Home / කෙටි කතා / හීන් මැණිකේ

හීන් මැණිකේ

2018-05-08 09:55:00       531
feature-top
කමතේ පැලේ තිබුණ හිස්‌ කළය ගෙන උකුලේ තියාගත් හීන් මැණිකේ කුඹුකේ ළිඳ දෙසට පියමන් කරන්නට පටන් ගත්තාය. වෙනදා දණහිස්‌වලිනුත් පහළට එල්ලී වැටෙන සේ තනි කරලට ගොතා තිබෙන ඇගේ තද කළු පැහැති දිගු කෙස්‌ කළඹ මෙදින බෙල්ල පිටුපසින් එල්ලෙන පරිදි තරමක්‌ බුරුලට ගැටගසා තිබුණු අතර ලෙලි ඇරිය පොල් ගෙඩියක්‌ තරම් මහතට දිස්‌ වුණි. තමන්ට පිටුපා යන ලේලියගේ සිහින් උස නිරෝගී තළෙලු දේහය දෙස කළු මැණිකේ ඕනෑකමින් බලා සිටියාය. හීන් මැණිකේගේ කුසට දැන් මාස තුනක්‌ සම්පූර්ණ වී ඇතැයි කළු මැණිකේ සිතුවාය. ඒ සමගම සියල්ල තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගත හැකි වූවා යෑයි ජයග්‍රාහී හැඟ මකින් ඇගේ සිත පිනා ගියේය.
"අපේ ලොකු කොලුවගේ ඔය තියෙන සෝමාරි කමත් එක්‌ක මඟුල් තුලා කරලා මොනව වෙයිද කියලා මට නං හිතා ගන්ට වත් බෑ ඕං" කිරිනේරිස්‌ට හීන් මැණිකේ පිළිබඳව යෝජනාව ආ දිනයේ ළමයින්ගේ තාත්තා එදා කතා කළ හැටි කළු මැණිකේට තවමත් මතකය. ඒ දිනවල සිටම තමා හිතේ ඇඳගෙන තිබුණු සැලැස්‌මේ දෙවන කොටස හෙවත් දුෂ්කරම කොටස ඉටු කර ගැනීමට ඈ කටයුතු කරන්නට පටන් ගත්තේ පසුගිය කොළදින් කාලයේ සිටය. ඒ වනවිට හීන් මැණිකේ කැන්දාගෙන විත් මාස තුන හතරක්‌ම ඉක්‌ම ගොස්‌ තිබුණි. මාස්‌ කන්නයේ කොළය පාගා මෙලෙසින්ම බැතය රාහි කර තිබුණි. කමතේ බර වැඩ අහවර කළ හැටියේම " මං යනවා හරකුන්ට වල් කපන්ට" යි කී බාල කොලු ගුණේරිස්‌ යායට ගොස්‌ තිබුණි. තේ ගෙන ඒමට ගෙදර ගිය හීන් මැණිකා ද තවම පැමිණ නැත. කිරිනේරිස්‌ පැළේ හිඳගෙන හයියෙන් හුස්‌ම ගනිමින් හිටියේය.

"උඹට මහන්සි ද ලොකු පුතේ?" යි කළු මැණිකේ කිරිනේරිස්‌ හිඳගෙන සිටි මාගලේම කෙළවරක වාඩි වෙමින් ඇසුවාය.

"මහන්සි නැතුව මොකද අපේ අම්මා" කිරිනේරිස්‌ පෙරලා ඇසුවේය.

"මටත් නං මහන්සි නැතුව නෙවෙයි කොල්ලෝ ඒත් මේ බැතේ දිහා බැලුවම ඒ මහන්සිය හුළඟෙ යනව වාගේයි දැනෙන්නේ. ඇස්‌වහක්‌ කටවහක්‌ නෑ පුංචි දාගැබක්‌ වාගේ නේ." යි උතුරා යන සතුටින් යුතුව කී ඇය මොහොතකට පසු" හැබැයි පුතේ එක වෙලාවකට නං මගේ හිතට මහ දුකකුත් දැනෙනවා. " යි කීවාය.

"දුකක්‌ දැනෙනවා අහවල් දේකට ද අපේ අම්මා?" ඔහු විශ්මයෙන් ඇසුවේය.

" නෑ ඉතින් මේව්වා හැමදාමත් මේ විදිහටම තියා ගන්ට බැරි වෙයිද කියල බයයි පුතේ"

" ඒ කිව්වේ අපේ අම්මා?"

" හිතලා බාපංකෝ පුතේ දැන් මේ කුඹුරු ටික, එතකොට ගොඩ ඉඩං ඔව්වා සේරම දවසකට දෙකට බෙදුනොත් එහෙම?

" ආ එහෙම වුණත් ඒ ඉතින් මල්ලිටයි මටයි නේ අපෙ අම්මා"

"උඹයි මල්ලියි දෙන්නා දැන් මේ ඉන්නා වාගේ නෙවෙයිනෙ ළමයෝ තවත් ගෑනියක්‌ ආවොත් ඇති වෙන තත්ත්වෙ කොහොම වෙයිද කවුද දන්නේ. පේන්නැද්ද ගෑනු ගත්තහම හොඳට හිටිය සහෝදරයො හිටන් විරසක වෙන හැටි."

"අපේ මල්ලිටයි මටයි එහෙම වෙන එකක්‌ නෑ අපේ අම්මා"

" වෙන එකක්‌ නෑ කියලා නිකන් බලාගෙන හිටියට හරියන්නේ නෑ කොල්ලෝ එහෙම නොවෙන තැනට කටයුතු යොදා ගන්ටත් බලන්ට ඕනෑ. නැතුව හරි යන්නේ නෑ."

" අපෙ අම්මා කියන්නේ අහවල් දෙයක්‌ කරන්ට කියලද?"

" උඹෙ මලය තව ගෑනියෙක්‌ ගන්න එක වැළැක්‌කුවම සේරම හරිනේ කොල්ලෝ"

"අපෙ අම්මා මොනව ද මේ කියන්නේ එක බඩවැල කඩාගෙන ආව සහෝදරයට මොන හිතකින් එහෙම කරන්ටදෑ?"

"උඹලා දෙන්නම මගේ දරුවො වෙච්චි එකේ ඌට අහිතකින් මං කියපු දෙයක්‌ නෙවෙයි කොල්ලෝ. මං කීවේ අයියා මලෝ දෙන්නටම පිරිමැහෙන ගෑනියෙක්‌ ගෙදර ඉන්න එකේ මගේ ගුනේරිසාට කියල වෙනම එකියක්‌ ගෙනෙන්ට උවමනා නෑ කියලයි. උඹට දැන්වත් තේරුණා ද ලොකු පුතේ"

" ඒ මොන කතාවක්‌ ද අපේ අම්මා?" කිරිනේරිස්‌ කීවේ මහත් අසතුටකින් මෙන්ම විමතියෙන්ද ඇළලෙමින් ය.

"උඹලා නොදන්නව වුණාට එව්වා අමුතු කතා නෙවෙයි පුතේ අපේ එහෙම චාලිත්තරයක්‌ පැරැන්නේ ඉඳලාම තියෙනවා. අයියා මලෝලා අතරේ සමඟිය සමාදානේ හැමදාටම රැකෙන්ටයි ඉඩකඩං ටික කෑලිවලට නොකැඩෙන්ටයි තමයි අපේ මුතුන්මිත්තෝ ඒ චාලිත්තර ඇතිකරගෙන තියෙන්නේ" උන්දෑ එසේ කීවේ කට වරද්දා ගත් කිරිකෝඩු ඇත්තෙකුට නඩේ ගුරා විසින් කරුණු අවබෝධ කරදෙන විදිහේ භාරදූර ආකාරයටය.

"මට ඉඩං කඩං බෙදුනට කමක්‌ නෑ ඒ වුණාට මට මගේ ගෑනී නං තව එකෙකුට දෙන්ට බෑ." යි කියන්නට කිරිනේරිස්‌ගේ කට නලියැවේය. ඒත් අම්මා කියන දේකට එක හෙළාම විරුද්ධ වෙන පුරුද්දක්‌ ඔහුට තිබුණේ නැත. එබැවින් කිසිවක්‌ සිතා ගත නො හැකිව තුෂ්නිම්භූතව මහ පොළොව හිල්කරගෙන යන්නට මෙන් බැල්මක්‌ හෙළාගෙන ඔහු මොහොතක්‌ සිටියේය. ඉන්පසු ඔහු " අපෙ අම්මා දැන් ඕකට හීන් මැණිකෙයි අපේ මලයයි කැමතියි කිව්වද?" යි පරාජිත හඬින් ඇසුවේය.

"ඕක විතරක්‌ නෙවෙයි මං කොයියං දෙයක්‌වත් ඉස්‌සරවෙලාම අහන්නේ උඹෙන් නේ ලොකු පුතේ. පස්‌සෙ කාරණා කාරණා වටහලා දීල අනිත් උන් කැමති කරව ගන්ට බලමු." යි කී කළු මැණිකේ සුපුරුදු කපටි සිනහව මුවට නැගී එද්දී හොරැහින් ලොකු පුතාගේ මුහුණ බලාගෙන හීන්සීරුවේ හිඳගෙන සිටි මාගලෙන් නැගිට ගත්තාය.

"අව්ව ටික නං ගින්දර ගාණයි. අද හවස්‌ වෙනකන් වේලා ගත්තම හොඳටම ඇති. අයියටයි මල්ලිටයි හෙට පාහින්ට බැරි යැ එතකොට." කමතේ එළා ගත් බැතය කකුල් ගාමින් පිට පෙරළන ගමන් කළු මැණිකේ ලේලියට ඇසෙන්නට කීවාය.

"හැමෝගෙම වාගේ කුඹුරු කැපිලා හන්දා අහල පහල කට්‌ටියට අත්තමට එන්ටවත් පුළුවන් වෙයිද මන්දා. " හීන් මැණිකේගේ කතාවෙන් හැඟුනේ ඇගේ හිතේ කිසියම් බියක්‌ වූ බවය.

"කොච්චර වැඩ තිබුණත් අපේ වැඩකට මිනිස්‌සු නෑවිත් ඉන්නේ නෑ ළමයෝ. මොකද කවුරු නාවත් මයේ කොල්ලෝ දෙන්නා තනියම හරි වැඩේ අහව කරල මිස පස්‌ස නොබලන විත්තිය මේකේ කවුරුත් දන්නවා. මයේ ඔය පොඩි එකා ඉන්නවා නේද දුවේ ඇස්‌වහක්‌ කටවහක්‌ නෑ. "හා හා වරෙල්ලා වරෙල්ලා" කියලා කොච්චර අමාරු වැඩකට හරි අතගැහුවම ඔය හෝන්දු මාන්දු වෙලා අදිමදි කර කර හිටපු අනිත් එවුන්ගෙ හිත්වලටත් නිකම්ම පන එනවා. ඌට තියෙන්නේ එහෙම දහිරියවන්ත හිතක්‌ දරුවෝ. " යි ඇහි බැමි ඉහළට ඔසවා ලොකු කර ගත් දෑසින් හීන් මැණිකේගේ දෑස්‌ දෙසම බලාගෙන කළු මැණිකේ කීවේ " ඕන් වැඩේ" යනුවෙන් අගේ කරන්නට මෙන් හිස ද වනමින්ය. ඒ මොහොතේ හීන් මැණිකේගේ දෑස්‌ ද ලොකු වී දිලිසෙන්නට පටන් ගත්තේ තම මුවින් පිටවූ ඒ වදන්වලින් ලේලියගේ සිතට බාල පුතු ගුණේරිස්‌ පිළිබඳව විශ්මය මුසු ගෞරවයක්‌ එන්නක්‌ වූ බැවිනැයි කළුමැණිකා හොඳහැටි තේරුම් ගත්තාය.

දෙකට නැමූ පරණ චීත්තයක්‌ ඔළුවේ සිට පොරවාගෙන බැතය කකුල් ගාමින් සිටි කළු මැණිකා ඉන් ඉවත්ව දෙපයේ ඇලී තිබුණ වී ඇට ගැලවී යන ලෙසට කීප වරක්‌ දෙපා පොළොවේ හප්පමින් පැල තුළට රිංගා ගත්තාය. ඇය චීත්තය පැලේ ලීයක්‌ උඩට දැම්මේ " හප්පා ගිරීස්‌මේ සැර, උගුර කට සේරම වේලිලා. " යි කියාගෙන ය.

"තව කහට වතුර නං තියෙනවා අම්මා" යි හීන් මැණිකා කීවේ තේ පෝච්චිය සෙමින් සොලවා බලමින්ය.

" එහෙනං ටිකක්‌ බොමු ද කෙල්ලේ?" ඇය කීවේ සම වයසේ මිතුරියකට පානා වැනි ලෙන්ගතු සිනහවක්‌ මුවගට නංවාගෙන හීන් මැණිකා දෙස බලාගෙනය. ලේලිය විසින් දුන් කහට කෝප්පය අතට ගන්නා ගමන් ඇය දෙස සෙනෙහස උතුරා යන බැල්මක්‌ හෙළු කළුමැණිකා.

"උඹත් හුඟාක්‌ මහන්සි වුණා නේද පුතේ?" යි ඇසුවාය.

" නෑ අම්මා."

"කාරියක්‌ නෑ. කාරියක්‌ නෑ. තව කන්නයි දෙකයි නේ. ඉන්පස්‌සෙ ඉතින් ඒ හැටි මහන්සි වෙන්ට දෙයක්‌ තියෙන එකකුත් නෑ නේ." යි හීන් මැණිකා දෙස නොබලාම ඇය පහත් හඬින් එසේ කීවේ තමා දවන සංවේගයක්‌ සිත යට ඇති බව ලේලියට හැඟෙන අයුරින්ය.

"ඇයි අම්මා එහෙම කීවේ?" කළු මැණිකා අපේක්‍ෂා කළ තරමටම හින් මැණිකා කුතුහලයට පත්ව සිටියාය.

short1"නෑ මං කීවේ අයියා මලෝ දෙන්නට මේ දේවල් බෙදා වෙන්කර ගන්ට හිතෙයිවත්ද කියලා." යි කී ඇය මොහොතක්‌ නිහඬව සිටියේ යම් දිනක දේපළ දෙකට බෙදෙන බව හීන් මැණිකාගේ සිතට හරියටම පත්තියම් වන්නටය. ඉන්පසු " බෙදුණා කියන්නේ ඉතින් වෙන් වුණා ඈත් වුණා කියන එකම තමයි. එතකොට ඉතින් එකට හිටියා තරං සහෝදරයින්ගේ ඇල්මක්‌, සමඟියක්‌, සමාදානයක්‌ හිටින්නෙත් නෑ. හැබැයි ඉතින් ඉදිරිය ගැන හිතන මොළේ කල්පනා කරන ගෑනියෙකුට නං ඔය සේරම වින්නැහි වළක්‌වා ගන්ට බැරිකමකුත් නෑ. ගෑනු නුවණේ හැටි එහෙමයි." යි ඇය කීවාය.

මෙතෙක්‌ කල් වහෙන් ඔරෝ භාෂාවෙන් නැන්දම්මා විටින් විට තමාට යමක්‌ කියන බව හීන් මැණිකාට හැඟ තිබුණ ද ඒ කුමක්‌ දැයි ඇයට සිතා ගත නොහැකි විය. එහෙත් මෙදා නම් ඇය තමාට නො කියා කියන්නේ කුමක්‌දැයි ඇයට වෙනදාට වඩා පැහැදිලි විය. නැන්දම්මාගේ අදහසට ප්‍රතිචාර වශයෙන් කිසිවක්‌ අන්ද මන්ද වූ ඇගේ සිත තුළ පැන නැගුණේ නැත. එහෙත් පසුගිය කාලය තුළ සිදු වු නොයෙක්‌ සිදුවීම් එකින් එක ඇගේ සිත තුළ රූපණය වන්නට පටන් ගත්තාය.

රඹුක්‌කනින් තමා බැලීමට ආ මනමාලයා කෙබඳු අයෙක්‌ දැයි දැක ගන්නා තුරු හීන් මැණිකාගේ සිතට අස්‌වැසිල්ලක්‌ නොවීය. " එක වයසෙම වාගේ දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌කෙනෙක්‌ නං හොඳ හැඩයි. මගේ හිතේ එයා වෙන්ට ඇති."

"අනික්‌ එක්‌කෙනා කොහොමද නංගි කැතයිද?"

"කැතයිම නෙවෙයි මූණ එහෙම අර තරම්ම හරි නෑ වාගේ" තමා වෙනුවෙන් ඔත්තු බැලීමට ඉස්‌තෝප්පුවට යෑවූ ඉහළ ගෙදර නංගී හීන් මැණිකාට කීවේ එලෙසය. බුලත් හෙප්පුව පිළිගැන්වීමට ගිය ඇය කපුවා විසින් කිරිනේරිස්‌ වෙතට යොමු කරද්දී ගුණේරිස්‌ ද යන්තමට ඇගේ ඇස ගැසුණා මතකය. පසුව යෙහෙළියක්‌ හා කතා කරද්දී සුසුමක්‌ හෙලූ ඇයට "මොනව කරන්නද මගේ ලැබීමේ හැටි තමයි" යනුවෙන් කෙඳිරි ගෑවුණ හැටි ද මතකය. ඊට පෙර ද බොහෝ සෙයින්ම කඩවසම් ඉළන්දාරීන් දෙතුන් දෙනෙකුට ම බුලත් හෙප්පු පිළිගැන්වීමට තමාට අවස්‌ථාව උදා වුවත් එතරම් පෙනුමක්‌ නැති කිරිනේරිස්‌ වැන්නෙකුට තම දෙමාපියන්ගේ කැමැත්ත ලැබුණේ ඔහුගේ වත් පොහොසත්කම් ගැන ඔවුන් කල්පනා කළ නිසා බව හීන් මැණිකා දන්නීය. ඒ බව පියා ඇඟවූයේ

"අපේ දරුවට කාලා බීලා දුකක්‌ කරදරයක්‌ නැතුව ඉන්න පුළුවන් තැන" යනුවෙනි. ඔහුගේ අදහසට මවත් එකඟ වූයේ එක හෙළාමය.

එහෙත් විවාහයෙන් පසු සති මාසවලින් කාලය ඉක්‌ම ගියේ හීන් මැණිකාගේ පමණක්‌ නොව තවත් කීප දෙනෙකුගේම සිත තුළට දොම්නස කාන්දු වෙද්දීය. පසුගිය සතියේ ගමේ ගිය වෙලාවේ තමා බැලීමට නිවසට පැමිණි අසල්වැසි මිතුරිය සීලා " මොකද හීනීයේ තවම ලකුණක්‌වත් නැද්ද?" යි තම කුසය දෙස බලාගෙන ඇසු හැටි ඇයට මතකය. " එව්වට එච්චර ඉක්‌මන් වෙන්ට ඕනෑ නෑ." යි සිතේ තැවුල සඟවාගෙන ඇය ඊට පිළිතුරු දුන්නේ වෙන කිව හැකි දෙයක්‌ නොවුන නිසා වෙනි. එහෙත් තම නිරෝගීකම පිළිබඳව නම් ඇයට යන්තමින් හෝ සැක සංකාවක්‌ නොවීය.

මේ වන විට තම සැලැස්‌මේ තුනෙන් දෙපංගුවකටත් වඩා ජයග්‍රහණය කරා මෙහෙයවා සිටි කළුමැණිකා එහි අවසාන පියවර පිළිබඳව කල්පනා කරමින් සිටියාය. මෙවර ඇයගේ ගනුදෙනුව යෙදී ඇත්තේ තම බුද්ධිමත් බාල පුතු සමඟ බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු යෑයි තීරණය කළ ඇය සංවේදී තැනකින් කතාව පටන් ගන්නට සිතුවාය. මීයන් විසින් සිදුරු කරන ලද මල්ලක්‌ පිළිසකර කර ගැනීමට පදම්කොට වේලාගත් තලකොළ කීපයකුත් රැගෙන ඇය පොඩි පුතු හිඳගෙන සිටි පිල්කඩෙහිම පැත්තකින් හිඳ ගත්තේ ඔහු පමණක්‌ම නිවසේ සිටි වෙලාවකදීය.

"ඈ පොඩි පුතේ"

" අපේ අම්මා?"

" මගේ හිතට නං මේක මහ බරක්‌ දරුවෝ"

"මොකද්ද අපේ අම්මා?"

" වෙන මොකවත් නෙවෙයි පුතේ මේ කෙලී ආපහු ගෙදර යයි වත්ද කියලා"

"කවුද හීන් මැණිකා? අර මොකටද?"

" අර මොකටද කියන්නේ පුතේ දැන් ඔය කෙල්ල මෙහාට කැන්දාගෙන ඇවිත් මාස කීයක්‌ද? කෝ තවම දරු පැටියෙක්‌ ගැන ලකුණක්‌වත් නෑ නේ. ඒකිගේ වරදක්‌ අඩුපාඩුවක්‌ හන්දා නං වෙන්ට බෑ. එක වෙලාවකට කල්පනාවට වැටිලා ඉන්න විදිහට දමල ගහල යයිද කියලයි මට බය. ඒ කෙල්ල කලාතුරකින් හම්බවෙන ජාතියේ ලේලියක්‌. එහෙම හැඩරුව එහෙම ගතිගුණ තියෙන එකියක්‌ මේ යායේවත් ඉන්නවද? ලෝබ නැතුව ඒ වගේ කෙල්ලකට යන්ට අරින්ට පුළුවනෑ. අනික ගියොත් එහෙම අපේ පවුලට මහම මහ නිංගිරාවයි. නැද්ද මං අහන්නේ."

"ඉතින් එයා යනව නං අපි මක්‌ කරන්ටද අම්මා?"

බාල පුතුගේ කතාවට මවගෙන් ලැබුණ පිළිතුර වූයේ දිග සුසුමක්‌ පමණි. ඉන්පසු විනාඩි කීපයක්‌ ගෙවී ගියේ නිහඬවමය. යළිත් ඒ නිශ්ශබ්දතාව බිඳ හෙලුවේ ද කළු මැණිකාමය.

" ඔය කසාද බඳිනකොට යාළු මනමාලයා කියල කෙනෙක්‌ ඉන්න එකේ තේරුම උඹ දන්නවද පුතේ? බැරිවෙලාවත් මනමාලයාට හදිසි විපත්තියක්‌ වුණොත් අර මනමාලි භාර ගන්ට. යාළු මනමාලි ඉන්නෙත් ඒ තේරුමෙන්ම තමයි. කොයිමක්‌ කරලා හරි තමන්ගේ සහෝදරයාගේ වුණත් අඩුපාඩුවක්‌ ලෝකෙට එළිවෙන්ට ඉඩ නොදී නිංගාරාවෙන් බේරාගන්නට පුළුවන් නං ඒකේ නරකක්‌ නපුරක්‌ නෑ. මොන උපායෙන් හරි ඒකී මේ වහලේ යට නතර කර ගන්න එකමයි කාරිය පුතේ."

විමතියට පත් වූවාක්‌ මෙන් මුලදී බලා සිටි පොඩි පුතු ගුණේරිස්‌ තවත් කිසිවක්‌ නොකියා බර කල්පනාවකට වැටීම හොඳ ලකුණකැයි කළු මැණිකා සිතුවාය.

"ඕකී මහ සූස්‌තරකාරි, කොයි දේකටවත් කලබල නොවී දවස්‌ ගණනක්‌ හරි නිවිහැනිල්ලේ කල්පනා කරලා ගහන ගැටයක්‌ ආයේ ලිහනව බොරු." දවසක්‌ ලොකු අපුච්චා තමා ගැන කී කතාවක්‌ යළිත් සිහියට නැගෙත්ම ඈත වෙල් යාය දෙස බලා උන් කළු මැණිකාගේ මුවගට මද සිනහවක්‌ පහළ විය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »