Home / කෙටි කතා / පියගැට පෙළ

පියගැට පෙළ

2018-01-08 09:45:00       639
feature-top
පූජ්‍ය ආචාර්ය ඇතිපොළ මංගල හිමි විසින් විවිධ විෂයයන් අරබයා රචනා කරන ලද ද්විභාෂා කෘතීන් අතර පුරාතන ලක්‌දිව - 2007, බුදු පිළිමයේ මුලාරම්භය හා විකාශනය - 2009, තුන් සිංහලයේ පරාධීනත්වය තුළින් මතු වූ " වීර මොනරවිල කැප්පෙටිපොළ මහා නිලමේ" (චරිතාපදානය) -2011, දළුක්‌ගොල්ල රජමහා විහාර වංශය 2017 යන ඉතිහාසය පර්යේෂණ කෘතීන්ද විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෙටිකතා 1-1998, විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෙටිකතා 2 -2000, ඉන්දියානු කඳවුර -2006, සරා සඳ බැස ගොසින් -2008 යන පරිවර්තන සාහිත්‍ය කෘතින් ද ශාස්‌ත්‍රීය ලිපි සරණිය - 2010, සාහිත්‍යය විසංසා (මුද්‍රණයේ), යන ශාස්‌ත්‍රීය පර්යේෂණ කෘතීන් ද ලෝක සිනමාවේ මූලාරම්භය හා විකාශනය (මුද්‍රණයේ) යන සිනමා ශාස්‌ත්‍රීය කෘතිය ද The Last Days of Buddha -2013, The World will Change in But a Moment - 2014 යන ශාස්‌ත්‍රීය කෘතීන් ද ප්‍රධාන වේ.

ගෙවී ගිය කල්හි ඇති වූ සිද්ධිදාමයකට ඔබ හොඳින් සවන් දීමට කැමති නම් මෙම නාන තොටුපළෙ හි වූ පියගැට මත හිඳ වරින් වර නැඟ එන ජල තරංගවල හිස්‌ මුමුණන හඬට ද හොඳින් සවන් දිය යුතුය.

එක්‌ සැන්දෑවක මම ඇයව දකිනු රිසියෙන් මග බලාගෙන සිටියෙමි. එනමුත් මට ඇයව මඟ හැරුණි. එයට හේතුව සොයනු වස්‌ වැඩිපුර වෙහෙස වීමට මට සිදු නොවීය. ඒ ඇයගේ යෙහෙළියන් වූ අමලා, බුබාන් හා ස්‌වර්ණා ගෙන් ඇය පැමිණ නොසිටීමට හේතුව මට දැනගත හැකි වූයේ ඔවුන් පියගැට මත හිඳ ඇය පිළිබඳව කතා බස්‌ කළ නිසාය. ඇය හදිසියේම තම ස්‌වාමි පුරුෂයාගේ උපන් ගම්මානය බලා පිටත්ව ගොස්‌ සිටියාය. එයට හේතුව වූයේ තම ස්‌වාමිපුරුෂයාගේ අකල් මරණයයි. එම ගම්මානය බොහෝ ඈත දුරක පිහිටා තිබුණි. එසේම එහි කුලවත් ධනවතුන් බොහෝමයක්‌ ජීවත් වූහ. මෙම සිද්ධිය වන විට ගංගා නම් නදිය පිටාර ගලමින් තිබුණි. ගම්වැසියන්ට දිය නෑම සඳහා ඉතිරිව තිබුණේ පියගැට හතරක්‌ පමණි. ඒ තරමටම මොර සූරන වර්ෂාව නොකඩවා දවස පුරාම ඇද හැළුණි. එකල අප කාටත් බොහෝ සෙයින් වැඩ අධික විය.

කාලය ගෙවී ගියේය. මට කුසුම් මුළුමනින්ම අමතක වී ගිය අතර ඇය පිළිබඳව අවධානය යොමු කිරීමට ද මට වේලාවක්‌ නොතිබුණි.

තවත් එක්‌ වසන්ත සමයක දී මට ඇය මුණ ගැසෙන විට දී ඈ අට අවුරුද්දක්‌ පමණ ගත වූ වැන්දඹුවක්‌ බවට පත්ව සිටියාය. ඇයගේ ගතේ තිබුණු ආභරණ සියල්ල ගැළවී ගොස්‌ තිබුණි. එපමණක්‌ද නොව, ඇයගේ නළලේ තිබූ සින්දූර් ද සම්පූර්ණයෙන්ම මැකී ගොසිනි. මේ වන විට කුසුම්ගේ යෙහෙළියන් වූ බුබාන් හා ස්‌වර්ණා විවාහ වී ගම්මානයෙන් පිටමංව ගොස්‌ සිටි අතර අමලා පමණක්‌ එළැඹෙන දෙසැම්බර් මස විවාහ වීමට නියමිතව තිබුණි.

කිවයුතු විශේෂ යමක්‌ සිදු වූයේ නම් එසේ සිදු වූයේ ඊළඟ දස අවුරුද්ද තුළදීය. මේ අතර ගංගා නම් නදිය පළල් වී මුකුළු පාමින් ගලා ගියේය. කුසුම් ද පෙරට වඩා හැඩකාරියක්‌ වී සිටියාය. එනමුත් ඇයගේ වැන්දඹු සලකුණ වූ ලා සුදු පැහැති සාරි පොටින් ඇයගේ වත හරි අඩක්‌ වැසි තිබුණ හෙයින් ගම්වැසියන් කිසිවෙකු මෙම හැඩකාර ළද දෙස දෙනෙත් හෙළුවේ නැත. ඇය තමාගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව නිරතුරුවම දුක්‌ වෙනවා ද නැද්ද යන්න පිළිබඳව මට හරි හැටි අවබෝධයක්‌ නොවූයේ, ඈ නාන තොටුපළ වෙත එන වාර ඉතා අල්ප වූ බැවිනි.

ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසය නිමා වත්ම, ශිව ආගමට අයත් පූජකවරයෙකු එක්‌ උදෑසනක අපේ ගම්මානය වෙත පැමිණියේය. තරුණ වියෙහි පසු වූ ඔහු කඩවසම් රූ සපුවකට උරුමකම් කීවේය. ගම්මානයේ බාල - මහලු ස්‌ත්‍රීන්ගේ කතා බහට නිරතුරුවම ලක්‌ වූ ඔහු නාන තොටුපලට මත්තෙන් පිහිටි නිස්‌කලංක බිම් කඩක කුඩා කුටියක්‌ තනාගෙන එහි වාසය කළේය. මෙම පූජකතුමාගේ පිහිට පතාගෙන පැමිණි බැතිමතුන්ගේ සීඝ්‍ර වර්ධනයක්‌ දිනෙන් දින පෙන්නුම් කළ අතර මෙතුමාගේ වරුණ ගම් - නියම් ගම් සිසාරා පැතිර යන්නට වැඩි දොහක්‌ ගත නොවීය. මෙතුමාගේ පිහිට පතාගෙන එන බැතිමතුන් අතර ලෙඩ දුක්‌ සුවකර ගැනීමටද, අපල උපද්‍රව දුරුකර ගැනීමටද වෙනත් උපදෙස්‌ ගැනීමටද පැමිණි උදවිය බොහෝ වූහ.

තවත් වසන්ත සමයක්‌ උදාවිය. මලින් පලින් බරව තුරුලතා වටපිටාවේ මනරම් සිතුවම් මවද්දී අප කාගේත් හදවත් පුරා සතුට දෝරෙ ගලා ගියේය. මේ ගංගා නම් වූ නදියේ ජල මංගල්‍යය පැවැත්වෙන සමයයි. එහෙයින් බොහෝ ඈත දුර ගම්දනව්වල සිට ජනී - ජනයා අපේ ගම්මානය වෙත ඇදී ආහ. මෙකී ජනී - ජනයා අතර කුසුම්ගේ මියගිය ස්‌වාමිපුරුෂයාගේ ගම්මානයෙන් ද පැමිණි කාණ්‌ඩය පිළිබඳව මා මෙහිලා සඳහන් කරනුවේ වැදගත් යෑයි කිව හැකි දෙයක්‌ ඔවුන්ගේ මුවින් පිටවුණු හෙයිනි.

එක්‌ උදෑසනක එම කාණ්‌ඩයේ ස්‌ත්‍රීන් පිරිසක්‌ දියනාමින් සිටියහ. මේ අතරතුර ශාන්ත පාගමනින් පියගැට පෙළ වෙත පැමිණි පූජකතුමා තම හිස්‌ පැන් කෙණ්‌ඩියට පැන් පුරවා ගෙන එතැනින් නිකම් ගියේය. එවිට ස්‌ත්‍රීහු සියලු දෙනාම මෙම පූජකතුමා හා කුසුම්ගේ මියගිය ස්‌වාමි පුරුෂයා අතර ඇති සමානකම් පිළිබඳව කතාබහ කරන්නට වූහ. එසේම මෙම පූජකතුමා හා කුසුම්ගේ මියගිය ස්‌වාමිපුරුෂයා අතර මුහුණෙන් හා ශරීරයෙන් බොහෝ සමානකම් තිබුණු බවට ඔවුන්ගේ කතාබහවලින් මට තේරුම් ගත හැකිවිය. එසේම ඔවුහු කුසුම් හා පූජකතුමා පිළිබඳවද කතාබහ කරන්නට අමතක නොකළහ.

එක්‌ රාත්‍රියක කුසුම් ජලය රැගෙන යනුවස්‌ තොටුපළ වෙත පැමිණියාය. ඈත කඳුමුදුනින් පුරසඳ පායා එමින් තිබුණි. සඳ රැසින් තුරුලතා හා ගංදිය ආලෝකමත් විය. ඈතින් පිහිටි කෝවිලක සීනු හඬක්‌ ඇසුණි. ඇය තම කළය ජලයෙහි එබුවාය. මේ අතරතුරදී පා ශබ්දයක්‌ ඇසුණු හෙයින් ඈ හිස ඔසවා බැලුවාය. සඳ රැස්‌ දසත වැටී තිබුණු බැවින් ඇයගේ මුහුණ පැහැදිලිව ඉහළ පියගැට්‌ටේ සිට කෙනෙකුට දකගත හැකිව තිබුණි. පූජකතුමා පියගැට පෙළ බැස එනුදුටු ඇය සාරි පොටින් තම මුහුණ වසා ගත්තාය. ඇය එසේ කර පූජතුමා තමා අභියසට පැමිණෙත්ම එතුමාගේ දෙපා නැමඳිය.

මෙම සිද්ධිය දුටුවේ මා පමණි. එනමුත් ඉදිරියේදී කුමක්‌ සිදුවේදැයි කියා මම නොඉවසිල්ලෙන් බලා සිටියෙමි.

"දරුවා...... ඔබ කවුරුද ?" පූජකතුමා පහත් ස්‌වරයෙන් ඇසීය.

"මට කියන්නේ කුසුම් කියලා" ඇය පිළිතුරු දුන්නාය.

ඉක්‌බිතිව ඔවුන් අතර කිසිදු වචන හුවමාරුවක්‌ සිදු නොවුණි. කුසුම් ජලය පිරි කළය තම හිස මත තබා ගෙන යන්නට ගියාය. එදින පූජකවරයා පියගැට පෙළ මත හිඳ බොහෝ වේලාවක්‌ කල්පනා කොට පාන්දර යාමය එළඹෙත්ම තම කුටිය වෙත පා නැඟ ය.

එදා සිට කුසුම් සෑම දිනකම පූජකවරයා බැහැදකිනු රිසියෙන් එතුමාගේ කුටිය වෙත පැමිණියාය. මෙය ඇය දෛනික පුරුද්දක්‌ වශයෙන් කළ අතර ඇයගේ කාර්යයන් වූයේ..... දෙවියන් නැමඳිමත් පූජකවරයා ධර්මය දේශනා කරන අතරතුරදී කුටියේ මුල්ලකට වී ඉතා සාවදානව අසා සිටීමත් ඇය නික්‌ම යන විට එතුමාගෙන් දෙපා නැමඳ ආශිර්වාද ලබා ගැනීමත්ය. පූජකවරයා දේශනා කළ ඇතැම් ධර්ම කරුණු කාරණා ඇයට නොතේරුණේය. එනමුත් ඇය මහත් භක්‌තියෙන් ඒවාට සවන් දුන්නාය. ඇය දිනපතාම දෙවියන් පුදනු වස්‌ මල්කූඩයක්‌ රැගෙන පැමිණියාය. ඇතැම් දිනයන්හි දි ඈ කුටියේ බිම සෝදා පවිත්‍ර කිරීමට ද අමතක නොකළාය. කුසුම් තමාගේ ජීවිතය ධර්මානුකූලව හැඩ ගස්‌සවා ගැනීමට අපමණ වෙහෙසක්‌ දැරීය.

මොවුන් දෙදෙනා ඒ වන විට කිසියම් අධ්‍යාත්මක සබැඳියාවකට පැමිණ තිබුණි. මේ වන විට ශීත සමය මුළු මනින්ම නිමාවට පත්ව තිබුණි.

short1එනමුත් මේ වන විට ගංගා නම් නදිය දෙසින් ශීත සුළං හමා ආවේය. මසුන් මරන්නෝ තම ජීවිකාව අරඹනු වස්‌ ඔරු සූදානම් කරන්නට වූහ. පරිසරය සුන්දර බවක්‌ මවා පෑවේය. ඒ කෙසේ නමුදු කුසුම් මාස කිහිපයක්‌ මට මඟහැරුණේය. ඇය පූජකතුමාගේ දෛනික ධර්ම දේශනාවලට සවන් දීමට පමණක්‌ නොව දෙවියන් නැමඳිමට පැමිණීම පවා නවතා දමා තිබුණි. එසේම දිය නෑම සඳහා පැමිණියේ ද නැත. මෙයට හේතුව කුමක්‌දැයි කියා මම නොදනිමි. එපමණක්‌ද නොව, ඉදිරියේදී කුමක්‌ වේදැයි කියා ද මම නොදනිමිs.

බොහෝ කාලයක්‌ ගෙවී යැමෙන් ඉක්‌බිතිම දිනක්‌ ඔවුන් දෙදෙනා නාන තොටුපළේදී මම දුටුවෙමි.

"ඔබතුමා මට එන්න කීවද?"

"ඔව්..... ඇයි දැන් කුසුම් දේවපූජාවට එන්නේ නැත්තේ. මට පෙනෙනවා කුසුම්ට මොකක්‌ හරි ලොකු ප්‍රශ්නයක්‌ තියෙන විත්තිය. කියන්න දරුවා. කියන්න. ඒ ප්‍රශ්නයට අපට ධර්මයෙන් විසදුමක්‌ හොයා ගන්න ඇහැකි. මගේ යුතුකම තමයි ඕනෑම අයෙකුට යහපත් මාර්ගය පෙන්නලා දීලා සැනසීම ළඟා කර දෙන එක."

මෙයට පිළිතුරු ලෙස ඇය කිසිවක්‌ ප්‍රකාශ නොකළ නමුදු, ඇයගෙ මුහුණේ උපේක්‍ෂා සහගත බවක්‌ රැඳී තිබුණි. කුසුම්ගේ දෙනෙක්‌ කඳුළින් බර වූ නමුදු, ඇය එය පිටතට නොපෙන්වන්නට වග බලා ගත්තාය. මට පෙනී ගියේ මොවුන් දෙදෙනාම මහත් වූ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවයි.

"හොඳයි..... ඔබතුමා කියනවා නම් මම කියන්නම්. ඒත්...... ඉතින් ඒක කියන තරම් ලේසී නැහැ. අරුත්, මම කොහොම කියන්නද? කමක්‌ නැහැ. මම කියන්නම්." ඇය පහත් ස්‌වරයෙන් වැඩි දුරටත් මෙසේ කීවාය.

"දැන් මාස කිහිපයක ඉඳලා හැමදාම රෑට හීනෙන් පේනවා කවුදෝ මං දන්න කියන කෙනෙක්‌ මගේ අත අල්ලා ගෙන මාව තුරුළු කරගෙන " ඔයාට මම ආදරෙයි" ඔයාට මම ආදරෙයි කියනවා."

" හොඳයි....... කියන්න කවුද ඔබට ඔය තරමටම වද දෙන පුද්ගලයා කියලා"

"බැහැ........ බැහැ........... මට කොහොමටත් එය කියන්න බැහැ."

"දරුවා...... ඔබ එය මට කිව යුතුමයි. ඇරත් ඔබ එය මට කියන්නේ නැතිව මං කොහොමද ඔබට උපදෙසක්‌ දෙන්නේ?"

"එය කිව යුතුමද? එහෙනම් කියන්නම්"

"ඒ ඔබතුමායි"

නිහඬතාවය රජයන්නට විය. ඉක්‌බිතිව පූජකතුමා තම කටහඬ මෙසේ අවදි කළේය.

"මං අදම මෙහෙන් පිටමං වෙනවා. එතකොට ඔබට මම යළිදු කිසි දිනක දැකගන්නට නොලැබේවි. ඇරැත්.... මම මෙලොව කිසිවෙකුට අයිති නෑ. මම ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරමින් ජීවිතයේ අනිත්‍යය හොයන කෙනෙක්‌. ඒක හන්දා ඔබට කොහොමහරි මාව අමතක කරන්න වෙනවා."

"ඔව් ඔබතුමා කියන දේ මට තේරෙනවා. මම එය කොහොම හරි කරන්නම්."

"හොඳයි...... දරුවා, ඔබට දෙවියන්ගේම පිsහිටයි." යෑයි කියූ පූජකතුමා ශාන්ත විලසින් පා තබමින් එතැනින් නික්‌ම ගියේය.

මේ වන විට පුරසඳ පායා අවරගිරින් බැසයන්නට ආසන්නව තිබුණි. අවට පැතිර තිබුණු අන්ධකාරය තරමක්‌ හෝ දුරට පළවා හරිනු ලැබුවේ ඒ මද සඳ එළියෙනි. එකවරම වේගයෙන් යම් කිසිවක්‌ ගංදිය මතට වැටෙනු හඬ ඇසුණි. එහා ගං ඉවුරේ සිට සුළඟ හමන්නට වූයේ.... ලොව සියලු දේ විනාශ වී යන්නාක්‌ මෙනි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »