Home / කෙටි කතා / කහ බොත්තම

කහ බොත්තම

2018-04-18 10:37:00       403
feature-top
දුම්රිය නැෂ්විලී, ටෙනසි දුම්රියපොලට සේන්දු වෙන විට ද මඳ වර්ෂාවක්‌ ඇදහැලෙමින් තිබුණි. කොතරම් වෙහෙසට පත්ව සිටිය ද දුම්රියෙන් බැසගත් විගස කෙළින්ම, නැවතීමට සැළසුම් කර තිබූ හෝටලයට යැමට මම තීරණය කළෙමි. වැස්‌සේම ඇවිද ගිය මට, හෝටලයට ඇතුළු වන විටම දක්‌නට ලැබුණේ විශාල ශරීරයකින් හෙබි මිනිසෙකු ලොබියේ එහාටත් මෙහාටත් ඇවිදිමින් සිටින දර්ශනයකි. එකී දර්ශනය මට සිහි ගැන්වූයේ තඩි බල්ලකු මස්‌ කටුවක්‌ පසුපස ඉව අල්ලමින් යන සෙයකි. ඔහුගේ විශාල රතු පැහැ තඩි මුහුණ හා නිදිමත දෑස ඔහුට ම විශේෂ වූවක්‌ විය. මා දුටු පළමු දසුනෙන් ම ඔහු වහා පැන මට තමා ව හඳුන්වා දුන්නේ ය. 'වෙන්ට්‌වොර්ත් කාස්‌වෙල් - මේජර් වෙන්ට්‌වෝත් කාස්‌වෙල්- දකුණේ වංශවත් පවුලකින්'

ඉන්පසුව ඔහු මා හෝටලයේ බීමහල වෙත තල්ලු කරගෙන ගොස්‌ වාඩි කරවීය. වේටරයකුට මහ හඬින් අඬගැසූ ඔහු බීම වාඩියක්‌ ඇණවුම් කොට සිය පුරාඡේරුව ඇරඹීය. තමා හා තම පරම්පරාව ගැන ද, භාර්යාව හා ඇගේ පරම්පරාව ගැන ද තොරතෝංචියක්‌ නැතිව කතා කළ ඔහු සිය බිරියගේ පොහොසත්කම පෙන්වූයේ සිය කෝට්‌ සාක්‌කුවෙන් එළියට ගත් රිදී කාසි අහුරක්‌ පෙන්වමිනි.

නමුත් මේ වනවිට මට ඔහුව ඇති වී තිබූ අතර ඔහුට සුබ රාත්‍රියක්‌ පතා අමාරුවෙන් ගැල වී ගතිමි.

අනතුරුව මගේ කාමරයට පැමිණි මම ජනේලය හැර මඳ වේලාවක්‌ රාත්‍රි නගරයේ සුන්දර සිරිය විඳ ගතිමි. දැන් වෙලාව රාත්‍රී දහයයි. 'කදිම නිස්‌කලංක තැනක්‌' යි මටම පවසා ගෙන මා ඇඳට නැඟුණේ සුව නින්දක්‌ ලබා ගැනීමේ අපේක්‌ෂාවෙනි.

දකුණේ ඉපදී නිව්යෝර්ක්‌ නගරයට සංක්‍රමණය වූ මම දැනට නගරයේ විශාල ලෙස අලෙවි වන සඟරාවක ලේඛකයකු ලෙස සේවය කරමින් සිටින්නෙමි. මෑත දිනක මගේ ප්‍රධානියා යම් කටයුත්තක්‌ සඳහා නෑෂ්විලි වෙත යා හැකි දැයි මගෙන් විමසීය. නෑෂ්විලීහි වෙසෙන අසලියා අදයිර් නම් නිදහස්‌ ලේකාවකගෙන් අපේ සඟරාවට ලිපි හා කවි ලැබෙමින් තිබිණි. අප සඟරාවේ කතුවරයා ඇගේ ලේඛන ශෛලිය ඉතා ඉහළින් අගය කළ අතර අපේ සඟරාවට පමණක්‌ ලිවීමේ කොන්තරාත්තුවකට ඇය පොළඹවා ගැනීමට අපේ ප්‍රකාශකයාට ඇවැසි විය. මට පංගාර්තු වී තිබුණේ එකී ගිවිසුමට ඇගේ අත්සන ලබා ගැනීමේ කටයුත්තයි.

අදයිර් මෙනෙවිය සොයා ගනු පිණිස මම පසුදා උදෑසන 9 ට පමණ හෝටලයෙන් පිට වූයෙමි. ඒ වන විටත් වැස්‌ස ඇදහැලෙමින් තිබූ අතර මා වෙත පැමිණියේ කළු, මහත, බොකුටු ඝන අළු පැහැති හිසකේ ඇති (පසුව දැන ගත් පරිදි) මහලු 'සීසර් මාමා' ය. මා මින් පෙර දැක නැති ඉතා දිග, මැසූ අළුත අළු පැහැයෙන් තිබෙන්නට ඇතැයි සිතිය හැකි හමුදා නිලධාරියකුගේ වැනි කබායක්‌ ඔහු හැඳ සිටියේය. නමුත් කාලයක්‌ තිස්‌සේ අව්වට හා වැස්‌සට හසු වී තිබූ එය දැන් දේදුන්නේ සියලු පාට කුලියට ගෙන තිබුණි. එයට තිබුණේ එකම බොත්තමක්‌ පමණක්‌ වූ අතර කහ පැහැති, සත පණහේ කාසියක්‌ තරම් වූ එය කබායෙහි වම් පැත්තේ එල්ලෙමින් තිබුණේය. සීසර් මාමා අශ්ව කරත්තයෙහි පැති දොර හැර මෘදු ස්‌වරයෙන් කටහඬ අවදි කළේය.

'ඇතුළට නගින්න සර්, මං ඔබව නගරයේ ඕනෑම තැනකට ගෙන යන්නම්.'

'මට යන්න ඕනෙ ජැස්‌මින් වීදියේ නො. 861 ට' කියමින් මා අශ්ව කරත්තයට නැඟීමට සැරසෙත්ම මහලු මිනිසා මා වැළැක්‌වූයේය. මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි.

'ඔබ මොකටද එහාට යන්නෙ මහත්මයා?'

එක්‌වරම මගේ කෝපය දැල්විණ. 'උඹට මොකටද ඒක?'

මහළු මිනිසා සන්සුන්ව සිනාසුණේය.

'මුකුත් නෑ සර්. මම කිව්වෙ ඒක හරි පාළු පැත්තක්‌. නගින්න සර්, මම ඔබව එහාට ගෙන යන්නම්.'

ජැස්‌මින් වීදියේ නො. 861 නිවස පෙර ඉතා ශෝභමානව තිබූවක්‌ වූ නමුත් දැන් එය පරණ හා ජරාවාස වෙමින් තිබෙන බව පැහැදිළිව පෙනුණි. මම කරත්තයෙන් බැස ගතිමි.

'ඩොලර් දෙකයි සර්.' සීසර් මාමා කීය. මම වොලට්‌ටුවෙන් ඩොලරයේ නෝට්‌ටු දෙකක්‌ ඇද ඔහුට දුනිමි. ඒවා ඔහු අත තබද්දී මා දුටුවේ ඉන් එක නෝට්‌ටුවක්‌ එහි මැද දක්‌වාම ඉරී තිබුණු අතර එය නිල් පැහැති පටියකින් අලවා තිබුණි. තවද එහිම දකුණු පැත්තේ උඩ කොණ සුළු ප්‍රමාණයක කොටසක්‌ නොමැති බවයි. සීසර් කිසිත් නොකියා එය භාර ගත්තේය. මා දොරට තට්‌ටු කොට සුළු වේලවකින් අසලියා අදයිර් මෙනෙවිය දොර විවෘත කළාය. පණස්‌ වියෑති පමණ වූ ඇගේ හිස කෙස්‌ ඇගේ කුඩා වෙහෙසකර මුහුණෙන් පිටුපසට ඇද හොඳින් පීරා ගැට ගසා තිබුණි. ඇය අව පැහැ වූ කහ පැහැති ගවොමකින් සැරසී සිටියාය. එය පරණ වුවත් ඉතා පිරිසිදු විය. අසලියා අදයිර් මෙනෙවිය නිවසේ ඇතුළු කාමරයකට මා කැඳවා ගෙන ගියාය. අබලන් රවුම් මේසයක්‌ වටා පරණ පුටු තුනක්‌ තබා තිබුණි. අපි එහි වාඩි වූයෙමු. එහි තිබූ අනෙක්‌ එකම ගෘහ භාණ්‌ඩය වූයේ කාමරයේ මැදට වන්නට තබා තිබූ පරණ රතු සෝපාවකි. අනතුරුව අපි කතාව ඇරඹුවෙමු. අපේ සඟරාව විසින් ගෙනෙන යෝජනාව මම ඇයට ඉදිරිපත් කළෙමි. ඇය ඇගේ පවුලේ තොරතුරු මා සමඟ පැවසුවාය. දකුණේ වංශවත් පවුලකට අයත් ඇගේ පියා විනිසුරුවරයෙක්‌ විය. ඇය මා සමඟ පැවසූයේ ඇය කිසි දිනක පාසල් නොගිය බවත් නිවසට ගෙන් වූ ගුරුවරුන් මගින් ඇගේ දෙමාපියන් ඇයට අධ්‍යාපනය ලබා දුන් බවත්ය. අපි සාකච්ඡාව සාර්ථකව නිම කළෙමු. ගිවිසුම අත්සන් කරන්නට පසුදා පැමිණෙන බව පැවසූ මම ආපසු යැම පිණිස නැගිට සිටියෙමි. මේ මොහොතේ නිවසේ පිටුපසට දොරට කිසිවෙකු තට්‌ටු කරන හඬක්‌ නැඟිණ. අසලියා ඉතා මෘදු පහත් හඬින් මගෙන් සමාව අයෑද පිටුපස දොර වෙත ඇදී ගියාය. මිනිත්තුවකින් පමණ පසු ඈ ආපසු ආවේ මහත් වූ ප්‍රබෝධයකිනි. දීප්තිමත් ඇස්‌ හා පින්ක්‌ පැහැ දෙකොපුල ඇය වසර දහයකින් පමණ තරුණ කොට තිබුණි.

'ඔබ යන්නට පෙර අපි තේ කෝප්පයක්‌ බොමු.' ඈ හදිසියේ කීවාය. ඉන්පසු ඈ අර අබලන් මේසය මත වූ පිත්තල සීනුවක්‌ නාද කළාය. එවිට අවු.12 ක්‌ පමණ වයෑසති කළු ගැහැනුq ළමයෙකු සාලයට දිව ආවාය. අසිලියා ඇගේ කුඩා පරණ පසුම්බිය ඇර ඩොලරයේ නෝට්‌ටුවක්‌ එළියට ගත්තාය. පුදුමයකි. එය මැද දක්‌වා ඉරුණු හා නිල් පටියකින් අලවා තිබුණි. ඇයි? එහි දකුණු පස උඩ කෙළවරේ කොටසක්‌ තිබුණේත් නැත. මම සීසර් මාමාට දුන් වගේම එකක්‌¾

'බේකර් මහත්මයාගෙ කඩේට යන්න ඉම්පි.' ඇය කීවාය. 'ගිහිං සත විසිපහක තේ සහ සත දහයක සීනි කේක්‌ අරගෙන එන්න. කරුණාකරලා ඉක්‌මනට එන්න.' දැරිය කාමරයේ දොරෙන් පිටට දිව ගිය අතර අපට ඇසුණේ පිටුපස දොර වැසෙන හඬයි. දැරිය බෙරිහන් දෙන හඬ ඊළඟට ඇසිණ. එයටම මිශ්‍රව කෝප වූ මිනිසෙකුගේ ගොරෝසු හඬක්‌ ද ඇසුණි. අසලියා නැඟී සිටියා ය. ඇය කාමරයෙන් පිට වන විට ඇගේ මුහුණ හැඟීම් විරහිතව සුදුමැලිව තිබූ බව හදිසියේ මට පෙනිණ. ඉන්පසුව මට ඇසුණේ මිනිසාගේ බැන අඬ ගසන ගොරෝසු හඬ හා ඔහු අස්‌වසන අසලියාගේ සන්සුන් ස්‌වරයයි. මඳ වේලාවකින් නැවත දොර තදින් වැසුණු අතර අසලියා ආපසු පැමිණියාය.

'මට හරි කනගාටුයි.' ඇය බිම බලාගෙන මිමිණුවා ය. 'ඔබට තේ පැන් සංග්‍රහයක්‌ කරන්න මට හොඳටම ඕනෑකම තිබුණා. නමුත් බේකර් මහත්මයාගෙ කඩේ තේ නැති බවයි පෙනෙන්නෙ. කමක්‌ නෑ. අපි හෙට හමු වුණාම තේ ටිකක්‌ බොමු.'

ඉන්පසු අප සමුගත් අතර මම ආපසු හෝටලයට පැමිණියෙමි.

එදින රාත්‍රි ආහාරය ගැනීම පිණිස මා භෝජනාගාරයට යන අතර නැවතත් මේජර් වෙන්ට්‌වර්ත් කාස්‌වෙල් හමු විය. එවර ද ඔහුගෙන් ගැලවීම අපහසු වූ අතර ඔහු මා පෙර දා මෙන් බීමහල වෙත තල්ලු කරගෙන ගොස්‌ බීම වඩි දෙකක්‌ ඇණවුම් කරන ලද්දේ ය. එයට ගෙවීම පිණිස ඔහු තම පොකට්‌ටුවෙන් ඩොලර් නෝට්‌ටු දෙකක්‌ එළියට ගෙන කවුන්ටරය මත තැබීය. දෙවියනේ. අර පුදුමාකාර ඩොලරයේ නෝට්‌ටු දෙක. එකක්‌ මැද දක්‌වා ඉරී නිල් පටියෙන් ඇලවූ සහ දකුණු උඩ කෙළවරේ මුල්ල නැති ඩොලරය හා අනෙක. ඒවා මේජර් කාස්‌වෙල්ගේ අතට ආවේ කෙසේද?

පසු දින මධ්‍යාහනයේ මා හෝටලයෙන් එළියට පැමිණෙන විට සීසර් මාමා මා බලාපොරොත්තුවෙන් පිටත රැඳී සිටියේය. මා අසලියා මෙනෙවියගේ නිවසට ගෙනයාමටත් අපගේ කටයුතු අවසන් වනතුරු රැඳී සිට මා නැවත ආපසු හෝටලයට ඇරලවීමටත් ඔහු එකඟ විය.

අසලියා අදයිර්ගේ පෙනුම එතරම් හොඳ නොවන බව ඇය දොර විවෘත කළ විට මට පෙනී ගිය කාරණයක්‌ විය. අපි සුපුරුදු මේසයේ වාඩි ගත් අතර මම ඇයට ගිවිසුම විස්‌තර කළෙමි. ඇය ඊට අත්සන් කළාය. ඉන්පසු ඇය මේසයෙන් නැඟී සිටින්නට උත්සාහ කිරීමේදී ක්‌ලාන්ත වූයෙන් ඇලවී ගොස්‌ බිම පතිත විය. මම වහා ඇය ඔසවා රතු සෝපාව මත තබා දොර ළඟට දුව ගොස්‌ උදව් පිණිස සීසර්ට කෑගැසුවෙමි. ඔහු වහා දුව ගොස්‌ මිනිත්තු පහකින් නැවත පැමිණියේ වෛද්‍යවරයකු සමඟය. මඳ වේලාවක්‌ අසලියා මෙනෙවිය පරීක්‌ෂා කළ වෛද්‍යවරයා කළු මහළු රියෑදුරා දෙසට හැරුණේය.

'සීසර් මාමා' ඔහු කලබලව පැවසීය. 'අපේ ගෙදරට දුවලා ගිහිං, මගේ නෝනාගෙන් කිරි යි බිත්තර කිහිපයකුයි ඉක්‌මනට ඉල්ලා ගෙන එන්න. පුළුවන් තරම් ඉක්‌මනට.'

ඉන්පසු ඔහු මා දෙසට හැරුණේය. 'ඇයට හුඟ දවසකින් සෑහෙන කෑමක්‌ ලැබී නැහැ.' වෛද්‍යවරයා පැවසීය. 'ඇයට උදව් කරන්න පුළුවන් හුඟක්‌ යාළුවෝ සිටියත්, ඇය හුඟක්‌ ආඩම්බරයි. කාස්‌වෙල් මහත්මිය උදව් ගත්තේ මේ මහලු කළු මිනිහගෙන් පමණයි. ඔහු ඇගේ පවුලේ සේවකයෙක්‌.'

'කාස්‌වෙල් මහත්මිය?' මම මහත් වූ පුදුමයට පත් වූයෙමි. 'මම හිතුවෙ ඇය අසලියා අයිදර් මෙනෙවිය කියලා.'

'එහෙම හිටියා' වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය. 'ඒ මීට අවුරුදු විස්‌සකට පෙර. වෙන්ට්‌වර්ත් කාස්‌වෙල් සමඟ විවාහ වෙන්න කලින්. ඔහු කමකට නැති බේබද්දෙක්‌. සීසර් මාමා මේ අසරණ ගෑණිට දෙන සොච්චමත් ඒ කාලකන්නිය උදුර ගෙන ගිහිං බොනවා.'

short1කිරිත්, බිත්තරත් රැගෙන සීසර් පැමිණි පසු මම, වෛද්‍යවරයාත් සමඟ එළියට පැමිණියෙමි. කාස්‌වෙල් මහත්මිය ආහාර ගත් අතර වෛද්‍යවරයා පිට වී ගියේය. පිටත සිටියත් මට ඔවුන්ගේ කතා බහ හොඳින් ඇසිණි. 'මම ඊයෙ දීපු සේරම සල්ලි ඔහු ගත්තාද, අසලියා මහත්මිය?' සීසර් ඇසීය. 'ඔව්, සීසර්. ඩොලර් දෙකම ඔහු ගත්තා' ඇගේ සන්සුන් හඬ මට ඇසුණේa යම්තමිනි.

මම ඔවුන් සිටි තැනට පැමිණ අප සඟරාවේ ගිවිසුමේ අගය වූ ඩොලර් පනහක මුදල ඇය අත තැබීමි. ඉන්පසු සීසර් මාමා විසින් මා නැවත හෝටලයට ඇරලවන ලදී.

පැය කීපයකට පසු රාත්‍රී ආහාරයට පෙර මම හෝටලයෙන් පිටතට පැමිණියෙමි. කුමක්‌දෝ පැහැදිළි කළ නොහැකි හැඟීමකින් මගේ හිස බර වී තිබිණ. මඳ දුරක්‌ ඇවිද ගිය මට දක්‌නට ලැබුණේ ගබඩාවක්‌ ඉදිරිපිට මිනිසුන් පිරිසක්‌ කළබලයෙන් මෙන් රැස්‌ව සිටින අන්දමය. මම ඉක්‌මනින් ඒ දෙසට ඇවිද ගියෙමි. මේජර් කාස්‌වෙල් බිම වැතිර සිටි අතර පෙනෙන අන්දමට ඔහු මියගොස්‌ සිටියේය.

කවුරුන් හෝ ඔහු සොයා ගන්නා විට ඔහු කෝලාහලයකින් මිය ගොස්‌ ඇතැයි විශ්වාස කළ හැකි ලකුණු තිබූ බව කියෑවිණි. ඇත්ත වශයෙන්ම කියතොත් ඒ වන විටත් ඔහුගේ දෑත් තදින් මිට මෙළවී තිබිණි. මම කොස්‌වෙල්ගේ සිරුරට නැවී ඔහුගේ දකුණු මිට දිග හැරියෙමි. එවිට මිටෙන් හැළුණු යම් කිසිවක්‌ රෝල් වී පැමිණ මගේ සපත්තුවක හැපී නතර විය. මම එය පාගා ගෙන සිට සෙනඟට නොදැනෙන්නට අසුලා පොකට්‌ටුවට දමා ගත්තෙමි. මිනිසුන් පැවසුවේ සොරෙකු විසින් ඔහු මරා දමා ඇති බව ඔවුන් විශ්වාස කරන බවය. ඔවුන් තවදුරටත් කීවේ තමා ළඟ තිබූ ඩොලර් පනහක මුදලක්‌ කොස්‌වෙල් සැමටම පෙන්වූ බවය. නමුත් ඔහුගේ සිරුර සොයා ගන්නා විට එම මුදල ඔහු ළඟ තිබී නැත. නෑෂ්විලීහි මට පැවරී තිබූ කටයුතු අවසන් බැවින් පසුදා උදෑසන මම නිව්යෝක්‌ බලා පිටත් වනු පිණිස දුම්රියට නැඟුනෙමි. අලසව ඇදී ගිය දුම්රිය ස්‌වල්ප වේලාවකින් ගඟක්‌ උඩින් තිබූ පාලමකට සේන්දු විය. මම මගේ පොකට්‌ටුව හැර කොස්‌වෙල්ගේ මිටෙහි තිබී පෙරළී ආ දෙය අතට ගෙන එය පාලමට පහළින් ගලා යන ගඟ දිය මතට වීසි කළෙමි. සිහින් හඬක්‌ නඟමින් ගඟ දිය මත පතිත වූ එය ලතාවකට දෙපැත්තට පැද්දෙමින් පතුල වෙත සෙමෙන් කි\ බසිනු හිස හරවා බැලූ මට පෙනිණ. එය සත පනහේ කාසියක්‌ වැනි කහ පැහැති බොත්තමක්‌ විය.

ඇමරිකානු ලේඛක ඕ. හෙන්රිගේ "The Municipal Report" කෙටි කතාවේ සිංහල අනුවාදය


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »