Home / කෙටි කතා / නත්තල් තරුව

නත්තල් තරුව

2017-12-28 09:53:00       530
feature-top
පල්ලියේ පළමු වරට හැඬවෙන සීනුවේ නාදය පැතිර යන්නට වූවේ, රාත්‍රියේ හැලෙන පින්න සිප හමන ශීතල සුළඟ අතරින් ය. සුමනාවතී පුතා අවදි කරවාගෙන රාත්‍රි ‍දේව මෙහෙයට යන්නට සූදානම් වූවාය. ඇය පොල් අතු කුස්සි කෑල්ලේ ළිප දල්වා කලින් ම වතුර මුට්ටියක් උණු කර තැබුවේ ශීතල වතුරින් මූණ කට සෝදන්න ළමයා, අදිමදි කරන බව දන්නා නිසාය. අහල පහළින් ද ඈතින්ද ඉඳහිට රතිඤ්ඤා කරලක් දෙකක් හෝ එකවර රොත්තක් පුපුරා යන හඬ ඇසෙයි. මේ හඬ තමන්ගේ නි‍ෙවසින් ඈත් වුණේ කෙතරම් කාලයක සිටදැයි ඇගේ මතකයට එයි.

සැමියා තමා හා දරුවා අතැර නිරෝෂන් මහත්තයගේ තරුණ බිරිය සමඟ අතුරුදහන් වූවේ මීට සිව් වසරකට පමණ පෙරය. එතෙක් මෙතෙක් නත්තල් දවස් තුනක් පමණ පසු වී තිබේ. නත්තල කෙසේ වෙතත් තමන්ගේ ජීවිත ගැටගසා ගැනීමට ද සිදුවූවේ මහ ලොකු අරගලයක් කරමිනි.

“පුතේ ඉක්මන් කරන්න. තව ටිකකින් දෙවෙනි සැරේට පල්ලියෙ සීනුව ගහයි. තුන් ස‍ැරේ ගහන්න ඉස්සරල යා ගන්න ඕනෙ” අම්මා කීවාය.

පාසලට අඳින ‍කොට කලිසමත් අම්මා නත්තලට ගෙනැවිත් දුන් අත්කොට නිල් ඉරි කමිසයත් ඇඳගෙන රබර් සෙරෙප්පු දෙක පැලඳ ගැනීමට ළමයාට වැඩි වෙලාවක් ගියේ නැත. අම්මා බැටරි කෑලි දෙකේ, මළ මතුවීගෙන එන විදුලි පන්දම අතට ගත්තේ, පෙරදා සෝදා පිළියෙල කරගත් හැට්ටයත් චීත්ත රෙද්දත් ඇඳගෙනය.

‍ගෙයි ලෑලි දොර වසා යතුර දැමූ ඔවුන් මිදුලට බැස බොරලු පාරට පැමිණියෝය. තවමත් විදුලිය නැති ගම්මානයේ ගෙවල්වල එක එක තරාතිරමේ භූමිතෙල් ලාම්පු දැල්වෙයි. සමහර ගෙයක් ඉදිරිපිට රතිඤ්ඤා කරලක් පත්තු වී යයි. ඈත ගම්මානයේ තවත් තැනකින් ඉහළට අහස් වෙඩිල්ලක් නැඟී ගොස් පුපුරා යයි. ඊට පසුව නැවතත් අහසේ එළිය නිවී යයි.

ඊළඟට පැහැදිලිව පෙනෙන්නේ අහස පුරා පැතිර තියෙන දහසකුත් එකක් තරු එළිය. ඒ අතර ලොකු තාරකාවක් පායා තිබේ. අම්මාගේ අතින් අල්ලාගෙන ගමන් කරන ළමයා ‍අහස දෙස බලා මෙසේ අසයි.

“ආ අම්මෙ බෙත්ලෙහෙමට පායපු තරුව අර එකටත් වඩා ලොකු ඇති ද?”

“ඔව් පුතේ ඒක ලොකු වල්ග තාරකාවක්නෙ”

ළමයා අම්මාගෙන් එක එක විදිහේ ප්‍රශ්න අසයි. අම්මා ඒවාට උත්තර දෙයි. ඒ විදිහට දෙදෙනාම පල්ලියට පැමිණෙන විට තුන්වන වරටත් සීනුව හැඬවී තිබුණි.

පල්ලියට කවදාවත් වැඩි සෙනඟක් ආවේ නැත. පැට්ට්‍රෝල් ලාම්පු තුන හතරකින් එය ආලෝකවත් කර තිබිණි. අල්තාරය ඉස්සරහින්ම දණ ගසාගෙන ඉන්නේ මැගිනා හාමිනේය. ඇය අහසට ඔසවා ගත් දෑසින් යුතුව කොන්තය අතැතිව සිටියි.

පල්ලිය දොරකඩ මුල්ලේ සිටි කෙනා දුටු සුමනාවතීගේ සිත ගැස්සී ගියේය. ළමයා ද ඔහු දෙස බලාගෙන ටිකකට නතර වෙන්නට හැදුවේය. එහෙත් අම්මා පුතාව අතින් ඇදගෙන පල්ලිය ඇතුළට ගොස් තැනකින් ඉඳගත්තාය.

අමරසේනගේ පෙර පැවති කඩවසම් පෙනුම තවමත් එලෙසින් ම පවතියි. නිරෝෂන් මහත්තයගේ තරුණ බිරිය රැවටුණේ ද ඒ පෙනුමට වන්නට ඇති. ඒත් ගමේ උදවිය පසුවට කීවේ, අමරසේන ඇය රවටා ගත් බවය. ඔහු එහෙම කෙරුවේ බිරියගෙන් පළිගැනීමට බව ගමේ අය දැන සිටියහ. තම බිරිඳ නිරෝෂන් මහත්තයත් එක්ක අනියම් ගනුදෙනුවක් පවත්වාගෙන යන බවට ඔහුට තොරතුරු සපයනු ලැබ තිබිණ. සියලු තොරතුරු සපයනු ලැබ තිබුණේ මැගිනා හාමිනේ විසින්ය.

“මට නම් ඔය අනුන්ගෙ දේවල් හොයන්න බලන්න ඕනෙ නෑ. ඒත් අමරසේන ළමයට සිද්ධ වෙන්න යන විපත බලාගෙන ඉන්න බැරිවයි මම මේව කියන්නෙ” පවසමින් ඇය නිතර නිතර ම ඔහුට පැවසුවාය; සුමනාවතී හා නිරෝෂන් මහත්තය අතර අනියම් සම්බන්ධයක් පවතින බව.

මෙය නිතර නිතර ඇසීමෙන් එය විශ්වාස කළ අමරසේන ඊට පළිගැනීමක් වශයෙන් නිරෝෂන් මහත්තයගේ බිරිය රවටා ගත් බවත් එහෙත් පසුව එය සැබෑ බන්ධනයක් බවට පත්වූ වගත් සමහරු කියති.

නිරෝෂන් මහත්තයත් තමාත් අතර පැවති සම්බන්ධය කුමක්දැයි හරියට ම දත්තේ සුමනාවතීය. ඇය තම සැමියාගේ සැක කිරීම ගැන මහත් කලකිරීමකට පත්වුණේ ඒ නිසාය.

සමාජසේවා ආයතනයක සේවය කළ තලතුනා නිරෝෂන් මහත්තයා අමරසේනගේ ළමයාට උපකාර කිරීමට තෝරාගෙන තිබිණි. අනුග්‍රාහක ළමයින් ගැන මහත් උනන්දුවක් දක්වන ඔහු නිතර නිතර ඔවුන් සොයා ගියේය.

“ඒ වුණාට අමරසේන, නිරෝෂන් මහත්තය, උඹ නැතිවෙලාවට සුමනාවතී හම්බ වෙන්න යනව වැඩියි” මැගිනා හාමිනේ ගැඹුරුම ලෙසකට කීවාය.

කවුරු එහෙම කිව්වත් ඔහු තමා සැක කළේ ඇයි. ඊට පළිගැනීමක් ලෙසින් ඇති කරගත් සම්බන්ධය වෙන පළාතකට රහසින් ගොස් එක හෙවණක ජීවත් වෙන්න තරම් දුර දිග ගෙන ගියේ ඇයි.

නත්තල් දේව මෙහෙයේ මඳක් තැන් දුර ගොස් ඇති බව සුමනාවතීට දැනිණි. එහෙත් මොහොතකටවත් ඊට සිත එකඟ කරගත නොහැකිය. අද පල්ලි නොආවානම් හොඳය. තමා අසලින් ම බිම වාඩි වී සිටින ළමයා ද දණහිස් අතර හිස රඳවාගෙන නිදිය.

අමරසේන අද පල්ලි ඇවිත් සිටින්නේ ඇයි? ඔහු මේ කොහේ යන ගමන්ද.

සුමනාවතීගේ සිත යළිත් මහත් කලකිරීමකින් පිරී යයි. ඒ දවස්වල අමරසේන වරින් වර නිරෝෂන් මහත්තයලගේ ගෙදර තරුණ බිරියට පවසා ඇත්තේ, ඇගේ සැමියා තමාගේ බිරිය හා අනියම් ඇඟ­ෑලුම්කමක පටලැවී ඇති බවය.

“බොරු නම් අර මැගිනා හාමිනේගෙන් අහල බලන්නකො” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ගැනවිලි කීමට ගිය එම ගමන පසුවදී ඇගෙන් උණුසුම් තේ කෝප්පයක් ලැබීමට තරම් සත්කාරශීලී වී අවසානයේදී බොහෝ පිළිසඳර කතා බහක යෙදෙන තරමට ආනන්දනීය වී ගියේය. එසේ වූ කල ඔහු තව තවත් නිරෝෂන් මහතා ගෙදර නැති වෙලාවල් සෙවීය.

නත්තල් ‍දේව මෙහෙය අවසාන වීගෙන යන බව සුමනාවතීට හැඟුණේ ‘සාමය රැගෙන යන්නැයි’ පූජක තුමා පැවසූ අවසාන වගන්තිය ඇසීමෙනි.

අමරසේන මුලිච්චි නොවී ඔහු මග හැර ගෙදර යෑමට ඇය තීරණය කළාය. යා යුත්තේ කොයි පැත්තෙන්දැයි සොයා ගැනීමට ඔහු සිටි දිසාවට ඇය හොරෙන් ඇස් යැවීය. ඔහු එතැන පෙනෙන්නට නැත. අහම්බෙන් එහි ගිය බවක් අඟවමින් ඇය ඒ අවට සොයා බැලුවාය. ඒත් පෙනෙන්නට නැත. දේව මෙහෙය හමාර කළ පූජක තුමා ද පල්ලිය මිදුලේ මඳ අඳුරේ සක්මන් කරන්නේ සන්ක්‍රිස්තියන් පැට්ට්‍රෝල් ලාම්පු නිවා දමන තුරුය. දේවස්ථාන භූමියේ අන් කවුරුත් පෙනෙන්නට නැත.

සුමනාවතී විදුලි පන්දම දල්වාගෙන පල්ලිය බිමෙන් පිට වූවාය. මඳක් තැන් දුර ගිය ළමයා අහස දිහා බලා මෙසේ පැවසුවේය.

“අම්මෙ අපි එනකොට දැකපු අර තාරකාව තවත් ලොකුවට පේනව”

ළමයා පළමුව පැවසූ දෙය අම්මාට ඇසුණේ නැත. එය තේරුම් ගත් ළමයා යළිත් එය පැවසුවේය.

මඳකට සිතුවිලිවලින් මිදුණ ඇය “ඒ වුණාට ඒ තාරකාව තියෙන්නෙ හුඟක් ඈතකයි පුතේ” කියා සුසුමක් හෙළුවාය.

බොරු බසකට මුළා වී තමන්ගෙන් ඈත්ව පළිගැනීමට අන් ළඳකට සමීප වූ අමරසේනගේ සිත රැවටී ගියේය. මෙවන් දෙයක් ඕනෑම පිරිමි‍යකුගෙන් සිදුවීමට බැරි නැත. ඔහු සමඟ ඈත පළාතකට පලාගොස් ජීවත් වීමේ අදහසට ඒ තරුණ ගැහැනියද සම්මාදම් වූවාය. මෙබඳු දේ මිහිපිට සිදුවුණ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

පසුගිය දවස්වල ඈත පළාතක ගිය ගමේ අයට අමරසේන හමු වී තිබේ. ඔවුන් පැවසුවේ ඔහු දැන් තනියෙන් ජීවත් වන බවය. තමා වැරදි ඕපා දූප අසා රැවටුණ බව දැන් ඔහු වැටහෙනවා විය හැකිය. නිරෝෂන් මහත්තයා ද ඒ දවස්වලම ස්ථාන මාරුවක් ගෙන ඔවුන්ගේ ගම් පළාතට ම ගිය බැවින්, ඒ රැවටීම තවත් මනාව පැහැදිලි වනු ඇත.

අමරසේන අද පල්ලියට ඇවිත් සිටියේ ඇයි. ආ ලෙසින් ම ඔහු නොකියා ම ගියේ ඇයි.

ළමයාගේ පය ගලක පැකිළී වැටෙන්නට ගියේය. ඔහු අර තරුව දිහා ආයෙත් බලන්නට ඇත.

“පුතේ බිම බලාගෙන යන්න” ඇය කීවේ පොඩ්ඩ එහා මෙහා වීමෙන් පය පැකිළී ඇද වැටෙන්නට පුළුවන් නිසාය.

තමා ලොකු වරදක් කර ඇතුවාක් මෙන් ඇගේ සිත දොස් පවරයි. යළිත් කවදාවත් ඔහු ආපසු නො එන්නට ද ඉඩ ඇත. දවසක ඔහු සොයා යන්නට ද විදිහක් නැත. ඔහු සිටින දිසාවක් ගැන ගමේ කවුරුත් දන්නේ නැත. තම කම්මුලක් තෙත් වන්නේ මුහුණට වැටුණ පිනි බිඳුවකින් ද නැතිනම් නෙතින් ගැටලුවකින්දැයි ඇයට නිනව්වක් නැත.

ගෙයි කඩුල්ලෙන් ඇතුළු වී ගෙට එන ඇය විදුලි පන්දම් ආලෝකයෙන්, ඉස්තෝපු බිමේ ඉඳගෙන සිටිනා ඔහු දුටුවාය. තිගැස්සී ගියත් ඇය නතර නොවී කෙළින් ම ගෙට ගොඩ වී දොර ඇරියාය. සාල කෑල්ලට ඇවිත් ගිනි පෙට්ටිය සොයාගත් ඇය භූමිතෙල් චිමිනි ලාම්පුව දැල්වූවාය.

මඳක් තැන් ඉස්තෝපුවේ නතරව සිට අම්මා වෙත පැමිණි ළමයා යමක් කීමට සූදානම් වුවත් ඇය ඊට පෙර මෙසේ කීවාය.

“පුතේ ගිහින් තාත්තට කියන්න ඇතුළට එන්න කියලා”

ළමයා ඉස්තෝප්පුවට ගොස් තාත්තාට පණිවිඩය කියා, අනතුරුව අම්මාට කෑගසා මෙසේ කීවේය.

“අම්මෙ මෙතෙන්ට ඇවිත් බලන්නකො. අර තාරකාව ඉස්තෝප්පුවෙ ඉඳල බලනකොට පෙනෙන්නෙ හරිම ළඟින් ති‍ෙයනව වගේ”


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »