Home / කෙටි කතා / සුන්දර හමුවීම

සුන්දර හමුවීම

2018-01-22 11:12:00       108
feature-top
බස් රථය අගනුවරට ළඟා වෙමින් ඇතැයි අවට වූ උස් ගොඩනැගිලි දකිද්දී මට සිතිණි. පාන්දරින්ම පිටත් වූ අප දිගු මගක් ගෙවා මේ යන්නේ සුන්දර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.

“මිනිය තියෙන්නෙ අවමංගල ශාලාවකලු. ගෙදර නෙමෙයිලු බං.” මා අසල වාඩි වී හුන් විමලක්කා කියයි.

“ඒ කියන්නෙ කොහෙද විමලක්කෙ?”

“මාත් හරියටම දන්නෙ නෑ බං. ඔය ලොකු ලොකු උදවිය මිනිය ගෙවල්වල තියා ගන්නෙ නැතිලු. මැරුණම ගෙනියනවලු අවමංගල ශාලාවකට. නෑදෑ හිතවත්තු අවසන් ගෞරව දක්වන්න එන්නෙ එතෙන්ටලු.”

ඇය විස්තර කරයි. මගේ කුතුහලය සංසිඳවීමට එය ප්‍රමාණවත් නැත. මම ඇය දෙස ම බලා සිටියෙමි.

මට මේ කිසිවක් නොතේරේ. මට දැනෙන්නේ මව හා පියා ජීවත් ව සිටියදී සුන්දර මහත්තයා අකාලයේ මිය ගිය බව පමණි. නිසි වයසට නොපැමිණ මෙසේ අකාලයේ මියයෑමට සංසාරගත හේතුවක් තිබෙන්නට ඇත.

“දැං ඔය හීල්ලුව ඇති. නැගිටපං බහින්න. ඔන්න මල් ශාලාව ළඟට ආවලු.”

පැමිණි සියලු දෙනා පේළියක් සැදී සෙමෙන් සෙමෙන් “වනසිංහ අවමංගල්‍ය අධ්‍යක්ෂවරු” යයි සඳහන් ගොඩනැගිල්ල දෙසට පියවර තබති.

ශාලාවට ඇතුළුවන අය පිළිගත්තේ ලොකු හාමු සහ හාමිනේ විසිනි. ඔවුන් දෙදෙන අප ඉදිරියේ දෙකට නැමුණු ආකාරය ගැන මට පුදුම ය. වෙනදා ඔවුන් ඉදිරියේ දෙකට නැමුනේ ගමේ අයයි. ඒත් අද... අනේ මන්දා මට මේවා හරිහැටි නොතේරේ.

අපි දේහය තිබූ තැනට ගියෙමු. එය අමුතුම ලෝකයකි. අවට පැතිර තිබුණේ නැහැය කිති කවන සුන්දර මහත්තයාගේ සෙන්ට් සුවඳයි. එය මට හොඳහැටි පුරුදු ය. විසිතුරු මල් වඩම් රාශියක් මැද දිලිසෙන සුදෝ සුදු ඇතිරිලි වට කළ පෙට්ටියක සුන්දර මහතා නිසල ව සිටී. මගේ පපුව පැළී යන තරමේ වේදනාවක් මතුව එයි.

මට ඔහුගේ සුසිනිඳු දෑත් වැලඳ ගැනීමට සිතෙයි. ඒ දෑත මට නුහුරු වූවක් නොවේ. ඔහුගේ නිවසේ වැඩට ගිය කාලයේ ඒ දෑත වරින් වර මගේ ශරීරය පුරා දිව ගියේ අමුතුම මිහිරියාවක් මතු කරමිනි. හැකි හැම විටම ඔහු මගේ මුහුණ සිප ගත් බව පමණක් මට මතකය. ගැටවර වියේ පසු වූ මගේ ගත ඔහුගේ පහස පැතුවත් කිසිඳු මොහොතක එම ආශාව ඉටු කර ගැනීමට මට නොහැකි විය.

“වෙන කාටත් වඩා මං උඹට ආදරෙයි සුබා” ඔහු නිතර පැවසුවේය.

“මමත් ගොඩක් ආදරෙයි සුන්දර බේබි මහත්තයා” දිනක් මම ද කීවෙමි.

“එපා මට එහෙම කියන්න. මට කියන්න සුන්දර කියල”

“ආපෝ ... බෑ... මට ආයෙ මේ ගෙදර වැඩට එන්න දෙන එන්න දෙන එකක් නෑ.”

“එහෙනම් බේබි කෑල්ල එපා”

ඔහු මට සුන්දර මහත්තයා වූයේ එලෙසිනි. ඔහු මා ඔහුගේ පපුවට තුරුලු කරන් සිටි එක් මොහොතක පබිලිස් අයියා ඒ බව දුටුවේය. මම බිය වීමි. ඒ බිය කෙළවර වූයේ මට පබිලිස් අයියාගේ බිරිය වීමට සිදු වීමෙනි.

එකල මගේ සෙනෙහස පතා පැමිණි ගයන්තට බහක් දෙන්නට මට නොහැකි වූයේ පබිලිස් අයියාට මා ඔහුගේ බිරිය කර ගැනීමට තිබූ තදියම නිසාවෙනි. ඔහු ඒ සඳහා අවිය කර ගත්තේ ඔහු දුටු සිද්ධිය ලොකු හාමු ඇතුළු ගමේ හැමට ම පවසනවා යන්නයි. එය ගයන්තගේ ද කන වැකෙන්නට ඇත. ඔහු ගමෙන් යන්නට ගියේය. මට සුන්දර මහත්තයා ද මුණ ගැසීමට අවස්ථාවක් නොවීය.

සුන්දර මහත්තයා මට හිමි නොවන බව මම දැන සිටියෙමි. එහෙත් මට වඩා වසර ගණනාවකින් වැඩිමල් පබිලිස් අයියාගේ බිරිය වනවාට වඩා ගයන්තගේ බිරිය වීමට මම කැමැත්තෙන් සිටියෙමි. එහෙත් දැන් මා අනාත වී හමාර ය. පබිලිස් අයියා මා වැන්දඹුවක කර මෙලොව හැර ගොසිනි. එතැන් පටන් තනිව ජීවත්වූ මට සුන්දර මහත්තයා හා ගයන්ත සිහිවූ වාර නැත්තේ නොවේ.

“මැරිච්ච මනුස්සයගෙ මොනවද ඔය හැටි බලන්නෙ”

මට හුරු පුරුදු කටහඬක් පිටුපසින් ඇසිණි. මම හැරී බැපුවෙමි. ගයන්තගේ සිනා පිරි මුහුණ මගේ උරහිසට උඩින් මතුව පෙනේ. මම දෑස් විසාල කර බලා සිටියෙමි.

“කොච්චර වෙලාද මෙතනට ඇවිල්ල? දැන් දැන් මා දිහා බලයි කියල බලා හිටියෙ. කෝ ඉතින් අනිමිස ලෝචනේ මිසක් වෙන මුකුත් නෑ. එන්න යන්න මොනව හරි බොන්න”

ඔහු මගේ අතින් ඇද ගෙන පෙට්ටිය ළඟින් ඉවත් වී ශාලාවේ කෙළවරකට ගියේය.

“මම ළඟදිම ගමට ගිහින් ඔයාවයි, මගේ හිතවත්තුයි බලල එන්න හිටියෙ. සුන්දර බේබි මහත්තයත් මට කිව්ව ගිහින් කතා කරලා එන්න කියල”

මට එක්වරම ඔහු දෙස බැලිනි. ඒ කියන්නෙ සුන්දර මහත්තයයි, ගයන්තයි නිතරම හම්බවෙනව කියන එකද? කොහොමද එහෙම වෙන්නෙ ? පිළිතුරු නැති ප්‍රශ්න වැලකි.

“මේ අහන්න..... සුන්දර මහත්තය කිය කිය හිටියෙ මට ඔයාව බලන්න යන්න කියල. සුන්දර මහත්තයගෙ ලෙඩ වලට බෙහෙත් ගන්නයි ගෙදර වැඩවලට වාහනේ එහෙ මෙහෙ අරන් යන්නයි වුණාම දවස ගෙවිල ඉවරයි. යන්න වුවමනාව තිබුණත් යන්න වෙලාවක් නැතුවයි හිටියෙ. මට හිතුණ ඔයා අද එයි කියල”

එසේ නම් ගයන්ත සේවය කරන්නේ සුන්දර මහත්තයා ළඟ ය.

“ඩේවිඩ් මාම උඹව හොයනව. වරෙන් යන්න.”

කමලක්කා මා කැටුව ශාලාවේ අනෙක් කෙළවරට ගියාය.

“මොනවද ගයන්ත කියන්නෙ”

“අනේ මන් දන්නෑ.... ගමේ එනවය කිව්වෙ හිතවතුන් බලන්න. මං ඇහුව මෙහෙ හිතවත්තු නැද්ද කියල.... එතකොට කිව්වෙ මෙහෙ ඉන්නෙ පණ නැති හිතවත්තු තමාය කියල”

“ඇත්තනෙ බං. මේ වගේ ආයතනයක වැඩ කරනකොට මැරිච්ච උන් තමයි වැඩියෙන් දකින්නෙ. ඌ බොරුවක් කියල නෑ.

“බුදු අම්මෝ මැරිච්ච මිනිස්සු එක්ක....?”

“උඹ බය වුණාද? ගයන්තයා මිනී එක්ක වැඩ කරන්නෙ නෑ. ඌ තමයි බං මේ ආයතනේ ඩ්‍රයිවර්. ඌට දැං තව එකෙක්ට කන්ඩ අඳින්ඩ දෙන්ඩ පුළුවන්”

“එහෙනං කමක් නෑ......”

“කමක් නැහැනෙ එහෙනං. හිටිං මං වසන්තට පණිවිඩේ කියල එනකම්.”

මම කිව්වෙ මිනී එක්ක වැඩ කරන්නෙ නැති එක ගැන. කමලක්කා මොනවා සිතනවාදැය් මම නොදනිමි. ඇය මා තනිකර එළියට ගියාය. මොහොතකින් දෙදෙනාම මා අසලට එනු පෙණිනි.

“කෙල්ලගෙ අකමැත්තක් නෑ ගයන්ත. දෙන්න එක්ක කතා කරගන්නකෝ” කියමින් කමලක්කා අසල පුටුවකට බර වූවාය.

“මං අහන දේ ඔයාට මගේ ඇස්වලින් තේරෙනව නේද පබා? මං ගොඩක් කල් ඔයා වෙනුවෙන් බලා හිටියා. අතීතය මට වැදගත් නෑ. බේබි මහත්තයත් මට නිතර කීවෙත් ගමට ගිහින් මේව කතා කරගෙන එන්න කියලයි. එයා මැරෙන්න කලින් මට ඒ ආසාව ඉෂ්ට කරන්න බැරි වුණා. ඔයාගෙ අකමැත්තක් නෑනෙ මට”

ඔහු මගේ දෑත අල්ලා ගත්තේය. අනික් අය දකීවි දැයි මම අවට බැලීමි. කමලක්කා හැර අන් කිසිවෙක් නැත. ඒ දෑතේ පහස මට දැනේ. ඒවා හරියට සුන්දර මහත්තයාගේ දෑත් මෙන් සිනිඳු ය. ගයන්තගේ හුස්ම මගේ මුහුණට වැදෙන තරමට ම ඔහු මට ළං ව සිටී. ජීවිතයේ ඉදිරි කාලය සතුටින් ගෙවන්නට හැකි වේ ය යන හැඟීමක් මගේ සිත පුරා නලියයි. ඔහුගේ උරහිසට ඉහළින් මට පෙනුණේ “ඔබේ විපතට අපි” යන බෝඩ් ලෑල්ලයි. මේ බෝඩ් ලෑල්ල “ඔබේ සතුටට අපි” කියල වෙනස් වෙනවනං කොච්චර හොඳඳ? සුන්දර මහත්තයාගේ මිනී පෙට්ටිය දෙස බැලූ මම මා දෙස බලා සිටින ගයන්ත දෙස බලා සෙමෙන් දෙනෙත් පියා ගතිමි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »