Home / කෙටි කතා / නත්තල් කදමල්ල

නත්තල් කදමල්ල

2017-12-21 10:09:00       556
feature-top
“ඔය දොර වහන්ඩකෝ චාලි ඇතුළට සීතල එනවනෙ”

“ටෙලිවිසොං බලල ඉවර උණාමද සීත දැනුණේ. ගිනිකබලක් පත්තු කර ගත්ත නං හොඳයි නේද? දැන් නමයත් පහ‍ුවෙලා ඇති නේ. මේ කොල්ල තාම නැහැනේ රෑ වෙලත්... මට පේන්නේ දැන්ම ම මූ බින්න බැහැල වගේ... ගෑනිගෙ ගෙදර”

“තමන්ගේ දරුවට නේද නොක්කඩු කියන්නේ... පුතා එයිනේ”

“ඇයි මෝඩියේ ලීලෝ... උඹ කොල්ලගෙ අම්ම නේද? උඹට දරුව ගැන කැක්කුමක් නැද්ද? බලහං වෙනද මේ වගේ නත්තලක් ළං වෙනකොං අපි මොන තරං ලක ලෑස්ති වෙනවද? මේ වතාවේ කිසිදේකට හිත දෙන්නේ නෑනේ”

“නත්තල කියන්නේ සමාදානයේ උපත... නැති බැරි අය එක්ක බෙදා හදා ගැනීම. ‘වෛරය’ ‘දුප්පත්කම’ ‘තණ්හාව’ කියන තැන නත්තල් නැහැ... චාලි... ඔයා ඉගෙනගෙන නැද්ද?” කතා දෙකක් නෑ. අපේ එකාට ඔය මඟුල අත්හරින්ඩ බැරිමනං දරුකම පැත්තකට ගියාවෙ. තමන්ගේ මනාපෙට මඟුල කොරගෙන බින්න බැහැපුවාවෙ. ඉඩං අඟලක්වත් දෙන්නෙ නෑ. අපි දෙන්න ජීවත්වෙලා ඉන්නකං. මළාට පස්සෙ නං ඕන එකක්. මදැයි පුතෙක් හැදුවා. එකා යකා වුණා.”

“අනේ ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ.”

“දවල් හීන දැකලද චාලි මේ කියවන්නේ. අපි ජීවත්වෙන විදියට ජීවත් වෙමු. ඔය මනස්ගාත හිතන් නැතුව. නත්තල තව කී දවසද? වෙන අවුරුදුවල නං මං මෙලහට කඳානෙ ගිහිං පොල්පැණිත් ගෙනල්ල. අනේ මට අපේ පොඩිකාලේ මතක් වෙනව. ඒ කාලේ සීතල එනකොට අපි උදේට රෑට ගිනිගොඩවල් ගහල ගිනි තපිනව. නත්තලට අපේ ආච්චි වන්ඩුවෙ පුස්නාම්බු තම්බනවා. ඒ කාලේ ඔය කේක් නෑ නේ. මේහ් කතාවෙන් කතාවෙන් රෑ වෙනව බත්ටික බෙදල දෙන්ඩද?”

“එපා කොල්ල ආපුවාම කමු... මොකා උණත් ඒකා මගෙ එකා... මට දුක මේකා අපට නොපෑහෙන තැනකට පැටලෙන්ඩ යන එක ගැන”.

සෑම උදයකම මට්ටම් ලීයත්, මේසන් උපකරණ මල්ලත් පාපැදියේ බැඳගෙන පල්ලිය හන්දියට යන චාලි බාස් එතනදී තමන්ගේ සුපුරුදු ගෝළයා ද මුණ ගැසී ඔහුත් සමඟ තම රාජකාරියට යන්නේ හන්දියේ හෝටලයකින් උදේ කෑම පාර්සලයකුත් දෙදෙනාට ම සෑහෙන්නට බැඳගෙන ය. දවල් බත වැඩ කරන ඉසව්වෙන් ගන්නා ඔහු අඳුර වැටෙද්දී ගෙදරට එන්නේ හන්දියේ කඩේකින් ම රෑ කෑමටත් පහුවදාටත් අඩුවැඩිය බයිසිකලයේ බැඳගෙනය. චාලි බාස්ට හුරුපුරුදු හිතෛෂි ගෝළයා උපාලි ම වුවත් මෑතක සිට ඔහු කෙරේද නොසතුටක් බාස්ගේ හිතේ ලියලන්නේ ගෝළයාගේ කට කැඩිච්ච කතා නිසා වන්නට ඇත. ඒ ඔහුගේ වදන් තුවාලයක් පාරණ තත්ත්වයට පත්වී ඇති නිසා ය. නමුත් නූගත් උපාලිගේ සිතට එය නොවැටහෙනවා සේය.

“මං එකක් කියන්නං උපාලි මීට පස්සෙ උඹ මගේ කොල්ලා ගැන අහන්ඩ එපා. එහෙම උණොත් ආයි උඹ එක්ක මගෙ ගනුදෙනුවක් නෑ.”

“අනේ චාලි මාමේ... මං නරකට ඇහුව නෙමේ. ගමේ මිනිස්සු කියන හන්දයි මං ඇහුවෙ. මගේ බඩ ගෝස්තරේ හොයල දෙන මාමගෙ හිත රිදවන්ඩ ඇහුව නෙමේ. ජේසු පල්ල. වෙන කාලවල නත්තල් ළං වෙනකොට චාලි මාම වේලපහ වැඩ ඉවර කරල ගෙදර වැඩවලට යනව. ඒ කාලෙට වත්ත පුරාම තීන්ත සුවඳ. මෙදා නෑනේ! නැන්දගෙ කතාවෙනුත් මට තේරුණා. ඒත් මං ආයි අහන්නෑ ඕං...”

ගොම්මනේ ගලා එන දම්පැහැ අඳුරත් සමඟ “කච කච” ගාමින් පාවී ආ චාලි බාස්ගේ බයිසිකලය ඔහුගේ නිවසට හැරෙද්දී අඳුරේ ගිලී තිබූ ඉස්තෝප්පුවේ විදුලි පහන දැල්විණි.

“මොකද අනේ අද හුඟක් රෑ උණා නේද?”

“අද ටිකක් වැඩියෙන් වැඩ කළා. උපාලියටත් නත්තල්ලුනේ. වැඩියෙන් කීයක් හරි දෙන්ඩ එපායෑ. හෙටත් මේ වගේ ම කොරන්ඩයි හිතා ඉන්නේ...”

“ඇයි වදේ එහෙම කියන්නේ. උපාලිට විතරද නත්තල්! අපිට නැද්ද? ඊටත් හෙට විසිහතර වෙනිදා. කලිං අවුරුදුවලත් වැඩ කළාද! අනිද්ද නත්තල් නේද?”

“ලීලෝ හැමදාම නත්තල් නැහැ කියනවනේ... ඒ ව ගේ මෙදා පාර අපටත් නත්තල් නෑ! ඕං”

“ඔයාගේ ඔළුව නරක් වෙලාද? නැත්නම් අපේ කොලුවගෙං පළිගන්ඩ කොරන කුරිරු කමක්ද? අනේ... පුතා උදෙත් ඇහැව්ව. තාත්ත නත්තලට සූදානම් නැත්තේ ඇයි අම්මේ... ඇඳුමක්වත් ගත්තේ නෑ නේද කියලා. පව්... ඒ දරුවට ගින්දර දෙන්ඩ එපා.”

“මටත් දුකයි ලීලෝ... ඒත් අපට ගැළපෙන්නෙ නැති එකියක් බැඳගෙන. ආගමක්, පල්ලියක් නැති වෙනවනං ඊට වැඩිය දුකයි බං මට”

බල්ලා බුරන හඬ සමඟ හත්අට දෙනෙකුගේ පිරිසක් ගේට්ටුව ළඟ සිටිනු පෙනුණි.

“කැරොල් කට්ටියක් නත්තල් ලබන්ඩත් කලිං!”

“මං දොරවහං ගෙට යනව... ඔන්න ඔහෙ ගෙදර කවුරුත් නෑ කියහං”

“මොන මූසල කතාවක්ද? පෙනේද නත්තල්කාරයගෙ තරම”

අනවසරයෙන් වත්තට ආ පිරිසේ නත්තල් සීයා සේ සැරසි පුද්ගලයා එකම වැඩිහිටියා වෙද්දී, සෙස්සෝ බාලයෝ වූහ. විවිධ චරිත අනුව සැරසුණ ඔවුන් අතරේ “මරිය තුමීයද” ඇය අත “ජේසු බබාද” විය. ඒ හැඩගන්වන ලද බෝනික්කෙකි.

ඔවුන් ආ සැණින් රංගනයක් සමඟ ගායනයක් ද ඇරඹුවත් එය නැරඹුවේ හුදකලා දෑසක් පමණි. ජේසු බබා වෙත යොමු වූ ඒ දෑස ක්‍රමයෙන් තෙත්වෙනු ඉටිපහන් එළියෙන් සෙස්සන්ට පෙනුණි.

ප්‍රතිචාරය දුබල නිසාදෝ එක ගීයකින් ම කාරිය නිමා කර නඩේ ගුරු ආපසු හැරුණි. ඒ නිමේෂයේ ම වත්තට ඇතුළු වූ යතුරු පැදියක ආලෝකය කඳුළු පිරි දෑසට යොමු වීම නිසා දෑතකින් එය ආවරණය වී කඳුළු එහි තැවරිණි. ජංගම වෙළෙන්දෙකු සේ බඩු පුරවාගත් යතුරු පැදියේ ආ තරුණයෙක් කැරොල් නඩයේ මඟ අසුරා නැවතිණි.

“පොඩ්ඩක් ඉන්න... සංග්‍රහයක් විඳල යන්න. අම්මේ තාත්තේ මේ බඩු ටික බාගන්න....”

ඒ ඇසිල්ලෙන් නත්තල් සීයාගේ අතින් ම ඒ බඩු නිවසට යද්දී කැවුම්, කෙසෙල් කැවිලි වලින් බන්දේසි පිරී යනු පෙනුණි. තවත් මොහොතකින් නත්තල් සීයාගේ නැටුමක් හා ඇරඹි සමූහ ගායන නාදයෙන් පරිසරය ගිගුම් දෙද්දී අසල්වාසීන් ද එදෙසට එබිකම් පානු පෙනුණි. රැඟුම් ගැයුම් නිමාකර නත්තල් මිහිර ඉතිරිකර කැරොල් නඩය පිටව යද්දී නිවැසියන් අතින් බඩු පාර්සල් විවරවනු පෙනුණි.

“කීයක් ගියාද අනේ මේවාට. කරත්තෙක බඩු. පුතාට බෝනස් හම්බ උණාද?”

“මගේ බෝනස්වලින් නෙමේ අම්මේ. මේ ඉස්සෙල්ල අරං බලන්ඩකෝ....”

“මොනවයැ පුතේ මේ තියෙන්නේ?”

“නත්තලට ඕනෑ කරන සේරම දේවල් තාත්තේ... අම්මට ඇඳුම්... තාත්තට ඇඳුම්... කැවුම්, කොකිස්, කැවලි පෙවිලි, නත්තල් ගහට බඩු, තවත් ගොඩක් දේවල්... විශේෂයෙන් තාත්තට ඇඟ රත‍‍්වෙන දේවලුත් තියනවා.”

“හැබෑට උඹට එහෙනං ඒකත් මතක් උණා පුතේ”

“තාත්තේ මේවා මගේ තේරුම් නෙමේ. මදුෂිකාගේ පවුලෙන් අම්මටයි තාත්තටයි නත්තල් තෑගි.”

“හෑහ්... ගැහැනු ළමයගේ පවුලෙන්. විශ්වාස කොරන්ඩත් බෑ”

‍“මං කිව්වෙ නැද්ද ඒ මිනිස්සු ගැන. දැන් ‍ෙමාකද කියන්නේ?”

“හරි පුතේ... තාත්ත වශයෙන් මගෙ හිතේ කහටක් තිබුණ. දැන් ඒ ඔක්කොම ඉවරයි. එහෙනං හෙට රෑට පූජාවටත් පල්ලියන්න ඒ ගෑනු ළමයත් එක්ක වරෙං. යුතුකං දන්න අයට අපිත් යුතුකං කොරන්ඩ ඕනේ. නත්තල් දා මුළු පවුලටම අපේ ගෙදරට ආරාධනා කරපං... සේරම දේවල් මං කොරනවා...”

“හොඳයි තාත්තේ... මං ඒ අයව එක්කං එන්නං... ඇයි මේ අම්මගේ ඇස්වල කඳුළු”

“පුතේ කැරොල් කියද්දි මගේ දුක මම ජේසු බබාට කිව්ව පුතේ... ඒ දුක ජේසු දැන් නැති කරල මේ සතුටු කඳුළු පුතේ...”


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »