Home / කෙටි කතා / සුදු පුතා යන්නම ගිහිං

සුදු පුතා යන්නම ගිහිං

2018-05-01 02:37:00       695
feature-top
අරවින්ද නින්දේ නොනින්දේ සිටිමින් කල්පනා කළේ, රුපියල් තිස්‌ දහසක මුදලක්‌ සතියක්‌ ඇතුළත කෙසේ සොයා ගැනීමට හැකිවේදොa කියායි. උසස්‌ පෙළ සමත් වීමට පෙර, පාසල් සමයේ සිටම සති අන්ත පුවත්පත්, වාර ප්‍රකාශන, කවි පිටු කෙටිකතා තීරු අතරේ අරවින්ද සත්‍යජිත් වීරසේකර නම පළ වූයේ ඔහුගේ කවි හා කෙටි කතා සමඟ ය. උසස්‌ පෙළ සමත් වී නිවසට වී සිටින්නට සිදුවීමෙන් පසු අරවින්දගේ කවි නිතර කවි පිටු අතරේද, අන්තර්ජාලයේ මුහුණු පොත හෙවත් බුකියේ ද දකින්නට ලැබුණේ සිය ගණන් මිතුරු මිතුරියන්ගේ කොමෙන්ටු සහිතවය. මුහුණු පොත මිතුරු මිතුරියන් බොහෝ දෙනකුට ඔහු අරා වුවත්, අම්මාටත් අක්‌කාටත් ඔහු සුදු පුතා ය. සුදු මල්ලීය. අරවින්දගේ අක්‌කා ඔහුට වඩා එක්‌ අවුරුද්දකින් වැඩිමල් තලෙළු පාට යුවතියකි. අරවින්ද පියුමිට වඩා සුදු පැහැයෙන් යුතු වූ නිසා ඔහු 'සුදු පුතා' වන්නට ඇතැයි පියුමිට සිතුණු වාර බොහෝය. අම්මා සුදු පුතා නමින් අමතන බැවින් අක්‌කාට ඔහු 'සුදු මල්ලී' වූයේය. සුදු මල්ලීට අක්‌කාත්, අම්මාත් හැර අන් කිසිවෙකුත් නොවිණ. අරවින්දගේ තාත්තා මියගොස්‌ දැනට වසර දෙකක්‌ පමණ වේ යෑයි ඔහුට සිතේ. කලක්‌ දියවැඩියාවෙන් පෙළුණු සිරිමෙවන් ජයසේකර මියගියේ වකුගඩු නරක්‌ වීමෙන් බවයි වෛද්‍යමතය වූයේ. පනස්‌ වියට පා තබන සමයෙහිම, අරවින්දත්, පියුමිත්, පද්මිණිත් තනිකර දමා සිරිමෙවන් සඳහටම දෙනෙත් පියා ගත්තේ ඔවුන් තිදෙනා ප්‍රශ්න වැලකට පැටලීමේ ආරම්භයක්‌ සටහන් කරමිනි.
සිරිමෙවන් මිය යනවිට රැකියාව කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිරිමි උපස්‌ථායකයකු ලෙස ය. ජාතික රෝහල ඔහුගේ සේවා ස්‌ථානය වූයේය. පන්නිපිටිය, ඇරැව්වල පාරේ, කුලී ගෙදරක ජීවත් වූයේය. තමන්ගේම කියා ගෙයක්‌ දොරක්‌ හදා ගැනීමේ සිහිනයක සිරිමෙවන් ජීවත් වුවත්, එය සැබෑ කරගැනීමට පෙරාතුවම ඔහු ජීවිතයෙන් සමුගත්තේ පද්මිණීත්, පියුමිත්, අරවින්දත් සෝ සයුරේ මෙන්ම දුක්‌ අඳුරක ද ගිල්වමිනි. සිරිමෙවන්ගේ මාසික වැටුපෙන් පමණක්‌ ජීවිතය එදා වේල සරිකර ගැනීමට පුරුදුව සිටි ඔවුන් තිදෙනාට වෙනත් ලෝකයක්‌ නොවිණ. දිනපතා හවසට බයිසිකලයෙන් ගෙදර පැමිණෙන සිරිමෙවන් ඉඳහිට දවස රෑ බෝවී ගෙදර එන්නේ අධික ලෙස බීමතින් යුතුවය. "දැන්වත් ඔය බීම ටිකක්‌ අඩු කරන්න බැලුවොත් නරකද? උස්‌මහත් වෙච්ච ගෑනු ළමයෙකුත් ඉන්න එකේ.." පද්මිණීගේ පැමිණිල්ල සිරිමෙවන්ට අදෝනාවක්‌ ද නොවූයේ නොවේ. ගෙදර දොර වියදම, වතුර බිල්, ලයිට්‌ බිල්, පියුමිගේත්, අරවින්දගේත්, පාසල් ගමන් වියදම්, .... පියවා ගැනීමට සිරිමෙවන්ගේ මාසික වැටුප කිසිසේත්ම නොපෑහුණු බව පද්මිණී දැන සිටියාය. උසස්‌ පෙළ යන්තමින් සමත් වුණු පියුමිට විශ්වවිද්‍යාලයකට යැමේ සිහිනයක්‌ නොවිණ. සිරිමෙවන් ට හෝ පද්මිණීට ද දරුවන් පිළිබඳ එවැනි සිහිනයක්‌ නොවුණි. රෝහලේ සේවයට ආ මුල් කාලයේ සිරිමෙවන් නවාතැන් ගෙන සිටියේ, බොරැල්ල, මොඩල්ෆාම් පාරේ, පේළි ගෙදරක කුඩා කාමරයක ය. ගෙවල් පේළියේ කොනක පද්මිණීලා පදිංචි වී සිටියහ. පාසල් වියේ සිටි ඇහැට කනට පෙනෙන නාඹර ගැටිස්‌සියක වූ පද්මිණී, සිරිමෙවන්ගේ ඇසට බොහෝ විට හසුවන්නේ, මුහුණ සෝදන්නට පයිප්පයට යන අවස්‌ථාවලදීය. තාරුණ්‍යයේ මල් සමයේ සිටි සිරිමෙවන්ගේ රාගික බැල්මෙන් ගැලවී සිටින්නට නොහැකි වූ අවස්‌ථාවක පද්මිණි ඔහුට කතා කළාය.

"මොකෝ කන්න වගේ බලන්නෙ හැම තිස්‌සෙම?" අඳුරු වැටුණු හැන්දැවක පද්මිණි, උඩුකය නිරුවත්ව තුවායක්‌ ගෙල ඔතාගෙන පැමිණ සිරිමෙවන් ගෙන් විමසුවාය.

"කන්න නෙවි, දැක්‌කම ගිලින්නයි හිතෙන්නේ.."

"ඒක යස වැඩක්‌නේ.. කොහේවත් ඉන්න මාව ගිලින්න හදන්නෙ... ඒ මොන පිස්‌සුවකටද?

"ඉන්නවකෙ බලාගෙන, දවසක මම තමුසෙව ගිලින්නෙ නැද්ද කියලා..."

"අනේ මේ මට මගේ පාඩුවෙ ඉන්න ඇරලා ගිලිsන්න කවුරු හරි හොයා ගන්න එකයි තියෙන්නේ. ඔය ඉස්‌පිරිතාලෙ ඉන්නව නේද ඕන තරම් ඇටෙන්ඩන්ට්‌ නෝනලා... ලස්‌සන මූණකට එහෙම තියෙන..."

"ලස්‌සන මූණ කට විතරක්‌ මොකටද පද්මි, ලස්‌සන ඇඟපතක්‌ තියෙන්න එපායෑ..."

"හා! හා! ඔය කතාව දැන් ඇති. ආපහු මාව ගිලින්න වගේ බලන් හිටියොත් අපේ අයියට කියලා අන්නනවා දෙකක්‌".

"බයවෙයි මෙයාගෙ අයියට. කවුද එයා මේ වත්ත අයිතිකාරයද? අනේ යනව යන්න.... ඒක නෙවි මෙන්න මම ඔයාට ගෙනාව ඇපල් ගෙඩියක්‌..."

වාට්‌ටුවෙන් ටිකට්‌ කපාගෙන ගෙදර යන රෝගියකු ඉඳහිට, ඔවුන් ළඟ ඉතිරි වූ ඇපල් ගෙඩියක්‌, මුද්දරප්පලමක්‌, උපස්‌ථායකයන්ට දීමට පුරුදුවී සිටී.

"ආ! ගන්න ළමයෝ. ඕකත් කාල අයියට කියලා මට අන්නවන්න බැරියෑ."

පද්මිණී, මඳක්‌ කෝල නෙතින් බලා සිරිමෙවන් අතෙහි වූ ඇපල් ගෙඩිය උදුරා ගත්තාය. ඔහු ඒ අතරෙහි ඇගේ අත මිරිකුවේය.

"වල් මිනිහා" පද්මිණී ඔහු දෙස ඔහුගේ ඇස්‌ කඩාගෙන යන බැල්මක්‌ හෙළමින් කීවාය.

"පොඩ්ඩක්‌ මෙහාට එන්න." සිරිමෙන් ඇයට කතා කළේය. ඈ ඔහු වෙතට ළංවෙත්ම ඔහු ඇගේ නිතඹ මිරිකුවේය.

"ජරා සතා...! හිටපන් මම අපේ අයියට කියන්න..."

වත්තේ සංගීත සංදර්ශනයට පද්මිණීට ද සින්දුවක්‌ කියන්නැයි ආරාධනය කළේ අවුරුදු පතා, සංගීතය සංවිධාන කරන ලෙස්‌ලි අයියා ය.

"පද්මිණී නංගි මෙදා පාර වත්තේ සංගීතෙට සින්දුවක්‌ කියමු නේද? ඉස්‌කෝලෙ කප් ගහලා වැඩක්‌ තියෙනවැයි, වත්තේ එවුනුත් දැනගන්න එපායෑ නංගි කවුද කියලා."

පද්මිණී වත්තේ සංගීතය දවසේ සින්දු කියන බව සිරිමෙවන්ට කීවේ වැරදිලා හෝ ඔහු රෑ ඩියුටි දා ගනීවි යන බියෙනි. ඈ සින්දු කියනවා ඔහුට අසන්නට සැලැස්‌විය යුතු යෑයි ඈ සිතුවාය.

"ඒයි ජරා සතා.... එනව නේද මගේ සින්දු අහන්න?" දිනක්‌ රාත්‍රියේ පයිප්පය ළඟදි සිරිමෙවන්ගෙන් ඇසුවාය.

"එනවා... හැබැයි ඊට ඉස්‌සරවෙලා මාත් එක්‌ක පිචර් එකක්‌ බලන්න එන්න ඕන. අනිද්ද මම නයිට්‌. උදේ බලමු ලිඩෝ එකේ හින්දි ෆිල්ම් එක. මොකද කියන්නේ?"

"මගේ අම්මෝ! අයියට එහෙම අහුවුණොත් මාව විනාසයි."

short1"ඒක හරි වැඩක්‌නේ. මොකද ඔයා පොඩි ළමයෙක්‌යෑ දැන්. ජම්බු ගහෙනුත් වැටිල කොච්චර කල්ද?"

පද්මිණීට ඒ කතාවට සිනහ ගියාය. සිරිමෙවන් සමඟ ලිඩෝ බැල්කනියේ කළුවරේ ගුලිවි බැලූ හින්දි චිත්‍රපටයේ කතාව දෙන්නටම මතක නැත. ඉඳහිට ඇසුණු ගීතයකින් ඔවුන් දෙදෙනාගේ ආදර ලෝකයට බාධා වුවද, හෝරා දෙකක්‌ පද්මිණී, සිරිමෙවන්ගේ උණුසුමෙහි ද, සිරිමෙවන් ඇගේ උණුසුමෙහි ද ගිලී සිටියහ. ශාලාවෙන් එළියට ආවේ, හෝරා දෙකකට පෙර ඇතුළු වූ පද්මිණී නොව, නිය පහරවල්, ඉදිමුණු තොල්, ගෙල වටේ සැපුම් ලකුණු සහිත බාගෙට මැලවුණු පද්මිණී කෙනෙකි.

"ආයෙත් නම් එන්නෙ නෑ පික්‌චර් බලන්න. බලනව මගෙ හැටි. තමුසෙ කරපු දේවල්. පෝරිසාදයෙක්‌ වගේ,"

"හරි හරි.... අනික්‌ සැරේ අපි දෙන්න රූම් එකකට යමුකෝ. එතකොට ඔය හෝල් එකේ වගේ එක එකාට පේන්නෙ නෑනෙ..."

චිත්‍රපට ශාලාවෙන් ගෙස්‌ට්‌ හවුස්‌ දක්‌වාද දික්‌වුණු සිරිමෙවන්ගේ ආදරය පද්මිණීගේ මවගේ මෙන්ම සහෝදරයාගේද කනට වැටෙන්නට කල් ගත නොවිණ. සංගීතය දා රැයේ පද්මිණීගේ ගීත රස විඳිමින් සිටි මොහොතේ ඇගේ සොහොයුරා සිරිමෙවන්ට පළමු තර්ජනය කළේය.

"මේ අයිසෙ! මම තමුසෙට හොඳින් කියන්නේ. මේ රත්නෙ නරක මිනිහ කියන්නෙපා හරිද? අපේ නංගිත් එක්‌ක තියෙන ගනුදෙනුව ඉක්‌මනට ඉවර කරන්න ඕන හරිද ලොක්‌කා."

සිරිමෙවන්ගේ කමිස කොලරයෙන් අල්ලා රත්නේ තර්ජනය කළේ සිරිමෙවන්ගේ හිතෙහි භීතිය අවුළුවමිනි.

"ඔන්න පද්මි මට නම් බෑ ඔයාගෙ අයියට බයේ ඔයා හම්බ නොවී ඉන්න. මම අපේ අම්මටත් කියලා තියෙන්නෙ ඔයා ගැන. අපි දෙන්න හෙට අනිද්දම බැඳලා ගමේ ගිහින් ඉම්මු ටික දවසක්‌. මට සුමානයක්‌ විතර ලීව් ගත්තෑකි.."

යන්තම් දහ අට සම්පූර්ණ වෙමින් සිටි පද්මිණි, සිරිමෙවන් සමඟ විවාහ වූයේ විශේෂ බලපත්‍රයකිනි. විවාහවී පසුදිනම ඈ සිරිමෙන් සමඟ ඔහුගේ ගමට ගියාය. රත්නේ දණ්‌ඩෙන් පහර කෑ සර්පයකු සේ කෝප වි සිරිමෙවන් සොයාගමට ගියද ඔහුගේ තර්ජන හමුවේ සිරිමෙවන් බිය නොවූයේ දැන් ඈ ඔහුගේ නීත්‍යානුකූළ බිරිඳ බව පවසමිනි. රත්නේ කොළඹ පැමිණ මවට කියා තිබුණේ "පද්මිණී ඒමිනිහ එක්‌ක සන්තෝසෙන් ඉන්නව අම්මේ කියායි."

සිරිමෙවන් මිතුරෙකුගේ උදව්වෙන් පන්නිපිටියේ, ඇරැව්වල පාරේ කුලී ගෙදර සොයා ගත්තේ පියුමි ලැබෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. වරින්වර සිරිමෙවන්ගේ ගමේ ගෙදර ද, ඉඳහිට කොළඹ පේලි ගෙදර ද සිටි ඔවුන් දෙදෙනා දරුවා ලැබෙන කොට වෙනම ගෙදරක ජීවත් විය යුතු යෑයි තීරණය කර තිබුණි. පියුමි ලැබී අවුරුද්දකින් පුතු අරවින්ද ද ඔවුන්ගේ පවුලට එකතු වූයේය. රාජකාරි වේලාවෙන් පිටත, පුද්ගලිකව රෝගීන් බලා ගැනීමෙන් ලැබුණු අමතර ආදායමින් ඔවුන්ගේ ඕනෑකම් ඉටු වුවද, දරුවන් ලොකු මහත් වී ඉගෙන ගැනීම් සඳහා මිල මුදල් අවශ්‍ය වූ කල, රැකියාවෙන් ලැබුණු මුදල කිසිසේත්ම සෑහුණේ නැත. සිරිමෙවන් හඳුනාගත් ව්‍යාපාරික රෝගී මහතෙකුගේ මාර්ගයෙන් පද්මිණීට ද පුද්ගලික රෝහලක උපස්‌ථායිකාවක්‌ ලෙස රැකියාවක්‌ ලැබීම විශාල සහනයක්‌ වූ බව ඔවුන් දෙදෙනා සිහිපත් කළහ. එහෙත්, දෛවය ඔවුන්ගේ සතුටට බාධා කළේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීම් කටයුතුවලට ද බලපෑම් ඇති කරමිනි. දියණියට මෙන්ම පුතුට ද පාසලේ වියදම්වලට අමතරව උපකාරක පන්ති සඳහා සිරිමෙවන් හා පද්මිණීගේ වැටුපෙන් විශාල කොටසක්‌ වෙන්වදේදී ගේ දොර වියදම් සඳහා අවශ්‍ය මූලික මුදල් සොයා ගැනීමද එන්න එන්නම දුෂ්කර විය. දියවැඩියාව සිරිමෙවන් සොයාගෙන විත් කරදර කරන්නට පටන් ගත්තේ වකුගඩු දක්‌වා ද අහිතකර බලපෑම් කරමිනි. ආරෝග්‍ය ශාලාවේ සේවය කළ ද, රෝග තත්ත්වයෙන් ගැලවීමට සිරිමෙවන් අපොහොසත් වූයේ, බිරිඳ හා දරුවන් දෙදෙනා ද තනිකොට ජීවිතයට ආයුබෝවන් කීමට සිදුවීමෙනි. පද්මිණී බලා කියා ගත්.ධනවත් රෝගී මහත්මයකුගේ උදව්වෙන්, ඇඟලුම් කම්හලක සුළු රැකියාවක්‌ ලබා ගන්නට පියුමි සමත් වූවාය. අරවින්ද ද උසස්‌ පෙළ සමත් වී රැකියා දඩයමෙහි සිටිමින් කවි, කෙටිකතා පුවත්පත්වලට, මුහුණු පොතට ලියන්ට පටන් ගත්තේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදැරුවහොත් ඔහුගේ නිර්මාණ හැකියාවත් සමග අරවින්දට පුවත්පත් ආයතනයක පුහුණුවන්නෙක්‌ ලෙස හෝ රැකියාවක්‌ සොයා ගැනීමට හැකිවේ යෑයි ඔහු කල්පනා කළේය. එහෙත්, එක්‌වර ගෙවිය යුතු රුපියල් තිස්‌ දහසක්‌ කෙසේ සොයාගත හැකිද? ඔහුට උදව් කළ හැකි කෙනෙක්‌ වේද? අරවින්ද අතරමං වී ඒමේ අත පැද්දෙන ඔරුවක්‌ බවට පත් විය. අක්‌කාගෙන් හෝ අම්මාගෙන් ඉල්ලාගත හැකි මුදලක්‌ ද රුපියල් තිස්‌ දහසක්‌?

අරවින්දගේa නින්ද කැඩුණේ වාහනයක්‌ නවත්වා යළි පණ ගන්වා යන හඬිනි. ගෙරදට ආවේ අම්මා වන්නට ඇතැයි ඔහු නිගමනය කළේය. උදේ කාලයේ පෞද්ගලික රෝහලක සේවය කරන ඈ, රාත්‍රි කාලයේදී ද පෞද්ගලිකව රෝගීනට සාත්තු කරන්නේ දැයි අරවින්ද ඇගෙන් විමසුයේ නැත. කාලයක සිට ඈ රෑ බෝ වී ගෙදර එන බව පමණි ඔහු දැන සිටියේ. අක්‌කා වුව ඒ පිළිබඳ දැන සිටියා යෑයි අරවින්දට නොසිතිණි. පසුදා උදෑසන ඇඟලුම් කම්හලට යැමට පෙර අරවින්ද, පියුමි ඇමතුවේය.

"ඒයි කොහොමෙයි තිස්‌ දාහක්‌ හොයාගන්නේ...... බැරිද ලෝන් එක්‌කවත් ගන්න...?

"මොනවද මල්ලි මේ කියන්නේ? කොහේ තියෙන තිස්‌ දාස්‌ ගණන් හොයන්නද මම? අම්මට කිව්වේ නෑ?"

"අම්ම ළඟ කොයින්ද සල්ලි?"

"ඒ වුණත් අහල බලන්නකො"

"ඒකතමයි මෙදා පාර මිස්‌ වුණොත් ආපසු අවුරුද්දක්‌ම බලාගෙන ඉන්න වෙනවා..."අරවින්ද කීවේය.

"අම්ම ළඟ නෑ නේද තිස්‌දාහක්‌?" අරවින්දගේ ප්‍රශ්නයෙන් පද්මිණී තිගැස්‌සුණාය. "තිස්‌ දාහක්‌?" එක පාරටම ගෙවන එකනේ ප්‍රශ්නෙ..ටික දොහක්‌ බලමුකො.. තව සතියක්‌ විතර තියෙනවානේ...........

දිවා කාලයේ සාත්තු නිවාසයේද, බොහෝ රාත්‍රි කාලයේ පෞද්ගලික රෝහලක රෝගියකුගේ සාත්තු සත්කාරයෙන්ද අමතර ආදායමක්‌ සොයාගත් පද්මිණීට මුදල් වැඩිපුර ලැබෙන අලුත් රැකියාවක්‌ ලැබුණේ දැන් මාසයකට පමණ පෙරය. රෝගියකුට සාත්තු කිරීමකට වඩා වෙහෙස වීමට නොමැති එහෙත්, රාත්‍රි කාලයම මිඩංගු කළ යුතු අලුත් රැකියාවට මගපෑදුණේ, ඇයට සාත්තුකරන්නට සිදුවූ සමාගම් සමූහයක්‌ සතු ධනවත් ව්‍යාපාරික මහතෙකු ඔස්‌සේ ය. දරුවන් දෙදෙනකුගේ මවක වුවත්, පද්මිණීගේ පෙරදා රූප සොබාව මැකී ගිය ලකුණකුදු පෙනෙන්නට නොතිබිණ. ඇගේ කතාබහ, සිනහව, කටහඬ, ගමන් ලතාව,ඈ හතළිස්‌ වියට ආසන්න ගැහැනියකගේ ලකුණු සටහන් නොකළාය . පිරිමියෙකුගේ ඇස සොරා ගන්නා, සිත ආකර්ෂණය කරන සිරුරක්‌ ඈ සතු වූවාය. ඇගේ අලුත් රැකියාවට අයත් වූයේ රාත්‍රී කැරෝකේ සමාජ ශාලාවකට එන ගනුදෙනුකරුවන් සඳහා කැපවුණු යුවතියන්ගේ භාරකාරිය ලෙස කටයුතු කිරීමය. ගී ගයන්නට සමත් පද්මිණීට ගීත ලොවක්‌ මැද ජීවත් වන්නට ලැබීම ආස්‌වාදජනක වුවත්, රෑ මැදියම තෙක්‌ නිදි වැරීම වෙහෙසකර වූයේ දිවා කාලයේද සේවය කොට පැමිණෙන බැවිනි.

විශ්වවිද්‍යාලයට මුදල් ගෙවන්නට නියමිතව තිබූ අවසාන දිනට පෙර, පද්මිණී. අරවින්දට රුපියල් තිස්‌දහසක්‌ දුන්නාය.

"මම මේ දවස්‌වල බලාගන්න මහත්තයට කිව්වම, එයා සල්ලි දුන්නා. ඉගෙන ගන්න ළමයකුට උදව්වක්‌ කරන්න ලැබෙන එක පිනක්‌ කියලත් කිව්වා."

"එතකොට අම්ම කොහොමද මේක ගෙවන්නේ?"

"එයාට වැඩ කරන දවස්‌වලට ගෙවන්න තියෙන මුදලින් අඩු කර ගන්න පුළුවන් කියලා කිව්වා..."

"ඒත් අම්මේ තිස්‌ දාහක්‌ කැපෙන්න කොච්චර දවසක්‌ වැඩ කරන්න වෙයිද?"

"මොනව කරන්නද? එයා ළඟ වැඩ ඉවර වුණොත් වෙන කෙනකුගෙන් හම්බ වෙන ගාණකින් හරි ගෙවන්න බැරුවයෑ. දැන් ඕක ගෙවල පන්ති යන්නකෝ."

අරවින්දගේ ඉහෙ මලක්‌ පිපුණි. ඩිප්ලෝමාවේ දේශකයන් අතර ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ඇදුරන්, ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් හා ඔහු නිතර කාව්‍ය නිර්මාණ, කෙටිකතා ඉදිරිපත් කරනු ලබන පුවත්පතෙහි විශේෂාංග සංස්‌කාරවරයාගේ නම ද ආචාර්ය මණ්‌ඩලය අතර දකින්නට ලැබීම අරවින්ද ලද වාසනාවකැයි ඔහුට සිතින. පාඨමාලාව ආරම්භක උත්සවයට ආචාර්ය මණ්‌ඩලයේ බොහෝ දෙනකු පැමිණ සිටි අතර. තේ පානය අතරතුර,ඔවුන් සමග කතාබහ කොට දැන ඇඳින ගැනීමටත්, පාඨමාලාවට තෝරාගත් සිසු සිසුවියන්ට අවස්‌ථාව සැලසුණෙන් අරවින්ද ඔහුගේ කෙටිකතා කවි පළවන සති අන්ත පුවත්පතෙහි කර්තෘවරයා සොයාගොස්‌ හඳුනා ගන්නට මගක්‌ පාදා ගත්තේය.

"සර් මම අරවින්ද සත්‍යජිත්. කවි පිටුවට කවි එවන්නෙ. ආර්ටිකල් එවන්නෙ..

"හා! හා! මේ අරවින්ද සත්‍යජිත් ද,මම හිතුවෙ ටිකක්‌ වයසක හාදයෙක්‌ කියලා... මොනවද කරන්නෙ ලියන එක විතරද?"

"ඔව් සර්! දැනට රස්‌සාවක්‌ නෑ. තාත්තා නැතිවෙලා වැඩි දවසක්‌ නෑ. අක්‌කයි මායි අම්මයි විතරයි ඉන්නේ... .."

"කොහේද ඉන්නව කිව්වේ..?"

"මම පන්නිපිටියෙ ඉන්නෙ සර්..."

"අරවින්ද කැමැති නම් ලියපු කියපුවයි, අධ්‍යාපන සහතිකයි අරගෙන අපේ ඔෆිස්‌ එකට එන්නකො අනිද්දට. අපි ටේ්‍රනි කෙනෙක්‌ හොය හොයා ඉන්නේ. රෑ වෙනකල් වැඩ කරන්න. පිට පළාත්වලට එහෙම යන්න ඕන වුණොත් යන්න පුළුවන් නේද?

"අපොයි සර්... ඒක නම් ප්‍රශ්නයක්‌ නෙවි. මම හරියට කැමැතියි ඇවිදින්න..."

අරවින්දට "ජනලෝකය" සතිඅන්ත පුවත්පතෙහි පුහුණු ලේඛකයකු වන්නට ලැබුණේ අම්මා කෙසේ හෝ සොයා දුන් මුදල නිසා නොවේදැයි කල්පනා කළේය. 'ජන ලෝකය' කර්තෘ විමලසිරි ජයසිංහ මහතා මැදිවියත් ඉක්‌ම වූ උස මහත පුද්ගලයෙකි. නිතර දුම් බීමට පුරුදු වූ අයෙක්‌ බව ඔහු දුටුවේය. මත්පැන් පානය කරන්නෙක්‌ බවද පැවසුයේ කර්තෘ මණ්‌ඩලයේ සගයන් ය. අරවින්දට තමන්ගේ නමින් මෙන්ම, නොනමින් ද ලිපි, විශේෂාංග ලියන්නට පුරුදු කර වන්නැයි භාරදෙන ලද්දේ විශේෂාංග කර්තෘ ජයදේව රණසිංහ මහතාටය. ඔහු තරුණ පෙනුමකින් යුත්, නිතර විහිළු තහළුවට කැමැති, සුන්දර චරිතයකි. අරවින්ද ඉතා ඉක්‌මනින් ඔහු හා කුලුපග වූයේ, ඉඳහිට කාර්යාල වේලාවෙන් පසු කොටුවේ භෝජනාගාරයකට ගොස්‌ බීර බෝතලයක්‌ ද බීමට පුරුදු වූවේය. ජයදේව අරක්‌කු මිස බීර බීමට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත.

"අරවින්ද තමුසෙ ගිහිල්ල තියෙනවද කැරෝකෙ බාර්, කැරොකෙ ක්‌ලබ්වලට? ඔය රෑට සින්දු කියන්නෙ කෙල්ලොත් එක්‌ක ..."

"අනේ නෑ ජයදේව මහත්තයා. මම අහල තියෙනවා නයිට්‌ ක්‌ලබ් ගැන.."

"නෑ...නෑ.. මේව නයිට්‌ ක්‌ලබ් නෙවී. මේවයේ කාමර තියෙනවා . ලොකු ටීවී. ස්‌ක්‍රීන් තියෙනවා ඒකෙ සින්දු දානවා. විෂුවල් එක්‌ක. මිනිස්‌සු දෙතුන් දෙනා එකතුවෙලා ඒ සින්දු කියනවා. ක්‌ලබ් එකේ ගෑනු ළමයෙක්‌ ළඟින් තියාගෙන එයත් එක්‌ක සින්දු කියන ගමන් දන්නැද්ද? හැබැයි පැකේඡ් එකකට හතර දෙනෙක්‌වත් ඉන්න ඕන..."

අරවින්ද ජයදේව මහත්තයාගේ කැරොකෙ වර්ණනාවෙන් ඔළුව කොලොප්පන් කර ගත්තේ ය. කැරොකෙ ක්‌ලබ් එකකට යන්නට ඇත්නම් යෑයි ඔහුට කල්පනා විය.

හැබැයි ඉතින් ලොකු ගණනක්‌ ගෙවන්න ඕන. සින්දු කියන ගමන් ඕඩර් කරන ඩි්‍රන්ක්‌ස්‌වලටත් ගෙවන්න ඕන... ලස්‌සන කෙල්ලො සෙට්‌ එකක්‌ තියෙන තැනක්‌ තියෙනවා පාක්‌ රෝඩ් එකේ. ඉන්නවකො දවසක මම තමුසෙව එක්‌ක යන්න..."

ජයදේව මහත්තයා අරවින්ද සමඟ ඔහුට පුරුදු නිතර යන එන කැරොකෙ ක්‌ලබ් එකකට ගියේ තමන් සමග මිතුරෙකු ද ඉන්න, බව පිළිගැනීමේ කවුන්ටරයේ මිතුරියට පවසමිනි. අඩ අඳුර, ගී හඬ, සිගරැට්‌ දුම, වීදුරු ගැටෙන හඬ, පුළුල් ටී වී. තිර සහිත කාමර, අරවින්ද කිසි දිනෙක නොදුටු දසුන් විය.

"අද අපි දෙන්න විතරයි. මම වෙනම පැකේඡ් එකක්‌ හදා ගත්තා තමුසෙගෙ පාට්‌නර් එක්‌ක සින්දු කියනවා. එයා සපෝට්‌ කරයි තමුසෙට. මම මගේ එක්‌කෙනත් එක්‌ක ඉන්නෙ. මම ඉන්නව කියල ගණන් ගන්න එපා. බීර බෝතලයක්‌ මම ඕඩර් කළා. ඒ ළමය මොනවද බොන්නෙ කියල අහල ඕඩර් කරනව මම බිල සෙට්‌ල් කරන්නම්.."

අරවින්දට කිසිවක්‌ අදහාගන්නට නොහැකිය. කුමක්‌ කරන්න ද? කුමක්‌ නොකරන්නද? සින්දු කියන්නෙ කොහොමද? කිසිවක්‌ පිළිබඳ පුරුද්දක්‌ නැති ඔහු අන්දමන්දව සිටියදී ළැමෙන් අඩකටත් වඩා නිරුවත්, ඉණෙන් අඟල් කිහිපයක්‌ පහළට තරම් කෙටි සායක්‌ හැඳගත් යුවතියක්‌ පැමිණ ඔහු අසලින්ම වාඩි වූවාය. එහා කෙළවර ජයදේව මහත්තයා ය.

"මට කෝක්‌ එකක්‌ ඕන.." ඔහුගේ ගෙල වටා අත යවමින් යුවතිය කියන්නීය.

"මොනවද අහන්න කැමැති සින්දු. රූකාන්ත, චන්ද්‍රලේඛා ජෝතිපාල, වික්‌ටර්.." ඈ තව තවත් අරවින්දට තුරුළු වී සිටී. ඇගේ වත්සුණු සුවඳට මුසුවූ විලවුන් සුවඳක්‌ අරවින්දගේ සිත මත් කරයි.

"අද ෆස්‌ට්‌ ටයිම් ද කැරොකෙ ආවෙ... ආපෝ ඔහොම බෑ... සින්දු තෝරල කියමු. මට තව කස්‌ටමර් කෙනෙක්‌ ඉන්නව පැයකින්. අර බලන්නකෝ ඔයාගෙ යාළුවගෙ වැඩ.." ඈ අරවින්දට ජයදේව පෙන්වයි. ඈ ගීතයක්‌ තෝරාගෙන වාදනය කරන්නීය. ටී. වී. තිරයේ පෙම්වතා හා පෙම්වතියගේ රූප රාමුවකි.

"ගන්න මේ මයික්‌ එක. දැන් මාත් එක්‌ක ප්ලේ වෙන සින්දුව කියන්න... අර ඔයාගෙ යාළුවා. එයා නම් සින්දු කියන්නෙ නෑ. පේනවනේ එයාගේ වැඩ.."

"ආදරේ සිහිනයකැයි කිව්වේ එදා කවුද සුදොa

ආදරේ ජීවිතයක්‌ එළිය කළා නේද සුදොa.."

යුවතිය, අරවින්දගේ කමිසයේ බොත්තමක්‌ විවර කරමින් ඔහුගේ පපුව අතගාන අතරේ ගයන්නීය.

"කියන්න සින්දුව..."

අරවින්ද කැමැතිම ගීතයක්‌ බැවින් ගායනය සමඟ එක්‌වී තාලයට ගයන්නට පටන් ගත්තේය. ඔහු සෙමින් යුවතියගේ මුහුණ සිප ගත්තේය. ගෙලට හාදුවක්‌ දුන්නේය. බීර මතින් ඇගේ දෙතොලට දෙතොල ළං කලත් ඈ ඊට ඉඩ නොදුන්නාය.

"අපෝ ඒවා බෑ.. මැඩම් දැක්‌කොත්... ඕනනම් වෙන වෙලාවක මීට්‌ වෙමු. මම දෙන්නම් මගේ කන්ටෑක්‌ට්‌ එක..." ඈ තවත් ආදර ගීයක්‌ තිරයේ දිස්‌වන්නට හැරියාය.. "සුවඳ දැනී ... දැනී දැනෙනවා... උදා හිරු එළියේ..."

"මම ආසම සින්දුවක්‌.." කෝල ගතිය මඳක්‌ පහ වූ අරවින්ද ඈ තුරුළට ගනිමින් කියයි.

"මොකක්‌ද ඔයාගෙ නම?"

"මම විචිත්‍රා.... විචී කියලා කස්‌ටමර්ස්‌ලා කියන්නේ.. ඔයා?"

"මම අරවින්ද."

"ඒක තමයි.. විරාගෙ අරවින්ද වගේ.. බයයි වගේ.."

short2ඈ සමග කතාබහේදී අරවින්දට දැන ගන්නට ලැබුණේ විචිත්‍රා සරසවි යන්නට ලකුණක්‌ දෙකක්‌ අඩු වීමෙන්. සරසවි සිහිනය අත්හැර රැකියාවක්‌ සොයන අතරේ කැරොකෙ රැකියාව ලැබුණු බවයි. ඇගේ තරුණ වයස, රූමත් බව, පිරිමින් ඇදගන්නා අඟපසඟ, ගී ගයන්නට තිබුණු හැකියාව, රැකියාව ලැබීමේ සුදුසුකම් විය. රාත්‍රියකට සමාජ ශාලාවෙන් ගෙවන මුදලට වඩා ගනුදෙනුකරුවකු සන්තර්පණයෙන් ඇතැම් රැයෙක ලැබෙන සන්තෝසම් මුදල රුපියල් දෙතුන් දහකට ද ආසන්න බව විචිත්‍රා දන්නීය. රැයෙන් රැයට නොහඳුනනා පිරිමින් සතපවා ඔවුන්ගේ හැඟීම් අවුස්‌සා, අවසන අතරමං කොට මුදල් ගැනීම, ගසාකෑමක්‌ නොවේද කියා විචිත්‍රාට මෙන්ම ඇගේ සහෝදර සාමාජිකාවන්ට ද සිතෙන බව ඈ දනී. එහෙත්, ගී ගයමින් තුරුළු වී සිප ගැනීමකින්, කකුලක්‌ අතගෑමකින් එහා නොයන්නට සීමා පනවන විචිත්‍රා ගනුදෙනුකරුවකුගේ පසුම්බිය හොඳ නම් ඔහු හමුවීමටද මග පාදා ගන්නී, එක්‌වර විශාල මුදලක්‌ සඳහා ය. ඒ සඳහා ආරක්‍ෂාකාරී ස්‌ථාන ඈ දන්නීය. ගනුදෙනුකරු කළ යුත්තේ ඔහුගේ වාහනයකින් පැමිණ ඈ සමග හෝරා දෙකකට පමණ යහන්ගත වී, ඇගේ දීමනාව ගෙවීම පමණි. එහෙත්, නිතර එවැනි ගනුදෙනුකරුවන් හමුනොවේ. සින්දු කියන්නට එන ඇතැම් ගනුදෙනුකරුවෙක්‌ රුපියල් සියයකින්වත් සන්තෝසමක්‌ නොදී ඇඟපත මිරිකා, අතගා මුහුණ සිපගෙන යන අවස්‌ථාද ඇති බව විචිත්‍රාගේ අත්දැකීමය.

"කොහොමද අරවින්ද කැරොකෙ කෑල්ල. මම බලාගෙන හිටියේ ඇඹරෙනවා."

"හොඳයි ජයදේව මහත්තයා.. මම දන්නෙ නෑනෙ මොනවද කරන්නෙ කියලා.. මම මූණ ඉම්බා විතරයි.."

"ඒ මදැ.. ඊට එහා දේවල් බෑ එතැන.. අපි ආයෙ දවසක එමුකො පාක්‌ රෝඩ් හරි... තව තැනක්‌ තියෙනවා බම්බලපිටියෙ..පඩි ගත්තට පස්‌සෙ එමු. හතර දෙනෙක්‌ හිටියොත් තමයි පැකේඡ් එකේ වටිනාකම".

අරවින්දට කැරොකෙ සංගීතය ප්‍රියමනාප විය. තරුණ කෙල්ලක්‌ තුරුලු කරගෙන බීර බොමින් ඉඳහිට ඇගේ මුහුණ ළමැද සිප ගනිමින් තිරයේ දිස්‌වන ගීතය ගායනාවට ලැබුණු මොහොතේ, අරවින්දට ගමේ පෙම්වතියක්‌ සිටියාද කියාවත් මතකයට නැඟුණේ නැත. විචිත්‍රා ඔහුගේ පපුව සිපගත් ආකාරයටම තව කොපමණ පිරිමින්ගේ පපුව සිපගන්නවාද කියා කල්පනා වූයේ නැත.

"ජන ලෝකයේ" පුහුණු රැකියාව පිළිබඳ අම්මාටත්, අක්‌කාටත් පැවසූ පසු අක්‌කා ඔලොක්‌කුවට මෙන් සිනාසුණාය.

"බලන්නකො අම්මේ මෙයා ඩිප්ලෝමා ගහන්නත් ඉස්‌සරවෙලා මධ්‍යකාරයෙක්‌ වෙලානේ. දැන් සල්ලිත් හම්බ වෙනවා කියන්නෙ.."

"ඔව් මටත් ගානක්‌ දුන්නා... ඒකත් වෙලාවට වගේ ලැබිච්ච එකක්‌. නැත්නම් ඒ වියදමටත් මටමනේ සල්ලි දෙන්න වෙන්නේ.."

කැරොකෙ සමාජ ශාලාවල ගීත ගායනාවට වඩා වෙනත් දේ සිදුවන බවත්, ඇතැම් කැරොකෙ සමාජශාලාවකින් ගණිකාවන් අත්අඩංගුවට ගන්නා බවත්, මාධ්‍ය වාර්තා ඔස්‌සේ අරවින්ද කියවා තිබිණ. අරවින්දගේ කුළුඳුල් කැරොකෙ අත්දැකීම තුළ එවැනි චරිත හමු නොවුණත් විචිත්‍රා වැනි යුවතියක්‌ දිවා කාලයේදී තෝරා ගන්නා පිරිමියකු සමග රාත්‍රියේ යහන් ගතවන්නේ ගණිකාවකගේ භූමිකාවට පිවිසෙමින් නොවේද කියා අරවින්ද කල්පනා කළේය.

"අරවින්ද ළමයා, බොස්‌ අපි දෙන්නට පොඩි ජොබ් එකක්‌ දුන්නා. ඉන්වෙස්‌ටිගේටිව් වැඩක්‌ කරන්න. "ඒ මොකක්‌ද ජයදේව මහත්තයා", "මේ දවස්‌වල කැරොකෙ ක්‌ලබ්ස්‌වල සින්දු කියන ගෑණු ළමයි, ගෑනුන්ට වැඩිය ප්‍රොස්‌ටිටියුට්‌ස්‌ල වැඩිවෙලාලු. සමහර ක්‌ලබ්ස්‌වලම රූම්ස්‌ දෙනවලු කැමැති ගෑනු කෙනෙක්‌ එක්‌ක ඉන්න. ඒ ගැන ටිකක්‌ හොයල බලල තොරතුරු දැනගෙන ෆිචර් සීරිස්‌ එකක්‌ කරන්නලු. තමුසෙ එනව මාත් එක්‌ක යන්න. අපි පාක්‌රෝඩ් එකෙන්ම පටන් ගමු. කම්පැනිය ගෙවනවනේ. හතරදෙනාගෙ පැකේඡ් එක වුණාම මොකද අපි දෙන්න විතරක්‌ ගිහිල්ල ටිකක්‌ තොරතුරු හොයාගෙන එමු. මොකද කියන්නේ? කැමැතිනෙ. මම ෆොaන් කරලා රිසවේෂන් එකක්‌ කළා. තමුසෙට ඕන නම් එදා හම්බවෙච්ච පරණ ළමයම ඉල්ලගන්න පුළුවන්. මම නම් එතෙන්ට ගිහිල්ල බලලා කාවහරි තෝරා ගන්නවා. ඒගොල්ලො දන්නෑ අපි මොකටද ලොකුගාණක පැකේඡ් එකක්‌ අරගෙන දෙන්නෙක්‌ විතරක්‌ එන්නෙ කියලා... චීෆ් කියන්නේ, එයාට ආපු ඉන්ෆොමේෂන්වල විදියට පාක්‌ රෝඩ් කැරොකෙ බාර් එක ගොඩක්‌ ප්‍රසිද්ධලු ප්‍රොස්‌ටිටියුට්‌ස්‌ලව සප්ලයි කරන බාර් එකක්‌ විදියට.. බලමුකො අපි ගිහිල්ලා."

"යමු ජයදේව මහත්තයා... පරණ ගෑණු ළමයම සෙට්‌ වෙයිද දන්නෑ.. කවුද මේ විචිත්‍රා.. විචී.."

"මම අහල බලන්නම්, මට නම් අරවින්ද දැන් පොඩි කෙල්ලො ඇතිවෙලා. උන් අපිත් එක්‌ක සින්දු කියනවා. කිස්‌ එකක්‌ දීලා රවටනවා. කොකා කෝලා බීල ෂේප් වෙනවා."

"ඉතින් ජයදේව මහත්තයා, මෙතැන ඉන්නේ ඒ වගේ කෙල්ලොම නේද?"

"තමුසෙට තේරෙන්නෙ නෑ මේව ඇතුළෙ වෙන දේවල්. ටික දවසක්‌ යනකොට අහුවෙයි. තවත් තැනකට ගියාම හිතෙයි මෙතැන මොනවද තියෙන්නේ කියල..

"හරි හරි මම ටිකට්‌ එක අරගෙන එන්නම්. ... රූම් ෆොa එකට යමුකො..."

අරවින්ද කාමරයට ඇතුළු වනවාත් සමගම විචිත්‍රා පැමිණ සෝපාවෙහි වාඩිවී සිටියාය. කකුලක්‌ මත කකුලක්‌ තබාගෙන, සිගරැට්‌ටුවක්‌ බොමින් සිටි ඇගේ සුදු පාට කලවා දැකීමෙන් අරවින්ද වික්‍ෂිප්ත විය. ජයදේව මහත්තයා තවමත් කාමරයට නොආවේ මන්දැයි ඔහු විමසිලිමත් විය.

"අපි ආපහු හම්බ වුණා එහෙනම්.." විචිත්‍රා අරවින්දගේ ගෙල වටා අතක්‌ දමමින් ඔහු ළඟට ගෙන, ගීතයක්‌ වාදනය වීමට සැලැස්‌වූවාය.

"රෝස තොල් සිඹිමි තොල්මත කඳුළු බිඳු රැඳෙයි.

ඔබ ආදරෙයි කියා දුන්නෙත් ඒ වගේ තමයි..."

සයනයක තුරුලුව පෙමින් බැඳුණු පෙම්වතෙකුගේ හා පෙම්වතියකගේ රූපාවලියක්‌ තිරය මත ඇඳේ. අරවින්ද ගීතය මුමුණයි. විචිත්‍රා ඔහුගේ අතක්‌ ගෙන ඇගේ කලවා මතතබා ගත්තාය.

"කෝ රෝස තොල් සිඹිමි බෑනේ.. ඔහු සෙමින් ඇගේ කලවා අතගාමින් ඉහළට අත රැගෙන යයි".

"ඕන්න......... එහේ අවුට්‌ ඔෆ් බවුන්ඩ් ඕ කේ...."

ඈ ඔහුගේ අත සෙමින් ඉවතට ගෙන යළිත් ගායනයට එක්‌ වූවාය. කුඩා මේසය මත ඇති බීර වීදුරුව අරවින්දගේ මුවට ළං කොට බීර උගුරක්‌ පෙව්වාය.

"ඔයා හරි කපටියි නේද?"

"ඇයි?"

"නෑ මාව අවුස්‌සනවා විතරයි.."

"මෙතැන එහෙම තමයි... ඊට වඩා කිසිම දෙයක්‌ බෑ. මාව ඕන නම් දවාලක මීට්‌ වෙමු. මම කන්ටෑක්‌ට්‌ දෙන්නම්... ඒක නෙවි කෝ අද ඔයාගෙ සීනියර්... අර ටිකක්‌ වයසක එක්‌කෙනා..."

"ආ! මගේ බොස්‌. ජයදේව මහත්තයා. එයා එයි. කලින් රිසර්වේසන් එක කරපු නිසා මට එන්න කිව්වේ එයා එන්නම් කියලා.."

අරවින්ද විචිත්‍රාගේ බඳ වටා අත යවමින් ඈ තුරුලු කරගෙන ගෙල සිප ගනිමින් නිරාවරණය වූ ළමැදට මුහුණ රැගෙන යයි.

"ඔන්න ආයෙමත් පටන් ගත්තා. මෙතැන බෑ ළමයො ඕව කරන්න..."

අරවින්ද ඇගේ ළමැදෙන් මුහුණ ඉවතට ගන්නා මොහොතෙහි ජයදේව මහත්තයා, ගැහැනියකගේ බඳ වටා අත දමාගෙන කෙළවරෙ වූ අනෙක්‌ සෝපාව වෙතට යනු අරවින්ද දුටුවේය. කළු පාට කෙටිසායක්‌ හා රතුපාට බ්ලවුසයකින් සැරසුණු ගැහැනිය විචිත්‍රා වැනි යුවතියක නොවූ බව අරවින්ද වටහා ගත්තේය. ජයදේව මහත්තයාගේ පපුවෙහි මුහුණ සඟවාගෙන සිටින ගැහැනිය කවුරුන්දැයි හදුනා ගැනීමට අරවින්දට දෙවරක්‌ සිතන්නට ඕනෑ නොවීය.

කළු පාට සායත් රතු පාට බ්ලවුසයත් පෙර දවසක ගෙදර රෙදි වැලේ වනා තිබෙනු අරවින්දට සිහි විය.

"දෙයියනේ එහෙනම්... " ඔහුට කියෑවිණ.

විචිත්‍රා අරවින්දට කතා කළේය. ඔහු ඇගේ අත ගසා දමා නැඟිට්‌ටේය.

"මේ මොකද බය වෙලා වගේ අරවින්ද.. ඔයාට දුක හිතුණද, තරහ ගියාද මම කිස්‌ කරන්න එපා කිව්වෙ මෙතැන එහෙම දේවල් කරන්න බැරි නිසා. අනේ සොරි, අපි තව සින්දුවක්‌ අහමු."

අරවින්ද සෝපාවෙන් නැඟිට්‌ටේය.

"ඔව්! මට දුක හිතුණා.. තරහ ගියා..."

"මාත් එක්‌ක..? " විචිත්‍රා ඇසුවාය.

"නෑ.. ඔයත් එක්‌ක නෙවි. මට මං ගැනම දුක හිතුණා. මාත් එක්‌කම තරහ ගියා.."

ඔහු කෝප වූයේ කිම් දැයි විචිත්‍රාට නොවැටහිණ.

අරවින්ද කාමරයෙන් එළියට යනු විචිත්‍රා බලා සිටියාය. ඉන්පසු කිසිදිනෙක ඔහු කැරොකෙ ශාලාවට පැමිණියේ නැත. ඔහුට කුමක්‌ වී දැයි ඈ තවමත් නොදන්නීය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »