Home / කෙටි කතා / අලියෙක්‌ ඇඬුවා

අලියෙක්‌ ඇඬුවා

2018-02-26 09:19:00       578
feature-top
නැට්‌ටිච්චි තමන් දන්නා නැටුම් ඔක්‌කොම නැටුවාය. වරෙක කළගෙඩි නැටුමක්‌ නැටුවාය. වරෙක හනුමා වන්නම නැටුවාය. වරෙක ගොයම් කපන්නට වූවාය. තවත් වරෙක මධුරි ඩික්‌සිත් වූවාය. තවත් වරක තමන්ගේම නැටුමක්‌ නැටුවාය. බෙරකාරයන්ට මෙන් නොව මේ නැට්‌ටිච්චියට පාර දෙපස සිටින අය ගැන ගානක්‌ තිබුණේ නැත. බෙරකාරයන්ට නම් බෙරය ගැසීමට වඩා වැදගත් වූයේ පාර දෙපස සිට තමන් දෙස බලා සිටින අය දෙස බල බලා යැමය. ඇයට ගානක්‌ තිබුණේ නම් ඇගේ නැටුම ගැන පමණි. කොටින්ම කියනවා නම් ඇයට පෙරහැර ගැනවත් ගානක්‌ තිබුණේ නැත.

මේ අතර අලියා හදිසියේ අඬන්නට වූවේය. හොඬවැල දෙපසට වනමින් නැලවෙමින් ගමන් කරමින් සිටි අලියා පෙරහැරේ යන ගමනත් නවතා පාරේ අයිනට වී නැවතී අඬන්නට වූයේය. අලියාගේ හොඬ කැඩී වැටී තිබිණි. අලියාට කුළුවන් ලස්‌සන කන් දෙකක්‌ තිබිණි. ලස්‌සන දිගු වලිගයක්‌ තිබිණි. එහෙත් ඒ සියල්ලම එසේ තිබිය දී හදිසියේ අලියාගේ හොඬ කැඩී ගියේය. අලියා අඬන්නට වූවේය. පෙරහැරේ ගමන නවතා පාර - අයිනේ නැවතී අලියා අඬන්නට වූවේය. අලියාගේ හොඬවැල කැඩිලා අලියා අඬනවා කවුදෝ කියනු මට ඇසිණි.

මුලින් ද කිව් ලෙස මේ බෙර කාරයන්ට බෙර ගසනවාට වඩා වැඩක්‌ තිබිණි. ඒ පෙරහැර දෙස බලා සිටින අය දෙස බලා සිටීමයි. පාරේ දී තමන් දෙස බලා සිටින ඇතැම් අය දකින විට ඔවුන්ට බෙරයට තට්‌ටු දමන්නට ද අමතක විය. ඒ අතරම හදිසියේම තමන්ට පවරා ඇති කාර්යය බෙර ගැසීම බව මතක්‌ වී බෙරයට තට්‌ටුවක්‌ දමන්නට වූහ. මෙසේ ඔවුන්ට එක්‌ වරක බෙරයට ගැසීමට මතක්‌ විය. තවත් වරක බෙරය ගැසීමට අමතක විය. ඒ මතක්‌ වීම හා අමතකවීම අතර වන අමුතු බෙර පදයක්‌ වයමින් බෙරගෙඩි ඔසවාගෙන පාරේ ගමන් කළහ. කොතනකවත් නැති අමුතු මිහිරි තාලයක්‌ එහි තිබිණි. ඔවුන් ඉතා සතුටින් සිටි අතර ඔවුන්ගේ සතුට වචනයෙන් විස්‌තර කළ නොහැකි නමුත් ඔවුන්ගේ මුහුණු මත නම් ඉතා පැහැදිලිව කියවා ගැනීමට හැකි ලෙස ලියෑවී තිබිණි.

සැබවින්ම අර මුලින් කී එකම නැට්‌ටිච්චිය හැරෙන්ට අනෙකුත් නැට්‌ටුවන්ට හා නැට්‌ටිච්චියන්ට වී තිබුණේ ද බෙරකාරයන්ට සිදුව තිබූ දෙයමය. ඔවුන්ටද නැටීමට වඩා පාර දෙපස තමන් දෙස බලා සිටිය අය දෙස බැලීම වැදගත් විය. ඒ නිසා ඔවුහු බොරුවට අඩියක්‌ තාලයට උඩ පැන ඉන්පසුව පුරුදු පරිදි යළිත් පාර දෙපස බලමින් ගමන් කරන්නට වූහ. බොරුවට නැටුම් තාලයට එක අතක්‌ දමා යළිත් සුපුරුදු ලෙස වට පිට බලමින් ගමන් කරන්නට වූහ. නැටීමට වඩා තමන් දෙස බලන්නේ කවුරුන්දැයි දැන ගැනීමට තදබල වුවමනාවක්‌ ඔවුන්ට තිබුණු බව පෙනෙන්නට තිබිණි. ඔවුන්ගේ අත්පාවලට වඩා නැටුවේ ඔවුන්ගේ හිස්‌ හා දෙඇස්‌ය. ඒ පාර දෙපස තමා දෙස බලා සිටින අය දැක ගැනීමටය. අනිත් අතට පාරේ දෙපස සිටින අය ද ඔවුන්ගේ නැටුම්වලට වඩා මෙසේ එහා මෙහා දුවන ඇස්‌ දුටුවේ යෑයි ද කිව හැකිය.

ඒ අතරම ගිනිබෝලවල ගින්දර නිවී තිබිණි. නොඑසේ නම් ඒවාට ගිනි අවුලුවා තිබුණේ නැත. එහෙත් ඒ නිසා මේ ගිනිබෝලවලට අමුතු බියකරු බවක්‌ ලැබී තිබිණි. ගින්දර ඇති විට ගිනි බෝල බියකරු නැත. එහෙත් ගිනි නැති මේ ගිනිබෝලවල අමුතු බියකරු බවක්‌ තිබිණි. හමුදාකාරයෙකු අත තුවක්‌කුවක්‌ තිබෙනු දුටුවිට බයක්‌ ඇති නොවේ. එහෙත් නිල ඇඳුමක්‌ නැති අයෙකුගේ අතේ ආයුධයක්‌ තිබෙනු දකින විට බියක්‌ ඇති වේ. එසේම මේ ගිනි නැති ගිනි බෝලවලට ද ගිනි නැති කම නිසාම අමුතු බියකරු බවක්‌ ලැබී තිබිණි. මේ ගිනිබෝලවල තිබුණු අමුතු බියකරු බව නිසාම ඒ ගිනිබෝල ඉතා උනන්දුවෙන් මෙන්ම ආඩම්බරයෙන් එක දිගට කරකවමින් ගිනිබෝලකරුවෝ ඉතා උදාරම්ව ගමන් ගත්හ. ඔවුන් කොතරම් ආඩම්බර වී සිටියේ ද යත් තමන් මේ ගිනිබෝල කරකවන්නේ දිවාකාලයේ බවවත් ඔවුන්ට මතක්‌ වූයේ නැත. ගිනිබෝලකරුවන්ට පමණක්‌ නොව පෙරහැර බලා සිටින අයටවත් මේ දවල් පෙරහැරක ගිනිබෝල කරකැවීමේ තේරුම කුමක්‌ දැයි කල්පනා වූයේ නැත.

කසකාරයා නම් කසය ගැසුවේම නැත. කසය ගසනවා තබා කසය ගැසීම ගැන හිතුවේවත් නැත. ඔහු කල්පනා කළ එකම දෙය මේ හොඳ ලස්‌සනට හදා ඇති කසය ගසන්නට ගොස්‌ කසයට මොකක්‌ හරි වුණොත් යන්න පමණක්‌ම බව පෙනිණි. ඒ නිසා ඔහු හොඳ පරිස්‌සමට කසය අතේ තබාගෙන පෙරහැරේ ඉදිරියෙන්ම ගියේය. කෙසේ හෝ ඔහුට හොඳ කසකාරයෙකුගේ පෙනුම තිබිණි. ඔහු කසය නොගැසුවේ හොඳම කසකාරයෙකු වීම නිසා යෑයි ද බලා සිටින ඇතැමෙකුට සිතෙන්නට ඉඩ තිබිණි. මක්‌නිසා ද යත් හොඳම කසකරයන් ආවාට ගියාට තැන තැන කස නොගසන බැවනි. නියම තැනට එන තුරු කසය නොගසන බැවිනි. සමහර විට ඔහු කසය නොගැසුවේ රැස්‌ව සිටි සෙනඟ ප්‍රමාණවත් නොවීම නිසා වන්නට ද හැකිය. නොඑසේ නම් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ පෙරහැරේ ගසන්නට ගොස්‌ කඩා විඳ ගන්නේ නැතිව මේ ලස්‌සන කසය සුරැකීමට ගෙදර ගෙනයාම ද විය හැකිය. කෙසේ හෝ කසකාරයා කසය නොගසාම කසකරයෙකු වූවේය.

අනෙක්‌ වැදගත්ම කරුණ නම් වටේ සිටි පෙරහැර බලන අයට ද තමන් පෙරහැරක්‌ බලන බව නොසිතීමයි. අනෙක්‌ අතට තමන් පෙරහැරක්‌ නොබලන්නේ යෑයි ද නොසිතීමයි. ඒ නිසා බෙරකාරයන් බෙරය නොගසන විට ඔවුන් කලබලයට පත් වූයේ නැත. එසේම හදිසියේම මතක්‌ වී බෙරකාරයන් බෙරය ගසන විට කලබලයට පත් වූයේ ද නැත. නැට්‌ටුවන් නොනටන විට කලබලයට පත් වූයේ නැත. හදිසියේ නැටීමට මතක්‌ වී නැට්‌ටුවන් නටන විට කලබලයට පත් වුයේ ද නැත. දවල් ගිනිබෝල කරකවනු දැක කලබල වූයේ ද නැත. කසකාරයා කසය නොගසා කසය තුරුළු කරගෙනම යනු දැක කසකාරයා සමඟ තරහ වූයේ ද නැත. ඒ නිසා පෙරහැර කැමති පරිදි ගමන් කළේය. බලන අය කැමති පරිදි බලා සිටියහ.

කෙසේ හෝ අලියාගේ කැඩී වැටුණු හොඬවැල යළි සවි කරන්නට හැකි විය. ඒ නිස අලියාගේ ඇඬුම නැවතිණි. එහෙත් ඒ සමඟම අඬන අලියෙකු දැක ගැනීමේ දුර්ලභ වරම පෙරහැර බලමින් සිටින අයට අහිමි විය. සැබවින්ම වැඩි දෙනා බලා සිටියේ පෙරහැරටත් වඩා පෙරහැරේ යන්නේ නැතිව පාර අයිනකට වී නැවතී අඬන අලියා දෙසය. එහෙත් කඩා වැටුණු හොඬවැල යළි සවිකිරීමත් සමඟම අලියා ඇඬුම නැවතුවේය. පෙරහැරට යළි එක්‌ වූවේය. එහෙත් මුලින් පැමිණි විලස නිදහසේ සතුටින් හොඬවැල දෙපසට වනමින් යළි පෙරහැරේ ගමන් නොකළේය. ඒ වෙනුවට හොඬවැල පොඩ්ඩක්‌ වත් නොහෙල්ලෙන සේ ගමන් කරන්නට උත්සාහ ගත්තේය. මක්‌නිසාද යත් යළිත් හොඬවැල කඩා වැටෙතැයි බියට පත්ව සිටි බැවිනි. එහෙත් හොඬවැල වනමින් යන ගමනට වඩා හොඬ නොසොල්වා යන ම් ගමනේ ද කිව නොහැකි තරම් අහිංසකකමක්‌ හා අව්‍යාජත්වයක්‌ විය. එතරම් අව්‍යාජ අලියෙකු මා එතෙක්‌ දැක තිබුණේ නැත.

short1හොඬවැල කඩා වැටීම නිසා අලිය ඇඬූ නමුත් යළිත් හොඬවැල සවිකිරීමෙන් පසුව ඇŽම නැවතූ නමුත් හොඬවැල කඩා වැටෙතියි සිතා පරිස්‌සමින් හෙමිහිට ගමන් කරන්නට වූ නමුත් බෙරකාරයින් බෙරයට තට්‌ටු නොදැමූ නමුත් කසකාරයා කසය නොකැරකවූ නමුත් ගිනිබෝලවල ගිනි නොතිබූ නමුත් නැට්‌ටුවන් නැටීමට වඩා පාර දෙපස තමන් දෙස බලා සිටින අය දෙස බැලීමට උනන්දු වූ නමුත් නිළමේලාගේ කිසිම නිලමේ ගතියක්‌ නොවූ නමුත් මේ පෙරහැර විසින් අමුතු නලියැමක්‌ පාරට දී තිබිණි. සැබිවින්ම මට දැනුනේ පාර ද නලියන බවකි. පාර පමණක්‌ නොව පරිසරයේ ද අමුතු නලියැමක්‌ දැනිණි. බෙර කාරයන් බෙර නොගැසූ නමුත් මට දැනුනේ අවට පරිසරය බෙර හඬින් ගිගුම් දෙන බවකි. තුරු මුදුන්වල සිට පවා බෙරකාරයෝ බෙර ගසන බවකි. අර ඇඬූ පොඩි අලියා මා දුටු අව්‍යාජම පමණක්‌ නොව විශාලතම අලියා ද විය. අර නැට්‌ටිච්චි පමණක්‌ නොව නැටීම වෙනුවට පාරේ තමන් දෙස බලා සිටින අය දෙස බලමින් ඔහේ අඩි තබමින් ගිය නැට්‌ටුක්‌කාරියන් හා නැට්‌ටුවන්ද මට පෙණුනේ මා දැක ඇති හොඳම නැට්‌ටුක්‌කාරයන් හා නැට්‌ටුක්‌කාරියක්‌ ලෙසිනි. එසේ නටානොනටා ඇවිදීමේ ඇති ලස්‌සන මා දැක ඇති වෙනත් කිසිදු නැටුමක දී මට දැකගන්නට නොලැබුණු ලස්‌සනක්‌ බව මට හැඟුණේය. කසය නොගසන කසකරුවා තරම් උදාර කසකාරයෙකු මා කවදාවත් දැක නැතැයි මට සිතිණි. කස නොගැසීම තරම් දක්‍ෂ කස ගැසීමක්‌ නැතැයි මට සිතිණි. අර ඉහත කී නැට්‌ටිච්චිය නැටූ පරිදි කළගෙඩි නැටුමත් කුළු නැටුමත් හින්දි නැටුමත් වන්නම් නැටුමත් කළවමේ නැටුම ලෝකයේ හොඳම නැටුම යෑයි මට සිතිණි. මේ පෙරහැර මා ජීවිතයේ දකින ලස්‌සනම පෙරහැර යෑයි මට සිතිණි. එයට හේතුව වූයේ මා ආවේ පෙරහරක්‌ බලන්නට සිතාගෙන නොවීමය. එහෙත් මා ගැන අනුකම්පාවෙන් දෝ දෙවියෝ මා එන ඉදිරියේ පෙරහැරක්‌ මවා තිබුණේය. දෙවියෝ මැවූ නිසාදෝ එහි මහ හඬින් අඬන අලියෙක්‌ ද සිටියේය. දෙවියෝ මැවූ නිසාමදෝ එහි සෑම නැටුමක්‌ම කළවමේ නැටූ අපූරු නැට්‌ටිච්චියක්‌ ද සිටියාය.

ඉතිං දැං මේ කතාව මොහොතකට වෙනත් අතකට යොමු කළ යුතුය. සැබවින්ම වෙනත් අතකට යෑයි කීව ද එය මේ කතාවේම දිගුවක්‌ බව ඔබට අවසානයේ දී වැටහෙනු ඇත. මිනිසෙකුගේ සැබෑ ස්‌වභාවය දැනගත හැක්‌කේ උදේ කාලයට යෑයි කිවහැකිය. මිනිසුන් සමහරෙකුට හෙම්බිරිස්‌සා කැස්‌ස වෛරස්‌ උණ තිබිය හැකි වූවත් මිනිසුන් හැමෝටම උදේට හැදෙන ලෙඩක්‌ නම් ඇත. එය කඩි කුලප්පුව නම් වේ. අනෙක්‌ වැදගත්ම දෙය හෙම්බිරිස්‌සාව කැස්‌ස ආදී ලෙඩවලට කොත්තමල්ලී පස්‌ පංගුව ආදී බෙහෙත් තිබුණත් මේ කඩි කුලප්පුව නම් ලෙඩේට බෙහෙතක්‌ නොවීමයි. එනම් හැමදාම උදේට බොහෝ අයට විශේෂයෙන්ම රැකියාවලට යන අයට කඩි කුලප්පුව වැළඳෙයි. උදයේ ඇති ප්‍රශ්නය වනාහී කළ යුතුම වන්නා වූ කාර්යයන් කිහිපයක්‌ තිබීම හා ඒවා සියල්ලම යම් වේලාවකට පෙර කළ යුතු වීමයි. කෙසේ වූවත් කඩි කුලප්පුවට බෙහෙත් නැති බව පැවසූව ද කඩි කුලප්පුවට බෙහෙත් පවතින බව මට දිනක්‌ අවබෝධ විය. නොඑසේ නම් මට එක්‌ දිනක්‌ මේ බෙහෙත් නැති කඩි කුලප්පුවට බෙහෙත් සම්බ විය. මගේ කඩි කුලප්පුව සංසිඳිණි. යළිත් මට කඩි කුලප්පුව වරින් වර වැළඳුණත් මේ බෙහෙත් ලැබීමෙන් පසුව එය පෙරදිනවල තරම් දරුණු නොවිණි.

එදා ද සුපුරුදු පරිදි උදයේම මට කඩි කුලප්පුව වැළඳිණි. කඩි කුලප්පුවේ මුල්ම රෝග ලක්‍ෂණය වන්නේ උදෙන්ම ඇස්‌ ඇරීමට ඉතා තද කම්මැලිකමක්‌ දැනීමය. ඉතින් ඒ නිසා ඇඳේ සිටම කඩි කුලප්පුව උග්‍රවන අතර ඉන්පසුව ඇඳෙන් බැස්‌ස පසුව එය තවත් උග්‍ර වේ. කඩි කුලප්පුව වැළඳුණ විට දැකිය හැකි රෝග ලක්‍ෂණයක්‌ වන්නේ සෑම වැඩකටම පෙර දෙතුන් වතාවක්‌ ඉබේම ඔරලෝසුව දෙසට නෙත යොමු වීමය. ඒ නිසා ද සෑහෙන කාලයක්‌ වැය වන අතර එය පෙරළා කඩි කුලප්පුව උග්‍රවීමට ද හේතු වේ. මේ අනුව එදා ද කඩි කුලප්පුව වැළඳෙන අනිත් සෑම දිනයකම මෙන් රැවුල කැපීම, දත් මැදීම, නෑම, කෑම, ඇඳුම් මැදීම, ඇඳීම හ අනෙක්‌ කටයුතු කඩි කුලප්පුවෙන්ම කර කෙසේ හෝ පාරට බැස කඩි කුලප්පුවෙන්ම ඇවිදිමින් බස්‌ නවත්වන ස්‌ථානය එනම් හන්දිය කරා ගමන් කරන්නට වූවෙමි.

එහෙත් හන්දියට ගිය විට මට ඉහත විස්‌තර කළ අපුරු දසුන දකින්නට ලැබිණි. එනම් ඒ හන්දියේ පිහිටි පාසලේ පොඩි පංතිවල ළමුන්ගේ පෙරහැරක්‌ උදේම අව්ව සැර වෙන්නට පෙර වීදි සංචාරය කරමින් සිටියේය. මගේ නෙත් සැනසී ගියේය. කඩි කුලප්පුව සංසිඳී ගියේය. මට වූ දෙය මටම වටහා ගත නොහැකි විය. එහෙත් මට සිදු වූ දෙය මට පසුව වටහා ගත හැකි විය. මේ හදිස්‌සියට එනම් කඩි කුලප්පුවට හේතුව මට වටහා ගත හැකි විය.

අපේ හිතේ කිසිම අරමුණක්‌ නැති විට, පරමාර්ථයක්‌ නැති විට, සන්තෝසයක්‌ නැති විට, සෞන්දර්යයක්‌ නැති විට ඒ හිතේ අඩුව අප වෙනත් යමකින් පුරවා ගනිමු. බොහෝ විට ඒ අඩුව පිරවෙන්නේ තේරුමක්‌ නැති හදිස්‌සියක්‌, ව්‍යාජ හදිස්‌සියක්‌ හිතට ආරූඪ කරගැනීමෙනි. කිසිදු පරමාර්ථයක්‌ අරමුණක්‌ නැති එසේම හිතේ කිසිම ප්‍රීතියක්‌ නැති මිනිස්‌සු ඉතා කලබලයකින් හැසිරීමට හේතුව එයයි. එවිට එනම් හදිස්‌සියක්‌, කලබලයක්‌ ආරූඪ කරගත් විට ස්‌වකීය ජීවිතයේ කිසිම වින්දනයක්‌ නැති බව, කිසිම තේරුමක්‌ නැති බව, ස්‌වකීය ජීවිතයට කිසිම අරමුණක්‌ නැති බව ඔවුන්ට අමතක වේ. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ යෑයි කියන්නේ බල්ලා ගැන නොවේ.

එහෙත් එදා කඩි කුලප්පුවෙන් එමින් සිටි මා ඉදිරියට ජීවිතයේ සෞන්දර්යය පැමිණියේය. ජීවිතයේ ප්‍රීතිමත්භවය මගේ දෑස ඉදිරියේම ප්‍රාතිදුර්භූත වුයේය. ජීවිතයේ අර්ථය, සතුට මට හමුවූවේය. ඒ නිසාම මගේ හිත තුළ පවතින තේරුමක්‌ නැති කලබලය හ එයට පිටුපසින් වන මගේ ජීවිතය අරමුණකින් හා ප්‍රීතියකින් තොර වීම මට දැක ගැනීමට හැකිවිය. ඒ අනුව දැනුදු කලබලයක්‌ මට වැළඳුණු විට, කඩි කුලප්පුව වැළඳුණු විට මගේ ජීවිතය අර්ථ විරහිත ජීවිතයක්‌ බවට පත් වෙමින් පවතින බව මට මෙනෙහි වේ. සිහිවේ. එසේ මෙනෙහි වන්නේ එදා මා ඉදිරියේ මැවුණු ඒ අසිරිය හේතුවෙන් මගේ කඩි කුලප්පුව සංසිඳී ගිය නිසාය. නිවුණු නිසාය. ඉතින් එදා මා ඉදිරියේ මැවුණු ඒ අසිරිය ඔබ ඉදිරියේ මා විසින් ප්‍රමාණවත් කරමින් විස්‌තර කළේ යෑයි සිතමි. ඔබ ද මා පරිදිම කඩිකුලප්පුවෙන් පෙළෙන්නෙක්‌ නම් එයින් මිදීමට මගේ ඒ විස්‌තරය තරමක්‌ හෝ ඔබට උපකාරී වේ යෑයි සිතමි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »