Home / කෙටි කතා / කළු තෙල්

කළු තෙල්

2018-02-22 09:51:00       329
feature-top
ළඟ ළඟ එන උත්සවය වෙනුවෙන් පාසල් තාප්පයේ මනා ලෙස සකස්‌ කර තිබුණු ලංකා සිතියම, පෝස්‌ටර්වලින් හා ඒ සමඟම ඒවා නෑවෙන කළු තෙල්වලින් ආරක්‌ෂා කර ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක්‌ දැරීමට ආදි ශිෂ්‍ය සංගමයට සිදු විය. මේ සඳහා ලංකා සිතියම ළඟ රාත්‍රී මුර සේවයක්‌ ආරම්භ කළ යුතු යයි ඒකමතිකව තීරණය වූ අතර, ආදර්ශවත් ලෙස සභාපති ගුණපාල හා ලේකම් සිරිපාල පළමුවැනි දවසේම රාත්‍රි මුර සේවයට එකතු වූහ. අපි දෙන්නා පක්‌ෂ දෙකක වුණත් ලංකා සිතියම රැක ගැනීම හැම දේකටම වැඩිය වැදගත් යයි සිරිපාල කාට කාටත් පැවසුවේ කුඩාම කුඩා ගංගා, කඳුවැටි පවා මනා ලෙස සකස්‌ කර තිබූ ලංකා සිතියම දෙස බලමිනි. මෙය අඳින ලද සිතියමක්‌ නොව, අඹන ලද සිතියමක්‌ නිසා, අනාගත පරම්පරාව වෙනුවෙන් රැකගත යුතු යයි ලේකම් තම ස්‌තුති කතාවේදී පවා සඳහන් කළේය.

ලංකාව ආරක්‌ෂා කරන අයගෙන්ම තමා අපට ලංකාව ආරක්‌ෂා කර ගන්ට වෙලා තියෙන්නෙ" යනුවෙන් ගුණපාල පැවසුවේ රාත්‍රි මුර සේවය වෙනුවෙන්ම සකස්‌ කරන ලද බුලත්විට මල්ලෙන් පුවක්‌ කෑල්ලක්‌ ගෙන දත් කීපයක්‌ පමණක්‌ තිබෙන පැත්තට දමා සපමිණි.

"මේක අවුරුදු ගාණක්‌ පරණ සිතියමක්‌, අවුරුදු තුනකට විතර ඉස්‌සර නැති වුණු සුමනපාල භූගෝල සර් තමා මේ වැඩේ කරන්ට මුල් වුණේ. මං තමා ගංගාවල් ලකුණු කළේ" ගුණපාල එසේ ප්‍රකාශ කළේ සිතියමේ මධ්‍යම කඳුකරය වසා අලවා තිබූ ඡන්ද පෝස්‌ටරයක නටබුන් ඉවත් කරමිනි. "පුදුමෙ කියන්නෙ පෝස්‌ටර්වලින් තොර දේශපාලනයක්‌ කියලා කියන අයම රෑ කාලේ මේවා අලවන එක නොවැ." සිරිපාල පැවසුවේ සිතියමට දකුණු පැත්තේ ඉතා අලංකාර ලෙස ලියා තිබූ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන වගන්තිය කියවමිනි. සිතියමට වම් පැත්තේ ඇත්තේ ධම්ම පදයේ එන ගාථාවකි. ළඟ ළඟ එන උත්සවය වෙනුවෙන් එම වගන්ති මත පමණක්‌ නොව ලංකා සිතියම මතද, අවශ්‍ය ස්‌ථාන හා අකුරු මත තීන්ත තවරා මනා ලෙස අලංකාර කර තිබිණි. ඒ සඳහා අවශ්‍ය මුදල් පාස්‌ කර දුන්නේ වරුණසිරි හා බලදාසය. හරියටම මධ්‍යම කඳුකරයේ උසම තැනක දැවටී තිබෙන අර නටබුන් පෝස්‌ටරයේ සිනා පිරි කටදෙස නැවතත් සිරිපාල බැලුවේ තමා හිතවත් හා තමාට හිතවත් දේශපාලන අපේක්‌ෂකයාගේ සිනාව මතක්‌ වූ නිසාමය. ඒ අසාමාන්‍ය සිනාව, වරුණසිරි නම් තම ටියුෂන් ගුරුවරයාගේ රුවයි. තමාට තම බිරිඳ මුණගැසුනේ වරුණසිරිගේ ටියුෂන් පන්තියේදීය. රුවන්තිකා හා කළ ඇසුරට වරුණසිරි ප්‍රසිද්ධියේම උදව් කළා පමණක්‌ නොව දෙදෙනාම ඒලෙවල්වලින්ද ගොඩ දැමුවේය. ඒ පමණක්‌ නොව රුවන්තිකා විවාහ කර ගත් දිනයේ තමාගේ පාර්ශ්වයෙන් සාක්‌ෂියටද අත්සන් තැබූ වරුණසිරි රුවන්තිකාට ගුරු පත්වීමක්‌ මෙම පාසලටම හදා ගැනීමට උදව් කරමින් කවුරුත් පුදුමයට පත් කොට ඡන්දයට ඉදිරිපත් වුණේය.

" මගෙ පෝස්‌ටර් කොහොම හරි රැකලා දීපන්. ඒ විතරක්‌ නෙවෙයි. මේ පෝස්‌ටරෙත් අද රාත්‍රියේ අලවපන්" අරුණසිරි අද උදයේ තමාට ඔහුගේ අලුත්ම අලුත් පෝස්‌ටරයද දෙමින් පැවසූ වදන් සිරිපාලට මතක්‌ විය. ඔහු තම කලිසම් සාක්‌කුවේ දවටා තිබූ රවුම් කරන ලද පෝස්‌ටරයට අත තැබුවේ ගුණපාල දෙස බිය රැඳි දෙනෙතින් බලමිනි. ඇත්තම කියනවා නම් ගුණපාලගේ දේශපාලන හතුරා වරුණසිරි බව සිරිපාල හො¹කාරව දනී.

" මේකගෙ වහල්ල ගලවන්ටම බැරි විදිහට ඇලිලා තියෙන හැටි" ගුණපාල එසේ පැවසුවේ තමාට පිටුපා අසල කඩය දෙසට යන සිරිපාල දෙස බලමිනි.

"තමුසෙ කොහාටද යන්නෙ" යළිත් සිරිපාල ගුණපාලගෙන් ඇසුවේ ඔහු යන තැන හරියටම දැන ගැනීමේ අටියෙනි.

"මං විට මල්ල ගෙනාවට දුම්කොළ ගේන්ට අමතක වෙලා. දුම්කොළ කෑල්ලක්‌ ගෙන්ට යන්නෙ. ඒ ගමන් තේ එකකුත් බීලා එන්නම්" ගුණපාල අයියත් එනවා නම් එන්ට"

" මට තේත් එපා බුලත්විටත් එපා" අන්ධකාරය හා සටන් වැදීමට දැන් සිටම සූදානම් වන විද්‍යාලයේ දොරටුව අසල තිබෙන විදුලි පහන් කණුව දෙස බලමින් ගුණපාල පවසයි. විදුලි පහන් කණුවෙහි වසා සිටි කාකයෝ කීප දෙනෙක්‌ තම නිවහන් කරා යැමට අපහසු සෙයක්‌ පෙන්නුම් කරමින් වරින්වර නාද කළහ. එකකු තාප්පය මත වසා වසුරු හෙලූ අතර, විදුලි එළියෙන් එකී වසුරු සමුදායෝ ශ්වේතවර්ණව බැබලුණහ. "එයා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වුණාට මේ සෑරේ ඡන්දෙදි මගේ විරුද්ධ කාරයාගේ පැත්තෙ ඉන්නෙ. ඒ හින්දා මෙතෙන්ට එන්ට ඉස්‌සර වෙලා බලදාස ගෙ රූපෙ අලවන්ට ඕනෑ. බලදාස මට මොන තරම් උදව් කෙරුවද? වාහනේ ගන්ට කොච්චර උදව් කෙරුවද? ගේ ඉස්‌සරහ පාර ටික කොන්ක්‍රීට්‌ කරලා දුන්නෙත් එයා. මේ සෑරේ දිනුවොත් දුවට ප්‍රයිවට්‌ තැනක හරි රක්‌ෂාවක්‌ අරන් දේවි" සිතුවිලි ගුණපාල ගේ ඔළුව පහුරු ගෑවේය. "සිරිපාල කඩේට වෙලා දේශපාලනේ කතා කරනවා ඇති බලදාසගෙ පෝස්‌ටරේ අලවන්ට හොඳ වෙලාව" මෙසේ සිතූ ගුණපාල බලදාසගේ සිනා සපිරි මුව සහිත පෝස්‌ටරය අතට ගත්තේය. "බලදාස පණ පිටින් ඉන්නවා වගේමයි" පෝස්‌ටරයේ පිට පැත්තේ පාප්ප තවරමින් ඔහු සිතයි. "මල්ලි ඔයාලගෙ ඉස්‌කෝලෙ තාප්පෙá දකුණු පැත්තෙ අලවන්ට" බලදාස තම රුව සහිත පෝස්‌ටරය ගුණපාල අතට දෙමින් පැවසුවේ එසේය.

"ඇයි? ලංකාව ළඟම පෝස්‌ටරේ ගහන්ට ඔය තරම් ආස" පෝස්‌ටරය අතට ගනිමින් ගුණපාල අසන විට බලදාස කීවේ පුදුම හිතෙන කතාවකි.

"එතකොට තමා මල්ලි මං රටේ ආරක්‌ෂකයා වශයෙන් කාටත් පෙනෙන්නෙ. විශේෂයෙන් අනාගත පරම්පරාවට"

" ඒ කියන්නෙ"

" ඇයි මල්ලි පෝස්‌ටරේ ඉස්‌කෝලෙ ඉගෙන ගන්න ළමයි බලන කොට තව ගුරුවරු බලන කොට කාටද ආඩම්බර"

" කාටද? තව හෙට අනිද්දා තියෙන උත්සවේට එන කීදෙනෙක්‌ නම් බලනවද? මං ජය ගත්තාම ඒ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්‌ කාරයා තමා ඔයා ඒ නිසා හරියටම වැඩේ කරන්ට"

බලදාස පැවසූ පරිදිම ගුණපාල පෝස්‌ටරය ඇල වූයේය. "සිරිපාල ආවම පුදුම හිතෙයි. එයාට මොකක්‌ හරි බොරුවක්‌ කියනවා. සිතට වධ දෙන හා වධ නොදෙන අනන්ත අප්‍රමාණ ක්‌ලේශයෝ ගුණපාලගේ මනස නම් වූ බලකොටුවට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළහ. ඉවක්‌ බවක්‌ නැති හා අතීත කාමය බෙහෙවින් අගය කළා වූද, දේශපාලන සංවාදයකට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සම්බන්ධ වූ සිරිපාල, ගුණපාල සිටින ස්‌ථානයට ඒමට ප්‍රමාද වූයෙන් කරදරයකින් හා මානසික පීඩනයකින් තොරව ගුණපාල බලදාසගේ පෝස්‌ටරය ඇල වුවද ඔහුගේ අවධානය රැඳී තිබුණේ කඩයේ තවදුරටත් කෙරෙන සංවාදය ගැනය.

"අපි පුංචි කාලෙ, අපේ අම්මලා, තාත්තලා බණ්‌ඩාරනායකලා, ඩී. ඇස්‌ලාගෙ රූප රාමු කරලා බුදු පිළිමෙට ටිකක්‌ පාතින් එල්ලලා තිබ්බා" අතීත දේශපාලන කාමයට ගැති වූ අයෙක්‌ පවසයි.

"ඇයි? සමහරෙක්‌ මල් පහන් පූජා කළා" තව එකෙක්‌ කතාවට හවුල් වෙති.

"මට අද වාගෙ මතකයි. අවුරුදු උදා වෙන වෙලාවෙ දේශීය කෑම පිරුණු මේසෙ වටා හිටිය බණ්‌ඩාරනායක පවුල තමා ඒ කාලෙ කැලැන්ඩරවල තිබුණෙ.

"අද ඔක්‌කොම අනිත් පැත්ත හැරිලා. ඒක අපිට පිළිගන්ට වෙලා. අපි අහුවෙලා" සිරිපාල පවසන වදන් හැම ශබ්ද සංයෝගයන් පරදා ඇසෙයි.

"ඒක ඇත්ත කවුරුත් සිරිපාලගේ අදහස අනුමත කරමින් කතා කරති. "අපි ඔක්‌කොම අසරණ වෙලා දේශපාලකයොත් අසරණ වෙලා. අපිත් අසරණ වෙලා. හැම දෙයක්‌ම උඩුයටිකුරු වෙලා" සංවාදයට තිතක්‌ තබමින් සිරිපාල, ලංකා සිතියම මුර කරන තැනට පැමිණෙන විට ගුණපාල, බලදාසගෙ පෝස්‌ටරය අලවා හමාර කරමින් සිටියේය. පෝස්‌ටරය ගැන විමසන විට සිරිපාල පැවසිය යුතු බොරුවද, සිත තුළ වියමින් සිටි ගුණපාල ප්‍රකෘති ලෝකයට ආවේ සිරිපාලගේ සිනා හඬ නිසාවෙන් ඔහු පෝස්‌ටරය දෙස බලා බඩ අල්ලාගෙන සිනාසෙයි. ගුණපාල ගේ හිත තුළ තිබූ බොරුවද කටේ කෙළද සිඳී ගියේය.

"ඔක්‌කොම හරහාට උඩුයටිකුරු වෙලා. කවුරු හරි පෝස්‌ටරේ බෙල්ල අනිත් පැත්තට හරවලා අලවලා."

ගුණපාලට තමා ඇලවූ පෝස්‌ටරය නිවැරදි නොවන ලෙස දවටා තිබෙන අයුරු පෙනී එලොව පොල්ද, අහසේ තරුද පෙනුණි. මේ හැම දේකටම වඩා ඔහුව පීඩනයට පත් කළේ තමා ගෙතූ බොරුව පවා කිසිම තේරුමක්‌ නැති තත්ත්වයට පත් වීමය.

short1"කවුද මේ පාහර වැඩේ කළේ. ලංකාවෙන් බාගෙකුත් වැහෙන්ට අලවලා. බලදාසගෙ ඔළුව දෙවුන්දර තුඩුවෙ ඇමිණිලා. හිනාකට කතරගම හරියෙ. කාට වුණත් කරපු අපහාසයක්‌. කවුද? මේ පාහර වැඩේ කළේ" සිරිපාල ඇඬුම් ස්‌වරයෙන් පවසයි. ඔහුට දුක සිතෙන්නෙ තම කලිසම් සාක්‌කුවේ රෝල් කර තිබෙන වරුණසිරිගේ පෝස්‌ටරය කල්යල් බලා ඇලවීමට තිබූ අවස්‌ථාව නැති වෙන නිසාය.

"බොරුව හරියට කරන්ට බැරිව තමා සමහරු අමාරුවේ වැටෙන්නෙ. සමහරු බොරුව බොරුවක්‌ නොවෙන විදිහට කියනවා. හොරකම හොරකමක්‌ නොවන විදිහට කරනවා. දේශපාලනෙන් ගොඩ යන්නෙ ඒ අය." එසේ පැවසූ සිරිපාලට තමා ගැන පමණක්‌ නොව ගුණපාල ගැනද අනුකම්පා සිතුණි. යළිත් සිරිපාල, තම කැලඹුණු සිත රිදවන්නට පෙර ගුණපාල තම මුව විවර කළේය." මේ තාප්පයෙ නෙළලා තියෙන ලංකාවෙ මාතාවක්‌ නම්, ඒ මාතාවට පණ ආවොත්, මට ශාප කරාවි. මං බොරු කීවොත්. මං තමා සිරි, ඔය බලදාසගෙ පෝස්‌ටරේ ඇලෙව්වෙ. ආදි ශිෂ්‍යයෙක්‌ විදිහටත්, මනුෂ්‍යයෙක්‌ විදිහටත් මං කනගාටු වෙනවා. ඒත් දේශපාලකයෙක්‌ විදිහට මං කනගාටු වෙන්නෙ නෑ"

"ඇයි ඒ"

"දෙශපාලනෙන් මනුෂ්‍යත්වය නැති කරලා හින්ද?"

සිරිපාල කතා නොකළේය. කලිසම් සාක්‌කුවට අත යෑවූ ඔහුට වරුණසිරිගේ පෝස්‌ටරය හසු විය. එය කලිසම් සාක්‌කුවේ තිබියදීම පොඩි කර තලා දැම්මේය. අනතුරුව බුලත් හපයක්‌ සේ චප්ප කළා වූ එය අතට ගත්තේය.

"මමත් ඇත්තම කියන්නම්. මාත් ඔහෙට හොරෙන් මේ පෝස්‌ටරේ ගහන්ට හිටියෙ."

"කාගෙද? වරුණසිරිගෙද?"

"ඔව්."

ගුණපාල ප්‍රධාන දොරටුව අතරින් පාසල් පරිශ්‍රය දෙස බැලුවේය. රාත්‍රි කාලයේ පවා ඇතැම් විට පවත්වන්නට යෙදෙන කරුණාසිරි මහතාගේ 'දුයිෂෙන්' ගේ පන්තිය ඔහු දුටුවේය. කිසිදු මුදල් අය කිරීමකින් තොරව පවත්වන මෙම පන්තිය 'දුයිෂෙන්' ගේ පන්තිය නමින් ජනප්‍රිය වී තිබේ. එම ගුරුතුමාගේ අධ්‍යාත්මික ශක්‌තිය හා තම අධ්‍යාත්මික ශක්‌තිය අහස හා පොළොව මෙන් නොවේද? ගුණපාලට තමන් ගැනම දුක සිතුණි.

"දැන් ඉතින් කොහොම හරි මේක සූරල දාන්ට ඕනෑ ඒත් ඒත්...." "ඇයි? ඒත්, ඒත් කියලා නැවැත්තුවෙ" "මේ පාප්ප හදලා තියෙන්නෙ වීදුරු කටුවල කුඩුත් කලවම් කරලා. සූරපු හැටියෙ ඇඟිලිවලින් ලේ එනවා."

"මොනවා කරන්ටද? මමත් සූරන්ට උදවු කරන්නම්. ආදි ශිෂ්‍ය සමිතියේ සභාපතිටයි ලේකම්ටයි. ලංකා මාතාව දුන්න දඩුවම තමා මේක."

ඔවුහු නොනවත්වා සීරූහ. ඇඟිලි අගින් ලේ විදින තුරු සීරූහ. නියපොතු ගෙවී යන තුරු සීරූහ. ඇඟිලි අගින් ලේ වෑස්‌සුණද, අර කපටි සිනාව සූරා, කතරගම මතු වූ විට දෙදෙනාටම පුදුම සතුටක්‌ ඇති විය. කතරගම ගොස්‌ අතරමඟදී? රා බිව් හැටි පවා සිහිපත් විය. එහෙත් ප්‍රශ්නය වූයේ ලංකා මාතාවගේ ළැම හරිය සූරණ විටය. ඉතින් ඒ ආශ්‍රිතයෙන් නොනවත්වාම ලේ වැගිරෙයි. උල්පතක සේ රුධිරය උත්පාදන වෙති.

"පුදුමයි මේ නම් ඇඟිලිවලින් වැටෙන ලේ නම් නොවෙයි. මවිතයට පත් වූ ගුණපාල කීවේය.

"ඔව්. ඔව්. මටත් හිතෙන්නෙ එහෙමයි." සිරිපාල උත්තර බැන්දේය. දුයිෂෙන්ගේ පන්තිය දෙසින් එස්‌. මහින්ද හිමිපාණන්ගේ 'ලංකාමාතා' කවි පන්තියේ කවි දෙපදයක්‌ ඇසෙයි. කරුණාසිරි ගුරුතුමා එම කවි පන්තිය, ළමුන් සමඟ රස විඳිනවා ඇති."

"බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා"

" මා හද ගින්නෙහි ලූ ලූනු මෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්"

ගුණපාල හා සිරිපාල තවදුරටත් අර අසාමාන්‍ය පෝස්‌ටරය සීරිම නතර කළහ. දෙදෙනාටම, තාප්පය අතරින් ලංකා මාතාවගේ රූපය පෙනෙයි. ඇගේ මුව විවර වෙයි.

"මගේ ළැමෙන් කිරි වෙනුවට ලේ එන්නෙ ඇයි කියලා ඔය දෙන්න දන්නවද?" ලංකා මාතාව තිර හා ගැඹුරු ලෙසින් කටහඬ අවදි කරයි.

"නෑ" ආදි ශිෂ්‍ය සමිතියේ සභාපති හා ලේකම් එකවර පැවසූහ.

මගේ ලේ කිරට හැරෙන්නෙ නෑ. මං රකින්ට ඉන්න මගේම දරුවෝ මං හැර අනිත් හැම දෙයක්‌ම රැක ගන්නවා. ඉතින් ඒ අයට මගේ ආදරයක්‌ නෑ. ආදරයක්‌ ඇති වුණොත් විතරයි. මවකගේ ලේ කිරිවලට හැරෙන්නෙ."

මෙලෙස පවසා නොනවත්වාම ගලන රුධිරය පමණක්‌ ඉතිරි කොට ලංකා මාතාව නිසල වෙයි. අධික ලේ වහනය නිසාම හිරි වැටුණු අත් සහිත වූ මිතුරෝ දෙදෙනා බිතු සිතුවම් සේ එකිනෙකාගේ මුහුණ බලාගෙන සිටිති.

"මොකද යකෝ මේ රාත්‍රියේ කරන්නෙ. පෝස්‌ටර් අලවනවද? එහෙම නැත්නම් ගලවනවද?" කිසිවකුගේ මුර ගෑමකින් දෙදෙනා පියවි ලොවට ආවෝය. ඒ දෙදෙනා සේම අසරණ වූ දෙනෙත් සහිත පොලිස්‌ භටයන් දෙදෙනකු ඔවුහු දුටහ.

"අපිටත් වෙලා තියෙන්නෙ ඔය දේම තමා. දීලා තියෙන දඬුවම ඕකම තමා. එක පැත්තකින් අලවනවා අනිත් පැත්තෙන් ගලවනවා." අනිත් පොලිස්‌ භටයා පවසයි. ඔහු අත කළු තෙල් කෑන් එකක්‌ද තිබේ.

"ගලවන්ට බැරිම වුණොත් මේකෙන් නාවනවා. ඔහු කළු තෙල් කෑන් එක ඔසවමින් පවසයි. තමුසෙලයි අපියි. දෙගොල්ලම අමාරුවෙ වැටිලා හින්දා තමුසෙලා දෙන්න අත්අඩංගුවට ගන්නෙ නෑ."

" අපි දෙන්න ආදි ශිෂ්‍ය සමිතියෙ. ලංකා සිතියම රැක ගන්ටයි මෙහෙම මුර කරන්නෙ." සිරිපාල පවසයි.

"ඒත් මං පව්කාරයෙක්‌ වාගෙ මේ පෝස්‌ටරේ ඇලෙව්වා. දැන් ගලවන්ට අමාරුයි." ගුණපාල පාපොච්චාරණය කළේය.

"එහෙනම් ඉතින් කළුතෙල් පාරකින් පෝස්‌ටර් නාවමු." දෙවැනි පොලිස්‌ භටයා, කෑන් එක ඉහළට ඔසවමින් පවසයි.

"එපා එපා එහෙම කෙරුවොත් මුළු ලංකාවම කළු තෙල්වලින් නෑවෙයි." ආදි ශිෂ්‍ය සමිතියේ නිලධාරි දෙපළ එකවරම පැවසූහ.

කිසිදාක ඇති නොවූ තරම් අසරණ භාවයකින් තිදෙනාම ලංකාව දෙස බැලූහ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »