Home / කෙටි කතා / ධනවත් ලේලි

ධනවත් ලේලි

2017-11-29 09:29:00       99
feature-top
ගෞරිපූර් ගම්මානයේ සමින්දාර් වූ බෙනී මදේවී සිං ගම්වැසියන් හමුවේ උච්ච ස්ථානක වැජඹුණේය. හේ විශාල ධනස්කන්ධයකුත්, ගම් නියම්ගම් රැසකුත් තම සීයාගේ වියෝගයෙන් උරුම කොට ගත්තෙකි. ජරාවට පත්ව ඇති ගමේ කෝවිල සහ ගම්මාන ඔහුගේ පැරණි ශ්‍රී විභූතියත්, දානපතිත්වයත් ගොළු බසින් මුමුනන්නක් විය.
බෙනී මදේවී සිංගේ බූදලයෙන් අඩකටත් වඩා, මිනිසුන් හප බවට පත්කරන නීතිඥයන් වෙත පුද දී ඇත. එහෙත් ඔහුගේ දෑතේ ආදායම රුපියල් දහසකට ආසන්න වූවක් විය. ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමලා වූ ශ්‍රි කාන්ට් සිං මේ මෑතක දී නම අගට කලා උපාධි පට්ටමක් එකතු කරගෙන කාර්යාලයක රැකියාවක් ලබාගත්තෙකි. බාලයා ආරෝහ පරිණාහ දේහයෙන් හෙබි රූමත් කාල් බිහාරි සිං විය. අලුයම මී කිරි බඳුන් දෙකක් හිස් කිරීම ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගය විය.
ශ්‍රි කාන්ට් සිං, සිය සොහොයුරා මෙන් නොව එස්.ඩී. (උපාධිය) නමැති දෙවියන්ගේ අල්තාරය අබියස පුද ලද්දෙකි. හේ ආයුර්වේද විද්‍යාවට ද මහත් සේ ඇලුම් කළේය. දිවා රෑ දෙකෙහිම මෙන් සිය කාමර තුලට ද වී බෙහෙත් වර්ග කුඩු කරන, පැරණි වට්ටෝරු වන පොත් කරන ඔහු කල්කටා සහ ලාහෝර්හි සියලුම දේශීය වෘත්තිමය වෛද්‍යවරුන් හා ලිපි ගනුදෙනු කළේය.
ශ්‍රි කාන්ට් ඉංග්‍රිසි සාහිත්‍ය නිපුණ කොට, උපාධියක් ලබාගත්තෙක් වුව ද, බටහිර ජීවන රටාව අන්ධානුකරණය කරන්නෙක් නොවීය. බටහිර ලෝකයේ නපුරුකම ඔහුගේ නිර්දය විවේචනයට බඳුන් වූ හෙයින්, ගැමියෝ ඔහුගේ කලණ මිතුරන් වූහ. හින්දු උත්සවයනට සහභාගි වී පරම්පරාගතව එන දේව ස්ෙතා්ත්‍ර ගායනා කිරීමට හෝ මහත් රුචියක් දැක්වූයේය. චිරාගත ඉන්දියානු සංස්කෘතිය ඔහුගේ අකලංක භක්තියට පාත්‍ර විය. සාමූහිකව එක් ඒකකයක් වශයෙන් ජීවත් වන කුටුම්බයක අගය ඔහු සම්මානීයත්වයෙන් පිදුවේය. ඊට එරෙහිව නව පන්නයට වැඩුණු කතුන් ඔහු පිළිකුල් කළේය. ගමේ සමහර තරුණියෝ ඔහුට පරම හතුරෙකු වශයෙන් සැලකූහ. සිය බිරිඳ වුවත් ඒ අදහස් අතින් සමීප ඇත්තියක් නොවූවාය. එය ඇය තුළ මාමණ්ඩිය කෙරේ හෝ මස්සිනා කෙරේ වූ විරසකයකින් මෝදු වූවක් නොව, ඇගේ මතය වූයේ නොපෑහෙන දෙදෙනෙකු එකට දීග කනවාට වඩා වෙන් වන එක මනාප බවයි.
ආනන්දි, එනම් ශ්‍රි කාන්ට්ගේ බිරිය ඉතා උසස් මෙන් ම ධනවත් පෙළැන්තියකින් පැවත ආවාය. ඇගේ පියා වූ බුප් සිං සතු වූ ඉඩම් කොතෙක් දැයි ඇයවත් දැන නොසිටියාය. මහා මන්දිරයක අලි ඇතුන් පිරිවරා දැසි දස්සන් සමඟ කල් ගෙවූ ඇයට ඒවා සෙවීමට අවැසි බවක් නොවීය. ඇගේ පියා බහුජන සෙත පතා දිවි ගෙව‍ූවෙක් විය. දියණියන් හත් දෙනෙකුගේ පියෙකු වූ ඔහු, පුතෙකු නොමැතියෙන් මහත් සේ තැවුණෙකි. වැඩිමහල් දියණියන් ‍තිදෙනාගේ විවාහ මංගල වෙනුවෙන් රුපියල් විසිදහස බැගින් ඔහුට වැය විය. ආනන්දි, පවුලේ හතරවැනියා වූවාය. එනිසා ඇය දෙමවුපියන්ගේ ළෙන්ගතුකමට නිතැතින්ම බඳුන් වූවාය. එසේ හෙයින්ම ඇයට සැමියෙකු සෙවීමත් මහත් සේ අපහසු දෙයක් විය. දයාබර සැමියෙකු සිය දියණියක අත නොගන්නේ නම් එය අවාසනාවක් යැයි හේ සිතීය.
හින්දි භාෂාව නඟාසිටුවීමේ අදිටන පෙරදැරිව පිහිටුවාගත් සංගමයකට දායක දීමනාවක් ලබා ගැනීම සඳහා එක් දිනක් ශ්‍රි කාන්ට්, මේ මන්දිරයට ගොඩවැදිණි. මොහු කෙරේ මහත් සේ පැහැදුණු බුප් සිං සිය දියණිය ශ්‍රි කාන්ට්හට පිරිනැමුවේය.
ආනන්දිට අලුත් නිවහන, සිය පියාගේ මන්දිරයට හාත්පසින්ම වෙනස් එකක් විය. කිරිල්ලියක සේ ගෙවූ කාලය හා යාව තිබූ සැපසම්පත් ඇගෙන් ඈත්ව ඇතැයි ඇයට සිතිණි. අලි ඇතුන් අශ්වයින් තබා ගොන් බැඳී කරත්තයක්වත් ඇගේ මනමාලයාට නොමැති බව ඇය දැන ගත්තාය. තම සිල්ක් පාවහන් පැලඳ දෙපා හොවන්නට තණ නිල්ලක් නොවීය. අවශ්‍ය තරමේ කවුළුවක්, පින්තූ ඇඳි බිත්තියක්වත්, කිරිගරුඪ ඇල්ලු බිමක්වත් එහි නොවීය. නමුත් කවරදාවත් සම්පත් නොවිඳි එකියක ‍පරිද්දෙන් ඇය අලුත් නිවහනට සමීප වූවාය.
එක් සැඳැවක ඇගේ මස්සිනා, එනම් ලාල් බිහාරි සිං දඩයම් කළ කුරුල්ලන් දෙදෙනෙකු අතැතිව පැමිණියේය. “ආ... මේක උයලා දෙන්න.” ඒ වනවිට ආනන්දි උයා හමාර වී සිටියාය. ඒත් ඊට කීකරු විය යුතුය. ඇය බඳුනේ ගිතෙල් ඇත්දැයි බැලුවාය. එහෙත් එහි අවශ්‍ය තරමට නොවීය. පොහොසත් කෙල්ලකගෙන් එතරම් අරපිරිමැස්මක් බලාපොරොත්තු විය හැකි ද? ලාල් බිහාරි කෑමට හිඳගති. ව්‍යංජනයේ ගිතෙල් නොමැති බව දැක පුදුම විය.
“මොකද මේකෙ තේරුම? ඇයි මේ කෑමට ගිතෙල් නැත්තේ?”
“ඒ ඔක්කොම මස්වලට දැම්මා.” ආනන්දි කීවාය.
“මං ගිතෙල් ගෙනැල්ලා වැඩි දවසක් නෑ. මෙච්චර ඉක්මනට ඉවර වුණාද?”
“මං කිව්වනේ, තිබුණ ටික මස්වලට දැම්මා කියලා.”
දණ්ඩක් වියළි වූ පමණට ගිනි මැළයට අසුවන්නා සේ බඩගින්නේ සිටින අයෙකුට කේන්ති එයි. ඔහුට යක්ෂාරූඪ විය. “ඔව් මං දන්නවා ඔහේගේ අම්මලාගේ මාලිගාවේ නම් ගිතෙල් ගංගාවක් වගේ ගලනවා.” හේ දමා ගැසීය.
දෙමාපියන්ට සමච්චල් කරන විට කොයි ගැහැනිය ද නිරුත්තර වන්නේ? “ඔව් හරියටම කිවුවා. ඒ ගලන ගිතෙල් අපි බාල්දි පුරවලා පහත් කුලවල බාබර් ළමයින්ටයි, වතුර අදින මිනිසුන්ටයි දෙනවා.”
ලාල් බිහාරි බෝම්බයක් සේ ය. ඇගේ ගෙල වූ තාලිය කඩා දැම්මේය. “මට හිතෙනවා උඹගේ දිව ඉරලා දමන්න.” පැරදීමට අකැමැති වූ ආනන්දිය, “මගේ මනුස්සයා හිටියා නං උඹට පෙන්නාවි” යි සැරවුණාය.
නුගත් දුර නොදක්නා මස්සිනාට මෙය ඔරොත්තු දෙන්නක් නොවීය. ඔහුගේ බිරිඳ සාමාන්‍ය සමින්දාර් කෙනෙකුගේ දියණියක් වූ අතර, ඔහු ඇයට සැලකුවේ කායික සන්තර්පණයට පමණක් සුදුසු වහලියක් ලෙසටය. ඔහු තම සෙරෙප්පුව ගලවා ආනන්දිය‍ දෙසට දමා ගැස‍ුවේය. “උඹේ හිතේ එයා මහ කෙරුමෙක් කියලා. එන්න කියපන් බලන්න.” හේ ගුගුළේය.
ආනන්දිය සියතින් එය වළක්වා දැම්මාය. එය ඇ‍ෙග් නළලත ගෑවී නොගෑවී විසිවී ගියේය. ඇගේ ඇඟිල්ලක් උළුක් විය. කුණාටුවකට හසුවූ ළා දල්ලක් බඳු වූ ඇය, සිය කාමරය වෙත පුපුරමින් ගියාය. සිය සැමියාගේ නිර්භීතකම සිත්හි සඟවා ඇය නිසොල්මන් වූවාය.
ශ්‍රි කාන්ට් සිං පුරුද්දක් වශයෙන් සති අන්තයේ සෑම සෙනසුරාදා දිනකම නිවසට පැමිණීමට අමතක නොකළේය. මේ සිද්ධිය උද්ගත වූයේ බ්‍රහස්පතින්දා දිනයක හෙයින්, ඇය දින ගනිමින් උන්නාය. කෑමට බීමට පවා ඇය කාමරයෙන් පිටතට නොආවාය. සුපුරුදු පරිදි සෙනසුරාදා සැඳෑවේ ඔහු නිවසට ආවේය. එහෙත් ආලින්දයට වී රටේ දේශපාලන තත්වය ගැනත්, අලුත් නඩුහබ ගැනත් දොඩමින් රාත්‍රි දහයත් පසුවන තුරු හේ එහි රැඳී සිටියේය. ගමේ උගත් කිහිප දෙනාගේ මේ සුහද හමුව කඩා දමා ඉවත යෑමට කිසිවෙකු හෝ සතුටු වූයේ නැත. ආහාර ගැනීමට පවා අමතක වූවා සේය. මේ පැය කිහිපය ආනන්ද නොඉවසිල්ලෙන් ගෙවුවාය.
මෙසේ ම නොඉවසිල්ලෙන් සිටි ලාල් බිහාරි, තම සොහොයුරා කතාවෙන් මිදෙත්ම, ඔහු හමුවට පැමිණ, “මේ අයියා, කරුණාකරලා තමන්ගේ භාර්යාවට කිවුවොත් හොඳයි කට පරිස්සම් කර ගන්න කියලා. නැත්නම් කරදර වේවි” යි කීවේය. බෙනී මදේවි සිං ද පැමිණ, ඔව් ඔව් එයා හරි, ගෑනු උදවිය දැනගන්න ඕනෑ පිරිමින්ට කථා කරන හැටි.” පලිප්පු දැමුවේය.
“එයා මහේශාක්‍ය පවුලකින් පැවතෙනවා ඇති. ඒ වුණාට අපි අඩු ජන්ම අය” යැයි ලාල් බිහාර් නොනැවතුණේය.
“කවුරු හරි මට කියනවා ද මොකද වුණේ කියලා” කිසිවක් නොදත් ශ්‍රි කාන්ට් ඇසුවේය.
“මොකවත් නැහැ. එයා නිකං පිපිරුණා. එයා හිතන්නේ එයාගේ අම්මා, තාත්තා ගැන විතරයි. ඒ ගොල්ලොත් එක්ක අපි සංසන්දනය කරන්නේ මොන ඉලව්වකට ද?”
ශ්‍රි කාන්ට් කෑම කා අහවර වී ආනන්ද වෙත ගියේය. ඇය නිසොල්මනේ වූවාය. “කෝමද.... කෝමද... ඉතින්?” ඇසුවේය.
“හොඳයි සනීපෙන් ඉන්නවා.”
“ඒක නොවෙයි මොකක්ද මේ ඔයා ගේ දෙක කළා කියන්නේ?” ආනන්ද උඩබිම බැලුවාය.
“මන් දන්නේ නෑ කවුරු ඔයාව කුලප්පු කළා ද කියලා. කාගේ හරි දිව පුච්චන්න ඕනෑ.”
“කේන්ති ගන්න දෙයක් නැහැ. මොකක්ද වුණේ?”
“මොනවා වෙන්නද? මේක මගේ ලබා උපන් හැටි. පියන් කෙනෙක් වෙන්න බැරි ගමේ කොල්ලෙක් මට සෙරෙප්පුවකින් දමලා ගහන කොට.”
“ඇයි මට කියන්නේ නැත්තේ මොකද වුණේ කියලා. මන් කිසිදෙයක් දන්නේ නැහැ.”
“ගිය බ්‍රහස්පතින්දා ඔයාගේ ආදරණීය මල්ලී මට කිවුවා මට මස් උයන්න. භාජනයේ ‍ගිතෙල් තිබුණෙ පොඩ්ඩයි. මන් කිව්වා ඉවරයි කියලා. එක ව්‍යංජනයකට ගිතෙල් නැහැ කියලා. එයාට කේන්ති ගිහිල්ලා මගේ අම්මා තාත්තලාවත් ඇදලා ගත්තා. මටත් කේන්ති ගියා. එයා ගෙනාව ගිතෙල් ඉවරයි කියලා මට බැන්නා. මන් කිවුවා ගිතෙල් කාලවල් නොවෙයි බාල්දි ගණන් අපි බාබර්ලටයි, වතුර අදින මිනිස්සුන්ටයි දෙනවා කියලා. ඒ අතරෙ එයා මට සෙරෙප්පුවෙන් දමලා ගැහුවා. තව ඩිංගෙන් මගේ ඔළුව පැළෙනවා. ගිහිල්ලා අහන්න මන් කියන්නේ බොරු ද කියලා.” ආනන්දි ඉකි බිඳින්නට වූවාය. ශ්‍රි කාන්ට් එසේ මෙසේ කලබල වන්නෙක් නොවේ. ගැහැනියකගේ කඳුළත්, පිරිමියෙකුගේ කේන්තියකට සපයන ඉන්ධන වුවත්, ඔහු නිසොල්මනේ නින්දට ගියේය. එහෙත් රැය පුරා නින්ද ඔහුට ළං නොවීය.
පසුදා උදැහැනක්කේම ඔහු සිය පියා වෙත ගියේය. “තාත්තේ, මන් හිතන්නේ මේ ගෙදර මන් තව දුරටත් ඉන්නේ නැහැ කියලා “එතරම් සැරෙන් සිය යාළු මිත්‍රාදීන් පවා කථා කරන විලාශය නුරුස්සන ශ්‍රි කාන්ට්ට කථාව පාලනය කරගනු නොහැකි විය.
බෙනි මදේවි සිං තුෂ්නිම්භූත වී ගියේය. “ඇයි පුතා...?”
“මටත් මොකක් හරි තත්වයක් තියෙන්න ඕන. මේ ගෙදර අසාධාරණයෙන් පිරිලා.
වැඩිහිටියන්ට ගරු කරන්නේ කොහොමද? මගේ වැඩ හින්දා මට හැමදාම ගෙදර එන්න විදියක් නැහැ. ඒත් මං අඩිය එළියට තියන්න ඉස්සර ගෑනුන්ගේ නළල් හරහා ලී සෙරෙප්පු පියාඹනවා. මට බැහැ මේවා ඉවසන්න.”
නිරතුරුවම තමාට ඉතාම ගරුසරු දක්වන පුතා මෙසේ හැසිරෙන්නේ මන්දැයි තේරුම් ගැනීමට ඔහු අපොහොසත් විය. “උඹ මොළේ තියෙන මිනිහෙක්. කොහාට ද මේ එකම ගේ දාලා යන්නේ? උඹ දන්නවා ගෑනුන්ගේ හැටි. පවුල් විනාශ වෙන්නේ ගෑනු හින්දා උඹ ඇයි මේවට උඩගෙඩි දෙන්නේ?
“මන් මෝඩයෙක් නොවෙයි. මන් මේ ගමේ මිනිස්සුන්ගේ පවුල්වල කරදර විසඳනවා. ඒ වුණාට මන් සලක්න ඕනෑ මගේ ගෑනිට. මේවා වෙනකොට මට කවුරුත් නැහැ. මට ඔය අසාධාරණකම් උහුලන්න බැහැ.”
“ලාල් උඹේ මල්ලී. වැරැද්දක් තියෙනවා නම් කන මිරිකල උණත් කියාපන්.”
“එයා මගේ මල්ලී කියලා තවදුරටත් මන් සලකන්නේ නැහැ.”
“ඒ කියන්නේ උඹට ගෑනි ලොකු වුණා ද?”
“නැහැ. ඒ වුණාට මට නපුරු අසාධාරණ මිනිස්සු පෙන්නන්න බැහැ.”
තිදෙනාම නිසොල්මන් වූහ. මේ අතරවාරයේ පිටස්තරයන් කිහිපදෙනෙක් ගෙදරට ගොඩවැදුණේ ඕපදූප ටිකක් එකතු කර ගැනීමටය. තාත්තයි, පුතයි අතර දබරයක් වූ බව කන ගැසුණු ගැහැනු සතුටු වූහ. හරිහැටි සිද්දිය දැනගන්නා තුරු මේ “වට්ටි අම්මලාට, උපාසක නෝනලාට ඉවසිල්ලක් නොවීය. ශ්‍රි කාන්ට් හරියට මීයෙක් වගේ, පොතේ ගුරෙක්, බෙනී මදේවි මෝඩයෙක්, ළිඳ ළඟ ඕපාදූප අතර විය. මෙවැනි කථාබහෙන් පවුලේ සමගිය හා කරන්නට වූ සෙතක් නැත.
ඒත් ඕපාදූප වලට කිරුළ පැලඳීමට බෙනී මදේවි මොහෙතක් වත් සතුට නොවීය.
“ශ්‍රි කාන්ට් මෙහෙ අහපන්, මේක අපේ එක පවුලක්. මල්ලී වැරැද්ද කලා උඹේ වැඩක් ඌට සමාව දෙන එක.”
“බැහැ මට බැහැ. ලාල් බිහාරි එක්ක‍ මේ ගෙදර ඉන්න.”
“පුතා මොළේ තියෙන මිනිස්සු අඥානයන් කියන ඒවා ගණන් ගන්නේ නැහැ. උඹට තරම් උගත් කමක් ඌට නැහැ. ඔන්න ඔහේ සමාව දීපන්.” ‍‍
“නැහැ නැහැ නැහැ මගේ සමාවක් එයාට නැහැ. එක්කෝ එයා මෙතන ඉන්න ඕනැ. නැතිනම් මන් මෙතැන ඉන්න ඕනෑ. තේරුණැයි. මන් මෙතන ඉන්නවා දකින්න ඕන නම් එයාට යන්න කියනවා හොඳයි.”
ඔහුගේ සොහොයුරා ලාල් බිහාර දොරට මුවා වී සියල්ල අසා උන්නේය. ඔහු තම සොහොයුරාට කුඩා කළ සිට පණ මෙන් ආදරය කළ අයෙකි. ඔහුට ගරු කළ අයෙකි. අයියා අසලට පවා ආවේ බියෙන් පසුබෑමෙනි. අයියා අබියස දුම්වැටියකට අතවත් තබා නොමැත. ඔහු සිය පියාටත් වඩා අයියාට ගරු කළේය. ශ්‍රි කාන්ට් ද අලහාබාද් සිට පැමිණෙන විට මොකක් හෝ සුළු තෑග්ගක් මල්ලීට ගෙන ඒමට අමතක නොකළේය.
ඔවැනි සොහොයුරෙකුගෙන් අනාදර වදන් කෙසේ අහන්න ද? ඔහු කුඩා දරුවෙකු මෙන් මහ හඬින් හඬන්නට වන්නේය. අයියා එන්නට පළමු ඔහුගේ හිත ද දෙගිඩියාවෙන් ඔද්දල්ව තිබිණි. කෙසේ අයියාට මුහුණ දෙන්න ද? අයියාගෙන් වැදෙන කම්මුල් පහරක් ඉවසන්නට තිබිණි. ඒත් මට යන්නට කියන එක. එක බඩවැල කඩාගෙන ආව සොහොයුරාගෙන්?
ඔහු තාත්තා දෙසට ගියේය. “තාත්තේ, මාත් යනවා තාත්තේ, අයියා කියනවානේ මට මේ ගෙදර ඉන්න එපා කියලා. මන් යනවා තාත්තේ, මන් කරපු වැරද්දට සමාවෙන්න.”
ඔහු ගෙයින් පිටමං වන්නට තැත් කළේය. මේ ඇසූ ආනන්දිය මහත් සේ තැවුණාය. මේ කෙන්ද කන්දක් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිය සැමියාගේ හැසිරීම ගැන ද පුදුම වූවාය. අලහබාද් යන්නේ කෙසේ ද ඔහු තීරණය කළොත්? ඇය සිය සැමියා වෙතට දිව ගියාය. ලාල් යන්න හදනවා. එයා අඬනවා. ඉතින් යන්න එපා කියන්න. මොනවාට ද මන් හින්දා ඕගොල්ලො සහෝදරයෙකු නැති කරගන්නේ.
“මන් යන්නේ නෑ එයාට කථා කරන්න.”
“එහෙම කියන්න එපා. එයා කිවුවනේ. ගෙදරින් ගියොත්.” ආනන්දි කන්නලව් කළාය.”
“තාත්තේ මන් යනවා. අයියාට ආයිමත් මගේ මූණ බලන්න ඕනෑ නැහැලු.”
ඔහු ගෙයින් පිටත යන්නට හැරුණි. ආනන්දි දුවගොස් ඔහුගේ අතකින් ඇල්ලුවාය. ලාල් බිහාරි කඳුළු පිරි දෙනෙතින් යුතුව පිටුපස බැලීය.
“අත හරින්න. මට යන්න දෙන්න.”
“කොහේ යන්න ද?” ආනන්දි ඇසුවාය.
“කොහේ හරි කාටවත් මූණ නොපෙනෙන්න. කොහේ හරි.”
“නැහැ. මන් අත හරින්නේ නැහැ.”
“එපා. එපා. මන් හිඳීමෙන් ඕගොල්ලන්ට වැඩක් නැහැ.”
“මන් මල්ලීට අඩියක් හොල්ලන්න දෙන්නේ නැහැ.”
“මන් මේ ගෙදර ඉන්නේ නැහැ. ම‍ෙග් අයියා මට වෙනස්කම් කරන්නේ නැහැ කියලා කියනකන්.”
“මන් දෙයියෝ ගැන දිවුරන්නම්. මගේ හිතේ මල්ලී ගැන අමනාපයක් නැහැ. ශ්‍රි කාන්ට් එදෙසට ගොස් සිය සොහොයුරාව බදා ගත්තේය. කුඩා එවුන් දෙදෙනෙක් මෙන් දෙදෙනාම හැඬූහ.
බෙනී මදේවි පැමිණියේය. සොහොයුරන් දෙදෙනා එකට එක් වී සිටිනු දැක, “ඔහොම තමයි, හොඳ වැදගත් පවුල්වල ගැහැනු ළමයි. පුංචි දබර ගණන් නොගෙන දන්නවා දීග කන්නේ කොහොමද කියලා.”
ගමේ ඕපාදූප‍ දෙඩු උපාසකම්මලාට, වට්ටිඅම්මලාට සහ මහත්තුරු මෙන් හැඳපැලඳ ගත්ත ගබයියලාට ද වැඩිදුර ඇඟිලි ගසන්නට දෙයක් නොවීය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »