Home / කෙටි කතා / ගවළෙන තුළ බිහිවුණු නත්තල

ගවළෙන තුළ බිහිවුණු නත්තල

2017-12-26 09:01:00       28
feature-top
ලෝකාරම්භයේ පටන් අඛණ්‌ඩව පවත්වාගෙන යන අර්ධ සහස්‍ර වාර්ෂික ස්‌වර්ග මහී ඒකාබද්ධ සහයෝගිතා සංසදයේ ප්‍රගති වාර්තාව මෙවර එළිදැක්‌වීමට නියමිතව තිබුණේ ක්‍රිස්‌තු වර්ෂ 2000 ලැබූ ජනවාරි මාසයේදීය. එහෙත් වර්ෂ සියයක පමණ සිට ස්‌වර්ගප්‍රාප්ත වූ දේශප්‍රේමි, භාෂා ප්‍රේමි, ස්‌වාධීන ආකල්ප මතධාරී පිරිසකගේ නිදහස්‌ මත ගැටුම් නිසා තත් ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම දිගින් දිගටම ඉදිරියට තල්ලුවී ගියේය. මෙම ප්‍රමාදයට විශේෂ බලපෑමක්‌ ඇති කළේ ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත් කළ යුතු භාෂා මාධ්‍යය පිළිබඳ ප්‍රශ්නයයි. මේ මෑත කාලයක සිට ස්‌වර්ග වාසයට පැමිණ සිටින විවිධ ජන කොටස්‌ තම තමන්ගේ මාතෘ භාෂාවෙන් එම වාර්තාව ප්‍රකාශයට පත් කළ යුතුය යන දෘඪ ස්‌ථාවරයෙහි පිහිටා සිටීමය.

ස්‌වර්ග රාජ්‍යය නිජ බිම වූ මධ්‍යස්‌ථ මතධාරී ප්‍රබලයන්ගේ නිෂේධ බලය මත එම ප්‍රගති වාර්තාවේ මාධ්‍ය භාෂාව ලතීමය ලෙස සම්මත කර ගන්නා ලදී. මෙහි දැක්‌වෙන්නේ ලතින් බසින් පළවූ එම ප්‍රගති වාර්තාවේ සරල සිංහල අනුවාදයයි.

ක්‍රිස්‌තු වර්ෂ 2000 ට නියමිත ස්‌වර්ග, මහී ඒකාබද්ධ සහයෝගිතා සංසදයේ තේමාව වෙන නත්තල් උත්සවය හා සබැඳි ක්‍රියාවලියේ ප්‍රගති වාර්තාවයි.

ක්‍රිස්‌තු පූර්ව එක වසරේදී පමණ ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රාජපරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත තමා යවන ලද බවත් ඒ කන්‍යාවගේ නම මරියා බවත් විපුල ප්‍රසාද ලත් උත්තමිය, යනුවෙන් ඇය අමතා ඔබට මංගල වේ· ස්‌වාමීන් වහන්සේ ඔබ සමගය. ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය. උන්වහන්සේට ජේසුස්‌ යන නාමය තබන්න යනුවෙන් වූ පණිවිඩය ප්‍රකාශ කළ බවත් ග්‍රාබියෙල් අග්‍ර දූත තුමා මුලින්ම ප්‍රකාශ කළේය.

ඉන්පසුව සංසදය ඇමතුවේ සාන්ත ජෝසෙප්තුමාය.

"මං වඩුකාර්මිකයෙක්‌, පදිංචිය ගලීලයේ නාසරෙත් නුවර, දාවිද් රජපුරටයි අයිති. ජෝතීම් සහ ආනා යන දම්පතීන්ගේ එකම දූ මරියානම් ළඳට විවාහ බස්‌ දීලයි උන්නේ. අපි විවාහවෙලා එකට ජීවත්වෙලා උන්නේ නෑ. ඒ වුණත් මරියා ළඳ ගැබ්ගෙන සිටින බව මට දැනගන්ට ලැබුණා. මං ඇය අත්හැර දමන්ට සිතා ගත්තා. ඒ අතර සුරදූතියෙක්‌ මට සිහිනෙන් පෙනිලා මෙන්න මෙහෙම කිව්වා. "දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්ට බිය නොවෙන්න, මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි. ඈ පුතකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස්‌ යන නම තැබිය යුතුය. මේ පණිවිඩය අහපු මම මරියා ළඳ සමග විවාහ වුණා. එහෙත් එකට ජීවත් වුණේ නැහැ.

මරියා ළඳගේ ප්‍රසූත කාලය කිට්‌ටු වෙද්දී රෝම අධිරාජ අගොස්‌තුස්‌ සීසර්ගේ ආඥවක්‌ අනුව අපට සිද්ධ වුණා ජුදා දේශයේ බෙත්ලෙහෙම් නුවරට යන්ට, සංගණනයකදී නම් ලියා පදිංචි කරන්නට පලස්‌තීනය ඒ කාලයේ රෝම අධිරාජ්‍යයට යටත් ප්‍රදේශයක්‌. ගෘහමූලිකයාවූ මගේ උපත් ප්‍රදේශය බෙත්ලෙහෙම වුණු නිසයි එහේ යන්ට සිදුවුණේ. බෙත්ලෙහෙමට ළඟා වුණු අපට නවාතැන් ගන්ට හරි හමන් තැනක්‌ ලැබුණේ නෑ. කඳුකරයේ ගව ලෙනක තමයි නවතින්ට සිදුවුණේ. ඒ ගව ලෙනේදී තමයි මරියා ළඳ තම පුතා ප්‍රසූත කළේ. සාන්ත ජෝසෙප් නිහඬ වෙනවාත් සමගම ඉදිරියට පැමිණියේ දේව දූතයෙක්‌. "මට අද වගේ හොඳට මතකයි ඒ රෑ මැදියම් දවස, තවත් දේව දූත සමූහයක්‌ එක්‌කලයි මං බෙත්ලෙහෙම් කඳු පාමුල ඕවිටි ඉහළ ආකාසේ දර්ශනය වුණේ. ඕවිටිවල එඩේරු හිටිය නිදි නැතිව බැටළුවන් රැක බලාගෙන. ආකාසේ ලස්‌සන තාරකාවක්‌ පෑව්වා. ඒකේ රැස්‌ වල්ගයක්‌ වගේ පොළොව කරා ඇදී ආවා. දේව දූත අපේ තේජශ්‍රීය දැකලා බයවුණු එඩේරු කෑ ගහන්ට ලෑස්‌ති වුණා. මං ඔවුන්ගේ බය දුරු කරන්ට මෙහෙම කිව්වා.

"බිය නොවන්න, මෙන්න සකල ජනයා හට බොහෝ ආනන්ද ජනක මංගල පුවතක්‌ මම ඔබ වෙත ගෙනෙමි. කුමක්‌ නිසාද ස්‌වාමීන් වන ක්‍රිස්‌තුස්‌ නම් ගැළවුම්කාරයෙක්‌ ඔබහට දාවිද්ගේ නුවර අද උපන්නා. රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිඳෙක්‌ ඔබට සම්බ වන්නේය. එය ඔබට සලකුණය" ඒ එක්‌කම මා සමග දර්ශනය වුණු දේව දූතයෝ මිහිරි ගී හඬින්

'GLORIA IN EXCELSIS DEO, ET IN TERRA PAX HOMINIBUS BONAE VOLUN TATIS...'

"අති උසස්‌ තැන්හි දෙවිඳුට මහිමයද, මිහිපිට සුසිත් ඇති ජනයාට සාමයද වේවා·" යනුවෙන් ගායනා කළ පසු දර්ශන පථයෙන් පහවී සඟලොව කරා ගියහ.

සුර දූතයා නිහඬ වෙනවාත් සමගම ඉදිරියට පැමිණි එඩේරුන්ගෙන් එක්‌ තැනැත්තෙක්‌ සංසදය අමතා තමන් එම රාත්‍රියේ බැටළු රැළ රැක බලාගෙන සිටි අතර දර්ශනය වූ සුර දූතයාගේ පණිවිඩය පරිදි ගවලෙන සොයාගෙන ගොස්‌ ඒ රෑ උපන් බිළිදා බැහැදැක තමන්ට හැකි පරිදි තෑගි බෝග පිරිනැමූ බවත් බිළිදා දෙපස හුන් ඔහුගේ මවටත් ඇයගේ රැකවල් පුරුෂයාටත් දේව දූත පණිවිඩය දන්වා සිටි බවත් කියා සිටියේය.

මින්පසුව ඉදිරියට පැමිණි තැන්පත් තලතුනා බුද්ධිමතුන් සේ පෙනුණු පුද්ගලයන් තුන්දෙනා අතර සිටි වෘද්ධතමයා කතාව ඇරැඹුවේය.

"අපි පෙරදිග වැසියෝ, ආකාශ වස්‌තු පිළිබඳව අධ්‍යයන කරන පර්යේෂකයෝ. අපේ පැරැණි ලියවිලිවල ඇතුළත්වී තිබුණා මැදපෙරදිග උපදින්නට සිටින මානව වර්ගයාගේ යහපත සඳහා ජීවිතය කැපකරන පින්වත් කුමාරයකු පිළිබඳව ඒ කුමාරයාගේ උපත සිදුවෙන වකවානුවේදී පායන්නට නියමිත අමුතු තාරකාවක්‌ ගැනත් ලියෑවිලා තිබුණා. මේ අතරේදී අපට දැකගන්නට ලැබුණා දීප්තිමත් අලුත් තාරකාවක්‌ ආකාසේ සිට පොළොව මතට ඇදී එන රැස්‌ දහරාවක්‌ සහිත. මේ තාරකා පණිවිඩයෙන් අපි දැන ගත්තා එම පින්වත් කුමාරයාගේ උපත සිදුවී ඇති බව. පැරැණි ලියවිලිවල මෙන්න මේ වගේ සටහනකුත් ඇතුළත්ව තිබුණා.

"එම්බා ජුදා දේශයේ ඒප්‍රාතා කී ජුදයේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නීය. මන්ද මාගේ ඉෂ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයකු තී කෙරෙන් නික්‌මෙනු ඇත." මේසටහන අනුව අපි දැන ගත්තා මේ කුමාර උපත සිදුවෙන්නට ඕනෑ මැදපෙරදිග ප්‍රදේශයක බව.

අපට අවශ්‍ය වුණේ ඒ බිළිඳු කුමාරයාව සොයාගෙන ගොස්‌ බැහැ දැක වැඩිපුර විස්‌තර දැනගන්ටයි. අපට මග දැන ගන්ට හැකියාව ලැබුණේ තාරකාව ඇසුරෙන් පමණයි. ඒ නිසා අපේ ගමන සිදුවුණේ රෑ කාලෙයි. කාන්තාර, මුඩුබිම, ගත කැලෑ බද ප්‍රදේශ හරහායි. සමහර දවස්‌වල අපට තාරකාව පෙනුණේ නැහැ. ඒනිසා කාලය හුඟාක්‌ අපතේ ගියා. තාරකාව හා පුරා කියලා පෙනී අවුරුද්දකට විතර පස්‌සේ තමයි ජෙරුසෙලම කියන නුවරට ළඟා වෙන්ට පුළුවන් වුණේ. අප ළඟ තිබුණු සිතියමෙන් තමයි ජෙරුසලමේ පිහිටීම දැකගත හැකිවුණේ. මේ දවස්‌වල තාරකාවක්‌ දැකගන්නට පුළුවන් කමක්‌ ලැබුණේ නැහැ. ඒ නිසා අපි ගියා රජ මැඳුරට ජෙරුසලමේ රජකම් කළ හෙරොද් රජතුමාගෙන් අපට දැනගන්ට ලැබුණා. අප සොයන බිළිදා උපදින්ට නියමව ඇත්තෙ බෙත්ලෙහෙම කියන නුවර ආශ්‍රීත ප්‍රදේශයක බවයි. රජ මැඳුරෙන් පිටවී අපි බෙත්ලෙහෙම බලා පිටත් වුණේ බිළිඳු කුමාරයා මුණ ගැසුණාම එම ස්‌ථානය පිළිබඳව නියම තතු හෙරොද් රජුට දැනුම් දෙන පොරොන්දුව පිටයි.

අපි බෙත්ලෙහෙමට ළඟා වෙද්දී රෑ බෝ වෙලයි තිබුණේ. ඒ වෙන කොටත් ආකාසේ තිබුණු තාරකාව අපට පෙනෙන දවසුත් නොපෙනෙන දවසුත් තිබුණා. ජෙරුසෙලමෙදි අපට නොපෙනුණු තාරකාව නැවත පෙනිලා නැවතුණේ බෙත්ලෙහෙමෙ පොඩි ගෙයක්‌ ඉහළ අහසේ. ඒ ගෙට ඇතුළු වුණු අපට දැකගන්නට ලැබුණා අප මෙතෙක්‌ සෙවූ රාජ කුමාරයාව සහ එතුමාගේ මෑණියන්ව. ආරක්‍ෂක පියතුමා ඒ වෙන විට පිට වැඩ පළකට ගිහින්.

අප අධ්‍යයන කර ඇති පරිදි ඒ බිළිදාගේ අංග ලක්‍ෂණ ඇසුරෙන් අපි දැන ගත්තා එතුමා මහා ජනකායකගේ ආධ්‍යාත්මික නායකතුමා බවට පත්වෙන, රජවරුන්ගේත්, ආගමික නායකයන්ගේත් ප්‍රභූ පක්‍ෂයේත් වෛරයට පත්වෙන, සමානාත්මතාවයේ සමාදානයේ සහෝදර දයාවේ සත්‍ය අනුශාසකවරයෙක්‌ බවට පත්වෙන පොදු මහජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා පාලන බලය හිමි වූවන්ගේ තාඩන පීඩනවලට මරණීය තර්ජනවලට පත්වෙන ජනහිතකාමී දරුවෙකු විත්තිය.

දාවිත් රාජ වංශයට අයත් මේ ළදරු කුමාරයා නියම මිනිසෙකු ලෙස මෙලොව උපන් දෙවිතුමන් ම බව අදහාගෙන අපි පසඟ පිහිටුවා එතුමාට වැඳ නමස්‌කාර කර රන්, තුවරලා, ගන්ධරස යන පඬුරු ඔප්පු කළා. අපි ආපසු අපේ රටවල් බලා පිටත්ව ගියේ හෙරොද් රජු හමුවෙන්ට නොගිහින්. අපි එහෙම කළේ හෙරොද් රජු ළදරු කුමාරයා වනසා දමන්ට සැලසුම් කරගෙන සිටින බවට සැකයක්‌ ඇතිවුණු නිසයි.

අනතුරුව නැවත කතා කළේ සාන්ත ජෝසෙප් තුමා "පෙරදිග පඬිවරුන් පිටත්ව ගිහින් සතියකට පමණ පසුව හෙරොද් රජ හේවායන්ට අණකර තිබුණා ඡේසු බිළිදා සොයා මරා දමන්ට. ඒ බව සුර දූතයකුගෙන් දැනගත් මම බිළිදාවත් මවත් සරණාගතයින් හැටියට මිසරයට රහසින් එක්‌කරගෙනගියා. හෙරොද් රජුගේ අභාවයෙන් පසු මං ජේසු දරුවා සහ එතුමාගේ මෑණියන් සමග නැවත පැමිණ පදිංචි වුණේ නාසරෙත් නගරයේ. ඒ නිසා තමයි දරුවා හැඳින්වුණේ නාසරෙත්හි ඡේසු යනුවෙන්.

short1මෙන්න මෙවන් සිද්ධි මුල්කරගෙන තමයි නත්තල් යනුවෙන් දිනයක්‌ නම් කරගෙන තියෙන්නේ.

මුල් කාලයේදී එනම් ඡේසුතුමා තිස්‌ වයසට පැමිණ දේවරාජ්‍යය පිළිබඳ වසර තුනක්‌ මුළුල්ලේ දූත කාර්යයේ යෙදෙමින් සිටි එදිරිකාරයන් විසින් කුරුසයේ ඇණ ගසා මරා දමනු ලැබ තුන්වැනිදා ජීවමානව උත්ථාන වුණාට පසුව වසර 300 ක්‌ පමණ ගතවෙන තුරු උත්සවාකාරයෙන් නත්තල පවත්වා නැත.

උත්සවයක්‌ වශයෙන් නත්තල පවත්වද්දී මුල්තැන දී තිබෙන්නේ ආගමික ඇදහිල්ලට, සහෝදර ජනතාව සුවපත් කිරීමට මිස දැන් වගේ කෑමට බීමට නැටුමට ගැයුමට නොවෙයි. 1900 වැනි අතීතයේ පටන් දෙසැම්බර් මාසය පටන් ගත්දා සිට සැදැහැති ජනයා නත්තල් උත්සවයට සූදානම් වෙනවා. ඒ අධ්‍යාත්මිකව. ආගමන කාලය නමින් සති හතරක්‌ නැටුම් ගැයුම් වලින් බැහැර වෙනවා. කෑම බීම වුණත් ගන්නේ චාමෙට. විශේෂයෙන් දේවස්‌ථානයට ගිහින් යාච්Æ ආරාධනා පවත්වනවා. නියමිත වයසට පත්වුණු අය යහපත් පාපොච්චාරණයක්‌ කර ගන්නවා දෙසැම්බර් 25 වැනිදා ආරම්භක පැයේ හෙවත් 24 වැනිදා රෑ දොළහේ දිව්‍ය පූජාවට සහභාගි වෙනවා. සුදුසුකම් ලබා සිටින අය දිව්‍ය සත්ප්‍රසාද ලබා ගන්නවා. ඒ දවස්‌වල රෑ දොළහෙ පූජාවට පසුව එකම පූජා ප්‍රසාදිතුමා ඒ එක්‌කම තව පූජා දෙකක්‌ පවත්වනවා මේ අනුව ගමේ හැමෝටම දිව්‍ය පූජාවකට සහභාගිවී නත්තල පැවැත්වීමේ අවස්‌ථාව උදාවෙනවා.

නත්තල් දවසේ පවුලේ හැමෝම එකතුවෙලා දිවා ආහාරය ගන්නවා. අසල්වාසීන් සමග සුහදව කතාබස්‌ කරනවා. තෑගි බෝග හුවමාරු කරගන්නවා. තරුණ කට්‌ටිය කැරොල් ගීත ගායනා කරමින් දුප්පත් පොහොසත් හැම ගෙයක්‌ ගානෙම යනවා. ඕනෑම ගෙදරකින් ලැබෙන සුළු හෝ සංග්‍රහයක්‌ භුක්‌ති විඳිනවා.

අද එහෙම කිසිවක්‌ දකින්ට නැති එක කනගාටුවක්‌. මේ වෙන විට ආධ්‍යාත්මික හැඩ ගැස්‌ම නැතිවේගෙන යනබවයි පෙනෙන්නේ. අද මුල්තැන දෙන්නේ අලුත් ඇඳුම් මෝස්‌තරවලටයි, කෑමට බීමටයි, බොහෝ දෙනා නාමික කිතුණුවන් හැටියට තමා නත්තල් උත්සවය පවත්වන්නේ. ජේසු සමිඳුන් දෙසූ දහම අනුව සහෝදර දයාවෙන් ජීවත් වෙන්නෙවත් අනුන්ගෙන් සිද්ධ වුණු වැරදි අමතක කර දමන්නේවත් අසල්වාසීන් සමග සුහදශීලීව සිනහ වතින් නත්තල් ප්‍රීතිය බෙදා ගන්නේවත් නැතිව පරණ කෝන්තර හිතේ පැසව පැසව ඡේසු බිළිදාව ගවහලේ ගවඔරුවෙ තනිකර දමා ජෝගි නටනවා.

2000 වසරේ අර්ධ සහශ්‍ර ස්‌වර්ග මහී ඒකාබද්ධ සහයෝගිතා සංසද ප්‍රගති වාර්තාව නත්තල් මුල්කරගෙන ප්‍රකාශයට පත් කිරීමේදී මහා හඬින් දොaංකාර නැංවීමට සිදුවී ඇත්තේ "මාගේ 'MEA CULPA, MEA CULPA, MEA MAXIMA CULPA' අපරාධයයි. මාගේ අපරාධයයි, මාගේ මහා අපරාධයයි" යන අෙදාaනාවත් සමගය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »