන් වන්නේය. එම මිහිර සන්ධ්‍යාට හොඳටම ප්‍රමාණවත්ය.

සැම්සන් බල්ලා!

අම්මා!!

ඇය ගෙදර දිව ගියේ ලේ තැවරුණු ගවුමද අතේ උණ්‌ඩි කරගෙන නිරුවතිනි. ඇය කෑ ගසාගෙන ගෙයි කඩුල්ල පැන්නාය. බිම වැටුණාය. අම්මේ. කියා කෑ ගැසුවාය.

"නාඩා කියපං. මොකද වුණේ.."

හෝරාවකට පමණ පසු අම්මා ඇසුවාය. ඇය මෙතෙක්‌ වේලා සිහිසුන්ව සිටියාය. මැතිරිල්ලත්, දෙහි කැපීමත්, ඇප නූල් දැමීමත් පසුවට කල් තබා තිබිණි.

සන්ධ්‍යා සෙමෙන් දැස්‌ පියන් පත් හැරියාය. කුප්පි ලාම්පුවේ දැල්ල ඇරුණු කොට මුළු කාමරයම කළුවරය.

" කියපං මයෙ දුවේ. උඹට මොකද වුණේ.."

අම්මාගේ දැස්‌ දාරක ප්‍රේමයෙන් උතුරා යමින් තිබිණ, අම්මෙකුගෙ ජීවිතය සමග කඳුළ මොනතරම් බැඳිලඳ .... කඳුළක්‌ නොසැලෙන අම්ම කෙනෙක්‌ මේ සක්‌වල ගල තුළ වෙද්ද.. අම්මලා පෙවූ කිරට වඩා දහස්‌ ගුණයක්‌ කඳුළු සලනවා නොවේද. ඒත් මේ අම්මගෙ නිරන්තර කඳුළු මවන්නිය තමා වීම ගැන සන්ධ්‍යා පසුතැවුණාය.

"අම්මා"

"ඔව් පුතේ.. කියපං..... මොකද උණේ පුතේ.."

"අම්මා .. සැම්සන්..."

හේරස්‌ හාමිගේ ඉහේ දස දහස්‌ ගණන් බක්‌මහේ අකුණු එක පිට එක පිපිරී ගියේය. සීලියා හාමිනේ සැම්සන් විසින් උරා හප කළ දමා තිබුණු සන්ධ්‍යාගේ පුංචි ළාමක, ළැම මත තම හිස ඔබා ගත්තාය.

* * * * *

"ආයිත් මාව බලන්න එපා."

සන්ධ්‍යා, පසන් මධුශංකට කීවාය. පසන් මධුශංක සන්ධ්‍යාගේ ඇඟිලි එකිනෙක ස්‌පර්ශ කරමින් සිටියේය. මහා කාලකණ්‌ණි බවකින් ජීවිතය පිරී ඇතැයි සන්ධ්‍යාට සිතිණි. ජීවිතයේ මිහිරෙන් අත්විඳිය යුතු අත්දැකීමක්‌ අමිහිරෙන් විඳීමේ දුක්‌ඛ, සන්තාපය සන්ධ්‍යාගේ හිත ඔංචිල්ලාවේ එහාටත් - මෙහාටත් පැද්දෙයි. නිල් ගඟේ නේවි බෝට්‌ටු යන හඬ ඇසේ. කිඹුලෙකු විසින් මරා දමා තිබූ තවත් මිනිසකුගේ දේහයක්‌ වට්‌ටියවල ප්‍රදේශයෙන් මතුවී තිබිණි.

ආචාර්ය කිඹුලා නොදැකීමද සන්ධ්‍යාගේ හිතේ වියවුල වැඩි කළේය. මේ බර ඔහුට කියා හිත නිදහස්‌ කරගන්ට තිබුණා නම්..

"ඔයා මොනවද කල්පනා කරන්නේ"?

"මොකුත් නෑ. " මේ වනවිටදී සන්ධ්‍යාගේ කතා බහ මහ අම්මණ්‌ඩි කෙනකුගේ මෙන් වෙනස්‌ වී ඇත.

"කෝ මං දුන්නු ඔරලෝසුව?"

මහදිවුල් ගහ යට පොර බදින විටදී ඔරලෝසුවේ වීදුරුව බිඳී ගියා සන්ධ්‍යාට මතකය. පැය කටුවද නැවී ඇඹරී ගියේය. එදින ගෙදර ඇවිත් සන්ධ්‍යා අව සිහියෙන් මෙන් කතුරක්‌ ගෙන හම් පටියද කීතු කීතු වන්නට කපා දැම්මාය. ඇය ගවුම් සාක්‌කුවෙන් ඒ හෘදය සංවේදී, අපූරු සිහිවටනය ගෙන පසන් මධුශංක වෙත පෑවාය. "හරියට දැන් මං වගේ" සන්ධ්‍යා හැඬුවාය.

විශ්වවිද්‍යාලවලට නිවාඩු දුන්නේ නැත. එහෙත් අනධ්‍යන සේවක වර්ජනය විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ට නිවාඩුවක්‌ නිර්මාණය කර දුන්නේය. පසන් මධුශංක ගම ආවේ එම නිවාඩුව නිසාම නොවේ. ඊටත් වඩා බැරෑරුම් කාර්යයකට බව සන්ධ්‍යාට වටින් ගොඩින් ආරංචි වී තිබිණි.

"අනේ පසන් නීති විරෝධී වැඩ කරන්න එපා.... පොලිසියෙන් ඌ හොයා ගනියි. නඩු දමයි. ඔයා ඕවට පැටලෙන්න එපා..."

* * * * *

සැම්සන්ගේ නිවෙස ගිනිබත්වී නැඟෙන දුම් රොටුව විඩෙන් විඩේ ආචාර්ය කිඹුලා සහ සන්ධ්‍යාගේ සංවාදයට බාධා කළේය. සන්ධ්‍යාට කැස්‌ස ආවේය. දුම් රොටුව නිල් ගඟ මතින් පාවී යන්නේ කිඹුලාවද අපහසුතාවට පත්කරමිනි. කිඹුලා වරින්වර දියේ එබෙන්නේ අර දුම් පහරින් මිදෙන්නටය.

"මට මහාචාර්ය පදවියක්‌ ලැබුණා." කිඹුලා කීවේ කිඹුල් කොටුවට එහා සිට ය. කිඹුල් කොටුව දැන් ප්‍රතිනිර්මාණය වී ඇති බැවින් කිඹුලාට දැන් මෙහාට ඒමට බැරිය. කිඹුල් කොටුව ශක්‌තිමත්ය. අවශ්‍ය නම් තම දත්වලින් යකඩ කූරක්‌ විකා කපා දැමිය හැකි බව කිඹුලාට විශ්වාසය. එහෙත් දැන් එහෙම කිරීමේ අවශ්‍යතාවක්‌ නැත. සන්ධ්‍යාගේ මුහුණේ සිනාවකුදු නැත. ඇය පෙර සිටි කඩිසර, කටකාර, සෙල්ලක්‌කාර කෙල්ල නොවේ. පෙරදී ඇයට තිබුණේ ඔපෙරා කටහඬකි. එහි ගීතවත් බව පිරී තිබිණි. දැන් ඇය ඕනාවට එපාවට මෙන් තොල් සොලවනවා පමණි.

"මට මහා ජල විශ්වවිද්‍යාලේම අංශාධිපති පදවියක්‌ හම්බ වුණා."

කිඹුලා සිතුවේ එම පණිවිඩයෙන් ඇය සන්තෝෂ වෙයි කියාය. ඇයගේ ඉරියව් වෙනස්‌ නොවිණි.

"ඔයාට වෙච්ච කරදරේ මං දන්නව"

එවර සන්ධ්‍යාගේ ඉරියව් වෙනස්‌ විය. ඇය හුන් තැනින් නැඟිට්‌ටාය. කිඹුල් කොටුව ළඟටම ගියාය.

"මං ගහපු ඔක්‌කොම පෝස්‌ටර් ටික ගලෝලා දැම්මා. මිනීමස්‌ නොකන බවට දාහත් දෙනෙක්‌ මාත් එක්‌ක ගිවිසුම් ගහල තිබුණා. මං පෙරේදා උදේ උං දාහත් දෙනා ළඟටම ගිහින් ගිවිසුම් ඉවරයි කියල ඒවා ඉරල දැම්මා. දැන් ඉතිං මිනීමස්‌ නෙවෙයි අලි මස්‌ උනත් කාපියව් කියල කිව්ව. උං බොහෝම සංතෝස උණා."

"එතකොට ඔයාගෙ මිනිස්‌ සහජීවනය? සහසම්බන්ධතාවය? අම්මගෙ හීනෙ...?"

"ඒවා ඔක්‌කොම හීනයක්‌ බවට පෙරළුණා...... ඒක නෙමෙයි මම ඔයාට තෑග්ගක්‌ ගෙනාව.... මේ. න්"

කිඹුලා විසින් රතුපාට ලේන්සුව සන්ධ්‍යා වෙත දිගු කළේය. "දෙයියනේ..."

"මට පුදුම අපි මිනීමස්‌ කන එක ගැන නෙවෙයි... ඇයි ඔයගොල්ලො මිනීමස්‌ කන්න පුරුදු නොවෙන්නේ.?" කිඹුලා සන්ධ්‍යාගෙන් ප්‍රශ්න කළේය.

කිඹුලා සැබැවින්ම මහාචාර්ය පදවියකින් පිදුම් ලැබීමට තරම් සුදුසු ප්‍රඥවන්තයකු බව සන්ධ්‍යාට සිතිණි.

ඇය සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගිය නිවස දෙසට පියවර මැන්නාය. තවමත් දැල්වෙන ගිනි පුපුරු කිහිපයක්‌ මතු කරගත් ඇය රතු පැහැති ලේන්සුව ගෙන එම අඟුරු මතට හෙලුවාය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »