Home / කෙටි කතා / බළලා මල්ලෙන් එළියට

බළලා මල්ලෙන් එළියට

2018-05-21 10:50:00       364
feature-top
මල්ගුඩි මැවුම්කරු ආර්. කේ. නාරායන් ශූරීන්ගේ CAT WITHIN කෙටි කතාවේ පරිවර්තනයකි. ඔහු මියගියේ 2001 මැයි මාසයේදීය.

'විනායක්‌ මුදලි' වීථියෙහි පිහිටි ඒ පුරාණ ගෘහය විවිධාකාර කුලී නිවැසියන් රශියකගේ වාසස්‌ථානය විය. මෙහි නිවැසි සියලු දෙනාගේ වුවමනාවන් පිරිමසා ගැනීමට සිදුවූයේ වත්තේ පිටුපස සියඹලා ගස යට තිබුණු එකම ළිඳෙන් හා වැසිකිළියෙනි. ගෙවල් හිමියා එම නිවසේ ප්‍රයෝජනයට ගත හැකි සෑම අවකාශයක්‌ම බෙදා වෙන් කර නමට පමණක්‌ කාමර යෑයි කිව හැකි ආවරණ අටවා, කුලියට දී, මාසය අවසානයේ උපරිම කුලිය සූරා ගත්තේය. විථියට මුහුණලා පිහිටි කොටසක ඔහු තම ව්‍යාපාරික ස්‌ථානය පවත්වාගෙන ගියේය. මෙහි විකිණෙන වෙනත් බඩු අතර අසල පිහිටි නගර සභා පාසලෙන් පිටවී රංචු පිටින් පැමිණෙන ළමයින් සඳහා රස කැවිලි, පෑන්, පැන්සල් හා රිබන් පටි යනාදිය ද විය. රාත්‍රියේදී ගෙවල් හිමියා නොහොත් කඩ හිමියා වෙළෙඳසලට දොරගුළු දමා දොර අසලින්ම නිදා ගත්තේය. එසේ කළේ කිසිදු කෙනෙකුට ඔහුගේ ශරීරයේ ස්‌පර්ශ නොවී ඇතුළුවීමට නොහැකි වනු පිණිසයි. ඒ හැරුණු විට තවත් ආරක්‍ෂක උපක්‍රමයක්‌ වශයෙන් හිස්‌ භූමිතෙල් ටින් කිහිපයක්‌ එක පිට එක තබා දොර අසලින් තැබුවේය. කිසිවකු යාන්තමට හෝ ඒවායේ ස්‌පර්ශ වුවහොත් විශාල ශබ්දයක්‌ නඟමින් ඒවා බිම පතිත වනු ඇත. අනතුරු ඇඟවීමට එය කදිම ප්‍රයෝගයකැයි ඔහු සිතුවේය.

දිනක්‌ මැදියම් රෑ බළලෙක්‌ කඩය තුළ ගොඩගසා තිබුණු ධාන්‍ය ගෝනි අතරින් දිවූ මීයෙකු ලුහුබැඳ යන්නේ, අතරමග තිබුණු පිත්තල ජෝගුවක්‌ දැක උපන් කිසියම් කුහුලකින් උගේ හිස ජෝගුව තුළට දැම්මේය. උගේ හිස ජෝගුව තුළ හිරවුණි. අහම්බයෙන් තම හිසට වැටුණු ඔටුන්න හේතුවෙන් දැස නොපෙනීම නිසා බළලා අන්දමන්ද විය. ඌ වරක්‌ උඩ පැන්නේය. නැවත දිවීමට තැත් කළේය. මෙහිදී පිත්තල ජෝගුව අතරමග හමුවන හැම දෙයකම ද, බිත්තිවල ද හඬ නංවමින් වැදුණේය. තම සුපුරුදු ස්‌ථානයේ නිදිසුව විඳිමින් සිටි කඩහිමියා කඩය තුළින් ඇසුණු ශබ්දයෙන් ඇහැරුණේය. දොරේ තිබූ කුඩා පැල්මකින් අඳුරු වෙළෙඳසල වෙත එබී බැලූ ඔහු ක්‌ෂණයකින් හිස ඉවතට ගෙන "හොරෙක්‌ හොරෙක්‌" කියා කෑගසමින් උදව් ඉල්ලුවේය. අනතුරුව උණ බම්බුවක්‌ ගෙන "ඕනෑම දේකට සූදානම්" කියන්නට මෙන් එයින් පොළවට ගැසුවේය. උණ බම්බුව පොළොවේ වදින වතාවක්‌ පාසා නැඟෙන ශබ්දයෙන් බියපත් වූ බළලා ද උමතුවෙන් මෙන් උඩ පැන්නේ අසල තිබූ සෑම දෙයකම ගැටෙමිනි. කඩ හිමියාගේ හදිසි හඬ ගෑමෙන් කලබලයට පත් අනෙකුත් කුලී නිවැසියෝ දිවවිත් වෙළෙඳසල වෙත රොක්‌ වූහ.

මෙම කුලී නිවැසියන් අතර එක්‌ යකැදුරෙක්‌ ද සිටියේය. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය කරමින් තම ජීවනෝපාය සලසා ගත්තේය. ඔහුගේ කුටිය තිබුණේ මෙම ස්‌ථානයට බොහෝ ඈතින් බැවින් ඔහු එම අවස්‌ථාවේ තද නින්දේ පසුවිය.

එදින මැදියම් රෑ ඒ අනපේක්‍ෂිත ඇබැද්දියෙන් අසරණ වූ කඩ හිමියා දොර විවෘත කර යකැදුරාට හඬගෑවේය. "අනේ ඉක්‌මණට එන්න. මට ඔහේගේ උදව් ඕනෑ. කඩේ ඇතුළේ මොකක්‌දොa අද්භූත දෙයක්‌ වෙනවා. ඉක්‌මණට එන්න."

තම වෘත්තියට ගැලපෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී මිස යකැදුරා කිසි දිනක පිටතට නොගියේය. ඔහු ක්‌ෂණයකින් හැඳ පැළඳ තම නවගුණ වැල ගෙලෙහි පළ¹ බෑගය ද රැගෙන කඩය ඉදිරියට පැමිණියේය.

"දැන් කියමු බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා?"

"ජෝග්ගුවකට පණ ඇවිල්ලා. උඩ පනිනවා. එහාට දුවනවා. මෙහාට දුවනවා. සද්ද කරනවා"

"ඕ... හ්... ඒ තමයි ජොග්ගු භූතයා. උගේ හැටි එහෙමයි. ඌ හැම තිස්‌සෙම හිස්‌ ජෝග්ගුවලට බැහැලා විකාර කරනවා. ඒ නිසා තමයි අපේ පැරැන්නෝ නීතියක්‌ පැනෙව්වේ ජෝග්ගුවක්‌ කොයිම වෙලාවකවත් කට උඩු පැත්තට හරවලා තියන්න එපාය, මුණින් අතටම නවලා තියන්නය කියලා. මේ වගේ භූතයෝ කරන්නේ සද්ද කරලා ඔහේලා බය කරන එක. හැබැයි බය වුණොත් නම් ඉවරයි. ඔලුවටමයි ගහන්නේ. බය වෙන්න වුවමනාවක්‌ නෑ. මට ඇහැකි ඒක ඉවරයක්‌ කරන්න"

කඩ හිමියා වැළපෙන්නට පටන් ගත්තේය. "මම කුරා කූඹියෙකුටවත් කරදරයක්‌ නැතුව මෙච්චර කාලයක්‌ ජීවත් වුණේ. ඇයි මට මෙහෙම වෙන්නේ?"

"හැමෝටම මෙහෙම වෙනවා. ඒ ගැන කරදර වෙන්න එපා. ඒක කරුමෙ. ගිය ආත්මෙ ගිය ආත්මෙ ඔහේ මොනවා හරි වැරැද්දක්‌ කරන්න ඇති"

"මොන වගේ වැරැද්දක්‌ ද? කඩ හිමියා විමසුවේ කුතුහලයෙනි.

තම සිත යට සැඟවී පවතින කාරණය හෙළිදරව් කර ගැනීමට යකැදුරා තවම සූදානම් නැත. අනෙකුත් සියලුම කුලී නිවැසියන් මෙන්ම යකැදුරා ද කඩ හිමියා පිළිකුල් කළේය. එහෙත් කඩ හිමියාගේ කුමක්‌ හෝ වැරැද්දක්‌ අල්ලාගනු පිණිස ඔහු කල් යල් බලමින් සිටියේය.

"මේ ජොග්ගු භූතයා නපුරු එකෙක්‌. එච්චරයි. ඒත් හිත දුර්වල අය ඌට බයවෙලා සමහර වෙලාවට ලේ වමනෙත් කරන්න පුළුවනි" යකැදුරා කීවේය.

ඔවුන් අතර මෙසේ සංවාද පැවැත්වෙද්දී වෙළෙඳසල තුළින් බෙලෙක්‌ හඬ නොනවත්වා ඇසුණි.

short1සෙනඟ අතරින් එකෙකු "ඕක තමයි කියන්නෙ මේවට ලයිට්‌ ගන්නය කියලා. මේ ටවුමෙ හැම තැනම ලයිට්‌ තියෙනවා. අපි විතරයි ලයිට්‌ නැතුව දුක්‌ විඳින්නේ" යෑයි කීවේය.

"ඇයි ලන්තෑරුමක්‌ ගන්නෙ නැත්තේ?"

"දවස්‌ තුනකින් භූමිතෙල් නෑ. අපි රෑට කෑවෙ තරු එලියෙන්"

"ඉවසන්න. ඉවසන්න. මම ලයිට්‌ ඉල්ලල තියෙන්නෙ. ඉක්‌මනට ලැබෙයි."

"පවුල් විස්‌සටම තියෙන්නෙ එක ළිඳයි. එක වැසිකිළියයි" එකෙක්‌ කීවේය.

"මං ගෑණිත් එක්‌ක ඇඳේ හාන්සි වෙලා ඉඳගෙන කොඳුරන දේවලුත් හැමෝටම ඇහෙනවා" විහිලු කාරයා කීවේය.

"තමුසෙ බැඳල නැහැනේ" තවෙකකු හරස්‌ කැපුවේය.

"ඒකට මොකද? තව ඕන තරම් ඉන්නෙ"

"ක්‌...ලෑන්ග්...! ක්‌ලෑ... න්ග්"

"මෙයාගෙ පව්කාර වැඩ නිසයි මෙහෙම හොල්මන් වෙන්නේ" තවත් කෙනෙකු කීවේ කඩ හිමියා පෙන්වමිනි.

"මෙතන ඔච්චරටම නරක නම් ඇයි තමුසෙලා වෙන දිහාවකට යන්නෙ නැතුව මේකෙම ගැන්නිලා ඉන්නෙ" කඩහිමියා ඇසීය.

එම ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නොවීය. සෑම ටවුමකම මෙන් මෙහිද උග්‍ර නිවාස හිඟයක්‌ පැවතුනි.

මෙම අවස්‌ථාවේදී යකැදුරා ස්‌ථානයේ පාලනය තමා යටතට ගත්තේය. ඔහු පිරිස දෙස බැලුවේ නිශ්ශබ්දව සිටින ලෙස අණ කරන්නාක්‌ මෙනි. "මේක ඉල්ලීම් දිනා ගන්නවත් වැරදි කිය කියා ඉන්න වෙලාවක්‌වත් නෙවෙයි. ඔයගොල්ලො ඔක්‌කොම ගියොත් හොඳයි. ගිsහින් නිදාගන්න. ඒ මොකද ඇතුළෙ ඉන්න භූතයා කොහොම හරි එළියට ගන්න ඕන. ඒ වෙලාවට කිසි කෙනෙක්‌ අහල පහළ ඉන්න නරකයි. එහෙම වුණොත් ඌ ආවේශ වෙලා මහ කරදරයක්‌ වෙන්න ඉඩ තියෙනවා"

"ඒත් කමක්‌ නෑ. ඌ මෙයා තරම් නරක නැතිව ඇති. ඌ මට වැහෙනවනම් මම කැමැතියි. එහෙම වුණොත් මම මේ ගේ කුඩුපට්‌ටම් කරනවා. අයිතිකාරයා මොකා වුණත් උගේ ඔලුව උඩට වැටෙන්න" විහිලු කාරයා කීවේය.

"හා... හා... එච්චරම නපුරු වෙන්න එපා. මමත් ඔයගොල්ලා වගේම කරදර විඳ විඳ කුලියට ඉන්න කෙනෙක්‌. ඒත් මේ වෙලාවෙ මම ඒවා කියන්න යන්නේ නෑ, ඒවටත් වෙලාවක්‌ තියෙනවා. කෝ මෙහාට ගන්න ඉටිපන්දමක්‌" යකැදුරා එසේ කියමින් කඩහිමියා වෙතට හැරුණේය.

"... අයි? නැද්ද ඉටිපන්දමක්‌වත්? කඩේ විකුණන්න ඉටිපන්දමක්‌වත් නැත්නම් ඕහේ මොන මුදලාලි කෙනෙක්‌ද?

"ඉටිපන්දම් තියෙන්නෙ කඩේ ඇතුළෙ දකුණු පැත්තෙ රාක්‌කෙ. අතට අහුවෙන හරියෙ"

"ඔහේ කියන්නෙ මට කඩේ ඇතුළට ගිහින් බලන්න කියලද? හැබැයි භූතයො ඉන්න තැන්වලට යන්න මම ගාස්‌තු අයකරනවා. එහෙම නැත්නම් හැම තිස්‌සෙම මගේ වැඩ දුරින් ඉඳගෙන තමයි" යකැදුරා කීවේය.

කඩ හිමියා මෙහිදී විශේෂ ගාස්‌තුවක්‌ ගෙවීමට කැමැති විය.

යකැදුරා උගුරේ රැල් බුරුල් හැර, කෙස්‌ වැටිය සකස්‌ කර ගැනීමෙන් අනතුරුව වෙළෙඳසලේ දොර අසලට ගෙස්‌ "ඒයි භූතයෝ මම දන්නවා උඹ කවුද කියා... උඹත් දන්නවා ඇති මගේ හැටි. හොඳයි බලමු..." යනුවෙන් කෑ ගසමින් දොර පලුව මෑත් කර ගෙන ඉතා පරෙස්‌සමෙන් පිsයවර කීපයක්‌ ඉදිරියට ගියේය. ඉන් නැඟුණු ශබ්දයෙන් බළලාගේ බිය දෙගුණ වී වියරුවෙන් මෙන් පිනුම් කිහිපයක්‌ ගැසුවේය.

"අයියෝ..." කියමින් කඩ හිමියා වැළපුණේය.

"මම විශේෂ ආරක්‍ෂාවක්‌ කරගන්න ඕනෑ. මට ඇතුළට යන්න බෑ. ලයිට්‌ නෑ. ඉටිපන්දම් නෑ... හැම වැඩක්‌ම කරන්න වෙලා තියෙන්නෙ කරුවලේ. ඉක්‌මණට එළියට පැන්නෙ නැත්නම් මම ඉවරයි.."

"අයියෝ මගේ කඩේටයි බඩුවලටයි මොනවා වේවිද?

"මට තඹ භාජනයකුයි, තඹ වීරුදුවකුයි, තඹ හැන්දකුයි දෙන්න"

"ඇයි තඹවලින්ම ඉල්ලන්නේ?"

"ප්‍රශ්න අහන්න එපා... හරි කමක්‌ නෑ... මම හේතුව කියන්නම්. තඹ කියන්නේ හොඳ සන්නායකයක්‌. අර උඩ ඇදලා තියෙන වයර් පේනවා නේ?"

"තඹ භාජනවලින් දැන් මොනවද කරන්න හදන්නේ?

"ප්‍රශ්න අහන්න එපා කීවානේ. හරි කමක්‌ නෑ. ඒකටත් හේතුව කියන්නම්. ඇතුළෙ ඉන්න භූතයට මගේ මන්ත්‍රවල බලය යවන්න ක්‍රමයක්‌ ඕන කරනවා."

තවත් ප්‍රශ්න කිරීමකින් තොරව කඩ හිමියා කොහේදොa තිබුණු ඇලුමිනියම් මුට්‌ටියක්‌ ගෙනාවේය. "මගේ ළඟ තඹ නෑ. ඇලුමිනියම් විතරයි."

"අපේ රටේ ඕනෑම දුප්පත් ගෙදරක වුණත් තඹ භාජනයක්‌ වරදින්නෙ නෑ. ඔහේ මුදලාලි කෙනෙක්‌ලු. ඒත් මෙලෝ දෙයක්‌ නෑ. ඉටිපන්දම් නෑ. ලයිට්‌ නෑ. තඹත් නෑ.

short2"මගේ ගමේ ගෙදර නම් තඹ, රිsදී ඔය ඕනෑ එකක්‌ තියෙනවා."

"එහේ තිබිලා දැන් ඇති පලේ මොකද්ද? හොල්මන තියෙන්නෙ මෙහේ. මේ අලුමිනියම් භාජනේ මට එච්චර විශ්වාස නෑ. ඒත් උත්සාහ කරල බලමු" එසේ කියමින් යකැදුරා ඇලුමිනියම් භාජනය ගෙන පොළොවේ ගැසුවේය. ඒ සමඟම ඇතුළතින්ද ජෝගුව යමක හැපුනි.

"ඔය භාජනේ තලන්න එපා" කඩ හිමියා කෑගැසුවේය. ඔහුගේ ඉල්ලීම කණට නොගත් යකැදුරා තවත් කීප වරක්‌ම භාජනය පොළවේ ගැසුවේය. "ඒක හොඳ ලකුණක්‌. දැන් භූතයා කතා කරන්නයි සූදානම. ඌත් එක්‌ක කතා කරන ක්‍රමය මම දන්නවා" කියමින් යකැදුරා තම ඇඟිලි පුරුක්‌වලින් (මොර්ස්‌ සංඥ හඬ අනුකරණය කරමින්) කිසියම් ලතාවකට ඇලුමිනියම් භාජනයට තට්‌ටු කළේය.

"ඔච්චර හයියෙන් හුස්‌ම ගන්න එපා. කතා කරන්නත් එපා" යකැදුරා අවවාද කළේය. "ඔන්න මට පණිවිඩයක්‌ ලැබෙනවා. මට කියනවා. පින් බලාපොරොත්තුවෙන් ඉන්න ආත්මයක්‌ කියලා කියන්නලු. ඔහේ කාට හරි වැරැද්දක්‌ කළාද?

"හපෝ... යි නෑ. මම කවදත් පින් අතේ වැඩ කරන මිනිහා."

යකැදුරා ඔහුට බාධා කරමින් "මට නොවෙයි කියන්න ඕනෑ. අර භූතයාටයි. ඔහේ කවදා හරි... කාගෙ හරි... පොඩ්ඩක්‌ ඉන්න... ඔන්න මට දැන් ඇහෙනවා පණිවිඩේ." කියමින් ඇලුමිනියම් භාජනය කණට ළංකර "ඔහේ මීට ඉස්‌සර කවදා හරි කාගෙ හරි බිරිඳක්‌ එක්‌ක හරි නැත්නම් මුදල් එක්‌ක මොකක්‌ හරි ගනුදෙනුවක්‌ තිබුණද" යි ඇසුවේය.

කඩහිමියා බියෙන් තැති ගත්තේය. "හපෝයි නෑ කවදාවත් නෑ."

"එහෙනම් මොනවද මට මේ ඇහෙන්නේ? වැන්දඹු ගෑනු කෙනෙක්‌ වෙනුවෙන් දේපළක්‌ භාර ගත්ත විත්තියක්‌?

කඩහිමියා මොහොතක්‌ වෙලා කල්පනා කළේය. මේ අතරතුර පිටවීමට මගක්‌ සොයමින් බළලාද නොනවත්වා සුළං කවුළුවක හැපුණේය. කඩහිමියා තැතිගත් ගමන්ම "මොන දේපළක්‌ද? එහෙම දෙයක්‌ කළා නම් මට හෙණ වදින්න ඕන, ජීවත් වෙන්න අවශ්‍ය හැම දේම මට දෙවියෝ දීලා තියෙනවා"

"මම ඔහේට කිව්වා අනවශ්‍ය දේවල් කතා කරන්න එපා කියලා. "ඔහේ කවදා හරි අසරණ ගෑනු කෙනෙක්‌ව බලහත්කාරයෙන් තියාගෙන හිටියද? පුංචි කාලේ කරපු වැරැද්දක්‌ නම් පව් සමා කර ගන්න තිබුණා."

"කොහොමද?"

"මම කියල දෙන්නම්. ඊට ඉස්‌සර වුණේ මොකක්‌ද කියන්න"

"ඇයි?"

"වෙච්ච වැරැද්ද ගැන ඇත්තටම පසුතැවෙන බව පෙන්නුවොත් භූතයගේ බලේ අඩු වෙනවා."

නැවතත් ජොග්ගුවේ හඬ ඇසුණේය. කඩ හිමියාගේ දරාගැනීමේ සීමාව ඉක්‌මවා තිබිණ "අනේ ඒක කොහොමහරි නවත්වන්න. මට දැන් නම් ඉවසන්න බෑ."

යකැදුරා ඔහු ළඟ තිබූ කපුරු කැබැල්ලක්‌ දල්වා එහි දැල්ල වට කිහිපයක්‌ කරකවමින් සෑම දිශාවකටම ඇලුල්වේය. එසේ කළේ ශුභවාදී භූතයන්ගේ පිහිටාරක්‍ෂාව ලබා ගැනීමේ අටියෙනි. මලානික තරු එළිය පමණක්‌ ඇති මේ රාත්‍රියේ හොඳ හෝ නරක හෝ වේවා කිසිදු භූතයෙකු නොසිටීම මැනැවැයි කඩහිමියා සිතුවේය.

මෙහිදී යකැදුරා කඩහිමියා අමතමින් "දැන් ඔහේගේ හිත සන්සුන් කර ගන්න. මම කියන දේ ඒ විදියටම කියන්න. හැබැයි බොරු කියන්න එපා. ඔහේගේ ඔලුව පැලේවි. භූතයා ඔහේගේ මොලේ එළියට ඇදල තමයි නතර කරන්නේ."

"හපොයි මම මොනවද කරන්න ඕන?"

"මම කියන වචන ඒ විදියටම කියන්න... "මම මෙපමණ කාලයක්‌ ඉතා හොඳ අවංක ජීවිතයක්‌ ගත කළා."

කඩ හිමියාට එම වචන ඒ අයුරින්ම කීම කිසිදු ගැටලුවක්‌ නොවීය. අනෙකුත් කුලී නිවැසියන්ට නෑසෙනු පිණිස ඔහු එම වචන කිහිපය කෙඳිරුවේය.

"මම කවදාවත් වංචා කරලා නෑ" යකැදුරා කී විට කඩ හිමියාද එයම කීවේය.

"මම කවදාවත් කාගෙවත් දේපළක්‌ අනිසි විදියට අයිති කරගෙන නෑ" යකැදුරා කීවේය.

කඩහිමියා එය කීමට ගොස්‌ අතරමග නවත්වා "මොන දේපළක්‌ ගැනද ඔය කියන්නේ?" යෑයි විමසුවේය.

"මම දන්නෙ නෑ" යකැදුරා භාජනය තම කණට ළං කර "මොනවා හරි වැරදි දෙයක්‌ තමා මට ඇහෙන්නෙ" යෑයි කීවේය.

"අනේ ඒක මගේ වැරැද්දක්‌ නොවෙයි" මට ඒ දේපළ ලැබුණා. එච්චරයි"

"ඒවා කාගෙද?"

"හොනප්පා කියන මගේ යාලුවගේ. මගේ අසල්වැසියා. මම හුඟක්‌ ළඟින් ඒ පවුල ආශ්‍රය කළා. අපි එක ළඟ තිබුණු කුඹුරු වැඩ කළා. එයා අන්තිම කැමැත්ත ලිව්වට පස්‌සෙ ආයෙ කවදාවත් දැක්‌කෙ නෑ."

"අන්තිම කැමැත්ත ඕහේගෙ නමටයි ලිව්වේ?"

"මම එහෙම කරන්න කීවේ නෑ. ඒත් එයා මට බොහොම ලැදිවයි හිටියේ."

"එයාගෙ මිනිය හම්බ වුණාද"

"මම කොහොමද දන්නෙ?"

"එයාගෙ ගෑනිට මොකද වුණේ?"

"එයා ජීවත්aව හිටපු තාක්‌කල් මම ඇයව බලා ගත්තා"

"එකම ගෙදර?"

"මෙහේ නොවෙයි ගමේ"

"අඹුසැමියො හැටියට හිටියා?"

"කඩ හිමියා මොහොතක්‌ නිශ්ශබ්දව සිට "කවුරු හරි එයාව බලා ගන්න ඕනනේ" කීවේය.

"කොහොමද ඇය මැරුණේ?"

"මම මීට වඩා එක වචනයක්‌ කතා කරන්නෙ නෑ. මම කියන්න තිබුණු ඔක්‌කොම කිව්වා. ඊට පස්‌සෙත් අර භූතයා එළියට ඇදල දැම්මේ නැත්නම් තමුසෙට වෙන්නෙත් අරුන්ට වෙච්ච දේමයි" කියමින් කඩ හිමියා ක්‍ෂණයකින් ඉදිරියට පැන යකැදුරාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

"මගෙන් ඔක්‌කොම දේවල් අහගත්තා. දැන්වත් ගනින් අර භූතයා එළියට දැම්මෙ නැත්නම්?" යනුවෙන් කියූ කඩ හිමියා යකැදුරා අඳුරු කඩ කාමරය තුළට තල්ලු කර ගෙන ගියේය. හදිසියේ කඩ හිමියාගේ දෘඪ ග්‍රහණයට හසු වූ යකැදුරා බියෙන් ඇලලී එක හඬින් කළ බෙරිහන් දීමට කඩය ඇතුළේ පැවතුණු බෙලෙක්‌ හඬද යටපත් විය. කඩ හිමියා දොරකඩ රැකවල්ලාගෙන සිටි අතර යකැදුරා ඉවක්‌ බවක්‌ නොමැතිව අඳුරේ අතපත ගාමින් සිටියදී ජෝගුව ඔහුගේ දෙපාවල වැදුනි. ඔහු මර බියෙන් "අපෝයි මං ඉවරයි" යනුවෙන් කෑ ගැසුවේය. බළලාට ඉවෙන් මෙන් එළිමහන පිළිබඳ කිසියම් දැනුමක්‌ ලැබිණි. ඌ ලද අවසරයෙන් ජෝගුව හිසේ දරාගෙනම එළියට පැන හැල්මේ දිවගොස්‌ වීථියට පැන්නේය. යකැදුරා ද කඩහිමියා ද නිසොල්මනේ ඒ දෙස බලා සිටියහ.

"ඒ බළලෙක්‌ නේ" කඩ හිමියා කීවේය.

"ඔව්... බළලෙක්‌ වගේ පෙනුනට ඔහේ කොහොමද කියන්නේ ඌට ආවේශ වෙලා හිටියෙ මොකාද කියලා?"

එම කියමන ඒත්තු ගත්තාක්‌ මෙන් කඩහිමියා මොහොතක්‌ නිශ්ශබ්දව සිට "ඌ ආයෙමත් ඒවිද?" යෑයි විමසුවේය.

"කියන්න බෑ. එහෙම කරදරයක්‌ වුණොත් මට කතා කරන්න" යෑයි කියමින් යකැදුරා තම කුටියට යැමට සැරසුණේය. "මගේ ගාස්‌තු ගැන දැන් කරදර වෙන්න කාරි නෑ. හෙට උදේ බලාගමු."


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »