Home / කෙටි කතා / අනූනවයයි...

අනූනවයයි...

2018-02-13 02:51:00       742
feature-top
ගේට්ටුවේ කොක්ක සෙලවෙන හඬින් උපසේන හිස ඔසවා බැලුවේය. බාගෙට විවර කළ ගේට්ටු පලු අතරින් නි‍ෙවසට ගොඩවන මෑණියන් ඔහු දුටුවේය. අද නිවාඩු දවසේ තමා ගෙදර සිටින හෙයින් මෙසේ හදිසියෙන් වුව සිය මෑණියන් දක්නට ලැබීමෙන් ඔහුගේ සිතට දැඩි සතුටක් ඇති විය.

සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. පරිසරයද කෙමෙන් අඳුරින් වැසී යන්නට විය. හුදෙකලාවම පැමිණි මෑණියන් අඳුරට පෙරාතුව නි‍ෙවසට සේන්දුවීම ගැන උපසේනට ඇති වූයේ මහත් සතුටකි. උපසේන සිනාවක් මුවගට නංවා ගනිමින් මෑණියන් ඉදිරියට පෙර ගමන් කර ඇගේ අතෙහි වූ බෑගයෙන් ඇය නිදහස් කළේය.

“අම්මා තනියම රෑ වෙලා...? උපසේන ප්‍රශ්නාර්ථය දල්වමින් මහත් ඕනෑකමින් ඇය දෙස බලා සිටියේ ය. ඔහුගේ පැනයට පිළිතුරු ප්‍රමාද කරමින් ඈ සාලයේ පුටුවට බරවී විඩා හරින්නට වූවා ය.

“අද මං එන්ඩ හිතාගෙන නෙවෙයි හිටියෙ. හදිස්සියෙ ම මේ ආව”

උළුවස්සට හේත්තු වී මෙතෙක් කථාවට සවන් දී සිටි ජිනාදරී අතට අම්මා පාර්සලයක් දුන්නා ය.

“ඇයි අම්මෙ, හදිස්සියෙන් ආව කිව්වෙ? උපසේන ප්‍රශ්න කළේය. අම්මා එයට පිළිතුරු දෙනු වෙනුවට හැට්ට කරින් ගත් ලියුම් කවරයක් එළියට ඇද උපසේන වෙතට දිගු කළා ය.

“මේං මේක බලාපන් පුතේ,..... උපසේනගේ සි‍ෙත් හටගත් කුතුහලය ජිනාදරීට ද බෝ වුණාසේ විය. එය ආණ්ඩුවේ කන්තෝරුවකින් මිය ගිය පියාගේ නමට එවන ලද්දකි. වහ වහා ලියුම් කවරය විවෘත කළ උපසේන එහි තිබූ ටයිප් කළ ලිපිය වෙතට සිය නෙත් යොමු කළේය.

“මේක මේ හදිසි කාරණාවක් නෙවෙයි. අප්පච්චිට එන්ට තිබුණ හිඟ මුදලක්.

සල්ලි...?

ඇගේ මුහුණ ප්‍රබෝධවත් වන අයුරු දුටු ජිනාදරීගේ කට කොනට සිනාරැල්ලක් නැඟිණි.

“කොච්චර විතරද...?”

“ඒක කියල නෑ...”

“මේ වගක් අපි දැනගෙන හිටියෙ නෑ...”

එකවරම උපසේනට කියවිණි.

“මං දන්නෙ නෑ පුතේ...”

අම්මා පුළුල් සිනාවක් පෑවා ය.

උපසේනගේ පියා මිය යන විට විශ්‍රාමික ගුරුවරයෙකු ව සිටියේය. දැනටමත් පියාගේ විශ්‍රාම වැටුපට උරුමකම් ලබා ඇති මව ඒ මුදලින් දනක් පිනක් කරගෙන ජීවත් වන්නී ය.

“අප්පච්චිගෙ ගිණුමට මුදල් කැපෙන්නෙ නැත්තෙ ඇයි කියල තමයි ලියුම එවල තියෙන්නෙ”

උපසේන විසින් කවරය තුළ බහා ලූ එම ලිපිය ජිනාදරී විසින් යළිත් වරක් පිටතට ගත් ලිපිය ඇගේ ද විමසුමට භාජනය විණි. කාගේත් සිත්තුළ බලාපොරොත්තු දලු ලා වැඩෙන්නට විය.

“අප්පච්චි ඒ ඉතුරුම් ගිණුමට කලින් දමාපු සල්ලි ඇති මගෙ හිතේ. පියා ණය දෙන සමූපකාර සමිතියට බැඳී සිටි කාලය තුළ ඔහු විසින් ගෙවන්නට යෙදුණ කොටස් මුදල එහි තිබිය හැකියැයි උපසේනට සිතිණි.

“කලින් ගෙවාපු තැන්පත් මුදල්...? බර ගානක් ඇති...”

“ඉතින් ඕක ගිහිල්ල බලන්ඩ බැරිද?”

පියාගේ මරණයෙන් පසු තවමත් බෙලහීන නොවූ මෑණියන්, කෙමෙන් පාළුවට හැරෙමින් තිබූ මහගෙදර හා වත්ත පිටියේ වැඩ බලා කියා ගත්තේ උපසේනගේ ද අනුදැනුමෙන් තොරවය.

“මේකෙ වැඩ ඉවරයක් කරන්නැද්ද මයෙ පුතේ...?”

අම්මා හුන් තැනින් නැගිට බාගෙට වැඩ නිමවූ උඩු මහලේ කාමරයට කර පොවා බලමින් එසේ පැවසුවාය. ජනෙල්වල ද වැඩ ඉවරයක් වී නොතිබුණි. විවාහයෙන් පසුව රැකියාවේ පහසුව තකා නගරයට පැමිණි උපසේන සිය කුටුම්බය සඳහා කුලී නි‍ෙවසක් තෝරා ගත්තේ අමතර මුදලක් නිකරුණේ ඒ සඳහා වැය කරමින් ය. ටිකෙන් ටික හරිහම්බ කර ගත් පසු හෙතෙම ඉතිරි කරගත් මුදලින් ඉඩම් කැබැල්ලක් මිලට ගත්තේය. ණයතුරුස්වලට පසුබට වූ උපසේන මුලින් ම කළේ මුළුතැන්ගෙය හා නිදන කාමරය සමඟ වැසිකිළිය සාදා එහි පදිංචි වීමය. ඉතිරි කොටස් නිම කළේ කඩින් කඩව සල්ලිය බාගෙය අතේ ගැවසුණු වෙලාවලය.

සිය පියා විසින් සමූපකාර සමිතියට ගෙවන ලද මුදල ආපසු ඔහුට නොගෙවා ඇති බව උපසේනට වැටහිණි. මුදල් ලබා ගන්නට කළ යුතු දෑ පිළිබඳව සැලැස්මක් සකස් කර ගන්නට සිදුවී ඇත්තේ ඔහුට බව ප්‍රත්‍යක්ෂ කර ගත්තේය.

“අප්පච්චි ඔය සමිතියට බැඳිල කාලයක් ම එකතු වුණ සල්ලි මහ ගොඩක් ඇති...”

උපසේනගේ ගජ යාළුවා සේකරය. සේකර මේ පුවත කන වැකෙත් ම ඒ සඳහා පොහොර ආදිය දමා සගයාගේ සිත ඒ කෙරේ වඩාත් උසි ගැන්වීය.

“උපේ, බර ගාණක් එකතු වෙලා ඇති. මේ වෙලාවෙ කොච්චර සහනයක් ද?”

බොහෝ කාලයක් රාජකාරී කටයුතුවල යෙදී සිටියද පියාගේ බැංකු ඉතිරි කිරීමේ ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි කර නොතිබුණ බැව් උපසේන හොඳින් ම දැන සිටියේ ය. පියා විසින් මිලට ගෙන තිබූ මධ්‍යම පාන්තික ඉඩම් කොටසද පසුබලය උපසේනට පවරා තිබූ හෙයින් නිවසේ වැඩ කටයුතු සඳහා උපසේන එය තුට්ටුවට දෙකට විකුණා දැමූ යේ එහි යෑමට ඇති දුෂ්කරතාව ගැන සිතා හිත හදාගෙනය. ජනෙල් සවිකිරීමට ද ප්‍රමාද වූයේ ද එතැන් සිට ඇති වූ මුදල් අගහිඟය නිසා ය.

“දැන් අවුරුදු ගාණක ඒවා නං කල් අරින්න එපා! නැත්තං ඔය මිනිස්සු ඕව යට ගහනව”

සේකර පැවසූ වදන් උපසේන ගේ සිතේ රැව් පිළිරැව් දෙන්නට විය.

“බල බලා ඉන්ඩ හොඳ නෑ. මේ මුදල් නං ලැබෙයි”

පරිසරයේ ඇති සුවදායක බව වෙනදාටත් වඩා ඔහුට දැනිණි. සන්ධ්‍යා භාගයේ පශ්චාත් සමය ඔවුහු බොහෝ ප්‍රීතියෙන් ගත කළහ. ඔවුන්ගේ කතාබහට වැඩිපුර ම ලක්වූයේ මියගිය පියාගේ විත්ති පිළිබඳවය.

පසුවදා උදෙන් ම අවදි වූ උපසේන තම මෑණියන් ද කැටුව මහගෙදර බලා පිටත් වූයේ අදාළ ලියකියවිලි සපයා ගැනීම සඳහාය. උපසේන පියාගේ මරණ සහතිකය ප්‍රමුඛ අනෙකුත් ලිපි ලේඛන ද රැගෙන ණය දෙන සමිති කාර්යාලය බලා පිටත්විය.

“දැන් ඉතින් එක එකා පස්සෙ ගිහින් පින් සෙණ්ඩු වෙන්න වෙයි අතෙන්ට යන්ඩ කියයි. මෙතෙන්ඩ යන්ඩ කියයි.

“හ‍ලෝ උපේ... මේ කොහේද? උපසේන උඩ ගිහින් බිම වැටුණා සේ ය. හෙතෙම වහා හැරී ඒ ඇමතුම ආ දෙසට දෑස් යොමු කළේ ය.

‘‘ආ! මේ සමරෙනෙ. මොකද මෙහෙ?’’ තමාගේ පිටට පහරක් ගසමින් කතා කළ පරණ මිත්‍රයා දුටු උපසේනට තමා ආ කාර්යය අමතක වූවා සේ දැනිණි.

“මෙහෙ තමයි වැඩ. මේක අපේ රාජධානියනෙ”

සමරජීව සිනාමුසු වෙමින් පැවසුවේ සගයාගේ දෑත තරයේ අල්වා ගනිමින් ය.

“මං මෙහාට ආවෙ ළඟදි. යමු යමු.

කැන්ටිමට ගිහින් මොනවහරි බීල ඉඳිමු.”

‍නොදන්නා තැනක හු‍ෙදකලා වූ ඔහුට තමාගේ හිතවතකු මුණ ගැසීම නිසා ඇතිවූ ප්‍රීති ප්‍රමෝදය සුලුපටු නොවීය.

“මේකයි සමරෙ වැඩේ”

උපසේන ගෙවී ගිය හම්බෑගය විවෘත කර ඒ තුළ වූ ලියුම් කවරය යහළුවා අතට දුන්නේය. ලිපිය කියවූ පසු මුවගට නංවාගත් සිනාරැල්ලකින් යුතුව තම මිත්‍රයා දෙස බලා සිටියේ ය.

“හොඳ චාන්ස් එක. සෑහෙන මුදලක් ගන්ඩ පුළුවන් වෙයි”

උපසේන අවන් හලෙන් නික්මුණේ සමරෙ වෙත කෘතඥතාපූර්ව බැල්මක් හෙළමිනි.

“ආ! එන්න සර්”

සමරජීව දකිත් ම සිනාමුසුවූ ළාබාල තරුණියක් නැගී සිටියා ය. ඇගේ දෑත පොත් ගොන්නක් අතරට මැදි වී තිබුණි. සමරජීව මෙතැන සැලකිය යුතු තනතුරක් දරන්නේ යැයි යන හැඟීම උපසේනගේ සිතෙහි වඩාත් තහවුරු වූයේ ය.

“ඇයි උපේ හිටගෙන... වාඩිවෙන්න. සමරජීව එසේ කියනවිට උපසේන ඔහු අසළ වූ හිස් පුටුවේ වාඩි වූයේ ය. උපැස් යුවළ පැළඳි හීන්දෑරි හුරුබුහුටි යුවතිය මහත් කඩිසර කමින් යුතුව වැඩෙහි නිරත වන අයුරු ඔහු බලා සිටියේ මහත් ප්‍රමෝදයෙන් යුතුව ය.

ලබා ගන්නා මුදලින් කිසියම් ප්‍රමාණයක් වැය කර පියා වෙනුවෙන් සාංඝික දානයක් දීමට උපසේන ඒ මොහොතේ සනිටුහන් කර ගත්තේ ය.

“දෙමවුපියන් වෙනුවෙන් කෙළෙහිගුණ සැලකීමට දරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් කොටසක් තියනව. ඒ අයට පින්පෙත් දීම ඉතා අගය කළ යුතු දෙයක්”

අවසාන වතාවට පියා වෙත පුණ්‍ය කර්මයක් සිදුකළ අවස්ථාවේ චන්ද ජෝති හාමුදුරුවෝ එසේ පැවසූහ. උපසේනගේ සිත අතීතාවර්ජනයක් වෙත ගමන් කළේ ඉබේම ය.

ඩබ්.එම්. විජේවන්ත...

තාමරක්කුලම රජයේ විදුහල

හලාවත

ඉතිරි මුදල රුපියල් අනූනවයයි සත අනූවයි.

කිසියම් හඬකින් විජේවන්ත තිගැස්සී ගියේය.

“විජේවන්ත මහත්තය මේ මුදලේ පසුබලය පවරල තියෙන්නෙ එයාගෙ බිරියට....

කෝ එයා ජීවතුන් අතර ඉන්නවාද?”

යුවතිය සිනාමුසුව සිහින් හඬින් තෙපළා ය.

ඩබ්.එම්. බණ්ඩාර මැණිකේ.

ආ...! ඔව්! ඒ අපේ අම්ම...

උපසේන බිඳුණ හඬින් දෙඩුවේ ය. ඔහුට හීන් දාඩිය දමන්නා සේ හැඟෙයි. තමා විසින් මවා ගන්නා ලද ඒ අසිරිමත් ම‍නෝ ලෝකය අතුරුදන් වූයේ කෙතරම් ක්ෂණිකවද?

“ආ! මෙතන ඒ නමයි ලිපිනයයි ලියන්න. අපි චෙක්පත තැපෑලෙන් එවන්නම්.”

“මොකද උණේ? වැඩේ හරිද?”

මේ සියලු කතාබහ උපසේනට ඇසුණේ සිහිනයෙන් වගේ ය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »