Home / කෙටි කතා / ගුණසෝම

ගුණසෝම

2018-05-28 09:09:00       265
feature-top
"මචන් මං පොඩි වෙනසකටත් එක්‌ක හෙට උඹලගේ දිහා එනවා. කමක්‌ නෑ නේ? පහුගිය ටිකේ මං හොඳ කට්‌ටක්‌ කෑවා. සෑහෙන්ට වෙහෙසයි අර ඔයේ වළක ගිලිලා ඇඟට දැනෙන්ට හොඳ සීතල වතුර ටිකක්‌ නාගන්න එක තමයි එකම ප්‍රතිකාරේ. අම්මට කියපන් මචං මේ පාරත් අම්මගේ කිරි කොස්‌ වෑංජනෙයි අඟුණ කොළ මැල්ලුමයි එක්‌ක බත් ටිකක්‌ කන්න ආසයි කිව්ව කියලා. ඒක කෑවහම ඔක්‌කොම හරියයි."
කොළඹ පදිංචි මගේ මිතුරා වන සුනිමල් තර්ජන ගර්ජනවලට සාවඥව හිනාවෙමින් තම රාජකාරියේ යෙදෙන ගවේශණාත්මක මාධ්‍යවේදියෙකි. අවදානම හා අනතුර ආසන්නයේම හිඳිමින් රැකියාවේ නිරතව සිටින ඔහු නිවාඩුවක්‌ ගත කිරීමට අප කරා එන්නේ අප අවට ඇති නිහඬ නිස්‌කලංක බව අවිවේකයෙන් හා ආතතියෙන් පීඩිත තම සිතට දිව ඔසුවක්‌ වන බව කියමින්ය.

දිය නාගෙන එන අතරේදී අපට මුණගැසුණ ඔහු නමින් ගුණසෝමය. ඔහු ගමේ පදිංචියට ආවේ මෑතකදීය. "ලෙල්ලට කටුවට නැති එකෙක්‌, මිනීමරුවෙක්‌" ඒ ඇතැමුන් ඔහු හඳුන්වනු ලැබූ හැටිය. ඔහු මුණගැසෙන කළ යන්තමින් සිනහවී කතාබහකට ඉඩ නොතබාම ඉවත බලාගෙන ගමන් කිරීම මගේ සිරිත විය. මා ඔහු පසුකර පියවර දෙක තුනක්‌ ඉදිරියට ගියද මගේ මිතුරා මා පසුපස නොඑන බව වැටහී ගියෙන් මා ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.

සුනිමල්ගේ සෘජු නාසය ගුණසෝම වෙතටම යොමුවී තිබුණි. සිහින් දෑස දිලිසෙමින් තිබිණි. ඝන කළු උඩු රැවුලට යටින්වූ රත් පැහැති දෙතොලේ සුන්දර සිනහවක්‌ මතුවී තිබෙනු දුටු මට ඇතිවූයේ මවිතයකි. මගෙ බැල්ම ගුණසෝමගේ මුහුණ වෙතට මාරු වූයේ එසැණින්ය. ඔහු හැඳින්වීමට ඇතැමුන් පාවිච්චි කරන වචනවලට පරස්‌ වෙමින් ඔහුගේ මුහුණේ ද රැඳී තිබුණේ අතිශය ප්‍රසන්න සිනහවකි. මුහුණ පුරා වූයේ බලාපොරොත්තු නොවූ මොහොතක කලකින් නොදුටු සුහද මිතුරෙකු දැක ගන්නට ලැබුණු කලෙක ඇතිවන අන්දමේ සතුටකැයි මට සිතුණි.

"මල්ලිලා නාගෙන එන්ට ගිහින් වගේ"

"ඔව් අයියා වතුර ටික දැක්‌කම කොහොම නොනා ඉන්නද නේද"

"ඒක ඇත්ත. ඒක නොවේ මේ මල්ලි කොයි පළාතෙද?"

"මම කොළඹ"

"අයියත් මේ ළඟමද ඉන්නේ?"

"අන්න අර ඈත පෙනෙන්නේ මගේ මාළිගාව තමයි මල්ලි" වෙල්යාය කෙළවර ඕවිටේ දන් ගහක්‌ යට සාදා ඇති ඔහුගේ පුංචි පැල්පත දෙසට අත දිගු කර සිනාසෙමින් ඔහු කීවේය.

"ආ හා එහෙනං ඒ මාළිගාවේ රැජිණ දැන් මඟ බලාගෙන ඇති රඡ්ජුරුවෝ..."

"නැතුව නැතුව මල්ලි රැජිණ විතරක්‌ නෙවේ පුංචි කුමාරයෙකුයි ඊටත් පුංචි කුමාරිකාවකුයි දෙන්නෙකුත් මඟ බලාගෙන ඉන්නවා" යි කී ඔහු "හා හ් හහ් හහ් හහ්හහ් හා" යනුවෙන් මහ හඬක්‌ නඟමින් හිත සැහැල්ලුවෙන් සිනාසුණේය.

"අයියා හමුවුණ එක හොඳයි... මං කැමතියි පස්‌සේ තව විස්‌තර කතා කරන්නට. අයියගේ තොරතුරු ගැන එහෙම"

"හරි මල්ලි මමත් කැමැතියි. අපි කතා කරමු"

පසුදින සවස්‌ වරුවේ ඔහු අප නිවසටම ආවේ "කෝ අර මල්ලි ඉන්නවද?" යි අසාගෙනය. මගේ කාමරයේ ඇඳ මත හාන්සි වී අලුත් කෙටිකතාවක්‌ කියවමින් සිටි සුනිමල් "හලෝ අයියණ්‌ඩි" කියාගෙන සිනාපිරි මුහුණින් යුතුව ඉස්‌තෝප්පුවට ආවේ මුහුණේ සියලු ඉරියව් මගින් ලෙන්ගතු බව පළ කරමිනි. "ඔන්න මං ආයෙත් කියනකන් ඉන්නේ නැතුව මල්ලිව හොයාගෙන ගෙදරටම ආවා" යි ඔහු කීවේය. කොහෙත්ම ඇසුරක්‌ නොපැවැත්වූ මේ පුද්ගලයාගේ පැමිණීම මගේ සතුටට කාරණාවක්‌ නොවූවද සුනිමල් වෙනුවෙන් මම ඒ අපහසුව විඳ දරා ගත්තෙමි.

වත්ත පහළ කොහු අඹ ගහෙන් හෙවණ වුණු ගල් පොත්ත අපේ සාකච්ඡාවට ඉතාම යෝග්‍ය තැන විය. ගෙදරින් පිටත් වෙද්දී සුනිමල්ගේ කරේ තිබුණු රෙදි බෑගයේ තිබුණේ කුමක්‌දැයි දැන සිටි මා කුඩා වීදුරු දෙකක්‌ හා දවල් කෑමට පසුව ඉතිරිව තිබුණු බැදපු මාළු කෑලි කීපයද කෙසෙල් කොළයක දවටාගෙන ආවෙමි. සියල්ල ගල් පොත්ත මත තබා ඒ වටා තිදෙනාම වාඩිවූ පසු, "මෙතන වැඩිහිටිය අයිය නේ, පටන් ගන්න" යි සුනිමල් සිනාවෙමින් කීවේය. කතාබහත් සමඟම ටික වෙලාවක්‌ ගෙවී ගිය පසු, "අයියා" කියා ගුණසෝම ඇමතූ සුනිමල් බ්‍රැන්ඩි බෝතලය ඇහින් පෙන්වා දෙවැනි වටය සඳහා ඇරැයුම් කළේය. එහෙත් ඔහු "දැන් ඇති මල්ලි... මල්ලිලාගේ සංග්‍රහය ප්‍රතික්‌ෂේප කරන්ට බැරිකමටයි මම මේ ටිකවත් ගත්තේ" යි කීවේය. ඉන්පසු සුනිමල් පිළිගැන්වූ සිගරැට්‌ටුව දල්වාගත් ඔහු මල්ලිට දැන් මගෙන් මොනවද දැන ගන්ට ඕනෑ" යි ඇසුවේය.

"එහෙම විශේෂ දෙයක්‌ නං නෑ. අයියාගේ තොරතුරු ටිකක්‌ දැන ගන්ට හිතුණ නිසයි කීවේ"

"මල්ලි මම මල්ලිලා වාගේ ඩීසන්ට්‌ පොරක්‌ එහෙම නෙවෙයි. මට අයි ආර් සී පොරක්‌ වෙන්ට උවමනාවක්‌ තිබුණේ නෑ. ඒත් දෛවය මම ඒ වගේ තැනකට ගෙනැත් දාලයි තියෙන්නේ. මේ ගමේ ඉන්න හුඟක්‌ අය, මල්ලි ඊයේ කතා කළා වගේ මට කතා කරලා නෑ. මේ අපේ ධනුෂ්ක මල්ලි වුණත් අද තමයි මට වචනයක්‌ හරි කතා කළේ. මම දන්නවා ඒක කාගෙවත් වරදක්‌ නොවන බව. ඒ තත්ත්වය උඩ ඊයේ මල්ලි මට කතා කරපු ලෙන්ගතු විදිහ මට කවදාවත් අමතක වෙන එකක්‌ නෑ. ලෙන්ගතුකමට නං පණ හරි දෙන්ට පුළුවන්. අන්න ඒ හින්දා මල්ලි මට ඇත්තම කියනව නං මං කැමැතියි.."

"මේකයි අයියා මම පොතක්‌ ලියාගෙන යනව. මේ කතාවේ මං හිතේ මවාගෙන තියෙන එක චරිතයක හැඩරුව මම අයියගේ මූණේ දකිනව. ඒ නිසයි මට අයියා ගැන දැනගන්ට උවමනා වුණේ.

හරි මල්ලි ඔය විස්‌තරේ දැනගෙන නොසිටියට "මොකක්‌ නමුත් වැදගත් උවමනාවක්‌ බව මමත්, අනුමාන කරලයි තිබුණේ. මම මල්ලිට මගේ විස්‌තරේ ඔක්‌කොම කියන්නං" යනුවෙන් කී ඔහු අතීතයට සමවැදී මොහොතක්‌ නිහඬව සිට තම කතාව පටන් ගත්තේය.

මල්ලි මගේ ගම පොළොන්නරුව. අපේ පරම්පරාවම ගොවියෝ. මේ අතපය මෙහෙම යකඩ වාගේ හැදිලා තියෙන්නේ නිකන් නෙවෙයි මල්ලි. මහ පොළොව එක්‌ක ගනුදෙනු කරලමයි. අපි කුඹුරු වගේම හේන් ගොවිතැනත් කෙරුවා. මම ඉස්‌කෝලේ ගියේ හතරේ පන්තියට විතරයි.

"උඹට දැන් ලියුම් කඩදාසියක්‌ කාරිය ලියා ගන්නට තේරෙනවනේ පුතේ ඒ මදෑ. අකුරු ශාස්‌තරේම ඉගෙන ගෙන මොකද උඹ නඩු අහන්ට යන්ටයැ. දැන් ඉතින් හේනක්‌ කොටා ගන්නට ඉගෙන ගන්ටයි ඕනැන්නේ..." තාත්ත කිව්වා. අම්මට නං මට උගන්වන්නට ඕනෑකම තිබුණා. ඒත් මමත් ඇදිලා ගියේ ලස්‌සන නිදහස්‌ හේන් ජීවිතේ පැත්තටමයි. ඒ වෙනකොට මට අවුරුදු දහයක්‌ ඇති. අලුත් හේනක එළවළු පැළ ලොකුවෙන හැටි මල්ලිලා දැකල තියෙනවද? දවස්‌ දෙකට තුනට පැළේ උස්‌වෙලා පතල වෙලා එන අපූරුව කීවට බෑ ඇහින් දකින්ටම ඕනෑ. ඉලංදාරි වයසට එද්දි මං හැදුණෙත් ඒ වාගෙමයි. "සුවඳෙල් පඳුරෙ කුරුල්ලොත් හරි මගේ කොල්ලත් හරි" තාත්තා දවසක්‌ අම්මත් එක්‌ක කියනව මං අහගෙනයි.

අපේ හේන කිට්‌ටුව තව හේන් දෙක තුනක්‌ තිබුණා. කැලේ එකම පාරක අඩි පනහක්‌ හැටක්‌ ගිහින් තමයි එක එක පැත්තට බෙදිලා ගියේ. ඒ පාරෙදි මට දවසක්‌ ලස්‌සන හීන්දෑරි කෙලි පොඩ්ඩියක්‌ මුණ ගැහුණා. කෙල්ලගේ ඇස්‌ දෙක දිහා බැලුවම මට මගේ ඇස්‌ දෙක අහක්‌ කරගන්නට බැරුවා වගේ දැනුණා. ඒත් මට එක වචනයක්‌වත් කතා කරගන්නට බැරිවුණා. මම දවස්‌ කීපයක්‌ම එයා ආයෙත් මුණ ගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් ඒ පාරේ ආවා ගියා. ඒත් මට කෙල්ල දැක ගන්නට හම්බ වුණේ නෑ. දවස්‌ ගාණකට පස්‌සේ එයා මට ආයෙම හම්බ වුණා. ඈතින් එනව දකිනකොටම මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්නට වාගේ දැනෙන්නට වුණා. මෝලකින් වී කොටනව වාගේ, ටික ටික ළංවෙනකොට මගේ මූණට ලේ පුරලා වාගෙ දැනෙන්නට වුණා. බෙල්ල වටේට හීන් දාඩියකුත් දාලා. බොහොම අමාරුවෙන් ටිකක්‌a හිනාවුණා. හුඟ දේවල් කතා කරන්න ආසාව තිබුණත් කටක්‌ ඇරලා එක වචනයක්‌ කියාගන්න බැරිවුණා. දැන් කාලේ ඉලන්දාරි වාගේ නෙවෙයිනේ මල්ලි... අපි හැදුණේ වැඩුණේ ලැඡ්ජා බයට නේ. ඉතින් ඒ ළමයත් යාන්තමට හිනා වීගෙන වාගේ මා දිහා බලලා ආයෙත් බිම බලාගෙන යන්ට ගියා.

"අපරාදේ මොකුත් කියා ගන්ට බැරිවුණ එක නේද?" සුනිමල් විහිළුවක්‌ කළේය. බැරිවුණේ නෑ මල්ලි හුඟක්‌ දේවල් කතා කරගත්තා.

"එහෙනං දැන් බැරිවුණා කියලා කීවේ?" මම ඇහුවා.

කටින් කතා කරගන්නට බැරිවුණාට ඇස්‌ දෙකෙන් අපි හුඟක්‌ දේවල් ඒ ටිකටත් කතා කරගෙන තිබුණා.

"හරි හරි ඊට පස්‌සේ?" ඒ ප්‍රශ්නය නෑසුණාක්‌ සේ ඔහු ඈත වෙල් යායේ ගිනි කාස්‌ටක අව්වට වේලී කරවී ඇති ඉපනැල්ල දෙස බැල්ම හෙළාගෙන මොහොතක්‌ සිටියේය.

මුලදී නොවූ දුක්‌මුසු පෙනුමක්‌ ඔහුගේ මුහුණේ මතුවී තිබුණි. ඒ අතීත ඛේදයකින් නැඟුණු වේදනාවක ඡායාවකැයි මට සිතුණි.

ඔන්න ඔය කාලෙදි තමයි මල්ලි මගේ ජීවිතේදි මට දැනුණ වේදනාත්මකම සිදුවීම් වැළක්‌ම සිද්ධ වෙන්නට පටන් ගත්තේ... මගේ සිතුවිල්ල සනාථ කරමින් ඔහු කීවේය. මුලින්ම තාත්තට පොළඟා දෂ්ට කළා. සතා සීපාවා ගැන ඒත තරමට දන්නා අපේ තාත්තට කැලේ සතෙකුගෙන් අනතුරක්‌ වෙන්ට විදිහක්‌ නෑ. කවුද පව්කාරයෙක්‌ තාත්තා යන එන පාරේ ඒ සතා අඩපණ කරලා දමලා තියෙනව. ඒකත් හරියට කල්යල් බලලා වෙද අත්තා මහියංගනේ වන්දනාවේ ගිය දවසකයි කරලා තියෙන්නේ. පැය ගණනක්‌ මඟ ගෙවලා ඉස්‌පිරිතාලෙට ගෙනියන කොට තාත්තට වෙන්ට පුළුවන් හැම දේම වෙලා.

short1තාත්තගේ මරණෙන් පස්‌සේ සති දෙකක්‌ විතර යන තුරු මට හේනට යන්නට හිතුණේ නෑ. මං හිතුවේ ඒ අතරතුරේ සත්තු හේන වනසලා දාලා ඇති කියලයි. ඒත් අපේ අම්මගේ කීමට මං දවසක්‌ හේනට ගියා. ඒ යනකොටත් අපේ තාත්තගේ යාළුවා හීන් මාමා වැටේ කැඩිච්ච තැන් හද හදා හිටියේ. ඒ ටිකේ උන්දැගේ හේනටත් වඩා අපේ හේනයි උන්දෑ රැක බලාගෙන තියෙන්නේ. ඉන් පස්‌සෙත් මට දැනමුතුකම් දීගෙන මගේ ළඟින්ම හිටියේ අනේ ඒ බෝධිසත්වයා ම තමයි.

"උඹ හේනේ හිටියට කොල්ලෝ හිත නං තියෙන්නේ මෙහේ නෙවෙයි. ගිරව් ඉරිඟු කරල් කපනව. ටකේ ලණුව අත ළඟ තියාගෙන උඹ බලාගෙන ඉන්නවා. උන්දෑ මට ඔච්චමට වගේ කියනව. පැළට එනකොටත් පැළේ ඉඳන් ගෙදර යනකොටත් උන්දැගේ ඇස්‌ මා පස්‌සේ හුඟ දුරක්‌ ආවා ගියා. හේනට යන එන හැම වෙලාවකම මගේ ඇස්‌ දෙක විමසිල්ලේ.... ඒ මේ අත යන හැටි හීන් මාමා දකින්නට ඇති. දවසක්‌ උන්දැ මගෙන් කෙළින්ම ඇහුවා "උඹේ ඇස්‌ දෙක කවුරු හරි හොයනව නේද පුතේ...?"

"ඇයි හීන් මාමා එහෙම ඇහුවේ"

"ඒක වැරැද්දක්‌ හන්දා එහෙම නෙවෙයි. හුඟක්‌ ඉස්‌සර මටත් ඔහොම කාලයක්‌ තිබුණ හන්දා" දෙවෙනි දවසෙත් මං හේනට එද්දි හීන් මාමා ගහේ පැළ උඩ ඉඳන් බලාගෙන හිටියා. එදා උන්දැ මා එක්‌ක මොකක්‌ නමුත් කියන්ට හදන බව මට තේරුණා. මමත් හාරලා අවුස්‌සන්නේ නැතුව කියනකම්ම බලාගෙන හිටියා. පස්‌සේ උන්දෑ කතාව පටන් ගත්තා.

"උක්‌කුබණ්‌ඩෙගේ මරණේ වෙච්ච දවස්‌වල මේ සාවියේ තවත් මහ අපරාධයක්‌ වුණා ආරංචිද? මේ හේනේ උඹලා නැති එකේ පැත්තම පාළුවටනේ තිබුණේ. පළු ගහ ඉහත්තාවේ හේනක්‌ කොටාගෙන ඉන්න සුබේගේ බාල කෙලී කුරහන් රොටියකුයි කහට වතුර ටිකකුයි අරන් හේනට යන්ට ඇවිත් තියෙනව. කෙල්ල ඇහැට කනට පේන එකී නෙව, කෙලී මල්වර වුණ දවස්‌වල ඉඳන්ම අර එහා යායේ විමලදාසයා ඔය කෙලීට බැල්ම දාගෙනයි ඉඳලා තියෙන්නේ. ඔය කියන දවසේ ඌ තනි පංගලමේ එන කෙලී පස්‌සෙන් ඇවිත් ඒකිව කැලේ ඇදගෙන ගිහිල්ලා තියෙනව.

"කවුද මාමෙ ඒ කියපු එකා?"

විමලදාසයා දන්නැද්ද? අර කාලයක්‌ ගල් ඇන්දේ කසිප්පු පෙරුව එකා. "වලස්‌ බරුවා" කියලා කියන්නෙ.

" අර උස කළු බඩ තඩි එකාද? ඇස්‌ ගෙඩි දෙක ගොරක මඳ වාගේ රතු පාටට එළියට පැනලා තියෙන්නෙ"

"ආං හරි ඒකා තමයි"

"ඒ කාලකණ්‌නියා අර පුංචි කෙල්ලගේ තාත්තා වාගෙ නේ මාමෙ"

"තිරිසනාට ඒවායෙ ගානක්‌ තියේද ළමයෝ"

ඔය කතාව ඇහුවට පස්‌සේ මම දන්නේ නෑ. මට මොනව වුණාද කියලා. කන්ටත් බෑ නිදා ගන්ටත් බෑ.

වරින් වරේ අත් දෙකේ ඇඟිලි මිට මෙලවුණා. දත්මිටි කැවුණා. කල්පනා කර කර හූල්ලා හූල්ලා රෑ දෙගොඩ ජාමේ වෙනකන් නින්දක්‌ නැතුව ඉඳලා යන්තමට ඇහැ පියවෙන කොට යකෙක්‌ මා දිහා බලාගෙන ඔච්චමට වගේ හිනා වෙනව. එතකොට මම යකෝ කියලා හයියෙන් කෑගහගෙන නැගිටිනව. ඔය විදිහට දවස්‌ ගාණක්‌ මම විඳෙව්ව. මාසෙකට විතර පස්‌සේ මම යන්තමට හිත හදාගෙන වගේ ඉන්නකොට ආයෙම වුණේ හොඳ වීගෙන එන තුවාලේ ආයෙත් තැලිලා පොඩිවෙලා ගියා වාගේ දෙයක්‌.

ඒක වුණේ කඩමණ්‌ඩියේ දි. මම එදා ගියේ ඉරිඟු කරල් ටිකක්‌ විකුණා ගන්නට. චීත්තෙකුයි හැට්‌ටෙකුයි ඇඳගෙන පන් මල්ලක්‌ අතින් ගත්තු ගෑණු කෙනෙක්‌ මං දිහා හොඳට බලාගෙන ඉන්නව වාගේ මං යන්තමට දැක්‌කා. මං ආපහු හැරිලා බලනවත් එක්‌කම එයා බිම බලාගෙන යන්ට ගියා. මගේ හිත කිතිකවපු කෙලි පොඩ්ඩි! අඳුනා ගන්නට බැරි තරම් වෙනස්‌ වෙලා. ඒත් ඒ ඇස්‌ දෙකින් මං එයා අඳුනා ගත්තා. මූණ පුරා ඇඳිලා තිබුණේ පරාජිත වේදනාව. සතුටක ඡායා මාත්‍රයක්‌ තිබුණේ නෑ. මම ගල්වෙලා වාගේ බලාගෙන හිටියා. අකමැත්තෙන් වුණත් දැන් එයා අන් සතු ළඳක්‌ බව හිතට අරගෙන මුළු හිතම දුකින් පුරවාගෙන මම යන්ට ගියා. පහුගිය හැමදේම අමතක කරලා ඉන්ට හිතාගෙන හිටියත් දෛවය ඒකටත් ඉඩක්‌ දුන්නේ නෑ මල්ලි.

එදා උදේ ඉඳන් ම හීන් මාමයි මමයි එක දිගටම හේනේ වැඩක්‌ කරපු දවසක්‌.

"හරි මහන්සියි අදට ඔය ඇති කොල්ලෝ" හීන් මාමා කිව්ව. කරපු වැඩ දිහා ඩිංගක්‌ බලාන ඉඳලා දෙන්නා ගෙදර එන්ට පිටත් වුණා. අපේ හේන පහළින් කැලේ පාරට බහිනවත් එක්‌කම අපි දැක්‌කා විමලදාස ඉස්‌සරහට එනව. අපි දැක්‌ක ගමන් කුණුහරුප කියන්ටත් පටන් ගත්තා. අපි දෙන්නා ඒ මොකුත් ඇහෙන්නේ නැති ගානට අහක බලාගෙන යන්ටයි ගියේ. ඒත් හීන් මාමට මොකක්‌ හරි තේරිලා මාමා පය ඉක්‌මන් කරලා මගේ ඉස්‌සරහින් ගමන් කරන්ට පටන් ගත්තා. ඒ එක්‌කම "ඒයි හීනා උඹ දැන් මහ ලොකු ඉලන්දාරියෙක්‌ අල්ලාගෙන නේද? උඹ උගෙන් වැඩ ගත්තත්, ගෙදර බින්න බස්‌සවාගෙන උඹේ ළමිස්‌සියෝ ටික ඌට දුන්නත් මට කමක්‌ නෑ. තව මදි නං තොගේ ගෑනිත් ඌටම දීපිය. හැබැයි තව එක දවසක්‌ හරි මගේ ගෑනිට පෙරේත බැල්ම දමලා අහු වුණොත් මං ඕකගේ..."

විමලදාස අපට සමාදානෙන් නං යන්ට ඉඩ නොදෙන බව ඒ වෙනකොට මට හොඳටම තේරිලයි තිබුණේ. ඒ වුණත් ඔය වෙන තුරුම මං කට පියාගෙන බලාන හිටියා. ඒත් උගේ අන්තිම වචන ටික කියනවාත් එක්‌කම උගේ අත ඉනේ තිබුණ කිරිත්තියට යන හැටි මම දැක්‌කා. මෙහෙම කරනකොට හීන් මාමගේ කරේ තිබුණ උදැල්ල මගේ අතේ" අසුරු පහරක්‌ ගසමින් ගුණසෝම කීවේය. විමලදාසයා කිරිත්තිය උරුක්‌ කරගෙන "කනව තොගේ..." කියාගෙන හීන් මාමා පැත්තකට තල්ලු කරගෙන මගේ ඉස්‌සරහට පනිනව මං දැක්‌කා. එතැනින් එහාට වෙච්ච දේවල් ඇත්තෙන්ම මම කළාද මට ආරූඪ වෙලා වෙන කෙනෙක්‌ කළාද මට තවමත් හිතාගන්නට බෑ මල්ලි" යි කී ඔහු කිසියම් ශාරීරික වේදනාවක්‌a දරාගන්නා කලෙක මෙන් නළල රැළි කරගෙන මෙහොතක්‌ බලා සිටියේය. මොහොතකින් ඔහු යළිත් කතාව පටන් ගත්තේය.

"විමලදාසගේ කනට උඩින් උදලු බන්ද "චග්" ගාලා වදිනව මට ඇහුණා. විමලදාස කැරකිලා ගිහින් වැටුණෙ හීන් මාමා වැටුණ තැනටමයි. මාමා ඒ වෙනකොට නැගිටලා හිටිය එක හොඳට ගියා. නැත්තන් මාමට මොකක්‌ හරි වෙන්නේ විමලදාසට යටවෙලා. මාමා "දෙයියෝ සාක්‌කි" කියාගෙන දුවගෙන ආවා. හැතැප්මක්‌ දිව්ව වාගේ මාමාට හති. විමලදාස මොකක්‌ද කියන්ට වාගේ දෙපාරක්‌ම කට ඇරියා. ඊට පස්‌සේ කකුලක්‌ ගැස්‌සෙනවත් එක්‌කම මූණ පැත්තකට ඇලවුණා. "වරෙන් යන්ට" කියාගෙන මගේ අතින් ඇදගෙන මාමා අපේ ගෙවල් පැත්තට දුවන්ට පටන් ගත්තා.

පොලිසිය, උසාවිය, හිරගෙදර මගේ ජීවිත ගමනේ මං සලකුණු බවට පත්වුණේ ඒ විදිහටයි. මගේ දඬුවම ලිහිල් වෙන්ට උවමනා සාධක හුඟක්‌ නඩුවෙන්ම ඉස්‌මතු වුණා. ආත්මාරක්‍ෂාවට කළ මිනීමැරුමක්‌ බව උසාවිය පිළිගත්තා. දඬුවම අවුරුදු තුනක්‌ වුණත් යහපත් කල්කිරියාව හේතුවෙන් අවුරුදු දෙකෙන් මට නිදහස ලැබුණා. ඒ විදිහට නීතියෙන් මට නිදහස ලැබුණත් හෘද සාක්‍ෂියෙන් මට සමාවක්‌ ලැබුණේ නෑ. සුමනගේ ජීවිතේ අඳුරෙන් අඳුරටම තල්ලු කර දැම්මේ මමයි කියලා මගේ හිත එක දිගටම දොස්‌ කිව්වා. ඒක නැවතුණේ එක සිද්ධියකින්. කඩමණ්‌ඩියේදී ආයෙම දවසක්‌ මම සුමනා දැක්‌කා. හුඟක්‌ ම කෙට්‌ටුවෙලා. අව්වට කළු ගැහිලා. ඇදගෙන හිටියෙත් දිරාගිය රෙද්දකුයි හැට්‌ටෙකුයි. සුමනා මා නො දැක්‌කා වාගේ යන්ට හදනකොට මම ඉස්‌සරහින් ඇවිත් හිට ගත්තා.

"සුමනා නංගි මට සාප කරනව ඇති" මම හෙමින් කිව්ව. අදහාගන්නට බැරි දෙයක්‌ ඇහුණම වාගේ මා දිහා බලාන ඉඳලා ඔළුව වනලා,

"කවදාවත් නෑ" කියලා කෙඳිරි ගෑවා.

"මං නිසා නේද නංගි දුකට පත්වුණේ" මං ඇහුවා.

"නෑ, ඔය දේට කලින් ඉඳලම මං දුකට වැටිලයි හිටියේ. ඒ මට උරුම දේ වෙන්ට ඇති" යි සුමනා අතින් ඇස්‌ දෙක වහගත්තා. ඒ ඇස්‌ දෙකේ කඳුළු පිරිලා. මගෙ හිතටක්‌ වාවන්නේ නැතුව ගියා. සුමනා මගේ මූණ දිහා ආයෙත් යන්තමට බලලා බිම බලාගෙන යන්නට ගියා. උවමනාම දෙයක්‌ කතා කර ගත්තේ නෑ කියලා මට හිතෙන කොට සුමනා හුඟක්‌ ම ඈතට ගිහින්. අර මුලදි දවසක වුණා වගේ එදත් මට කන්නට බොන්ටවත්, නිදා ගන්ටවත් බැරිවුණා. අර කඳුළු ගලන අහිංසක ඇස්‌ දෙකින් සුමනා මා දිහා බැලුව හැටි රෑ තිස්‌සේ හිතේ මැවි මැවී පෙනුණා. ඒ කඳුළු නැවතිලා ආයෙත් ඒ මූනේ හිනාවක්‌ දකින තුරු මගේ හිතට නිවනක්‌ නැති බව එදා මම තේරුම් ගත්ත.

"ඉතින් ඉතින් අයියේ?" සුනිමල් ඇහුවේ ගුණසෝම කතා නැතුව වෙල් යාය දිහා බලාගෙන ඉන්නව දැකලයි.

එතැනින් එහාට කියන්ට නං ඒ හැටි ලොකු දෙයක්‌ වුණේ නෑ. ඒත් මල්ලිලාට මගේ පැල් කොටේට එන්ට පුළුවන්කමක්‌ තියේ නං ඇහින් දැක ගන්නට නං දෙයක්‌ ඇති මගේ හිතේ..." යි ගුණේ අයියා කියද්දී ඔහුගේ මුහුණ එළිය කළේ කොපමණ අහිංසක සුන්දර සිනහවක්‌ දැයි පළමු වතාවට මට හැඟුණි.

මෙම කෙටි කතාවේ රචකයාගේ නම ලියා එවා තිබුණේ නැත. ඉදිරියේදී එය අප වෙත යොමුකරන මෙන් දන්වා සිටිමු.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »