Home / කෙටි කතා / හොරු ඇවිත්

හොරු ඇවිත්

2017-12-14 10:02:00       236
feature-top
“තාත්තේ.
“තාත්තේ. තාත්තේ”
පියසිරි නින්දෙන් නැගිට්ටේ පුතුගේ ඇමතීමෙනි. තද නින්දක සිටියද, ඇහැරීමත් සමඟ දැන් මැදියම් රැයත් ඉකුත්ව ගොස් ඇතැයි ඔහුට සිතිණි.
“ඇයි පුතේ.. මොකෝ.. මොකෝ...?” ඔහු ඇසුවේ කලබලයෙනි.
“කෑගහන්න එපා තාත්තේ. හෙමින් හෙමින්” පුතු කනට කර කෙඳිරීය. ඔහු අත ඇති ජංගම දුරකතනයේ බල්බය දැල්වෙනු පියතිස්ස දිටීය.
“මොකද වෙලා තියෙන්නේ? අම්මගේ ප්‍රෙෂර් වැඩිවෙලාද?”
“නෑ. නෑ එහා ගෙදරට හොරු ඇවිල්ලා”
“හොරු ඇවිල්ලා? එහා ගෙදර කිව්වේ...”
“අර ජයසිංහලය ගෙදරට...”
“අපොයි දෙයියනේ. කොහොමද දන්නේ?” පියසිරි හනිහනිකට ඇ‍ඳෙන් බැස්සේ බුරුල්ව තිබූ සරම ඉෙණ් දවට ගනිමිනි.
“අඩි සද්දයක් ඇහෙනවා.”
“යමු බලන්න”
පියසිරි ඇඳ යටට එබී විදුලි පන්දම අතට ගන්නට සැරසිණි.
“එපා එපා ටෝච් එක ගහන්න එපා”
“හ්ම්... එහෙනම් යමු බලන්න”
පුතා ජංගම දුරකතනයේ බල්බය ටීෂර්ටය කෙළවරකින් වසා ගත්තේය. දැන් ඉන් නිකුත්වන එළිය පෙනෙන්නේ යන්තමිනි. පියසිරි පුතු පිටුපසින් සෙමෙන් සෙමෙන් උඩු මහලට ගමන් කළේය. උඩු මහලේ සාලයේ පිටුපසට වන්නට උසින් හා පළලින් වැඩි ජනේලයක් ඇත. එහි සිට බැලූ විට ජයසිංහලාගේ ගෙදර හොඳින් පෙනේ.
පිය පුතු දෙපළ එතැනට යනවිට බිරිඳ විමලාත්, දියණියන් දෙදෙනාත් ජනෙල් තිරය මඳක් ඈත් කර ඊට එබීගෙන සිටිනු පෙනිණ.
“මොකෝ වෙලා තියෙන්නේ?” පියසිරි ඇසීය.
“අරුන්ගේ ගෙදරට හොරු පැනලා” අඳුර නිසා පියසිරිට බිරිඳගේ මුහුණ නොපෙනුණ ද මේ මොහොතේ ඇගේ මුහුණේ ප්‍රබෝධමත් පෙනුමක් ඇති වග ඇගේ කටහඬින් ඔහු හඳුනා ගත්තේය.
ජයසිංහ වසර දෙකකට පමණ පෙර පිටුපස ඉඩම මිලට ගෙන මාස හයකට පමණ පෙර පදිංචියට ආවේය. දෙමහල් නිවසේ උඩ කොටස තවම ඉදිවෙමින් පවතින අතර බිම් මහලේ ඔවුහු පදිංචිව සිටියහ. ජයසිංහ සමඟ ඔහුගේ බිරිඳ හා තරුණ දියණියන් දෙදෙනාද වූහ. ඔහු කුමක්දෝ සංස්ථාවක සැපයීම් නිලධාරියාය. පියසිරි ඔහු හා ඇයි හොඳයියක් නැතත් ඉඳහිට මගතොට හමුවූ විට අහක බලාගත්තේ නැත.
ඔවුන් පදිංචියට පැමිණි දා සිට බිරිඳ ගේ හිත හොඳ නැත. ඇය ඔවුන්ගේ මොනවා හෝ වරදක් දකී. බිරිඳ ගේ මේ පුරුද්ද දියණියන් දෙදෙනාට ද බෝවී ඇති වග පියසිරිට රහසක් නොවීය. ඔවුන් වැඩිපුර වැරදි දැක්කේ ජයසිංහගේ බිරිඳ ශාන්ති ගේ ය. එහෙත් එසේ වරදක් දැකීමට තරම් ශාන්තිගේ වරදක් සිදුව නැති වග පියසිරිට පැහැදිලිය. ගෑනුන්ගේ හැටි ඔහොම තමයි. ඉරිසියාව. පියසිරි සිතීය.
“පොඩ්ඩක් කන්දීගෙන ඉන්න” විමලා පියසිරි ගේ කනට ළංවී මිමිණුවාය. ඔහු ජනෙල් තිරය මඳක් විවර කර ජයසිංහ ගේ ගේ දෙස බැලීය. පැහැදිලිව කිසිවක් පෙනෙන්නේ නැත. හද්දා කරුවල පමණය.
“අන්න අන්න තාත්තේ අඩි සද්දයක් ආව”
ඒ කීවේ වැඩිමහල් දියණියයි.
“මට නම් ඇහුෙණ් නෑ.”
“මොකද අනේ නැත්තේ? මටත් ඇහුණා.” බිරිඳ කීවාය.
“හරි එහෙනම් අපි ජනේලේ ඇරලා ටෝච් එක ගහමු. එතකොට හොරු පැනලා දුවන්නේ නැතෑ”
“ඔයාට පිස්සුද?” බිරිඳ කඩා පැන්නාය. අන්තිමට හොරු අපි එක්ක වෙර බැඳීවි උන්ගේ හොරකම කරගන්න දුන්නේ නෑ කියලා. මතක නැති වුණාද මේ ගෙදර කෙල්ලෝ දෙන්නෙක් ඉන්න විත්තිය.
* එහෙනම් මම ඉස්සරහ ගෙදර සුමනෙට කෝල් කරල කියන්නම්. ඌ ඕන එකකට ඔට්ටු එකානේ.”
“එපා. එපා ඕන නෑ”
“එතකොට ඔයා කියන්නේ හොරුන්ට ඕන දෙයක් කරගන්න දීලා බලා ඉන්න කියලද?”
“ඔව්. අපිට මොකදට අනුන්ගේ දේවල්?
පියසිරි යළි ජනේලයට මුහුණ ළං කළේය. ඉන්පසු අගුල කරකවන්නට සැරසිණි.
“ඔයාට පිස්සුද මනුස්සයෝ. සද්ද කරන්න එපා. උන්ට ඇහේවි.”
“අන්න තාත්තේ සද්දයක් ආවා. ඒ ආවෙ ගරාජ් එක පැත්තෙන්. ගරාජ් එකේ තාම දොරවල් ගහල නෑනේ. ෂුවර් එකටම ස්කූටිය උස්සන්නයි යන්නේ.” ඒ හඬ පුතාගේ ය.
“මම නම් හිතන්නේ බයික් එක නෙවී පුතේ කාර් එක ගෙනියාවි. කී ලක්ෂයක්ද?” බිරිඳ කතාවට හවුල්වන හඬ පියසිරිට ඇසිණි.
“ඇයි ජයසිරිලා පිංකම් ගෙදර ගිහින් තියෙන්නේ කාර් එකේ නෙවීද?” පියසිරි බිරිඳගෙන් විමසීය.
“නෑ නෑ මං බලාගෙන හවස කට්ටියක් පුරෝගෙන වෑන් එකක් ආවා. මේ ගොල්ලොත් ඒකේ නැගලා ගියා”
“ඔයා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ මේ ජනේලේ ළගට වෙලාමද ඉන්නේ?”
පියසිරිට එසේ ඇසීමට සිතුණද ඔහු ඇසුවේ නැත. විමලා පියසිරි පසෙකට කර යළි ජනේලයට ඇහැ තිව්වාය.
“ආ. පුතේ. කාර්වල සයිඩ් කණ්ණාඩි හරි ගණන්ලු නේද? මං දැක්කා ඊයෙත් ප්‍රවෘත්තිවලට පෙන්නවා. මේ ටවුන් එකේ නවත්තලා තියෙන කාර්වල සයිඩ් කණ්ණාඩි සුටුස් ගාල ගලවගෙන යනවා”
විමලා කීවේ ජනෙල් රෙද්ද තවත් මඳක් ඈත් කරමිනි.
“ඇයි අර කාර්වල නම ගහල තියෙන නිකල් ප්ලේට් එහෙමත් ගලවගෙන නලු නේද?”ලොකු දුව ඇසුවාය.
“ෂුවර් එකට ම එහෙනම් ඒවත් ගලවාවි.”
බාල දියණියගේ හඬ ප්‍රබෝධවත් ය.
“මම නම් හිතන්නේ ස්කූටිය ගෙනියන්න හදනවා”
“මේ අපි මෙහෙම ඉන්න එක හොඳ නෑ නේද? තරහකාරයකුට වුණත් විපතක් වෙද්දි අහක බලන එක වැරදියි. මම සුමනේ අඬ ගහගෙන ඒ පැත්තට යනවා. කෝ ගන්න ඔය ටෝච් එක.”
පියසිරි කීවේය.
“විකාර කරන්න එපා මනුස්සයෝ. උන් එකෙක් ඔය කරුවලේ ඉඳගෙන පොල්ලකින් ඔළුවට පත බෑවොත් කාට කියන්නද? මම නම් කියන්නේ ඕකුන්ට ඔහොම වෙන්නම ඕන අර ගෑනිගේ රැස් බහින්නත් එක්ක.”
මෙතෙක් රහස් හඬින් කතා කළ බිරිඳගේ හඩ දැන් පෙරට වඩා වේගවත් යයි පියසිරිට සිතිණි.
“මහ ගෑනි විතරක් නෙවී. දූලත් එහෙමයි. අර පොඩි එකී හරි සක්කර වට්ටම. මම දැන් දවස් දෙකක් දැක්ක කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.”
ලොකු දුව කීවාය.
“උඹ යනව එහෙම නෙවෙයි ප‍ුතේ උන් එක්ක කතාවට.”
බිරිඳ ජනේලයෙන් මෑත් වෙමින් කියද්දී පියසිරිට ශබ්දයක් ඇසිණි.
“අන්න සද්දයක් ආවා. අපේ ගේ පිටිපස්සෙන්ද?” පියසිරි ඇසීය.
“ඔයාට පිස්සුද? මට නම් ඇහනේ අරුන්ගේ ගේ පිටිපස්සෙන්. ඕකුන් ගේ වටේටම දාලා තියෙන්නේ අර සී.එෆ්.එල්. බල්ම් නේද? ඔය ටික ගලවගෙන ගියොත් හොඳ ගානක් ගත හැකි.”
විමලාගේ කට හ‍ඬේ යළි ප්‍රබෝධවත් බවක් තැවරී ඇති වග පියසිරිට දැනිණ.
“අන්න ආපහු සරාස් ගාලා සද්දයක්...”
“හරි. මම දැක්ක ගේ පිටිපස්සේ බංකුවක් තියෙනවා. ෂුවර් එකට ම බංකුව ගන්න ඇති බල්බ් ගලවන්න.”
“හොරුද? එහෙම නැත්නම් හරකෙක් වත්තට පැනලද? මට නම් ඇහු­ෙණම කොළ පොඩි වෙන සද්දයක්.” පියසිරි කීවේය.
“මොන හරක්ද? ඉස්සරහින් තාප්පෙ බැඳලා. තුන් පැත්තකින් කම්බි ගහලා. හරකෙකුට එන්න පුළුවන්ද?”
“මට නිදිමතයි. මම යනව නිදාගන්න.”
පියසිරි බිත්තියට හා ඇඳන්වලට අත තබාගෙන කාමරයෙන් පිටවීමට සැරසෙද්දී පුතා දුරකතනයේ බල්බය දල්වා පියා වෙතට එල්ල කළේය.
පියසිරි ඇ‍ඳේ ඇලවිය. අඩහෝරාවක් යන්නටත් කලින් ඔහුට නින්ද ගියේය. ඔහුට යළි ඇහැ ඇරුණේ සුපුරුදු ලෙස උදෑසන මුළුතැන්ගේ දෙසින් ඇසෙන බිරිඳ උයන පිහන හඬිනි. පියසිරි වීදුරුවට වතුර එකක් ගෙන මුළුතැන්ගෙයි උළුවස්ස අසලට ගියේය.
“මොකද දන්නේ අර පැත්තේ තොරතුරු?”
“වෙන මොන වෙන්නද? එළියේ පහලියේ තිබුණු දේවල් ඔක්කොම උස්සගෙන යන්න ඇති. එක අතකට ජයසිංහලට ඕක කූඹියෙක් කාපු තරමටවත් දැනෙන එකක් නෑ. මොකෝ දුක් මහන්සිවෙලා හම්බු කරපු සල්ලිද? හොරකම් කරපුව නේ.”
විමලා ගෑස් ළිපේ එළිය මඳක් වැඩි කරමින් කීවාය.
ඊළඟ හෝරවේ සියලු දෙනා ගෙදරින් පිට වූහ. සැඳෑ කළුවර සිරුරේ දවටාගෙන පියසිරි ගෙදර ආවේය. ඇඟපත දොවාගෙන මුළුතැන් ගෙට ගියේ සුපුරුදු ලෙස ඒ වෙලාවට බිරිඳගෙන් ලැබෙන ඉඟුරු මිශ්‍ර උණු තේ එක අපේක්ෂාවෙන්. ජයසිංහගේ නිවසේ විදුලි බුබුළු දැල්වෙනු ඔහු දුටුවේය. ජයසිංහලාට අමතරව තවත් දෙතුන් දෙනෙකුගේ උස් කටහඩ හා සිනාවද ඔහුට ඇසිණ.
“ජයසිංහලා ඇවිල්ලා වගෙයි.” පියසිරි බිරිඳ දෙස බලා ඇසීය.
“ඔය ආවෙ...”
“මොකේ දන්නේ නෑ ඊයේ හොරු ආපු එක?” ආරංචියක් නැත්ද?”
”හොරුන්ටත් උන්ගෙ දේවල් පේන්නේ නෑ.”
“ඒ කිව්වෙ? මොනවත් ගෙනහිල්ලා නැද්ද? බල්බ් ටික නම් ඔය යස අපූරුවට පත්තු වෙන්නේ” යි කී පියසිරි ඇඟිලිවලින් ඉස්සී කෙටි තාප්පයට ඉහළින් ජයසිංහ ගේ නිවස දෙස බැලීය.
“ආ අර බයික් එකයි කාර් එකයිත් තියෙන්නේ”
“ඔව්. ඒව නම් තියෙනවා. පිටිපස්ස ගහේ තිබුණු අපේ කෝලිකුට්ටු කැන තමයි නැත්තේ.”


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »