Home / කෙටි කතා / සියුමැලි...

සියුමැලි...

2018-02-28 12:15:00       780
feature-top
තුනට කාලයි. මම ඔරලෝසුව දිහා බැලුවා. කන්තෝරුව ඇරෙන්න තව පැයකටත් වඩා තියෙනවා. මාස තුතනකට විතර කලින් පත්වීම අරන් ආවත් අද ද මන්දා වැඩක් නැතිව ඉන්න වෙලාවක් ලැබුණෙ. ගතට වගේම හිතටත් නිදහසක් දැනුණා. පරිගණක උපාධියක් අරං රස්සාවට ආවත් තාමත් පරිගණකවලින් කෙරෙන වැඩ අඩුයි. ඒ නිසාම මටත් අඩු වැඩි වශයෙන් කරන්න වුණේ ලිපිකරු රාජකාරි.

“මල්ලි වැඩක් නෑ නේද මේ ෆයිල් එක ටිකක් බලලා දෙනවද?”

“මල්ලි අද නම් මගෙ ලියුම් ටික හදලා දෙන්න ඕන; කන්තෝරු නෝනලගෙන් එන වැඩ නම් ඉවරයක් නෑ.

ඒ නිසා අනිත් කාටවත් නැති තරම් වැඩ කන්දරාවක් මට කරන්න තිබුණා. “ඔයා දමයන්ති මිස්ගෙ වැඩ විතරයි නෙ කරන්නෙ. නිකං ඉන්න එකේ අපිටත් උදව්වක් කරන්න. මං සී සී මිස්ට කිව්වා අද මගේ වැඩ වලට ඔයාව අඬගහ ගන්නවා කියලා”. මාව බෙදා ගන්න බැරිව කන්තෝරුවෙ මිස්ලා රණ්ඩුත් වෙනවා.

මට එහා පැත්තෙ මේසෙ ඉන්න නිශාන්ති මිස්ගෙ දූත් අද කන්තෝරු ඇවිත්. උසස් පෙළ හදාරන නිශාන්ති මිස්ගෙ දූ පන්ති නැති දවස් වලට කන්තෝරුවට ඇවිත් හවසට අම්මත් එක්ක ගෙදර යනවා.

“මේකි නං කට කාර කෙල්ලෙක්” මාත් එක්ක නැතත් අනිත් අය එක්ක ඇය කතා කරද්දි මට හිතුණා. “පුදුම කියැවිල්ලක් තියෙන්නෙ. කට කතුර වගේ”

මටත් ඈ එක්ක කතා බහ කරන්න ඕන වුණත් මොකක්දෝ මන්දා ලැජ්ජාවක්, බයක් වගේ එකක් හිතට ආපු නිසා මම ඇයත් එක්ක කතාවට ගියේ නෑ. කටකාර වුණත් පිළිවෙළට හිටපු ඇය වචනයේ අර්ථයෙන් ම සුන්දර කෙල්ලෙක්. සුදු ගවුම මැදින් වැටුණු තැඹිලි පාට ටයිපටිය ඇයව තවත් වර්ණවත් කළා.

“ඕවා මං දන්නෙ නෑ. අර අයියා ගෙන් අහගන්න.” නිශාන්ති මිස් දුවට කියනවා මම අහගෙන. “මල්ලි මොකද කම්මැළිකමේ වගේ, මෙන්න මෙයාට මේක කියා දෙන්න පුළුවන්ද අපි ඔය කොම්පියුටර් දන්න එකක් යෑ” ඒ ක්ෂණයෙන් ම නිශාන්ති මිස් මගෙන් අහනවා. “ඒ අයියා ගාවට ගිහින් අහගන්න” මං උත්තරයක් දෙන්නත් කලින් ඇයව මං ගාවට එවලත් ඉවරයි.

“හා මහත්තයා … මං මේ කල්පනා කළේ අයියා කියනවද? අන්කල් කියනවද? කියලා කොණ්ඩෙ රැවුල පැහිලා නැති නිසා අන්කල් කියන්නත් බෑ අම්මගෙ යාළුවා නිසා අයියා කියන්නත් බෑ”

“මොකද මේච්චර ආඩම්බර” ඈ මං දිහා බලාගෙන ඔළුව ඇද කරගෙන හිනා වෙනවා.

“හරි දැන් මොනවද අහගන්න ඕන කිව්වෙ” මම කඩහඬ අවදි කළා.

“ඊට කලින් ප්‍රශ්නෙට උත්තර ඕන. මං ප්‍රශ්න දෙකක් ම අහලා තියෙන්නෙ. හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න ප්‍රශ්න මඟ ඇරලා බෑ. අයියා කියන්නද? අන්කල් කියන්නද? දෙකට ම නැතත් එකකට නම් උත්තරයක් ඕනෑ ම යි”

ඇය ආයෙත් හිනා වෙනවා. හිනා වෙන කොට වළ ගැහෙන වටකුරු මුහුණු ඇගේ සොඳුරු බව තවත් ඔප් නංවනවා. සුදු පැහැති අත්වල යන්තමට වැඩුණු රන් පැහැ රෝම දහඩියෙන් තෙත්වෙලා දිලිසෙනවා. හිතේ කොනකට වෙලා තිබුණු ඇයත් එක්ක කතා කිරීමේ ආශාව ඉටුවීම නිසා සතුටක් දැනුණත් ඒ බව නොපෙන්වා ඇය දිහා බලාගෙන හිටියා. මේ පණ්ඩිත කෙල්ල නම් පුදුම කරදරයක් වෙයි මට හිතුණා. ඒත් මං ඒ කරදරයට ආසා කරන්න ඇති.

කරදරයක් වෙයි කියලා හිතුණා වගේම, ඈ ඇගේ හැම දේකට ම මාව හොයන් එන්න පටන් ගත්තා. පාසල නිමවෙලා කන්තෝරුවට එන ඇයට මගෙන් කරගන්න වැඩ බොහොමයක් තිබුණා. පාසලේ පැවරුම්, ඇගයීම්, ව්‍යාපෘති සියල්ල ම කර ගන්න ඈ මා සොයා ආවා. මටත් මොන තරම් වැඩ තිබුණත් ඇය එන දවස්වලට ඈ වෙනුවෙන් කොහොම හරි වෙලාවක් වෙන් කරන්න මටත් පුළුවන් වුණා. මම පරිගණකයෙන් ඇගේ වැඩ කරද්දි ඈත් පුටුව මං ළඟට ම ඇදගෙන ඇගේ නිකට මගේ උරහිසේ තියාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා.

“දැන් ඇති....... කරෙන් බහිමු”

ඒ වෙලාවට එහෙම කිව්වත් ඇය එලෙස මගේ සමීපයේ සිටිම මම ප්‍රිය කළා. ඒක නෑ කිව්වොත් බොරුවක්. ඇතැම් දිනවල ඈ එනකල් මම මඟ බලන් හිටියා කියලත් මට හිතෙනවා. මාසෙ අන්තිමේ පඩි දවසට ඇයට සුළු තෑග්ගක් දෙකක් අරන් දෙන්නත් මං අමතක කළේ නෑ. ඇයත් මාත් අතර තිබුණු විවෘත සබඳතාව ඇගේ මවට වගේම කන්තෝරුවෙ අයටත් අමුත්තක් වුණේ නෑ. මට වඩා වසර 10කින් පමණ බාල ඈ සමග මගේ තිබුණෙ මොන වගේ සබඳතාවක් ද කියන්න අදටත් මට පුළුවන් කමක් නෑ. ඒත් ඇය මගේ ජීවිතයෙ ලොකු කොටසක් වෙන් කර ගෙන හිටිය බව නම් කියන්න පුළුවන්. අධ්‍යාපනය වගේම ජීවිතේට වැදගත් හැමදේම ඇයට කියා දෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ නිසාම පන්තියෙ අනිත් ළමයින්ට වඩා බොහෝ ඉදිරියෙන් ඇය ඉන්නවා කියලා, ඇගේ අම්මා කන්තෝරුවෙ කතා වෙනවා මං සතුටෙන් අහගෙන හිටියා.

මේ වෙද්දි ඇය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලබලත් ඉවරයි. දුවගෙ ජයග්‍රහණය සමරන සාදයට අම්මගෙ කන්තෝරු සගයන්ටත් ඇරයුම් ලැබිලා. මේ ගෙවෙමින් තියෙන්නෙ මගේ ජීවිතයෙ හොඳම කාලයෙ අවසානය. ඈට උදාවෙමින් තිබුණෙ ජීවිතයේ සොඳුරු ම කාලය. තව කොව්වර දවසක් ඇය මට ළං වෙලා ඉඳියි ද? ඉක්මනටම ඇය මගෙන් වෙන් වෙලා යයි. එහෙම හිතෙන කොට පුංචි දුකක් හිතේ කෙළවරකට ගොඩ වෙනවා. එක අතකට ඉක්මනට ම එහෙම වෙනවා නම් හොඳයි. සාදයට ආපු අය සිනා සයුරෙ ගිලෙද්දි මම මිදුලෙ කෙළවර බංකුවට වෙලා මම කල්පනා කළා.

“ඇයි මෙතන. ගෙට එන්නෙ නැද්ද ”

“මෙතන හොඳයි. නිස්කලංකයි. කොහොමත් මං කැමති මෙහෙම”

“මං බලන් හිටියෙ ඔයා විතරක් ඉන්න තැනක්. මං දෙයක් අහන්නද”

“දැන් මොනවද අහන්න තියෙන්නෙ? මෙච්චර කල් කෙළවරක් නැතිව කියෙව්වෙ මගෙන් අහලා නෙමෙයිනේ.”

“ඔයාට යාළු කෙල්ලෙක් නෑ නේද” කවදාවත් අහපු නැති ප්‍රශ්නයක් මං අසලින් වාඩිවෙලා ඇය මගෙන් අහනවා.

“දැන් ඕක ද මහ ලොකු ප්‍රශ්නෙ. මොකද කපු කමක් වත් කරන්න හිතුණද.?”

“එහෙම නෙමෙයි. ඔයා මං වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කළා ද. මට ගෙදර කෙනෙක් ගාවට වඩා ආරක්ෂාවක් ඔයා ගාව තිබුණා. මාව ආදරෙන් බලාගත්තා. මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඔයාට ඒකට අවස්ථාව ඕන තරම් තිබුණා. මං හිතන්නෙ මං හිටපු නිසා ඔයා ඔයාට ඔයාගෙම කෙනෙක් හොයා ගන්නත් බැරි වුණා. ඉතිං බැරි ද මට එතැනට එන්න...”

කවදාවත් තිබුණෙ නැති ශාන්ත ස්වරයක් ඒ හඬේ එදා තිබුණා. ඈ මගේ අත තදින් අල්ල ගෙන උරහිස මත හිස තබා ගෙන සිටියා. නිහඬ වටපිටාවෙ කාලය එක තැනක නැවතිලා වගේ මට දැනුණා.

මම ඈව තුරුලු කරගෙන ඇගේ හිස අත ගෑවා.

“නෑ පුතා”

මං බොහොම අසීරුවෙන් එහෙම කිව්වා. තාත්තා කෙනෙක් තමන්ගෙ දුවෙකුට කතා කරන ගැඹුරු ආදරණීය හඬ ඒ වචන දෙක ඇතුලෙ ගුළිවෙලා තිබුණා.

“පුතා”

“ඔව්.”

අදටත් තේරුම් ගන්න බැරි මගේ ජීවිතයෙ ඇය කවුද කියන එක මම ඇයට විස්තර කරන්න උත්සාහ කළා. වෙනදා වගේ අගක් මුලක් නැති කතා ගොඩක් මම ඈට කියන්න ඇති. එත් මම මගේ ජීවිතේ ඈට තිබුණු තැන මම ඇයට කොහොම කියන්න ද?

“ඇත්තට ම ඈ මගේ කවුද” මම මගෙන් ම එහෙම ඇහුවා. මගේ හිත නිතරම ඇය සෙව්වා. ඈ මගේ ළඟ ඉඳීම මම ප්‍රිය කළා. ඈ නැතිව මට පාළු දැනුණු අවස්ථා බොහොමයි. එහෙම නං ඇයි මගේ ජීවිතේ ඇගේ කොටස ඉල්ලද්දි මම ප්‍රතික්ශේප කරන්නෙ. එහෙම බලද්දි මම ඈට ආදරය කරලා නැද්ද. නෑ ...මම ඈට ආදරය කළා. ඔව්... මුළු හදවතින් ම කිසිම වංචාවක් නැතිව ම. මේ ලෝකෙ වෙන කවුරුවත් ම ඈට ඒ තරම් ආදරේ කරන්න නැතිව ඇති. ඔව්.. දැන් මට තේරෙනවා මං ඈට ආදරය කරලා තියෙන්නෙ, ඒ ආදරේ කොටස් කරලා ඈටවත් දෙන්න බැරි තරමට. එතැන් පටන් සාමාන්‍ය විදියට ඇයව දකින්න උත්සාහ කළත් මගේ හිත ඇයව මඟ හරින්න බල කරනවා කියලා මට හිතුණා. ඇයව තේරිලා තිබුණෙ පේරාදෙණිය සරසවියට. “කොළඹට මාරුවක් ගන්න ඕන” පත්වීම අරං අවුරුදු හතරකට කිට්ටුවෙන නිසා මටත් මාරුවක් ගන්න හිතුණා. කාලයත් එක්ක දුරස් වුණු ඇයත් මගේ මතකයේ කොනකට ගාල් වුණා.

දැන් ජීවිතේ ගෙවෙන්නෙ කොළඹ බෝඩිමේ. සති අන්තෙ වැඩ ඉවර වෙලා ගමේ යන බස් එක අල්ල ගන්න මම ඉක්මනින් ඇවිදගෙන අවා.

“මං ඔයාව කොව්චර හෙව්වද”

ඈත ඉඳන් දුවගෙන ආපු කෙල්ලෙක් අතේ එල්ලුණා. තව පොඩ්ඩෙන් දෙන්නම බිම.

“තාමත් එදා වගේමයි” මට ඈ අඳුර ගන්න අපහසු වුණේ නෑ. හිතේ කොනක සැඟවිලා තිබුණ පරණ මතක එක පොදියට එළියට එනවා.

“මතකද ඇහුවා කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න, මං මේ තරම් ම ඔයාට ආදරේ කරන්න ඉගෙන ගත්තෙ කොහොමද කියලා”

පුදුමයෙන් මං දිහා බලන් ඉන්න තරුණයකුට මාව පෙන්වමින් ඇය කියනවා.

“මේ මට ඒක කියා දුන්න කෙනා. ඒ මං සියුමැලි කාලෙ. දැන් පරිණත විදියට ඔයාට ආදරේ දෙන්නෙ ඒ නිසා. එත් එයා කවුද කියලා කියන්න මං එදා දැනන් හිටියෙත් නෑ; අද දන්නෙත් නෑ.”

ඇගේ ඇස් කඳුළෙන් තෙත් වෙලා තියෙනවා, මම ජීවිතේ පළමු වතාවට දැක්කා. ප්‍රථම ආදරය ජයගත්ත පෙම්වතෙක් තුළ ඇතිවන හැඟීමක් මට ඇති වුණා.

“කළුතර, මතුගම, මීගහතැන්න, වළල්ලාවිට...” බස්එක මාව පහුකරලා යන්න හදනවා. කොන්දොස්තර මල්ලිගෙ කෑ ගැසීම නොවන්න මට ඒක මග ඇරෙනවා.

“මම යන්න ඕන. මේ අන්තිම බස් එක” මම හිමින් සීරුවේ අත අත ඇරියා. “යනවා” වෙනදා ගිහින් එන්නම් කියන මම අන්තිම වතාවට ඇයට කිව්වා. “පරෙස්සමෙන් ....” ඇය මට එහෙම කිව්වත් ඈට මං එහෙම කියන්න ඕන වුණේ නෑ. ඔහු ඇයව ප්‍රවේශමෙන් එක්ක යයි. පසුපසින් දිවගිහින් අදින බස් එකට යංතං ගොඩ වුණා. ඒ දෙන්නා මං දිහා බලන් ඉන්නවා කියලා මට දැනුණා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »