Home / කෙටි කතා / කළු වලාකුළු

කළු වලාකුළු

2018-06-04 11:25:00       861
feature-top
දෙවන වසරේ ඉගෙනුම ලබන සුනිමල් පන්තියේ අනිත් වැඩට වඩා චිත්‍ර ඇඳීමට දක්‍ෂයෙකි. අංක ගණිතය පාඩම වෙලාවට අඩි හප්පමින් සැර වැර වෙන ගුරුතුමා චිත්‍ර වෙලාවට පමණක්‌ සිරිමල් වෙත ලෙංගතුකම් පායි.

එනමුදු මේ දවස්‌වල විසිතුරු වර්ණ යොදාගෙන සිතූ සිතූ ලෙස විත්‍ර ඇඳීමට තරම් හොඳ දිය සායම් පෙට්‌ටියක්‌a සිරිමල් සතුව නැත. තිබෙන සායම් පෙට්‌ටියේ බොහොමයක්‌ පාට ඉවරවෙන්නට හැරිලාය. චිත්‍ර ඇඳීමෙහි එතරම් භාවිතයට නොගැනෙන තද අඳුරු පැහැති වර්ණ කීපයක්‌ පමණක්‌ සායම් පෙට්‌ටියේ තනි නොතනියට ඉතිරි වෙලාය.

ගුරුතුමා අලුත්පාට පෙට්‌ටියක අවශ්‍යතාව ගැන සුනිමල්ට කියන්නේ සෑහෙන කාලයක සිටය.

දින දෙක තුනක සිට විටින් විට ඇද හැලෙන චුරු චුරු වැස්‌ස සුනිමල් ගේ තාත්තාගේ කුලී රස්‌සාවට කෙනෙහිලි කම්කරමින් සිටී.

"අම්මේ මගෙ දිය සායම් පෙට්‌ටිය මේ..."

සුනිමල් පරණ සායම් පෙට්‌ටියේ පියන හැර අම්මාට පෙන්වයි.

"කළු පාටයි, දුඹුරු පාටයි, කොළ පාටයි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. අනිත්වා ඉවරයි... මට අළුත් පාට පෙට්‌ටියක්‌ ඉක්‌මනට ඕනෑ.."

"ඔය තියෙන ඒවත් ඉවර වුණාම, පස්‌සෙ නිවාඩු පාඩුව අලුත් එකක්‌ ගන්න බැරියෑ..."

චිත්‍ර ඇඳීම ගැන එතරම් තේරුමක්‌ නැති සිරියලතා කියන්නේ එහෙමය.

මේ තියෙන පාටවලින් විතරක්‌ චිත්‍ර අඳින්න බෑ අම්මේ..."

"කරදර කරන්න එපා දරුවෝ. මේ දවස්‌වල සල්ලි අමාරුයි තාත්තාට... පහුගිය දවස්‌වල ගෙදර හැමෝටම වසංගත උණ්‌ හැදුනා. ඒකට තාත්තා කොහු මෝලෙ මුදළාලිගෙන් ගත්තු ණය සල්ලි එකපාරටම කහ ගත්තා. ඒකයි මේ බැරි අමාරුකං මේ දවස්‌වල...."

එහෙත් ඔය කතා තේරුම් ගැනීමට තරම් දැනීමක්‌ සුනිමල්ට නැත.

ඉස්‌සරනම් චිත්‍ර පාඩම පටන් ගන්නා තුරු සුනිමල් බලා සිටියේ ආසාවෙනි. එහෙත් දැන් ඔහුට චිත්‍ර පාඩම වදයක්‌ වෙලාය.

මේ ළමයා අදත් සායම් පෙට්‌ටියක්‌ ගෙනත් නෑ. ඔය කාගෙන් හරි සායම් ටිකක්‌ ඉල්ලගෙන අදටත් පාට කර ගන්නවකෝ... තමුසෙලා හින්ද පංතියේ අනික්‌ ළමයින්ටත් කරදරේ..."

ගුරුතුමාගේ නොරිස්‌සුම් හඬ සුනිමල් ගේ දෙසවන් තුළට යවුලකින් අනින්නාසේය.

"අනේ මට පාට ටිකක්‌ දෙනවද ජිනේ... මේ චිත්‍රේ පාට කර ගන්න."

"එදත් මං දුන්නා.. හැමදාමත් බෑනේ.. මගෙ සායම් පෙට්‌ටියත් ඉවරවෙන්න ළඟයි..."

කාගෙත් කතා ඔහොමය. පිහිටක්‌ පිළිසරණක්‌ නැත. අනික්‌ ළමයි වැරදි වැරදී මක මකා චිත්‍ර අඳින හැටි, චිත්‍රවලට පාට ගාන හැටි සුනිමල් බලා සිටියේ ආසාවෙනි.

ඊළඟ චිත්‍ර පාඩම ඇති දවසට නම් කෙසේ හෝ පාට පෙට්‌ටියක්‌ ගේනවා මයි කියා සුනිමල් අදිටන් කරගත්තේය. අම්මා තමා කෙරෙහි දැඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව සැබවි. තාත්තා එසේ නෙවේ. ඔහුගේ තුරුලේ හුරතල් වුණ කල ඉක්‌මනින්ම දිය සායම් පෙට්‌ටියක්‌ ලැබෙනු නියතය.

පසුදින පාසල් යාමට නොහැකි තරම් වැස්‌ස දරුණු විය. පාසල් යාමට සූදානම්ව පොත් මිටිය තුරුළු කරගෙන සුනිමල් ඉස්‌තෝප්පුවට වී නොනැවතී ඇද හැළෙන වැස්‌ස දෙස බලා සිටියේය. මීටත් ප්‍රමාදව පාසල් යාමේ තේරුමක්‌ නැතැයි සිතූ සුනිමල් ඇඳුම් අහවර කොට පරණ සරම් කබලට රිංගා ඇඳෙහි ගුලිවිය. තාත්තා ගෙට ගොඩ වැදී ඇත්තේ ඉන් පසුවය.

සුනිමල් ගේ කංකෙඳිරිය පරයා අනෝරා වැස්‌ස දිගටම ඇද හැළෙයි. පරම්පරා දෙහෙකට වැඩි කාලයක්‌ පරණ වූ සිංහල උළු වහලය සහිත නිවස දැන් බහින කලාවට හැරිලාය. වහලය තුළින් ගෙට කාන්දුවෙන වතුර එක්‌ රැස්‌ වෙනු පිණිස සිරියලතා කුස්‌සියේ ඇති වලන්, පිඟන්, බේසම් ආදී අතට අහුවෙනදැ ගෙනැවිත් බිම තබා ඇත. එම බඳුන් වලට වැටෙන දිය බිඳු එකිනෙකට වෙනස්‌ නාද රටා මවා පායි. බිමට ඇතිරූ සිමෙන්ති බදාමයද පුපුරා ඉරිතලා ගිහින්ය. ඒවා යට වාසස්‌ථානය කොට ගත් කළු කූඹි සිය රාජධානිය වඩාත් පුළුල්කොට ගොඩනගමින් පවතී. එනමුදු අබේරත්නලාට ඕවා ගැන හිතන්නට මේ කාලය නොවේ. නැතිබැරි කම සමඟ අත්වැල් බැඳගත් ජීවන අරගලය රුදුරු අවි අමෝරා සටනට පිවිස සිටී.

ගතපුරා වෙලාගත් හීගතුව අබේරත්නගේ ඇඟ මස්‌ නහර තුළට ද කාවැදී ගියාක්‌ මෙනි. අබේරත්න තවතවත් ඇඳේ ගුලි ගැහුනේය. සිරියාවතී ද චීත්තයක්‌ පොරවාගෙන උළුවස්‌සට බරදී මිදුල පුරා සැර පරුෂ සර්පයන් මෙන් ඇදී යන වතුර පාරවල් දෙස බලා සිටී.

උදයටත්, දහවලටත්, දෙකටම හරියන්න ලැබුණ රොටී කැබැල්ලෙන් සෑහීමකට පත් සුනිමල් අබයරත්නට තුරුළුව නින්දට වැටී ඇත. වැසි දියෙන් අමුතු ජීවයක්‌ ලද ගස්‌ කොළන් අතරින් මා ඔයේ බොර පාට වතුර පාර වෙනදාට වඩා අනුකම්පා විරහිතව ගලාබසිනා අන්දම සිරියාවතීට පෙනෙයි.

"කහට ඇබින්දක්‌ වැක්‌කෙරුවොත් නරකද?"

නින්දෙන් පිබිදුන අබේරත්න ලොකු ඈනුමක්‌ වාතලයට මුදාහරිමින් පැවැසුවේය.

"වතුර කේතලේ ලිපේ තිබ්බා. මෙලහටත් පැහෙනවා ඇති"

"අනේ මන්දා... මේකනං මුරුගසං වරුසාව වාගෙ. දැන් දවස්‌ කීයක්‌ද බලාගෙන ඉද්දි ඔයේ වතුර නගිනවා. උඩහටත් එකසීරු වහිනවා ඇති.

"කුලියක්‌ මලියක්‌ කරගන්න විදිහක්‌ නැතුව දවස්‌ කීයක්‌ වුණාද.. ගෙදර තියෙන පනං හතරත් වැස්‌සට අහුවෙලා ගහගෙන යනවා වාගෙ...."

අබේරත්න ගේ දැස්‌ මලානිකය. කිසිම දීප්තියක්‌ නැත.

short1"කොහු මෝලෙනම් සෑහෙන කාලෙකට වැඩට යන්න ලැබෙන එකක්‌ නෑ. පොල් ලෙලි වළත් උතුරලා ඇති...."

කොහු මෝලේ ගුණසෝම මුදළාලිට නැතිබැරි කම් කියා කොපමණ පින්සෙන්ඩු වුණත් එක රුපියලක්‌ ණයට දෙන්නේ නැත. මුදල් සේප්පුව ගල්ගැහී තිබෙන අතර යහගුණය පමණක්‌ වතුරට ගසාගෙන ගොස්‌ය.

"පිට කුලියක්‌ හොයා ගන්නත් වැහි පායන්න එපායෑ." සිරියාවතී කතා කරන්නේද කනස්‌සල්ලෙනි.

"කුලියක්‌ මලියක්‌ හොයාගන්න එකත් නිකිණි හොයන්නැහේ කතාබහ අතරේ අබේරත්න උණුසුම් කහට කෝප්පය තොල ගානුයේ යම්කිසි ලතාවකට මෙන්ය. හකුරු කෑල්ල දත් දෙපළට තබා යාන්තමින් සපා ගත් කළ කහට කෝප්ප බාගයක්‌ පමණ ඉවර කළ හැකිය. මේ දවස්‌වල හැම දෙයක්‌ම දෙන්න දෙමහල්ලෝ පාවිච්චි කරනුයේ එතරම්ම අර පරෙස්‌සමටය.

"පුතා ට කූද්දලා කහට ටිකක්‌ දුන්නොත් නරකද?."

"ඕනෑ නෑ. කහට වලින් බඩ පුරව ගත්තා කියල ඇති පලේ මොකක්‌ද?.. දෙසැරයක්‌ චූ කෙරුවම ඉවරයි..."

සිරියාවතී පවසනුයේ බොහෝ කරුණු කාරණා දන්නා එකියක්‌ පරිද්දෙනි.

"තාත්තේ මට දිය සායම් පෙට්‌ටියක්‌ ඕනෑ..."

"ආ... නැගිට්‌ටද? කහට වතුර ටිකක්‌ දෙන්ඩෑ උඹට.."

"එපා දිය සායම් පෙට්‌ටියක්‌ ඕනෑ.."

"කෑනුගහා ඉදින් දරුවෝ.. මේ නාකපන වැස්‌සේ ගෙයින් එළියට බහින්න විදිහක්‌ තියෙනවද?"

"මං කිව්වෙ අම්මට නෙමේ තාත්තට.."

"තාත්ත ට කියන ඒව මටත් ඇහෙනවා. පේන්නෙ නැද්ද අර මා ඔය දෙගොඩ තලා යන හැටි. හෙට වෙනකොට අපේ වත්තටත් වතුර දායි. කොහොම ගඟෙන් එගොඩ වෙලා කඩමණ්‌ඩියට යන්නද?

"එහෙනම් මං හෙට ඉස්‌කෝලෙ යන්නෙ නෑ...."

"කව්ද හෙට ඉස්‌කෝලෙ යන්නේ.. මෙහෙම ලෝකෙ විනාශ වෙන්න වහින කොට මොන සක්‌කරය ද ඉස්‌කෝලෙට එන්නේ?"

"ඒ වුණාට ළමයි එනවා..."

"ළමයි ආදෙන්, උඹ ගෙදර ඉඳින්. වැස්‌සෙ නටලා හෙම්බිරිස්‌සාව හදාගන්න මෙතන..."

සිරියාවතීගේ හා දරුවාගේ වාදය අකුරෙන් අකුර වචනයෙන් වචනය දිග්ගැසෙයි. එකෙකුට එකෙක්‌ පරදින්න දෙදෙනාම සූදානම් නැතුවා වැන්න. එහෙත් මේ කතාබහ දෙස අබේරත්න බලාසිටිනුයේ උපේක්‍ෂාවෙනි.

"දිය සායම් පෙට්‌ටි පංතියේ හැමෝටම තියෙනවා. තාත්තේ... මට විතරයි නැත්තේ... ඊයෙත් ඉස්‌කෝලෙ මහත්තයා මට ටොක්‌කක්‌ ඇන්නා. ගොඩාක්‌ රිදුනා..."

"නවත්තා ගනිං කීවෙ ඔය ඈඬියාව. ඕක අහළ මගෙ කන්දෙක අගුල් වැටිලා.."

"මහත්තෙයා කිව්වා ළමේක්‌ ගෙන් ඉල්ලගෙන පොතේ චිත්තරේ පාට කරගන්න කියලා.. ඒත් කවුරුත් මට දිය සායම් දුන්නෙ නෑ..."

සුනිමල් ලේසියෙන් පසු බාන්නේ නැත. ඔහුට ඉදිරිපත් කරන්නට තවත් තර්ක විතර්ක බොහෝ ඇතිසේය. පියකු සේ තවත් මේ අරගලය දෙස නිසොල්මනේ බලාසිටීමට තරම් අබේරත්නගේ හිත දරදඬු නැත. ගංවතුර විසින් මීට පෙර වතාවල එල්ල කරන ලද බොහෝ අභියෝග ඔහු ජයගෙන ඇත.

අබේරත්න නැගිට ගොස්‌ හබරල ගාලෙන් විශාල හබරල කොළයක්‌ කපාගෙන ආවේය.

"ඒ ගමන ඔය කොහෙ යන්නද?"

සිරියාවතී පුදුමයෙන් මෙන් ඇසුවාය.

"මං ළඟට ගිහිල්ලා එන්නම් කෝ..."

"දිය සායම් ගේන්න මේ මහ වැස්‌සේ.. පිස්‌සුද අනේ හැබෑට"

"මේක මොන වැස්‌සක්‌ද යෝදියේ මට...?"

"ගඟ බොර පාටයි. මෙහාට පේනවා වතුර වැඩිවෙනවා බලා ඉද්දි.. කිව්වම අහලා ගෙදර ඉන් නැතුව..?"

"මෙහෙම වතුරෙද සිරියාවතී මම එගොඩ මෙගොඩ පීනුවේ. මතක නැද්ද මං ඔහේව බලන්න ඒ දවස්‌වල සැඩපාර කපාගෙන ආ හැටි.."

ඒත් මේක සිරියාවතීට ඒ රසබර අතීතයේ සොඳුරු කඩඉම් ගැන කල්පනා වෙන වෙලාවක්‌ නොවේ. එම රසබර අතීතයක හිමිකම වර්තමානයේ ඇති රුදුරුබව විසින් යටපත් කොට ඇත.

"තාත්තේa දියසායම් පෙට්‌ටියක්‌ ගේනකොට දිග එකක්‌ ගේන්න. කොට ඒ වයෙ හැම පාටක්‌ම නෑ."

"කට වහපන් කීවෙ... තාත්තව ඉසච්චි කරනවා මදිවට.."

"දරුවට බනින්න එපා සිරියාවතී. උන් දන්න රෙද්දක්‌ ඇතෑ.

හබරල කොළයෙන් හිසමුවා කරගත් අබේරත්න අඩියට දෙකට වත්ත පහළ මා ඔය දෙසට ඇදී නොපෙනී යන අන්දම සිරියාවතී බලා සිටියේ දෙගිඩියාවෙනි. කවදාවත් නැතිව ඇයට දරුවා ගැන නුරුස්‌සනා ස්‌වභාවයක්‌ද හටගනී.

"අම්මේ තාත්තා දිය සායම් පෙට්‌ටිය ගෙනාවම මං ලස්‌සනට චිත්‍ර පාටකරනවා.. මං තරං ලස්‌සනට චිත්‍ර අඳින්න පංතියේ කාටවත් බෑ..."

"කට වහගනිං.. අපරාදෙ තාත්තව එගොඩ යෑව්වා.." ඇය වියරු වැටුණ එකියක මෙන් කෑගෑවාය. දරුවා පස්‌සට විසිවුණ තරම්. ඔහුගේ කම්මුල් දිගේ කඳුළු මල් පූදින්න ඇසිපිය හෙලන වෙලාවක්‌ ගතවුණේ නැත. දෙගිඩියාවෙන් මෙන් ඇය ඉස්‌තෝප්පුවේ කණුවට පිටදී සැඩ පරුෂ කමින් ගලාබසින ගඟ දෙස බලා සිටියාය.

වැස්‌ස වලාහක තෙමේ තවතවත් කුරිරු වූවා මිස ඔවුන් කෙරෙහි දයානුකම්පාවක්‌ පෑවේ නැත. සුළඟ හා විදිලි කෙටීම තව තවත් තියුණු විය. කොලුවාට නම් හොඳ හැටි නින්ද ගොසින්ය.

අබේරත්න කඩමණ්‌ඩියට ගිහින් දැන් සෑහෙන වෙලාවකි. ඔහු නිකං නිස්‌කාරණේ කඩමණ්‌ඩියේ රස්‌තියාදු ගසන්නෙකු නොවේ. ගියොත් ගිය රාජකාරිය කරගෙන පෙරළා ගෙදර එන්නෙකි.

තවත් එක තැනෙක රැඳෙමින් එක්‌ දිසාවක්‌ දෙස බලා සිටිනු නොහී, සිරියාවතී විටෙක කුස්‌සියට ගියාය. නැවතත් ඉස්‌තෝප්පුවට ආවාය.

වැහි අඳුර මැඳින් ගොම්මන් කළුවරද මෝරන්නට විය. යම්කිසි සහනය කට ඇත්තේ වැස්‌ස මදක්‌ තූරල් කිරීමය. පහළ ගෙදර සාමෙල් උන්නැහේ ඉක්‌මන් ගමනින් සිරියාවතීලාගේ ගේ දෙසට පියනැගුවේය. මිනිස්‌ පුළුටක සේයාවක්‌ නුදුටු සිරියාවතීට සාමෙල්ගේ පැමිණීමද යම් ඇස්‌වැසිල්ලකි.

"සිරියාවතී.. සිරියාවතී අන්න අබේරත්නයා ගඟේ ගියා.."

සාමෙල් සිරියාවතී ගේ බිය රැඳි මුහුණ දෙස බලා කෑගැසුවේය.

"අනේ මගෙ රත්තර නේ..."

සිරියාවතී ගේ දැස නිලංකාර වී යන අයුරු ඇයට දැනුණි. සාමෙල් වහා ඉදිරියට පැන ඇය වත්තන්කර ගත්තේය.

"සාමෙල් ආත්තේ, සාමෙල් ආත්තේ... දිය සායම් පෙට්‌ටියත් ගඟේ ගියා ද?"

සිරිමල්ගේ කෙඳිරිල්ල සිරියාවතී ට වත් සාමෙල් ටවත් ඇසුනේ නැත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »