Home / කෙටි කතා / සමාදානය

සමාදානය

2018-01-30 01:00:00       996
feature-top
මේ උඹල දෙන්නගෙ ඕක හැමදාම ඔහොම හරියන්නෙ නෑ. දෙන්න එක්‌ක වරෙං යන්ඩ නඩුකාර උන්නාන්සෙ ළඟට. මං උඹල දෙන්න එක්‌ක යන්නං" යි පොඩි සිංඤොa මාමා හිසේ බැඳ තිබූ තුවාය හැඳ සිටි අත් දිග මේස්‌ බැනියමට උඩින් දකුණු උරහිස මතට වැටෙන සේ කරේ දමා ගනිමින් කීවේ ආයෙත් දවසක සිරිලුත් ගුණරත්නත් තදේටම වාග් ප්‍රහාරයක පැටලෙමින් සිටිනු ඇහැ ගැටුණු මොහොතකය.

නාරංගොඩ ගමේ ඇතැම් දෙනා විස්‌සෝපයට පත්ව සිටියේ කරදර කම්කටොල්ලක්‌ වූ විටෙක හරිහමං උපදේශයක්‌ ගුරු හරුකමක්‌ ගන්නට ගමේ උගතකු නැතිකම ගැන ය. මහපාර මැදි කරගෙන පිහිටි නාරංගොඩ ගම උගතුන් බිහි නොවූ ගමක්‌ ම නොවේ. බිහිවූ උගතුන්ද දහ පහළොස්‌ දෙනාගෙන් හතර දෙනකුම පිටරට පදිංචි ය. ඉතිරි සියලු දෙනාම කොළඹ ය.

කල්යැමේදී ගම්මුන්ගේ මේ කනස්‌සල්ල දුරු වූයේ නොසිතූ පරිදිය. ඒ අයිවන් මහතා ස්‌ථිර පදිංචිය සඳහා ගමට පැමිණීමත් සමඟය. අයිවන් මහතාට මුලින්ම ලැබුණේ රජයේ නීති ක්‌ෂේත්‍රයේ රැකියාවකි. ඔහුගේ සුදුසුකම්, දක්‍ෂකම්, කැපවීම් සහ වෙනත් මානුෂීය ගුණාංග කැපී පෙනීම නිසා වැඩි කල් නොගොස්‌ම ඔහු අධිකරණයේ විනිශ්චයකාර පදවියකට හිමිකම් පෑවේය. එම තනතුරේ ඔහු සේවය කරනු ලැබූයේ රටේ බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍ර වෙමිනි. මොහුගේ නඩු තීන්දු බැලීමට ඇසීමට මෙන්ම පුවත්පත් මගින් කියෑවීමට ප්‍රිය කළ අයද බොහෝය. ඒ අන් කවරක්‌ නිසාවත් නොව ඒවායේ තිබූ ඉහළ මට්‌ටමේ සාධාරණ බව නිසාමය.

නියමිත වයසේදී විශ්‍රාම ලැබූ අයිවන් මහතා සිය දරු පවුලත් සමඟ ගමේ මහ ගෙදරට ස්‌ථිර පදිංචියට යැමට කල් ඇතිවම තීරණය කරගෙන සිටියේය. ඉතාම චාම් ගති පැවතුම් තිබූ අයිවන් මහතා කවදත් ප්‍රිය කළේ ගමේ පරිසරයටය. මොහු ගමේ නිවසට පදිංචියට ආ දා ඔවුන් වෙත සුහදතාව පළ කරන්නට පැමිණි නාරංගොඩ ගමේ අය බොහෝය. එයින් බොහෝ දෙනකු ආවේ කැවුම්. කොකිස්‌, අළුවා, වැලිතලපා, කෙසෙල් යනාදී වූ කැවිලි පෙවිලිද අතැතිවය. සමහරුන් රැගෙන ආවේ තම තමන්ගේ කුඹුරුවලින් ලබාගත් අස්‌වැන්නෙන් සැකසූ අලුත් සහල් ය.

එදින අයිවන් මහතාගේ නිවසට එන්නට නොහැකිවූ අයත් මේ ගැන ඒතරම් ම උනන්දුවක්‌ නොදැක්‌වූ සමහර අයත් අයිවන් මහතාගේ නිවෙස අසලින් යන එන ගමන් සෝදිසි කරන්නට පටන් ගත්තේ හැමදා ම වාගේ වත්තේ පිටියේ මොන මොනවා හෝ වැඩවල යෙදෙන කොට කලිසමක්‌ ඇඳි තොප්පියක්‌ පැලඳි වඩා නොඋස්‌ මේ පුද්ගලයා කවුදැයි යන්නය. දින සති ගෙවී යද්දී ඒ කාටත් ආරංචි වූයේ ඒ හිටපු නඩුකාර උන්නාන්සේ කෙනකු බවය. කෙසේ වුවද ඔහුගේ එම හැසිරීම් රටාව ගැන ගමේ ඇතැම් දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ බස්‌නාහිරින් ඉර පෑව්වාක්‌ මෙන්වූ මහා පුදුමයකිනි. ඒ වෙලාවල්වලදී ගමේ වියපත්ම පුරුෂයා වන මුදියන්සේ ආතා කීවේ "ඕකේ ආයේ පුදුම වෙන්ඩ දෙයක්‌ නෑ බං, ඔය ලොකු ලොකු තානාන්තර කොරන ජපානේ දොස්‌තරල, ඉංජිනේරුවො, නඩුකාරයො, ඔය කවුරුත් එහෙම තමයි. ඒ ඇත්තො රාජකාරියේදී ටයි කෝට්‌ ගහගෙන ඒ වැඩේ කොරනව. අනෙක්‌ වෙලාවට ඔය මොකක්‌ හරි වැරැහැලි ඩිංගක්‌ පටලෝ ගෙන ඔළුවෙ ජටා පතයක්‌ බැඳගෙන වත්ත පිටියෙ වැඩ. ඔය පැන්සොන් පිට ඉන්න අපේ නඩුකාර උන්නාන්සෙත් අන්න එහෙම කෙනෙක්‌ තමයි බොලව්" යනුවෙනි.

මාසයක්‌ හමාරක්‌ ගෙවී යද්දී කාන්තාවෝ කිහිප දෙනෙක්‌ම අයිවන් මහතාගේ පිහිට පැතූහ. ඒ පවුලේ අඬ දබර බේරුම් කර ගැනීම සඳහාය. මේ කොයිම මොහොතකවත් අයිවන් මහතා තමා වෙතට මෙලෙසින් එන අසල්වාසීන් කරදරයක්‌ ලෙස සැලකුවේ නැත. දැන් හරියට අයිවන් මහතා ගමේ නඩුකාරයා වැනිය. ඔහු දෙන උපදෙසකට තීන්දුවකට එකඟ වෙනවා මෙන්ම ක්‍රියාත්මක කරනවා හැර ඊට විරුද්ධ වීමට මෙන් ම අනවශ්‍ය ලෙස තර්ක විතර්ක කිරීමට ගම්මු හීනෙකින්වත් නොසිතූහ. ගමේ අයට ඔහු ගැන තිබූයේ අසීමිත වූ විශ්වාසයකි. මහත් වූ ගෞරවයකි. භක්‌තියකි. අනෙක ගම්මුන් කුමන ගැටලුවක්‌ රැගෙන ගියද එහෙත් මෙහෙන් විමසා බලා උපදෙස්‌ දීමක්‌, තීන්දුවක්‌ දීමක්‌ කිසිසේත්ම නැත. එය හරියට උසාවියේදී මෙන් මය. සියලු තොරතුරු එකින් එක විමසා බලා කාරණය හරි හැටියටම තේරුම් ගැනීමෙන් පසුව පමණක්‌ විසඳුම දෙන්නේ ය. එය එක්‌ දිනකදී අවසන් කිරීමට නොහැකිවේ නම් නැවත පැමිණීමට උපදෙස්‌ දීමටද අයිවන් මහතා අමතක නොකරයි.

විශ්‍රාම දිවියේ දී අයිවන් මහතාට නිරවුල් කරදීමට වැඩියෙන්ම අවස්‌ථාව ලැබුණේ ස්‌වාමි බිරිඳ ඝට්‌ටනයන් ය. ඒ අතර ඉඩම් මායිම් හබයක්‌ද නිරවුල් කිරීමට අවස්‌ථාව ලැබුණේ පළමු වරටය. එම ආරාවුලට මැදිව සිටියේ ගමේ මැදි වයසේ ගෘහ මූලිකයන් දෙදෙනකු වූ සිරිල් සහ ගුණරත්න ය. එම දෙදෙනාම ජීවිකාව හැටියට කරනු ලැබූයේ හේන් ගොවිතැන ය. එයිනුත් ඔවුන් වැඩිපුරම කළේ තවමත් බලපත්‍ර නොලද ඉඩම්වල හේන් වගාව ය.

ඔවුන් දෙදෙනාගේ ඉඩම් කැබලි දෙකේ මැද මායිමට දැන් කාලයක්‌ තිස්‌සේ ම දෙදෙනාට දෙදෙනා ආරවුල් කර ගනිමින් සිටිති. හැමදාම ආරවුල් කරමින් සිටිනවා මිස මෙය නීතිය ඉදිරියට ගෙන යැමක්‌ද නොවිණි. එයට එක්‌ හේතුවක්‌ වූයේ මෙම ඉඩම්වලට තවමත් නීත්‍යනුකූල බලපත් නොලැබීමය. මේ අතර දිනක්‌ ගමේ වැඩිහිටියකු වූ පොඩිසිංඤොa මාමාගේ ඉල්ලීමට අනුව සිරිලුත් ගුණරත්නත් අයිවන් මහතාගේ නිවෙස බලා ගියෝය. එම ගමනට පෙරමුණ ගත්තේ පොඩිසිංඤොa මාමා ය. තිදෙනා යන විට අයිවන් මහතා සිටියේ ඉස්‌තෝප්පුවේ වූ හාන්සි පුටුවකට බරදී ඉංගිරිසි පත්තරයක්‌ බලමිනි.

"සර් අනේ· අපේ මෙන්න මේ ගොයියො දෙන්නගෙ මේ ඉඩම් හුටපටයක්‌. සර්ට කියල ඩිංගක්‌... සර්· මේ ගුණරත්න ගොයිය, මේ සිරිල් ගොයිය... පොඩිසිංඤොa මාමා කාරණය විස්‌තර කරන්නට පටන් ගත්තේ දකුණු කරේ තිබූ තුවාය දෑතට ගනිමින් දැඩි යටහත් පහත් ඉරියව්වෙනි.

කාරණයට ඇහුම්කන් දුන් අයිවන් මහතා ගැටලුවට මැදි වී සිටි දෙදෙනා දෙස බලමින් ම ප්‍රශ්න ගණනාවක්‌ ම ඇසුවේය. ඒ හරියට මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්‌ස මහ රජතුමාගෙන් ප්‍රශ්න ඇසුවාක්‌ මෙනි. නො එසේ නම් එය ඊටත් එහා ගියා වැනිය. එම ප්‍රශ්න අසා අවසානයේ දී තාවකාලික තීන්දුවක්‌ දීමට යුහුසුලු වූයේය.

"හොඳයි· මේ ඉඩම් දෙන්න ම අල්ල ගෙන තියෙන්නෙ එකම කාල වකවානුවෙ. ඉඩම් දෙකේ ප්‍රමාණයත් බොහෝ ම සමානයි නේද? හේන් වගාව මිසක්‌ දෙන්නම ස්‌ථිර භෝග දාල නෑ. තාම අනවසර නිසා ඒක බොහෝම හොඳයි.

එතකොට මේ මැද මායිමට තමයි දෙන්නගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ... නේද? කමක්‌ නෑ. අපි ඕක ඉඩමට ගිහිල්ලම විසඳ ගන්න බලමු. මට පුළුවනි හෙට උදේ ඉඩමට එන්න.. මං එනකොට දෙන්න ඇවිල්ල ඉන්න... ඒ එනකොට එක්‌ කෙනෙක්‌ කොහු ලණු කැරලි දෙකක්‌ තුනකුයි අලවංගුවකුයි ගේන්න ඕනෑ. අනෙක්‌ එක්‌කෙනා ගේන්න ඕනෑ පැළ ඉනි විසිපහක්‌ තිහක්‌... ඒ දේවල් ගේන්න පුළුවන් නේද? මෙම ගැටලුව විසඳා ගැනීමට දෙදෙනාගේ ඇති උනන්දුවත් එම වගකීම පවරන ගමන්ම පරීක්‍ෂා කර බැලීමට අයිවන් මහතා අමතක නොකළේය.

"පුළුවන් සර්" ගුණරත්න සහ සිරිල් එකවරම වාගේ පිළිතුරු දුන්නේ අයිවන් මහතාගේ මුහුණ දෙස එක එල්ලේ ම බලාගෙන ය.

"ඔව්. දැන් කවුද පැළඉනි ටික ගේන්නේ?" හිටගෙනම කතාබහට එක්‌ව සිටින දෙදෙනාගේ මුහුණු දෙසට දෑස්‌ මාරු කරමින් අයිවන් මහතා විමසීය.

"මම සර්·" සිරිල් ගුණරත්න දෙස බලන ගමන් ම පිළිතුරු දුන්නේය.

"හරි... එතකොට අනෙක්‌ කෙනා අනෙක්‌ කියපු කළමනා ටික... අ... හරි... එහෙනං අපි හෙට උදේට ඒ විදිහට වැඩේ කරමු. මේ... එහෙම නං මාත් එක්‌ක යන්ඩ පොඩි සිංඤොa ලොකු උන්නැහේට අපේ ගේ ළඟට එන්ඩ පුළුවන් නේ. එහෙම නං ගේ ළඟට අටයි හතළිස්‌ පහ විතර වෙනකොට එන්ඩකො.

"එහෙමයි සර්·" පොඩිසිංඤොa තරමක්‌ පහතට නැමෙමින් ගරු පක්‍ෂපාතී ලෙස පිළිතුරු දුන්නේ ය.

පසුදා නියමිත වේලාවට සිවුදෙනාම එකතු වූහ. අවශ්‍ය කළමනා ද ඉඩම් හිමියන් දෙදෙනා ගෙනැවිත් තිබුණි. කාර්යය ඇරැඹීමට පෙර අයිවන් මහතා ඉඩම් කැබලි දෙකේ පිහිටීම් යනාදී භෞතික තොරතුරු පිළිබඳව වගාකරුවන් දෙදෙනා සමඟ මුලින්ම ඒවායේ ඇවිද බැලුවේය. ඒ යන අතරතුර ම එදා ගෙදරදී නොඇසූ තවත් වැඩි විස්‌තර හාර හාරා මතු කර ගත්තේය. අනතුරුව ඉතා සංයමයෙන් යුතුව දෙදෙනා වෙත මූලික මඟ පෙන්වීමක්‌ කිරීමට පටන් ගත්තේය. තැන් තැන්වල බුලත් කෙළ පාරවල්ද ඉහිමින් මේ පසුපස හීන් සීරුවට පොඩිසිංඤොa මාමාද ඇවිද ගෙන ගියේ මෙම ඝට්‌ටනය ඉවරයක්‌ කර ගැනීමේ ඕනෑකම සිරිල්ටත්, ගුණරත්නටත් වඩා තමාට ඇති බව නොකියා කියන්නාක්‌ මෙනි.

short1"ඔව් දැන් අපි වැඩේ කරන්නෙ මෙහෙමයි..." අයිවන් මහතා සිරිල් සහ ගුණරත්න යන දෙදෙනාගේම අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමෙන් අනතුරුව දෙදෙනාගේම මුහුණු දෙසට දෑස්‌ යවමින් කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය. "දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්න ඕනෑ... ඊට පස්‌..." අයිවන් මහතාට උපදෙස්‌ දීම සම්පූර්ණ කිරීමට ඉඩ ලැබුණේ නැත.

සිරිල් තකහනියේම කට ඇරියේය. "ආ ඒක මං කරන්නං"

"නෑ සර් ඒ වැඩේ මං කරන්නං" සිරිල් ඇරපු කට වහන්නටත් කලින් ගුණරත්න කීවේය.

දෙදෙනාම යම් වේලාවක්‌ මේ ආකාරයට මාරුවෙන් මාරුවට තරග කෙරෙන හැටි සුළු වේලාවක්‌ නිහඬව බලා සිටි අයිවන් මහතා උපදෙස්‌ දීමේ කාර්යය යළි පටන් ගත්තේය.

"මෙහෙමයි... මගේ උපදෙස්‌ දීම තාම ඉවර නෑ. පටන් ගත්තා විතරයි. ඉස්‌සෙල්ලම හොඳට අහගන්න... ඇහුම්කන් දෙන්න" යි අයිවන් මහතා කීවේ මටසිළුටු ලෙස වුවද යම් අවවාදයක්‌ ද කරන ස්‌වරූපයෙනි. දැන් දැක්‌කනේ මැද මායිම ලකුණු කරන්න පුදුම පොරයක්‌නෙ දෙන්නගෙ තිබුණෙ... ආ ඒක මං කරන්නං... නෑ නෑ මං කරන්නං කියල... නේද? එහෙම නොවෙයි. ඉස්‌සෙල්ල හොඳට අහගන්න මගේ මේ උපදෙස්‌ දීම ඉවර වෙලා මං කිව්වට පස්‌සෙ තමයි දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්න ඕනෑ. හරිද? ඊට පස්‌සෙ තමයි වැදගත්ම කාරණේ. පස්‌සෙ ඒ මායිම ලකුණු කරපු කෙනා පොඩ්ඩක්‌ පැත්කට වෙන්න ඕනෑ. ඒ වගේම තමයි මායිම ලකුණු කරල ඉවර වුණාට පස්‌සෙ එයාට මොකුත්ම කතා කරන්නත් බෑ... හරිද? ඒ මොකද අපි අනෙක්‌ එක්‌කෙනාට තමයි, ඒ කියන්නෙ මැද මායිම ලකුණු කරන්න මැදිහත් නොවුණු කෙනාට තමයි පළමුවෙන්ම අවස්‌ථාව දෙන්නෙ. මොකටද? ඒ ඉඩම් කොටස්‌ දෙකෙන් තමන් කැමති එකක්‌ තෝරා ගන්න. ඊට පස්‌සෙ ඉතුරු වෙන කොටස තමයි මායිම ලකුණු කරපු එක්‌කෙනාට ලැබෙන්නෙ... හරිද?" දෙදෙනා ටික වේලාවක්‌ තුෂ්නිම්භූත වී බලා සිටියෝය.

"හරි, හොඳයි එහෙනං දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්නකො බලන්න" යි කියා අයිවන් මහතා නිසොල්මන්ව බලා සිටියේය.

"ආ ඒ වැඩේ ඔයා කරන්න" යි සිරිල් ගුණරත්නට තකහනියේම කීවේය.

"නෑ නෑ ඔයා කරන්න" යි ගුණරත්න සිරිල්ට කීවේය. දෙදෙනා අතර ටික වේලාවක්‌ මෙම පැවරුම් හුවමාරුව පැවතියේය. අයිවන් මහතා නිසොල්මනේ බලා සිටියේ අවශ්‍ය වුවහොත් ඊළඟට අවශ්‍ය සුදුසු උපදේශය දීම සඳහා ය.

ටික වේලාවකට පසු ගුණරතන නැවත කතා කළේය. "සර්· මේක මෙහෙම හරියන්නෙ නෑ. ඒ වැඩේ අපි දෙන්නම එකතුවෙලා කළොත් මොකද?"

"ඔව්· බොහෝම හොඳයි, බොහෝ ම හොඳයි. අනෙක්‌ එක්‌කෙනා මොකද කියන්නෙ?"

"එහෙමයි සර්· මාත් කියන්නෙ දෙන්නම එකතුවෙලා ඒ වැඩේ කරන්නං කියල" සිරිල් තාමත් කළු ගැහී පවතින මුහුණ අයිවන් මහතා දෙසට පාමින් කීය.

"හොඳයි· එහෙමද? එහෙනං දෙන්නම එකතුවෙලා වැඩේ කරමු. මාත් ඒකට බොහෝම කැමැතියි"අයිවන් මහතා දෙදෙනාටම ආශීර්වාද කරන්නාක්‌ මෙන් කීවේය.

"හැබැයි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ හරි වැඩේ හරියට වුණේ නෑ කියල අපිට කියා හිටියොත් එහෙම මම මැදිහත් වෙනවා වැඩේට. එතකොට සමහර වෙලාවට ඉඩම් කෑලි දෙක දෙන්න අතරෙ මාරු වෙන්න වුණත් පුළුවන්... හොඳ ද?"

හැඳ සිටි සරොම් කැසපොට ගසාගත් සිරිලුත්, ගුණරත්නත් ටික වේලාවක්‌ ඉඩම්වල ඇවිද බලා මැද මායිම ලකුණු විය යුතු ඉසව්ව තීරණය කරගෙන අයිවන් මහතාට දැනුම්දීමට තීරණය කර ගත්හ. තීරණය දැනුම්දීමට මෙවර ඉදිරිපත් වූයේ සිරිල් ය. ඔවුන්ගේ මෙම කාර්යයට පොඩිසිංඤොa මාමා ද පුළුවන් විදිහට උදවු වූයේ දැඩි වූ ළෙන්ගතුකමකිනි.

"සර්· හරි අපි මැද මායිමේ ලයින් එක තීරණය කර ගත්තා"

"හොඳයි බොහෝම හොඳයි. ඒක වුණේ දෙන්නගෙම කැමැත්තෙන්ද?"

"එහෙමයි සර්" යි දෙදෙනාම එකවර එකම පිළිතුර බැන්ඳේ සතුට වැඩිකමට ය.

"පස්‌සෙ දෙන්න අතරෙ ආයෙමත් ඕකට මොකුත් ප්‍රශ්න ඇතිවෙන තත්ත්වයක්‌ හෙම එයිද?"

"නෑ නෑ සර්· ඒක පිරිසිදුවටම කෙරුණා. දැන් කෙළින්ම ලණුව අල්ලල ඉනි ටික හිටෙව්වා ම හරි. පස්‌සෙ දෙන්නත් එක්‌ක හොඳට වැට ගහ ගන්නව" යි සිරිල් කීවේ ගුණරත්න ද වෙනුවෙනි.

"එතකොට ඉඩම් කැබලි දෙක දෙන්න අතර මාරුවීමක්‌ වෙන තත්ත්වයක්‌ එහෙම මතු වුණාද?"

"නෑ නෑ සර්· ඒ තිවුණු විදිහමයි" ගුණරත්න කීය.

"ඔව් සර්· ඉඩම් කෑලි මාරු කර ගන්න තත්ත්වයක්‌ මේකෙ නෑ නොවැ. අර සර් මුලින් කිවූ හැටියට අපි තනි කෙනා වැඩේ කොරන්න බැස්‌සනං එහෙම තත්තෙයක්‌ එන්න තිබුණ" සිරිල් වැඩිදුරටත් කීවේ වැඩිමනත් යමක්‌ තේරුම් ගත් බවක්‌ද ඉඟි කරමිනි.

"එහෙමයි සර්· මං ඉතිං ළඟ නෙවැ, වැඩේ හොඳට පිරිසිදුවට ම කෙරුණ. සර්ට පිං සිද්ධ වෙන්ඩ ඕනෑ" පොඩිසිංඤොa මාමා මහත් සතුටිනුත් ගෞරවයෙනුත් කියා සිටියේ අයිවන් මහතාගේ විශ්වාසවන්ත ම ගෝලයාගේ චරිතය රඟපාන්නාක්‌ මෙනි.

"එහෙමද? එහෙනං ඒ ලයින් එකට ලණුව අල්ලල ඉනි ටික හිටවමු... මේ පැත්තෙ මුලට එන තැනට ඉස්‌සෙල්ල ඉන්නක්‌ හිටවන්නකො බලන්න..."

එම කෙළවරේ පළමු ඉන්න සිටවූ පසු අයිවන් මහතා ලණුවේ එක්‌ කෙළවරක්‌ එහි ගැට ගැසුවේය. ඊළඟට යළිත් සිරිල්ටත්, ගුණරත්නටත් ළෙන්ගතු වූයේය. "ඔන්න ඒක හරි. එහා පැත්තටත් ඒ ලකුණු කරපු නියම තැන ඉන්නක්‌ හිටවල ලණුව ගැටගහන්න. ලණුව හොඳට ඇදල ගැට ගහන්න. හොඳ ද? ඊළඟට දෙන්නත් එක්‌ක මැද ඉනි ටික හිටව ගෙන එන්න. අඩි දහයෙන් දහයට වගේ ඉනි ටික හිටෙව්වම ඇති... නේද? පොඩිසිංඤොa උන්නැහේ එහෙනං ඒ ඩිංගත් ඉවරයක්‌ කර ගන්ඩ පොඩියක්‌ උදවු වුණොත් හොඳයි..."

කටයුතු අවසන් වන තුරු අයිවන් මහතා ඒ අසල ගසක සෙවණ විඳිමින් සිටියේය. ගැටලුව විස¹ගත් ගුණරත්න සහ සිරිල් විගසින්ම පැමිණ අයිවන් මහතාගේ දෙපා අල්ලා වැන්දෝය. ඒ මොහොතේ දෙදෙනාගේම මුහුණු ලා රෝස පැහැයෙන් බැබළෙන හැටි පොඩිසිංඤොa මාමා බලාගෙන ය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »