Home / කෙටි කතා / චිත්‍රය

චිත්‍රය

2017-11-27 10:07:00       91
feature-top
උදේ පාන්දර කොහේ සිට හෝ කුකුළෙක්‌ හඬලනවා ඇසේ. ඉස්‌සර වගේ ඒ සංඥවත් සමගම දඩිස්‌ ගා ඇඳෙන් බිමට පනින්නට සිතෙන්නේ නැත. සෑහෙන කාලෙකින් එසේ සිතිලාත් නැත. නමුත් හයේ කණිසම නාද වන වට මනරංජනට නිකම්ම ඉන්නට බැරි වෙයි. ඉබේටම ඇඳෙන් පැන්නෙයි. කණ්‌ණාඩිය ඉස්‌සරහා සිටවෙයි.
 
 මනරංජන ඇඟිලි දහයම විදහා කෙස්‌වල්ල පිටිපස්‌සටම තල්ලු කරයි. මේසය මත තිබුණු වතුර වීදුරුව බීගෙන බීගෙන යන විට අමුතුම තරුණකමක්‌ සිතට දැනෙයි දැන් කණ්‌ණාඩියෙන් පෙනෙන්නේ කලින් මනරංජන නොවේ. වෙනම කෙනෙකි.
 
 මේසය අසළ ජනේලය අරින විට පෙනෙන්නේ වෙනදා මෙන්ම දූලි මූණ පුරා උලාගෙන ඇති ගහකොළ නොවේ. ප්‍රාණවත් ව කොළ පාටින් දළුලා සිටින ගහකොළ ය. ආදරයෙන් මල්වඩාගෙන සිටින අතු රිකිලි ය.
 
 මිදුල කෙළවරේ ඇහැළ ගහ, මල්මිටි අතින් දරාගත් මනමාලියක්‌ සේ බිම බලාගෙන සිටී. තම සිත තුළ මතුව ආ තව මොකක්‌ දොa කල්පනාවක්‌ හරිහැටි පාදාගන්නට බැරිව ඔහුගේ යටි සිත සැලෙයි. කවදාවත් නැතිව මුවට සිනාවක්‌ නැඟෙයි.
 
 කැඩපතකින් වුවමනාවෙන් බලන්නට තරම් තරුණකමක්‌ දැන් හිතට ඇවිත් ඇත. හිතේ තියෙන තරුණමට දැන් කණ්‌ණාඩිය නාකි වැඩිය.
 
 නළලට උඩින් අඟවල් සේ මතුව ආ සුදු කෙස්‌ ගස්‌ දෙක තුන දෙස ඔහු බලන්නේ අද ය. කණ දෙපැත්තෙත් ඒ මදිවාට රිදී පාට වීගෙන එයි. මහලුකම ජීවිතයට මොන තරම් තර්ජනයක්‌ දැයි කාට වුණත් හිතෙන්නේ මේ වේලාවටයි. තරුණ වියෙන් මහලු වියට අවතීර්ණ වීම වූ කලී ඉරක්‌ ගසා පෙන්වන්නට බැරි දෙයකි. සියල්ල බොහොම සීරුවෙන් ක්‍රම ක්‍රමයෙන් සිදු වෙයි. "සිදුවීම" නවත්වන්නට සක්‌කාරයාටවත් බැරිය. ඒත් හිතේ තරුණකම නැති කරන්න නම් සක්‌කරයාට තියා සක්‌කරයාගේ තාත්තාටවත් බැරිය. මනරංජනට හයියෙන් හිනාවෙන්නට හිතුණි.
 
 "කෙස්‌ස පැහෙනවාට දුක්‌ වෙන්නේ මෝඩයෝ බං. ඒ තමා පැසුණු බුද්ධිය. පැසුණු බුද්ධිය......."
 
 දවසක්‌ එසේ කියමින් සිනාසුණේ ඔළුවේ එක කෙස්‌ ගසක්‌වත් නැති "තට්‌ටසිංහ" නොහොත් වීරසිංහය. එදා යාළුවෝ ටික ඔක්‌කොම කොක්‌ හඬලා සිනාසුණෝය. මනරංජන ඒ ජවනිකාව මතක්‌ කරගෙන ආපසු සිනාසෙයි.
 
 පාළුගෙයි වළං බිඳෙනවා වැනි ඒ සිනා හඬෙන් "මොකෝ හිනාවෙන්නේ" යෑයි අසන්නට බිරිඳත් මේ ගෙයි නැත.
 
 ගේට්‌ටුවෙන් පිටත මහ පාdර දිගේ එකා දෙන්නා රැකියාව සඳහා පිටත්ව යනවා පෙනේ. සමහරු කඩයප්පන් ගෙන ඒමට කඩපිලට යති.
 
 යමක්‌ සිහිපත් වූ කලක මෙන් ඔහු නාන කාමරයට වදී. නාන කාමරය යනු නිදන් හාරන තැනෙකැයි මනරංජන හැමදාම නැතත් අද නම් සිතයි. නිවිහැනහිල්ලේ හිත හාර හාරා ඉන්නට කෙනකුට හැක්‌කේ කොහේදිද කොතැනදීද? තමාගේම කියා ලෝකයක්‌ ඉදිවෙන එතැනදී.... හිත, ගතින් නිදහස්‌ වෙයි. දොඩමලු වෙයි. සුරංගනා කතා කියයි. සිහින් සංගීත නාදයක්‌ සාලය දෙසින් ඇසේ. ඔහු තුවාය දවටාගෙන එළියට යන්නේ සෙලියුලර් දුරකථනය ගන්නට ය. දරුවා හඬන විට වඩා ගන්නා තාත්තා කෙනකු සේ මුදු මොළොක්‌ අතින් දුරකථනය ගත්තත් කටින් පිට වුණේ නම් රළු වචනයකි.
 
 "හරි ඕයි.....· ඔක්‌කොම කියාපු වෙලාවට · කියාපු විදියට· ඕ... කේ..?"
 
 එසේ පිළිතුරු ලබන්නේ ඔහුගේ රියෑදුරුය. හාම්පුතාව උදේ අවදි කරවන්නටත් දවසේ වැඩ මතක්‌ කරවන්නටත් රියෑදුරා පාවිච්චි කරන මෙවලම එයයි. තමා නැත්නම් තනිකඩ මනරංජන මහත්තයා හැමදාම නින්දේය. ඒ රියෑදුරු හිතන හැටි ය. නමුත් මනරංජන ගේ සිත අද කාටත් කලින් අවදිව ඇත. ඔහු නැවත නාන කාමරයට වී පැන් දහරින් සිරුර සනහා ගනියි. සිවුරුවම් හඬකුත් නිකුත් කරයි.
 
 මිදුලේ පිපී තියෙන ඔක්‌කොම මල්වල සුවඳ ගත්තත් පෙනහලු පුරවා ඉවරයක්‌ කරගන්නට බැරි තරමට පෙනහලුත් පිරී ඇත. හිතත් පිරී ඇත. කලින් දවසේ අසපු දැකපු සියලුම දේවල් මිහිරි ය. අති මිහිරි ය. හෙවත් මිරිතම දේවල්වලින් පෙරා ගන්dන ලද මිහිරිම ඵලය අදට ඉතිරිය.
 
 "ඔයාට තියෙන්නෙ පුදුම.. කඩවසම් පෙනුමක්‌"
 
 කවුරු හරි එසේ කී විට කුමක්‌ කියන්න දැයි කාටවත් සිතා ගන්නට බැරිය. ඒ වැකිය ඇසුවේ වයස අවුරුදු විස්‌සේදී නම් රතු වී ඇඹරෙන්නට කෙනකුට හැකි ය. තිස්‌ පහේදී නම්, ආඩම්බරයෙන් බොහොම ස්‌තුතියි කියා කියන්නට හැකි ය.
 
 ඒත්.... හැටට කිට්‌ටු වයසකදී එහෙම ඇසෙන විට කියන්නට ඉතිරිව ඇත්තේ කුමක්‌ද?
 
 "අනේ මේ වයසක මනුස්‌සයා මම" ඔහු හිතුවේ එවේලේ එහෙම කියන්න ය. ඒත් මොන එහෙකට එහෙම කියනවද? යටි හිත මුරගානවා ඇසුණි. ජැන්ඩිපහට ඇඳගෙන තොල්, නිය පාට ගන්වාගෙන සිටින කඩවසම් ඇගේ රුව ඉදිරියේ තමා මොකට නෝංජල් වෙනවාද? හොඳ වෙලාවට තමාගේ කටින් එහෙම නොකියෑවුණු එක ගැන ඔහුගේ පිරිමි සිතට සැනසුමක්‌ දැනිණි. කටට ආ පළියට කිසි දෙයක්‌ කියන්නට ඕනෑ නැත. විශේෂයෙන් ගැහැනුන් ඉදිරියේ,
 
 "දෙකට බෙදුණු නිකට, හතරැස්‌ ඝනකම් ඇහිබැම, හොඳ පෞරුෂයක්‌ තිබෙන පිරිමියකුගේ ලක්‍ෂණයක්‌, ඉස්‌සර කවියො වර්ණනා කළේ ගෑනුන්ගේ ලස්‌සන විතරයි. ඇත්තටම ඔයා ගී්‍රක්‌කාරයෙක්‌ වගේ"ඈ එසේ කියද්දී ගෑනියක ගෙ වගේ සිනිඳු සමක්‌ තිබුණා නම් තමන්ගේ මූණ රතුවෙනු ඈට පෙනෙන්නට ඉඩ තිබුණි. හොඳ වෙලාවට කොරොස්‌ රැවුල් කට්‌ට සියලුම හැඟීම් හංගන හොඳ ආවරණයක්‌ ය.
 
 ඒත් ඒ වෙලේ මනරංජන ගේ කට කොනට සිනාවක්‌ නැඟුණි. ඇය ඒ හිනාව දිහාත් මොහොතක්‌ බලා සිටියේ වශීකෘත වී ගිය ආකාරයටය.
 
 "එහෙම නම් ඉතිං කිවිඳියන්ට තියෙන්නේ පිරිමි ගැන වර්ණනා කරලා කවි ලියන්න."
 
 ඔහු එසේ කී විට ඈ කිකිණි සලා සිනාසුණි.
 
 "ආ ඉතිං මං කිවිඳියක්‌ නෙමෙයිනේ"
 
 "නැත්තේ මොකද?"....... චිත්‍ර ශිල්පිනියක්‌ කියන්නේ කිවිඳියක්‌ තමයි. පින්සලෙන් ලියන කවි තමයි චිත්‍ර.. "
 
 බොහොම ස්‌තුතියි. නැවුම් අදහස්‌ ඔයාට තියෙන්නේ. මිස්‌ටර්..... මිස්‌ටර් මනරංජන කමක්‌ නෑ නේද මං එහෙම කිව්වට.."
 
 "අපොයි මක්‌වෙනවද නිකම්ම නම කිව්වත්. මොකද අපි හිතවත් අයවෙච්චි. අපි.. සහෘදයෝ නේ අනෙක්‌ අතට...."
 
 "ඇත්තට මගේ මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අලුත් අයිඩියාස්‌ ටිකක්‌ ගන්න තිබුණෙ... මට මට.. ඔයාව කලින් මුණගැහුණා නම් ඔයා ගාව හුඟක්‌ වටිනා අදහස්‌ තියෙන්නෙ පුළුවන්. මගේ බෑඩ් ලක්‌.."
 
 "අපෝ. එක්‌සිබිෂන් එකේ නම් කිසිම අඩුපාඩුවක්‌ මට නම් පෙනුණෙ නෑ. ඒත්..... ම්.... මිස්‌ ඉන්දීවරී..."
 
 ඉන්පසු ගොඩක්‌ දේවල් කතාවුණි. තමා "මිස්‌" යෑයි කියන විට ඈ කට කොනට සිනාවක්‌ නඟා ගත්තා මනරංජනට මතක ය. ගෑනුන්ගේ හැටි එහෙම ය. මිස්‌a කෙනකුට මිසිස්‌ කිව්වොත් රැවුම් මුහුණකි. මිසිස්‌ කෙනකුට මිස්‌ කීවොත් ඇඹුල් හිනාවකි. මිස්‌a කෙනකුට ම මිස්‌ කීවොත් හොඳ අවබෝධාත්මක සරල හිනාවකි. ඈ පෑවේ තුන්වැනි වර්ගයේ හිනාවදැයි මනරංජන නොදනී. දැනගන්නට වුවමනාවක්‌ ද නැත. මිස්‌ වුණත් මිසිස්‌ වුණත් ඇගේ කලා ඇහැට තමාව ලස්‌සනට පෙනුණි. ඈ ඒ බව කියා ප්‍රදර්ශනය කළා ය. හිතේ හංගාගෙන ඉන්න ගූඪ අදහස්‌වලට වඩා ප්‍රදර්ශනාත්මක අදහස්‌ කෙතරම් වටිනවාද? ඒ සන්ධ්‍යාව අවසන් වුණේ තමා ඇගේ දුරකථන අංකය ඉල්ලූ විට ඈ පෙරළා දුරකථන අංකය දීමෙනි.
 
 "උඹ ඕක ඔය තරමට හිතට ගන්න එපා. ගෑනියෙක්‌ නොම්මරයක්‌ උඹෙන් ඉල්ලා ගත්ත පළවැනි වතාව ඕක නොමෙයිනෙ. නිකම් මනසින් දුරදිග යන්නැතිව ඔන්න ඔහෙ හිටපං.."
 
 එහෙම කීවේ මනරංජන ගේම යටි හිත ය. යටිහිත හති වැටී බලා සිටින විට උඩු සිත කරණම් ගසන්නට පටන් ගත්තේ වයසේ හැටියට නොවේ. උඩු සිත කරණම් ගසා හති වැටෙන විට ඊළඟට යටි සිත රාජකාරිය පටන් ගනී.
 
 "ගෑනියෙක්‌ නැති තනිකඩ ජීවිතේ ඔහොම තමයි බං... හීන, පේන සුනංගුව විතරයි. මාළිගා මවන්න බලාගෙනමයි ඉන්නේ..."
 
 බිරිඳ මියගොස්‌ අවුරුදු පහකි. එකම පුතා විවාහ වී පිටරට ය. මේ හුදෙකලාව මොන තරම් පීඩාවක්‌ද? මනරංජන සුවඳ කොලොන් හලා ගනිමින් සිතයි.
 
 ඉන්දීවරී තේජමාන්න. රට ම පිළිගත් චිත්‍ර ශිල්පිනියක්‌ වන ඈ හෙට අනිද්දා ජාත්‍යන්තරයටම යනු ඇත. තමන් කවුද? තමනුත් නරක නැත. විචාරකයකු වශයෙන් රට පිළිගත් නමක්‌ තමන්ට ඇත. අසුවල් වකවානුවෙ අසුවල් රටේ ජීවත් වුණ අසුවල් චිත්‍ර ශිල්පියාට තමාගේ මෙන් නළල් තලයකුත් අගින් වක්‍රවුණුq නාසයකුත් දෙකට බෙදුණු නිකටකුත් තිබුණා යෑයි ඈ කීවේ ඊයේ හවස ය. ඊයේ හැන්දැවේ පැයදෙක තුනක්‌ම තමා ගත කළේ ඈ කියූ ඒ දේවල් මතක්‌ කර කරුණු සොයා යන්නටය.
 
 චිත්‍ර ඉතිහාසය පුරාම මනස විහිදවා ලබාගත හැකි ආලෝකය ගැන ඇයට කියන්නට කරුණු එකතු කරගන්නටය. ඇගේ චිත්‍ර කර්ම විෂයට අදාළව දැනුම් සම්භාරය රැස්‌ කරගත් විට ඈ සමඟ කතා කරන්නට ඕනෑ තරම් දේවල් තියේවි. ඉන් ඔහු සැනසේ. බාබර් සාප්පුවකට ගොස්‌ කොණ්‌ඩය හැඩ කර කොටට කපාගත් කල නහය වඩාත් දිග්ව පෙනේ. ඊයේ හවස සිට මේ දක්‌වා තමා හැබෑටම උමතුවෙන් දැයි ඔහුටම ප්‍රශ්නයකි. ඇඟේ හීනියට උණක්‌ ද ඇත. කොත්තමල්ලි ටිකක්‌ තම්බා දෙන්නට කෙනෙක්‌ ඇත්තේද නැත.
 
 පුදුමය තියන්නේ මෙතෙක්‌ කලක්‌ ඒ අඩුපාඩුව ගැන හිතුණේත් නැති එකට ය. කාලෙකට පස්‌සෙ තමන්ගෙ හිත හුරතල් වෙන්නට හදයි. රාත්‍රී දොළහමාරට දුරකථන ඇමතුමක්‌ දී තට්‌ටසිංහ අවදිකරවන්නට සිතුවේ සිතෙන් ගැළවෙන්නට බැරිම තැන ය. ආපු කේන්තියට හොඳ වේලාවට තට්‌ට වීරසිංහ කුණුහරුප දෙකක්‌ කියා අනෙක්‌ ඇලයට හැරී නිදාගත්තේ නැත.
 
 "එළිවෙනකං හිටපං. උඹ දහඅටේ කොල්ලා වෙන්නේ නැතුව. මේ අපි බරපතළ පවුල්කාරයෝ. උඹට වගේ විවේකයක්‌ නෑ. දවස තිස්‌සේ පවුල් බර ඇදල ඇදලා මේ ඇහැ පියාගත්තා විතරයි. කරත්තෙ ලිහලා ගොනා ගහේ බැන්දා විතරයි. වද නොදී නිදාගන්නවා."
 
 මනරංජන යාළුවාගේ ඒ බස්‌ අසා සිටියේ විනෝදයෙනි. දුරකතනය පවා මොනතරම් හොඳ සෙල්ලම් බඩුවක්‌ ද කියා සිතන්නේ වීරසිංහලා වැනි නිදිකුම්බයන් ගේ නින්ද කඩා බැණුම් ඇසූ විටය.
 
 "සර්... සර්.. දැන් සර් කෙලින්ම ගෙදර ගිහින් ආයෙ එනවද සර්?..."
 
 රියෑදුරාගේ හඬින් ආයෙත් මනරංජන මෙලොවට එයි. හැබෑ නේන්නම්. කාර්යාල වැඩ අවසන් වී තමා දැන් ගෙදර යමින් සිටියි. ඒත් මනරංජන කතා නැත. රියෑදුරාට ඒක ප්‍රශ්නයකි. මනරංජන මහත්තයා කතාව වැඩියෙන් කරනදාට ඒකත් රියෑදුරාට ප්‍රශ්නයකි. කතා නොකරන දාට ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයකි. රියෑදුරා හාම්පුතාව වාහනයෙන් බස්‌සවා පිළිතුරු අපේක්‍ෂාවෙන් බලා සිටී.
 
 "මොකද මිනිහෝ උලමා වගේ බලා ඉන්නේ?"
 
 "සර් දැන් ආයෙ අර කොහෙද යනවා කිව්වේ? ඒකයි....."
 
 "ආ..... ඒ ගමන? මෙහෙ දෙනවකෝ... ඔය යතුර... මම යන්නං..... තමුසෙ ගෙදර යනවා."
 
 රියෑදුරාගේ මුහුණ ඇඹුල් වෙයි.
 
 මනරංජනට පරචිතත විජානන ඥනය පහළ වෙයි.
 
 "ආ... මේක තියාගන්නවා."
 
 ඔහු සීයේ නෝට්‌ටු දෙකක්‌ රියෑදුරාට දික්‌ කරන විට ඔහුගේ මූණේ මල් හිනාවක්‌ මැවේ.. එය ඕ. ටී. හිනාවකි.
 
 "ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නවකො. කොච්චර ලස්‌සන හිනාවක්‌ ද තමුසෙට තියෙන්නේ."
 
 රියෑදුරා තව නෝන්ජල් හිනාවක්‌ පා සමුගෙන යයි. ඊළඟට එළැඹෙන්නේ ආනන්දජනක සන්ධ්‍යාවයි. ජල ස්‌නානයෙන් අනතුරුව සුවඳ පැන් වඩා මනරංජන වාහනයට ගොඩවෙයි. ඊයේ පුස්‌තකාලයෙන්ම කාල් ගා සොයාගත් මොකක්‌දොa පොතක්‌ පිටුපස අසුනට දමා ගනියි.
 
 පාර දෙපස දහසක්‌ මල් පිපී මල් අතු බර වී පාරට නැමී ඇත. මනරංජනගේ වාහනය යන්නේ මල්පෙති පීරාගෙනය. ඇතැම් මල් පොකුරක්‌ ඔහුගේ කම්මුලේ වදී. රැවුල ද බා ඇති නිසා කම්මුලට කිතිත් හොඳ ට දැනේ. අහසත් වෙනදාට වඩා වර්ණවත්ව පෙනේ.
 
 බසින්නට ලැහැස්‌ති වුණත් මළ ඉර නම් දැන්ම ම බසින පාටක්‌ නැත. තව මොන තරම් දේවල් බලන්නට තියෙනවා දැයි සිතමින් මළ ඉරත් හොර ගල් අහුලයි.
 
 "හිටින්කෝ. හටින්කෝ. හොඳ හොඳ දේවල් අද බලාගත්තෑකි".
 
 කම්මුල් කොරොස්‌ස අතගාමින් මනරංජන කියාගනී. ස්‌ටියරින් වීලය මත ඇති අත දිහා ඔහු බලයි. මේ තනි අතින් කොයිතරම් නම් කාලයක්‌ අත්පුඩි ගසන්නද?
 
 "බ්රූක්‌.....···"
 
 හිටිගමන් මග දිගට බ්රේක්‌ පාරවල් ය. බ්රේක්‌ ගසන්නේ තමන් ද කියාවත් මගීන්ගෙන් බැණුම් අසන්නේ තමන්ද කියාවත් මනරංජන නොදනියි.
 
 බරසාර හෝටල් අංගනයකට වාහනය පාවී යයි. "ලා නිල් පාට කැටයම් කුලුන" ළඟ පුටුවේ ඈ සිටිය යුතුය. ඈ තවම ඇවිත් නැත. ඒකත් හොඳ ය. මේ වගේ හැඟීම්වල චමත්කාරය තියෙන්නේ බලා සිටින තරමට ය. ඈ තමාට ආදරය කරනවාද? තමා ඈට ආදරය කරනවාද? ඔහු දන්නේ නැත. ඈ තමාව අගය කරයි. වර්ණනා කරයි. තමා ඈට ලෙන්ගතු ය. ඒ තුළ ඊටත් වඩා යමක්‌ ඇත.
 
 නවීන පන්නයේ මෝටර් රථයක්‌ අංගනයට පාත් වෙයි. ඈ සමනළියක්‌ සේ පාවී අවුත් කුළුණ ළඟ අසුන දෙස බලයි. ඔහු මුව අයාගෙන නැඟිටියි. ඈ කිසිවක්‌ වටහාගත නොහැකි පුදුමයෙන් ඔහු දෙස බලා අන්තිමට ම යන්තමට සිනා සේ.
 
 "හා මේ ඔයා මට අඳුනගන්න බැරි වුණානේ·"
 
 ඈ විස්‌මය පළ කරමින් ඔහු ඉදිරියේ අසුන් ගනී. ඒත් ඇගේ මුහුණ පරවෙලා ය මළමිනියක්‌ ගාන ය.
 
 ඈ... ඇයි.... මිස්‌ටර් මනරංජන ඔය චිත්‍රය වෙනස්‌ කළේ.?"
 
 "මොන චිත්‍රය ද..?"
 
 ඔහු අසන්නේ ගොත ගසමිනි.
 
 "අයියෝ මං.. ආස කළ ඔයාගේ විදිය. ඒක ඔයා සම්පූර්ණයෙන් ම වෙනස්‌ කරලා . ඕ. ගෝඩ්..."
 
 ඈ කියවාගෙන යයි. සුසුම් ද ලයි. තමා කොණ්‌ඩය කොටට කප්පවා කළු කළ බව ඇත්තය. රැවුල ද කපා දැමූ බව ඇත්ත ය. ඒත් මේ හැටි පුදුමයක්‌....?
 
 "අයියෝ වුණ දේ. මං ඇතන්ස්‌වල ඉද්දී මගේ කාමරයේ ලොකු කරලා එල්ලා තිබුණු චිත්‍රය. ඒක දහඅට වැනි සියවසේ හිටපු මහා චිත්‍ර ශිල්පියකු ගේ පින්තූරේ..... ඒ පින්තූරේ හිටියේ ඔයාමයි මිස්‌ටර් මනරංජන.... අයියෝ...... ඔයා ඒ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළා...···"
 
 මනරංජන අවතාරයක්‌ සේ බලා සිටී. ඈ තව මොන මොනවාදොa කියයි. "ආ.. අපි මොනව හරි බොමු. සොරි.. මට අද හරි වැඩේ. ඉක්‌මනට යන්න වෙලා තියෙනවා. චිත්‍ර ප්‍රදර්ශනය ගැන අද ටිකක්‌ ඉහළ මට්‌ටමේ ඇගයීමක්‌ තියෙනවා. හදිස්‌සියේ ලැහැස්‌ති කරලා. ඇමැතිතුමාත් එනවලු."
 
 ඈ හරිම කලබලෙන් කියාගෙන යයි. දැන් දැන් අහස අඳුරු කරගෙන එන හැටි මනරංජනට පෙනෙයි. හෝටල් මිදුලේ මල්වල පාටක්‌වත් සුවඳක්‌වත් නැත. නැහැයට දැනෙන්නේ ඔක්‌කාර කරවන සුළු විලවුන් ගඳක්‌ පමණි.
 
 රතු පාට ගන්වන ලද තොල් උල් කරමින් ඈ සිසිල් බීම වීදුරුව ස්‌පර්ශ කරයි. උල්a කරන ලද නියපොතුවල විස දැනී ඇඟ හිරිගඬු පිපෙයි. හිතේ පිපී ආ මල් යායම පරවෙයි. පරමල්වල අප්‍රසන්න දුර්ගන්ධය හා තනිකමේ සීතල රැගත් වියළි සුළඟ පපුව රිදවයි. ඈ දෙසවත් නොබලන මනරංජන වහ බොන්නාක්‌ සේ සිසිල් බීම වීදුරුව උගුරට හලා ගනියි.
 

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »