Home / කෙටි කතා / හොරෙක් සහ කවි­යෙක්

හොරෙක් සහ කවි­යෙක්

2018-02-09 01:05:00       799
feature-top
“හොඳ හිතින් කියන්නේ හංගල තියෙන දේවල් එළියට ගනින්... ඔන්න මං නරක මිනිහා කියල එහෙම කියන්න එපා.....”

හොරාගේ එම තර්ජනාත්මත වාග් ප්‍රහාරයට ඔහුගෙන් ලැබුණේ සිනාවක් පමණි.

“මොකද යකෝ උඹ හිනාවෙන්නෙ?.”

ඔහු තම සුදෝසුදු ගන රැවුල දකුණතේ දෑඟිලිවලින් පිරිමැද්දේය. කෙහෙ ගහක් නැති මැද හිස අතගෑවේය. උගුරේ රැල් බුරුල් හැර වාඩිවී සිටි හාන්සි පුටුවේ තවත් හරි බැරි ගැහී වාඩිවූවේය.

හොඳ මිනිසකු නරක මිනිසකු වන තුරු

නරක මිනිසකු හොඳ මිනිසකු වන තුරු

මිම්මක් සොයා ගත හැකිද මට

මිනිසකුට පමණක් ම හිමි වූ

හොඳ නරක මනින්නට.....

හොරා ඇහිපිය නොසෙල්වා ඔහු දෙස බලා උන්නේය.

“මොනවද නාකියා උඹ මේ කියවන්නෙ.... පිස්සුද උඹට?.”

මා වෙත හඹා ආ

මා වැනිම මිනිසකු

ඇසුවේය මගෙන්

මා ඇසිය යුතු ප්‍රශ්නයක් උගෙන්

පිළිතුරක් දෙන්නේ කෙලෙස මං

ඔහු ම මට පිළිතුරක් දීඇති බැවින්....

“උඹ මේ මොනාද හම්පඩ නාකියො කියවන්නෙ?.” කියන දෙයක් තේරෙන්න කියපන්. හොරා ඔහුගේ රැවුලෙන් ඇද කම්මුලට පාරක් ගැසුවේය. ඒ පහරේ වේදනාව ඔහුව තරමක් වෙලා නිසොල්මන් කළේය.

“උඹ වගේ පිස්සු බූරු තඩියෙක් එක්ක කතා කරල වැඩක් නැහැ. මං හොයාගන්නංකො සල්ලි තියෙන තැන්.”

හොරා කවියාගේ ගෙට පැන්නේ මහ රාත්‍රියේය. එහෙත් එදා සඳ දිලෙන රාත්‍රියක් බැවින් කවියා සිටියේ නිදි වර්ජිතව ය. ඔහු කවුළු පියන්පත් විවර කර සඳ දෙස බලා උන්නේය. ඉදිරිපස දොරගුළු නොදමා අඩවන් කර තිබ්බේ සඳ හැම පුන් පොහොයට ම ගෙට වඩම්මන්නට ය. ඒ සඳ සමඟ ඔහු කවි කීවේය. වෙව්ලන අතින් කිසිවක් ලියන්නට නොහැකි නිසාදෝ ඔහු හිතින් කවි ලිව්වේය. ඔහුගේ හදවත මනස මෙන්ම නිවසේ දොරවල්ද එම සුන්දරත්වය වෙනුවෙන් විවර විණි. හොරාට මෙය කදිම අවස්ථාවක් විය.

හොරා කවියා කවුරුන් ද කවරෙක් ද යන්න දැන සිටියේ නැත. අවස්ථාවට අනුව හොරාට ඔහු මුදල් සම්පත් යහමින් ඇති හුදෙකලාව වාසය කරන වයෝවෘධ මිනිසකු පමණක් ම වූවේය.

ගෙදර දොර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළ සොරාට වටිනා කිසිවක්ම නෙත ගැටුණේ නැත. ඔහුගේ කෝපය ඉහවහා ගියේය. සැණෙකින් ඔහු කවියා අසල පිහියත් අමෝරා හිටගත්තේය. කවියාට හිමි කැහැටු සිරුර, රැවුලෙන් ඔසවා හොරා තම මුහුණට ළං කර ගත්තේය. ඔළුවෙන් කවියාගේ මුහුණට ඇන්නේය. ඒ පාරෙන් කවියා තරමක් අකර්මන්‍ය වූ නමුදු, ඔහුගේ එඩිතර සිත අබමල් රේණුවකින්වත් දුර්වල කරගත්තේ නැත.

“උඹ වයසට ගියාට තාම හිත හයියයි නේද නාකියො?” හොරා ඇසුවේය.

හිත හයිය නැති මිනිසකු

හිත හයිය මිනිසකුගෙන්

අසයි සිතමින්

නිහඬ හිත ගැන

හිතන්නට නොහැකි හිත් ගැන ලියන

දහසක් සොඳුරු පදවැල් උරුම....

කවියා කවියෙන් ම නැවත පිළිතුරු බැන්ඳේය.

“උඹ මෙච්චර වයසට යනකං මොනාද කළේ?... අඩු ගානෙ ලෙඩක් දුකක් හැදුණොත් බේත් ටිකක් ගන්නවත් සල්ලි ටිකක් ළග තියාගෙන නැද්ද?....”

ජීවිතය ජීවත් කරවන්නට හොරකමේ යන හොරකුට,තමාගේ කවිකම නිෂ්ඵල බව සිතූ කවියා රැවුල අත්හරින ලෙස බැගෑපත් වුණේය.

“මං ළග තියෙන වස්තු සම්බාරෙ පුතාට දෙන්න ඉස්සෙල්ලා, මට ටිකක් පුතත් එක්ක කතා කරන්න ඕනා.”

හොරාට කවියා කෙරෙහි පැහැදීමක් ඇති විය. කිසිදු කලබලයකින් තොරව, ඔහුට හානියක් නොකර තියෙන දෙයක් ලබා ගත යුතු යැයි සිතූ හොරා කවියා ව ලිහිල් කළේය.

“ඇයි පුතා හොරකං කරන්නෙ?” කවියා ඇසීිය.

“මිනිහෙක් හොරකං කරන්නෙ ඇයි කියල අහන්න තරං උඹ මෝඩද මිනිහො?. හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ.”

“නැහැ මං ඇහෙව්වෙ මමත් හොරෙක් නිසා.”

හොරා අහස පොළව ගැටලන්නට මෙන් උඩබිම බැලීය. කවියා දෙස තීක්ෂණ බැල්මක් හෙළීය.

“හොරෙක්.....? බොරු නේද කියන්නෙ?. බොරු කියල ගැලවෙන්නද නාකියො හදන්නෙ?. මං මෙච්චර වෙලාවත් හිටියෙ උඹේ වයස ගැන හිතලා. ඇයි උඹ හොරෙක් උනේ....? උඹ මොනාද හොරකං කළේ...?.”

“ජීවත්වෙන්න හොරකං කරන මිනිස්සුන්ගෙ ජීවිතය.”

“ජීවිතයක් කොහොමද යකෝ හොරකං කරන්නෙ.....?. ඒ කියන්නෙ උඹ මිනිමරුවෙක්....?.”

“ජීවිතයක් හොරකම් කිරිම මිනිමැරුමක් වෙන්නත් පුළුවන්....නැත්තං සුන්දර කවියක් වෙන්නත් පුළුවන්...දැන් පුතාට පුළුවන් ඔය දෙකෙන් කැමතිම එකක් තෝරගන්න.”

කොහෙද යන පිස්සු මළහෝන්තුවක් හොරා සිතුවේය.

“මං මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළට එබී බලල, ඒ ජීවිත ලබන අත්දැකීම් මගේ අත්දැකීම්කරගෙන, මං ඒවා නිර්මාණ බවට පෙරලුව. මං උඹලගෙ ජීවිත ගැන ලිව්වා...හොරකම පාපයක් කියනවට වඩා මිනිහෙක් හොරෙක් වෙන්නෙ ඇයි කියල ලිව්වා...මහපාරෙ වැඩකරන මිනිස්සු ගැන... වීදිවල බඩගින්නනට අඬන දරුවො ගැන... ජීවත්වෙන්න ඇඟ විකුණන ගෑනු ගැන... දූෂණය භීෂණය ගැන.... යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන... මේ හැම ජීවිතයක් තුළින් ලබපු අත්දැකීම්වලින් මං කවි ලිව්වා... ඊට පස්සෙ මං කවියෙක් බව මට දැනුණා... මං හොරකම් කළේ ඒ මිනිස් ජීවන අත්දැකීම්.. ඒවාවලින් පොත් ලිව්වා.. පත්තරවලට ලිව්වා.. සමාජගත කළා.. සම්මන්ත්‍රණ පැවත්තුවා.....”

හොරා කවියාගේ වාග් ශෛලීයට අවනතව සිටියේය. ඒ සුමට බව ඔහුගේ රළු ගොරහැඬි සිත තුළ සිසිල් දියදහරාවක් සේ ගලා ගියේය. කලකින් ඇසූ මිහිරි ගීයක් සේ සවන් තුළට කිඳා බැස්සේය.

“ඔය කිසිදෙයක් අපි දන්නෙ නැහැනෙ. අඩු තරමින් අපි එකෙක් ගැනවත් ලිව්ව විත්තිය දන්නවනං අම්මප, බෝතල් පත්තරකාරයකුට හරි කියනව අරන් තියල දෙන්න කියල.”

“ඕකම තමයි මාත් මේ කල්පනා කරන්නෙ පුතා. මිනිස්සු දන්නෙ නැහැ උන්ගෙ ජීවිත ගැන අපි ලිව්ව වගක්. අපි සංවාද කළා. පත්තරවලින් එකිනෙකාගේ නිර්මාණ ගැන චෝදනා කරගත්තා. ඒ ලියපු ඒවායින් කාගෙද උසස් හරවත් නිර්මාණ කියල ගිරිය පුප්පන් කෑගැහැව්වා. දේශන පැවත්තුවා. හොඳම ඒව තෝරල සම්මාන උත්සව තිබ්බා. තෑගිවලට මුදල් දුන්නා.”

“මොනවා අපේ ජීවිත ගැන ලියලා.....?” හොරා විස්මයෙන් කවියා දෙස බැලුවේය.

“ඔව් පුතා දුක් විඳින හැම මිනිහෙක් ගැනම ලියලා.”

“මාරයිනෙ..... අපි දන්නෙ නෑනෙ ලොක්කො ඔය වගක්.”

“ඒක ම තමයි පුතා මාත් මේ කල්පනා කරන්නෙ. අපි ඔය ජීවිත ගැන ලියල සම්මාන ගත්තට උන් දැනගෙන ඉඳල නැහැ.”

“එතකොට ලොක්කො ඔය ලිව්ව මලදානවලට මුකුත්ම හම්බවෙලා නැද්ද?.”

“තියනවා.... දෙතුන් පාරක් හම්බවෙලා තියනවා.”

“එහෙනං සල්ලි ටිකක් ළග ඇති නේද....?.”

කවියා මඳක් නිහඬ විය. ජීවිත කාලයම රටක් සමඟ වචනවලින් ගනුදෙනු කළද, දේශපාලකයන් සමග සේම, හොරකු සමග වචනවලින් ගනුදෙනු කිරීමට ඔහු මානයක් සෙවීය. තමා ළග මුදල් හදල් නැති බව ඔහු කීයටවත් විශ්වාස කරන්නේ නැත. එහෙත් සත්‍යය පවසා මොහුගෙන් ගැලවිය යුතුය. කවියා සිතුවේය.

“මායි බිරිඳයි මෙච්චර කාලයක් ජීවත් වුණේ ඒ සල්ලිවලින් තමයි පුතේ. ඒත් එයා දැන් මා ගාව නැහැ. මැරිල දෑවුරුද්දක්....මං මේ ගෙවල් දොරවල් ඇරලා නිදහසේ බලන් ඉන්නෙ එයා එනකං... හඳ පායගෙන එනකොට මං එයත් එක්ක යනවා අපේ චමත්කාර ආදරණීය අතීතයට... ඒ සඳ කිරණ එක්ක පහළ වෙන කවි සිතුවිලිවලින් මං හදවත පුරෝගන්නව... සමාජ අසාධාරණය වෙනුවෙන් තීන්ත පෑනෙන් කවි ලියපු මට, ඒ ගැන කිසිම අදහසක් දැන් හිතට එන්නෙ නෑ... ප්‍රේම සිතිවිලිවලට විතරයි දැන් මේ හිතේ ඉඩ වෙන්වෙලා තියෙන්නෙ.. සිතිවිලිවලින් ලියනකොට තීන්තවලින් ලියනව වගේ කොහෙවත් රැඳෙන්නෙ නෑ. හුළඟට පාවෙලා සැහැල්ලු වෙලා යනවා....හඳ වුණත් දැන් පායන්නෙ සමාජ අසාධාරණයට එරෙහිව නොවෙයි... ඉස්සර තරුණ කාලේ හඳ පායන වෙලාවට තමයි මං වීදි මුඩුක්කු පුරා රෑට ඇවිදින්නෙ. ඒ හඳ එළියෙන් තමයි මං ඒ මිනිස්සුන්ගෙ දුක දැක්කෙ. අදහස් හිතට ගත්තෙ... දැන් ඒ හඳඑළිය රන් තැටියකින් කිරි අරන් එන්න වාගේ සනාතන ප්‍රේමය වෙනුවෙන් වෙන්වෙලා.අපේ ආදරණිය සංසාරගත ප්‍රේමය වෙනුවෙන් මගේ දෑස් ළග නලියන්නෙ.”

“ඒ කියන්නෙ ලොක්කො දැන් උඹ ළඟ සල්ලි නැහැ.....?.”

“එයාව සිහි කරලා දනට පිනට දුන්නා. මැරෙනකං වේලක් හැර වේලක් කාල හරි මායි මේ බළල් කැහැට්ටටයි ජීවත්වෙන්නෙ කොහොමද කියලයි මාත් මේ කල්පනා කරන්නෙ....ඌ ඤාව් කියල අඬන සද්දෙට තමයි මං උදේට ඇහැරෙන්නෙ. හෙට උදේට පාන් ගෙඩියකුයි හොද්දකුයි ගන්න ඔන්න ඔය මේසෙ කොළේ යට රුපියල් දෙසීයක් විතර තියල ඇති මහිතේ... ඒකත් පුතාලගෙ ජීවිත ගැන මං ලියපු පොත්වලින් ලැබුණු කතෘ බාගෙකින් ඉතුරු වුණ සල්ලි ටිකක්.”

“රුපියල් දෙසීයක් තියාගෙනද උඹ මට මෙච්චර වෙලා කවියි, හඳයි, පෙමයි, අරකයි, මේකයි කිව්වෙ?.”

හොරා කෝපයෙන් බෙරිහන් දුන්නේය.

“මිනිහො මං හොරකමේ ආවෙත් එහෙම එහෙකට තමයි... දරුවට කිරි පැකැට් එකක් ගන්න සල්ලි නැහැ කියල ගෑනි පලු යන්න බනින්නෙ හඳට නෙමෙයි මට... ලොකු කෙල්ල ඉස්කෝලෙ යන්න සපත්තු කුට්ටමක් ඉල්ල ඉල්ලා අඬන්නෙ හඳෙන් නෙමෙයි මගෙන්...ගෙවල් අයිතිකාරයා ගෙවල් කුලි ඉල්ලන්නෙ හඳෙන් නෙමෙයි මගෙන්.. කුලියක්වත් හොයාගන්න බැරිම තැන තමයි මං ගේකට පැන්නෙ... බලනකොට ඌත් හිඟන්නෙක්.”

“ඔය කබඩ් එක උඩ තියෙන සම්මාන ටිකවත් අරන් ගිහිල්ල විකුණගනින් පුතා... තව ලියපු පොත් පත් කීපයකුත් ඇති.” කවියා සන්සුන්ව කිවේය.

“මේ උඹේ නම කොටපු සරුව පිත්තල කෑලි.....?” හොරා ඇසීය.

“ඔව්... යකඩ බරට වත් වික්කෑකි මහිතේ. ඕව අයිති මට නෙමෙයි උඹලට. මං උරුමක්කාරයෙක් එනකල් බල බලා උන්නෙ.”

“උඹ මෙච්චර වෙලා මාව රැවට්ටුවෙ උඹලව රවට්ටපු යකඩ කෑලි ටික මට දීල බේරෙන්න ද නාකියො?. මේක ගහගනින් උඹෙ......”

කේන්තිය පාලනය කරගත නොහැකි වූ හොරා සම්මානයක් උස්සා කවියාට දමා ගැසුවේය. එහෙත් එය අනපේක්ෂිත ලෙසින් පියාඹා ගොස් පතිත වූයේ, කවියා වාඩිවී සිටි බිත්තිය අසල කොනක තිබූ මකුළුදැල් බැඳි, අතීතයේ ජන නායකයකු අතින් කවියා සම්මානයක් ලබන පැරැණි ජායාරූපයකට ය. කැඩී බිඳී ගිය ජායාරූපයේ බියකරු හඬට කවියාගේ හදවත තරමක් සැලිණි. එහෙත් ඔහු ඒ දෙස නොබලා සඳඑළියට හොරෙන් මෙන්, තමාට දෙස් දෙවොල් තබමින් පියවර තබන හොරාගේ සෙවණැල්ල දෙස සන්සුන්ව බලා සිටියේය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »