Home / කෙටි කතා / උන්මත්තක වත

උන්මත්තක වත

2018-02-18 03:46:00       209
feature-top
බන්ධනාගාර බස් රථය නැවැත්වූයේ උන්මත්තකාගාරයට මීටර් සියයක් පමණ දුරින් ය. ඒ සමීපයට ම පැමිණිය හැකි වූයේ කුඩා වාහන පමණි.

පස්වරු දෙක පසු වී උදාවෙමින් තිබූ හවස් යාමය මලානික හිරු එළියෙන් යුතුය. මඳක් රළු වූ සු‍ළඟේ දූලි බෙහෙත් සහ පිළීගඳින් ද වූයේය. අහස නිල්වන් නැත. සුදු වලාකුළු ඉක්මවා බැහැරින් කළු පැහැය එක්ව තිබුණි. ගොඩනැඟිලි දෙපස තාප්පය දක්වා විහිදී ගිය තණ බිස්ස කෙළවරේ සිටින දෙතුන් දෙනා රෝහල් සේවකයන් ද නැතහොත් උන්මත්තකයන් ද යැයි හඳුනාගත නො හැකිය.

බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකු පිරිවරා එක් කෙසඟ සිරුරකින් යුතු තරුණයකු බස් රියෙන් හෙමිහිට බිමට බැස්සේ ය. ඔහු නොමිටි ය. හකු පාඩාගිලී ගිය මුහුණේ සිහින් දෙනෙත් රත් පැහැතිව විඩා බරව තිබුණි. බන්ධනාගාරයේ දී ඔහු ගේ බොකුට‍ු හිස කෙස් බූ ගා තිබුණි. සිහිනෙන් යන්නා සේ තරුණයා වැනෙමින් ඇවිද ගියේය. අවුරුදු විසි අට ඉක්මවන වියපත් බවක් ඔහු තුළ විය.

එක් වරම නතර වුණු සිරකාර තරුණයා නිලධාරියකු දෙස බැලුවේ ය.

“ගිනි උදුන කොහේද තියෙන්නෙ?”

“මොන උදුන ද සරණසිරි?” අවුරුද්දයි තුන්මාසයක් තිස්සේ තරුණයා දන්නා නිලධාරියා ඇසුවේ ය.

“අවුට්ශ්විෂ්”

හිට්ලර් ගේ මහා වධකාගාරය පිළිබඳ ව හාංකවිස්සියක් නොදන්නා නිලධාරින්ගෙන් එක් අයකු හඬ නගා සිනාසුණේ ය.

“මේක බේකරියක් නෙවෙයි. රෝහලක්”

තරුණයා ඇඳ මත දිගැද්දූ තලත්තෑනි කාරුණික වෛද්‍යවරයා බොහෝ වේලාවක් රෝගියා පරීක්ෂා කළේය. රෝගී තත්ත්වයට කොහෙත් ම අදාළ නැති ප්‍රශ්නයක් වෛද්‍යවරයා ඇසුවේ ය.

“හිරේ මොකද?”

“කැරලිකාරයෙක්. හත් අට දෙනෙකු මරල තියෙනව.”

වෛද්‍යවරයා බොහෝ අත්දැකීම් සහිත ය.

“ඔළුවට ඕනැවට වඩා පහර දුන්නහම මෙහෙම වෙනව. නියුරෝන අසමතුලිත වීම සිරුරට ම බලපානවා. අදට හිටියාවෙ. ඉඩක් ලැබුණහොත් හෙට මහ ඉස්පිරිතාලෙට මාරු කරනව” තම කාරිය හමාර කළ වෛද්‍යවරයා නැඟී සිටියේය.

එය සත්‍යයක් විය. තරුණයා ගේ ශක්තිය තිබුණේ උන්මත්තකාගාරයට ඒම දක්වා පමණි. ඔහු වාට්ටුවට කැටුව ගියේ රෝද පුටුවේ ය. බොහෝ උන්මත්තකයන්ගෙන් පිරුණු වාට්ටු පසුකර ඇඳන් හයක් පමණ තිබූ කුඩා වාට්ටුවක නිද්‍රාමය ඖෂධ සහිතව තරුණයා සැතපවීය.

මේ වාට්ටුවේ සිටියේ වඩාත් බරපතළ නැති තවත් රෝගීන් දෙදෙනකු පමණි. කෙළවරේ ඇඳේ සිටියේ අවුරුදු හැත්තෑවට ළංවූ මහල්ලෙකි. හඬක් නො නගමින් ඔහු උරහිස් සොලවමින් සිනාසේ. ඔහු නිරතුරුවම දුටුවේ තමා අවට සිදුවන හැම දෙයක් ම හාස්‍ය උපදවන සිදුවීම් ලෙස විය යුතුය. යථාවාදීව සිතුවොත් සියල්ල තුළ පවතින්නේ හාස්‍යයක් වුව හැම කෙනෙක් ම එසේ නොසිතූහ. එහි ප්‍රතිඵලය වූයේ මහල්ලා උන්මත්තකාගාරයේ නේවාසික කරවීම ය.

අනෙක් රෝගියා අප්‍රමාණව විරහ දුකින් තැවෙන විසි හැවිරිදි තරුණයෙකි. ඔහු ගේ සදාදරණීය පෙම්වතිය තරුණයා අත්හැර දමා නහරයකු සමඟ වහං වී ගොස් තිබුණි. නහරයා විරහ පෙම්වතාට පහර දී තිබුණි. ඇය පෙම්වතා අමතක කර නහරයාට කඩුව දුන්නා ය. එහෙයින් විරහ පෙම්වතා ඒ පිළිබඳව පමණක් සිතමින් පැයකට දෙවතාවක් ඇඳ ළඟ ලොකරයට ගසමින් විරහ ගීතයක් ගැයුවේය.

පෙං හදවත පාරවා - මෝරන පෙම මෝරවා

මා දුක් ගින්දරේ දමා - රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා

‍ගීතය අවසන් කරන ඔහු පරණ අරක්කු බෝතලයට පුරවාගත් වතුර උගුරු දෙකක් පානය කරයි.

අලුත් රෝගී තරුණයා වාට්ටුවට ගෙන එන විට විරහ ගී පෙම්වතා සිටියේ නින්දේ ය. එහෙත් මහල්ලා ඉල ඇට පනින තරමට නිහඬව සිනා සෙන්නට විය.

උන්මත්තක සිරකාර තරුණයා පිළිබඳ ව බන්ධනාගාර නිලධාරීන් වෛද්‍යවරායට කළ ප්‍රකාශය සැබෑ ය. ඔහු තවත් සිව්දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ අත්හළ තේ කම්හලක සැඟව සිටියදී ය. ඔවුන්ගේ තුවක්කුවල පතොරම් අවසන් ව තිබුණි.

අවම බලය භාවිතා කරමින් කළ ප්‍රශ්න කිරීම් හේතු කොට ගෙන එයින් සිව් දෙනෙකුට ම ජීවිතයන් සමුගැනීමට සිදු විය. විසඥවීම් සහිතව හිසට අනන්තවත් පහරදී තරුණයා ගේ සිහිය විකල්කර තිබුණි. දීර්ඝ නඩු විභාගය තුළ ඔහුට අතීතය අමතකව ගියේය. තමන් පත්වූ ඉරණම පිළිබඳව පමණක් විටින් විට ක්ෂණික ව තරුණයාට සිහිපත් විය. බාගදා ශාපලත් වධ බන්ධන කඳවුරු පිළිබඳව ඔහුට සිහිපත් වූවා විය හැකිය.

තරුණයා කළ කී දේ පිළිබඳ ව සාක්ෂි තිබුණි. විප්ලවයේ අරමුණ වෙනුවෙන් අවංකව ම ඔහු ම්ලේච්ඡ විය. ඔහු මරාගෙන මැරෙන්න වුවත් ශුද්ධ අරමුණක රැඳී සිටියේය. තම විප්ලවීය පුතා ගේ කියුම් කෙරුම් පිළිබඳ ව උපන් සංවේගයෙන් ද බියෙන් ද ඔහුගේ මවුපියන් තම සරු කුඩා ගොවි බිම් අත්හැර දමා ඈත දුෂ්කර වියළි කලාපයට ගොස් තිබුණි.

විසි වසරක බරපතළ සිර දඬුවමක් තරුණයාට හිමි වුවත් සියලු දුෂ්කර වැඩ කටයුතුවලින් ඔහු මුදා හැරියේය. ඔහු බොහෝ විට ආහාර ප්‍රතික්ෂේප කළේය. ආහාරවලට වස මිශ්‍රකර ඇතැයි ඔහු සිතුණි. පූර්ණ උන්මත්තක තත්ත්වයට පත්වෙමින් සිටි ඔහු ඇතුළතින් මිය යමින් සිටියේය.

අප අසා කියවා බාගදා දැක ඇති මෙම සිදුවීම් එක්තරා කාලවකවානුවකට අයත් සුලබ වාර්තාගත සිදුවීම් වන්නේ ය. එහෙත් හැම දෙයක් ම වෙනස් වී ගියේ ය. උතුම් කතා කලාව අනුව එම වෙනස විශ්වසනීයත්වයෙන් බැහැර වන්නේ ය. එහෙත් පසු වාර්තා අනුව සියල්ල ඒ අයුරින් ම සිදු වූ බව මම සපථ කරමි.

ඒ අනුව නින්දෙන් අවදි වූ විරහ ගී පෙම්වතා ඇඳේ වාඩි වී ලොකරයට ගසමින් තම ගීතය ගායනා කළේය. ඉන්පසු අරක්කු බෝතල‍යෙන් එක් වතුර උගුරක් පානය කර ඉදිරිපස බලත්ම විස්මයට පත් විය. එහි ඇඳේ වැතිර සිටින්නේ තමා ගේ පරම හතුරු නහරයා ය. එනම් තමාට පහර දී තමා ගේ ප්‍රාණය වැනි පෙම්වතිය පැහැරගෙන ගිය නරුමයා ය.

කෙසේ වුව ද අවංක විප්ලවවාදියෙකු වූ සිරකාර තරුණයා එවැන්නකු නොවන බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුය. මනෝ වෛද්‍යවරයාට අනුව මෙම වැටහීම සිදු විය හැක්කකි. බාගදා මේ දෙදෙනාගේම සමාන බවක් තිබුණා විය හැකිය. නැතහොත් විරහ ගී පෙම්වතා ක්ෂණික දැක ගැනීමේදී මිථ්‍යාවට අවතීර්ණය විය.

සිරකාර තරුණයාට දුන් ඖෂධ හේතුවෙන් ගැඹුරු නින්දකින් පසු ප්‍රකෘතිය කරා පැමිණෙමින් සිටියේ ය. වසර ගණනාවක් පුරා අතීතය අමතක වී තිබූ ඔහු අඳුරේ පැමිණ සිහිපත්වීම් සමඟ නිරවුල් නිවැරදි මතකය තුළ ආලෝකයෙන් යුතු නිම්නයකට අවතීර්ණ විය. එය ඔහු ගේ අවසාන නිරවුල් මතකයට ළංවීම විය.

ප්‍රථමයෙන් ඔහුට සිහිපත් වූයේ තම අහිංසක මව සහ පියා ය. විප්ලවීය පන්තිවලදී ඔහු ඒ බැඳීම් අත්හැර දැමීය. සූරාකෑමට සිය කැමැත්තෙන් ගොදුරු වූ අම්මා සහ තාත්තා නූගතුන් ය. එහෙත් එය එසේ නොවන්නේ යැයි දැන් ඔහුට සිතේ.

විප්ලවයේ අරමුණු රැඳී ඇත්තේ ලෙයින් සහ යකඩින් ය. ඔහු සැඟව සහෝදරයන් පිරිවරා අටදෙනෙකු මරා දැමුවේ ය. වෙඩි තැබීම් ද බෙලි කැපීම් ද ගිනි තැබීම් ද ඒ අතර විය. තමා බෙල්ල කපා මරා දැමීමට පෙර එක් මැදිවියේ ගැහැනියක මෙසේ යැද්දා ය.

“පුංචි කාලෙ මං උඹට කවල ‍පොවලත් තියෙනව පුතේ”

සියල්ලේ ම ආරම්භය සොයා ගිය විට ඔහු තුළ වූයේ අහිංසක බැගෑපත් සිතිවිල්ලකි. දෙනෙත් හෙමිහිට විවර කළ තරුණයා දෑත් දිගු කර නැඟී සිටින්නට ‍වෑයම් කළේය.

බෝතල් බිඳෙන හඬත් මෙතෙක් නිහඬව සිනා වූ මහල්ලා මහ හඬින් සිනාසෙන හඬත් නිසල රාත්‍රියේ කුඩා වාට්ටුවෙන් නැගුණි. සාත්තු සේවකයන් දෙදෙනෙකු දිව නො ආවේ නම් පුපුරා ගිය ඔළුකටු සහිතව මිය ගොස් සිටි සිරකාර තරුණයාගේ සිරුර බිඳීගිය බෝතලයෙන් සිදුරු වීම වැළැක්විය නොහැකිවනු ඇත.

සුළඟ වඩාත් රළු වෙමින් පැවැතියේ ය. දුර ඈත ඇඳිරි අහසේ වැසි ඇද වැටෙමින් තිබුණි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »