Home / කෙටි කතා / වන්කා

වන්කා

2016-04-04 02:18:00       784
feature-top
වන්කා

රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්

නව හැවිරිදි ඉවාන් වන්කා ෂුකොෆ් මාස තුනකට පෙර සපතේරුවකු වන අල්යාඛින් වෙත භාර කෙරුණේ ආධුනික පුහුණුවන්නකු වශයෙන් සපත්තු සෑදීමේ වැඩ ඉගෙනීම සඳහා ය.

දිනක් ඔහුගේ හාම්පුතාත් හාම්පුතු බිරියත්, ජ්‍යෙෂ්ඨ සිසුනුත් පල්ලියට ගිය අතරතුරදී වන්කා කබඩය තුළ වූ තීන්ත බෝතලයකුත්, මලකඩ කෑ පෑන් තලයක් සහිත කටු පෑනකුත් අතට ගත්තේ ය. පැත්තක දමා තිබූ කඩදාසි ගුළියක් ද ඇහිඳ ගත්තේ ය. දිගහැර ගත් කඩදාසියේ එක පැත්තක හෝ හාම්පුතා විසින් අන්තිමට අඳින ලද සපත්තු මෝස්තරය තිබේ දැ යි බැලුවේ ය. එ වැන්නක් නො තිබුණි. අනතුරුව යමක් ලියන්නට සිතුවේ ය.

ආදරණීය කොන්ස්තන්තීන් මකාරිච් සීයේ යි කඩදාසියේ ලිව්වේ ය. ඊළඟට තවත් ලියන්නට පටන් ගත්තේය. මම ඔබට ලියුමක් ලියමින් ඉන්නවා. මං ඔබට මගේ නත්තල් සුබ පැතුම් එවනවා. දෙවියන් වහන්සේත් ඔබට ආශීර්වාද එවාවි. මට අම්මාත් නෑ. තාත්තාත් නෑ. ඔබලා ඔක්කෝම මාව දාලා ගිහිල්ලා

වන්කා ජනේලයේ වීදුරුව වෙත දෑස් යොමු කළේ ය. දැල්වෙමින් තිබූ ඉටිපන්දමේ පරාවර්තිත එළිය ජනේලය තුළින් නෙත ගැටුණි. වන්කා, තම හිතේ තැන්පත් ව සිටින කොන්ස්තන්තින් මකාරිච් සීයා ඒ තුළින් දුටුවේ ය.

සීයා වැඩ කරනු ලැබූයේ ප්‍රභූවරයකු ලෙස සැලකෙන ෂීවාරු මහතාගේ වත්තේ මුරකරු ලෙස ය. ඔහු උසින් අඩු ය. කෙට්ටු ය. අවුරුදු හැට පහක් තරමේ වියපත් අයෙකි. හේ කඩිසර ය. ජවසම්පන්න ය. මුහුණ සිනාසුනු ගමන් ම ය. බීමත්කම නිසා ම මුහුණත් දෑසුත් දිස්වූයේ ඉදිමුණු ගතියෙනි. මේ තත්ත්වය ඔහු තුළින් කැපී පෙනෙන දසුනක් ද වූයේ ය. දිවා කාලයේ දී ඔහු ෂිවාරු මහතාගේ වත්තේ බංගලාවේ කුස්සිය පැත්තේ නිදා ගනී. නො එසේ නම් එහි වාඩි වී කෝකියා සමඟත් අනෙක් මෙහෙකාර - මෙහෙකාරියන් සමඟත් විහිළු තහළු කරමින් කාලය ගත කළේ ය. රාත්‍රී කාලයේ දී බැටළු හම් මිශ්‍රිත ලෝගුවකින් සැරසී ඔහු වත්ත වටේ ම රවුම් කීපයක් ම ඇවිදි යි. එසේ ඇවිදින විට රැට්ල් එක ද ටක් ටක් යනුවෙන් ශබ්ද කරවයි.

කාලගුණය ඉතා යහපත් විය. ගස්කොළන් රිදීවන් ව එක පෙළට සිටින්නාක් ‍වැනි ය. අහස පැහැදිලි ය. නැවුම් ය. තරුවලින් ගහන ය. අහස ප්‍රීතියෙන් ඔද වැඩී ගොස් ය. සුළඟින් ගොඩ ගැසුණු හිම කණ්ඩිය සුදෝ සුදු ය. රාත්‍රිය අඳුරු ය. එහෙත් නිවෙස්වල වහලවල් සුදු ය. මුළු ගමේ ම නිවෙස්හි කුස්සිවල චිමිනිවලින් දුම් නඟිමින් තිබේ. මුළු පරිසරය ම ප්‍රීතිමත් නිවාඩුවකට සැරසෙන්නාක් මෙනි. වන්කා සුසුමක් පිට කළේ ය. පෑන තීන්තෙහි ඔබමින් යළිත් ලියන්නට පටන් ගත්තේ ය. ඊයෙ මම ටිකක් හැංගිලා වගෙයි හිටියෙ. මොකද හාම්පුතා මගේ කොණ්ඩෙන් අල්ලල එළියට ඇදගෙන ගිහිල්ල එක දිගට ම හොඳටෝ ම ගැහුවා. මට තැළුවේ අශ්ව සෑදල පටියෙන්. ඒ මං කරපු වරදකට. ඒ කියන්නෙ බේබිට ගැහැව්ව කියල. ඇයි තව ගිය සතියේ දවසක් මට නෝන කිව්වා හුරුල්ලො සුද්ධ කරන්න කියල. ඉතින් මම හුරුල්ලගෙ වලිගෙ පැත්තෙ ඉඳල සුද්ධ කරන්න පටන් ගත්තා.

ඒ වෙලාවෙ නෝනා ඒක උදුරල අරගෙන මගේ මූණෙයි ඔළුවෙයි ඇතිල්ලුවා. ඒ වෙලාවෙ අනික් ශිෂ්‍යයො මට හිනා වුණා. මාව විහිළුවකට ගත්තා. ඒගොල්ලන්ට ඒක මහ විනෝදයක් වුණා. ඒගොල්ලො මාව තැබෑරුමටත් එක්ක ගියා වොඩ්කා බොන්න. තව හාම්පුතාගෙ පිපිඤ්ඤා හොරකම් කරන්නත් පෙලඹෙව්වා. ඒක අහුවෙච්ච වෙලාවෙත් හාම්පුතා මට තැළුවා. අනිත් එක මෙහෙ කන්න කිසි දෙයක් නෑ. මට උදේට දෙන්නෙ පාන්. රෑට දෙන්නෙ කැඳ. හවසට දෙන්නෙත් පාන්. කවදාවත් මට තේ දෙන්නෙ නෑ. ගෝවා සුප් දෙන්නෙත් නෑ. ඒත් ඒ ගොල්ලො ඒව ඔක්කෝම ජාති බොනවා. මට නිදා ගන්න දෙන්නෙත් පැසේජ් එකේ. ඒගොල්ලන්ගෙ ළමයා අඬන කොට මට නින්ද යන්නෙ නෑ. ඉතින් එයාට ගහන්න සිද්ධ වුණා. ආදරණීය සීයේ, ආදරණීය දෙවියන් වහන්සේට කියන්න මාව මෙතනින් අයින් කරල මගේ ගමේ ගෙදරට අරන් යන්න කියල. මේක මට වැඩිකල් දරා ගන්න බෑ. සීයේ මං ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ දෙවියන්ට යාච්ඤා කරන කොට මාව මෙතින්න ඉවත් කරන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න කියලයි. සීයේ එහෙම නූණොත් මාව මැරෙයි...

වන්කාගේ තොල් තද වී ගියේ ය. අතින් දෑස පිරිමැද්දේ ය. ඉකි ගසමින් අඬන්නට වූයේ ය.

මං ඔබට දුම්කොළත් කුඩු කරල දෙන්නම් වන්කා යළිත් ලියන්නේ ය. මං ඔබට යාඤා කරන්නම්. මම තද දඟ ළමයෙක් කියල ඔබ හිතනවනං ඔබත් මට ගහන්න. ඒ වගේ ම ඔබ හිතනවා නම් මා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ කියල, මං අපිට කෑම දෙන කෙනාට කියන්නම් මට ආදරය, කරුණාව දක්වන්න කියලා. ඒ වෙනුවට මං එයාගේ සපත්තු පිහදාලා පිරිසිදු කරලා දෙන්නම් කියලා. එහෙම නැත්නම් මම එයාට කියනවා මාව බැටළු ගාලේ වැඩට දාන්න කියලා. ආදරණීය සීයේ, මට ඉන්න බෑ. මේගොල්ලො මාව මරල දායි. මම හිතුවා ගමට පයින් ම එන්න. ඒත් සීයේ මට එහෙම එන්න සපත්තු නෑ. අනික මම හිමවලට බයයි. සීයේ, මම ලොකු උණා ම ඔබ රැකබලා ගන්නම්. ඔබ මැරෙන තුරු කාගෙන්වත් කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔබේ ආත්මය වෙනුවෙන් මම දෙවියන් ඉදිරියේ යාඤා කරන්නම්. මගේ අම්මා වෙනුවෙන් යාච්ඤා කරනවා වගේ ම

ආදරණීය සීයේ, ඔබලා ‍ඔය ලොකු ගෙදර නත්තල සමරන කොට මා වෙනුවෙනුත්, රත්රන්වලින් ඔප දාපු විසිතුරු ගෙඩියක් නත්තල් ගහේ එල්ලන්න. ඒක නත්තල් ගහේ මැද කොළපාට කොටසේ එල්ලන්න. ඔල්ගා නෝනාට කියන්න ඒක වන්කා වෙනුවෙන් කියල.

වන්කා ජනෙල් වීදුරුව තුළින් පිටතට තියුණු දෘෂ්ටියක් හෙළුවේ ය. ඒ සමඟ ම වන්කාට මතක් වූ‍යේ ඒ දවස්වල සීයා තමාත් සමඟ නත්තල් ගසක් හදන්නට දේවදාර ගසක් කපන්නට ගිය අයුරු ය. ඒ කාලය මොන තරම් මිහිරි ද? ඒ අවස්ථාවන්හි දී සීයා ද සතුටු සිනා පාන්නේ ය. වන්කා ද එසේ ම ය. ඒ වෙලාවට වන්කා සිනාසුණේ කට තද කරගෙන ය. සීයා දේවදාර ගස කැපීමට පෙර දුම්කුඩු හෙප්පුවෙන් දිග ම දිග දුම්කුඩු පාරක් නාසයට ඉරුවේ ය. වෙවුලමින් සිටින වන්කාට සිනාසුණේ ය... තරුණ දේවදාර ගස් ටික එක පෙළට ගල් ගැසී බලා සිටී. ඒ තමන් අතරින් කාට මරණය කරා ළඟා වීමට සිදු වේදෝයි යන්න සිතමිනි. ක්ෂණයකින් ම හාවෙක්, සුළඟට විත් ගොඩ ගැසී ඇති හිම කණ්ඩියට උඩින් ඊයක වේගයෙන් පැන්නේ ය.

ඌ නවත්තන්න, නවත්තන්න... ඌ නවත්තන්න! මේ යක්ෂයාගෙන් මොන කරදරයක් ද මේ? යි සීයා කෑ ගැසුව ද එයින් වැඩක් වූයේ නැත. හාවා පස්ස නොබලා ම පැන දිව්වේ ය. සීයා ගස කපා සුවිසල් නිවෙසට එය ඇද ගෙන ගියේ ය. පසුව ගෙදර අය එක්ව නත්තල් ගස සැරසීමට පටන් ගත්හ. වන්කා වඩාත් ම කැමැති කෙනා වන ඔල්ගා ඉග්නැට්යෙවුනා මෙණෙවිය එහි වැඩි වගකීමක් ගෙන කටයුතු කළා ය. වන්කාගේ මව පෙලගෙයා ජීවත්ව සිටියදී මැඳුරේ සේවිකාවක ලෙස කටයුතු කළා ය. එ කල ඔල්ගා, වන්කාට රසකැවිලි දුන්නා ය. ඔහු විනෝදයෙන් සතුටින් තැබීමට කටයුතු කළා ය. එ පමණක් නොව වන්කාට කියවීමට, ලිවීමට මෙන් ම එකේ සිට සීය දක්වා ගණන් කිරීමට ද උගැන්වූවා ය. ඊටත් අමතරව ළමා නැටුම් ද පුරුදු පුහුණු කළා ය. නමුත් මව මියගිය පසු වන්කා තාත්තාත් අම්මාත් දෙදෙනා ම අහිමි අනාථ දරුවකු බවට පත් විය. ඒ සමඟ ම පිටුපස කුස්සියේ සිටින සීයා වෙතට පිටමං කෙරිණ. පසුව මොස්කව්හි සපතේරුවකු වූ අල්යාඛින් වෙතට යැවිණ.

ආදරණීය සීයේ, මාව බලන්න එන්න. වන්කා ලිපිය ලිවීම තවදුරටත් කරගෙන ගියේ ය. නත්තල වෙනුවෙන් මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ මාව මෙහෙන් අරගෙන යන ලෙස යි. ඒගොල්ලො හැම වෙලාවෙ ම මට ගහනවා. අනාථයෙක් වෙච්ච මම ගොඩාක් ම දුකෙනුයි ඉන්නේ. මම හැම වෙලාවෙ ම ඉන්නේ බඩගින්නේ. මං මෙහෙ දුක් විඳිනවා. මම හැම වෙලාවෙ ම අඬනවා. ආයෙත් දවසක් අපේ අයිතිකාරයා අන්තිම වතාවටයි කියන්නේ කියලා ඔළුවට ගැහැව්වා. ඒ වෙලාවෙ මම බිම වැටුණා. මං හිතුවෙ ආයෙ කවදාවත් මට නැගිටින්න බැරි වෙයි කියල. ඒවගෙ දුක් ජීවිතයක් මම ගෙවන්නෙ. බල්ලන්ටත් වඩා අන්තයි.

වන්කා ලියුම හතරට නැමුවේ ය. ඊයේ කඩ වීදියෙන් ගෙනා ලියුම් කවරයට බහාලුවේ ය. යමක් කල්පනා කළේ ය. පෑන තීන්ත කූඩුවේ ඔබා ලියුම් කවරය මත පොල්ගෙඩි අකුරෙන් සීයා යනුවෙන් ලියුවේ ය. ඔළුව කැසුවේ ය. යළි කල්පනා කළේ ය. ලියුම් කවරයේ තවත් යමක් ලියුවේ ය. ඒ කොන්ස්තන්තීන් මකාරිච් ගම යනුවෙනි.

වන්කා පෙර දා කඩවීදියට ගිය වෙලේ මස් කඩය ළඟ සිටි පුද්ගලයාගෙන් අසා දැන ගත් විස්තරයට අනුව කියැවුණේ ලියුම් පෙට්ටිවලට දමන ලිපි පසුව බීමත් රියැදුරන් සහිත තැපැල් වාහන මඟිනුත්, කිංකිණි හඬ නංවමින් අශ්වයන් මඟිනුත් රැගෙන ගොස් ලෝකය පුරා බෙදා හරින බව ය.

වන්කා කැප් තොප්පියත් හිසේ පැලඳගෙන කමිසයට උඩින් අඳින කබායත් නොමැතිව ම කඩ වීදියේ කිට්ටුව ම ඇති ලියුම් පෙට්ටිය වෙත වේගයෙන් දුව ගොස් තම අනර්ඝ වස්තුව වන ලියුම එ තුළට දැම්මේ ය. ආපසු ආ වන්කාට තදට ම නින්ද ගියේ ය. පැයකට පමණ පසු මනස්කාන්ත බලාපොරොත්තුවලින් යුතුව අවදි වී ඔබ මොබ බැලුවේ සීයා ගිනි උඳුන අසල වාඩි වී දෙපා වනමින් තම ලියුම කෝකියන් ඉදිරියේ කියවමින් සිටින දසුන දකින්නට ය... එහෙත් ඒ වන්කා ටික වේලාවකට පෙර නින්දේ දී දුටු සිහිනකි... ඊල් බංගලාවේ පිටුපස සිට වල්ගය වනමින් ගිනි උඳුන අසලට ඇවිදගෙන එමින් සිටින අයුරු වන්කා මනසින් දුටුවේ ය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »