Home / කෙටි කතා / ගුරු දෙවිවරු

ගුරු දෙවිවරු

2018-01-11 10:19:00       718
feature-top
‘විල ඉස්මත්තේ රාජපක්ෂ නිවසේ විසූ ඩී.බී. රාජපක්ෂ පාඨශාලාචාර්ය තුමාට නිවන් සැප ලැබේවා’

ඩිමයි බාගයේ කරදාසිවල මුද්‍රණය කළ ඒ දැන්වීම මග දෙපස ගස්වල අලවා තිබුනණ අතර එය ම ලොකු අකුරින් රෙද්දක ලියා නිවසට ඇතුළු වන ගේට්ටුවට ඉහළින් සවිකර තිබුණි. ගේට්ටුවේ සිට වත්තට ඇතුළු වීම සඳහා වූ දොරටුව අබියස ගොක් කොළවලින් කළ ආරුක්කුවක් විය. එතැන් සිට වත්තේ තරමක් ඈතින් පිහිටි පැරණි නිවස දක්ව‍ා වැටී තිබුණ ගුරු පාර දෙපස ගොක් රැහැන් ඇද සුදු වැලි අතුරා තිබුණි.

ගුරුතුමාගේ නිසල දේහය පෙට්ටියක තැන්පත් කර සාලය මැද තිබුණි. ඒ දෙස නොසෙල්වී මද වේලාවක් බලා සිටි මගේ දෑස් කඳුළෙන් තෙත් වනු වළක්වා ගත නොහැකිවිය. එම කඳුළු සඟවා ගැනීමට උත්සාහ නොගත් මම දේහයට දණ ගසා වැන්දෙමි. අනතුරුව ඉස්තෝප්පුව දෙසට ආ මට කුඩා කාලයේ පාසල් මිතුරන් කීප දෙනෙකු ගෙවත්තේ සිටිනු දැක ගත හැකි වූ බැවින් මම සෙමෙන් එදෙසට ගියෙමි. දුර සිටම මා හඳුනා ගත් මිතුරෝ මුව පුරා විහිදුවන සිනාවෙන් මා පිළි ගත්තෝය....

‘හලෝ සුමනේ දැක්ක කල්. දැන් කොහෙද ඉන්නේ ?

සිරිසේන මගෙන් අසන්නට ඇත්තේ මා දැන් කුමක් කරනවා ද කියා විය යුතු ය.

‘මම දැන් කොළඹ. මුදල් අමාත්‍යාංශෙ වැඩ කරනවා’

‘මොකද කරන්නේ ?’

එම ප්‍රශ්න‍යට ද දිය යුත්තේ කුමන ආකාරයේ පිළිතුරක් දැ යි එක වර ම තීරණය කර ගත නොහැකිව මා ළතවෙනු දුටු පියරත්න මට කලින් කතා කළේය.

‘ඇයි දන්නේ නැද්ද ? සුමනේ දැන් සහකාර ‍ෙකාමසාරිස් කෙනෙක් නේ’

පියරත්නගේ ප්‍රකාශය ඇසු සිරිසේන මෙන් ම තවත් එහි සිටි කීප දෙනෙකු මා වෙත වෙනදා නැති අනවශ්‍ය ගෞරවයක් දක්වන්නට උත්සාහ කළත් එවැන්නක් අපේක්ෂා නොකළ මම එහි තිබුණ පුටුවක ඔවුන් සමඟ එකට වාඩි වී සැම දෙනා සමඟ ම සුහඳ පිළිසඳරක් ඇරඹුවෙමි.

“සර් අසනීපෙන් හිටියද?” මම පියරත්නගෙන් ඇසුවෙමි.

නෑ මොන ම ලෙඩක් වත් තිබුණේ නෑ. ගිය සුමානෙත් මට කඩේ ළඟදි හම්බ වෙලා කතා කරලා ගියේ. පෙරේදා රෑ හිටි හැටියේ ටිකක් අසනීප වෙලා තියෙනවා. පපුව රිදෙනවා කියලා හාන්සි පු‍ටුවෙ ඇල උණා ලූ. ඒ එක්කම වාගේ සර් අන්තරා වුණාලු.

‘ඇත්ත ද?.. කොහොම වුණත් හරි වාසනාවන්ත මරණයක්’

ගුරුවරයෙකුගේ මරණයේදී පමණක් අනෙක් අයට මුහුණ පෙන්වා මළ ගෙදරට සහභාගී වීමට වඩා ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන්ගේ දුක සැප සොයා බලා කටයුතු කරන්නේ නම් කොතරම් අගේද ? මට එවැන්නක් කිරීමට තරම් කාල වේලා නොතිබීම ගැන මට ම සිත යටින් දොස් පවරා ගත්තෙමි. ගමේ ම ජීවත් වන පියරත්නලා ඒ අතින් කෙතරම් වාසනාවන්ත ද ?

රාජපක්ෂ මහතා මගේ පන්ති භාර ගුරුතුමා වුයේ මා පස් වන පන්තියේ සිටි කාලයේ ය. එකල ඔහු මගේ හතුරෙකු සේ කටයුතු කරති’ මම සිතා සිටියෙමි. මන්ද යත් පාසලේ උගන්වද්දී සෑම විට ම ඔහු ප්‍රශ්න ඇසුවේ මගෙන් ම පමණක් වන බැවිනි. එකල ඔහු මා හැඳින්වුයේ ‘පොඩි ළමයා’ කියා ය. ඒ මා පන්තියේ සිටි බාල ම ශිෂ්‍යයා වූ නිසා විය යුතුය.

‘පොඩි ළමයා මොකක්ද ඒකට උත්තරේ’ ඔහු මා දෙස බලා නිතර ම වාගේ අසයි. සමහර විටෙක මට ඊට උත්තර දී ගත නොහැකි වුව හොත් ‘පාඩමට හොඳට ඇහුම් කන් දීල නෑ’ යි කියමින් ඔහු මට චෝදනා කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිපහක් තිහක් පමණ සිටින පන්තියේ හැම දෙයක් ම මගෙන් පමණක් අසන්නේ මන් දැයි මම එකල බොහෝ විට සිතුවෙමි. එනිසා ම මම ඔහු බෙහෙවින් අප්‍රිය කිරීමට පෙලඹුණෙමි.

රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය මට අරුචි වූ තවත් හේතුවක් නම් පාසලේ සාහිත්‍ය සමිතිය පවත්වන අවස්ථාවල දී සියලු දෙනා ඉදිරියට ගොස් කවියක් හෝ වන්නමක් වැනි යමක් කීමට එතුමා මට බලකිරීමයි.

මම ඔහුගේ කරදරයෙන් බේරීමට පන්තිය ඉදිරියට ගොස් කුමක් හෝ කියමි. ‘ඊ ළඟ සැරේ කතාවක් කරන්න සූදානම් වෙලා එන්න ඕනෑ. තේරුණා ද? අනතුරුව ඔහු කියයි. මේ අයුරින් ඔහු නිරන්තරයෙන් දෙන අණ මට මහත් හිසරදයක් විය. එනිසා මා සිතා සිටියේ ඔහු මගේ හතුරකු කියා ය.

කල් යත් යත් ම ගුරුතුමාග් මෙම ක්‍රියා මාර්ගය නිසා මගේ සබ ‍කෝලය නැති වී ගියා පමණක් නොව පිරිසක් ඉදිරියට ගොස් ඕනෑ ම දෙයක් කීමට හැකියාවක් මා තුළ වර්ධනය විය. තුන් වන වාරයේදී ඔහු මා සමිතියේ ලේකම් තනතුරට පත් කළේය. සමිතියේ වාර්තා ලිවීමට පෙර ඔහුට පෙන්වා නිවැරදි කර ගත යුතු විය.

ගුරුතුමා පන්තියේදී නිරන්තරයෙන් සියලු වැඩ මට ම පවරන්නේ අන් සිසුනට වඩා මා කෙරෙහි දක්වන වැඩි ආදරයක් නිසා යයි මට තේරුම් ගත හැකි වුයේ ‍බොහෝ කලකට පසුව ය. පාසලේ මගේ දියුණුව ඔහුගේ එක ම අපේක්ෂාව බව පසුව මට අවබෝධ වුණි. මා සාහිත්‍ය සමිතියේ ගායනයක් ඉදිරිපත් කළ විට ‘පොඩි ළමයා බොහො ම හොඳට ගායනා කළා’ කියා මට ප්‍රශංසා කිරීමටද ඔහු කිසි දිනක අමතක නොකළේය. ඔහු කෙරෙහි මා තුළ මුලින් පැවති ද්වේෂය ආදරයක් බවට පත් වූ‍යේ මා අ‍ට වැන්නේ ඉගෙන ගන්නා කාලයේ සිදු වූ එක්තරා සිදුවීමක් නිසා ය.

එකල මගේ පන්ති බාර ගුරුවරයා වුයේ වෙනත් කෙනෙකි. එනම් ගුරුතුමා සමඟ බයිසිකලයකින් ආ අනෙක් ගුරුතුමා ය. දිනක් පාසල පිරිසුදු කිරීම සඳහා ශ්‍රම දානයක් පැවැත්වෙන බැවින් ඉහළ පන්තිවල ළමුන් පමණක් පාසල ඇරී තව දුරටත් රැඳී සිටිය යුතු බව උදෑසන රැස්වීමේදී විදුහල්පතිතුමා කීවේය. පස්වැන්නෙන් ඉහළ පන්තිවල අය පාසල් වේලාවෙන් පසුව ඒ සඳහා නතර වූහ.

පැය දෙක තුනකින් ශ්‍රමදාන කටයුත්ත අවසන් වී අපට ආපසු යන ලෙස දැන්වුව ද අපි කීප දෙනෙක් තව ටික වෙලාවක් එහි රැඳී සෙල්ලම් කළෙමු. මෙහිදී මගේ අතට රට හුණු කෑල්ලක් හසු වූ බැවින් එයින් කළු ලෑල්ලේ යමක් ලිවීමට මට සිත් විය. මම කළු ලෑල්ලේ අකුරු ලියනු දුටු මිතුරෙක් පැමිණ ‘අපි හැම පන්තියටම නමක් දාමු’ යනුවෙන් යෝජනා කළේය. අපි සියල්ලෝම එයට එකඟ වුයෙමු. එහිදී එක් සිසුවෙක් දැමිය යුතු නම් මොනවාදැයි යෝජනා ක‍ෙළ්ය. අපි මේ පන්තියට දාමු ‘පිනවන හෝටලය’ කියලා ඊ ළඟ පන්තිය ‘මන පිනවන හෝටලය’ ඊ ළඟ ‘දන මන පිනවන හෝටලය’ ඊ ළඟ ‘යන එන දන මන පිනවන ‍හෝටලය’ ඊ ළඟට ‘වන වන යන එන දන මන පිනවන හෝටලය’. ඔහු කළ යෝජනාව අපි හැමදෙනා ම එක පයින් අනුමත කළෙමු. අපි සෑම පන්ති‍යකම කළු ලෑල්ලේ එම නම් පිළිවෙලින් ලිව්වෙමු. මගේ අත් අකුරු යහපත් වූ බැවින් ලිවීම මට බාර විය. මම එම කාර්යය මැනවින් ඉටු කළෙමි.

පසුදා සෙනසුරාදාවක් වූ නිසා අප නැවත පාසල් ගියේ සඳුදා ය. එදින උදයේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ගුරුවරුන් අතර දැඩි විරෝධයක් ඇති වී තිබුණි. එයට සම්බන්ධ සිසුන් වහාම පාසලෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් එතෙක් ඒ වාසගම් කිසිවක් නො මකා තබන ලෙසත් එදින රැස්වීවේදී විදුහල්පතිතුමා දැන්වීය. අප කළ ක්‍රියාවේ බරපතළකම අපට තේරුම් ගියේ එවිටයි. මම පන්තියට වී හොර පූසෙකු මෙන් සිටියෙමි. කිසිවකුත් මෙම කරුණ හෙළි නොකළ යුතු යැයි අපි එකිනෙකා සමඟ කතිකා කර ගත්තෙමු.

එදින ගෙවී ගියේ ය. පසුදා දහවල් විවේක කාලයේ රාජපක්ෂ මහතා පාසල් වත්තේ දී සිටියදී මා කැඳවීය.

‘අයිසේ සුමනරත්න මෙහෙ එනවා’

මම ඔහු අසලට ගියෙමි.

තමුසෙ නේ ද ඔය පන්තිවලට නම් දැමීමේ වැඩේ කළේ ?

ඔහු දැඩි ස්වරයෙකින් ඇසීය.

‘න්....න් නෑ...සර්’ මම ගොත ගසමින් කීවෙමි.

‘අයිසේ බොරු කියන්න එපා. මං ඔක්කොම දන්නවා. තමුසෙ මේ වැඩේ කළා කියලා මට සාක්කි තියෙනවා’

කවුරු හෝ රාජපක්ෂ මහතාට කේළම කියා ඇත. තව දුරටත් මෙය වසන් කළ නොහැකි බව මට අවබෝධ විය. මම නිරුත්තරව බිම බලාගෙන සිටියෙමි.

‘අද හවස ඉස්කෝලේ ඇරුණා ම තමුසේ නැවතිලා ඔක්කොම මකලා දාන්න ඕනෑ. තේරුණාද ? වැඩේ ඉවර වෙන කල් මාත් ඉන්නවා. වෙන කිසි කෙනකුට මේ ගැන කියන්නේ නෑ. තේරුණා ද?

‘හරි සර්’

එදින හවස පාසල් කාලයෙන් පසු රාජපක්ෂ මහතා තව දුරටත් එහි රැඳී සිටියේ ය. සියලු දෙනා පිට වී ගිය පසු මම වතුර බාල්දියක් ගෙන ඉන් පොල් ලෙලි කබැල්ලක් පොඟවා ලියා තිබූ සියල්ල මකා දමා නැවතත් කළු ලෑලි පෙර පැවති පරිදි පිරිසුදු කළෙමි. සියල්ල හොඳින් නිරීක්ෂණය කළ රාජපක්ෂ මහතා අවසානයේ මා වෙත හැරුණි.

‘හරි දැන් තමුසේ ගෙදර යනවා’

ඔහුගේ එම ක්‍රියාව ඉදිරියේ මට මගේ සිත වාවා ගත නොහැකි විය. මගේ දෑසින් කඳුළු කඩා හැලෙන්න විය. මම ගුරුතුමාට දණ ගසා වැන්දෙමි. ඔහු මගේ හිස අත ගෑවේ ය.

‘තමුසේ කිසි දේකට බය වෙන්න එපා. තමුසේ දැන් ගෙදර යනවා. ඉතුරු හරිය මං බලා ගන්නම්’

මෙම කාරණය සම්බන්ධයෙන් පසුදා නැවතත් පාසල් කසු කුසු ඇතිවිය. වැරැද්ද නිවැරදි කර ඇති බැවින් ඒ සඳහා සිසුන්ට සමාව දිය යුතු යැයි ආචාර්ය මණ්ඩලයේ එක් පිරිසකගේ මතය වූ අතර මේ සඳහා කුමක් හෝ දඬුවමක් දිය යුතු බව තවත් අයගේ මතය විය. කෙසේ වුව ද විදුහල්පතිතුමා ද දඬුවම් ලබා ‍නොදිය යුතුය යන මතයට ගරු කළ බැවින් එම ප්‍රශ්නය එතැනින් ම කෙළවර විය.

එදා එම ක්‍රියාවට සම්බන්ධ වූ විජේරත්න ද මළ ගෙදර අවුත් සිටි බැවින් මම ඒ සිද්ධිය නැවතත් ඔහුට මතක් කළෙමි.

‘රාජපක්ෂ සර් තමයි එදා ඒක මකලා දාන්න කියලා මට කීවේ.

මං ඒක මකලා දාන කල් සර් නැවතිලා හිටිය’

‘ඇත්තද ? අපි අද වෙන කල් ඒ බවක් දැනගෙන හිටියේ නෑ’

‘කිසි කෙනෙකුට කියන්න එපා කියලා සර් කිව්ව හින්දා මාත් කාටවත් ම කිව්වේ නෑ’

මම සිදු වූ සියල්ල අන් අයගේ ද දැන ගැනීම සඳහා නැවතත් පවසා සිටියෙමි. එම සිද්ධිය අසා සියල්ලෝම සිනාසුණහ.

‘දැන් කාලේ ඔහොම ගුරුවරු නෑ’ එය අසා සිටි සිරිසේන කීවේය.

‘ඒක ඇත්ත’


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »