Home / කෙටි කතා / අත් ඔරලෝසුව

අත් ඔරලෝසුව

2017-12-18 09:20:00       275
feature-top
ගජධීර නැඟිට්‌ටේ වෙනදට වඩා ටිකක්‌ පරක්‌කුවෙලා. ඇඳෙන් නැඟිටල මදුරු දැල ඉවත් කළත් ඔළුවෙ තිබුණු බර ගතිය නිසාම නැවත වතාවක්‌ ඔහු ඇඳේ ඇල වුණා. කවදාටත් වඩා වැඩියෙන් ඊයේ තමන් බීපු බැව් ගජධීර සිහිකළා. එසේ තමන් මත්පැන් පානය කළේ සතුටටද නැත්නම් දුකටද කියන කාරණය තවමත් ගජධීරට තේරුම් ගන්න අමාරුයි. ඔහු බිත්තියේ එල්ලා තිබුණු දින දර්ශනය දෙස බැලුවා. අද 27 බ්‍රහස්‌පතින්දා. සතියේ දවසක්‌ වුණා කියල දැන් ඉතින් ඔෆිස්‌ එකට දුවන්න කියලද? මං දැන් පෙන්ෂන් කාරයෙක්‌? තමන්ටම ඇසෙන්නට කියාගත් ගජධීර දැස්‌ වසා ගත්තා.

එවක පැවති රජය මේ මණ්‌ඩලය ආරම්භ කරපු වකවානුවේම ලිපිකරුවෙක්‌ වශයෙන් මේ මණ්‌ඩලයට පත්වෙලා ආපු ගජධීර මහත්මයා අද විශ්‍රාම ගන්නේ මෙහි පරිපාලන නිලධාරියා වශයෙන් වසර කිහිපයක්‌ම සතුටුදායක සේවයක්‌ මේ මණ්‌ඩලය වෙනුවෙන් ලබාදීලා. තුන්වන ශ්‍රේණියේ ලිපිකරුවෙක්‌ වශයෙන් මේ මණ්‌ඩලයට බැඳිලා උසස්‌වීම් ගණනාවක්‌ම ලබලා ගජධීර මහත්තයා මේ තත්ත්වයට ආවේ ඔහුගේ අපරිමිත කැපවීම් හේතුවෙන්. ඔහු අපේ මණ්‌ඩලයට සම්පතක්‌....

"අපේ මහත්තයා ආයෙ නිදාගන්නද? මේ තේ එක බීවනම්..." බිරිය ස්‌වර්ණාගේ හඬින් ගජධීර දැස්‌ විවර කළා. දුම් දමන තේ කෝප්පය සහ වතුර වීදුරුව මේසය මත තැබූ බිරිය කාමරයේ ජනෙල් පියන් දෙක ඇරියා.

"මං මේ කල්පනා කළේ ඊයේ අපේ පාටියේදී සභාපතිතුමා කරපු කතාව ගැන." ගජධීර ඇඳ මත ඉඳගත්තා.

"ඔව් ඉතිං සභාපතිතුමා කියපු කතා ඇත්ත. ඔයා ඉතින් ඔය මණ්‌ඩලය වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරපු කෙනෙක්‌ද?..." ස්‌වර්ණා වතුර වීදුරුව තම සැමියාගේ අතට දුන්නා.

"ඒක නෙමේ. ඊයෙ පාටියට ඇයි පුතා ආවේ නැත්තේ..." ගජධීර කට සෝදා ජනේලයෙන් වතුර පාරක්‌ මිදුලට විද්දා.

"ඔයාට ඒකවත් මතක නැද්ද? පුතා ගිය සතියේ රට ගියානේ..."

" ආ.....එහෙමද?...මට ගාණක්‌ නෑ..."

උදේ ආහාරය ගැනීමෙන් පසු ගජධීර ඉස්‌තෝප්පුවට වී පරණ පුවත්පතක්‌ දිග හැර ගත්තා. විශ්‍රාම වැටුපක්‌ නැතත් විශ්‍රාම දිවිය සතුටින් ගත කරන්න.... පෞද්ගලික බැංකුවක වෙළෙඳ දැන්වීමක්‌ දිගේ ඔහුගේ දැස දුවන්නට වුණා.

"ගඡේ...අපිට අනිත් රජයේ සේවකයන් වගේ පෙන්ෂන් ගිහින් කකුල් දෙක උඩ තියාගෙන පත්තර බලන්න බෑ. ලැබෙන මුදලින් ආදායමක්‌ ගන්න වැඩක්‌ කරන්න වෙනවා..." ඊයේ පාටියේදී විමලසේන කියූ වදන් ගජධීරගේ දෙසවන් තුළ දොaංකාර දෙන්න වුණා. විශ්‍රාම ගිය පසු කළ යුත්තේ කුමක්‌ද පිළිබඳව තමාට අදහසක්‌ නොතිබූ බැව් ගජධීර සිහි කළා.

"ඊයේ ලැබුණු තෑගි ඔක්‌කොම ටික සාලේ මේසේ උඩින් තිබ්බා. අපි ඒව බලමුද?" ස්‌වර්ණාගේ හඬින් ගජධීර පුවත්පතෙන් දැස්‌ මෑත් කළා. ස්‌වර්ණාගේ දැස්‌ දිලිසෙමින් තිබුණා. ගජධීර පුවත්පත වසා ටීපෝව මත තබා නැඟිට්‌ටා.

සාලයේ මේසය මත ගොඩ ගසා තිබූ පාර්සල් දුටු විගස ගජධීරගේ දැසුත් දිලිසෙන්නට වුණා. විවිධ වර්ණයෙන් යුත් කොලවල ඔතා තිබුණු තෑගි කන්දරාව දෙස ඔහු මොහොතක්‌ බලා සිටියා.

"අපේ මහත්තයට ඉතිං ඔෆිස්‌ එකේ ඔක්‌කොම ආදරෙයි. මහත්තයත් ඉතිං ගෙදරට වඩා ආදරේ කළේ ඔෆිස්‌ එකටනේ." බිරියගේ කතාවට ගජධීර හිස වැනුවා. ඔහු පාර්සලයක්‌ ගෙන දිග හරින්නට වුණා. ස්‌වර්ණත් ඊට උදව් කළා. එහි තිබුණේ බණ පොත් කිහිපයක්‌. ගජධීරගේ මුවගට සිනහවක්‌ නැඟුණා.

" අපේ Æණානන්ද හාමුදුරුවන්ගේ පොත් නේද? කොච්චර වටිනවද? ස්‌වර්ණා පොත් ටික දොaතින්ම ගත්තා.

පාර්සල් ගොඩ අතර තිබුණු කුඩා පාර්සලයක්‌ ගත් ගජධීර එහි වර්ණවත් කොළය බවත් කළා. එහි තිබූ අත් ඔර්ලොසුව ගෙන එය ඔහු පිරිමදින්නට වුණා.

"වටිනා එකක්‌ වගේ නේද? ස්‌වර්ණා තම ස්‌වාමියා අතවූ ඔර්ලෝසුව දෙස බලමින් කීවා.

"ඔව්...ඔයා හීන්සැරේ ඔය තෑගි ටික බලන්නකෝ...." ගජධීර අත් ඔර්ලෝසුව පිරි මදිමින් තම කාමරය වෙතට යන්නට වුණා. කාමරයට පැමිණි ගජධීර ඔර්ලෝසුව තම ලියන මේසය මත තබා ඇඳ යට තබා තිබූ පරණ ට්‍රන්ක්‌ පෙට්‌ටිය ගෙන එය විවෘත කළා. පරණ පොත් පත් දුම් පයිප්පයක්‌, ගෑස්‌ ඉවර වූ ලයිටරයක්‌, සමරු පොත් කිහිපයක්‌ එහි පසෙක තැන්පත් කර තිබුණා. අනෙක්‌ පසෙහි වූයේ පිළිවෙළට නැමූ පරණ ඇඳුම් කිහිපයක්‌. ගජධීර පරණ ඇඳුම් යට තිබූ අත් ඔර්ලෝසුවක්‌ ගත්තා. බැටරි බැස තිබූ ඒ ඔර්ලෝසුව දෙස ඔහු බොහෝ වේලාවක්‌ බලා සිටියා.

නිර්මලා තමන්ගෙන් සමුගන්නට පෙර දුන් මුල්ම සහ එකම ත්‍යාගය මේ ඔර්ලෝසුව බැව් ගජධීර සිහි කළා. තිස්‌වසකට පෙර සිදුවූ ඇගේ වෙන්වීම ඔහු දෙනෙත් පියාගෙන සිහි කරන්නට වුණා.

"අපි ආයෙ ආයෙ හම්බවෙන් නැති වෙයි. අපි දෙන්නට වෙන වෙනම පවුල් තියෙනවා. ගුණරත්න නම් කීවා ටික කලකට පදිංචියට ඇමරිකාවලට යමු කියල. මේ ඔර්ලෝසුව ඔයාට දෙන්නේ වෙලාවට වැඩට එන්න කියන්න නෙමේ. වෙලාවට ගෙදර යන එක මතක්‌ වෙන්න. මීට වැඩිය ස්‌වර්ණා ගැන බලන්න...." නිර්මලා අලුත්ම අලුත් ස්‌විස්‌ ඔරලෝසුව ගජධීරගේ දකුණතෙහි බැන්දා. ඔහුගේ අතට අමුතු සීතලක්‌ දැනුණා.

"මොකද මේ අපේ මහත්තයා පරණ ඔර්ලෝසුවක්‌ අතේ තියාගෙන කල්පනාව." ස්‌වර්ණාගේ හඬින් ගජධීර පියවි ලොවට පිවිසුණා.

"නෑ...මේ...මං මේ ඔර්ලෝසුව ගත්තේ මේ රස්‌සාවට ගිය මුල්ම පඩියෙන්. ඒක මතක්‌ වුණා." ගජධීර පරණ ඔර්ලෝසුව අතින් ගෙන නැඟී සිටියා. ස්‌වර්ණා විශ්මය පිරි දෙනෙතින් ඒ දෙස බලන්නට වුණා.

"ඒත් අපේ මහත්තයා කවදාවත් ඔර්ලෝසුවක්‌ බඳිනවා මං දාකල නෑනේ." ස්‌වර්ණාගේ හඬෙහි වූයේද විශ්මයකි.

"ආ...ඔව්...මුලින් බැන්දා. ඊට පස්‌සෙ ඉතිං මට වෙලාවට වැඩ කරන එක හුරුවුණා." ගජධීර සාලය දෙසට එන්නට සැරසුණා.

"අපේ මහත්තයා ගොඩක්‌ තෑගි නම් හම්බවෙලා තියෙනවා. ගෑස්‌ කුකර්...හොට්‌ ප්ලේට්‌, අවන්, වීදුරු බඩු, මං මේ කල්පනා කළේ ඒවා කොහෙන්ද තියන්නේ කියලා. ස්‌වර්ණා ගජධීර පසුපසින් සාලයට පැමිණියා.

"ස්‌වර්ණා මං බැංකුවට ගිහින් එන්න යන්න ඕනෑ. ඔයා ඕවා ටික අස්‌පස්‌ කරල දාන්න...."

"මහත්තයා මොන්ඩියා, සීකෝ වගේ පරණ අත් ඔර්ලෝසුවල බැටරිත් අපි ගාව තියෙනව. ඒත් මේකේ බැටරි නම් අපි ගාව නෑ..."

ගජධීර නැවත අත් ඔර්ලෝසුව දෙමින් ඔර්ලෝසු අලුත්වැඩියා කරන මැදිවියේ පුද්ගලයා පැවසුවා. පරණ අත්ඔර්ලෝසුවේ මුහුණත තුළින් ගජධීර අඩවන් දෙනෙත් ඇති නිර්මලාගේ රුව මවා ගැනීමට බොල් උත්සාහයක නියෑළුණා.

"ඕක මහත්තයා සුවිස්‌ ඔරලෝසුවක්‌. ගොඩක්‌ වටිනා එකක්‌. ගාඩර් එකේ එහා පැත්තේ තියෙනවා ඔර්ලෝසු හදන තැනක්‌. එතෙන්ට ගිහින් ටිකක්‌ බලන්නකෝ."

short1ඔර්ලෝසු කාර්මිකයා වෙනත් වැඩකට යොමුවුණා. ගජධීර ඔර්ලෝසුව කලිසම් සාක්‌කුවේ දමාගෙන පාර මාරුවුණා. නගරය බොහෝ වෙනස්‌ වී ඇතැයි ඔහුට සිතුණා. උදේ කාර්යාල දුම්රියට දිව ගියත් සවස දුම්රියෙන් බැස ගෙවල් පාරේ යන බසයට දිව ගියත් නගරයේ බොහෝ කාලයකින් තමා රවුමක්‌ නොගැසූ බව ගජධීරට සිහිවුණා. ඔහු නගරයේ උද්‍යානය දෙසට පිය මැන්නා. එතන පරණ තාප්පය ගලවා දමා උද්‍යානය වටේට ව්‍යායාම තීරුවක්‌ ඉදිකර තිබුණා. උද්‍යානයට ඇතුළුවූ ගජධීර වටපිට බලා අසල තිබූ කොන්ක්‍රීට්‌ බංකුවක්‌ මත වාඩිවුණා. ඔහුට ජීවිතය පිළිබඳ මහා හිස්‌ බවක්‌ දැනෙන්නට වුණා. දැන් තමා යටතේ වැඩ කරන පිරිසක්‌ හෝ තමාට "සර්" කියන සේවක පිරිසක්‌ නොමැති බැව් ගජධීර සිහිකළා. කාර්යාලයෙන් තොරව තමාට ජීවත් විය හැකිද යන්න පිළිබඳව ඔහු නැවත නැවතත් සිතා බැලුවා. කලිසම් සාක්‌කුවට අත දැමූ ගජධීර පරණ අත් ඔර්ලෝසුව නැවතත් අතට ගත්තා.

නිර්මලා දැන් කොහේ ඇත්ද? තමාටම අසෙන්නට කියා ගත් ගජධීර සුසුමක්‌ හෙළා ළය සැහැල්ලු කර ගන්න උත්සාහ කළා.

නිර්මලාව දැක ගැනීමේ බලවත් ආශාවක්‌ ඔහුට උපන්නා.

"ගඡේ...කුරුණෑගලදී දවසක්‌ මට නිර්මලාවයි එයාගේ මහත්තයයි හම්බ වුණා. ඒ ගොල්ලන්ගේ දුව දැන් ඇමරිකාවේ කැම්පස්‌ එකක ඉගෙන ගන්නවලු. නිර්මලාගේ ඥතියකුගේ මඟුල් ගෙදරකට ආවා කීවා. නිර්මලා උඹ ගැනත් ඇහුවා..." වසර පහකට පෙර ගිණුම් අංශයේ සපරමාදු කියූ කතාව ගජධීරට සිහිවුණා. ඒ මෙහොතෙදීවත් නිර්මලාව බැලීමට ආශාවක්‌ තමාට නොඉපදුණුq බැව් ඔහු සිහිකළා.

"මහත්තයා කඩල තියෙනවා. ඊයේ බැදපුවා..." කඩල වෙළෙන්දෙක්‌ ගජධීරගේ මුහුණට එබුණා.

"දැන් එපා..." ගජධීර බංකුවෙන් නැඟිට්‌ටා. උද්‍යානය තරුණ පෙම්වතුන්ගෙන් පිරී ඇතැයි ඔහුට සිතුණා. ගජධීර නැවතත් මහ මඟට පිවිසුණා.

"මහත්තය මේකේ බැටරි ගිය සතිය වෙනකම් මං ගාව තිබුණා. දැන් නම් ඉවරයි. මහත්තයා ඔහොමම මාර්කට්‌ එකේ උඩ තට්‌ටුවට යන්න. එතන තියෙනවා ඔර්ලෝසු හදන තැනක්‌.."

තරුණ ඔර්ලෝසු කාර්මිකයා ගජධීරට තවත් බලාපොරොත්තුවක්‌ ලබා දුන්නා. ඔහු හිමින් සැරේ මාර්කට්‌ටුව දෙසට ගමන් කළා. අත් ඔර්ලෝසුවද සාදාගෙන හෙට දිහාට මහව නිර්මලාගේ මහ ගෙවල් පැත්තේ යා යුතුයෑයි ගජධීර කල්පනා කළා.

"මල්ලි පරණ සුවිස්‌ ඔරලෝසුවල බැටරි තියෙනවද?" ගජධීර ඔරලෝසු කාර්මිකයාගෙන් විමසුවා.

"ඔව් මහත්තයා. රුපියල් දාහක්‌ විතර වෙනව. ඒ බැටරි එනවා අඩුයි..." ඔර්ලෝසු කාර්මිකයා ගජධීර දෙස බැලුවා.

"කමක්‌ නෑ..." ගජධීර කලිසමේ දකුණු සාක්‌කුවට අත යෑව්වා. එහි ඔරලෝසුව නොතිබුණු නිසා වම් සාක්‌කුවට අත යෑවුවා. එහිද ඔරලෝසුව නොමැති බැව් දැන ගත් ගජධීර මඳක්‌ කලබල වුණා. ඔහු කමිසයේ උඩ සාක්‌කුව බැලුවා.

"ඇයි මහත්තය ඔරලෝසුව නැත්ද?" කාර්මික තරුණයා ගජධීර දෙස බලා සිටියා.

"ආ...මල්ලි මං ගෙනත් නැද්ද කොහෙද? හෙට දිහාට එන්නම්කො..." ගජධීර ආපසු හැරුණා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »