Home / කෙටි කතා / ප්‍රේමය හා ශෝකය

ප්‍රේමය හා ශෝකය

2018-04-01 11:14:00       110
feature-top
ස්‌වර්ගයට යන දොරටුව ඉඳිකටු සිදුරක්‌ තරම් කුඩා වූ නිසා තමාට එහි රිංගාගත නොහැකි වූ නමුදු, අපායට යන දොරටුව අතිශයින්ම විශාල බැවින්, තමා පහසුවෙන්ම ඒ කරා තල්ලු වී ගිය බව කවියාට පසක්‌ විය. කුසලානේ ලූ මීවිත සමඟ තමා සුමිතුරුව ප්‍රීති ප්‍රමෝදයෙන් නැටූ නැටුම්, ගැයූ ගැයුම් දැන් හමාර වී ඇති බවත්, තමා සුමිතුරුව සිටියේ මී බඳුනක්‌ සමඟ නොව, විෂ බඳුනක්‌ සමග බවද, මීවිත හිස්‌ වූ කුසලානය දැන් තමා කඳුළින් පුරවාගෙන ඇති බවද, ඔහු අවබෝධ කොට සිටියේ ය.

තම ජීවිතයෙන් පනස්‌ පස්‌ වසරක්‌ ගෙවා ඇති නමුදු, දහස්‌ වසරක තරම කඳුළු වගුරා ඇති බව ද, මරණයේ මෙන්ම ප්‍රේමයේ දොර කවුලු කිසිදා වසා දැමිය නොහැකි බවද, මේ වනවිට ඔහු පසක්‌ කර සිටියේය. මරණයටත් වඩා, විටෙක ප්‍රේමය පුරුෂලිංගයක්‌ සේ බලවත්ව නැඟී සිටින්නේ යෑයිද ඔහුට හැඟිණ. තමාගේම වියෝවේ දුක්‌කම්කටොලු නිසා දැන් තමා යම් තරමකට ඥනවන්ත වී ඇති බවද, එතෙක්‌ මෙතෙක්‌ තමාට හමුවූ දරුණුතම අනතුර ප්‍රේමය ම බවද, වියෝවේ දොaංකාරය නිරන්තරයෙන් නින්නාද වනවිට මහ පොළොව කම්පිතව, තමා දෙදරවන්නේ යෑයිද කවියාට හැඟෙයි. නිතර නිතර ඔහුට සිහිපත් වූයේ කිසියම් උපදේශ කාව්‍යයකි.

"කිසිම අතකට යැමට නුසුදුසු වූ

නැවේ ඇදවී ගිය සුක්‌කානම නුඹයි

බත්තුලක්‌ නොමැති ගේකට සම වන

දෙව් මැඳුරකි නුඹ, නුඹේ දෙවියන්ගෙන් තොර"

සුරා ගඳ හමන බේබද්දෙකුට වඩා, කෑම බීම, ඇඳුම් පැළඳුම්, කනකර සපයන, තමා කැටුව ගමන් බිමන් යන, ප්‍රතාපවත් සැමියකුට ස්‌ත්‍රියගේ ආදරය ප්‍රේමය හිමිවන්නේ යෑයිද, පඹයකු බඳු වූ බේබදු සැමියකුගෙන් ඇයට ඇති ඵලය කුමක්‌දැයි තමා තේරුම් ගන්නා විට, වැරදි හදා ගැනීමට බෙහෙවින්ම ප්‍රමාද වී තිබුණ බව කවියා සිහිපත් කළේය. මධුවිතෙන් මත්වී කිසිවක්‌ විස¹ගත නොහැකි බවද, සියල්ල ප්‍රකෘති සිහියෙන්ම විස¹ගත යුතු බවද ඔහු විසින් අවබෝධ කරගනු ලැබුවේ බිරිඳ වෙනකෙකු හා පලා යැමෙන් අනතුරුව ය. අනපේක්‍ෂිත දුක්‌ත භාවයකටත් හුදකලා භාවයකටත්, තමා පත්වෙමින් සිටින බව ඔහුට හොඳටම දැනුණි. මධුවිතට සංගීතයට තමා බෙහෙවින්ම ලොල් වූ නමුදු, බිරිඳට බෙහෙවින්ම ආදරය කළ බවද, ලිංගිකය අභිබවා ගිය ආදරයක්‌, ප්‍රේමයක්‌ ඈ කෙරෙහි ගැඹුරින් ම පැවැති බවද කවියා සිහිපත් කළේය.

බිරිඳගේ පලා යැමෙන් පසු ගෙවී ගිය පස්‌ වසර, කෙසේ ගෙවුනේ දැයි ඔහුටම සිතාගත නොහැකි වූ අතර, කාට හෝ ආදරය නොකර ජීවත් වෙන්න අතිශයින්ම අමාරු බවද, මේ වනවිට ඔහුට අවබෝධ වී තිබුණි. යළිත් ප්‍රේමයේ බීජයක්‌. වියපත් වෙමින් සිටින තමා තුළ ජනිත වීම, තමා කුමන අනතුරකට ඇද දමාවිදැයි ඔහුට සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් මේ වනවිට තමා මධුවිතෙන් මුළුමනින්ම මිදී සිටීම ගැන, ඔහු සතුටු විය. නව ප්‍රේමය ද, හොර රහසේම හිස ඔසවනු ඔහුට දැනුණි. සාරි, ඔසරි, ජින්ස්‌, දිදුලන කනකර අබරණ, තොල්සායම්, නිය සායම්, වත්සුණු සුවඳින් සුවඳවත් නොවූ, දහඩිය බිඳුවෙන් ඔපවත් වූ මුහුණ ඇති ලා රත් පැහැති දෙතොලින්ද, නිල් මානෙල් මල් පැහැයෙන්ද යුත් ඇය තමාට වඩා ලාබාල යෑයි කවියාට හැඟුණි. වෙළෙඳපොළේ එළවළු විකුණන ඇගේ මුල් දැක්‌මෙන්ම තමා සසලවූ බව ද ඔහුට දැනුණි. සියල්ල සුළඟ මෙන්, ඇතිවී නැති වී ගියද, ප්‍රේමයේ නිමේෂය නම් මහත්a වූ චමත්කාරයක්‌. මිහිරියාවක්‌ ගෙන දෙන්නේ යෑයිද, එය වියපත් නොවන්නේ යෑයිද, පුරුෂයා තුළ ආනන්දය දනවන සොඳුරු ස්‌වප්නය නම් ස්‌ත්‍රියම බව ද ඔහුගේ ඇදහීම විය.

බිරිඳ අහිමි වූ පස්‌ වසර තුළ රූමත් පැහැපත්, ශෝභන දේහ විලාශ, කතා ලතා ගමන් තාල, ඇති දහස්‌ ගණනක්‌ ළඳුන් හමුවුවද. ඔවුන්ගේ විචිත්‍ර චිත්‍රත්වයට වඩා, තමා තුළ ඔවුන් කෙරෙහි අදෘශ්‍යමාන භීතියක්‌, පැලපදියම් වී තිබුණේ කුමක්‌ නිසාදැයි කවියාට සිතාගත නොහැකි විය. එතෙකුදු වුවත් මේ තරුණ එළවළු වෙළෙන්දියගේ දහඩියෙන් පෙඟුණ මුහුණ, තම අධ්‍යාත්මය විසින් ගෞරවයෙන් යුතුව වැළඳගෙන ඇති බව ඔහුට දැනිණි. එහෙත් මේ ප්‍රේමයේ අනාගතය ෙ€දවාචකයක්‌ විය හැකි බැවින්, ප්‍රේමයෙන් එසේ මුසපත් වීම නොමනා බව ඔහුට දැනුණි. "රත්මිණි වළල්ල" කෙටි කතාවේ පීවීෂෙ". වේරා කුමරියට දැක්‌වූ ගොළු ප්‍රේමය ඔහුට මතක්‌ විය. ගැහැනිය සිවුරුහන් හඬ නඟනවිට පල්ලි හතක්‌ දෙදරන්නාක්‌ සේ, ඔහු ද දෙදරමින් සිටියේය. යක්‍ෂයා විසින් ගිල දැමූ ගැහැනිය ඔහුට දිරවාගත නොහැකි සේ කවියාටද මෙය දිරවාගත නොහැකි විය. කෙළෙසවත් බේරී පලා යැමට නොහැකි ලෙස යක්‍ෂයා විසින් දැල එළා ඇත. කවියා කල්පනා කළේය.

මනෝ රාජ්‍යයේ නව රැජින ද හදිසියේම අතුරුදන් වූවාය. මුළු වෙළෙඳපොළම බිමට සමතලා වී ඇති බවක්‌ ඔහුට දැනුණි. තම හිස්‌ වූ පපු කුහරය පසුගිය මාස කිහිපය තුළ තමා පුරවා සිටියේ, ඇඟේ දහඩිය පිරි වත කමලින් බව ඔහුට හැඟුනි. දැනුණි. යළිත් කිසිදිනක ඇය වෙළෙඳපොළේදී ඔහුට දැකගත නොහැකි විය. දෙවියන් වැඩ විසූ ප්‍රේමය නමැති බිමේ යක්‍ෂයා යළිත් කඳවුරු බැඳ සිටීමත් සමඟ කවියා නැවතත් තමා තුළම මිය යැම ආරම්භ කළේය. එතෙකුදු වුවත් ප්‍රේමය කාව්‍යයක්‌ සේ ද, විචිත්‍ර වූ චිත්‍රයක්‌ සේ ද, ඉමිහිරි සංගීතයක්‌ සේ ද තමා තුළ නින්නාද වන'යුරු ඔහුට දැනෙන්නට විය.

ප්‍රබෝධයෙන් හීන වූද, ගතින් සිතින් දුබල වූද, කවියාට යළි යාබද නගරයේදී හදිසියේම දිනක, ඇය දැක ගැනීමට හැකි වුණි. යළිත් වෙළෙඳපොළකදී තමා දැකගත නොහැකි බව පවසා, නුවන් යුග දල්වා ඇය වහා පලා ගියා ය. ඈ කවුරු සමග සිටියේද, කවුරු සමග පලා ගියේද දැන ගැනීමට කවියාට වුවමනාවක්‌ නොවුණි. යලිත් ගිම්හානයේ ගිලන් වූ කවියා, ජීවිතය මරණය හා ප්‍රේමය නම් වූ අභිරහස්‌ යථාර්ථයන් ගැන වඩ වඩා ගැඹුරින් දකින්නට වෑයම් කළේය. යළිත් වසන්තය පැමිණෙතැයි ඔහු පෙරමග බලා නොසිටියේය. සියල්ල සුළඟේ දැල්වෙන පොල්තෙල් පහනක්‌ සේ ඔහුට දැනෙන්නට විය.

මේ මනෝරාජිත ප්‍රේමයේ ව්‍යාධියෙන්, යළිත් එක්‌ වතාවක්‌ හෝ ඇය දැක ගනු රිසියෙන්, ඔහු අවට ලොකු කුඩා නගරවල ඉබාගාතේ සැරිසරන්නට විය. මේ සැරිසැරීම, කවියාට සිහිපත් කළේ, පෙර කලෙක, හදිසියේ අතුරුදන් වූ තම ඥති සහෝදරයකු සොයා, ගම් නියම් ගම්, නගරවල ඔහු සොයා සැරිසැරූ ආකාරය ය. සුදු ජාතික ඇඳුම ඇඳි, උපැස්‌ පැළඳි, තට්‌ට හිසක්‌ ඇති ඔහු සොයා එබඳු හැඩරුව ඇති සෑම තට්‌ටයකුටම, එම සහෝදරයා යෑයි රැවටුණ අයුරින්, ඈ බඳු අයට මෙදා ද රැවටුණ'යුරු ඔහුට කල්පනා විය. අවසානයේදී එදා තමාට හමුවූයේ ඒ සහෝදරයාගේ අඩක්‌ නරක්‌ වී ගිය මළ සිරුර මෙන්, යළි කිසිදිනක ඇගේ හමුනොවීම ද ඒ හා සමාන අඳුරු දොම්නස්‌ හැඟීමක්‌ ජනිත කරන්නට සමත් විය. තමා හැර ගිය මුල් බිරිඳ, අලුත් සැමියා සමග ගමන් බිමන් යන'යුරු සෙනඟ අතර සැඟවී සිට දකින විටද, ඔහුට දැනුණේ එබඳුම හැඟීමක්‌ බව ඔහු කල්පනා කළේය. හිමි වීමට වඩා අහිමිවීම බලගතු බව ද, වියෝව හැමවිටම ගැඹුරු අර්ථයන් මතු කරන්නේ යෑයිද, සියල්ල නොසැලකූ තමා ප්‍රේම කරන්නට පටන්ගෙන ඇත්තේ දැන් බවද, දැන් දැන් ඔහුට හොඳ හැටි දැනෙන්නට විය.

ප්‍රේමය හා ශෝකය පිළිබඳ වූ හැඟීම් තව තවත් අසාධ්‍ය වීමෙන්. මේ දුක දුරස්‌ කරනු වස්‌, කාගෙන් හෝ සහනයක්‌ ලබාගත යුතු යෑයි කවියාට අන්තිමේදී හැඟෙන්නට විය. චාන්දනී පායා රිදී පැහැ ගැන්වී මඳ සුළඟේ සරසර හඬනඟන තුරුලතා මෙන්, තම උමතුව ද, බිහිසුණු හඬක්‌ නගමින් සිටින බව ඔහුට දැනිණි. ලැබුණ දේ ගැන තැකීමක්‌ නොකළ තමා, නොලැබුණ දේ පිළිබඳව මිය යමින් සිටීම ගැන ඔහු යළි යළිත් කම්පා විය.

පාසලේ පණ්‌ඩිත හාමුදුරුවන්ට මේ ගැන පවසා, කිසියම් සහනයක්‌ ලබන්නෙම්ද? උන්වහන්සේ "සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි" පවසා "ධර්ම රාජ්‍යය" ගැනද දේශනා කොට, ලේ වමනයක්‌ මෙන් බුලත් කෙළ පාරක්‌ පඩික්‌කමට හෙලනු නොඅනුමානය. නොඑසේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවී සහනයක්‌ බලාපොරොත්තු වෙම්ද? එතුමා නම, වයස, ලෙඩේ අසා, කවදා සිට වැළඳුණේ දැයි ද අසා, "යුද්ධ ආයුධ කොතෙක්‌ තිබුණත් සෙබළු මිය යනවාමය", "කොතෙක්‌ බෙහෙත් තිබුණත් ලෙඩුන් මිය යනවාමය" යනුවෙන් සමහරවිට පවසනු ඇත. එසේත් නැතහොත්, නිතරම "ක්‌රාස්‌""ක්‌රාස්‌" හඬින් පිහිය මුවහත් කරමින් සිටින මස්‌කඩේ "තහීර්" මුදලාලිගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුද? ස්‌ත්‍රීන් තුන් හතර දෙනකුම සමඟ ජීවත් වන ඔහු, ප්‍රේමය හා ශෝකය පිළිබඳව යමක්‌ නොදැන සිටීමට ඉඩක්‌ නැත. එසේත් නැතහොත්. දැසින් කපටිකම බේරෙන, ටයිපටිය දිගේ සදාචාරය ගලන, ස්‌වාමියා මඩේ ලගින තාරාවකුබව නොදන්නා, බිරිඳ ඉදිරියේ අවංකකම ඔප දමන, එක්‌තරා වැදගත් නිලධාරි මහතාගෙන් මේ ගැන විමසිය යුතුද? එතුමා සමහරවිට "එහෙම ප්‍රේමයක්‌ හෝ ශෝකයක්‌ පිළිබඳව තමා හාංකවිසියක්‌ වත් නොදන්නා බව පවසනු ඇත. දිගින් දිගටම මෙසේ කල්පනා කළ කවියාගේ හිතට විඡ්ජාකරුවකු පිළිබඳව ද අදහසක්‌ පැමිණි නමුත්. අවසානයේදී මේ ගැන විමසීමට ඔහු විසින් තෝරා ගනු ලැබුවේ "වෛශ්‍යා සහෝදරිය" විය.

"ඕවට .... උත්තර දෙන්න මට.. දැන් හුඟක්‌ වෙහෙසයි. ඒත් උඹ කරුණාවන්ත කාලකණ්‌ණියෙක්‌... බව පේනවා... ප්‍රේමය අඳුරු ගුහාවක්‌ බව මං කියන්නේ.. නෑ. ප්‍රේමය මායාවකින් වසා දමා, රැවටිල්ලකින් අඳුරු කොට, වංචාවෙන් ගිල්වා දැමීම පිළිකුල් සහගතයි..... මං ඒ සියල්ලටම මූණ දුන්නා.... සකල කලාවන්හිම පූර්ව නිමිත්ත ද, වස්‌තුබීජය ද, අනුභූතිය ද ස්‌ත්‍රිය මයි. උසස්‌ පෙළ සමත් මට. එය විස්‌තර කිරීමට. තරම්, මගේ භාෂා ඥණය, පොහොසත් මදි. අපි මෙලොවට පැමිණ ඇත්තේ ප්‍රේම කිරීමට යෑයි ආගමික ශාස්‌තෲන් කියනවා. ..... වෙසඟනගේ දෙතොලින් මී පැණි වැගිනේනේ යෑයිද,.... ඇගේ තෙපුල් ඔලිව් තෙල් මෙන් මෘදු බව ද, ... ඈ කරා යන උන් තම ආත්මය විනාශ කර ගන්නේ යෑයි ද....... ආගමික ග්‍රන්ථයකින් මා කියවා තිබෙනවා. ... ඒත් ඇගේ දෙතොලින් වැගිරෙන්නේ මීපැණි නොව රුධිරයයි. එයට මුසු වූ ඇගේ කඳුළුයි. ඇගේ තෙපුල් ඔලිව් තෙල් වගේ මෘදු නොවූ, උලලේනියකගේ විලාපයයි... මාව දූෂණය කළේ, දහවල සදාචාරයේ පිරුවටය පොරවාගත්, අඳුරු දුටු සැණින් ඒ සළු පිලි මුදාහැර නිරුවත් වන කෙනෙකුයි... අඳුරේත් රහසේත්, බොහෝ දේ සිදුවන බව .... උඔ දන්නවා.. ඇතිනෙ...... "ඉසර්ගීන් මැහැල්ල" කතාවේ තරුණ "ඉසර්ගීන්" . පුරුෂයන් ගණනාවක්‌ම ඇසුරු. කළ ද, ඇය "රතු රැවුලාට" බෙහෙවින් ආදරය කළ බව කියෑවෙනවා. ඒ කියන්නේ කාට නමුත් තමා බෙහෙවින් ආදරය කරන කෙනකු ඉන්නවා... ජීවිතය විනාශ වූ මට දැන් ඒවා වල්පල් වගෙයි. මට දැන් ඇත්තේa කුසගින්නයිs, බියයි.... තනිකමයි පමණයි. අවසාන වශයෙන් උඹ විසින් දැන ගත යුත්තේ, මා කයින් ජීවත් වුවද, මා මියගොසින් බවයි. මම මහළුව නුදුරු දිනයකදී මහමඟ සිඟමන් යදිනවිට, "වේශිය පලයන්. අහකට කියා, පව්කාරියට ගල් ගසනු ඇති...... ඔව්. මං උඹට එහෙම කියා සිටිනවා.

"සහෝදරිය මට උඹ මහා කාව්‍යයක්‌ සේ දැනෙනවා.... මෙතරම් දේවල් උඹ දැනගත්තේ කොහොමද...?

"බැට කෑම තුළින්.. වෙන කොහොමද? ගුරුවරියක්‌ වීමට ආශාවෙන් සිටි මට උසස්‌ පෙළ සමත්වී විශ්වවිද්‍යාලයට යන්න වරම් අහිමි වුණා. ඒ වුණාට .... හිරගෙදර .... මට විශ්වවිද්‍යාලයක්‌ වුණා. ඒත් මට තවම උඹව පැහැදිලි නෑ.

"මම මගේ ජීවිතයේ ... අතෘප්තිය, හිස්‌ බව නිසා ජීවිතය, මරණය, ප්‍රේමය ගැන කවි ලියනවා.... මිනිස්‌සු මට කවියෙක්‌ කියලයි කියන්නේ.

"එහෙනම් ඕමාර් ඛායියම් ගේ ගෝලයෙක්‌ .. ඈ...?

"අනේ නෑ... මධුවිතට ඇළුම් කළා තමයි... සංගීතයටත් තාමත් කැමැතියි..... ඒත් සල්ලාලයෙක්‌ වුණේ නෑ... ප්‍රේමයට ආදරයට කැමැතියි. ගරු කරනවා.."

short1"ප්‍රේමයට, ආදරයට නේද? හ්ම්...... ඊට වඩා... කුසගින්නයි. බියයි. දස දෙසින් අපි වටකරගෙන.... දැන් දැන් සිය ගණන් දරුවන්, ගැහැනුන් මිනිසුන් මේ රටේ ජාතිභේදයකින් තොරව, මැරෙනවා, මරනවා ඊයෙත් දරුවෙක්‌ මරා දාලා...... ස්‌ත්‍රීන්ගේ ලේ රීරි මාංශ උරා බොනවා. වැඩ බිමේ, ගොවි බිමේ, මිනිසුන් ජීවත් වීමේ අයිතිය ඉල්ලා කෑ ගසනවා, මරණය ජයගත නොහැක යථාර්ථයක්‌ තමයි. ඒත් මැරෙන්ඩ ඉස්‌සර වෙලා ජීවත් වෙන්ඩ ඕනෑ. කුරුල්ලන් ඉන්නේ පියාසර කරන්ඩමයි.... තටු කඩා දාලා තියෙන උන්ට පියාසර කරන්ඩ.. උඹේ පෑන යොමු කරපං. මුහුදේත්, ගොඩබිමේත්, අහසේත්. පොඩි එකා, ලොකු එකාගේ ගොදුරයි" , "සහෝදරී උඹ මහා කාව්‍යයක්‌ම බව මම නැවතත් කියා සිටිනවා..... උඹ ඉදිරියේ මට .... මං ... ගැනම .... කනගාටුවක්‌. ලැඡ්ජාවක්‌ ඇති වෙනවා."

පිපාසිත හදවත් ඉල්ලා හඬන යදින, අඳුරු දොම්නස්‌ හදවත්. සොඳුරු සේ නලවා, සනහාලන සෞන්දර්යයේ නදියක්‌ වෙත්නම්, පල දරන රුක්‌ ගොමුවක්‌ සඳුන් වන අරණක්‌ වෙත්නම් ඒ ප්‍රේමයම විය යුතු බව සැබෑව. දැනුවත්ව හෝ නොදැනුවත්වම විෂ කාන්දු වූ කිසිම වෛද්‍යවරයකු ට, ධර්මාචාර්යවරයකුට, යන්ත්‍ර මන්ත්‍ර කරුවකුට හෝ විඡ්ජාකරුවකුට පිළියම් කළ නොහැකි ප්‍රේමයේ ස්‌වභාවය නම් මෙසේම විය යුතුය. තමා වෛශ්‍යා සහෝදරිය වෙත නොගොස්‌, ප්‍රේමය ගැන විමසීමට විඡ්ජාකරුවකු වෙත ගියේ නම් ප්‍රේමය මුළුමනින්ම විඡ්ජාවක්‌ බව ඔහු විසින් නිසැකවම පවසනු ඇත. දහසකුත් දුක්‌විඳින මිනිසුන් වෙනුවෙන් තම පෑන මෙහෙයවීම ම ප්‍රේමයක්‌ ම බව කවියා අවසානයේදී අවබෝධ කර ගත්තේය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »