Home / කෙටි කතා / සපත්තු කුලුන

සපත්තු කුලුන

2018-01-02 10:53:00       534
feature-top
ටිෂ්නි ගොරොද්වීර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. ඈ මාතර සිට සිය මෝටර් රථයෙන් පිළියන්දල හරහා මත්තේගොඩ බලා යන්නට වූයේ දෙකින් එකක්‌ බේරාගැනීමට විය යුතු බවය. ඈ අසලින් හමාගිය මුහුදු සුළඟ තෙපරබබා කියන්නට වුයේ.

තමා නමට ලියාපදිංචි තැපෑලෙන් හඹා ආ හිතක්‌ පපුවක්‌ නැති වලත්ත කාලකණ්‌ණි ලිපිය නැවත කියවා බැලිය යුතු යෑයි තමන්ට සිත් දුන්නේ ඇයි දැයි ටිෂ්නි තමාගෙන්ම ප්‍රශ්න කරමින් බැලුනයක හුළං පිsට වූ ශබ්දය මෙන් හීල්ලුවාය. විශ්වවිද්‍යාලයේ දී ලිපිය බැලූ මුල්වතාවේ අකුරු ඒ මේ අත ඇඹරෙමින් අඬා දොඩන්නට වූයේ අනේ අප කළ වරදක්‌ නොවේය කියන්නාක්‌ සේය. ඔව්, කතාව සහතික ඇත්තය. අහිංසක අකුරු කළ වරදක්‌ නැත කියමින් ලිපිය මත ආරක්‍ෂක රැකවල්ලා ගනිමින් සිටි තෙල් කුඹියෙක්‌ තමන්ට කියනවා යෑයි සිතූ ටිෂ්නි ඌට නිදහසේ ඉන්නට ඉඩ දුන්නාය.

ටිෂ්නි ගොරොද්වීර සුක්‌කානම දෙස ආදරයෙන් බැලුවාය. ඇය ඇඟිලි උරනා වයස දහයක දොළහක දැරියක සේ හිනැහෙන්නට වූවාය. ඇය දෙවරක්‌ නොසිතාම සුක්‌කානම මේසයක්‌ සේ සිතා ඒ මත ලිපිය තබා කියවන්නට එක හිතින් කැමැති වූවාය. අනතුරුව හිටිහැටියේ රථයේ වේගය අඩුකරන්නට වූයේ ඉදිරියෙන් වැලමිටිවංගුවක්‌ ඇතැයි කියනා මාර්ග ලකුණක්‌ දුටුවකු පරිදේදෙනි.

පවුඩර් උලාගත් පුංචි දරුවකුගේ මුහුණ සිහිකරවනා ඉදිරිපස කණ්‌නාඩිය දුටු ටිෂ්නිට එය සහරා කතර වගේය වැනි සිතුවිල්ලක්‌ ඇති වී එය දෝරේ ගියේය. ඈ වහාම ජල විදිනය ක්‍රියාත්මක කර වීදුරුව මතට ජල පහරක්‌ එල්ල කර වයිපරය ක්‍රියාත්මක කළාය. වයිපරය වම, දකුණ, වම, දකුණ යනුවෙන් දෙපැත්තට විසිවූයේ එපා වාහෙට හොදි බෙදන්නාක්‌ මෙනි.

ටිෂ්නි ලිපිය බහාලු ලියුම් කවරය දෙස දෑස තිබ්බාය. ලියුම් කවරයේ වම්පස ලියා ඇත්තේ නගරාධිපතිගේ නම සහ ලිපිනයයි. දකුණුපස දෙන්න සොයා යනුවෙන් ලියා ඊට පහළින් කථිකාචාර්ය ටිෂ්නි ගොරොද්වීර දේශපාලන විද්‍යා අධ්‍යයshortනාංශය රුහුණ විශ්වවිද්‍යාලය මාතර කියාය.

තමා සේවය කරනා විශ්වවිද්‍යාලයේ ලිපිනයට උඩින් සටහන් කර ඇති දෙන්න සොයා යන වචන දෙක දෙස හොරැහින් බැලූ ඈට අද බිහිවෙනා ඇතැම් දේශපාලනඥයන්ගේ බොළඳ බව මොනවට පැහැදිලි වූයේ එය නගරාධිපතීගේම අත්අකුරු බව දැනහැඳින ගෙනය. ඈ වහාම නගරාධිපතිගේ නම නියපොත්තෙන් සීරුවාය. එවිට ලියුම් කවරය බිඳගෙන වළක්‌ හෑරී ගියේ ඔහුගේ නමට කැළලක්‌ ද එක්‌ කරමිනි.

කවරය විවරකොට ලිපිය අතට ගන්නවාත් සමගම කවරය පියඹාගොස්‌ වීදුරු කවුළුවෙන් පිටතට ගියේ තමා කුඩා කල කරකැවූ බඹර චක්‍රයක ඇඳතිබූ කාටුන් පින්තූරයක්‌ නොපෙනී ගියාක්‌ මෙන් බව ඇයට සිතිණි. ඇය ලොකු වරදක්‌ කළ එකියක සේ මුහුද දෙස බලමින් රිය නතර කර, ලිපිය කියවන්නට වූයේ ළමා සමිතියක ලේකම්වරියක්‌ පසුගිය සමිතිවාරයේ වාර්තාව කියවන්නා සේය. ලිපියෙහි වම්පසින් මගේ අංකය සේ ලියා ඇත්තේ නගරාධිපති ඡන්දය ඉල්ලූ රවුම් අංකයයි. දකුණු පස ලියා ඇත්තේ ටිෂ්නි ගොරොද්වීරගේ ජාතික හැඳුනුම්පතෙහි අංකයයි. ඈ ඒ දෙස බලා හප්පච්චියේ යෑයි කියමින් තම හිසට අතක්‌ තබා පිටුපසට තල්ලු කළාය.

සැපවේවා!

ඒයි. මචං.... කෙල්ලේ!

මේ නගරය සංවර්ධනය කරන්නට කොතෙකුත් වුවමනාය.

එයට ප්‍රධානම බාධාව වී ඇත්තේ ඔයාගේ ෆාදර් විසින් සල්ගස්‌ හන්දියේ අටවා ඇති අර සපත්තු කුලුනයි. ඒ කුලුන නිසා මහමග යන්නෝ ඒ දෙස බලමින් ඒකේ ලියා ඇති දේවල් කියවමින් දේශපාලන කැරැල්ලක්‌ ගහන්නට වගේ අතපය විසිකර කර මොන මොනවාදෝ කියති. සමහරු එකාට එකා හැපෙති. කවුරු මොනවා කීවත් ඒ කුලුන පාරට කිට්‌ටු වැඩිය. මගේ මතකයේ හැටියට පරණ අගමැති තමයි ඒක ඕපන් කළෙත්. මම ඒ කාලේ හුඡ්ජ කරගන්නවත් හරි හැටි නොදන්නා ගැටයෙකි. ඕක ඕපන් කළ දවසේ සෙනඟ හිටියේ නහුතෙටය. ඒත් කරන්න දෙයක්‌ නෑ. මගේ බලතල මං පාවිච්චි කළා. ඔයා තරහ නෑනේ. ඔයා අදම ඇවිල්ලා කුලුනේ කෑලිටික අරගෙන යන්න. මේ ගැන නාගරික සංවර්ධන අධිකාරියත් අපගේ මුළුමහත් වූ කාර්ය මණ්‌ඩලයත් මෙයින් ශෝකය ප්‍රකාශ කරන්නේ හදපිරි බැතියෙනි. මම උදේට කෑවෙත් නැතුවයි මේ ලිපිය ලියන්න ගත්තේ.

මීට ගරුතර නගරාධිපතිතුමා, ලිපිය කියවා අවසන් කළ ටිෂ්නි ගොරොද්වීරට සිතුණේ ලිපිය ඔහුගේ නිල නිවසේ ගේට්‌ටුවේ තබා ඇණ ගැසිය යුතු බවකි. ඇයට සිය පුංචි කාලය සිහි වී ඇඟිල්ලක්‌ කටේ දමා ගත්තාය.

"තාත්තා ඔය සපත්තු කුලුන හැදුවේ බොහොම දුක්‌ මහන්සියෙන්. තනිකර කොන්ක්‍රීට්‌වලින්. මට එදා හරියටම මතකයි මං පහේ ශිෂ්‍යත්වෙ පාස්‌වෙලා ගියේ අලුත් ඉස්‌කෝලෙකට, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලෙට. අම්මා මාව පාන්දරින් ඇහැරවල, කවල, පොවල ඉස්‌කෝලෙට එක්‌කගෙන ගියේ පාරේ බස්‌ එකෙන්. ඔන්න එකමත් එක දවසක මං ගැන සියලු දේවල් හොයාගනිපු ගාණට පන්තිය පුරා කටකතාවක්‌ ගියේ හරියට අධිවේගී මාර්ගයක පෙජරෝවක්‌ යනව වගේ.

"ටිෂ්නිලට තියෙන්නෙ ලෑලි ගෙයක්‌. ඒකත් පොල්අතු හොයලා. තාත්තා මුරකාරයෙක්‌. අපේ ගේ නම් තට්‌ටු දෙකේ ගෙයක්‌. ඔයාලයි ගෙදර එක කොන්ක්‍රීට්‌ කණුවක්‌ පෙන්නුවොත් මම ඉස්‌කෝලෙ නොගිහිල්ලා වයසට යනකොට මහපාරෙ බැලුම් විකුණනවා."

එහෙම කිව්වේ කිරිවත්තුඩුවේ ඉඳල වෑන් එකකින් ආපු ධවලී කොළඹගෙදර. පස්‌සේ කතාව එකට හත කරලත් කියෙව්වා. එයා වෑන් එකේ යන ගමන් අපේ ලෑලි ගෙදර පින්තූර අරගෙන ළමයින්ට පෙන්නුවේ මාව හිරේට යවන්න පරවේෂණීය කරුණු හොයන නීතිඥයෙක්‌ වගේ.

මගේ තාත්තා මුරකාරයෙක්‌ තමයි. තාත්තාට ඇහැක්‌ හැටියට තමා ලෑලි ගෙයක්‌ හදලා තියෙන්නේ. ධවලී නිකන් පත්තරයක මුල් පිටුව කියවනවා වගේ තව කොච්චර දේවල් කිව්වද?

එදා රෑ මම තාත්තා වැඩ ඇරිල එනතුරු සල්ගස්‌ හන්දියට වෙලා හිටියෙ උලමොට ඇනගෙන බිම වාඩිවෙලා. ඈතදීම මම දැක්‌කා තාත්තා පයින් එනවා. තාත්තා මාව දැකල වඩාගෙන ගෙදර අරන් ගිහිල්ල මෙහෙම කිව්වා.

"මගේ පුතේ, මහ පාරෙ ඉන්න එපා. මං ගෙදර එනවනේ. අම්ම ළඟට වෙලා ඉන්න කියලා. අම්ම ඒ දවස්‌වල හිටියෙ අසනීපෙන්. අම්ම ළඟටම වෙලා හිටියම මට පේන්නෙ අම්මව ඇටසැකිල්ලක්‌ වගේ. තාත්තා මාව ගෙයි එළිපත්ත උඩින් තියපු ගමන් මම වක්‌කඩ කැඩුව වගේ ඉස්‌කෝලේ ළමයි කියන ඒවා එකක්‌ හැර කිව්වෙ තාත්තා මට රජෙක්‌ වගේ නිසා. තාත්තා සේරම කතා අහගෙන ඉඳල හිනා වුණා. ඊට පස්‌සෙ කිව්වා "පුතේ අපට කොන්ක්‍රීට්‌ ගෙවල් හදන්න සල්ලි නෑනෙ. පුතා හොඳට ඉගෙන ගෙන ලොකු නෝනා කෙනෙක්‌ වෙලා ගෙවල් හදන්න ඇහැකිනේ කියලා. ඊට කලින් අපි පොඩි උප්පරවැට්‌ටියක්‌ කරමු. අර ළමයෙක්‌ කිව්වලුනේ පුතාට ගෙදර කොන්ක්‍රීට්‌ කණුවක්‌වත් නෑ කියලා. අපි ගේ ඉස්‌සරහ කාටත් පේන්න කොන්ක්‍රීට්‌ කණුවක්‌ හදමු."

නිකම්ම නිකම් කණුවක්‌ නෙවෙයි ලස්‌සන නිර්මාණාත්මක කණුවක්‌ හදමු."

තාත්තා එහෙම කියලා මාස හත අටයි ගියේ. මෙන්න බොලේ ගේ මුල්ලෙ කොන්ක්‍රීට්‌ ගල් ගොඩක්‌ පහල වෙලා. අම්මවත් දැකලා නෑ ගෙයි මුල්ලෙ කොන්ක්‍රීට්‌ ගල් ගොඩක්‌ තියෙනවා කියලා. ඒ කියන්නෙ අම්මගෙ භාෂාවෙන් කිව්වොත් කොස්‌සපොවල නෑ ගේ මුල්ලට. ඒ ගල් කැට එක සමානයි. පුංචියි. මම තාත්තාගෙන් ඇහුවා කොහොමද තාත්තෙ ගෙයි මුල්ලට කොන්ක්‍රීට්‌ ගල් ආවෙ කියලා. තාත්තා හිනාවෙලා.

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති.

කියන ළමා ගීතයක කොටසක්‌ කියල මෙන්න මෙහෙම කිව්වා. පුතා ශිෂ්‍යත්වෙන් පාස්‌ වුණා වගේ මේ ප්‍රශ්නෙටත් උත්තර හොයන්න. පුතාට ඒකට මම තව සතියක්‌ දෙනවා. මොකද තව සතියකින් කණුවට ඕන කරන ගල් ටික ගෙයි මුල්ලට එනව කියලා තාත්තා කිව්වා.

මම හිතුවෙ අර ඡන්දෙ කාලෙට පාරවල් ගානෙ ගොඩගහන ගල්ගොඩවලින් තාත්තා අහුරු අහුරු සාක්‌කුවෙවත් දාගෙන ඇවිත් ගෙයි මුල්ලෙ ගොඩ කළාවත් ද කියලා. මං ඊට පස්‌සෙ රහස්‌ පරීක්‍ෂකයෙක්‌ වගේ තාත්තා ගැන විපරමෙන් හිටියා. එක දවසක්‌ තාත්තා යකඩ ඇණේකින් සපත්තු දෙකේ පතුලේ මොනවදෝ හාරනවා මම දැක්‌කා. ඊට පස්‌සෙයි මට තේරුම් ගියේ අනේ මගේ බුදු තාත්තා, තාත්තගෙ ගෙවිල ගියපු සපත්තු දෙකේ කුහරවල හිරවෙලා තිබිච්ච ගල් නේ ද මේ ගලවලා ගොඩකරල තියෙන්නෙ කියලා. එදා මං තාත්තා ළඟට ගියේ හොරා පොලිස්‌ සෙල්ලම් කරනවා වගේ. පස්‌සෙ මට ආයෙත් ප්‍රශ්නයක්‌ ආවා ඇයි තාත්තගෙ දුප්පත් සපත්තු දෙකේ කුහරවල කළුගල් විතරක්‌ හිරවෙන්නෙ කියලා. තාත්තා ඒකට මට උත්තර දුන්නෙ ප්‍රායෝගිකව. තාත්තා එදා උදේ මාත් එක්‌කල තමයි ඉස්‌කෝලෙ ගියේ. එදා තාත්තාට නිවාඩු දවසක්‌. තාත්තා මාත් එක්‌කල පිළියන්දල ගිහිල්ල ඉස්‌කෝලෙ ඇරෙනකල් පුස්‌තකාලෙ ඉඳලා මාත් එක්‌ක ඇවිත් බස්‌ එකෙන් බැහැල මහ පාරේ ගොඩගහලා තිබුණු කොන්ක්‍රීට්‌ ගල් ගොඩක්‌ ගාවට ගිහිල්ල එක කකුලක්‌ උස්‌සල සපත්තුවෙ යටිපතුළ මට පෙන්නුවා.

පුතේ පේනව නේද විවිධාකාර ගල් බොරළු හිරවෙලා නේද කියලා. මං දැක්‌ක සපත්තුවෙ කුහරවල ගුරුගල් වෙනත් කුණු රොඩු ඒ කුහරවල පිරිලා තියෙනවා. ඊට පස්‌සෙ තාත්තා මොකද කරන්නෙ කලිසම් සාක්‌කුවෙන් ගන්නවා යකඩ ඇණයක්‌. ඒකෙන් ඒ සේරම ගලවල අනිත් සපත්තුවත් සුද්ධ කරලා තාත්තා එක පාරටම අර කළුගල් උඩින් අඩි බර කර කර යනවා. මේක තමයි තාත්තා කළුගල් විතරක්‌ සපත්තු කුරවල හිර කරගෙන ආපු එකම රහස. ඊට පස්‌සෙන් පහු දවසක තාත්තා කිව්වා ලබන මාසෙ පඩියට සිමෙන්ති කොට්‌ටයක්‌ ගේනවා. ඊළඟ මාසෙ පඩියට වැලි ටිකකුත් ගමු. ඊළඟ මාසෙ නිවාඩු දාල මම ඔය හැමෝටම පේන්න කොන්ක්‍රීට්‌ කුලුන හදන්නම්. කණුව උඩින්ම ලස්‌සන සපත්තු කුට්‌ටමකුත් හදමු. සපත්තු කුලුන කියලා නමකුත් දාමු. ඊළඟ පඩියට ඔය විදියට වර්තමාන ක්‍රියා තමයි තාත්තා කිව්වෙ. සිංහල භාෂාවට අනාගත ආඛ්‍යාතයක්‌ පැහැදිලිව නැතැයි කියලා තාත්තා දවසක්‌ කිව්වා. ඒත් තාත්තා අනාගතය යහපත් වෙන්න තමයි මේ සේරම කළේ. කොහොම හරි අවුරුද්දක්‌ විතර ගියා කුලුන හදන්න. ඊට පස්‌සෙ අර සමහර මිනිස්‌සු කියනවා වගේ අපල කාලයක්‌ අපට ආවා. කුලුන හින්ද නෙවෙයි. සමහර මිනිස්‌සුන්ගෙ ගොන් වැඩ නිසා. ඔන්නබොලේ දවසක සිළුමිණ පත්තරේ මුල් පිටුවේ පොල්ගෙඩි අකුරෙන් දාල තිබ්බ හිටිහැටියේ පොහොසත් වෙන අය ගැන සැක නම් වහාම දැනුම් දෙන්න කියලා. දුරකථන අංක කිහිපයකුත් එක්‌ක.

ඊට පස්‌සෙන් පහු දවසක අපේ ගෙදර තොරතුරු දීල. අර නම්බර්වලට, හිටිහැටියෙ කොන්ක්‍රීට්‌ අනනවා. කොහෙන්දෝ, කොන්ක්‍රීට්‌ ගල් තොගයක්‌ ගෙනැල්ල දැන් විශාල කොන්ක්‍රීට්‌ කණුවකුත් හදල. ඒකෙ උඩ ඇතෙක්‌ බරට සපත්තු ජෝඩුවක්‌ හදලා. මේව ගැන වහාම පරීක්‍ෂණයක්‌ තියන්න කියලා. වෙන එකක්‌ තියා අපි හැමදාම තිරිවාන ගල් කනවා වයින් බොනවා කියලත් කියලා. එක දවසක්‌ තාත්ත සපත්තු කුලුනෙ ලේස්‌ දෙක හදහදා ඉන්නකොට පොලිසිය ඇවිත් තාත්තාව අත්අඩංගුවට අරගෙන. මම එදා ඉස්‌කෝලෙ ගියපු දවසක. මමයි අම්මයි එදා හවස පොලිසියට ගියා. තාත්තා ඔහේ හිරකූඩුවට වෙලා ඉන්නවා. පොලිසියට මුකුත් කියලත් නෑ. සත්‍ය ජයගනී පුතේ කියලා තාත්තා යකඩ කූරු අතරින් අත් දෙක දාල මගේ ඔළුව අතගෑවා. තාත්තගෙ ඇස්‌වල කඳුළු. මම කෙළින්ම ගියා අම්මත් ඇදගෙන පොලිසියේ ලොක්‌ක ළඟට. ගිහිල්ල සංගෙඩිය අකුරක්‌ අකුරක්‌ ගාණෙ කිව්වා. පොලිසිය ඇත්ත දැනගත්තා, තාත්තා නිදහස්‌ කළා. මම එදා පොලිසියට මහා හයියෙන් කිව්වෙ, ලැඡ්ජාවක්‌ කියලා දෙයක්‌ නැද්ද? මගෙ අහිංසක තාත්තා රටක්‌ රාජ්‍යයක්‌ වටින තාත්තා කූඩුවෙ දාල තියෙන්නෙ ඇයි කියලා. පස්‌සෙන්දා පත්තරවල මුල් පිටුවෙ පොල්ගෙඩි අකුරෙන් දාල ලක්‍ෂ ගණනක සපත්තුවක්‌ පිළියන්දල නිවසකින් සොයා ගනී. එක්‌ දරු පියෙක්‌ අත්අඩංගුවට ගනී කියලා. පත්තර මාමලා එහෙම දාල තියෙන්නෙ ආණ්‌ඩුවට හින්ට්‌ එකට. එදා කොහොමහරි කඩවල පත්තර නෑ. පස්‌සෙ අගමැතිතුමා මේ විස්‌තර දැකල අපේ ගෙදරට ඇවිත් මට තෑගිත් දුන්නා. සපත්තු කුලුන මහපාර අයිනේ හයිකරලා උත්සවයකුත් තියල කුලුන විව!ත කළා. මහලොකුවට තාත්තට මල් මාලාවකුත් දාලා වේදිකාව ඉස්‌සරහ තියල ලොකු ලොක්‌කො එදා ගජරාමෙට කයිවාරුව. හරියට ඒ ගොල්ලො සපත්තු කුලුන හැදුව වගෙ. තාත්තා මැරෙන කල්ම දුප්පතුන්ගෙ දුප්පතෙක්‌. දුප්පත් මිනිස්‌සු හරියට වෙළෙඳපොළේ බාල භාණ්‌ඩ වගේ කියලයි පුංචි කාලෙ මට හිතුණේ. සංස්‌ක!තික ඇමැති කිව්වා මේ වගේ කුලුනක්‌ මම උපෝපන්ජාති පිටරටකවත් දැකල නෑ. අඩුගානෙ සෝවියට්‌ දේශයෙත් නෑ කියලා. ඊට පස්‌සෙ විපක්‍ෂ නායකතුමා මගේ කනට ළංවෙලා කිව්වා. පුතේ තාත්තා ගල්කැටේ කැටේ සපත්තු කුහරවල දමාගෙන දුක්‌ මහන්සියෙන් ලස්‌සන කුලුනක්‌ හැදුවා. ඒත් බලන්න, ගිය ඡන්දෙට පාර අයිනෙ දාපු කළුගල්, ඒවා තවමත් තියෙනවා කියලා. එදා තමයි මම හොඳ හොඳ සුරංගනා කතා අහපු දවස.

ටිෂ්නි ගොරොද්වීර සිය අතීතය උලුප්පවමින් සිට මඟ වැරැදුණු අයෙක්‌ හරි මගට වැටුණ සේ ඇඟ ගස්‌සාගෙන නැවතත් සිය මෝටර් රථය පණගන්වා නොනවත්වාම මත්තේගොඩ බලා පිටත් වූවාය. ඈ සිය රථය පොල්ගස්‌ඕවිට හන්දියෙන් වම්පසට හරවනවාත් සමඟම දැකපුරුදු මුහුණක සේයාවක්‌ පාර අයිනෙ මාළු ලෑල්ලක්‌ අසල සිටිනු දැක රථය නතර කළාය.

"කිලෝ එක දාහයි නෝනා. අලුත් මාළු තෝරා මාළු" යෑයි කියමින්ම වොලිබෝලයක ඩෑෂ්පහරක්‌ තමා කරා ආවක්‌ මෙන්, ළඟට කිට්‌ටු වූ තරුණිය කවුදැයි ටිෂ්නි ඈතදීම දුටුවේ කොතැනක සිටියත් මවට තම දරුවා හැඳිනිය හැකිය යන කියමන සනාථ වන අයුරිනි. මාළු විකුණන තරුණිය අන්කිසිවකු නොව එදා අලුත් පන්තියේ දී හමු වු සපත්තු කණුවේ කොටස්‌කාරියක වු ධවලී කොළඹගේය.

ටිෂ්නි අසලට ආ ධවලීට අලුත් තරුවක්‌ දුටුවාක්‌ මෙන් ගල්ගැසී සිට, තොරතුරු කතාබහෙත් පසුව ධවලී මෙසේ කීවාය. ආ අලුත් කාරෙකකුත් අරගෙන වගේ. " ඔව් මං ගෙවන්න ගත්තෙ. මාසෙන් මාසෙට ඇඟේ ඇට කඩා දානව වගේ තමයි ගෙවන්න ගත්තම ඕන දෙයක්‌."

"මේ ටිෂ්නි ඒක නෙවෙයි. ඔයාලගෙ තාත්තගෙ සපත්තු කුලුන ඊයේ හවස නගරාධිපති නියෝගෙකින් කඩලා. මේ දැන් ටිකකට කලින් එතැන මහ ගිනිවිඡ්ජුම්බරයක්‌ වෙලා. සල්ගස්‌ හන්දියේ දී නගරාධිපතිට වෙඩි තියලා. මොකක්‌දෝ රැස්‌වීමකට ආපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු දහ පහළොස්‌ දෙනකුත් එතැනම හාන්සි ලු. පක්‍ෂ විපක්‍ෂ සේරම පිස්‌තෝල අතින් අරගෙන එකාට එකා වෙඩි තියාගෙන. හරියට පුංචි ළමයි සෙල්ලම් පිස්‌තෝල අරගෙන සෙල්ලම් කරනවා වගේ. පොලිසිය ඇවිත් සේරම සිවිල් ජනතාව අයින් කරලා පොලිසිය වළල්ලක්‌ වගේ සල්ගස්‌ හන්දියම වට කරලා. මිනිස්‌සු, මැරිච්ච මැති ඇමැතිලගෙ සපත්තු සෙරෙප්පු ගලවගෙන ගිහිල්ලලු. ඒව බර ගාණක්‌ වටිනවලු. නූල් පොටක තරම්වත් ගෙවිල නැතිලු. දැන් මිනිස්‌සු කියනවා. මැති ඇමැතිවරු, නගරාධිපතිවරු ඕන් නැතිලු. නිසි බලධාරීන් ආයතනවල හිටියම ඇතිලු. දැන් මේ පැත්ත පළාතක ඡන්ද ඉල්ලන්න කෙනෙක්‌ නෑ. උඹ ඔය පැත්ත පළාතක දැන් යන්න එපා. දැන්ම ආපු අතක්‌ බලාන පලයන්. දැන් ප්‍රව!ත්තිවලට කිව්වා සේරම මැති ඇමැතිවරු මැරිච්ච ගණන තවමත් ගණන් හදනවා කියලා."

ධවලී අලුත්ම තොරතුරු කියාගෙන කියාගෙන ගියේ එකල තමා තාත්තා ගැන පොලිසියට කියාගෙන කියාගෙන ගිය විස්‌තරය සේ බව ටිෂ්නිට සිතිණි. ඈ අලුත් හුස්‌මක්‌කටක්‌ ගත්තාය.

"බොහොම ස්‌තූතියි විස්‌තර කිව්වට ධවලීට. ඒත් මම ගිහින් බලන්න ඕන තාත්තා හදපු සපත්තු කුලුනේ කෑලි ටිකවත්."

ටිෂ්නි රිය පණ ගන්වා මත්තේගොඩ දෙසට ගියේ තමන්ගේ මවුරට බලා යන කාන්තාවක සේය. ඈ සල්ගස්‌ හන්දියට යන විට ඈතදීම දුටුවේ පොලිස්‌ වළල්ලකි. ඈ රියෙන් බැස ඒ අසලට කිට්‌ටුකර ළිඳකට එබෙන්නාක්‌ මෙන් පොලිස්‌ රාළහාමිගේ හිසට උඩින් ඇහැ යෑව්වා. මියගොස්‌ සිටි දේශපාලඥයන් බොහෝ දෙනා ඇය දුටුවාය. ඒ අතර නගරාධිපති, තමා දැනහඳුනනා මැති ඇමැතිවරු ද සිටින බවත් ඔවුන් අත තවමත් තම තමන්ගේ පිස්‌තෝල දෑතින් අල්ලාගෙන මැරී වැටී සිටින අයුරු දැක, ඔවුන් ගැන දැඩි කනගාටුවක්‌ සිත තුළ කකාරවමින් සුදුකොඩි රැගෙන යනු ඈ දුටුවාය.

"මොකෝ සත්තු වත්ත කියල හිතුවද එබි එබී බලන්නෙ." එක්‌ රාළහාමි කෙනෙක්‌ ඇය වෙත දෙකේ දෙකේ පොල්ලකින් දමා ගැසුවාක්‌ මෙන් ඇසීය.

"මෙතැන සිවිල් ජනතාවට සුදුසු තැනක්‌ නෙවෙයි. ඇයි, තමුන් විතරක්‌ මෙතැන ටැග්ගැහෙන්නේ? හරියට පත්තරකාරයෙක්‌ වගේ." තවත් රාළහාමි කෙනෙක්‌ පිටුපසට හැරී කීවේ ඔහුටම තැන නොතැන අමතකව ඈ දෙසට සැලියුට්‌ එකක්‌ ද ගසමිනි.

මං ආවෙ මාතර ඉඳලා. මේ සපත්තු කුලුන හදන්න මුල් වුණේ මම"

ටිෂ්නි එසේ කියනවාත් සමඟම රාලාහිමිලා ඈ වටකර ගත්හ. රටක්‌ රාඡ්ජයක්‌ ලත් සේ ඔවුහු සිනාසෙමින්.

දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා. අපිටත් දවසක හඳ පායනවා. එදා අපිත් මල් පැණියෙන් නානවා යෑයි කොක්‌ හඬලා කියමින් ටිෂ්නිව අත්අඩංගුවට ගත්හ. පුතේ සත්‍ය ජයගන්නවා යෑයි එදා තාත්තා කියූ රත්තරන් කියමන ඇයගේ සිත තුළ දෙවනත් කොට ලැඟුම් ගත්තාය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »