Home / කෙටි කතා / හතුරෝ

හතුරෝ

2017-12-04 09:26:00       641
feature-top
කරත්තය මාරගස්‌ සෙවණට සේන්දු විය. මිනිස්‌සු එකා දෙන්නා හන්දිය පියමං කර එහාට මෙහාට යති.

මාර ගස යට හැඩි වී තිබේ. එහි අතු රිකිලිs ගැලවී බිම වැටී සී සී කඩය. ඉදී කහ වී වැටුණ මාර කොළ හැම තැනම විසිවී ගොස්‌ය.

.....ඊයේ රෑ හරි හුළං වාගෙ....

ඔහු කරත්ත රෝදයට අඩයක්‌ තැබීය. දෙපා ඇඟිsලි මත සිරුර තබා මඳක්‌ ආයාසයෙන් ඉස්‌සී අගිස්‌ස පාත් වී තිබූ මාර අත්තක්‌ අල්ලාගෙන ඉන් ලොකු රිකිල්ලක්‌ කඩාගෙන අවට බිම අමදින්නට පටන් ගත්තේය.

අසල වැටී තිබූ දිරච්ච මාර අත්තක්‌ අතට ගෙන ඈතට විසි කළේය. අතු ගා එක්‌ රැස්‌ කළ මාරකොළ ගොඩ ඔහු සිය දැතින්ම ගෙන ගොස්‌ වැට අයිනට දැමීය.

"....සර්...අද ඩිංගක්‌ පරක්‌කු වුණා නේද?....ඔන්න හයයි කාල මේ දැන් ගියා..."

කොළඹ වැඩට යන ගුණපාල කරත්තය ළඟ නතර විය.

".....අද ටිකක්‌ පාන්දර නින්ද ගියා...හයයි කාල අල්ල ගන්න තමා දුවගෙන ආවෙ.... හයයි හතළිස්‌ පහේ ගියත් ඇති...."

ගුණපාල ඈතට යනු බලා සිටි පීටර් පනිට්‌ටුව ගෙන ළිඳ දෙසට හැරුණි. වතුර පනිට්‌ටුව ඇලකර මුට්‌ටියට දමා ඔහු ගිනි දැල්වීය.

මඳ වේලාවකින් කරත්තය මුදුනේ කළුවූ ටකරන් තහඩුවට උඩින් නගින දුම්රැලි මාර අතු අස්‌සෙන් නොපෙනී යන්නට විය.

ඇඟමැළි කඩමින් මිනිස්‌සු එකා දෙන්නා කරත්තය ළඟට රොක්‌ වෙයි.

එකෙක්‌ උරහිස දක්‌වා නැමුණු තරමට ගුලිවී හෙමින් හෙමින් කරත්තය අසලට ළංවිය.

"...පීටර් අයියෙ....ප්ලේන්ටියක්‌...."

"....පොඩියක්‌ හිටපංකො කරුණෙ ....වතුර රත්වීගෙන එන්නෙ දැනුයි..."

කරුණේ කරත්තය අසල ඇනතියා ගත්තේය.

පීටර් ඉදුණු කෙසෙල් ඇවරි දෙකක්‌ ගෙන ලණුවක ගැටගසා පියසි කොණක එල්ලීය.

කරත්තය ඇතුළේ කුඩා වීදුරු අල්මාරියකි. එහි බනිස්‌ කීපයක්‌ තැන්පත් කර තිබුණි.

"...අද පාංකාරය තාම නෑ බං කරුණා...."

"ඔය බනිස්‌ කොහෙන්ද?...."ඒවා ඊයෙ ඒවා.....කාක්‌කන්ට...."

"......මොකද ඒ යෝදය අද පරක්‌කු..."

"....අනේ මන්දා....."

ඈතින් හිටගෙන සිටින ගුණපාල සිය ඔරලෝසුව දෙස බලා බසය ඒ දැයි ඈත බලා ඉඳී.

"......අර මහත්තයට නං අද හොඳටම පරක්‌කු වෙනව....පීටර් හෙමින් කියනු කරුණෙද අසාගෙනය.

"....ඒ මහත්තැන් වෙලාවට යන්ඩෙපෑ....ආණ්‌ඩුවෙ රස්‌සා කොරනකොට ඔහොම තමා...."

වඩේ බයිසිකලය වේගයෙන් හඹාගෙන විත් කරත්තය ළඟ නතර කළේය.

".....විසිපහක්‌ දානව...." ඒ පීටර්ගේ හඬය.

වඩේකාරය පිටුපස බැඳ තිබූ පෙට්‌ටිය පියන ඇර වඩේ ගණන් කරමින් පිඟානට අහුරන්නට විය.

"....බස්‌ එක තවත් නෑ නේද සර්..."

"....ඒක නේන්නං පරක්‌කු වෙයිද දන්නෑ...."

ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ පත්තු කරගත් කරුණේ එතැනින් ඉවත්වී යමින් ගුණපාල සමඟ කථාකරන හඬ පීටර්ටද ඇසුනි.

මඳ වේලාවක්‌ ගතවන විට කරත්ත කඩය ළඟට දෙතුන් දෙනා ළඟා වෙති. පීටර්ගේ කාසි කැටයට කාසි වැටෙන හඬද ඉඳහිට ඇසෙයි.

".....බනිස්‌ එකයි...යකෝ පරණ බනිස්‌ද උඹ කෑවෙ ....කමක්‌ නෑ පීටර් අයියෙ..." කෙහෙල් ගෙඩියයි ප්ලේන්ටියයි එක්‌ක....මගෙ ගාණට දාපං මං යනවා...."

එකෙකු කරත්තය වෙතින් ඉවත්වී යමින් කීවේය.

පීටර් ඔහු දෙස හොඳින් බැලීය. බලමින්ම හිසට උඩින් රාක්‌කය අතගා කුණු තැවරුණ පුංචි පොතක්‌ ගෙන පෙරළා සටහන් කොට පැන්සල පොත ඇතුළේම තබා වසා යළි එය තිබූ තැනම තැබීය.

වැඩට යන මිනිස්‌සු එකා දෙන්නා එතැනට ඇදී එති. පීටර් අයිය ඔවුන් සියලු දෙනාටම උදේ තේ සපයයි.

"....මහත්තයට අදනං පරක්‌කු වෙයි...."

ගුණපාල රැගත් බසය හන්දිය පසුකොට වංගුවක්‌ හැරී යද්දී පීටර් තමාටම කියා ගත්තේය.

".....අපට වගේ යෑ....ආණ්‌ඩුවෙ රස්‌සාවල් කරන මහත්තැන් වෙලාවටම යන්ඩ එපායෑ...." කවුදොa පීටර් සමඟ කීවේය.

පාරේ වැඩ කරන අය හැමදාම පීටර්ගෙ තේ පැන් සලට එති. ඔවුහු උදේත් දවාලෙත් සවසත් තේ බොන්නෙ පීටර්ගෙ කරත්තෙ කඩයෙනි.

හිරු රැස්‌ දැඩි වීගෙන එද්දී මාර ගස්‌ සෙවණ සිහිල් වෙයි.

පීටර් ජීවිකාව කරගෙන යන්නේ මේ ආකාරයටය. අඹුදරුවන් පෝෂණය කිරීමට කීයක්‌ හරි හොයා ගන්නේ මේ කරත්ත කඩයෙනි.

ඔහු කාටත් හොඳය. කවුරුත් ඔහු සමඟ හොඳය.

උදේට තරත්තය තල්ලු කරගෙන මාර ගස්‌ සෙවණට සේන්දුවන පීටර් සැÈ අඳුර පැතිරීගෙන එනවාත් සමඟම යළි කරත්තය තල්ලු කරගෙන ගෙදර යයි.

දිනපතාම පාහේ වැඩකරන මිනිස්‌සුත් අහල පහල වැඩකරන වෙනත් අයත් පාරේ යන එන අයගෙන් සමහර මිනිසුනුත් තේ බීමට කරත්ත කඩයට එති.

"....පීටර් අයියගෙන් ප්ලේන්ටියක්‌ බීල යමු..."

එසේ කියමින් ඈත සිට කරත්තය ළඟට එන අය දකින විට පීටර් හිතින් හිනැහෙයි.

short1උදේට දාල යන බනිස්‌ ටිකත් වඩේ ටිකත් පාන් රාත්තල් කීපයත් හැමදාම දහය එකොළහ වනවිට ඉවර වෙයි. බොහෝ දිනවල සවසට පීටර් රසකැවිලි වර්ග කීපයක්‌ම අසල ඇති හෝටලයෙන් රැගෙන එයි. ඒවාත් රෑ බෝ වෙද්දී සියල්ලම පාහේ විකිණී යයි.

තමන්ගේ කඩයට මෙන් ඒ හෝටලයට මිනිසුන් ඇදී නොයනු ඇතැයි ඔහු ඒ වෙලාවේදී සිතයි. එවිට ඔහුගේ සිත එක්‌තරා සැහැල්ලු බවකින් හා සතුටකින් පිරී යයි.

හෝටලයේ මුදලාලි තමන් සමඟ අමනාපයෙන් සිටින බව දිනක්‌ පීටර්ට ආරංචි විය. එය කවුරු හෝ ගෙතූ මුසාවක්‌ යෑයි ඔහු පළමුවෙන් සිතීය.

එහෙත් පස්‌සෙ පස්‌සෙ දිනවල ඔහු කෑම ගේන්න හෝටලයට ගියවිට මුදලාලි අවකැපෙන වචනයක්‌ දෙකක්‌ කියයි.

පෙරදී මේ කතා ඔහු එතරම් ගණන් නොගත්තද දැන් එවැනි කතා කලින් මෙන් නොව ඔහුටම කියන ඇනුම් පද වැනිය.

පීටර් මේ ගැන බොහෝ දිනවල තනියම කල්පනා කළේය. විවේකී වේලාවල ඔහු මේ ගැනම සිතමින් කල් ගෙවන්නට විය.

"....මුදලාලි මං ගැන ඉරිසියාවෙන් වෙන්නැති...හෝටලේට මිනිස්‌සු යන් නැතිවට මං මොනව කරන්නද?....."

පීටර් එසේ සිතමින් මේ සිද්ධිය අමතක කිරීමට උත්සාහ කළේය.

"... පීටර් අයියෙ...ආං....මුදලාලි උඹට බැන්නා....."

දවසක්‌ පාරේ වැඩකරන ලෙස්‌ලි පීටර් සමඟ කීය...." ඒ මක්‌කටද......මට මුදලාලි බණින්නෙ..."

ඔහු කිසිවක්‌ නොදන්නකු සේ ඇසීය.

"...උඹ මුqළු හන්දියම අල්ලන්න යනවලු කියන්නෙ....හැබෑද බං....උඹ හෝටලයට අල්ලපු කඩකෑල්ල කුලියට ගන්න අහල තියෙනව කියල මුදලාලි පුපුරන්නෙ....ඇත්තද? බං......."

"....හතර වරං...කවුද මුදලාලිට හොඳ ලණුවක්‌ දීල.....කොහෙද ඕවට කුලී ගෙවන්න කොහෙ තියෙන සල්ලිද බං අපට....."

".....අනේ මන්ද...ඔන්න ඔහොමලු වෙන්න යන්නෙ....

.....මුදලාලි විතරක්‌ නෙමේ....අර පාන් අදින සිරිසේනත් ඔහොම කතාවක්‌ කියනව මං අහගෙන...."

"....සිරත් මහ පචයනෙ...ඕව ඉරිසියාවට කියන කතා බං..."

තමා ගැන හෝටලේ මුදලාලිත් වෙන මිනිස්‌සුත් දැඩි ක්‍රෝධයකින් පසුවන බවත් මේ ආරංචිය හොර රහසේම කාගෙ කාගෙත් සිත්වල පැසවන බවත් පීටර් නිහඬවම මෙනෙහි කළේය.

"...ඕනෑ දෙයක්‌ වෙච්චාවෙ..."ඔහු සුසුමක්‌ හෙළීය.

ටික දිනක්‌ ගතවන විට මේ පුවත කාටත් රහසක්‌ නොවීය.

"....පීටර් අයියෙ...අලුත් තැනකට යනව නේද?..."

තේ බොන ගමන් එසේ අසන අයත් වූහ. එහෙත් පීටර් ඒ කතාවල හරි වැරදි කියාදීමට ගියේ නැත.

එක දවසක්‌ දහවල් පොලිස්‌ රථයක්‌ විත් aහදිසියේම පීටර් ගේ කරත්ත කඩය ළඟ නතර කළේය.

නිලධාරීන් කීප දෙනකුම එහි සිටි බව ඔහු දුටුවේය.

"...මොකද....යකෝ....රාලහාමිලාත් අද මගෙන් තේ බොන්නද?...."

පීටර් විමසිල්ලෙන් බැලීය.

"පීටර්"

"සර්"

මෙහෙ වරෙන්....

එනව සර්....

ඔහු කඩිමුඩියේම වෑන් රථය දෙසට දිව ගියේය.

"...වහපන් උඹේ ඔය කඩේ....තල්ලුකරගෙන පලයන්....මීට පස්‌සෙ මෙතන කඩ දාන්න බෑ....මේක අපේ නෙමේ...නගර සභාවෙ නියෝගයක්‌....වහපන්...වහපන්.....දැන්මම.. අරං පලයං....හොඳද ....."

".....හොඳමයි සර්.........සර් ඒ උනත් මේක මගෙ ජීවිකාවනෙ...

"....උඹේ කෙහෙම්මල් ජීවිකාව වගෙයෑ අපේ රාජකාරිය...අපට නගර සභාවෙන් කරදර කරනව එලවන්න කියල...පලයන්.....පලයන්..... මෙතැන ඉන්න එපා....."

පොලිස්‌ රථය හෙමින් හෙමින් ඉදිරියටම ඇදී ගියේය.

පීටර් දැවැන්ත මාර අත්තකට උඩින් පෙනෙන හිස්‌ අවකාශය දෙස බලමින් මඳ වේලාවක්‌ කල්පනා කළේය. ඔහුට මේ කිසිවක්‌ සිතාගත නොහැකි විය.

"....මුන්ට මේ අපරාදෙට හෙණ ගහනවා" ඔහු බෙහෙවින් කලකිරුණු ස්‌වභාවයෙන් තොල් මතුළේය.

ස්‌වල්ප වේලාවකින් කරත්තය අස්‌පස්‌කර පීටර් කඩය වසා දැමීය.

බනිස්‌ කීපයක්‌ ගෙන කැබලි කැබලිවලට කඩා මාර ගසේ වසා සිටි කපුටන් වෙතට විසි කළේය.

"...ඉ¹...කාපල්ල....."

ඔහු කරත්ත රෝදයට තබා තිබූ අඩයට වේගයෙන් පයින් ගැසීය.

ස්‌වල්ප වේලාවකින් පීටර් කරත්තය තල්ලුකරගෙන ගෙදර ගියේය.

මන්ත්‍රීතුමාගේ මෝටර් රථය ඔහු පසුකරමින් ඉදිරියට ඇදී යනු මඟදී ඔහුට හමුවිය. හෝටලයේ මුදලාලිත් මන්ත්‍රීතුමත් රථයේ පසුපස ආසනයේ වාඩිවී යනු ඔහු දැක්‌කේය.

හන්දියේ කවුරුත් පීටර් අයියාට අත්වූ ඉරණම ගැන බෙහෙවින් කම්පා වූහ.

ගුණපාල එදින කන්තෝරු ඇරී අවුත් බසයෙන් බසිද්දීම කරුණේ ඔහුට මේ පුවත සැල කළේය.

".......අයියෝ.........අපරාදේ..."

ගුණපාලට ඉබේම කියෑවිණි.

උදේට සිය බසය පැමිණෙන තුරු තමාට කාන්සියකින් තොරව කතා කිරීමට මින්පසු පීටර් අයියා එහි නොසිටිනු ඇතැයි ඔහුට කල්පනා විය.

මාර ගස්‌ සෙවණ පාළුවට ගොස්‌ය. වෙනදා ඒ වෙලාවට එතැන රැස්‌වන සෙනඟ අද කවරෙකුවත් දක්‌නට නැත.

ගුණපාල මාරගස්‌ සෙවණ යට මඳ වේලාවක්‌ නැවතී සිටියේය. කරත්තය තිබී කළු පැල්ලමක්‌ බවට පත්වූ බිම ඔහුට පැහැදිලිවම පෙනෙයි. ඉමහත් ශෝකයට පත් ගුණපාල සෙමින් සෙමින් ඉදිරියට පිය මැන්නේය.

කවුදොa දෙදෙනෙක්‌ තමා පිටුපසින් එමින් කොඳුරමින් තමා පියමං කරන්නට මෙන් එනු ඔහුට යාංතමට දැනෙයි.

ඔවුන්ගේ කතාබහ ගැන ගුණපාලට ඇති වැදගත්කමක්‌ නැත. පීටර් අයියාට අත්වූ ඉරණම ගැන තම සන්තානය තුළ උපන් අනුකම්පාව ක්‍රෝධය, ළෙන්ගතුකම, කරුණාව වැනි පරස්‌පර විරෝධී හැඟීම් සමඟ කැලතෙමින් ඉදිරියට යාමක්‌ නොව ඒ තල්ලුවීමකි.

මේ මිනිසුන් දෙදෙනා තමා ළඟින් ඉදිරියට යත්ම තම සවනට වන් හඬ ඔහුට අදහාගත නොහැකි විය.

"......මුදලාලි.....පොලීසියට ජරාව දීලලු..."

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »