Home / කෙටි කතා / මනාලිය

මනාලිය

2018-03-12 10:23:00       537
feature-top
පෙම්සිත් භද්‍ර යෞවනයේ පසුවන සුන්දර තරුණයෙකි. එහෙත් කඩවසම් නොවේ. උස සිහින් සිරුරත් ආකර්ෂණීය නෙතු බැල්මක්‌ හිමි ඔහු හින්දි නළුවකු සේ දකින්නේ කෙල්ලන්මය. උගත්කම දක්‍ෂතාව මෙන්ම එය අභිබවා යන පවුල් පසුබිම ද හේතුවෙන් ඔහුට අඩු වයසින් ම විධායක ශ්‍රේණියේ උසස්‌ වෘත්තියක්‌ හිමිව ඇත.

උපන් දා සිට කුමර ජීවිතයක්‌ ගත කළ පෙම්සිත් ගේ ප්‍රේමණීය සිත අවධි වූයේ වැලිකෙළියේ පටන්මය. පාසලේ හත ශ්‍රේණියේදී තම වයසේම සොයුරියකට ආදරෙයි කියූ ඔහු මෙම ප්‍රේමණීය ගමනේදී විවිධ හැඩතල, විවිධ ගතිගුණ ඇති ආදරවන්තියන් රාශියකටම ප්‍රේමය දී පසුව එය කඳුලට මාරු කර මාරු වී ඇත. ඔවුන් සියල්ලක්‌ම අයිති වන පොදු කුලකය 'රුවැත්තියෝ' බව ද පෙම්සිත් හොඳින්ම දනියි.

කඳුවැටි, වෙරළ තීර, තුරු ගොමු, පසු කරගෙන පැමිණි මෙම රසවත් ගමනේ තවත් එක්‌ නැවතුම්පළක්‌ ලෙස ඔහුට සියුමැලිකා හමු වී ඇත. ඇය ඔහුගේම ආයතනයේ අතිශය සුන්දර පෙනුමැති ලිපිකාරිනියකි. ඔහුට ඇය ජීවිතය පුරාවටම ළං කර ගනිමින් මේ ගමන නිමා කරන්නට ද සිත නැතුවා නොවේ. එහෙත් ඔහු වැජඹෙන සමාජ තලයට ඇය කෙසේ ගලපන්නට දැයි පෙම්සිත් ට නොවැටහේ.

දණ හිසටත් පහළට ඇද වැටෙන තනි කරලට ගෙතූ කෙස්‌ වැටිය ඉඟටිය දක්‌වා කොට කර හැඩගන්වන්නට ඇය කැමති නැත. කෙටි ඇඳුමකින් සැරසී ප්‍රිය සාදයකට යන්නට කලිසමකින් සැරසී මුහුදු වෙරළට යන්නට, හදිසියේවත් බියුටි සැලෝන් එකකට ගොඩවන්නට ඇය කැමති නැත. කෙටියෙන්ම පවසන්නේ නම් ඇය ගොඩේ කෙල්ලකි.

මෙකී නොකී බොහෝ නොගැළපීම් එකක්‌ පරයා එකක්‌ පැන නගින විට ඔහු මෙම ප්‍රේමයට ද විරාම ලකුණ යෙදුවේ දෙදෙනාගේම යහපතට යෑයි කියමින් ය. සියුමැලිකා ලොකු අතු අල්ලන්නට ගොස්‌ සිදු වූ දේ ගැන සමහරු ඇනුම්පද කීහ. සමහරු දුක්‌ වූහ. පෙම්සිත්ට නම් ඒ ගැන එතරම් දැනීමක්‌ නොවීය.

පෙම්සිත් ගේ විධායක ශ්‍රේණියේ දෙමාපියෝ ඔහු සමඟ මනාලියන් දුසිම් ගණනක්‌ බලන්නට ගියහ. සමහර මනාලියන් ඔහුට කැමති නැත. සමහර මනාලියන්ට ඔහු කැමැති නැත.

"ඔන්න සනා මේක අපි යන අන්තිම මනමාල ගමන. අපි නම් තවත් හොයන්නේ නෑ. ඔයාම හොයා ගන්න"

හති වැටී සිටි දෙමාපියන් තවත් සවාරියකට එක්‌ වූයේ මේ අයුරින් ය.

ඔවුන් දෙපාර්ශ්වය හමු වූයේ හෝටල් අංගනයකදීය. කලින්ම පැමිණ සිටි මනාලියගේ පාර්ශ්වකරුවෝ ඔවුන් මහ ඉහළින් පිළිගත්හ.

සුදොa සුදුවන් පාටි ෆේ‍රdක්‌ එකකින් සැරසී සිsහින් උල් අඩි පාවහන් පයලා සිටි ඇය ඔහුට පෙනුනේ හංස ෙනුවක සේය. සුන්දර ඇය සරාගී පෙම්සිත් ගේ දෙමාපියන් පිළිගනු ලැබුවේ උණුසුම් හාද්දකිනි. පෙම්සිත් වෙනුවෙන්ද එවැනි පිළිගැනීමකට මැළි නොවන බවක්‌ ඇය තුළින් විද්‍යමාන විය.

උරහිසට මදක්‌ පහළට වැටුණු තැනින් තැන කපා හැඩ ගන්වන ලද කෙස්‌ වැටිය සුළඟේ ඒ මේ අත විසිරේ. ඒ අතරින් මතුවන සැඟවෙන සුදු පැහැ තෝඩු යුවළ ඇගෙ රූ සිරි දෙගුණ කරයි. මොඩ්ලින් ගර්ල් කෙනෙකු ගේ ගමන් තාලයට පැමිණි ඈ පෙම්සිත් අසලින්ම අසුන් ගත්තාය. ඇය වෙතින් හමා ආ පැරිස්‌ විලවුන් සුවඳ ගත සිත මන්මත් කළේය.

ප්‍රභූ පන්තියේ තේ පැන් සංග්‍රහයක්‌, ගරු ගාම්භීර දෙබස්‌ හුවමාරුවක්‌ අතරේ පෙම්සිත් අනාගත සිහින දකින්නට විය. ඇය ඔහුට ඕනෑවටත් වඩා ගැලපේ. හිස ඇල කර ඇස්‌ කොනින් බලා නඟන සිනහවට ඔහු බොහෝ කැමතිය. ඔහු පැතූ අතිශය සුන්දර මනාලිය ඇයයි. සියුමැලිකාගේ බයාදු කුළෑටි බැල්ම මෙවන් මොහොතක මතක්‌ කිරීමද අපරාධයකි.

"අපි මේ දෙන්න කැමැති නම් මේ වැඩේ ඉක්‌මනින්ම කරල දාමු. අපට දැන් ඕන, මේවයෙන් ෆ්‍රS වෙලා ඔය මොනව හරි සමාජ සේවාවක්‌ කරගෙන ඉන්න නෙ"

ඒක ඇත්ත. අපි මේ දෙන්නටම කියමු තමන් ට ඕන විදියට වෙඩින් එක ප්ලෑන් කරගන්න කියල..."

"ආ... මෙහෙමයි, අපේ "ඩෝටර්"ට ආයෙ මාසෙකට සිංගප්පූරු යන්න වෙනව"

"ප්‍රශ්නයක්‌ නෑ... නේද පුතා...? ආව ගමන් ම අපි වෙඩින් එක ගනිමු"

මෙය නම් අරුමයකි. තමා ඉතා වාසනාවන්තයකු සේ පෙම්සිත්ට දැනෙයි. හෝටලය පිsහිටා ඇත්තේ කඳු ගැටයක මුදුනට වෙන්නටය. වටේටම ඇති කඳුගැට සියල්ල හරිත වර්ණයෙන් දිදුලයි. හෝටල් බිමට පහළින් ඇදෙන තාර පාර නාගයකු මෙන් වංගු ගසමින් ඊළඟ කඳුවැටියේ කෙළවර දී නොපෙනී යයි. ඒ අසලම ඇති සුන්දර දෙමහල් ප්‍රාසාදයටම ඇදෙන මාවතක්‌ සේ මොහොතකට එය නෙත් මායාවක්‌ මවයි.

සඳළු තලයේ අද්දර රැඳුන අතැඟිලි අග සුමුදු ඇඟිලි තුඩක්‌ දැවටෙයි.

"අපි දෙන්න. ස්‌කයිප් එකෙන් කතා කරමු හොඳද?" ඇය හිස ඇලකොට සුකොමල තාලෙන් හිනැහෙයි.

"ස්‌කයිප් ඇයි? මම එන්නම් ඔයාලගෙ ගෙදර"

"හරි හරී... ඔයා එන්න. ඒත් හෙට උදෙන්ම මම ෆaලයිට්‌ එකට නගිනවනෙ..."

පෙම්සිත් මුවෙන් නොදොඩා බලා සිටින්නට විය.

"අපේ වෙඩින් එකේ අයිටම්ස්‌ ටිකකුත් මට එහෙන් කරගන්න පුළුවන් වෙයි. මම ඉක්‌මනටම එනවනෙ..."

"හැබැයි මීට පස්‌සෙ ඔය ගමන් තනියම බෑ හරිද?"

"ඕ... කේ... සර්"

short1ඈ නැවත හිස ඇල කරමින් සිනා සී සමුගත්තාය. එම මාසයම පෙම්සිත්ට කාර්ය බහුල මාසයක්‌ විය. මංගල උත්සවයේ කුදු මහත් කටයුතු සූදානම් වෙමින් තිබුණේ දෙගුණයක වියදමින්ය. වෙහෙස මහන්සිය, අවිවේකය මේ කිසිවක්‌ ඔහුට නොදැණුනේ ඇයගේ ආලවන්ත ඇසුර නිසාය. රාත්‍රියෙන් වැඩි කාලයක්‌ ඔවුන් පරිගණක තිරය හරහා දොඩමළු වූයේ කාන්දමට හසුවූවන් මෙනි.

හදිසියේම එක්‌ උදෑසනක පෙම්සිත් විධායක නිලධාරී තුමාට කාර්යාල අංගනයේ දී ලිපිකාරිනී සියුමැලිකා මුණගැසුණේය. පෙම්සිත් තම නිකට දෙනෙත් තිබූ උසට එසෙවන තුරු ගෙල ඉහළට දික්‌ කරමින් අඩියට දෙකට පියගැට පෙළ නැග ගත්තේය. කකුලේ මහපටැඟිල්ලටත් අඩියක්‌ යටින් පොළව තුළට නෙත යොමාගත් සියුමැලිකා කොරිඩෝවේ කුළුණු අතරින් වසං වූයේ නෙත අග තෙත ගතිය ඇඟිලි තුඩට ගනිමින්ය.

ලහි ලහියේම කාලය දිවගොස්‌ නැවතුණේ පෙම්සිත්ගේ සිහින උදාවන දිනයෙන්ය. තරු පහේ හෝටල් පරිශ්‍රය නන් විසිතුරෙන් බබලන්නට වූයේ දෙව්ලොව සිරි කැඳවමින්ය. ආයතන ප්‍රධානීන් උසස්‌ ව්‍යාපාරිකයන් ඉහළම තලයේ දේශපාලකයන්, මේ සියල්ලන්ගේ හැඩකාර, පෙරළිකාර බිරින්දෑවරුන් හා දූ දරුවන්ගෙන් හෝටල් ගෙබිම අලංකාර ගෙවත්ත ඉතිරී පැතිරී ගොස්‌ ඇත. ඇය ඔහු අසලය. අද නම් ඇය ඇස්‌ අදහාගන්නට බැරි තරමට සුන්දරය. කවදත් පෙම්සිතගේ ප්‍රේමනීය සිත අවදි වූයේ කෙල්ලන්ගේ සුන්දරත්වය ඉදිරියේම පමණි.

සංගීත රිද්මයෙන්, නර්තනයෙන්, ගැයුමෙන්, සුපිරි භෝජනයෙන් සපිරි උත්සවය නිමා වූයේ හිරු බැස යන හෝරාවත් සමඟය. ඔවුන් මධුසමය සඳහා පිටත්වූයේද කඳුගැටයක මුදුනේ වූ තරු පහේ හෝටලයකටය. ඒ ද තනිවම නොවේ. පෙම්සිත්ගේ මිතුරන් සමූහයක්‌ද සමඟය.

එම රැයේ හෝටල් අංගනයේ සිට රෑ මැදියමද පසුවන තුරු ඔවුහු මීවිත පිරූහ. සරාගීද හරි හරියටම පෙම්සිත්ගේ මිතුරන් සමඟ සාදයට එක්‌වූවාය.

"අනේ බබා, මට හරි ටයර්ඩ් අනේ... මම රූම් එකට යන්නම්. ඔයා එන්න..." කියමින් ඇය යන්නට ගියද මිතුරු සංගමය තව හෝරා කිහිපයක්‌ම පැවතිණි.

හිමිදිරි උදෑසන හිරුට පෙර අරුණ කැන් වැටී තිබේ. නෙතමුලා කරන මීදුම් තිමිරය ඉරෙමින් කඩතොළු වෙමින් තිබේ. නින්දෙන් අවදි වූ පෙම්සිත්ගේ මනමාල ඇස්‌ සරාගී වෙත යොමුවිය.

දුටු දෙයින් අන්දමන්ද වූ පෙම්සිත් නෙත පිසදමා නැවත ඇය දෙස බැලුවේය. අරුමයකි, පුදුමයකි. ඊයේ ඔහුගේ නෙතට රසඳුනක්‌ වූ ඇය නම් මේ නොවේමය. සුදෝසුදු හංස ධේනුව අද දුඹුරු පාටය. දිගටි කළු ඇසිපිය තිබූ තැනක්‌ වත් නැත. දේදුනු දෙබැම තිබූ තැන මුඩුකර ඇත. රෝස පැහැයට වූ දෙකොපුල් නිතර ආලේපන තැවරීම නිසාම වියළි රැලි ගැන්වී ඇත. රන් පැහැයට වූ දෙතොල දුර්වර්ණය.

පෙම්සිත්ගේ උගුරෙහි ටෙනිස්‌ බෝලයක්‌ හිරවූවා වැනිය. සිහිනෙන් ඇවිදින්නා වාගේ සඳළුතලයට පැමිණි ඔහු සනීප පුටුව මත දිගා විය. "සිදුහත් කුමරුන් දුටු නළඟනන්ගේ විකාර" චිත්‍රය පෙම්සිත්ට සිහිවිය.

නින්දෙන් අවදි වූ සරාගීද සුරතල් වෙමින් ඇඹරෙමින් පැමිණ පුටුවකට පැන ගත්තේ කුඩා දැරියගේ හැසිරීම සිහිගන්වමින්ය.

"හායි හබී, ගුඩ්මෝනිං මොකද මූණ එල්ලගෙන..." කියමින් ඈ සුපුරුදු ලෙස හිස ඇලකර ඇස්‌ කුඩාකර සිනාසුණාය.

"නෑ... මොකුත් නෑ" කියමින් ඔහු ඇයව ඕනෑකමින් නැරැඹුවේය. ඒ සිනහව මේ රූපයට නම් කෙසේවත් නොගැලපේ.

එය නම් අමුතුම ඉරියව්වකි. එක්‌ පාදයක්‌ ඉදිරියේ ඇති කැටයම් කළ කනප්පුව මතට අතහැර තිබේ අනෙක්‌ පාදය දණහිසෙන් නවා අසුන්ගත් අසුනේ ම තබාගෙන ඇත.

"ඇයි ඔයා ඔහොම බලන්නෙ? මේ ඊයෙ ඇප්ලයි කළ කියුටෙක්‌ස්‌ එකනෙ. ඒක අද ෙඩ්‍රස්‌ එකට මැච් වෙන්නෙ නැහැ. මේ රිමූව් කරන්න හදන්නෙ වෙන කලර් එකකින් ඇප්ලයි කරන්න.

දෑසට මායාවක්‌ කැඳවූ මීදුම් තිමිරය හොඳටම තුනී වී ඇත. සඳළුතලයේ තැන් තැන්වලින් කුළෑටි කෙල්ලකගේ රුවක්‌ එබිකම් කරන අයුරු පෙම්සිත්ට පෙනේ. හිරු දෙසටම නැවෙන සූරියකාන්ත මලක්‌ විලසින් ඇය ඔහු දෙසටම හැරෙමින් බිම බලාගෙන සිටින අයුරුම ඔහුට පෙනේ.

මේ සඳළුතලයට පහළින්ද කඳු වැටියෙන් කඳුවැටියට මාරුවන මාවතක්‌ ඇත. එය තාර පාරක්‌ නොවේ. ගුරු පාරකි. කඳු සියල්ලේම හරිත පැහැය කවුරුන් හෝ මුඩු කර ඇත. සෝදාපාළුව නිසා කඳු ද මාවතද කඩතොළුය. එම මාවතද වංගුවක්‌ අසලින් නොපෙනී යයි. මාවත ඉන් අවසන් වන බවක්‌ පෙනේ. නමුත් එහි සුවිසල් මැඳුරක්‌ තබා ඉපල් බේරුණු ගසක්‌ වත් නැත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »