Home / කෙටි කතා / සර්ධාව

සර්ධාව

2017-11-20 11:06:00       230
feature-top
හෙළිකොප්ටරයෙන් විසිරවූ නෙළුම් පෙති තමාගේ සිරුර මතත් වැටෙන විට තමරාට දැනුණේ මහා සතුටකි. එහෙත් ඒවා දාගැබේ හැපී විසිවී ආවා නම් තමාට ඊට වඩා සතුටක්‌ දැනෙන බව ඇයට හොඳටම විශ්වාසය. අභා වැව දෙසින් හමා එන සුළඟේ වේගවත්කම නිසාම දාගැබේ නොහැපී එන මල්පෙති පමණක්‌, තමාගේත් තමා අවට සිටියවුන්ගේත් හිසමත දැවටි ඇත. මහ සෑ මළුවේ වාඩිවී සිටිනවුන්ගේ හිස මතට නම් නෙළුම් පෙති වැටෙන්නේ දාගබේද හැපීගෙනය. තමා ඇතුළු තමා සමඟ පැමිණි රථයේ අයට එතැනට යාගත නොහැකි වූයේ සිරිමහ බෝ සමිඳු වෙත ගොස්‌ මල් පුදා වැඳීමට වැඩි කාලයක්‌ ගතවූ බැවිනි. එහෙත් ඒ බෝපත් තමාට දුන් දහිරිය හා සහනය තමාගේ සිත පුරා පැවරී ඇත.

පැත්තකින් තබා ඇති කුඩය, අව් රශ්මියෙන් දැනෙන පීඩාව තරමක්‌ දුරට වළකයි. මළුවේ සිටින අය, රත් වූ කළුගලේ උණුසුමත් අව් රශ්මියත් ඉවසා දරා ඉන්නේ ලොකු අපහසුවකින් නොවේද? තණ බිස්‌සේ සිසිලසත්, තැනින් තැන වූ විශාල ගස්‌වල සෙවන මෙන්ම මද පවනත් තමාගේ ගත සිත නිවා දමන බව ඇත්තය.

"අපිත් යමුද මළුවට..?" ඇයට ඉබේම වාගේ තමා අසළ සිටි වනිතා සමඟ කියෑවුණේ මළුවට යා යුතුම යෑයි හැඟුණු බැවිනි.

"අනේ උඩ අව්ව මීටත් වඩා කොච්චර සැර ඇද්ද. මෙතැන නම් මේ..."

"ඒ උනාට සෙනඟ ගිහින් මළුව ඉඩ නැතුව යයි...මෙතැනත් එන්න එන්නම සෙනඟ වැඩි වෙනවනෙ"

"මෙහේ පදිංචිවෙලා ඉන්න අපේ පන්තියෙ හිටපු සුගල නම්, සෙනඟ හුඟක්‌ එන මේ වගේ උත්සව පිංකම්වලට කවදාවත් එන්නේ නැතිලු.."

"මටත් එයා කිව්ව තමයි.."

බොහෝ විට තමරා මෙහි ආවේ මෙවැනි උත්සව පිංකම් අවස්‌ථාවල පමණි. ගමේ වැඩිදෙනකු මෙහි ඒමට හේතු සාධක සොයා ගන්නේ මෙවැනි අවස්‌ථාවල පමණි. වනිතාගේ මෙන්ම තමාගේ ද නිවෙස්‌වලින් අවුරුද්දකට වතාවක්‌ හෝ දෙකක්‌ මෙහි පැමිණ නිවී සැනසිල්ලේ වැඳ පුදාගෙන යන බව සැබෑවකි. එහෙත් තමා දැන් වඩාත් හුරු වී ඇත්තේ මේ විදිහටය. සෑ රදුන්ගේ දර්ශනය නිතර නිතර කෙසේ හෝ දැකීම හා ඊට ලංවීම මහත් භාග්‍යයක්‌ සේ ඇයට හැඟේ.

"මේ සෙනඟ අස්‌සෙන් යනකොට තවත් සෑහෙන වේලාවක්‌ යනවනෙ. හවස්‌ වෙන්න තවත් සෙනඟ වැඩිවෙනවනෙ. අපට කොහොමටවත් යාගන්න බැරිවෙයි.."ඈ වනිතාට ඇවිටිලි කළාය.

එහෙනම් ඉතින් යමුකො. වතුර බෝතල් හේමත් පුරවගෙන.."

බාගෙට හිස්‌ව තිබූ වතුර බෝතල් පුරවා ගැනීමට ඔවුහු පළමුව කරාමයක්‌ වෙත ගියහ. එතැන ද දිගු පෝලිමකි.

තවත් පැය භාගයකට පමණ පසු ඔවුහු මළුව වෙත යැමට සූදානම් වූහ. දෙදෙනාගේම අත්බෑගවලට අමතරව එල්ලා ගෙන යා හැකි බෑගයක්‌ බැගින්ද තිබිණි. වතුර බෝතලයත්, අවශ්‍ය වුවහොත් කෑමට සුළු දෙයක්‌ හා වාඩිවීමට බිම දමා ගත හැකි ඉටිරෙදි කැබැල්ලක්‌ ද කුඩය සමඟ එහි විය.

ප්‍රධාන ගේට්‌ටුවෙන් ඇතුළු වීමට බොහෝ වේලාවක්‌ ගත විය. යාන්තමට ඇඳිරි වැටීගෙන එද්දී ඉන් ඇතුළු විය හැකි වුවද තවත් මීටර කිහිපයක්‌ ගොස්‌ ගල් කණු අතර කොටුවී රැඳී සිටීමට සිදුවද්දී දැනුණේ කෙසේවත් මළුවට සමීප විය නොහැකි අයුරකි. සෙනඟ තදබදය එන්න එන්නම වැඩිවන ලකුණු ය. ඉළට නගින දෙතු=න් දෙනකු වෙනුවට තවත් තදබද වෙමින් රොක්‌වන සෙනඟ වැඩිවීමට පටන් ගත්තා සේ දැනුණි. පොලිස්‌ නිලධාරීන් සිටියත් ඔවුන් කොතෙක්‌ අවවාද කළත් ඊට කීකරු වීමක්‌ සිදු නොවන සෙයකි. ප්‍රධාන දොරටුව වසා දමන ලෙස විධානයක්‌ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත් විය.

"හොඳ වෙලාවට අපි දෙන්න ගේට්‌ටුවෙන් ඇතුළට ආවේ.........." ඇය වනිතාට කීවේ අස්‌වැසීමකිනි.

"අනේ මන්ද... මෙතැනට වෙලා ඉන්නව මිසක කෝ උඩට යාමක්‌."

වේගවත් තදබදයක්‌ අස්‌සේ ඔවුනට අපහසුව මෙන්ම නොසන්සුන් බවකුත් දැනිණි. තමරාට ගෙදර සිහි විය. දරුවන්ගෙන් "නිදහස්‌" වී ඇත ද ඔවුන්ව ද, සැමියා ද සිහිවිය. එසැණින් ඇගේ දුරකළුනය නාද විය. අමාරුවෙන් අත්බෑගය විවර කරද්දී ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියෑවෙනවා ඇසුණේ අත්බෑග හා මුදල් පසුම්බි ප්‍රවේශම් කරගන්නා ලෙසය. කෙසේ වුවද තමා ඇමතුමට පිළිතුරක්‌ දිය යුතුය. ඒ ඇගේ පුතාගේ ඇමතුමක්‌ විය හැකි බැවිනි. මහත් අපහසුවකින් හා සැලෙමින් අතට ගත් දුරකතනය දුටු විට තමා නිවැරැදි බව ඈ වටහා ගත්තා. පුතා කියන කිසිවක්‌ පැහැදිලි නොවූවද ඔහුට අවශ්‍ය වන්නේ තමා සුරක්‍ෂිතව ඉන්නවා දැයි දැන ගැනීම පමණක්‌ බව ඈ හො¹කාරවම දැන සිටියාය.

"පුතේ අපි මේ මළුවට නගින ගමන්" යි පැවසූ තමරා ඇමතුම විසන්ධි කළාය. එහෙත් ඇගේ සිත නම් බෙහෙවින් සසල වී ගියේය. තමාට හේත්තු වී සිටි වනිතාගේ මුහුණේ වූයේද අවිනිශ්චිත චංචල බවකි. තමරා තමාගේ ගම්බාර දෙවියන්ට සිතින් බාරයක්‌ වූවාය.

හදිසියේ ආ තල්ලුවකින් පසු වනිතාගේ දසුන ඇයට අහිමි විය. වනිතා කොහාට තල්ලු වී ගියාද? කෙසේ වුවද ඉන්පසු ඉහළට තල්ලුවී යැම තරමක්‌ පහසුවෙන් දිගටම සිදු විය. අන්තිමේදී ඈ මළුවට පා තැබුවාය. තමා මේ ඉන්නේ හත් හැවිරිදි වියේ පටන් වැඳ පුදාගත් හුeර පුරුදු සෑ රදුන් අබියස බව ඇයට අදහා ගන්නවත් බැරි තරම්ය. තමා ඇතුළු වූයේ ප්‍රධාන දොරටුවෙන් බව පසක්‌ වූයේ බුදුගෙය ඇස ගැසෙද්දීය.

යන්තම් මළුව වටා යැමට පමණක්‌ ඉඩ සැලසෙන සේ කුඩා තීරුවක්‌ තබා ඉතිරි හැම ඉඩකම මිනිස්‌සු වාඩිවී හෝ දිගාවී සිටියහ. ඇය සෙමෙන් ඇවිද ගියේ පුංචි ඉඩක්‌ හෝ සොයාගෙනය. හරියටම බුදු ගෙය ඉදිරිපිටම වාඩිවීමට ඉඩක්‌ තිබිණි. ඉටිරෙදි කැබැල්ල ගෙන වාඩි විය හැකි සේ නමා බිම තබා ඈ සෑයට නමස්‌කාර කර වාඩි වූවාය.

"අනේ මටත් ඉඩ ටිකක්‌ තියාගන්න" යි කියා උපාසකම්මා කෙනකු බැගයක්‌ තමා අසළින් තබා ඉවතට ගිය විට ඇයට දැනුණේ හිතවතකු හමු වූවා වැනි හැඟීමකි. මද වේලාවක්‌ එසේ සිටින විට තමරාට ඉරියව් වෙනස්‌ කිරීමට අවශ්‍ය විය. දෙපා සෑය දෙසට යොමු කිරිම නොවටී. හැතිකාත් සංවර ලෙස ඇය ඉරියව් වෙනස්‌ කරද්දී බෑගය තබා ගිය උපාසකම්මා යළි පැමිණියාය.

short1"කොහේවත් වෙන ඉඩක්‌ නෑ. මං එක්‌ක ආ කට්‌ටියත් මග ඇරුණ...." ඇය කියන විටය තමරාට තමා සමග පැමිණි සියලු දෙනාද මගහැරුණු බව සිහි වූයේ. වනිතාට ඇමතුමක්‌ ගත නොහැක්‌කේ වනිතාගේ දුරකළුනය ගෙදර දමා පැමිණි බැව් කී නිසාය. තමා ඇතළු හැට දෙනාගේ කණ්‌ඩායමේ නායකායට තමා ඉන්නා තැන පිළිබඳව දැනුවත් කළ යුතුය යෑයි ඇය තීරණය කළේ ඉන්පසුවය.

"මේ වෙලාවෙ මළුවට එන්න අපි කාටවත්ම පුළුවන් කමක්‌ නෑ. නෝන මහත්තය බුදුගේ ඉස්‌සරහ ඉන්න තැනම ඉන්න... ඔහුගේ උපදෙස පමණක්‌ ඇයට පැහැදිලි විය. එය හොඳටම ප්‍රමාණවත්ය.

ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දහම් දෙසන හඬත්, වරින්වර ඒවා අවසන් වී නොයෙකුත් විධි විධාන දෙන හඬත්, මුදල් පසුම්බි නැතිවීම්, සොයාගැනීම් මෙන්ම කණ්‌ඩායම්වලින් මග හැරුණු අය පිළිබඳ තොරතුරුත් දැනුම් දෙනු ඇසිණි.

කිට්‌ටුවෙන්ම සිටි තුන් හතර දෙනකු සමඟ, තමා ගෙන ආ විස්‌කෝතු පාර්සලය බෙදාගෙන කෑමෙන් පසු වතුර බෝතලයෙන් උගුරු කිහිපයක්‌ ද බිව් ඇය දුටුවේ බොහෝ දෙනකු මළුවේ වැතිර නිදා සිටින අයුරුය. ඇයට එක්‌වරම මතකයට ආවේ පුවත්පතක වූ කවි සිතුවිල්ලක අඩංගුව තිබූ "සෑය නැමදීමට පැමිණි දිව්‍යාංගනාවන් දෙදෙනකු මළුව පුරා නිදා සිටි මිනිසුන් දැක ආපසු හැරී ගිය" පුවතයි.

නිදා සිටි අයගෙන් කිහිපදෙනකු නැගිට යැමෙන් ඉඩකඩක්‌ පෑදෙද්දී මහ සෑය දෙසට හිස යොමුවන අයුරින් තමරාද වැතුරුණාය. සිසිල් පවනේ ෂඩ්වර්ණ විදුලි බුබුළින් ආලෝකමත් වූ වියන යට වැතිර ගත් ඇයට සිහිපත් වුයේ මේ මහා සෑය ඉදිකරවීමට සිතූ රජු පිළිබඳවය. ඉහළ අහසේ තරු පිරිවරාගෙන සෑයේ කොත් කැරැල්ල මත පුර සඳ පායා ඇත. මේ අසිරිය විඳ ගැනීමට තමාගේ පවුලේ අයත් සිටියා නම් කෙතරම් හොඳ ද යෑයි ඇයට ඊළඟට සිතිණි.

පිරිත් දේශනය ඇරඹී ඇත. අරුතක්‌ හරිහැටි නොවැටහුණත් ළයාන්විත ස්‌වරය සිත පහන් කරයි. මෙවැනි මොහොතක තමා මිය ගියත් කම් නැත.

මෑත කාලයේ මෙහි පැමිණි හැමවතාවකම මෙන් භාවනාවක යෙදීමට ඇයට සිතිණි. පිරිත් හඬ මැද භාවනා කිරිම අපහසු නැතැයි ඇයට පසක්‌ වූයේ සැදී පැහැදී වාඩි වූ පසුවය. නිදිමත ගතියක්‌ එද්දී ඇ ඉරියව් වෙනස්‌ කළාය.

ඇගේ කණ්‌ඩායමේ නායකයා තමරාට ඇමතුමක්‌ ගන්නා විට පාන්දර හතර පසුවී තිබුණි.

"නෝනා මහත්තය දැන් පල්ලෙහාට බහින්ඩ.. දැන් ගේට්‌ටු ඇරල තියෙන්නේ..... ඊළඟ පිංකමටත් සෙනඟ ඇතුළු වෙමින් ඉන්නේ.." ඉන් එහාට ඔහුගේ වචන ඇයට පැහැදිලි නොවූයේ ශබ්ද විකාශනයේ හඬ නිසාය. තමා යා යුත්තේ කොතැනට ද යන්න නොදනිතත් පහළට යා යුතුය. යළිත් සෙනඟ එහා මෙහා වන තදබදයක්‌ පටන් ගෙන ඇත. ප්‍රධාන දොරටුව අසළට යැමට සූදානම් වුවද එය කුමන පැත්තේ ද යන්න සොයා ගැනීම දුෂ්කර විය. විදුලි එළිය හොඳ හැටි තිබුණ ද ගේට්‌ටුවක්‌ නොපෙනෙන්නේ ජනගඟ නිසාය. ඇතුළුවන පිටවන මිනිසුන් අපමණය. වටයම යද්දී හෝ දොරටුවක්‌ හමුවිය හැකි බැවින් ඉඩ ඇති පැත්ත බලා ඈ ඇදෙන්නට පටන් ගත්තාය. හමුවිය උතුරු දොරටුව!

ඈ හනික පිටතට ගියාය. "දැන් ඉතින් හරි. දැන් අහල බලනව කොතෙන්ටද එන්න ඕන කියල," තමරා ඇමතුමක්‌ ගැනීමට සූදානම් වෙද්දිම ඇමතුමක්‌ ලැබිණි.

"අපි තේ බොන්න ආ ගමන් ඉන්නව. ඔයත් මෙතැනට එන්ඩ. වනිතාත් අපි එක්‌ක ඉන්නව. අපි කාටවත්ම මළුවට නගින්න බැරි වුණානේ." ඒ කතා කළේ තමා සමග පැමිණි තවත් හිතවතියකි.

වේගවත් ගමනින් එතැනට සේන්දු වීම ඈ ඇරඹුවාය. හතර වටින් පොලිස්‌ ආරක්‍ෂාව ඇත. පාර පුරා එහා මෙහා යන්නවුන්ගෙන් ද අඩුවක්‌ නැත.

මීට මාස කිහිපයකට පෙර දිඹුලාගල කඳු මුදුන මත වූ "අහස්‌ ගව්ව නැඟීමට ගිය දිනය ද ඇයට ඒ මොහොතේ මතකයට නැගිණි. ඒ තමා සේවය කළ ආයතනයෙන් ගිය චාරිකාවකදීය. එහිදි කඳු මුදුනටම නැගීම කළේ, කණ්‌ඩායමේ වැඩි දෙනකු අනුමත නොකළ ගිනි මද්දහන අව්වේ වනිතාත් තමාත් ඇතුළු තවත් දෙතුන් දෙනකු පමණි. අතට අසුවන මායිමේ වූ අතු ඉතිවල එල්ලී එදා ඒ වනාන්තරය තුළ සෑහෙන දුරක්‌ ඇවිද වෙහෙසීමෙන් පසු පයට රත් වූ කළු ගලත්. දැතට ගිනියම්ව දැනෙන යකඩ අත්වැලත් වාරු ලෙස ගෙන තමා කුඩා කළ සහභාගි වූ නැටුම් පන්තියේ පළමු පාඩම අනුව මෙන් වරින්වර "මණ්‌ඩියට" සිටිමින් නැටුමක ආකාරයෙන් ද , බුදුගුණ සිහිකරමින් ද, ගිය ඒ අවදානම් ගමන! එහෙත් කඳු මුදුනටම නැග්ග පසු තමාත්. වනිතාත් දොඩමළු වූයේ කෙතරම් සැහැල්ලුවකින්ද? වටපිටාව අතිශයින් සුන්දර සිතුවමකි. අමතක නොවන චිත්‍රයකි. විඩාව නිවාගෙන ආපසු බැසීම නැග්ගාටත් වඩා දුෂ්කර වූවා නොවේද?

සුගලා කීවාක්‌ මෙන් තමා මේ අවදානම්වලට මුහුණ දෙන්නේ සර්ධාව නිසාම ද? ඊට පිළතුරක්‌ සෙවීම අපහසු වුවද, සුගලාගේ සිතුවිලි මීට වඩා නිවී සැනසුණු උසස්‌ මට්‌ටමක පවතින බව නම් පිළිනොගෙන සිටීමට කොහෙත්ම බැරිය.

තමා තවදුරටත් මෙවැනි අවදානම් නොගත යුතුය. සිත නිවා ගැනීම නිස්‌කලංකව කළ යුත්තකි යෑයි තමරා තීරණය කළාය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »