Home / කෙටි කතා / භාවනාව

භාවනාව

2018-03-04 01:58:00       568
feature-top
උදාවන හිරුගේ රිදීවන් රැස් දහරා බෝපත් අතරින් පෙරී අවුත් බෝ මළුව සිප ගනිමින් තිබුණා. සිහින් සුළඟක් හමා ගියේ බුදු කුටිය අබියස දැල්වෙන හඳුන්කූරු සුවඳ අවට වාතලයට මුසු කරමිනුයි. සුදුවතින් සැරසුණ උපාසක උපාසිකාවන් ධර්‍මශාලාවේ සන්සුන් ඉරියව්වෙන් හිඳගෙන භාවනා වැඩසටහනට සූදානම් වුණා.

“එහෙමනම් පින්වත්නි හිතත් කයත් සංවර කර ගන්න. ඔබ හැමදෙනාම මේ ස්ථානයට පැමිණෙන විට ඔබේ සිත් තුළ තිබුණ නොයෙකුත් කල්පනාවන් මඳකට හිතෙන් බැහැර කරන්න. දෑත් ඉදිරියේ තබාගෙන දෑස් පියාගන්න. දැන් විනාඩි පහක් ආනාපානා සති භාවනාවේ යෙදෙන්න.”

විශ්‍රාමලත් පාසැල් ගුරුවරියක වූ සුමේධා මහත්මිය ද දෑස් අඩවන් කර ගනිමින් ආනාපාන සති භාවනාව ඇරඹුවා. සෑම ඉරු දිනක ම මාතර බෝසමිඳු අබියස පැවැත්වෙන භාවනා වැඩසටනට ඇය කාලයක සිට සහභාගී වුණේ එයින් ඇගේ ජීවිතයට කිසියම් සහනයක් ළඟා කර ගැනීමට හැකි වේවි යන අදහසින් යුතුවයි. ආනාපාන සති භාවනාවේ යෙදී සිටි පිරිස විනාඩි පහක පමණ කාලයක් එකී ව්‍රතයේ නියැළී සිටියා.

“පින්වත්නි දැන් දෑස් විවර කරන්න. ඊළඟ භාවනාවට අපි සූදානම් වෙමු. දැන් මෛත්‍රී භාවනාව වඩන්න පින්වතුන් සූදානම් වෙන්න.”

සුමේධා මහත්මිය සිය දෙනෙත් විවරකර වට පිට බැලුවා. පිරිසක් චෛත්‍යය අබියස මල් පහන් පූජාවේ නියැළී සිටි අතර, තවත් පිරිසක් බෝධීන් වහන්සේ වටා දිය බඳුන් රැගෙන පෙළ ගැසී බෝධි පූජාවේ යෙදී සිටින අයුරු ඇගේ දෙනෙතට හසු වුණා. ඒ අතර සිටි එක් පුද්ගලයකු ඇස ගැටීමත් සමඟ සුමේධා මහත්මියගේ සිත ගැස්සිලා ගියා. ඇය විමසිල්ලෙන් යුතුව ඒ දෙස නෙත් යොමා සිටියා.

‘දෙයියනේ සමරජීව වතුර භාජනේකුත් අරගෙන බෝධිය වටේ යනවා. හ්ම් එහෙනං එයාටත් ආගම මතක් වෙලා. කරපු පව් හෝදගන්න වෙන්න ඇති. ඒ මනුස්සයත් මෙතෙන්ට ම ආව හැටි, මං මේ කාලෙක ඉඳන් කරගෙන ආ වැඩේ කඩාකප්පල් කරන්න. මාව ඉන්නව දැක්කද දන්නෙ නෑ. යන්තං හිත එකලාසයක් කරගෙන භාවනා කරන්න ලෑස්ති වුණා විතරයි. දැන් ඉතිං ඒ වැඩෙත් ඉවරයි. අනේ ඇත්තට කවදාවත් නැතිව මේ මනුස්සය මෙතෙන්ට ආව එකනේ පුදුමෙ. රැවුලත් වවාගෙන හරිහමං ඇඳුමක්වත් ඇඳල නැතුව’

“පින්වත්නි දැන් මෛත්‍රී භාවනාව ආරම්භ කරන්න. මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා. මම වාගේ සියලු සත්වයෝ....

සුමේධා මහත්මියගේ සිත නොසන්සුන් වෙලා. ඇය හිත එකලාසයක් කරගන්න උත්සාහ කළත් පලක් නොවන බව ඇයට හැඟී ගියා. දැන් ඉතිං භාවනාව තියෙද්දි වහන්වෙලා ඉන්න ඕන. මාව දකිනවටවත් මං කැමති නෑ. මගේ මුළු ජීවිතේ ම කාලකන්නි කරපු මිනිහ. ගෙදර ගෙනත් තියාගෙන හිටපු ගෑනිත් මේ මෝඩ මිනිහ හූරගෙන කාල වෙන එකෙක් එක්ක පැනල ගිහින් කියලත් ආරංචියි. ඒක තමයි ආගම මතක් වෙන්න ඇත්තෙ. එක අතකට එයා හිටිය කියල මොකද. එහෙම ඉඳල යාවි නේ. මම මගේ වැඩේ කරගන්න ඕන. සමරජීව වතුර භාජනයත් අරගෙන බෝධිය වටේ ඇවිද යන දසුන දෙස ඇය මඳ වෙලාවක් බලා සිටියා.

‘පවු කියල හිතෙනව දැන් එයාගෙ ඉඩකඩම් හුඟක් විකිණිල කියලත් ආරංචියි. මෝඩයා... එයා මගේ ජීවිතෙත් නාස්තිකරල එයාගෙ ජීවිතෙත් නාස්ති කරගත්ත. ඒකාලෙ මම කොහොමට හිටිය කෙනෙක්ද. මට මෙහෙම වේවි කියල හීනෙකින්වත් හිතුවද’

“පින්වත්නි දැන් කවුරුත් ඇහුම්කන් දෙන්න....

සුමේධා මහත්මිය ගේ මනෝලෝකය එක්වරම කඩා වැටුණා. ඇය හාමුදුරුවන් වෙතට නෙත් යොමුකරමින් හිත සන්සුන්කර ගැනීමට උත්සාහ කළා. ඒත් ඒ උත්සාහයත් ව්‍යර්ථ කරමින් ඇගේ සිත නැවත හෙමි හෙමින් අතීතය කරා පියාසර කළා. ඇගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙලා ගිය හැටි, ඒ එක් එක් අවස්ථා සිතුවම්පටක් මෙන් ඇගේ මනස ඉදිරියේ දිගහැරෙන්න පටන් ගත්තා. ඇයට ඇගේ පාසැල් කාලෙ සිදුවුණ සිදුවීම් පවා මතකයට නැඟෙන්න වුණා. සමරජීව හිටියෙ මට වඩා වසර දෙකක් ඉහළ පන්තියක. දවසක් එයා ‍මගේ යාළුවෙක් අත මගෙන් අහල එව්ව එයා එක්ක යාළුවෙන්න කැමතිද කියල. මම එදා එයාට මගේ අක­ැමැත්ත දන්වල යැව්වත් එයා ඒ අදහස අත්ඇරගෙන තිබුණෙ නැහැ. එයා හැම තිස්සෙ ම උත්සාහ කළා මාව නම්මගන්න. ඒත් මම කොහොම හරි බේරිල හිටිය. පස්සෙ එයා අධ්‍යාපනෙත් කඩාකප්පල් කරගෙන පාසැලෙන් අස්වෙලා ගියා. එහෙම ගිහින් එයා බිස්නස් කරන්න පටන්ගත්ත. මට ගුරු පත්වීමක් ලැබුණා. ඔය අතරවාරෙදි තමයි සමරජීව අපේ ගෙදරට මංගල යෝජනාවක් ගෙනාවෙ. මගේ ඒත් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් එයාලට දේපළ හෙම තියෙන නිසා අම්මල තාත්තල කැමති වුණා. අන්තිමේදි මටත් ඒකට කැමති වෙන්න සිද්ධ වුණා. එහෙම තමයි අපේ විවාහය කෙරුණෙ. එහෙම විවාහ වෙලා අවුරුදු දෙකක්වත් අපිට එකට ඉන්න බැරි වුණා. බැඳල ටික කලකින් මට සමරෙ ගැන එක එක නරක ආරංචි අහන්න ලැබුණා. මම ඒව ගණන් ගන්නෙ නැතුව ඉන්න හුඟක් මහන්සි ගත්තා. කොහොම වුණත් එයාට විවාහ ජීවිතේ ගැන තේරුමක් තිබුණෙ නැහැ. එයා හිතුවෙ කන්න බොන්න අඩුපාඩු නැතුව තිබුණ ම ඇති ය කියල. කොහොමහරි මම දුකෙන් අසහනයෙන් ඉන්න බව ගෙදර ඩ්‍රැයිවර්ට තේරිලා එයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. ඒත් මම ඒවට අහුවුණේ නැහැ. ඒ වුණාට සමරෙ මාව අවිශ්වාස කරන්න පටන් ගත්තා. අපි අ‍තරෙ නොහොඳ නෝක්කාඩුකම් ඇතිවුණා. ඒ විදියට දිගෙන් දිගට අරෝවල් ඇතිවෙන්න අරගෙන මට ඒ ජීවිතේ ම නීරස වුණා. එපා උණා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ මට එයාගෙන් අයින් වෙන්න සිද්ධ වුණ එකයි. එක අතකට මට දැන් හිතෙනව මමත් ඉක්මන් වුණා වැඩිද කියලත්. මොකද අපි පුරුදු වෙල තියෙන්නෙ තමන් හරි අනෙක් කෙනා ම වැරදිය කියල හිතන්නනේ.

“පින්වත්නි දැන් කවුරුත් භාවනාවෙන් මඳක් ඉවත් වෙලා. ටිකක් විවේක ගන්න. ඊළඟට අපි තවත් භාවනාවකට යොමු වෙමු.”

සුමේධා ගුරුවරිය වට පිට බැලුවා. බෝධි පූජාවෙ යෙදිල සිටි හුඟ දෙනෙක් ඉවත්වෙලා ගිහින් සමරජීවත් පේන්න නැහැ. ‘පවුකාර මනුස්සය... හැටි දැක්ක ම දුකත් හිතෙනව. අද මේ භාවනා වැඩේ හරියන්නෙ නැහැ. මෙහෙම ඉඳල ගෙදර යනවා. හිත එක අරමුණක තියාගන්න එක ඒ තරං ලේසි නෑ. අර කියන්නෙ දුවන අශ්වයෙක් පිටේ පුහුණු ගෙඩියක් රඳවල තියනව වගේ කියල. ඒක ඇත්ත. සේරට ම වැඩිය අර මනුස්සය ආපු එක. ඒත් ඉතිං මොනව කරන්නද කොහොම හරි මේ පැත්තට හිත යොදවන්න එපා ය. එක අතකට අපි මෛත්‍රී භාවනාව කියල එක තැනක වාඩිවෙලා ඒ භාවනාවෙ තියෙන පාඨ එකින් එක කියන එකනේ කරන්නෙ. ඒක අපේ හිතට ධාරණය වෙනවද? හරි නං අපි කරන්න ඕන අපි ඒ ධර්‍මය ජීවිතය බද්ධ කරගන්න එකයි. ඒ ධර්‍මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නොවුණ නිසානේ සමරජීව දැක්ක හැටියෙ මගේ හිතේ ද්වේෂයක් ඇතිවුණේ! ඇයි මට එයාටත් මෛත්‍රී කරන්න බැරි. කල්පනා කරල බැලුව ම අපේ විවාහ ජීවිතේ කඩාකප්පල් වුණ එකට මමත් වග කියන්න ඕන. අපි එකිනෙකා තේරුම් ගන්න උත්සාහ නොකරපු එකේ වරද තමයි මූලික හේතුව. මීට පස්සෙ මම ඒ මනුස්සයට වෛර කරන්නෙ නැහැ. මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන.

භාවනා වැඩසටහන නිම කළ සුමේධා ගුරුතුමිය සිය ගමන් මල්ලත් ගෙන නිවස බලා යාමට බස් නැවතුම වෙත පිය නැඟුවා. හිස මත තිබූ මහබරක් බිම තැබුවාක් වැනි සැහැල්ලුවක් ඇගේ සිතට දැනෙන්න වුණා. ඇය කෙමෙන් කෙමෙන් බස් නැවතුම් පොළට ළඟා වුණා. එවිට ඇගේ දෙනෙතට හසුවුණේ සමරජීවත් බස් නැවතුමේ රැඳී සිටින දසුනයි. ඇය මඳක් ගමන බාලකර දුර සිට ඔහු දෙස බලා සිට සෙමෙන් ඔහු අසලට කිට්ටු කළේ ගැහෙන හදින් යුතුවයි. ඇය මඳ වෙලාවක් නිහඬව සිට කටහඬ අවදි කළා.

“සමරෙ මොකද මෙහේ?”

ඔහු සුමේධා දෙස බලා ඉවත බලාගත්තා.

“උදේට කාලද?”

“නෑ මම ගෙදර ගිහින් කනවා”

“මෙන්න මේක අරගෙන ගිහින් කඩේකින් මොනව හරි කන්න” සුමේධා සිය අත්බෑගය විවෘත කර රුපියල් දාහේ නෝට්ටුවක් අරගෙන ඔහු වෙත දිගුකළා.

සමරජීව මොහොතක් නිහඬව ඉවත බලා සිට එක්වරම මුදල් නෝට්ටුව රැගෙන ඉවත්ව යද්දී ඔය කොණ්ඩෙයි රැවුලයි කපාගන්න යැයි සුමේධා කී වදන් ඔහුට ඇසුණාද නැත්නම් මුහුද දෙසින් හමා ආ සුළඟට මුසුවී ගියාද යන්න නිනවුවක් නැතිව හුන් ඇගේ මුවින් සුසුමක් පිටවී වාතලයට මුසු වුණා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »