Home / කෙටි කතා / රාජකාරිය

රාජකාරිය

2018-02-06 11:30:00       676
feature-top
දිසාපති උන්නාන්සෙ බැහැදකින්න අවසරද?.... ආයිබොවං...."

මම ජනේලයෙන් පිතට බැලුවෙමි.

දැතින් ගත් තුවාය ගුලි කොට උදරයට තද කරගෙන මා වෙත බයාදු බැල්මෙන් නැමී සිටියෙකි ඔහු.

කොටු වැටුන සුදු සරමක්‌ හා කරින් පැලූ කමිසයක්‌ ඇඳ සිටි මේ අසරණයා සිය වයසත් සමඟ ගෙවී ගිය හිසේ ඉතිරි වූ කෙස්‌ රොද කීපය පුංචියට ගුලි කොට එළබටු ගෙඩියක්‌ සෙයින් පිටුපසින් බැඳගෙන සිටියේය.

ඝනව වැඩුණු ඔහුගේ උඩු රැවුල මුහුණට ප්‍රතාපවත් බවක්‌ ලබාදී තිබුණි.

ඒ ආරෝහ පරිනාහ දේහය මා ඉදිරියේ සිටගෙන කාලයේ අතීතය විදහා දක්‌වන දිගු කතාවක්‌ මට කීය.

වයස අවුරුදු හැත්තෑවක්‌....? අසූවක්‌....? එහෙත් තාම බෙහෙවින් නිරෝගී සේ හැඩි දැඩි සිරුරක්‌.... පිරුණු මුහුණ පැහැපත්ය. නිල්වත් දැස දීප්තිමත්ය.

" අපි නං මේ වෙනකොට ඇට කටුත් නෑ...."

මගේ යටිහිත මට කියයි.

".... දිසාපති තුමා තාම කන්තෝරුවට ඇවිත් නෑ.... ඔහෙන් වාඩිවෙලා ඉන්න...."

ඔහු සෙමින් සෙමින් ඉවතට පියනැඟීය. තුවාය යළි කරට වැටුණි. කොරිඩෝව දිගේ මඳක්‌ ඔබ්බට ගමන් කළ ඔහු උදාසීනව සිත්පිත් නැත්තෙකු සේ ඉවත බලා සිටිනු මට පෙනේ.

".... මේ මනුස්‌සයා මොකද උදෙන්ම ජී. ඒ. හමුවෙන්න ආවෙ.... මොකක්‌ වුණත් ඒ කතාන්තරය දුක්‌බර එකක්‌ වාගෙයි. ඔහුගේ මුහුණෙන් ඒ බව හොඳටම පේනවා. හරිම හදිස්‌සියකින්.... කලබලයකින්.....

වමත හිසට උඩින් ඔසවා කුලුනට තබාගෙන දකුණත නවා සිය ඉඟටියේ රුවා ගත් ඔහු එක්‌ කකුලකට බරවී නිසොල්මන්ව සිටගෙන ඈත බලාගෙන කල්පනා කරයි. ස්‌වල්ප වේලාවකින් ඔහු දකුණත ඉවතට ගෙන දකුණු කරෙහි රුවාගෙන සිටි තුවාය ගෙන ඔසවා යළි පෙරසේම කරේ තිබූ තැනම රඳවාගෙන අත යළිත් ඉඟිටියේ රුවා ගත්තේය.

ඔහු එසේ කළා නොව කෙරුනා සේය.

මම මේ අසාමාන්‍ය මිනිසා දෙස ඈත සිටම බලාගෙන ඉඳිමි. ඔහුගේ මුහුණ පැහැදිලිව නොපෙනුනද ඒ මුහුණේ මා දුටු විලාසය මගේ හදවතට කතා කරයි. මට ඔහු පිළිබඳව දැඩි අනුකම්පාවක්‌ ඇති විය.

ජීවිතය යනු ප්‍රශ්න කන්දරාවකි. ඒවාට උත්තර සෙවීම පැටළුණ නුල් බෝලයක අගමුල සෙවීම වත් දුෂ්කර කාරියකි. සෑම මොහොතකම අප සොයන්නේ සැපතකි. එහෙත් නිරතුරුවම අප කරා ළඟා වන්නේ දුකකි.

ලෝකයේ පරම සත්‍යය එය නොවෙද?

".... ඔය බංකුවෙ වාඩිවෙලා ඉන්න.... දිසාපති තුමා එන්න තව ටිකක්‌ වෙලා යයි..."

මම ඔහුට ඇසෙන සේ හඬ නඟා කීවෙමි. මවෙත හෙළු නෙත් ඇති ඔහුගේ මුහුණ සැනෙකින් සිනා පහළ විය. යළිත් ඔහු ඉවත බලා ගත්තේය.

ඊළඟ මොහොතේ ඔහු ළඟ තිබූ බංකුවේ වාඩි වෙන හැටි මම දුටුවෙමි.

".... මේ මනුස්‌සයා උදේ රැයින්ම මොකටද?.... ජී. ඒ. හමුවෙන්න ආවෙ...." පෙර මසිත පහළ වූ ඒ සිතිවිල්ල යළි මට කරදර කරයි.

".... ආපු උවමනාව මොකද්ද කියලා මං අහලා බලන්න ඕනෑ...."

මම කොරිඩෝව දිගේ ඔහු අසලට ගියෙමි.

සැනෙකින් එතැනට වන් මා දුටු ඔහු ගැස්‌සිනි. නැඟිටිමින්.... සර්" යයි ඉබේටම කියෑවිනි.

"....දිසාපති තුමා දැන් එයි.... ලොකු උන්නැහැ මොකද මේ උදෙන්ම.... මොකද්ද නම...."

".... මගෙ නම කළු බණ්‌ඩ සර්...."

" ....කළු බණ්‌ඩා...."

"එහෙමයි සර්...."

"එතකොට ගම කොහෙද...."

".... මං අන්දරවැවේ ආයුබොවං...."

"....අන්දරවැව.... මේ වන්නි හත්පත්තුවේ නේද තියෙන්නෙ...." හුඟක්‌ ඈතනෙ.... එහෙනං උදේ රැයින්ම පිටත් වෙලා එන්ඩැති නේද...."

".... එහෙමයි සර්...."

"..... මොකද්ද ඉතින් මේ උදේ රැයින්ම පිටත් වෙලා ඇවිත් දිසාපති තුමා හමුවෙන්න තියෙන උවමනාව...."

".... මට ලොකු කරදරයක්‌ උනානෙ සර්...."

".....ඒ මොකද්ද...."

".... මගෙ පොඩි එකී රන්මලී වැව ඉස්‌මත්තෙ ටිකිරියත් එක්‌ක දීග ගිහින් ඊයේ රෑ.... මං ඔය කාරණේ දිසාපති හාමුදුරුවන්ට පැමිණිලි කරලා යන්ඩ ආවෙ.... මගෙ බේරිල්ලත් තියෙන්ඩ එපායෑ.... ඒකිගෙ අම්මා හිටියා නං ඕක වෙන්නෑ කවදාවත්....·

කළු බණ්‌ඩගෙ මුහුණ දැවි ශෝකයෙන් බර වෙයි. නෙත් කඳුලෙන් පිරී හැලෙන්න ආසන්නය...."

".... ඉතින්a ඒ දෙන්න සතුටෙන් ඉන්නවා නං දීග ගියාම මොකෝ...."

"මහත්තයා.... ඒක මිනීමරු අසත්පුරුෂයෙක්‌.... මගෙ කෙල්ලවත් මරා දාවි ඌ...."

"..... රන්මලී ටිකිරිට ආදරේ හින්දනෙ.... දීග ගිහින් තියෙන්නෙ.... ඉතින් මරා දාන්නෙ අහවල් දේකටයෑ....."

short1"....අන්දරවැවේ කාටවත් ඌ අඩංගු කෙනෙක්‌ නෙවි.... හරි දාමරිකයා.... ඔය ටිකිරිය.... අනේ..... අනේ... මට ඕක මැරුවත් හිත් වදින්නෙ නෑ.... මට කරපු කඩප්පුලි වැඩේට...."

කළු බණ්‌ඩාගේ ඇඟ පුරාම සලිත වන වේගය හා ශෝකය මුහුණින් පිටවන්නට තතනන්නාක්‌ මෙන් පෙනෙයි.

මට කිසිවක්‌ හිතාගත නොහැකි විය.

"....ඇත්තටම මූ රන්මලී මරා දැම්මොත්....?" මගේ සිතද එක්‌තරා අනියත බියකින් පීඩා විඳින්නට පටන් ගත්තේය.

ලිපිකරුවන් හා නිලධාරීන්ද කඩිමුඩියෙන් මෙන් කච්ෙච්රියට ඇතුළු වෙයි. තවත් මිනිසුන් හා ගැහැනුන් කොරිඩෝව දිගේ එහාට මෙහාට යයි. ඔවුන් හැමදෙනාම පාහේ කච්ෙච්රියට පැමිණ ඇත්තේ මොනයම් හෝ රාජකාරියක්‌ කරවා ගැනීම සඳහා විය යුතුය.

කිසියම් ආපදාවකින් මවනා ලද සිත් සතන් ඇති මේ හැම දෙනාගේම මුහුණ දුක්‌බර කතාවක්‌ කියන්නට සෑදී පෑදී සිටින බවක්‌ පෙනෙයි.

ඔවුන් දිසාපති තුමා බැහැදැක මේ සියලු දුක්‌ගැනවිලි කියවා සිත් සැහැල්ලු කරගෙන ආපසු සිය නිවෙස්‌ බලා යනු ඇත.

".... වරෙන් තේ බොන්න යන්න...." ඇතුළේ සිට එකෙක්‌ කෑ ගැවේය.

".... උඹ පලයන්.... මං එන්නම්...."

කළු බණ්‌ඩාගේ මුහුණින් කඩා හැලෙන ශෝකය මගේ හදවතට අනින්නාක්‌ මෙන් මට දැනෙයි.

".... උන් දෙන්නට සමාවක්‌ දෙන්න හිතෙන් නැද්ද?... ඉතින්...."

".... මොනවද මහත්තයො කතා කරන්නෙ....

තවත් සමාවක්‌ මොකද්ද....මෙලහකටත් ඒක මගෙ කෙලී රන්මලීට මොනව මොනව කරලද කියලා කවුද දන්නෙ...."

"....ඇයි· ටිකිරි රන්මලීට ආදරේ ඇති.... රන්මලිත් ටිකිරිට හොරෙන් හරි ආදරේ කරන්න ඇති.... ඒකයි උන් දෙන්න ඔහොම හොරාට දීග යන්න ඇත්තෙ...."

"රන්මලී ලස්‌සනද...."

මම මඳක්‌ බියෙන් මෙන් කළු බණ්‌ඩාගෙන් ඇසීමි.

ඔහු දිගු සුසුමක්‌ හෙළීය. එය දැවෙන හදවතකින් නිකුත් වූ ගිනි දැල්ලක්‌ බඳු විය. මුළු ලොවම දැවී යන්නට ඇතැයි මට හැඟෙයි.

".... ඒකි උන්ගෙ අම්මා වාගෙන මහත්තයා.... රන්මලීගෙ අම්මා අන්දරවැවට ගෙනා සන්දියෙ ගමේ කවුරුත් කිව්වෙ ඇගෙ වරුනාවමයි. දැක්‌ක කෙනෙක්‌ දෙතුන් සැරයක්‌ හැරි හැරී බැලුව ඈ දිහා.... මේ පුරසාරම් නෙමේ මහත්තයො.... ඒ වුණත් අපි ජීවත් වෙන්නෙ වන්නියෙන්.... කැලේනෙ..... ඉතින් ඔය කැලෑවට මොන ලස්‌සනද්ද?.... අපරාදෙ මගෙ පවටද කොහෙද ඒ ගෑනු මනුස්‌සයා මැරිලා ගියා.... රන්මලිත් උන්ගෙ අම්මා වාගෙ තමා.... ඇහැට කනට පේන්න හිටිය හිරිමල් කෙල්ල...."

".... ඒක තමා එහෙනං...."

".... ඒක නෙමෙයි මහත්තයො...."

"එහෙනං...."

".... උගෙ තියන නොසන්ඩාල කමනෙ...."

".... උන් දෙන්න ආදරෙන් පවුල් කනවනං මට කමක්‌ නෑ.... නමුත් මට අවිශ්වාසයි. ඕක එපා කරපු මිනීමරුවනෙ. ඔයිට කලිනුත් අන්දරවැවේ හිටපු රූප සුන්දරියක්‌ වාගෙ එකියක්‌ ඕක අරන් ගිහින් අනාථ කරලා මරලා දැම්මා..... ඕක මිනී මරුවෙක්‌...."

දාරක ප්‍රේමය යනු හදවතේ පතුලෙන්ම උපන් ඇට ඇට මිදුළු ඔස්‌සේ ගලා ගිය අව්‍යාජ සිතිවිල්ලකි. එය සියලු සිත් සතන් තුළම අන් හැමටම උඩින් නැඟී සිටින්නේය.

කළු බණ්‌ඩාගේ හදවතද දැන් ඒ දාරක ප්‍රේමය විසින් සසල කර තිබේ. අවිනිශ්චිත අපූරු අගාධයකට ඔහුව ඇද දමා ඇත. මේ ඔහු වෑයම් කරන්නේ ඉන් ගොඩ ඒමට නොවෙද?

ජීවිතය පුරාම ආදරය ප්‍රේමය සැපත සොයන මිනිසුනට අවසානයේ ඉතිරි වන්නේ දුක පමණකි. සංසාර චක්‍රය තුළ රවුම් ගසන අප කාගේත් ඉරණම එයයි.

සර්ව සාධාරණ සනාථන දහම් ලෝකයේ තිබිය නොහැකිය. අප ජීවත් වන්නේ ක්‍ෂණයක්‌ ක්‍ෂණයක්‌ පාසා වෙනස්‌ වන ලෝකයේ සිදු වන ක්‍ෂණික වෙනස්‌ වීමද සමඟය.

මිනිසා ජීවත් වන්නේ කොයි තරම් අපේක්‌ෂා සහගතවද? එහෙත් ඒ එකද අපේක්‌ෂාවක්‌ පිළිබඳවත් ඔහුට තිර සහතිකයක්‌ නොමැත.

කළු බණ්‌ඩාද මැදි වී සිටින්නේ එවැනි තත්ත්වයකටය. එය කාටත් සර්ව සාධාරණ ධර්මතාවක්‌ බව මට හැඟෙයි.

ඔහුගේ දැවෙන හදවතට තාවකාලික හෝ සුවයක්‌ ලබාදීමට මට ශක්‌තියක්‌ නැත.

මිනිස්‌සු හා ගැහැනු දිසාපති කාමරය අසල නොඉවසිලිව සිටිති.

"..... දිසාපති හාමුදුරුවො දැන්ම එයිද මහත්තයො...."

කළු බණ්‌ඩා යළිත් මගෙන් විමසයි. ".... වෙනද නම් මේ වෙනකොට ඇවිත්.... අද තව නැත්තෙ මොකද දන්නෑ.... දැන් එයි...."

කළු බණ්‌ඩා බෙහෙවින් නොසන්සුන් භාවයකින් මෙන් පසු වෙයි.

ඔහුගේ හදවතින් නැගි අදෝනාව මගේ හදවතට යවුලකින් මෙන් පහර දෙයි.

මම සෙල් රුවක්‌ වූයෙමි.

ඔහු ප්‍රේමයත් ශෝකයත් අතර අතරමංව අසහනයට පත් අසරණයෙකි.

දැනටමත් සිදු වූ හෝ ඉදිරියේ සිදු වන්නට ඉඩ ඇති ශෝචනීය සිද්ධියක අඳුරු සිත්තම් ඔහුගේ මනස පුරා ඇඳී ඇඳී මැකී යනවා විය හැකිය.

ඔහුට පීතෘ ප්‍රේමය විනා රන්මලීගෙන් ලැබෙන වෙනත් සම්පතක්‌ නැත.

ටිකිරිය ඊයේ ඇයගෙන් අසීමිත තෘප්තියක්‌ අත්පත් කර ගත්තා නිසැකය. රන්මලී ටිකිරිට පිදූ ආදරය ඔහු බිඳී ගිය සෙල්ලම් බඩුවක්‌ සෙයින් ඉවත දමාවිද?

කළු බණ්‌ඩා ඔවුන් දෙදෙනා මත්තේම වැලපෙන්නේ ඇයි?

මිනිසාට ජීවිතයේ ස්‌වරූපය හඳුනාගත නොහැකිය. ආදරය, ප්‍රේමය, දුක, ශෝකය වැනි ස්‌වභාවයන් තුළ දොaලනය වන මානව සිත්සතන් අවසානයේ මිරිඟුවකි.

".... ක්‍රීං.... ක්‍රී.... ක්‍රී...."

දිසාපති කාමරය තුළ ටෙලිෆොaනය නාද වෙයි.

දෙපසට ඇරෙන දෙපියන් දොරින් ඇතුළු වූ සිරිපාල (ආරච්චි) පිටතට පැමිණෙන තුරු සියල්ලෝම අවධානයෙන් බලා සිටිති.

"....අද දිසාපති තුමා හම්බවෙන්න බෑ.... මිනීමැරුමක්‌.... නඩුකාර උන්නාන්සෙත් එක්‌ක උන්නාන්සෙත් රාජකාරියට ගියා කියලා ටෙලිෆොaන් කෙරුවා...."

ඔහු කොරිඩෝව දිගේ ඇවිද යමින් සියල්ලන්ටම ඇසෙන සේ හඬ නඟා කීය.

".... කොහෙද සිරිපාල, මිනීමැරුම...."

"....අන්දරවැවේ ලු සර්...."

" අන්දරවැවේ...."

මට මගේ සිත වාවාගත නොහැකි විය...

".... එහෙනම් ඌ මිනී මරුවෙක්‌aම තමා...."

තුවාය අතට ගත් කළු බණ්‌ඩා පියගැට පෙළින් පැන දෙනෙත් පිස දමමින් කඩමණ්‌ඩිය දෙසට දිව ගියේය.

ගොඩ ගත් මසෙකු සෙයින් ගැහෙන මගේ හදවත වාවා ගැනීමට මම මොහොතක්‌ අසුනට බරව හිස මේසයේ ගසා ගත්තෙමි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »