Home / කෙටි කතා / හැරයැම

හැරයැම

2017-12-11 10:55:00       657
feature-top
සුදු පුළුන් කැටි සතර අත පාවෙන සැටි මට පෙනේ. කිසිදු හෙලවීමක්‌, ගැස්‌සීමක්‌ නැතිව ගුවන් යානය පුළුන් වලා කපාගෙන යන බව කුඩා ජනේලය තුළින් සිතාගත හැකිය. සුදු පුළුන් වන් වලාකුළු මැද වර්ණවත් දේදුන්නක්‌ ද යාන්තමින් පායා ඇත. ගුවන් සේවිකාව වරින් වර මද සිනා ඇතිව එහා මෙහා යන සැටිත් මා අසල සිටින මුස්‌ලිම් ජාතික කාන්තාවක්‌ යෑයි සිතිය හැකි මැදිවියේ කාන්තාව ඇතුළු මගීන් බොහෝ දෙනකු මද සීතල මැද නින්දට වැටී ඇති සැටිත් මට පෙනේ. ඇත්තටම මා මේ යන ගමනෙහි අරුත කුමක්‌ද?

මා ඉදිරියේ ඇති කුඩා මේසය මත ඇති රතු වයින් වීදුරුව බීමට පවා උනන්දුවක්‌ දැන් මට නැත. පැහැදිලි රතු පාට වයින් තුළ මගේ කළකිරීම සැඟවිය හැකි නොවේ. කෙසේ වුවත් ලන්ඩනයේ සිටින මගේ බිරිඳ හා දරු දෙදෙනා වෙත මා ළඟා වූ පසු ඒ සියල්ල අමතක කිරීමට හැකිවේ යෑයි මට සිතේ. රටට ඇති ආදරය නිසාම තනිවම ශ්‍රී ලංකාවේ සිටි මට දැන් හිත හදාගෙන යා හැකිය. අවුරුදු හතරක්‌ කල් තිබියදී විශ්‍රාම ගැනීමේ ලියවිලි භාරදීමට හැකි වීම මහත් ශෝකයක්‌ ද සැනසිල්ලක්‌ ද ඇති කරමින් හද රිදුම් දෙයි.

මා මාර්ග නීති හා ප්‍රවාහන කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් ධුරයට පත් කරන විට මගේ පරිපාලන සේවාවේ ශේ්‍රණියට වඩා පහළින් සිටි අය එබඳු තනතුරු රැසක්‌ හොබවමින් සිටීම මට කිසිදු ගැටලුවක්‌ හෝ පසුතැවීමක්‌ වූයේ නැති බව මට සිහි කළ හැකිය. කවුරුන් හෝ පසුපස ගොස්‌ තනතුරු ලබා ගැනීමට වඩා ලැබූ තනතුරු හොඳින් හා අවංකව කිරීම මට මහත් ප්‍රීතියක්‌ හා සහනයක්‌ වූ බැවිනි.

මා වැඩ භාරගත් පළමු දිනයේම පරිසරය මට නොගැලපෙන බවක්‌ පෙනුණද, ඒa බව නොසිතාම සතුටින් වැඩ ඇරඹූ බව මට මතකය. එදින පැමිණ සිටි ලොකු කුඩා සියලුම දෙනා රැස්‌වීම් ශාලාවට කැඳවා ආයතනය ගැන පිටස්‌තර අයගේ ඇති අප්‍රසන්න අදහස්‌ නැති කරගත හැකි අන්දම මම පහදා දුනිමි.

"මා මේ තනතුරේ වැඩ භාරගන්නේ මෙහි දැනට ඇති වටපිටාව ගැන හොඳ අවබෝධයක්‌ ඇතිව. මේ අය හැම දෙනාම වැරදි කරනවා කියලා මා කියන්නේ නෑ. ඒත් ටික දවසකින් තීරණය කරලා වෙනස්‌කම් කරන්න මට සිදු වේවි. ඒක පරිපාලනය අලුත් කිරීමේ මාර්ගයක්‌ විදියට. කොහොම වුණත් ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයක්‌, ගැටලුවක්‌ අහන්න මං සූදානම් බව කියන අතරම මෙතන එන අයට වඩාත් ඉක්‌මණින් ප්‍රශ්න නැතිව තමාගේ වැඩ කර ගැනීමටත්, ආයතනයට ගෞරවනීය නමක්‌ ලබා ගැනීමටත්, මට ඔබ හැමගේ සම්පූර්ණ සහයෝගයද මං බලාපොරොත්තු වෙනවා."

සහයෝගය.... බලාපොරොත්තුව....ගෞරවය.... සතියක්‌ ගෙවෙද්දී බොහෝ මේසවල, කවුන්ටරවල හිටි සේවක සේවිකාවෝ ක්‍රියා කරන අන්දම අපූරුවට මට පෙනිණ. ඉඳහිට කාර්යාලය පුරා ඇවිදින්න යද්දී බාගෙට ඇරුණු ලාච්චු ටක ටක හඬින් වැසෙනවාද ඇසිණ. සමහර අයගේ කාර්යාලයීය බෑග් එක බාගෙට කට ඇරලා මේස ළඟ තිබුණේ මේකට කීයක්‌ හරි දාපං කියලා කියනවා වගේ.

ඉහළින් ඉන්න නිලධාරීන් කීප වරක්‌ රැස්‌ කර කළ යුතු වෙනස්‌කම් පරිස්‌සමින් කරන්න උපදෙස්‌ දෙනු ලැබුවත් සාර්ථක නොවුණු බව සිද්ධි කීපයකින්ම මට පැහැදිලි විය.

"මල්ලී" දිනක්‌ පාලි අක්‌කා මගේ කාමරය අසලටවිත් කතා කරන විට මට ඇති වුණේ පුදුමයකි.

"මොකද පාලි අක්‌කා අද මේ පැත්තෙ."

"මං කීප දවසක්‌ම ආව මීට කලින්, පොඩි වැඩකට පුතා කාර් එකක්‌ ගත්තනේ - ඒකෙ වැඩ ටික කරගන්න."

"ඇයි ඉතින් මාව හම්බ වුණේ නැත්තේ."

" නෑ මල්ලී, දවස්‌ දෙකක්‌ මල්ලී අමාත්‍යාංශයේ මීටිංස්‌වලට ගිහින්. එක දවසක්‌ මල්ලී මෙතන තව ඔෆිසර්ස්‌ලා දෙන්නෙක්‌ එක්‌ක ලොකු වැඩක්‌. මමත් ඉස්‌කෝලෙ රාජකාරි කරලා තියෙනවනේ. මං බාධා නොකර මගේ වැඩේ කර ගත්තා. ඒකට කමක්‌ නෑ මල්ලී." පාලි අක්‌කා නොනවත්වා කියාගෙන ගියාය. විශ්‍රාමලත් ගුරුවරියක වූ ඇය මගේ පුංචි අම්මාගෙ දුවය. මගේම වැඩිමහල් සහෝදරියක්‌ වැනි වූ ඇයට උදව්වක්‌ කිරීමට නොහැකිවීම මගේ පසුතැවිල්ලට හේතු විය.

"අක්‌ක වැඩේ කරගත්තද" මම හෙමින් ඇසුවේ තත්ත්වය දන්නා නිසා ලඡ්ජාව සඟවා ගෙනය.

"වැඩේ නම් කර ගත්තා. ඒත් මට මල්ලීට යමක්‌ කියන්න තියෙනවා" ඇය මගේ මේසය මත තිබූ වීදුරු බෝලයක්‌ ගෙන හෙමිහිට රවුමට කරකවමින් හඬ නොනැඟෙන ලෙස කීවාය. ඇය මේසය අසලටම පුටුව ළං කර ගත්තාය. කාර්යාලය පුරා එහෙ මෙහෙ ඇවිදින බොහෝ අය තමාගේ කාර්යයන් ඉටු වන තුරු නොඉවසිල්ලේ සිටින බව මට තිරපටින් නොවැසී ඇති මගේ කාමරයේ වීදුරු ජනේලයෙන් පෙනේ.

"මොකද අක්‌කේ." මට ඇති වූයේ කුතුහලයකි.

"නෑ මං කියන්නමයි හිටියේ මල්ලී, රජයේ සේවයේ හිටි කෙනෙක්‌ විදියට මේ වැරදි බල බලා නිහඬව ඉඳීමත් ඒවාට අනුබල දීමක්‌ විදියටයි මං දකින්නේ. මං කීප දවසක්‌ම ආවා. එක එක ඕනෑ කං කියනවා. අරක ගේන්න. මේක ගේන්න. කිය කියා. කවදාවත් මං කිව්වේ නෑ මල්ලී ගැන. තුන්වන දවසේ අර එහා පැත්තේ ඉන්න ටිකක්‌ මැදිවයසේ එක්‌කෙනා පුතාගේ අත්සනේ වැරැද්දක්‌ කියන්න ගත්තා. මං බෑග් එකේ වෙනම දාගෙනම ආව රුපියල් පන්සීයෙ නෝට්‌ටුවක්‌. මං ඒක අරගෙන මේස උඩ එයා ඉස්‌සරහා තියලා "ආ දැන්වත් මේක කරලා දෙන්න කිව්වා" මිනිහා ටිකක්‌ ගැස්‌සුනා. මගේ මූණ දිහා ලැඡ්ජාවෙන් බැලුවා. මිනිහ හිතුවේ නෑ මං වගේ ගෑනු කෙනෙක්‌ ඒක කරාවි කියලා. එදාම වැඩේ කරලා දුන්නා."

මට ඇයගේ මුහුණ බැලීමට බැරි තරම් ලඡ්ජාවක්‌ දැනුණි. මේ මගේ කාර්යාලයද? මගේ ඔලුවට අත හෝදමින් මාව ගොනාට අන්දවමින් සිටින මේ කාලකණ්‌ණි හැත්තට විලි ලැඡ්ජාවක්‌ නැද්ද? විදුලි පංකාව කැරකැවී මගේ හිස මත කඩා වැටෙතැයි මට මහත් බියක්‌ සැනෙන් ඇතිවිණ.

දින දෙක තුනකට පසු මගේ විශ්වවිද්‍යාල මිතුරෙකු වූ අද දක්‌වාම මිතුරුදම් ඇති කරූ මගේ කාමරයට එනතුරුම මම නුදුටුවෙමි. "විඡේ මං ආවේ මගේ වයිෆ්ගෙ නමට ගත් කාර් එකේ පොඩි ලියවිලිවල වැඩක්‌ කරගන්න." ඔහු මගේ මේසය ඉදිරිපිට තිබූ පුටුව ඇද එහි අසුන් ගනිමින් කීවේය.

"කෝ දෙන්න මට ඇප්ලිකේෂන් එක. මං නෝට්‌ එකක්‌ ගහලා දෙන්නම්."

"නෑ විඡේ මං කලින් දාක ආවා. අර රෙජිස්‌ටර් කරන කවුන්ටරේ ළඟ විනාඩි 45 ක්‌ විතර හිටියා. එදා ඔයා හිටියෙ නෑ. කමක්‌ නෑ කියලා මාත් හිටියා. හරියටම 12.29 ට එතන හිටපු ගර්ල් කවුන්ටර් වැහුවා. වෙලාව ඉවරයි කියලා. ඊළඟට හිටියෙ මම. තව හිටියෙ මාත් එක්‌ක තුන් දෙනයි. ගණන්වත් ගත්තේ නෑ. කවුන්ටරේ වහලා පුටුවෙන් නැගිට්‌ටා. මට මාර තරහයි.

මම කිව්වා 'තව විනාඩියක්‌ තියෙනවනේ. පැයකට කිට්‌ටු වෙන්න අපි මේ ඉන්නෙ. දැන් ඉන්නෙ තව තුන්දෙනයි. ඒ විනාඩියෙ අපි තුන්දෙනාගෙ නම් එන්ටර් කරනවා' කියලා. මං කෑගැහැව්වා. ඒ ගමන බය වෙලා පොත අරගෙන ලිව්වා. අහිංසක මිනිස්‌සුන්ට මුං කොහොම කරාවිද විඡේ." කරූ මං දෙස බලාගෙන කීවේය.

"රජයේ නිලධාරීන් හොරු. ආණ්‌ඩුවෙ ඔෆිස්‌වල වැඩක්‌ කරන්නෙ නෑ. හරි ප්‍රමාදයි කියලා හැමෝම කියන්නෙ පුරුද්දට වගේම, යම් යම් අත්දැකීම් නිසා. ඒ මුං වගේ ටික දෙනෙක්‌ හින්දා. මෙතන ගොඩගන්න හැටි මං දන්නවා. මට යන්න වේවි. ඒත් කමක්‌ නෑ මං කරනවා. රජයේ සේවය ගැන මිනිස්‌සු තුච්ඡ විදියට කතා කරන්නෙ මුං වගේ හොරු ටිකක්‌ නිසා. හොඳ රජයේ සේවකයන්ව සාමාන්‍ය ජනතාවට හමුවෙනවා අඩුයි. ඒ තැන් මිනිස්‌සුන්ගෙන් ඈත තැන්. මේ වගේ තැන්වලටයි දක්‌ෂ අවංක මිනිස්‌සු දාන්න ඕනෑ. මට ඔය ටික කියපු එක හොඳයි. ළඟදීම මං තීරණයක්‌ ගන්නවා."

කරූ තමාට අවශ්‍ය ලියවිලි සකස්‌ කරගෙන යන්න ගියේය. අප වැටුප් ගන්නේ මේ රටේ මිනිසුන්ගේ බදු මුදලින් බව සිතන්නේ කීයෙන් කී දෙනාද? මානව ප්‍රේමය හදවතේ ඇති කිසිවෙකුට හෝ ඒ වගකීම්වලින් මිදිය හැකිද? දේශපාලන බලවතුන්ගේ පිහිටෙන් ඉහළ තැන්වල ඇති තනතුරුවලට පත්ව යන බොහෝ දෙනෙක්‌ අමතර ආදායම් ද උපයමින් තමාගේම ගෞරවනීය සේවයේ වසුරු තවරති. එන්න එන්නම දූෂිත වන මේ තත්ත්වය දේශපාලන මුක්‌කු නිසා කවදාවත් හදන්න බැරි වේවිද? සහතික පත්‍ර සුදුසුකමුයි. පන්දමයි තිබුණොත් ඕනෑම නිවටයෙකුට ඕනෑම තනතුරක්‌ ගන්න පුළුවන් රටක්‌නෙ මේක. මේ තත්ත්වය අඩු තරමින් මෙතැනවත් නිවැරදි කරනු සඳහා මා ඉක්‌මන් තීරණයක්‌ ගත යුතුය. මට මගේ පියාගේ රාජකාරි කාලය සිහිපත් වේ. අවංක සේවය නිසා ඔහු මොන තරම් බාධක ජීවිතය පුරා උසුලාගෙන ගියේද? මගේ ඉරණමද එසේ විය හැකිය. කමක්‌ නැත. මම තීරණය ගතිමි.

පසු දින අවුරුදු ගණන් එක තැන පල්වුණු ලිපිකරුවන් පහළොවක්‌ පමණ දෙපාර්තමේන්තුව ඇතුළතම වෙනත් තැන්වලට අනුයුක්‌ත කර, වහාම විෂයයන් වෙනස්‌ කළෙමි. ප්‍රධාන ලිපිකරු වහාම ක්‍රියාත්මක වන පරිදි පරිපාලන අමාත්‍යාංශයට ගන්නා ලෙස ලිතව දැන්වීමි. මා කලින් සිටි දෙපාර්තමේන්තුවේ දක්‌ෂ අවංක ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙකුට කතා කර බලෙන් මෙන් ඔහුව මෙහි ප්‍රධාන ලිපිකරු ලෙස දැමීමට කැමැත්ත ලබා ගත්තෙමි. මගේ ඔළුවේ බර භාගයක්‌ බිම තැබුවාක්‌ මෙන් විය.

දෙපාර්තමේන්තුව ඇතුළත කසු කුසු නැඟෙන බව ආරංචි විය. එහෙත් දෙසතියකට පමණ පසු මට දකින්නට ලැබුණේ අලුත් වෙනසකි. මේසවලට හා පරිසරයට පිරිසිදු පෙනුමක්‌ ලැබී තිබුණි. අනවශ්‍ය පරණ ලිපි ගොනු ඉවත් වී පෝලිම් අඩු වී දවල් 1.00 පමණ වන විට මහජනතාව නැත්තටම නැති තරමට වැඩ ඉක්‌මන් වී තිබුණි. තරුණ ලිපිකාරිනියන්ගේ මේස මත මල් පෝච්චි ද සමහර විට මට පෙනේ. මට මහත් තෘප්තියක්‌ සතුටක්‌ ඇති විය. මා යමක්‌ කළා යයි තෘප්තියක්‌ මට දැනිණ. සේවය ලබා ගැනීමට එන බොහෝ මිනිසුන්ගේ වෙහෙසකර මුහුණු දෙස මට දැන් අවංකව බැලිය හැකිය.

එදින බදාදා දිනයකි. කාර්යාලය අවසන් වී ලිපි ගොනු කීපයක්‌ බලා රියෑදුරුව නිදහස්‌ කර නිවසට යැමට පිටත් වීමි. වත්තල ප්‍රදේශයට රථය ළඟා වන විට අනුරාධපුරයේ සේවය කරන මගේ මිතුරු නිමල් රාත්‍රි 10.00 ට ඇති ගුවන් යානයෙන් විදේශගත වීමට අප නිවසට එන බව කියා තිබූ බව මට සිහිපත් විය. මම වෙලාව බැලුවෙමි. එහි ප.ව. 6.30 සටහන් විය. ඔහු එන්නේ වාහනය සමඟ රියෑදුරු ආපසු යෑවීමටය. මා ඔහු ගුවන්තොටුපළට ඇරලවිය යුතුය. මම රථයේ වේගය වැඩි කළෙමි. ජාඇල පසු කර යන විට පොලිස්‌ නිලධාරියෙක්‌ පාරට අත දමනු මට පෙනුණි. මම වහාම තිරිංග පාගා රථය නැවැත්වීමි. පොලිස්‌ නිලධාරියා මා ළඟට පැමිණෙන අතර, තවත් වෑන් රථයක්‌ මා පසු කර ඉදිරියට ගොස්‌ බොහෝ ඈතින් නවත්වනු ද මට පෙනිණ.

"දන්නවද කොයි තරම් වේගෙන්ද ආවෙ කියලා" රථයේ වීදුරුව පාත් කළ විට නිලධාරියා අකාරුණික හඬින් මගෙන් ඇසීය.

"වෙන්න ඇති. සමාවෙන්න. මට හුඟාක්‌ හදිසි ගමනක්‌ යන්න තියෙනවා." කී මම මා කවුදැයි යන්නද හඳුන්වා දී හැඳුනුම්පත ද දුන්නෙමි.

"කෝ දෙන්න බලන්න ලයිෂන් එක."

short1මම සාක්‌කුවට අත දමා රියෑදුරු බලපත්‍රය සෙවූමුත් එය නොවීය. කාර්යාලයීය බෑගයේද බැලුවෙමි. එය නොවීය. මට මහත් අසීරුතාවක්‌ දැනුණි. කාර්යාලයේ මේසයේ උඩ ලාච්චුවේ අද උදේ එය තැබූ බව මට සිහි වූයේ එවිටය.

"ලයිසන් එක ඔෆිස්‌ එකේ දාලා ඇවිත්. මං අවශ්‍ය නම් ඒක හෙට ඉදිරිපත් කරන්නම්."

"ඒකනේ කියන්නේ මහත්තයො· නීතිය ගැන කතා කරනවා වගේම නීති රකින්නත් එපායෑ. ඕක තමා නීති ගැන කතා කරන අයම තමා නීති කඩන්නෙ. හරි නම් දඩයක්‌ ගහන්නත් ඕනෑ. ඒත් කමක්‌ නෑ යන්න. හෙට පොලිසියට ලයිසම පෙන්නන්න." මම ඔහුට ස්‌තුති කර මෝටර් රථයට නගින විටද ඔහුගේ කතාවේ සරදම ගැන ඇති වූයේ පිළිකුලකි. ඔහු මා ගැන කලින් දැන සිටියාද? ඔහු වැනි කෙනෙකුට අප වැනි අයට එසේ කීමත් සතුටක්‌ ඇතිවනු ඇතැයි සිතීම හැර වෙනත් යටි අරුතක්‌ මට නොදැනිණ.

මෙම සිද්ධිය වී දෙවන දින උදැසන මා කාර්යාලයට ගියා පමණි. දුරකථනය නාද විය.

"හලෝ විඡේ ද?"

"ඔව්."

" මං මිනිස්‌ටි්‍රයෙන් සෙනෙවි. විඡේ දැක්‌කද අද පත්තරේ."

"නෑ ඇයි. මං තාම බැලුවේ නෑ."

"විඡේ ගැන ලොකු නිවුස්‌ එකක්‌. එඩිටෝරියල් එකතුත් ලියලා."

"මොකක්‌ ගැනද?"

" මාර්ග නීති කැඩීමක්‌ ගැන" මට චිත්‍රයක්‌ සේ සියල්ල සිහිපත් විය. මා අතිරේක ලේකම් සෙනෙවිරත්නට ස්‌තුති කර ඉක්‌මණින් පුවත්පත ගෙන්වා ගෙන බැලීමි. ජාතික පුවත්පතක පළමු පිටුවේම දෙවන ප්‍රවෘත්තියට හිමිතැන. විනාඩි පහක මගේ සුළු සිදුවීම· මරණයක්‌, තුවාල වීමක්‌, අනතුරක්‌ හෝ මාර්ග තදබදයක්‌වත් ඇති නොවුණු සිදුවීමකට දී ඇති ප්‍රසිද්ධිය.

"කොමසාරිස්‌ ජනරාල් මාර්ග නීති උල්ලංඝනය කරයි." යටතේ එය පළ වී තිබුණි. නීති කඩයි කියා දැමීමට වඩා බරසාර වැඩියිනෙ එහෙම බලන අයට කුතුහලය - ත්‍රිල් එක - සියල්ල ලැබෙනවා. එදින පොලිස්‌ නිලධාරියා සඳහන් කළ "නීති රැකීම ගැන නිතර කතා කරන" යන විශේෂණයට සමාන පද එම වාර්තාවටද ඇතුළත්ව තිබීම මා තුළ ඇති කළේ පිළිකුලකි. කර්තෘ වාක්‍යයකුත්· මොන තරම් බරපතළ සිද්ධියක්‌ද? පත්‍ර නොව, පත්‍ර කලාව විකිණෙන හැටි··...

පසු දින මට අපගේ අමාත්‍යාංශය යටතේම ඇති කුඩා දෙපාර්තමේන්තුවක කොමසාරිස්‌ ලෙස මාරු කරන ලිපිය ලැබුණි. අලුත් පත්වීමට යැමට මා මේසය අස්‌පස්‌ කරන විට මාණ්‌ඩලික නිලධාරීන් කීප දෙනකු, අලුත් ප්‍රධාන ලිපිකරු, මගේ ලේකම්වරිය ලෙස සේවය කළ නිපුනිකා සහ තවත් ලිපිකරුවන් පහළොස්‌ දෙනකු පමණ කාමරයට ඇතුල්වනු මගේ දැසේ පටලයක්‌ තුළින් මට පෙනේ. මම හිස ඔසවා බැලීමි. කාමරය පුරා ළෙන්ගතුකම සමඟ නිහඬතාව පිරී ඇත. ආදරණීය දුකකින් මගේ හද සැලිණ.

"සර්, සර් ගැන අපට හරි කනගාටුයි." තරුණ නියෝජ්‍ය කොමසාරිස්‌ පාලිත නිහඬතාව බින්දේය.

"මං ගැන? මං ගැන ඇයි කනගාටු වෙන්නේ."

" නෑ රට ගැන. රටට යන කල ගැන."

ඒ කීවේ ලිපිකරු ලලිත් විය යුතුය. ඔහු අවංක තරුණ කොල්ලෙකි.

"මං ගියාට තව කවුරු හරි මෙතනට එනවනෙ. ඔයාලාගෙ සේවය මිනිස්‌සුන්ට අවංකවත්, දයාවෙන් යුක්‌තවත් ඉටු කරනවා කියලා සතුටු වෙන්න. මටත් ඒ සතුට තියෙනවා."

"සර් දන්නෙ නැතුව ඇති මේක ප්ලෑන් කරලා කරපු වැඩක්‌ සර්." බිඳුනු හඬින් ඒ කීවේ සහකාර කොමසාරිස්‌ කුමාරිය. ඇගේ දැස්‌ දිලිසෙනු මට පෙනේ.

"මොනවා."

"ඔව් සර්, මෙතන ඉන්න දෙතුන් දෙනකුට පාඩු වුණා පසුගිය සති දෙකට. ඒ අය ප්ලෑන් කළා සර් එදා හවස ලාච්චුව අරින කොට සර්ගෙ ලයිෂන් එක තිබිලා නෑ. තිබුණා නම් සර්ට දැක්‌කම ගන්න මතක්‌ වෙනවනේ. ඒ අය ඒක අරං තියලා. පහුවදා උදේම ඇවිත් ලාච්චුවට දාලා. පත්තරෙන්, මිනිස්‌ටර්ගෙ ප්‍රයිවෙට්‌ සෙක්‍රට්‌රිත් අල්ලගෙන මේක කළේ. අපට දුක සර්ට ප්‍රශංසා කරන්න ඕනෑ එකේ වෙච්ච වැඩේට."

"මේ ටික කාලෙට මේකෙ මොන තරම් වෙනසක්‌ වුණාද? ප්‍රමෝෂන් දෙන්න වැඩ කරපු සර්ට කළ දේ. ඒ හොඳ සර්ට එළියෙ ඉන්න මිනිස්‌සු කියයි. අපට දුක සර්ට උඩින් ඉන්න උන්ට මේ ඇත්ත නොතේරෙන එකනේ."

"ඔය ගොල්ලන්ට බොහොම ස්‌තුතියි. මං ගැන හිතනවට. මම මේ දේවල් බලාපොරොත්තු වුණා. ඒත් මට හිතුණෙ නෑ වැඩ කරලා, හරි දේ කරලා. හොරකං නොකර, මේ තරම්ම කැත විදියට නිලධාරියෙකුට සලකන්න උඩ ඉන්න අයට පුළුවන්ද කියලා" මම සෙමින් කීවෙමි.

"සර් වගේ අය හිටියට එයාලට වැඩක්‌ නෑ. මිනිස්‌සුන්ට, රටට වැඩක්‌ කරන්න ඔය කතා කරන කාටවත්ම ඕනෑ නෑ සර්. සර්ව තියාගන්න කතා කරන්නේ, අගය කරන්නේ පහළ ඉන්න අපි විතරයි. මේක හදන්න පුළුවන් රටක්‌ නෙමෙයි සර්."

"හදන්න පුළුවන් හොඳ ඒකාධිපති පාලනයකින්." ඒ ලලිත් විය යුතුය.

"ඔව් සර්, සර් වගේ අයගෙන් අපට ඉගෙන ගන්න හුඟාක්‌ දේවල් තියෙනවා." නිපුනිකාගේත් තවත් අයගේත් ඇස්‌වල කඳුළු මගේ කඳුළු අතරින් මට පෙනිණි.

"ඔව්. ඔයගොල්ලවත් හරි දේ කරන්න ඉගෙන ගන්න. නැත්නම් අපේ පරම්පරාවෙන් පස්‌සෙ මේ රැකිල තියෙන ටිකත් ඉවර වේවි." මම හැමදෙනාටම ආචාර කළෙමි.

අදට ඒ සිදුවීමට හරියටම මාසයක්‌ බව ඉබේටම සිහිවිය. ගුවන් යානය තෙල් ලබා ගැනීමට ඊළඟ ගුවන් තොටුපළට තවත් විනාඩි දහයක්‌ ඇතුළත ළඟා වන බව ගුවන් යානයේ සේවිකාව මිහිරි හඬින් කියනු මට ඇසිණ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »